පිළිගැනීම තුළින් මූලික මානව අවශ්‍යතාවක් සපුරාලීම
“ඇත්තටම එය හොඳින් කර තිබෙනවා!” “ඔබගේ සමර්ථකම් ගැන මා සතුටු වෙනවා!” නැතහොත් “ඔබ ඔබගේ උපරිමය කළා, ඔබ ගැන අපට ආඩම්බරයි” යනාදි අවංක පැසසුම්, විශේෂාකාරයෙන් ඔබ ගෞරව කරන කෙනෙක් වෙතින් එය නික්මෙන විට, ආත්ම ගරුත්වය වැඩි වර්ධනය කිරීමට මහත් සේ දායක වේ. පිළිගනු ලබන විට මනුෂ්‍යයෝ වඩාත් සඵල වෙති. එය ලැබෙන විට ඔවුහු වැඩිදියුණු වන අතර වඩාත් සතුටින් සිටිති. ඇත්තෙන්ම, ගුණවත් ආහාර ශරීරයට වැදගත් වන්නා සේ, යෝග්‍ය වූ පිළිගැන්ම මනසට හා හෘදයට වැදගත් වේ.
එක් ශබ්ද කෝෂයක් පිළිගැන්ම අර්ථ දක්වන්නේ “විශේෂිත සැලකීමක් හෝ අවධානයක්” මෙන්ම “සැලකිල්ලක් හෝ අවධානයක් ලැබීමට හිමිකම් ඇති පුද්ගලයෙකු සේ සලකා භාර ගැනීම” ලෙසටය. එය, ගරුත්වයේ හැඟීමක් වන, ගෞරවයට සමීපව සම්බන්ධ වී ඇති අතර මෙය දෙනු ලබන විට ඉන් ඇඟවෙන්නේ පුද්ගලයෙකු පිළිබඳ හොඳින් නිගමනය කරගත් තක්සේරුවක් හා ඇගැයීමකි, එමෙන්ම ඔහුට ලැබීමට හිමිකම් ඇති පිළිගැන්මේ පරිමාණයකි.
පිළිගැන්ම—මූලික අවශ්‍යතාවකි
ප්‍රශංසා කළ යුතු තැන ප්‍රශංසා කිරීම සාධාරණ හා යුක්තිසහගත දෙයකි. එය කළ යුතු ආකාරය දාසයාට තමා සන්තක දේවල් භාර කළ ස්වාමියා පිළිබඳ සිය උපමාවෙහි යේසුස්වහන්සේ සඳහන් කළසේක. තමාගේ වත්කම් නිසි ලෙස පාලනය කළ බව ඒත්තු ගනිමින්, ඔහු කියා සිටියේ, “යහපත්වූ විශ්වාසවූ දාසය, ඒ යහපත” යනුවෙනි. (මතෙව් 25:19-23) කෙසේවෙතත්, බොහෝ අවස්ථාවන්හි, යෝග්‍ය වූ මෙම ආචාරසම්පන්නභාවය නොසලකා හැරේ. පිළිගැන්මක් ලබා දීමට අසමත් වීම උද්යෝගය හා මුලපිරීම වළක්වාලන්නේය. අයෝනා කාරණය මෙසේ දක්වන්නීය: “පිළිගනු ලැබීම ඔබව අවශ්‍ය කරන බවක් වුවමනා කරන බවක්, හා අගය කරනු ලබන බවක් අඟවයි. . . . එය ඔබට මුලපිරීමෙන් යුක්තව ක්‍රියා කිරීමට අවස්ථාව ලබා දෙයි. ඔබව නොසලකා හරිනු ලබන්නේ නම්, ඔබට අධෛර්යයේ මෙන්ම වුවමනා අවස්ථාවේදී අත්හරින ලද භාවයේ හැඟීමක් දැනෙනු ඇත.” පැට්රික් මෙයද ඊට එක් කරයි: “එවිට ගුණාත්මකභාවයේ හා නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණයේ උසස් මට්ටමක් පවත්වාගැනීම දුෂ්කරය.” එබැවින්, පිළිගත යුත්තේ කෙසේද හා කවර අවස්ථාවේදීද යනවග අප ඉගෙනගැනීම අතිශයින් වැදගත් වේ. අප අවට සිටින්නන් විසින් අපව පිළිගනු ලබන බව දැනගැනීමෙන් ලබන සුරක්ෂිතභාවයට අපි සියල්ලෝම බලවත් සේ ආශා කරන්නෙමු. එය මූලික මානව අවශ්‍යතාවකි.
ප්රශංසාවේ වදනක් පැවසීම, අමතරව වගකීම් පැවරීම, එසේත් නැතහොත් අඩුතරමින් ද්‍රව්‍යමය ත්‍යාගයක් පිරිනැමීම දිගටම ඔබගේ උපරිමය කිරීමට ඔබව පොලඹවනු ඇත. ඔබ දෙමව්පියෙකු, පුරුෂයෙකු, භාර්යාවක, දරුවෙකු, සභාවේ සාමාජිකයෙකු, නැතහොත් අවේක්ෂකයෙකුව සිටියත් මෙය සැබෑවක් වන්නේය. “පිළිගනු ලබන විට, මට සතුටක් දැනේ, මාව පිළිගනු ලබන බව දැනේ, එමෙන්ම වඩාත් හොඳින් යමක් කිරීමට මට ආශාවක් දැනේ” යයි මාග්‍රට් පවසන්නීය. ඇන්ඩෲ මෙසේ පවසමින් එයට එකඟ වෙයි: “තවත් වෙහෙස වී ක්‍රියා කිරීමට උනන්දු වෙමින්, මගේ ආත්මය ප්‍රීතියෙන් කුල්මත් වේ.” කෙසේවෙතත්, යමෙකුව පිළිගැනීමටත් ගෞරව කිරීමටත් සාවධානව සිතා බැලීම හා හොඳ විනිශ්චයක් කිරීම අවශ්‍ය කෙරේ.
පිළිගැනීමේදී යෙහෝවඃවහන්සේගේ ආදර්ශය අනුකරණය කරන්න
යෙහෝවඃ දෙවියන්වහන්සේ අන්‍යයන්ගේ වටිනාකම පිළිගැනීමේ ප්‍රමුඛතම ආදර්ශය වනසේක. පිළිගැනීමට යෝග්‍යව සිටින්නන් උන්වහන්සේ ඒත්තු ගන්නාසේක. ආබෙල්, ඒනොක් හා නෝවා වැනි මනුෂ්‍යයෝ උන්වහන්සේගේ අවධානයට ලක් වූහ. (උත්පත්ති 4:4; 6:8; යූද් 14) දාවිත්ගේ කැපී පෙනෙන විශ්වාසවන්තකම වෙනුවෙන් යෙහෝවඃවහන්සේ ඔහුව ඒත්තු ගත්සේක. (2 සාමුවෙල් 7:16) සාමුවෙල්, දිවැස්වරයෙක් හැටියට වසර ගණනාවකට යෙහෝවඃවහන්සේට ගෞරව කළ අතර, පිලිස්තිවරුන්ව පරාජය කිරීමට උපකාරය ඉල්ලා කළ සාමුවෙල්ගේ යාච්ඤාවට ඉක්මන් ප්‍රතිචාරය දැක්වීමෙන්, දෙවියන්වහන්සේ විසින්ද ඔහුට ගෞරව කරන ලදි. (1 සාමුවෙල් 7:7-13) එවන් දිව්‍ය පිළිගැනීමක් ලැබීම ගෞරවයක් යයි ඔබට හැඟෙන්නේ නැද්ද?
කෘතඥපූර්වකත්වය හා අගය කිරීම පිළිගැනීම සමඟ කිට්ටුවෙන් බැඳී පවතී. ‘ස්තුතිවන්ත’ වන ලෙසටත් අප වෙනුවෙන් කරන දෑ සඳහා කෘතඥපූර්වක වන ලෙසටත් බයිබලය අපෙන් උදක්ම ඉල්ලා සිටී. (කොලොස්සි 3:15; 1 තෙසලෝනික 5:18) මෙය නිශ්චිත වශයෙන් යෙහෝවඃවහන්සේට ස්තුතිවන්ත වීමට අදාළ වුවත්, ජීවිතයේ එදිනෙදා කාරණා සම්බන්ධයෙන්ද සැබෑ වේ. ප්‍රේරිත පාවුල් මෙය අගය කළේය. “බොහෝ දෙනෙකුගේ . . . උපකාරකාරියෙක්” හැටියට ඔහු පේබීවත්, තමා මෙන්ම අන්‍යයන් උදෙසා ‘තමන්ගේ බෙල්ල දීම’ වෙනුවෙන් ඔහු ප්‍රිස්කා හා අකිලාවත් පිළිගත්තේය. (රෝම 16:1-4) විවෘතව ප්‍රකාශ කරන ලද එවන් කෘතඥතාවක් ලැබීමෙන් ඔවුන්ට හැඟෙන්ට ඇති ආකාරය සිතා බලන්න. පිළිගැනීම, ගෞරවය හා දිරිගැන්වීම පිරිනැමීමේ සතුට ඇතිව සිටීම පාවුල් සඳහාද යහපත් දෙයක් විය. පිළිගනු ලැබීමට යෝග්‍ය වූ අයව පිළිගැනීමෙන් අපටත් යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ අගයපූර්වක නමස්කාරකයන් අනුකරණය කළ හැකිය.—ක්‍රියා 20:35.
පවුල් කවය තුළ පිළිගැනීම
“ජීවිතය සුඛදායක කිරීම පිණිස සුළු පිළිගැන්මක් ලබා දීම මහත් උපකාරයක් වන්නේය” යයි ස්වාමිපුරුෂයෙක් මෙන්ම ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වන මිචල් පවසයි. “එය, ඔබව පිළිගන්නා තැනැත්තා කෙරෙහි ඇතැම් විට සදාකාලයටම, ඇලුම් වීමේ හැඟීමක් ඔබට දැනෙන්ට සලස්වයි.” උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් මහත් වගකීම් සම්භාරයක් උසුලන අතර පවුලේ සුභසාධනයට සම්බන්ධ වැදගත් තීරණ ගන්නේය. ඔහු පවුලේ ආත්මික, ද්‍රව්‍යමය හා චිත්තවේගී අවශ්‍යතා සඳහා සැපයුම් කළ යුතුය. (1 තිමෝති 5:8) පවුලේ හිස හැටියට දෙවියන්වහන්සේ විසින් දෙන ලද තම පැවරුම වෙනුවෙන් නිසි පිළිගැන්ම පෙන්වනු ලබන විට හා ඔහුගේ භාර්යාව ඔහුට “ගැඹුරු ගෞරවය” පෙන්වන විට ඔහු කොතරම් කෘතඥපූර්වක වන්නේද!—එපීස 5:33, NW.
බොහෝදෙනෙකුගේ නෙතට නොපෙනෙන ගෘහණියකගේ වැඩකටයුතුද නොසලකා හැරිය යුතු නොවේ. නවීන සංකල්පයන් එවන් වැඩකටයුතු පහත් කොට තක්සේරු කළ හැකි අතර, ඊට හිමි විය යුතු ගෞරවය හා වටිනාකම ඊට ලබා නොදෙන්ට පුළුවන. එහෙත්, එය තිබෙන්නේ දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න තත්ත්වයකය. (තීතස් 2:4, 5) ඥානවන්ත ස්වාමිපුරුෂයෙක් විශේෂාකාරයෙන් සිය භාර්යාව විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන, ජීවිතයේ සියලු අංගයන්හි තමාගේ මූලිකත්වය යටතේ එවන් පිළිගැන්මක් ඇයට දානය කරමින්, ඇයට ප්‍රශංසා කරන විට, එය කොතරම් ප්‍රබෝධවත් දෙයක් වන්නේද! (හිතෝපදේශ 31:28) සිය ස්වාමිපුරුෂයා ගැන රොවිනා මෙසේ පවසන්නීය: “මා කරන දෙය ඔහු ඒත්තු ගන්නා විට, ඔහුට යටත්වීම මෙන්ම ඔහුට ගෞරව කිරීම මට වඩාත් පහසු බවක් හැඟේ.”
අමෙරිකානු ශික්ෂක ක්රිස්චන් බෝවි වරක් මෙසේ පැවසුවේය: “මල් පිපෙන්නට ඉරු රැස් වුවමනා වන්නාක් මෙන් යුක්තිසහගත ප්‍රශංසාව දරුවන්ට සඵලවීමට උපකාර කරයි.” එසේය, තමා පවුලේ අගය කරනු ලබන සාමාජිකයෙක් බවට නිත්‍ය ධෛර්යවත් කිරීමක් ඉතා කුඩා දරුවෙකුට පවා අවශ්‍ය වේ. නව චිත්තවේගී හා කායික වෙනස්කම්වලින් පූර්ණ වූ හැඩ ගැස්වීමක් ලබන නව යොවුන් විය තුළ, නිදහස හා පිළිගනු ලැබීම සඳහා වූ දැවෙන ආශාවකින් බැඳුණු, පෞද්ගලික පෙනීම ගැන වුවමනාවට වඩා කල්පනා කිරීමක් සිදුවේ. මේ කාලය තුළ විශේෂාකාරයෙන්, නව යොවුන් වියේ කෙනෙකුට සිය මව්පියන් විසින් තමාට ප්‍රේම කරනු ලබන බව හැඟෙන්ටත් අවබෝධයෙන් හා මානව කරුණාවෙන් සලකනු ලබන්ටත් ඕනෑය. තමන් තවදුරටත් ප්‍රයෝජනවත් බවත් ප්‍රේම කරනු ලබන බවත්, ‘මහලු වයසේදී ඉවත නොහරින’ ලද බවටත් ධෛර්යවත් කිරීමක් වයස්ගත වන්නාවූ මව්පියන් හා ආච්චිලා සීයලාට සමානාකාරයෙන් අවශ්‍ය වන්නේය. (ගීතාවලිය 71:9; ලෙවී කථාව 19:32; හිතෝපදේශ 23:22) පිළිගනු ලැබීමේ අවශ්‍යතාව නිසි ලෙස තෘප්තියට පත් කිරීම පවුල් කවය තුළ වැඩිමනත් සතුටක් හා සාර්ථකත්වයක් ලබා දෙයි.
ක්‍රිස්තියානි සභාව තුළ පිළිගනු ලැබීම
ක්‍රිස්තියානි සභාවේ වෙනත් අය කෙරෙහි අවංක උනන්දුවක් වර්ධනය කර ගැනීමෙහි හා ඔවුන්ගේ ක්‍රියා හා වෑයම් වෙනුවෙන් නිදහසේ අගය කිරීම ප්‍රකාශ කිරීමෙහි අප්‍රමාණ වටිනාකමක් ඇත. සභාවේ වෙනත් අයගේ කෞශල්‍යයන් හා වෑයම් ඒත්තු ගැනීමෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පෙරමුණ ගත යුතුය. “දිරිගැන්වීම, තෘප්තිය හා සතුටට දායක වන යමක් වශයෙන්, එඬේර බැහැදැකීම් ගණනාවක් ලබන තෙක්, පිළිගනු ලැබීමේ වදන් කොතරම් වැදගත් වී දැයි මා අවබෝධ කරගෙන සිටියේ නැත” යයි මාග්‍රට් පැවසුවාය. “සාමාන්‍ය පිළිගැන්මක් දෙනු නොලබන විට, කෙනෙකුගෙන් අහිමි කරනු ලබන දෙය මම අවබෝධ කර ගත්තෙමි.” සභාවේ සියල්ලන් කෙරෙහි සැබෑ, ප්‍රේමනීය පෞද්ගලික උනන්දුවක් පෙන්වීම සඳහා මෙය මොනතරම් හොඳ හේතුවක්ද! ඔවුන්ගේ යහපත් වැඩකටයුතු පිළිගන්න. කැමැත්තෙන්ම ප්‍රශංසා කර දිරිගන්වන්න. බොහෝ සභාවන්හි සිය දරුවන් තුළ ආත්මික සාරධර්ම සිතට කාවැද්දීමට දැඩි වෙහෙසක් දරන තනි මව්පිය පවුල් ඇත. එවන් අයට සුවිශේෂිත ප්‍රශංසාවක් හිමි විය යුතුය. අසතුටුදායක පැති පෙන්වනවා වෙනුවට සතුටුදායක පැති ගෙනහැර දක්වන්න. ඔවුන් සඳහා ඇති ඔබගේ සහෝදර ස්නේහය අන්‍යයන්ට දැකීමට සලස්වන්න. ඔබ සැලකිල්ල දක්වන බව ඔවුන්ට දැකීමට සලස්වන්න. මෙයාකාරයෙන්, ප්‍රේමනීය අවේක්ෂකයෝ සභාව ගොඩනැගීම සඳහා වැඩ කරති. (2 කොරින්ති 10:8) යමෙකු උදෙසා ඇදිහිලිවන්තයන් වෙහෙසා වැඩ කරන විට, ඊට ප්‍රතිචාර වශයෙන් මෙම එක් එක් සාමාජිකයෝ ලබා දිය යුතු පිළිගැනීම හා ගෞරවය පිරිනමති.—1 තිමෝති 5:17; හෙබ්‍රෙව් 13:17.
එහෙත් මෙම විෂයට තවත් පැත්තක් නැතහොත් කෝණයක් ඇත. පිළිගනු ලැබීමට තිබෙන ආශාව ඇත්තටම, අතිමහත්ය. යේසුස්වහන්සේගේ කාලයේ එය ආගමික නායකයන් අතර සිත වෙනතකට යොමු කරවන විෂයක් විය. මේ සම්බන්ධයෙන් තමන්ගේ ගෝලයන්ට තිබූ වැරදි දෘෂ්ටිය යේසුස්වහන්සේට හරිගැස්වීමට සිදුවිය. (මාර්ක් 9:33-37; ලූක් 20:46) ක්‍රිස්තියානීන්ට යුක්තිසහගතභාවය හා සමබරතාව තිබිය යුතුය. එය නිදැල්ලේ යෑමට ඉඩහරිනු ලැබුවොත්, පිළිගනු ලැබීමට තිබෙන ආශාව ආත්මික වශයෙන් උපද්‍රව සහිත වන්ට පුළුවන. (යාකොබ් 3:14-16) උදාහරණයක් වශයෙන්, වැඩිමහල්ලෙකු අහංකාර වී තමා පිළිබඳව තමන්ගේම උසස් තක්සේරුව පිළිගන්නා හැටියට අන්‍යයන්ට බලකර සිටින්නේ නම්, එය කොතරම් දුක්ඛදායක වනු ඇද්ද!—රෝම 12:3.
ප්‍රේරිත පාවුල් රෝමයේ සෙසු ක්‍රිස්තියානීන්ට ඥානවන්ත ලෙස අවවාද කළේ, “සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවෙයල්ලා; ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකාපල්ලා” යනුවෙනි. (රෝම 12:10) මෙම වදන් අතිවිශිෂ්ට ලෙස අදාළ වන්නේ, සෑම අවස්ථාවකදීම ක්‍රිස්තියානි සභාවේ හිස හැටියට ක්‍රිස්තුස්වහන්සේව පිළිගත යුතු වූ ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ටය. ක්‍රිස්තුස්වහන්සේගේ අධිකාරයේ දකුණු හස්තයට යටත්වීම දක්වනු ලබන්නේ ශුද්ධාත්මය, බයිබල් ප්‍රතිපත්ති, මෙන්ම “විශ්වාසවූ නුවණ ඇති දාසයා(ගේ)” පාලක මණ්ඩලය මගින් දෙනු ලබන මඟ පෙන්වීම යනාදිය මගින් උන්වහන්සේගේ අධීක්ෂණය සෙවීමෙනි.—මතෙව් 24:45-47; බලන්න එළිදරව් 1:16, 20; 2:1.
මෙසේ, දෙවියන්වහන්සේගේ රැළ රැකබලාගැනීමට දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම සඳහා වැඩිමහල්ලන් හමුවී යාච්ඤා කරන විට, ඔවුන් වෑයම් දරන්නේ ආත්මික වශයෙන් සුවදායක වූ තීරණ ගැනීමටය. ක්‍රිස්තියානි විනීතකම, මෘදුකම හා නිහතමානීකම මෙවන් රැස්වීම්වලදී තමාව උසස් කරගැනීමට, සිය සහෝදරයන් කෙරෙහි බලය පැවැත්වීමට එමෙන්ම තමන්ගේ මතය අයුතු ලෙස ක්‍රියාවට නැගීමට වෑයම් දැරීමෙන් ඕනෑම වැඩිමහල්ලෙකුව වළක්වාලනු ඇත. (මතෙව් 20:25-27; කොලොස්සි 3:12) හැකියාව ඇති සෑම අවස්ථාවකම, වැඩිමහල්ලන්ගේ මණ්ඩලයේ සභාපති සෙසු වැඩිමහල්ලන්ගෙන් කල්තබා අදහස් දක්වන මෙන් ඉල්ලීමක් කිරීම යහපතකි, අනතුරුව න්‍යාය පත්‍රයේ දක්වා ඇති කරුණුවලට සාවධානී හා යාච්ඤාපූර්වක සිතා බැලීමක් කිරීමට කාලය ලබා දෙනු පිණිස ප්‍රමාණවත් කලකට පෙර න්‍යාය පත්‍රයක් ලබා දෙනවා ඇත. වැඩිමහල්ලන්ගේ රැස්වීම් තුළ ඔහු වැඩිමහල්ලන්ගේ අදහස් හැඩගැස්වීමට වෑයම් නොකරනු ඇත, ඒ වෙනුවට සාකච්ඡාවට ලක්ව ඇති විෂයන් සම්බන්ධයෙන් නිදහසේ අදහස් දක්වමින් “කථා කිරීමේ නිදහස” භාවිත කිරීමට ඔවුන්ව දිරිගන්වනවා ඇත. (1 තිමෝති 3:13, NW) ඒ අතර තුර සෙසු වැඩිමහල්ලන් එකිනෙකාගේ අදහස් ප්රකාශයන්ට සාවධානව සවන් දිය යුතු අතර, වසර ගණනාවක ක්‍රිස්තියානි අද්දැකීම් ඇති වැඩිමහල්ලන්ගේ තීක්ෂ්ණ බුද්ධියෙන් සතුටු සිතින් ප්‍රයෝජන ලබා ගත යුතුය.—නික්මයාම 18:21, 22.
කෙසේවෙතත්, යම් තත්ත්වයක් සමඟ කටයුතු කිරීමට නැතහොත් යම් වැදගත් තීරණයක් ගැනීමට අවශ්‍ය කරන බයිබල් ප්‍රතිපත්ති සැපයීමට මණ්ඩලයේ ඕනෑම මැඩිමහල්ලෙක් ක්‍රිස්තුස්වහන්සේ විසින් පාවිච්චි කළ හැකි බව, අවේක්ෂකයෝ වටහාගෙන සිටිති. සභාවේ ආත්මික අවශ්‍යතා සඳහා සැලකිල්ල දැක්වීමෙහිලා එම මණ්ඩලය තුළ යහපත් ස්වභාවයක් පවතිනු ඇත්තේ එක් එක් වැඩිමහල්ලාගේ දායකත්වය සඳහා ඔහුට යුතු පිළිගැන්ම දෙනු ලබන විටය.—ක්‍රියා 15:6-15; පිලිප්පි 2:19, 20.
යෝග්‍ය වූ පිළිගැන්ම දීම හා උපයාගැනීම සඳහා වෑයමක් දරන්න
පිළිගැනීම වර්ධනයක් ලබා දෙයි. එය දිරිගන්වන හා සිත්ගන්නා දෙයකි. “අප සාමාන්‍ය අය යයි අපට හැඟුණත්, අප සතු ආත්ම වටිනාකමේ හැඟීම වෙනුවෙන් අපට දිරිගැන්වීමක් අවශ්‍ය වේ” යයි මේරි පවසන්නීය. අන්‍යයන් දෛනිකව දරන වෑයම් අවංකව පිළිගන්න. එසේ කිරීම ඔවුන් සඳහා ජීවිතය වඩාත් වටිනා මෙන්ම ප්‍රසන්න එකක් කරවනු ඇත. මව්පියෙනි, දරුවෙනි, අවේක්ෂකයෙනි, ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙනි, ඔබ කථා කරන හා ක්‍රියා කරන ආකාරයෙන් ඔබට පිළිගැන්ම උපයාගන්ට පුළුවන. කඩිසර, විනීත හා නිහතමානී පුද්ගලයන් ගැන බයිබලය හිතකර ලෙස කථා කරයි. (හිතෝපදේශ 11:2; 29:23; හෙබ්‍රෙව් 6:1-12) අන්‍යයන්ගේ වටිනාකම කාරුණිකව පිළිගැනීමට ඉගෙනගන්න. ඔබ අන්‍යයන් සමඟ වැඩ කරත්ම ඔවුන්ගේ හැඟීම් සැලකිල්ලට ගන්න. ප්‍රේරිත පේතෘස් මෙම අවවාදය ඉදිරිපත් කළේය: “නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටපල්ලා.” (1 පේතෘස් 3:8) මෙය ඉල්ලා සිටින්නේ අන්‍යයන්ව පිළිගැනීමටය, එසේ මූලික මානව අවශ්‍යතාවක් ඉටු කරනු ලැබේ.