ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 2/1 4-7 පි.
  • නපුරේ නියෝජිතයෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නපුරේ නියෝජිතයෝ
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පළමු කැරලිකරු
  • වෙනත් දේව දූතයෝ කැරලි ගසති
  • මනුෂ්‍ය වර්ගයාගේ සතුරන්
  • ඔවුන්ට ඉඩ දෙන්නට යන්නේ තවත් කොතරම් දීර්ඝ කාලයකටද?
  • ආත්ම විෂයෙහි පාලකයෝ
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපට නොපෙනෙන බලවත් පිරිසක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 2/1 4-7 පි.

නපුරේ නියෝජිතයෝ

මනුෂ්‍යයාගේ කාරණා කටයුතු කෙරෙහි භූතයන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බයිබලයේ පහදා දීම, මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන අතර, ඒවාට පිළිතුරු දීමට වෙනත් අයුරකින් නොහැක. බෝල්කන් ප්‍රදේශයේ දැන් පැවැත්වෙන යුද්ධය සම්බන්ධයෙන් ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යුන් පුවත්පතේ මතු ප්‍රකාශය, උදාහරණයක් හැටියට, සැලකිල්ලට ගන්න: “යුරෝපීය ප්‍රජාවට අයත් විමර්ශකයන් කණ්ඩායමක් නිගමනය කළේ, . . . බිය ගැන්වීමටත්, සිත අධෛර්යවත් කර තමන්ගේ නිවෙස්වලින් ඔවුන් පලවා හැරීමටත් සැලසුම් කරන ලද ක්‍රමවත් භීෂණ ප්‍රතිපත්තියක කොටසක් හැටියට . . . මුස්ලිම් කාන්තාවන් හා ගැහැනු ළමුන් 20,000ක් පමණ [යුද්ධ භටයන් විසින්] දූෂණය කරන ලද බවයි.”

ටයිම් සඟරාවේ පළවූ රචනාවක් පැහැදිලි කර දීමට මහත් ආයාසයක් දැරීය: “ඇතැම් අවස්ථාවන්හි, යුද්ධයේ නිරතව සිටින යෞවනයන්, තමන්ගේ වැඩිහිටි අයව හා තමන්ගේ නිලධාරින්ව සතුටු කර යම් ආකාරයක පිය-පුතු අනුමැතියක් දිනා ගැනීමට ස්ත්‍රී දූෂණයක් සිදුකරන්නට පුළුවන. එම ස්ත්‍රී දූෂණය, තමන් අයත් ඒකකයේ දරුණුබවට තම බැඳියාව ඔප්පු කිරීමකි. අතිශයින් අප්‍රසන්න වූ දේවල් කිරීමට කැමැත්තක් දක්වන යෞවනයෙක් එම කණ්ඩායමේ නොබිඳෙන අරමුණ සමඟ තමාව සම්බන්ධ කර ගනු පිණිස තමාගේ පෞද්ගලික හෘදය සාක්ෂිය යටත් කරගෙන ඇත. මිනිසෙක් තමාගේ පක්ෂපාතකම තහවුරු කරන්නේ කෲරකම් සිදුකිරීමෙනි.”

එහෙත් “කණ්ඩායමේ නොබිඳෙන අරමුණ” එහි සාමාජිකයන්ගේ පෞද්ගලික හෘදය සාක්ෂියට වඩා නීච තත්ත්වයක පවතින්නේ මන්ද? පුද්ගලයෙක් හැටියට, සෑම කෙනෙකුම වාගේ කැමති වන්නේ තමාගේ අසල්වැසියා සමඟ සාමයෙන් ජීවත් වන්නටයි. එසේ නම්, යුද්ධ පවතින විට, ස්ත්‍රී දූෂණය, වධ කිරීම, මෙන්ම එකිනෙකාව ඝාතනය මිනිසුන් විසින් කරනු ලබන්නේ මන්ද? මූලික හේතුවක් වනුයේ භූතමය බලවේගයන් ක්‍රියාත්මකව තිබීමයි.

භූතයන්ගේ කාර්යභාරය තේරුම් ගැනීම, ඇතැමෙක් විසින් “දේවධර්ම ශාස්ත්‍රඥයාගේ ගැටලුව” යනුවෙන් හඳුන්වනු ලබන දෙයටද විසඳුමක් ලබා දෙයි. මෙම ගැටලුව නම් ප්‍රස්තුතයන් තුනක් එකඟත්වයකට ගෙනෙන්නේ කෙසේද යන්නයි, එනම් (1) දෙවියන්වහන්සේ සර්ව බලධාරී වීම; (2) දෙවියන්වහන්සේ ප්‍රේමනීය හා යහපත් වීම; එමෙන්ම (3) භයානක දේවල් සිදුවෙමින් පැවතීම යනාදිය වේ. ඇතැමෙකුගේ අදහස වන්නේ මෙම ප්‍රස්තුතයන්ගෙන් ඕනෑම දෙකක් ගළපා ගැනීමට හැකියාවක් තිබුණත්, ඔබට ඒ තුනම ගළපා ගත නොහැකි බවය. මෙයට දේව වචනයම පිළිතුර සපයන අතර, එම පිළිතුරට නොදුටු ආත්මයන්, එනම් දුෂ්ටකමේ නියෝජිතයෝ සම්බන්ධ වී සිටින්නාහ.

පළමු කැරලිකරු

දෙවියන්වහන්සේම ආත්මයක් බව බයිබලය අපට පවසයි. (යොහන් 4:24) කල්යාමේදී උන්වහන්සේ වෙනත් ආත්ම ජීවීන්, එනම් දේව දූත පුත්‍රයන් මිලියන සංඛ්‍යාවකගේ මැවුම්කරුවාණන් වූ සේක. දර්ශනයක් තුළ, දෙවියන්වහන්සේගේ සේවකයා වූ දානියෙල් දේව දූතයන් මිලියන සිය දෙනෙක් දුටුවේය. මෙසේ යෙහෝවඃවහන්සේ මැවූ සියලුම ආත්ම පුද්ගලයන් සිටියේ ධර්මිෂ්ඨව හා උන්වහන්සේගේ කැමැත්තට එකඟවය.—දානියෙල් 7:10; හෙබ්‍රෙව් 1:7.

පසුව, දෙවියන්වහන්සේ “පොළොව පිහිටෙවූ කල,” ස්වකීය සියලු දේව පුත්‍රයෝ “එක්ව ගීතිකාකරමින් . . . ප්‍රීති ඝෝෂා” පවත්වන්නට පටන් ගත්හ. (යෝබ් 38:4-7) එහෙත් ඔවුන්ගෙන් එක්කෙනෙක් මැවුම්කරුවාණන්ට ලැබීමට නියමිත නමස්කාරය තමා සතු කර ගැනීමට ආශාවක් වඩවා ගත්තේය. දෙවියන්වහන්සේට එරෙහිව කැරලි ගැසීමෙන්, මෙම දේව දූතයා තමාව සාතන් කෙනෙක් (අර්ථය “විරුද්ධකාරයෙක්”) හා යක්ෂයෙක් (අර්ථය “අපහාස කරන්නෙක්”) කර ගත්තේය.—එසකියෙල් 28:13-15 සසඳන්න.

පළමු ස්ත්‍රිය වූ, ඒවට කථා කිරීමට සර්පයෙක් පාවිච්චි කරමින්, උයනේ එක්තරා ගසකින් ඵල නොකන්නට දුන් දෙවියන්වහන්සේගේ ඍජු ආඥාවට අකීකරු වන්නට සාතන් ඇයව කැමති කරවා ගත්තේය. ඉන්පසු, ඇයගේ ස්වාමිපුරුෂයා ඇය හා එක් විය. මෙසේ, එම පළමු මනුෂ්‍ය යුවළද යෙහෝවඃවහන්සේට එරෙහිව කැරලි ගැසීමෙහිලා එම දේව දූතයා සමඟ එක් වූහ.—උත්පත්ති 2:17; 3:1-6.

ඒදන්හි සිද්ධීන් කීකරුකම පිළිබඳ සරල පාඩමක් යයි පෙනෙන්නට තිබුණද, එහිදී සාතන් විසින් වැදගත් සදාචාරමය ප්‍රශ්න දෙකක් නංවනු ලැබීය. පළමුව, සාතන් වාද කර සිටියේ යෙහෝවඃවහන්සේගේ මැවිලි කෙරෙහි උන්වහන්සේ පවත්වන පාලනය ධර්මිෂ්ඨ ලෙසත්, ඔවුන්ගේ වැඩි ශුභ සාධනය පිණිසත් ක්‍රියාත්මක කරනු ලැබුවේද නැද්ද යන වගයි. ඇතැම් විට මනුෂ්‍යයන්ට වඩාත් හොඳින් තමන්ව පාලනය කර ගැනීමට හැකියාවක් තිබෙන්නටද පුළුවන. දෙවනුව, සාතන් ප්‍රශ්න කළේ කීකරුකම ද්‍රව්‍යමය ලාභ ප්‍රයෝජන කිසිත් අත්කර නොදෙන බව පෙනෙන්නට තිබෙන විට බුද්ධිමත් යම් මැවිල්ලක් දෙවියන්වහන්සේට විශ්වාසනීයව හා පක්ෂපාතීව සිටිනු ඇද්ද යන වගයි.a

යෙහෝවඃවහන්සේගේ ගුණාංග පිළිබඳ දැනුමක් සමඟින්, ඒදන්හි නගනු ලැබූ ප්‍රශ්නය පිළිබඳ පැහැදිලි අවබෝධයක්, ‘දේවධර්ම ශාස්ත්‍රඥයාගේ ගැටලුවට’ විසඳුම තේරුම් ගැනීමට උපකාරවත්වේ, එනම් දෙවියන්වහන්සේගේ ගුණාංග වන බලය හා ප්‍රේමය සමඟ නපුර පැවතිය හැකිද යන කාරණය ගළපා ගැනීමට අපට උපකාරවත් වේ. යෙහෝවඃවහන්සේ අපරිමිත බලයක් දරන බවත්, ප්‍රේමයේ පුද්ගලාරෝපණය වන බවත් සැබෑවක් සේම, උන්වහන්සේ ප්‍රඥාවන්ත හා යුක්තිසහගතද වන සේක. උන්වහන්සේ මේ ගුණාංග හතර පූර්ණ සමතුලනයකින් යුක්තව ක්‍රියාවට නංවන සේක. මෙසේ, වහාම එම කැරලිකරුවන් තිදෙනාව විනාශ කර දැමීමට උන්වහන්සේ ස්වකීය නොවැළැක්විය හැකි බලය පාවිච්චි කළේ නැත. එය යුක්තිසහගත වන්නට ඇතිමුත්, අවශ්‍යයෙන්ම ප්‍රඥාවන්ත හෝ ප්‍රේමනීය යමක් වනවා නොවේ. එපමණක්ද නොව, ප්‍රේමනීය වූ තෝරා ගැන්මක් වන්නට තිබුණේ යයි ඇතැමෙකුට හැඟෙන්නට පුළුවන් ක්‍රියාමාර්ගයක්, එනම් නිකම්ම සමාවදී එය අමතක කිරීමද උන්වහන්සේ නොකළ සේක. එසේ කරන්නට යෙදුණේ නම්, එය ප්‍රඥාවන්ත හෝ යුක්තිසහගත හෝ නොවනු ඇත.

සාතන් ඉස්මතු කළ ප්‍රශ්නය සමථයකට පත් කරන්නට කාලය අවශ්‍ය විය. දෙවියන්වහන්සේගෙන් නිදහස් ව තමන්ව නිසි ලෙස පාලනය කර ගැනීමට මනුෂ්‍යයන්ට හැකි දැයි සනාථ කිරීමට කාලය ගෙවී යා යුතු විය. කැරලිකරුවන් තිදෙනාට දිගටම ජීවත් වන්නට අවසර දීමෙන්, දුෂ්කර තත්ත්වයන් යටතේ දෙවියන්වහන්සේට විශ්වාසනීයව සේවය කිරීම මගින්, සාතන්ගේ චෝදනාව බොරු බව ඔප්පු කිරීමෙහි හවුල් වීමට යෙහෝවඃවහන්සේ මැවිලිවලටද අවස්ථාව දුන් සේක.b

ඔවුන් තහනම් ගෙඩිය කෑවේ නම්, ආදම් සහ ඒව නසිනු ඇතැයි යෙහෝවඃවහන්සේ ඔවුන්ට පැහැදිලිව කියා තිබුණි. තවද ඒව නොමැරෙන බව සාතන් ඇයට සහතික කර තිබුණත්, ඔවුහු මිය ගියහ. සාතන් පවා සිටින්නේ මරණීය දණ්ඩනය යටතේය; මේ අතර කාලය තුළ ඔහු මනුෂ්‍ය වර්ගයාව දිගටම නොමග යවයි. ඇත්ත වශයෙන්ම, බයිබලය පවසන්නේ “මුළු ලෝකයා නපුරා තුළ [නපුරාගේ බලය තුළ පවතින, NW] බව”ය.—1 යොහන් 5:19; උත්පත්ති 2:16, 17; 3:4; 5:5.

වෙනත් දේව දූතයෝ කැරලි ගසති

ඒදන්හි සිද්ධියෙන් වැඩි කලක් ගතවන්නට මත්තෙන්, වෙනත් දේව දූතයන්ද යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට එරෙහි වූ කැරැල්ලට එක් වූහ. “තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවා ගත්තෝය” යයි බයිබලය පවසයි. වෙනත් වචනවලින් කියතොත්, මෙම දේව දූතයෝ “[ස්වර්ගයේ] ස්වකීය [නියම, NW] වාසස්ථානය” අත්හැර පොළොවට පැමිණ, මනුෂ්‍ය වෙස්ගෙන, ස්ත්‍රීන් සමඟ කාමුක වින්දනයන් ලැබූහ.—උත්පත්ති 6:1, 2; යූද් 6.

උත්පත්ති 6:4හි එම වාර්තාව දිගටම මෙසේ පවසයි: “ඒ දවස්හි යෝධයෝ [නෙඵිලීම්, පාද සටහන] පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල [සමඟ සම්බන්ධකම් පැවැත්වූ කල, NW] ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා වැදූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත් වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.” ස්ත්‍රීන්ට ඉපදුණාවූද, දේව දූතයන්ට දාව බිහිවූනාවූද මෙම දෙමුහුන් පුත්‍රයෝ අසාමාන්‍ය ලෙස ශක්තිමත්, “බලසම්පන්න” අය වූහ. ඔවුහු ප්‍රචණ්ඩ මනුෂ්‍යයන්, නැතහොත් නෙඵිලීම්වරුන් වූහ. මෙය “අන්‍යයන්ව බිම වැටීමට සලස්වන අය” යන්න අදහස් කරන හෙබ්‍රෙව් වදනකි.

මෙම සිද්ධීන් යථා කාලයේදී පුරාතන ශිෂ්ටාචාරවල ජන කථාවලට ඇතුල් වීම, සැලකිය යුතු යමක් වන්නේය. උදාහරණයක් හැටියට, “රාගයෙන් මත්වීම නිසා කිසිඳු කන්‍යාවකට තම පෙම්වතා සමඟ [සිටීමට ඉඩ නොදුන්]” බලසම්පන්න, ප්‍රචණ්ඩ උප දෙවි කෙනෙක් වන ගිල්ගාමෙෂ්ගේ සුපිරි මිනිස් වික්‍රමයන්, අවුරුදු 4,000ක් පැරණි බබිලෝනියානු වීර කාව්‍යයක් විස්තර කරයි. සුපිරි මිනිසා හර්කියුලිස් (නැතහොත් හෙරක්ලීස්) ග්‍රීක් ජන කථාවලින් පැවත එන තවත් උදාහරණයකි. ඇල්ක්මිනි නම් මනුෂ්‍ය දුවට ඉපදුණා වූද, සෙවුස් දෙවියන්ට දාව උපත ලැබුවාවූද, හර්කියුලිස්, ප්‍රචණ්ඩ වික්‍රම මාලාවක් ඉටු කරන්නට පිටත්ව ගියේ වියරුවට පත් අවස්ථාවක සිය භාර්යාව හා දරුවන් ඝාතනය කිරීමෙන් පසුවය. පරම්පරාවක් පාසා පරම්පරාවක් කියනු ලැබීමත් සමඟ එවන් කථා බොහෝ සේ විරූපි කරනු ලැබුවත්, ඒවා නෙඵිලීම්වරුන් ගැනත් ඔවුන්ගේ කැරලිකාර දේව දූත පියවරුන් ගැනත් බයිබලය පවසන දෙයට නෑකම් කියයි.

දුෂ්ට දේව දූතයන් හා සිය සුපිරි මිනිස් පුත්‍රයන්ගේ බලපෑම නිසා ප්‍රචණ්ඩකමෙන් පොළොව කොතරම් පිරී තිබුණේදයත්, මහත් ජල ගැල්මකින් ලෝකය විනාශ කරන්නට යෙහෝවඃවහන්සේ තීරණය කරන්නට එය හේතු විය. එහිදී අභක්තික සියලු මනුෂ්‍යයන් සමඟ නෙඵිලීම්වරුද විනාශ වූහ; බේරී ජීවත්වූ එකම මනුෂ්‍ය පිරිස වූයේ නෝවා සහ ඔහුගේ පවුලේ අයයි.—උත්පත්ති 6:11; 7:23.

කෙසේ වෙතත්, දුෂ්ට දේව දූතයන් මරණයට පත් වූයේ නැත. ඒ වෙනුවට, ඔවුහු තමන්ගේ මනුෂ්‍ය ශරීර අත්හැර ආත්ම විෂයට හැරී ගියහ. ඔවුන්ගේ අකීකරුකම නිසා, ධර්මිෂ්ඨ දේව දූතයන් අයත් ව සිටින දෙවියන්වහන්සේගේ පවුලට එක් වන්නට ඔවුන්ට නැවතත් අවසර දෙනු ලැබුවේ නැත; තවද නෝවාගේ දවසේ ඔවුන් කළාක් මෙන් මනුෂ්‍ය ශරීර ආරූඪ කර ගැනීමට ඔවුන්ට නැවතත් අවසර දෙනු ලැබුවේ නැත. එහෙත්, “භූතයන්ගේ පාලකයා” වන සාතන් නම් යක්ෂයාගේ බලය යටතේ, ඔවුහු දිගට ම මනුෂ්‍ය වර්ගයාගේ කාරණා කෙරෙහි විනාශකාරී බලපෑමක් ක්‍රියාත්මක කරන්නට වූහ.—මතෙව් 9:34, NW; 2 පේතෘස් 2:4; යූද් 6.

මනුෂ්‍ය වර්ගයාගේ සතුරන්

සාතන් හා යක්ෂයන් නිතර කටයුතු කර ඇත්තේ මිනීමරු හා කෲර ආකාරයකට ය. සාතන් විවිධ මාර්ගවලින්, යෝබ්ගේ සත්ත්ව සම්පත විනාශ කළ අතර, ඔහුගේ සේවකයන් බොහෝ දෙනෙක් මරා දැමීය. ඉන් අනතුරුව, යෝබ්ගේ දරුවන් දස දෙනා සිටි නිවස “තද හුළඟක්” මගින් කැඩී වැටෙන්නට සැලැස්වීමෙන් ඔහු ඔවුන් ව මරා දැමුවේය. ඊටත් පසුව, සාතන් යෝබ්ගේ “පතුලේ පටන් ඔහුගේ හිස මුදුන දක්වා නපුරු ගඩු” හටගැන්වීමෙන් ඔහුට පහර දුන්නේය.—යෝබ් 1:7-19; 2:3, 7.

භූතයන්ද විදහා පෙන්වන්නේ සමානාකාර නපුරු චරිත ස්වභාවයකි. යේසුස්වහන්සේ ජීවත්ව සිටි කාලයේ ඔවුහු පුද්ගලයන්ගෙන් කථා කිරීමේ හා පෙනීමේ හැකියාව ඉවත් කළහ. මනුෂ්‍යයෙකුට ගල්වලින් තමාටම පහර ගසා ගැනීමට ඔවුහු සැලැස්වූහ. ඔවුහු ළමයෙකුව බිම හෙළා, “ඔහුට බොහෝසේ පීඩා” කළෝය.—ලූක් 9:42; මතෙව් 9:32, 33; 12:22; මාර්ක් 5:5.

සාතන් හා භූතයන් තවදුරටත් එලෙසම නපුරුව සිටින බව ලොව දසදෙසින් ලැබෙන වාර්තාවලින් දැකිය හැක. ඇතැමෙකුට ඔවුහු අසනීපවලින් පහර දෙති. වෙනත් අයට ඔවුන් පීඩා පමුණුවන්නේ, ඔවුන් නිදි මැරීමට සැලැස්වීමෙන්, නැතහොත් භයංකර සිහින පෙනීමට සැලැස්වීමෙන්, එසේත් නැතහොත් ලිංගික වශයෙන් ඔවුන්ට අඩන්තේට්ටම් කිරීමෙනි. තවත් අයව ඔවුන් සිහි විකල් තත්ත්වයට, මිනීමැරීමට හෝ සිය දිවි නසා ගැනීමට පොලඹවා ඇත.

ඔවුන්ට ඉඩ දෙන්නට යන්නේ තවත් කොතරම් දීර්ඝ කාලයකටද?

සාතන් හා ඔහුගේ භූතයන් සදාකාලයටම ඉඩ නොලැබෙනු ඇත. හොඳ හේතු ඇතිව අපගේ දවස දක්වා පවතින්නට යෙහෝවඃවහන්සේ ඔවුන්ට ඉඩදී තිබුණත්, දැන් ඔවුන්ගේ කාලය කෙටිය. මෙම සියවසේ මුල් භාගයේදී, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල ක්ෂේත්‍ර සීමා කිරීමට ප්‍රබල පියවරක් ගනු ලැබීය. එළිදරව් නමැති පොත එය මෙසේ පැහැදිලි කරයි: “ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් [නැවත නැගිටීම ලද යේසුස්වහන්සේ] සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට [මකරාට, NW] [සාතන්ට] විරුද්ධව යුද්ධයට යාමය. මහා සර්පයාද [මකරාද, NW] තමාගේ දූතයෝද සටන්කොට, ජය නොලැබුවෝය. ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා [මකරා, NW] නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9.

ප්‍රතිඵලය කුමක් වීද? වාර්තාව වැඩිදුරටත් පවසනුයේ “එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙයල්ලා” යනුවෙනි. සාතන් හා ඔහුගේ භූතයන් වැඩිදුරටත් ස්වර්ගයේ නොසිටීම හේතුවෙන් ධර්මිෂ්ඨ දේව දූතයන්ට සතුටු වන්නට හැකි විය. එහෙත් පොළොව මත සිටින ජනයා ගැන කුමක් කිව හැකිද? “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය” කියා බයිබලය පවසයි.—එළිදරව් 12:12.

තමන් සිටින උදහස් තත්ත්වය තුළ සාතන් හා ඔහුගේ නීච මෙහෙකරුවන් අදහස් කරගෙන සිටින්නේ ළඟා වී ඇති තමුන්ගේ අවසානයට පෙර හැකිතාක් දුක් පමුණුවන්නටය. මෙම සියවස තුළ ලෝක යුද්ධ දෙකක් සිදු වී ඇති අතර දෙවන ලෝක යුද්ධය අවසානයේ පටන් වඩාත් කුඩා යුද්ධ 150කටත් වැඩි සංඛ්‍යාවක් සිදු වී ඇත. මෙම පරම්පරාව මගින් සිදු කරන සැහැසියාව පිළිබිඹු කරන්නාවූ වාක්‍ය ඛණ්ඩ, එනම් “විෂ බීජ යුද්ධය,” “හොලෝකෝස්ට් නමැති යුදෙව් වර්ග ඝාතනය,” “කිලිං ෆීල්ඩ් හෙවත් මරණයේ භූමි,” “ස්ත්‍රී දූෂණ කඳවුරු,” “මිනීමැරුම් දාමයක් සිදු කරන ඝාතකයන්,” හා “බෝම්බය” යනාදිය අපගේ වාග්මාලාවට එක් වී ඇත. මත් ද්‍රව්‍ය, මිනීමැරුම, බෝම්බ පුපුරවා හැරීම, මනෝව්‍යථික මිනීමස් කෑම, සමූල ඝාතනයන්, සාගත හා වධ හිංසා පැමිණවීම් පිළිබඳ කථාවලින් ප්‍රවෘත්ති ගහණ වී ඇත.

මෙහි ඇති ශුභාරංචිය නම්, මේ දේවල් තාවකාලික තත්ත්වයක තිබීමය. නුදුරු අනාගතයේදී, සාතන් හා ඔහුගේ භූතයන්ට එරෙහිව දෙවියන්වහන්සේ යළිත් ක්‍රියා කරනු ඇත. දෙවියන්වහන්සේගෙන් ලද දර්ශනයක් විස්තර කරමින්, ප්‍රේරිත යොහන් මෙසේ පැවසුවේය: “තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැලක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා [මකරා, NW] අල්ලා අවුරුදු දහසකට බැන්දේය, ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය.”—එළිදරව් 20:1-3.

ඉන්පසු, යක්ෂයා හා ඔහුගේ භූතයන් “ස්වල්ප කලකට” මුදනු ලබන අතර අනතුරුව ඔවුන්ව සදාකාලයටම විනාශ කරනු ලබනවා ඇත. (එළිදරව් 20:3, 10) එය කොතරම් විස්මයජනක කාලයක් වනු ඇද්ද! සාතන් හා ඔහුගේ භූතයන් සදාකාලයටම නැති වී යාමත් සමඟ, යෙහෝවඃවහන්සේ “සියල්ලන් තුළ සියල්ල” වනු ඇත. තවද සෑම කෙනෙක්ම සැබෑ ලෙස “මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—1 කොරින්ති 15:28; ගීතාවලිය 37:11.

[පාදසටහන්වල]

a පසු කලෙකදී දෙවියන්වහන්සේගේ සේවක යෝබ් ගැන සාතන් මෙසේ පැවසූ විට, මෙය පැහැදිලි කරනු ලැබීය: “හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය. නුමුත් ඔබගේ අත දිඟුකර ඔහුගේ ඇටවලටත් ඔහුගේ මාංසයටත් තැබුවොත්, ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබට දොස් කියනවා” නොවේදැයි බලන්න.—යෝබ් 2:4, 5.

b දෙවියන්වහන්සේ දුෂ්ටකමට අවසර දීමට හේතුව පිළිබඳ විස්තරාත්මක සාකච්ඡාවක් සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝක්, ඉන්ක්. මගින් පළ කරන ලද පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක නමැති පොත බලන්න.

[7වන පිටුවේ පින්තූරය]

මෙවන් දේවලට වගකිව යුත්තේ මිනිසා පමණක්ද, නැතහොත් යම් ගුප්ත අදෘෂ්‍යමාන බලවේගයක් මෙම වරදට හවුල්ද?

[හිමිකම් විස්තර]

Oil wells burning in Kuwait, 1991: Chamussy/​Sipa Press

[7වන පිටුවේ පින්තූරය]

භූතයන් තවදුරටත් මිනිස්වර්ගයාට හිරිහැර නොකරන විට, මොනතරම් විස්මයජනක කාලයක් වනු ඇත්ද!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න