රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
යෙහෝවඃවහන්සේ ස්වකීය සතුරන්ට වඩා ශක්තිමත්ය
යක්ෂයා හා ඔහුගේ භූතයන් දීර්ඝ කාලයක් පුරා බොරු ආගම් හා ආත්ම බන්ධන ක්‍රියා මගින් ශුභාරංචිය දේශනා කිරීම බාධා කිරීමට වෑයම් දරා ඇත. සාතන්ගේ දුෂ්ට අභිප්‍රාය ගැන බයිබලය 2 කොරින්ති 4:4හි කථා කරන අතර එහි සඳහන්ව ඇත්තේ “නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය” යනුවෙනි.
එහෙත් යෙහෝවඃවහන්සේ සාතන්ට වඩා බලවත්හුය. ස්වකීය දිව්‍ය කැමැත්ත, එනම් “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමි[ණීම]” ඉටුවීම නැවැත්වීමට යෙහෝවඃවහන්සේගේ සතුරන්ට කිසිවක් කළ නොහැකිය. (1 තිමෝති 2:3) ඕස්ට්‍රේලියාවේ රාජ්‍යය ප්‍රචාරකයන්ගේ මතු වාර්තාව මෙය ගෙනහැර දක්වයි.
◻ වසර 20ක් ආගමෙන් වෙන්ව සිටීමෙන් පසු, කාන්තාවක් නැවතත් බයිබලය කියවන්ට පටන්ගත්තාය. බයිබලය කෙරෙහි යළි පණගැන්වූ ඇයගේ මෙම උනන්දුව ඇය තුළ ප්‍රශ්න බොහොමයක් නැගූ අතර එබැවින් පිළිතුරු සොයාගැනීමට තමාට උපකාර කරන හැටියට ඈ දෙවියන්වහන්සේට යාච්ඤා කළාය. සත්‍යය සොයාගැනීමට ඇයට වුවමනා වී තිබුණත්, තමාගේ පරණ ආගමට හැරී යෑම ගැටලුව විසඳන්නේ නැති බව ඈ දැනගෙන සිටියාය. ඒ වෙනුවට, ඇය තමාගේ සෙවිල්ල පටන්ගත්තේ පරණ පොත් සාප්පුවකට යෑමෙන් හා ආගම සම්බන්ධයෙන් යම් පොත් ඔවුන් සමඟ තිබේදැයි ඇසීමෙනි.
තමා ළඟ ආගමික පොතක් තිබූ බව එම සාප්පු අයිතිකාරියට සිහිපත් වුණත්, එය තිබුණේ සාප්පුවේ නොව, ඇගේ නිවසේය. එය වනාහි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොතය. කාන්තාව උනන්දුවෙන් එම පොත කියෙවූ අතර තමාගේ බයිබල් ප්‍රශ්නවලින් බොහොමයකට පිළිතුර සොයාගත්තාය. දුරකථන නාමාවලියේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සඳහා සෙවිල්ලක් කිරීමෙන් පසු, ඈ අවසානයේ ඔවුන් දැන හැඳිනගත් අතර නිතිපතා බයිබල් පාඩමක් පටන්ගත්තාය.
◻ තරුණ කාන්තාවක් සුරයක් විකිණීම පිළිබඳ වෙළඳ දැන්වීමක් නිවේදනය කිරීමට ප්‍රාදේශීය පුවත්පතක් යොදාගත්තාය. එම වෙළඳ දැන්වීමෙහි සඳහන්ව තිබුණේ එය ‘ඉතා බලගතු මධ්‍යකාලීන යුගයේ සුරයක්’ බවය. යෙහෝවඃවහන්සේගේ එක්තරා සාක්ෂිකාරියක් මෙම නිවේදනය දුටුවාය. ඉදිරිපත් කර තිබෙන දුරකථන අංකය අමතා එම සුරය සතු යයි කියන බලයේ මාධ්‍යය ගැන එම කාන්තාවට කථා කිරීමට ඈ තීරණය කළාය. ඒත් සමඟම භූතමය ක්‍රියාවන් සම්බන්ධයෙන් බයිබලයේ දෘෂ්ටිය පිළිබඳ සාකච්ඡාවක් ඇති විය. එම සුරය තබාගෙන සිටි කාන්තාව, භූතයන් සමඟ තමාට තිබූ ගැටලු සම්බන්ධයෙන් උපකාරය ඉල්ලා හුදෙක් ඊට දිනකට කලින් දෙවියන්වහන්සේට යාච්ඤා කළ බව එළිදරව් කළාය. දුරකථනයෙන් තවත් සාකච්ඡාවක් කිරීමට සාක්ෂිකාරිය සැලසුම් යොදාගත්තාය.
ඇය දුරකථනයෙන් ඇමතූ විට, යෞවන කාන්තාව නිවසේ සිටියේ නැත. ඇයගේ මව දුරකථනයට පිළිතුරු දෙමින්, කියා සිටියේ, “ඔබ මගේ දියණියට කුමක් කීවාදැයි මා දන්නේ නැහැ, ඒත් සිදු වී තිබෙන දෙය පුදුමාකාරයි!” යනුවෙනි. එම මුල් ඇමතුමෙන් පසු, ඇයගේ දියණිය සාතන් හා සම්බන්ධ චිත්‍ර හා පොත් වීසිකර දැමූ අතර බයිබලය කියවන්ට පටන්ගත් බව ඈ ප්‍රකාශ කළාය.
ඒ සමඟම, යෞවන කාන්තාව පෞද්ගලිකව බැහැදැකීමට කටයුතු සූදානම් කරනු ලැබීය. ඈ වහාම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ නිතිපතා බයිබල් පාඩමක් පිළිගත්තාය. සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීමෙන් ඈ ඔවුන් ඇසුරු කරන්ටද පටන්ගත්තාය. යළිත් වරක්, භූතයන්ව පරාජය කිරීමෙන් යෙහෝවඃවහන්සේ බයිබල් සත්‍යයේ ඒකාන්ත දැනුම බැබළෙන්ට සැලැස්වූසේක.