ගිලියඩ් උපාධිධාරීහු ශුභාරංචිය පතළ කිරීමට උනන්දු වෙති
“මෙය නම් අපට කවදා නමුත් සිහින මැවිය හැකි වඩාත්ම පුදුමසහගත දෙයයි.” තමන් ලැබූ මිෂනාරි පුහුණුව ගැන ආන්ඩර්ස් හා ආමාල්යා ග්රෝට්ට හැඟුණේ එලෙසය. වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 97වන පන්තියේ උපාධිධාරීන් 48දෙනාගේ හැඟීම් ඔවුහු වැඩිදුරටත් මෙලෙසද පළ කළහ: “ගිලියඩ් පුහුණුව අප තුළ පෙලඹීමක් ඇති කරමින් අපව සූදානම් කර ඇති බැවින්, අපගේ අලුත් පැවරුම් වෙත යෑමට අප උනන්දුවෙන් සිටිනවා.”
උපාධි ලැබීමේ වැඩසටහන සම්බන්ධයෙන් ශිෂ්‍යයන් අදහස් දක්වත්ම, මෙම ප්‍රීතිය අපට තේරුම්ගන්නට පුළුවන; 1994 සැප්තැම්බර් 4වන දින මෙම උත්සවයට 6,420දෙනෙක් පැමිණ සිටියහ.
“පාලක මණ්ඩලයේ තියඩෝර් ජේරැස් වැඩසටහන ආරම්භ කළේ ‘යෙහෝවඃවහන්සේ විසින් උගන්වනු ලැබීම’ යන මාතෘකාව මත කථා කරමින්” යයි ඩේවිඩ් ඒබල් හා ඔහුගේ භාර්යාව වන, කෙලි පැවසූහ. “මෙහි අපට කවදාවත් අමතක නොවන කරුණ වූයේ, සහෝදර ජේරැස්, ‘යෙහෝවඃවහන්සේ හා සසඳන විට අප අපගේම අල්පතාව ඒත්තු ගත යුතුයි’ යයි පවසමින් අනතුරුව එය යෝබ් 38 හා 39වන පරිච්ඡේදවල ඇති ප්‍රබල පාඩමෙන් විස්තර කිරීමටයි. ගිලියඩ් පාසැලෙන් අප අපගේ බයිබල් දැනුම වැඩි කරගෙන තිබුණත්, සෑම ප්‍රශ්නයක් සඳහාම අප බයිබලයේ පිළිතුරු නොදන්නා බව සහෝදර ජේරැස් විශේෂයෙන් සඳහන් කළා. එනිසා අප දිගටම දේව වචනය පාඩම් කළ යුතුයි.”
ක්‍රිස්ටියාන් හා අන්ජෙල් කෝෆි මෙහිදී කථා කළහ: “අපගේ සිත්ගත්තේ මැක්ස් ලාර්සන් විසින් ‘හොඳ අත්තිවාරමක වටිනාකම කුමක්ද?’ යන තේමාව මත ඉදිරිපත් කළ කථාවයි. භූමිකම්පාවකදී පවා නොසැලී සිටිනු පිණිස ශක්තිමත් පොළොවක් මත ඇති ගැඹුරු අත්තිවාරමක් අවශ්‍ය කරන ගොඩනැගිල්ලකට ඔහු අපව සැසඳීම ගැන අප කැමති වුණා. උනන්දුවෙන් පාඩම් කිරීමෙන්, අපට යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු සම්බන්ධතාවක් ගොඩනැගිය හැකි අතර දුෂ්කර කාලවල පවා ස්ථිරව සිටිය හැකි ලෙසින් ගැඹුරු දැනුමක් මත අපගේ ඇදහිල්ල පදනම් කරගන්ට පුළුවන්.”
“එම පාසැලේ සභාපති වන, මිල්ටන් හෙන්ෂල් විසින් ‘අස්වැන්න කැපීමට කෙත් පැහී තිබේ’ යන මාතෘකාව යටතේ ඉදිරිපත් කරන ලද කථාව, දිගු කලක් මතකයේ රැඳී තිබෙනවා ඇත” කියා ගැරි හා ලින් එල්ෆර්ස් පැවසූහ. “එහි ප්‍රධාන ශුද්ධ ලියවිලි පාඨය වන, යොහන් 4:35-38, මීට කලින් සිටි සේවකයන් විසින් දැනටමත් වපුරා ඇති කෙතකට ඇතුල් වීමේ වරප්‍රසාදයක් අපට ලැබී ඇති බව අවධාරණය කළා. මෙය අපව පොලඹවනු ඇත්තේ හදිසිතාවක හැඟීමකින් වැඩ කරන්ටයි.” මේ සමඟ එකඟත්වය පළ කරමින්, යාන් හා සිර්පා වාටෝලා මෙසේ පැවසූහ: “බෝල්ටික් රාජ්‍යයන්හි අලුත්ම වාර්තා ලබා දීමෙන් සහෝදර හෙන්ෂල් අනාගතයේ කළ යුතු අස්වැන්න නෙලීම සම්බන්ධයෙන් අපගේ බලාපොරොත්තු වැඩි කළා. එස්ටෝනියාවේ වර්ධනය සියයට 51කි, ලැට්වියාහි සියයට 106කි, එමෙන්ම ලිතුවේනියාවේ සියයට 51කි. කොතරම් චමත්කාරජනකද! එහි සිටින සහෝදරයන් ස්වාමියාට කන්නලව් කරමින් සිටින්නේ තවත් සේවකයන් එවන ලෙසටයි. මෙය ඇසීමට අප විශේෂාකාරයෙන් සතුටු වුණේ, අපට එස්ටෝනියාවේ සේවය කිරීම පවරා තිබූ නිසයි!”
“ජොඑල් ඇඩම්ස් ඊළඟට ‘යෙහෝවඃවහන්සේ තුළ දැඩි විශ්වාසය තබන්න’ යන මාතෘකාව මත කථා කළා” යයි කෙවින් හා එවලින් කෝර්ටිනා සිහිපත් කළහ. “ඔහු අපට අවවාද කළේ ඇතැම් අවස්ථාවන්හි අප යෙහෝවඃවහන්සේ මත විශ්වාස කළ හැකි බව හා ඇතැම් අවස්ථාවන්හි අපට අපගේම කල්පනාවන් මත විශ්වාස කළ හැකි බව අප කිසිවිටෙක කල්පනා නොකළ යුතු බවයි. අපගේ පැවරුම තුළ අපට ශරීර සෞඛ්‍යය, ආහාර, භාෂාව, සිරිත් විරිත් යනාදී බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා ඇත. මේ සියල්ලක්ම අපෙන් ඉල්ලා සිටිනු ඇත්තේ අප යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමටය.”
ඉන් අනතුරුව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ගෙරිට් ලර්ෂ් කථා කළේ “යෙහෝවඃවහන්සේගේ දයානුකම්පාව පිළිබිඹු කරමින් සිටින්න” යන මාතෘකාව මතයි. ඇලන් හා ඈන් මරී ගොකාවි මෙසේ පැවසූහ: “අපගේ සෙසු මිෂනාරිවරුන්ටත්, අප හවුලේ ශුභාරංචිය බෙදාගන්නා අයටත් දයානුකම්පාව දැක්වීම ක්‍රිස්තියානි මේරුභාවයේ ලකුණක් වන බව ඔහු ගෙනහැර දැක්වීය. විදේශික පැවරුම්වල නියැලීම පරිත්‍යාග කිරීමට හේතුවන මුත්, දයානුකම්පාව නොමැති නම්, එවිට අපගේ පරිත්‍යාගයන්ට එතරම් වටිනාකමක් තිබෙන්ට යන්නේ නැහැ.” (මතෙව් 9:13) පීටර් හා ෆ්ලර් හප්ස්ටන් මෙයද ඊට එක් කළහ: “සහෝදර ලර්ෂ් කියා සිටියේ, අපගේ සහෝදර සහෝදරියන්ගේ වැරදි ලොකු කරනු ලබනවා වෙනුවට ඒවා අඩු කරනු පිණිස දූරදර්ශකයක අනිත් කොණෙන් ඔවුන් දෙස බලමින්, අප දයානුකම්පිත විය යුතු බවයි.”
“අපගේ ගිලියඩ් උපදේශකයන්ගෙන් කෙනෙක් වන, ජැක් රෙඩ්ෆර්ඩ්, ‘ඔබට තරවටුවක් පිළිගත හැකිද?’ යන තේමාව මත ඉන් අනතුරුව කථා කළා” යනුවෙන් මිකී හා ෂෙරි මින්ස්කි සිහිපත් කළෝය. “උඩඟුකම තරවටුව පිළිගැනීම දුෂ්කර කරවන බවත්, උපදෙස් ලබන විට අප පමණ ඉක්මවා සංවේදනීය වන්නේ නම්, එහි ප්‍රයෝජන අපට අහිමි විය හැකි බවත් ඔහු ගෙනහැර දැක්වූවා. විලාප ගී 3:27-31 මත පදනම්ව තරවටුව පිළිගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා කීපයක් ඔහු ඉන් අනතුරුව ඉදිරිපත් කළා.” චාල්ස් හා ජෝන් හෙල්ඩ් ඊට මෙයද එකතු කළහ: “බොහෝවිට අපට අපගේ වැරදි පෙනෙන්නේ නැහැ; එනිසා අප තරවටුව සැලකිය යුත්තේ නොපෙනෙන දේවලට අපගේ නෙත් විවෘත කරන ක්‍රමයක් හැටියටයි. යෙහෝවඃවහන්සේගෙන් ලැබෙන තරවටුව හෝ උපදෙස් අප සඳහා ඇති උන්වහන්සේගේ ප්‍රේමයේ සාක්ෂියකි.”
“තවත් උපදේශකයෙක් වන, යූලිසීස් ග්ලාස් කථා කළේ ‘ජීවිතයට මඟ පෙන්වන ප්‍රායෝගික ප්‍රඥාව අත්කර ගන්න’ යන තේමාව මතයි. ඔහු, ‘ඔබ ඉගෙනගෙන ඇති දෙයින් ඔබ කරන්ට යන්නේ කුමක්ද?’ ” යනුවෙන් විමසුවේ යයි කෙනත් හා ලිස්බෙට් ආර්ඩ්ෂෙල් පැවසූහ. “ඉන් අනතුරුව ඔහු හිතෝපදේශ 30:24-26 මත පදනම් බෙන්හාවෝ පිළිබඳ උපමාවත්, යෙහෝවඃවහන්සේ ජීවත්වීම සඳහා ඔහුව සම්පූර්ණයෙන්ම සන්නාහ සන්නද්ධ කර ඇති ආකාරයත් ඉදිරිපත් කළා. අනෙක් අතට, අප, සහජයෙන්ම ඥානවන්ත නොවන බැවින්, ප්‍රඥාව අත්කර ගැනීමට වෙර දැරිය යුතුයි. එසේ කිරීමට අවශ්‍ය කරන සියල්ලක් සහිතව යෙහෝවඃවහන්සේ අපව සන්නාහ සන්නද්ධ කර ඇත. ප්‍රේමයෙන් අප යෙහෝවඃවහන්සේ මෙන්ම එකිනෙකා වෙතට සමීප වන තරමට, අප බොහෝ දෑ ඉටු කරගන්නවා ඇත.”
මූලික ඇමතුම
“පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන, සහෝදර කාර්ල් එෆ්. ක්ලයින්, ‘මැණික් අතර මැණිකක්’ ” නම් සිය කථාව තුළ උණුසුම් ලෙස 19වන ගීතාවලිය අප සමඟ සලකා බැලුවා” යයි ජේ හා ග්වෙන් ආබ්රාසින්ස්කාස් පැවසූහ. “යෙහෝවඃවහන්සේ සඳහා දාවිත්ගේ ගැඹුරු අගය කිරීමත් දෙවියන්වහන්සේගේ වචනය සඳහා ඔහු තුළ තිබූ ආදරයත් ඔහු ගෙනහැර දැක්වූවා.” “සහෝදර ක්ලයින් එම ගීතිකාව කොටස් තුනකට බෙදා වෙන් කළා” යයි කීත් හා ඩානා හෝර්න්බැක් පැවසූහ. “පළමුවන කොටසේ (ගීතා 19:1-6 වගන්ති) දෙවියන්වහන්සේගේ මැවිලි සඳහා දාවිත්ගේ අගය පෙන්වයි, දෙවන කොටස (ගීතා 19:7-10 වගන්ති) තුළ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සඳහා ඔහුගේ අගය පළ කළ අතර, තුන්වන කොටස (ගීතා 19:11-14 වගන්ති) අපට සිහිපත් කරන්නේ යෙහෝවඃවහන්සේ සමඟ දාවිත්ට තිබුණාක් මෙන් හොඳ සම්බන්ධතාවක් පවත්වාගැනීමට වුවමනා විය යුතු බවයි.”
“නරක දෙයින් අප වැළකී සිටින්ට නම් යෙහෝවඃවහන්සේ කෙරෙහි බිය වැදගත් බවට වූ කරුණ ගැන අප සතුටු වුණා. මෙය අපට මඟ පෙන්වන්නේ උන්වහන්සේගේ ඇස් හමුවේ නිර්මලව තිබෙන දෙය කරන්නටයි” යනුවෙන් ඩේවිඩ් හා රේලීන් ලෝං පැවසූහ. ෆ්රෑන්ක් හා විබක මැසන් ඊට එකඟ වූහ. “යෙහෝවඃවහන්සේගේ සිහිගැන්වීම්, ව්‍යවස්ථාවන් හා ආඥා කොතරම් ප්‍රයෝජනවත්ද යන්න පිළිබඳ අප ගිලියඩ්හි ඉගෙනගත් දේ සහෝදර ක්ලයින්ගේ අදහස් තුළ මනාව සංක්ෂිප්ත කොට දක්වා තිබෙනවා” යයි ඔවුහු පැවසූහ. “අනාගතයේදී වඩාත් අධිෂ්ඨානපූර්වකව දේව වචනයට ඇලී සිටින්ටත් එය අගනා මැණික් පෙට්ටගමක් මෙන් සැලකීමටත් අපට එය සලස්වා ඇත.”
මූලික ඇමතුමෙන් පසු, ශිෂ්‍යයන් සිය උපාධි ලැබූ අතර ඔවුන්ගේ විදේශ පැවරුම් නිවේදනය කරනු ලැබීය. ආහාර පානාදිය සඳහා මඳ විරාමයකින් පසු, දහවල් සැසිවාරය සඳහා සියල්ලෝම එක්රැස් වූහ. සංක්ෂිප්ත කොට පවත්වන ලද මුරටැඹ පාඩමක් තුළ ගෙනහැර දක්වන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමෙහි උපාධිධරයෝ සහභාගි වූහ.
“ඉන් අනතුරුව ‘පුහුණු කරන ලද්දේ පොළොව මුළුල්ලේ රාජ්‍යයේ ප්‍රචාරකයන් වීමටය’ යන ශිෂ්‍ය වැඩසටහන පැමිණියේ” යයි බොබ් හා ෂැනන් ලකටොස් සිහිපත් කළහ. “එම වැඩසටහනේ මුල් කොටස සම්බන්ධ වූයේ මාස පහකින් යුත් අපගේ පාඨමාලාව තුළ ක්ෂේත්‍ර සේවයේ ශිෂ්‍යයන්ගේ අද්දැකීම් සමඟයි. එය මූලික වශයෙන් යොමු දැක්වූයේ අපගේ දේව සේවයේ දක්ෂ ලෙස ප්‍රශ්න පාවිච්චි කිරීම වෙතටයි. සම්මුඛ සාකච්ඡා අඩංගු කොටසක් තුළ මිෂනාරි ජීවිතයේ අභියෝගයන් හා වෙනස් වෙමින් පවතින තත්ත්වයන්ට මුහුණ දිය හැකි ඒකාන්ත ක්‍රම පෙන්වනු ලැබීය. කොස්ටා රීකා, ඉන්දියාව හා මලාවි පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශනය යෙහෝවඃවහන්සේගේ ලෝක ව්‍යාප්ත සංවිධානය ගැන අපට කෙටි දර්ශනයක් ලබා දුණි.”
“ඒත් සමඟ ඉදිරිපත් කරන ලද, “ලෞකික නොවී දිව්‍යාණ්ඩුමය වන්න” නම් නාටකය ලෝකයේ, නිදහස්-මනසක් ඇති ඥාතීන්ගෙන් ලැබිය හැකි නරක බලපෑම් විස්තර කළේය” කියා ජෙසි හා මිෂෙල් ඩන්කන් සඳහන් කළෝය. “ක්‍රිස්තියානීන් දිව්‍යාණ්ඩු මාර්ගෝපදේශ හා මඟ පෙන්වීම් අවශ්‍ය හා ප්‍රයෝජනවත් බව පිළිගත යුතු යයි එය පෙන්වා දුණි” යනුවෙන් වෙන්සල් හා කෙලි කෝලා එකතු කළහ.
අවසන් ගීතිකාවක් හා යාච්ඤාවක් එම සිත්ගන්නා වැඩසටහන නිමාවකට පත් කළේය. රටවල් 18ක විදේශ පැවරුම් සඳහා ආශාවෙන් උපාධිධරයන් පිටත්ව යත්ම, ටොමි හා ජායෙල් කවුකො විසින් දක්වන ලද වෙන්ව යෑමේ මෙම අදහස් ප්‍රකාශයෙන් ඔවුන්ගේ සිතුවිලි මනාව ප්‍රකාශ වේ: “අපගේ පැවරුම වෙතට ගොස් අප ඉගෙනගෙන ඇති දෙය ක්‍රියාවට නගන්ට අප මහත් උනන්දුවෙන් සිටිනවා. අපට මහත් දේ ලැබී තිබෙනවා—දැන් දීමට අපගේ වාරයයි.”
[26වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 97වන උපාධි ලැබීමේ පන්තිය
පහත ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසු දෙසට අංකනය කර ඇති අතර ඒ සෑම පේළියකම නම් සඳහන්ව ඇත්තේ වමේ සිට දකුණු දෙසටය.
(1) හොං, ජේ.; හොං, ඩී.; ග්රෝට්, ඒ.; කෝර්ටිනා, ඊ.; ලකටොස්, එස්.; හෝර්න්බැක්, ඩී.; ආසෙවෙඩො, එල්.; කෝෆි, ඒ. (2) එල්ෆර්ස්, එල්.; ගොකාවි, ඒ.; ආර්ඩ්ෂෙල්, එල්.; ආබ්රාසින්ස්කාස්, ජී.; නොට්, කේ.; ලයිසර්, ටී.; ඒබල්, කේ.; ඒබල්, ඩී. (3) ඩන්කන්, එම්.; ගොකාවි, ඒ.; හෙල්ඩ්, ජේ.; හප්ස්ටන්, එෆ්.; ලකටොස්, බී.; ලෝං, ආර්.; මින්ස්කි, එස්.; ආසෙවෙඩො, ඊ. (4) ආර්ඩ්ෂෙල්, කේ.; කවුකෝ, ජේ.; වාටෝලා, එස්.; කෝර්ටිනා, කේ.; කාර්සන්, එන්.; මින්ස්කි, එම්.; ලයිසර්, ජී.; කෝලා, කේ. (5) ඩන්කන්, ජේ.; ආබ්රාසින්ස්කාස්, ජේ.; වාටෝලා, ජේ.; මැසන්, එෆ්.; මැසන්, වී.; ලෝං, ඩී.; කාර්සන්, සී.; එල්ෆර්ස්, ජී. (6) කවුකෝ, ටී.; හප්ස්ටන්, පී.; හෙල්ඩ්, සී.; ග්රෝට්, ඒ.; හෝර්න්බැක්, කේ.; කෝලා, ඩබ්.; නොට්, ඩී.; කෝෆි, සී.