දුෂ්ට ආත්ම ගැන විශ්වාස කරන්නේ කවුද?
අදෘශ්‍යමාන ආත්ම ඔබගේ ජීවිතයට බලපෑම් කළ හැකි බව ඔබ විශ්වාස කරන්නෙහිද? බොහෝ දෙනෙක් තදින්ම නැත කියා පිළිතුරු දෙන්නට පුළුවන. දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිගන්නාමුත්, මනුෂ්‍යයන්ට වඩා බලගතු දුෂ්ටකම් කරන්නන් පිළිබඳ මතය ඔවුහු උපහාසයට ලක් කරති.
ආත්ම පිළිබඳව බටහිර ලෝකයේ පැතිර පවත්නා අවිශ්වාසය සඳහා යම්තාක් දුරට හේතු වී ඇත්තේ ක්‍රිස්තියානි ලෝකයේ බලපෑමයි. එය සියවස් ගණනාවක් පුරා ඉගැන්වූයේ පොළොව විශ්වයේ මැද වූ බවත්, ස්වර්ගය හා පාතාල නිරයක් අතර පිහිටා ඇති බවත්ය. මෙම ඉගැන්වීමට අනුව, දේව දූතයන් ස්වර්ගයේ දිව්‍ය සැප සම්පත් භුක්ති වින්ද අතර භූතයෝ නිරයේ කටයුතු පරිපාලනය කළහ.
විද්‍යාත්මක සොයා ගැනීම් ස්වර්ගයේ ව්‍යූහය පිළිබඳ වැරදි අදහස් ප්‍රතික්ෂේප කිරීමට ජනයාට සැලැස්වීමත් සමඟ, ආත්ම ජීවීන් කෙරෙහි විශ්වාස කිරීම යල් පැනගිය දෙයක් බවට පත් විය. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි: “පොළොව තවදුරටත් විශ්ව ලෝකයේ මාධ්‍යය හැටියට සලකනු නොලැබූ නමුත්, ඒ වෙනුවට, පෙනෙන හැටියට කෙළවරක් නැති සේ පෙනෙන විශ්වයේ එක් චක්‍රාවාටයක ඉතා කුඩා කොටසක් වන්නාවූ සූර්ය ග්‍රහ මණ්ඩලයක හුදෙක් එක් ග්‍රහයෙක් හැටියට දක්වන ලද . . . දහසයවන සියවසේ (පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥ කොපර්නිකස්ගේ වාදයන් මත පදනම් වූ) කොපර්නිකානු විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන්—දේව දූතයන් හා භූතයන් පිළිබඳ සංකල්ප තවදුරටත් උචිත යයි පෙනුණේ නැත.”
බොහෝ දෙනෙක් දුෂ්ට ආත්ම කෙරෙහි විශ්වාස නොකරනමුත්, එසේ කරන මිලියන සංඛ්‍යාවක්ද සිටින්නාහ. වැටී ගිය දේව දූතයෝ අතීතයේද වර්තමානයේද ආගම් බොහොමයක වැදගත් අංගයක් වන්නෝය. ආත්මිකත්වය දූෂ්‍ය කරන්නන් හැටියට වූ ඔවුන්ගේ කාර්යභාරයට අමතරව, මෙම නපුරු දූතයෝ යුද්ධ, සාගත හා භූමි කම්පා මෙන්ම අසනීප, මානසික කැළඹීම් හා මරණය යනාදියට අනුබල දෙන්නන් හැටියටද සලකනු ලබන්නාහ.
ක්‍රිස්තියානි ධර්මයේ හා යුදෙව් ධර්මයේ ප්‍රධාන දුෂ්ට ආත්මය වන සාතන් නම් යක්ෂයා, මුස්ලිම් භක්තිකයන් විසින් හඳුන්වනු ලබන්නේ එබ්ලිස් හැටියටයි. ශරතුස්ත්‍රවාදය නම් පුරාතන පර්සියානු ආගමේ, ඇන්ග්‍ර මයින්යූ හැටියට ඔහු පෙනී සිටී. පොදු යුගයේ දෙවන හා තුන්වන සියවස්වල සමෘද්ධියට පත් ඥානවාදී ධර්මයේ, යක්ෂයා විශ්ව ශිල්පියා වන්නේ යයි සිතනු ලැබූ අතර මෙම වදන භාවිතා කර තිබුණේ ඊර්ෂ්යාසහගතවූද වඩාත් පහත්වූද, මනුෂ්‍ය වර්ගයාගෙන් වැඩි ප්‍රමාණයක් නොදැනුවත්වම නමස්කාරය පිරිනැමුවාවූද දෙවිකෙනෙකුටය.
වඩා පහත්වූ දුෂ්ට ආත්ම පෙරදිග ආගම්වල කැපී පෙනෙන ස්ථානයක් ගනී. හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ අසුරයන් (භූතයන්) දෙවිවරුන්ට සතුරුකම් කරන බවය. අසුරයන් අතර විශේෂයෙන් වැඩි භයක් ඇත්තේ, සොහොන්වල සැරිසරන විරූපී වූ රාක්ෂයන්ටය.
භූතයන් ගැන බෞද්ධයෝ කල්පනා කරන්නේ, ආශාවන් දුරු කිරීමෙන්, එනම් නිර්වාණය අත්කර ගැනීමෙන් මනුෂ්‍යයාව වළක්වන පුද්ගලිකත්වයන්ගෙන් යුත් බලවේගයන් හැටියටය. මොවුන් අතර වරද කිරීමට පොලඹවන ප්‍රධාන තැනැත්තා වන්නේ මාරයාය, මෙහිදී සිය දියණියන් තිදෙනා වන රතී, රාග හා තණ්හාද ඔහුගේ සහායට එක් කර ගනී.
චීන ජාතික නමස්කාරකයෝ ග්වෙයි, නොහොත් ස්වභාව ධර්මයේ භූතයන්ට එරෙහිව ආරක්ෂා වීමට එළිමහනේ ගිනිමැල, පන්දම් හා රතිඤ්ඤා පත්තු කිරීම යොදා ගනිති. ජපන් ආගම්ද භූතයන් බොහෝ දෙනෙකු සිටින බව කියා සිටිත්. පූජකයෙක් මගින් දුරු කරනතෙක් පුද්ගලයන්ට ආවේශ වන්නාවූ ආත්මයන් වන බිහිසුණු ටෙන්ගුද මෙයට ඇතුළත් වේ.
ආසියාවේ, අප්‍රිකාවේ, ශාන්තිකරයේ හා අමෙරිකාවන්හි නූගත් ආගම් අතරද, තත්ත්වයන් හා ඒවායේ පවතින චිත්ත ස්වභාවය අනුව ආත්ම ජීවින් උපකාරවත් හෝ හානිදායක වන්නේ යයි විශ්වාස කෙරේ. විපත් මඟ හැරීමටත්, පිහිට ලබා ගැනීමටත් ජනයා මෙම ආත්මවලට මහත් ගෞරව භක්තියක් පුද කරති.
මැජික් හා ආත්ම බන්ධන ක්‍රියා කෙරෙහි කවුරුත් පාහේ දක්වන උනන්දුවද මේ සියල්ලට එක් කළ විට, පැහැදිලි වන දෙය නම්, දුෂ්ට ආත්ම ගැන පවතින විශ්වාසයට දීර්ඝ වූද, පැතිර පවත්නා වූද ඉතිහාසයක් ඇති බවයි. එහෙත් එවන් ජීවීන් පවතින බව විශ්වාස කිරීම සාධාරණද? එසේ යයි බයිබලය පවසයි. කෙසේවෙතත්, ඔවුන් ඇත්තටම පවතින්නේ නම්, මනුෂ්‍යයාට හානි වන ආකාරයට බලපෑම් කරන්නට දෙවියන්වහන්සේ ඔවුන්ට ඉඩ හරින්නේ මන්ද?