ආත්ම විෂයෙහි පාලකයෝ
ලෝකය පාලනය කරන්නේ කවුද? යම් ආකාරයක මනුෂ්‍යත්වය ඉක්මවූ අධීක්ෂණයක් පවතීද? නැතහොත් දෙවියන්වහන්සේ මිනිසුන්ව තනි කොට, තම ජීවිකාව තනිව ගෙන යෑමට ඉඩ දී ඇද්ද? මෙම ප්‍රශ්නවලට උත්තර සෙවීමේදී, අපි පළමුකොට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ භූමික සේවා කාලයේදී සිදුවූ යමක් සලකා බලමු.
සිය බව්තීස්මයෙන් වැඩි කලක් යන්ට මත්තෙන්, යේසුස්වහන්සේ සාතන් නමැති යක්ෂයා ලෙස හඳුන්වන අදෘශ්‍යමාන ආත්ම ජීවියෙකුගේ පරීක්ෂාවට භාජන වූසේක. ඉන් එක් පරීක්ෂාවක් සඳහන් කරමින් බයිබලය මෙසේ පවසයි: “යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්වර්යයද උන්වහන්සේට පෙන්[වූයේය.]” (මතෙව් 4:8) එවිට සාතන් යේසුස්වහන්සේට මෙසේ පැවසුවේය: “මේ මුළු බලයද එහි ඓශ්වර්යයද ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාර දී තිබේ; මම කැමති කෙනෙකුට ඒවා දෙමි. එබැවින් ඔබ මා ඉදිරියෙහි නමස්කාරකරන්නෙහි නම් ඒ සියල්ලම ඔබට වන්නේය.”—ලූක් 4:6, 7.
මේ ලෝකයේ සියලු රාජ්‍යවල් හෝ ආණ්ඩු කෙරෙහි තමාට අධිකාරයක් ඇති බව සාතන් කියා සිටියේය. යේසුස්වහන්සේ මෙය ප්‍රතික්ෂේප කළසේක්ද? නැත. ඇත්තෙන්ම, තවත් අවස්ථාවක සාතන්ට “ලෝකයේ අධිපතියා” ලෙස යොමු දක්වමින්, උන්වහන්සේ එය සනාථ කළසේක.—යොහන් 14:30.
බයිබලයට අනුව, සාතන් වූ කලි මහත් බලයක් සතු දේවදූතයෙක් වන්නේය. සාතන්ව “දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට” සම්බන්ධ කරන්නාවූ ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල්, ඔවුන්ට “මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්” යන නම තබයි. (එපීස 6:11, 12) එපමණක්ද නොව, “මුළු ලෝකයා නපුරා තුළ බව” ප්‍රේරිත යොහන් පැවසුවේය. (1 යොහන් 5:19) සාතන් ‘මුළු ලෝකයා රවටන බව’ එළිදරව් නමැති බයිබල් පොත ප්‍රකාශ කරයි. (එළිදරව් 12:9) එමෙන්ම, සංකේතාත්මක යෙදුම් භාවිත කරමින්, එළිදරව්ව, සාතන්ව ලෝක දේශපාලන පද්ධතියට “තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත්” පිරිනමන මකරෙකු හැටියට පිළිබිඹු කරයි.—එළිදරව් 13:2.
මිනිසුන්ගේ හානියට නපුරු බලවේගයක් ක්‍රියාත්මක වෙමින්, එය ඔවුන් කෙරෙහි බලපවත්වන බව ලෝක සිද්ධීන් සාක්ෂි දරත්. මිනිස් ආණ්ඩු සාමය වඩවන්ට අපොහොසත් වන්නේ වෙන කවර හේතුවක් නිසාද? ජනයා එකිනෙකාට වෛර කොට, එකිනෙකාව ඝාතනය කිරීමට වෙන කවර හේතුවක් තිබිය හැකිද? එක්තරා සිවිල් යුද්ධයක සිදුවූ මහත් විනාශයෙන් හා ඝාතනවලින් කම්පනයට පත්වූ, සියැසින් දුටු එක් සාක්කිකාරියක් මෙසේ පැවසුවාය: “මෙය කොහොම සිදුවූවාද කියා මට සිතාගන්නවත් බැහැ. එය වෛරයටත් වඩා වැඩි දෙයක්. එකිනෙකාව වනසා දැමීමට මෙම මිනිසුන්ව යොදවන්නේ නපුරු ආත්මයක්.”
දෙවියන්වහන්සේට විරුද්ධ සැබෑ පුද්ගලයෙක්
අදදින, බොහෝදෙනෙක් සාතන් නමැති යක්ෂයා පිළිබඳව විශ්වාස නොකරති. එහෙත්, සමහරුන් විශ්වාස කරන පරිදි, ඔහු නිකම්ම මිනිස්සංහතිය තුළ වෙසෙන නපුර පිළිබඳ මූලධර්මය නොවේ. ඔහු සැබෑ පුද්ගලයෙකු බව බයිබලයද, ලෝක සිද්ධීන්ද පෙන්වයි. එපමණක්ද නොව, සාතන් එකහෙළාම යෙහෝවඃ දෙවියන්වහන්සේට විරුද්ධ වන්නේය. සාතන් දෙවියන්වහන්සේට සමාන නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. යෙහෝවඃවහන්සේ සර්වබලධාරි මැවුම්කරු වන බැවින්, උන්වහන්සේ වනාහි මුළු මැවිල්ල කෙරෙහි යුක්තියුක්ත පාලකයාණෝ වනසේක.—එළිදරව් 4:11.
දෙවියන්වහන්සේ තමන්ට විරුද්ධව සිටින දුෂ්ට ජීවියෙකු නොමැවූසේක. ඒ වෙනුවට, නිසි ලෙස යෙහෝවඃවහන්සේට හිමි වූ නමස්කාරය බලෙන් තමා සඳහා ලබාගැනීමට, එක්තරා දේවදූතමය ‘දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක්’ ආත්මාර්ථකාමී තෘෂ්ණාවක් වර්ධනය කළේය. (යෝබ් 38:7; යාකොබ් 1:14, 15) දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැසීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙය ඔහුට මඟ පෑදුවේය. කැරලි ගැසීමෙන්, මෙම ආත්ම ජීවියා තමාව සාතන් (තේරුම, “එදිරිවාදියා”) සහ යක්ෂයා (තේරුම, “අපහාස කරන්නා”) බවට පත් කළේය. මෙය සලකා බලන කල, ලෝකය පාලනය කිරීමට සාතන්ට ඉඩහැර ඇත්තේ මන්දැයි ඔබ කල්පනා කරනවා විය හැක.
පාලනය කිරීමට සාතන්ට ඉඩහැර ඇති හේතු
පොළොව කෙරෙහි පාලකත්වය සම්බන්ධයෙන් සාතන් යේසුස්වහන්සේට පැවසූ දෙය ඔබට මතකද? “මේ මුළු බලය . . . ඔබට දෙන්නෙමි. මක්නිසාද ඒවා මට භාරදී තිබේ” කියා සාතන් පැවසීය. (ලූක් 4:6) සාතන් නමැති යක්ෂයා යම් අධිපතිකමක් පවත්වන්නේ දෙවියන්වහන්සේගේ අවසරයෙන් පමණක් බව එම ප්‍රකාශය පෙන්නුම් කරයි. එහෙත් දෙවියන්වහන්සේ සාතන්ට ඉඩ දෙන්නේ මන්ද?
එම ප්‍රශ්නයට උත්තරය සම්බන්ධව පවතින්නේ ඒදන් උයනෙහි සිදුවීම්වලටය, ලෝක පාලක හැටියට සාතන් සිය චර්යාව ආරම්භ කළේ එහිදීය. පළමු පුරුෂයා හා ස්ත්‍රිය වූ ආදම් සහ ඒවට යහපත් යමක් ලබා නොදීමෙන්, දෙවියන්වහන්සේ නරක අන්දමින් පාලනය කරමින් සිටි බව සාතන් එහිදී යෝජනා කළේය. සාතන්ට අනුව, ඔවුන් දෙවියන්වහන්සේ විසින් තහනම් කරන ලද ඵලය අනුභව කළොත්, ඔවුහු විමුක්තිය අත් කරගන්නෝය. ආදම් සහ ඒව යෙහෝවඃවහන්සේගෙන් නිදහස්ව හා ස්වාධීනව සිටිනු ඇත. ඔවුන් දෙවියන්වහන්සේ හා සමාන වනු ඇත!—උත්පත්ති 2:16, 17; 3:1-5.
මේ අන්දමින් බොරු කියා ඒවව වරදට පොලඹවාගැනීමෙන්ද, ඇය තුළින් දේවනීතිය කඩ කිරීමට ආදම් පෙලඹවීමෙන්ද, සාතන් පළමු මිනිස් යුවළ තම නායකත්වය හා පාලනය යටතට ගෙනාවේය. මෙසේ යෙහෝවඃවහන්සේට විරුද්ධ වූ යක්ෂයා, ඔවුන්ගේ දෙවියා බවට පත්වූයේය. කෙසේවෙතත්, ආදම් සහ ඒව, විමුක්තිය වෙනුවට සාතන්ට, පාපයට හා මරණයට වහල්කම අද්දුටුවේය.—රෝම 6:16; හෙබ්‍රෙව් 2:14, 15.
ස්වකීය පරිපූර්ණ යුක්තියට එකඟව, යෙහෝවඃවහන්සේට සාතන්වද, ඔහුගේ නවක අනුගාමිකයන් දෙදෙනාවද වහාම විනාශ කිරීමට හැකිකම තිබිණ. (ද්විතීය කථාව 32:4) එහෙත් වාදයට භාජන වූ සදාචාර විෂයක් තිබිණ. සාතන්, යෙහෝවඃවහන්සේ පාලනය කරන අන්දමේ යුක්තිසහගතභාවය ප්‍රශ්න කළේය. දෙවියන්වහන්සේගෙන් ස්වාධීනව කටයුතු කිරීම විපත්තිදායක බව ඔප්පු කිරීමට උන්වහන්සේ ස්වකීය ප්‍රඥාව ක්‍රියාවට නංවමින්, කාලය ගෙවී යෑමට ඉඩ දුන්සේක. ආදම් හා ඒවට දරුවන් බිහි කිරීමට ඉඩ දීමෙන්, කැරලිකරුවන්ට යම් කලකට ජීවත්වීම සඳහා යෙහෝවඃවහන්සේ ඉඩ දුන්සේක.—උත්පත්ති 3:14-19.
ආදම්ගේ ජනිතයන්ගෙන් බොහෝදෙනෙකු යෙහෝවඃවහන්සේගේ පාලනයට යටත් වී නැතත්, එහි උතුම්බව, දෙවියන්වහන්සේ ස්වකීය නමස්කාරකරන්නන් සමඟ කටයුතු කර තිබෙන අන්දමින් පැහැදිලි කොට තිබේ. යෙහෝවඃවහන්සේගේ අධිකාරය නිසි ලෙස පිළිගැනීම සන්තෝෂයට හා සැබෑ සුරක්ෂිතභාවයට මඟ පාදයි. අනික් අතට, සාතන්ගේ බලපෑම යටතේ මිනිස් පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන්, දුක්ඛිතභාවය හා අසුරක්ෂිතභාවය පැවත තිබේ. එසේය, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන [බලපවත්වන, NW] කාලයක් තිබේ.” (දේශනාකාරයා 8:9) සාතන්ගේ බලයේ රැඳී පවතින මේ ලෝකය තුළ, මිනිස් පාලනය යටතේ මිනිසුන් අව්‍යාජ සුරක්ෂිතභාවය හා කල්පවතින සන්තෝෂය සොයා නැත. කෙසේවෙතත්, ඒකාන්ත වීමට හොඳ හේතු තිබේ.
සාතන්ගේ කාලය කෙටිය!
පොළොව කෙරෙහි සාතන්ගේ බලපෑම තාවකාලිකය. යෙහෝවඃවහන්සේ සාතන්ගේ පාලනය තවත් වැඩි කලකට පැවතීමට ඉඩ නොදෙනසේක! ළඟදීම යක්ෂයාව ක්‍රියාවිරහිත කරනු ලබන්නේය. නව පාලකයෙක් පොළොව කෙරෙහි පාලනය භාරගන්නේය, එනම් දෙවියන්වහන්සේ විසින්ම තෝරාගනු ලබන ධර්මිෂ්ඨ රජෙකි. එම රජ වූ කලි යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. ස්වර්ගයෙහි උන්වහන්සේගේ සිංහාසනාරූඪ වීම සම්බන්ධයෙන් එළිදරව්ව මෙසේ පවසයි: “ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද [යෙහෝවඃවහන්සේටද] තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය.” (එළිදරව් 11:15) බයිබල් කාලනිර්ණය මෙන්ම ශුද්ධ ලියවිලිමය අනාවැකි ඉටුවීම, මෙම සිද්ධිය 1914 වසරෙහි සිදුවූ බවට සනාථ කරයි.—මතෙව් 24:3, 6, 7.
යේසුස්වහන්සේගේ සිංහාසනාරූඪ වීමෙන් වැඩි කලක් යන්ට මත්තෙන් සිදුවූ දෙයද බයිබලය විස්තර කරයි. එය මෙසේ කියයි: “ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් [යේසුස් ක්‍රිස්තුස්වහන්සේ] සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යෑමය. මහ සර්පයාද [සාතන් නමැති යක්ෂයා] තමාගේ දූතයෝද සටන්කොට, ජය නොලැබුවෝය, ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:7-9.
සාතන්ව ස්වර්ගයෙන් පිටමං කරනු ලැබීමේ ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද? ස්වර්ගයෙහි වැසියන්ට ප්‍රීතිමත් විය හැක, නමුත් පොළොවෙහි වැසියන් ගැන කුමක් කිව හැකිද? “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය” කියා එළිදරව් 12:12 කියයි. ඇත්තෙන්ම, සාතන්ව ස්වර්ගයෙන් ඉවත් කිරීම පොළොවට දුකක් ගෙනැවිත් තිබෙන බව පැහැදිලිය. ද කලම්බියා හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් මෙසේ ප්‍රකාශ කරයි: “වර්ෂ 1914-1918 දක්වා අවුරුදු හතරක් පුරා යුද්ධයෙන් සිදුවූ ඉමහත් විපත්තියෙන් පැහැදිලි වූයේ . . . බටහිර ලෝකයට තම මෝඩකමින් හෝ නපුරු පෙලඹීමෙන්, ශිෂ්ටාචාරයට ආරක්ෂාව සලසා දිය නොහැකි බවය. එම විනාශයෙන් පසු, බටහිරේ ස්වභාවය ඇත්තෙන්ම තවමත් යථා තත්වයට පැමිණ නැත.”
මෙම පරම්පරාවේ දුකින් බිඳුණු ස්වභාවයට ඉඳුරාම වැඩි යමක් මගින් සලකුණු කෙරේ. යේසුස්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද, විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.” එමෙන්ම උන්වහන්සේ වසංගතද පුරෝකථනය කළසේක. (මතෙව් 24:7, 8; ලූක් 21:11) ඇරත්, සාතන්ගේ දේවල පිළිවෙළේ “අන්තිම දවස්වලදී” බොහෝදෙනෙක් “තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, . . . මවුපියන්ට අකීකරුවන්නෝව, සමාදාන නොවන්නෝව” සිටිනු ඇති බව බයිබලය කියයි. එමෙන්ම ජනයා “දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝ” වනු ඇත.—2 තිමෝති 3:1-5.
යුද්ධ, වසංගත, ආහාර හිඟකම්, භූමිකම්පා, එමෙන්ම සදාචාරමය සාරධර්ම පිරිහීම යන මේ සියල්ල බයිබලය පුරෝකථනය කළ පරිදි, 1914 පටන් පෙර නොවූ විරූ පරිමාණයකින් සිදුවී තිබේ. දෙවියන්වහන්සේගේ හා මිනිසාගේ ක්‍රෝධයෙන් ඇවිළී සිටින සතුරා වන සාතන් නමැති යක්ෂයා ස්වර්ගයෙන් පිටමං කර තිබෙන බවත්, දැන් ඔහු තම උදහස පොළොවට පමණක් සීමා කළ යුතු බවත්, ඉන් අඟවනු ලැබේ. එහෙත් සාතන්ට සිය ක්‍රියාවල නිරත වීමට එතරම් වැඩි කලකට ඉඩ කඩ නොලැබෙන බවත් බයිබලය පෙන්වයි. දෙවියන්වහන්සේ සාතන් පාලනය කරන ලෝක පිළිවෙළ විනාශ කරන කාලය දක්වා, එනම් අර්මගෙදොන් දක්වා, ඔහුට තවත් ඉතිරිව ඇත්තේ “ස්වල්ප කාලයක්” පමණි.
ඊළඟට සාතන්ට කුමක් සිදුවේවිද? ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය.” (එළිදරව් 20:1-3) පීඩිත මිනිස්වර්ගයාට මොනතරම් සහනයක්ද!
රාජ්‍ය පාලනය යටතේ ප්‍රීති වීම
බාධා පැමිණවීමට සාතන් තවදුරටත් නැති නිසා, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යටතේ ක්‍රියාත්මක වන්නාවූ දේවරාජ්‍යය මිනිස්වර්ගයාගේ කටයුතු මුළුමනින්ම මෙහෙයවන්නේය. පොළොව මත ආණ්ඩු රාශියක් තිබෙනවා වෙනුවට, මුළුමහත් ග්‍රහයා කෙරෙහි පාලනය කිරීමට ඉතිරි වනු ඇත්තේ එකම ස්වර්ගික ආණ්ඩුව පමණි. යුද්ධ තවත් නොවන්නේය, තවද සාමය හැම තැනකම පවතින්නේය. දේවරාජ්‍යයෙහි පාලනය යටතේ, සියලුදෙනාම ප්‍රේමනීය සහෝදරත්වයක් හැටියට එකට වාසය කරන්නෝය.—ගීතාවලිය 72:7, 8; 133:1; දානියෙල් 2:44, 45.
යේසුස්වහන්සේ කෙබඳු පාලකයෙකු බවට ඔප්පු වනු ඇද්ද? උන්වහන්සේ මිහිපිට සිටියදී, උන්වහන්සේ මිනිසුන් කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් විදහා පෙන්වූසේක. යේසුස්වහන්සේ දයානුකම්පිතව කුසගින්නෙන් පෙළී සිටි අයට ආහාර දුන්සේක. උන්වහන්සේ අසනීප වූවන් සුව කළසේක, අන්ධයන්ට ඇස් පෙනීමද, ගොළුවන්ට කතා කිරීමේ හැකියාවද, කොරුන්ට ඇවිදීමේ හැකියාවද යළි ලබා දුන්සේක. යේසුස්වහන්සේ මළවුන්ට පවා යළි ජීවනය ලබා දුන්සේක. (මතෙව් 15:30-38; මාර්ක් 1:34; ලූක් 7:11-17) එම ප්‍රාතිහාර්යයන්, උන්වහන්සේ රජු වශයෙන් අනාගතයේදී කරනු ඇති මහිමාන්විත දේවල පූර්වාදර්ශනයක් වූයේය. එවන් සද්ගුණවත් පාලකයෙකු සිටීම මොනතරම් ආශ්චර්යවත් දෙයක් වනු ඇද්ද!
යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට යටත් වන අය විසින් නිමක් නැති ආශීර්වාද භුක්තිවිඳිනු ලබනවා ඇත. ශුද්ධ ලියවිලි මෙසේ පොරොන්දු කරයි: “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.” (යෙසායා 35:5, 6) එම උදාර දවස වෙත යොමු දක්වමින්, ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනග වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.”—එළිදරව් 21:3, 4.
සාතන් නමැති යක්ෂයාගේ වර්තමාන පීඩිත පාලනය යටතේ අපට අද්දැකීමට සිදුවී තිබෙන ඕනෑම දුකක්, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන, ස්වකීය පාලනය යටතේ පිරිනමනු ලබන ආස්වාද මගින් අවශ්‍ය තරමටත් වඩා හිලව් කරනු ලබන්නේය. දෙවියන්වහන්සේගේ පොරොන්දු කරන ලද නව ලොවෙහි, ‘ඇත්තෙන්ම කවුද හැම දෙයක්ම පාලනය කරන්නේ?’ කියා ජනයා කල්පනා නොකරනු ඇත. (2 පේතෘස් 3:13) ආත්ම විෂයේ ප්‍රේමනීය පාලකයන් වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේද, ක්‍රිස්තුස්වහන්සේගේද, භූමික බලප්‍රදේශයේ කීකරු මිනිස්වර්ගයා සන්තෝෂ හා සුරක්ෂිත වන්නෝය. උන්වහන්සේලාගේ යටත්වැසියන් අතර වීමේ බලාපොරොත්තුව ඔබත් වැලඳ නොගන්නේ මන්ද?
[7වන පිටුවේ පින්තූරය]
කීකරු මිනිස්වර්ගයා දේවරාජ්‍යයෙහි භූමික බලප්‍රදේශයේ සුරක්ෂිත වන්නෝය
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
NASA photo