ඇදහිල්ල පාවා දීමට කිසිඳු අදහසක් නැත!
යෙහෝවඃ වහන්සේගේ හස්තය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් සමඟ වූයේ ය. (ක්‍රියා 11:21) දෙවියන් වහන්සේගේ උපකාරය ඇති ව, ඔවුහු ඇදහිල්ල පාවා නොදී, ඍජු ක්‍රියා මාර්ගයක් දිගට ම ලුහුබැන්දෝ ය. මෙහිලා ඔවුන් සතුරුකම් මෙන් ම දැඩි පීඩා පවා අත්දුටු බව සුප්‍රකට ඓතිහාසික සත්‍යයකි.
ක්‍රිස්තුස් වහන්සේගේ මුල් ඇදහිලිවන්ත අනුගාමිකයන් අඛණ්ඩතාවයෙන් යුතු ව ක්‍රියා කළ බව කවුරුත් දන්නා සත්‍යයකි. තමන්ගේ ජීවිතය පවා පරදුවට තබමින්, ඔවුහු තමන්ගේ ඇදහිල්ල පාවා දීම ප්‍රතික්ෂේප කළහ. එහෙත් ඔවුන්ට මෙතරම් කුරිරු ලෙස සලකනු ලැබුවේ මන්ද?
හේතුවක් නොමැති ව වෛර කෙරේ
යේසුස් වහන්සේ මෙන්, සැබෑ ක්‍රිස්තියානින් මෙම ලෝකයේ අභිලාෂයන්ට හා විශ්වාසයන්ට හවුල් වූයේ නැත. (1 යොහන් 4:4-6) එපමණක් නොව, ක්‍රිස්තියානි ධර්මයේ වර්ධනය “කොතරම් වේගයෙන් සිදු වූවාද හා එහි සඵලතාව කොතරම් කැපී පෙනෙන එකක් ද කීවොත්, [රෝමයේ අධිරාජ්‍යවාදී බලය සමඟ] දරුණු ගැටීම වැළැක්විය නොහැකි යමක් විය” කියා ඉතිහාසඥ එඩ්මොන් ඩ’ ප්රසාන්සේ සඳහන් කරයි.
“ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝය” යයි පවසමින්, යේසුස් වහන්සේ අනාවැකිමය ගීතිකාවක් වරක් තමාට ම අදාළ කර ගත් සේක. (යොහන් 15:25; ගීතාවලිය 69:4) සිය ගෝලයන්ට මේ දෙය කියන්නට පළමුවෙන්, උන් වහන්සේ මෙසේ අනතුරු අඟවා තිබුණි: “දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ . . . ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩා කරන්නෝය.” (යොහන් 15:20) උන් වහන්සේගේ පියවර අනුව යෑම එතරම් පහසු නොවනු ඇත. එක් දෙයක් නම්, යුදෙව්වන් අතර සිටි ආගමික නායකයන්, යේසුස් වහන්සේගේ යුදෙව් ගෝලයන් ව යුදෙව් ආගමේ ඇදහිල්ල අත්හැර ගියවුන් හැටියට සලකනු ලැබීම ය. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් තවදුරටන් උන් වහන්සේ ගැන කථා නොකළ යුතු යයි තරයේ කියනු ලැබූ විට, කෙසේ වෙතත්, ඔවුහු ඊට අනුකූල වීමත්, එසේ තමන්ගේ ඇදහිල්ල පාවා දීමත් ප්‍රතික්ෂේප කළහ.—ක්‍රියා 4:17-20; 5:27-32.
පොදු යුගයේ 33 පෙන්තකොස්තයෙන් මද කලකට පසු, යුදෙව් මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද සාක්ෂියකට අනුව, “මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන” කීම සම්බන්ධයෙන් ශ්‍රාවක ස්තේපන්ට චෝදනා කරනු ලැබී ය. එම චෝදනා බෙහෙවින් අසාධාරණ ඒවා වුවද, ඔහු ව ගල් ගසා මරණයට පත් කරනු ලැබී ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, “යෙරුසලමෙහිවූ සභාවට විරුද්ධව මහත් පීඩාවක් අටගත්” අතර “ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරියේද පළාත්වල විසුරුවනු ලැබුවෝය.” (ක්‍රියා 6:11, 13; 8:1) බොහෝ දෙනෙක් සිරගත කරනු ලැබූහ.
යුදෙව්වරු “නොසිදෙන වෛරයකින් යුක්ත ව” යේසුස් වහන්සේගේ අනුගාමිකයන් ව ලුහුබැන්දෝ ය යයි ක්‍රිස්ටියැනිටි ඇන්ඩ් ද රෝමන් එම්පයර් නම් පොත පවසයි. ඇයි, රෝමානු ආණ්ඩුවට බොහෝ විට ක්‍රිස්තියානින් ව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කරන්නට සිදු විය! උදාහරණයක් හැටියට, ප්‍රේරිත පාවුල් ව මරන්නට මුළු වැර යොදා සිටි යුදෙව්වන්ගෙන් රෝමානු හේවායෝ ඔහු ව ගලවා ගත්හ. (ක්‍රියා 21:26-36) එහෙත්, ක්‍රිස්තියානින් හා රෝමානුවන් අතර සම්බන්ධතාවය එතරම් සන්සුන් එකක් ව තිබුණේ නැත.
රෝමය පීඩා පැමිණවීම වැඩි කරයි
ස්තේපන්ගේ මරණයෙන් වසර නවයකට පමණ පසු, කපටිකමෙන් යුදෙව්වන්ගෙන් වාසි ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් රෝම පාලක Iවන හෙරොද් අග්‍රිපා ප්‍රේරිත යාකොබ් ව මරණයට පත් කිරීමට සැලැස්වූයේ ය. (ක්‍රියා 12:1-3) ඒ කාලය වන විට, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම රෝමයට පැතිර ගොස් තිබුණි. (ක්‍රියා 2:10) පොදු යුගයේ 64 දී, එම නගරයෙන් වැඩි කොටසක් ගින්නෙන් විනාශ විය. එම ගිනිමය විනාශය සඳහා නීරෝ වගකිව යුතු බවට පැතිර යමින් තිබූ කට කථා මැඩපැවැත්වීමට ඔහු දැරූ වෑයමේ දී, එම විනාශය වෙනුවෙන් ඔහු ක්‍රිස්තියානින්ට දොස් පැවරූ අතර ඉනික්බිති ව ඔවුන්ට බිහිසුණු පීඩා පමුණුවන ලදි. ඔහු එම නගරයට ගිනි තැබුවේ, වඩාත් විශිෂ්ට ආකාරයකට එය නැවත ගොඩනැගීමට, එනම් තමාගේ නාමය අනුව නීරෝපොලිස් යනුවෙන් එය නම් කිරීම සඳහා නිදහසට කරුණක් වශයෙන් ද? එසේත් නැතහොත් ක්‍රිස්තියානින් කෙරෙහි විරෝධී ආකාරයකට ක්‍රියා කරන බවට ප්‍රසිද්ධත්වයක් දැරුවා වූ ද, යුදෙව් ආගමට හැරුණා වූ ද, පොපායා නම් ඔහුගේ අග රැජින, ඔවුන් මත දොස් පැවරීමට වූ ඔහුගේ තීරණයට අනුබල දුන්නේ ද? පර්යේෂකයන් තුළ සැකයක් තිබුණත්, එහි බලපෑම භයංකර විය.
රෝමානු ඉතිහාසඥ ටැසීටස් මෙසේ පවසයි: “මරණයට උපහාසය එක් කරනු ලැබී ය; සතුන්ගේ සම් පළඳවන ලද [ක්‍රිස්තියානින්], සුනඛයන් විසින් කෑලිවලට ඉරනු ලැබී ය; ඔවුහු කුරුසවල ඇණ ගසනු ලැබූහ; දිවා කාලය ගෙවී ගිය පසු,” රාජකීය උයන් ආලෝකවත් කරන්නා වූ මනුෂ්‍ය පන්දම්, එනම් “පහන් හැටියට පවතිනු පිණිස, ඔවුන්ට ගිනි තබනු ලැබී ය.” කිසිසේත් ක්‍රිස්තියානින්ගේ මිත්‍රයෙක් නොවූ ටැසිටස්, තවදුරටත් මෙසේ ද පවසයි: “ඔවුන් වරදකරුවන් වුවද, අන් අයට අනතුරු ඇඟවීමක් පිණිස දඬුවම් ලැබීමට සුදුසු ව සිටිය ද, ඔවුන් මහජන ශුභසිද්ධිය උදෙසා නොව, නමුත් එක මනුෂ්‍යයෙකුගේ” එනම් නීරෝගේ, “කුරිරුකම හේතුවෙන් විනාශ කරනු ලැබූ නිසා, ඔවුන් කෙරෙහි බොහෝ දෙනකුගේ සිත් තුළ දයානුකම්පාව පහළ විය.”
ඉතා පැහැදිලි වෙනසක්
රෝමයේ විනාශය පිළිබඳ ව ක්‍රිස්තියානින්ට චෝදනා කිරීම නීරෝගේ අරමුණට උචිත ව තිබුණත්, ඔහු කිසිකලෙක ඔවුන් ව තහනම් කළේ හෝ ක්‍රිස්තියානි ධර්මය රාජ්‍යය තුළ ආගමක් හැටියට ඉවත් කළේ හෝ නැත. එසේ නම් රෝමානුවන් පීඩා සිදු කළේ මන්ද? ඊට හේතුව “කුඩා ක්‍රිස්තියානි ප්‍රජාවන් තමන්ගේ ශ්‍රද්ධාවෙනුත් ශිෂ්ට සම්පන්න භාවයෙනුත් සැපසෙල්ලමින් උමතු ව සිටි මිථ්‍යා දෘෂ්ටික ලෝකයට කරදර කරමින් සිටි නිසා” යයි ඉතිහාසඥ විල් ඩියුරන්ට් පවසයි. ක්‍රිස්තියානි ධර්මය හා ලේ වගුරුවන රෝමානු කඩුගත් මල්ලව තරඟ අතර වෙනස ප්‍රබල වූ බවට කිසිඳු සැකයක් නැත. ක්රිස්තියානින්ගෙන් බේරීමටත්, එනයින් තමන්ගේ ම හෘදය සාක්ෂීන් සනසාලන්නටත් රෝමානුවන්ට ඉදිරිපත් වූ ප්‍රස්තාව අහිමි කර නොගත යුතු වූ අනර්ඝ ප්‍රස්තාවක් විය.
ලෝක බලයක් හැටියට, රෝමය පරාජය කළ නොහැකි බව පෙනෙන්නට තිබුණි. සියලු දෙවි දේවතාවන් තමන් නමස්කාර කිරීම සිය හමුදා පරාක්‍රමය සඳහා එක් හේතුවක් වූ බව රෝමානුවෝ විශ්වාස කළහ. එබැවින් ඔවුනට ක්‍රිස්තියානි ඒකදේව වාදයේ තනිකර ස්වභාවය මෙන් ම අධිරාජ්‍යයා නමස්කාර කිරීම ද ඇතුළු ව වෙනත් සියලු දෙවිවරුන් එමගින් ප්‍රතික්ෂේප කරලීම තේරුම් ගැනීමට අපහසු යමක් ලෙස දැනුණි. ක්‍රිස්තියානි ධර්මය එම අධිරාජ්‍යයේ පදනමට රහසින් අනතුරු කරන්නා වූ බලයක් හැටියට රෝමය විසින් සලකනු ලැබීම පුදුමයක් නොවේ.
සාක්ෂි දැරීමේ ප්‍රතිඵලය
පොදු යුගයේ පළමුවන ශතවර්ෂයේ අවසානයේ දී පමණ, “දෙවියන් වහන්සේ ගැන කථා කිරීම හා යේසුස් වහන්සේට සාක්ෂි දැරීම වෙනුවෙන්” යොහන් ව පත්මොස් නම් දිවයිනට පිටුවහල් කරනු ලැබී ය. (එළිදරව් 1:9, NW) ඩොමීෂියන් නම් රෝමානු අධිරාජ්‍යයා මේ සඳහා වගකිව යුතු බව විශ්වාස කෙරේ. යේසුස් වහන්සේගේ අනුගාමිකයන් කෙරෙහි පමුණුවන ලද පීඩනය තිබියදීත්, කෙසේ හෝ, පළමුවන සියවස අවසානය වන විට, ක්‍රිස්තියානි ධර්මය රෝමානු අධිරාජ්‍යය පුරා පැතිර ගොස් තිබුණි. මෙය සිදු වූයේ කෙසේ ද? ක්‍රිස්තියානි ධර්මය “එහි දේව සේවය මගින් එකට සම්බන්ධ කර තබන ලද” බව ඒ හිස්ට්‍රි ඔෆ් ද අර්ලි චර්ච් නම් ග්‍රන්ථය පවසයි. යොහන් මෙන්, පීඩා කරනු ලැබූ මුල් ක්‍රිස්තියානින් සිය ඇදහිල්ල පාවා නොදී, දෙවියන් වහන්සේ ගැන කථා කිරීම හා යේසුස් වහන්සේට සාක්ෂි දැරීම ජ්වලිත ව දිගට ම කරගෙන ගියහ.—ක්‍රියා 20:20, 21; 2 තිමෝති 4:2.
පොදු යුගයේ 112වන විට, එනම් ට්‍රාජන් අධිරාජ්‍යයා ප්ලිනි ව බිතිනියේ (වර්තමානයේ වයඹ දිග තුර්කියේ) ආණ්ඩුකාරයා හැටියට පත් කිරීමෙන් වසර දෙකකට පසු, ක්‍රිස්තියානින්ට පීඩා සිදු කිරීම, නව මඟකට යොමු විය. ඊට කලින් එහි තිබූ පරිපාලනය දුර්වල තත්ත්වයක තිබූ අතර, ප්‍රතිඵලයක් වශයෙන් අවුල් සහගත තත්ත්වයක් විය. දේවස්ථාන අත්හැර දමන ලද තත්ත්වයක තිබූ අතර පූජා කරනු ලබන සත්ත්වයන් සඳහා ගව ආහාර විකිණීම සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී තිබුණි. ක්‍රිස්තියානි නමස්කාරය සඳහා සත්ත්ව පූජා හා පිළිම නොතිබුණ බැවින්, වෙළෙන්දෝ එහි සරල ස්වභාවය දෝෂාරෝපණයට ලක් කළහ.
අධිරාජ්‍යයාගේ පිළිමය ඉදිරිපිට මුද්‍රික පානය හා සුවඳ දුම් ඔප්පු කිරීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් ක්‍රිස්තියානින් සිය දිවි පිදූ අතර, ප්ලිනි මිථ්‍යා ලබ්ධික නමස්කාරය නැවත පිහිටු වීමට වෙහෙසවී ක්‍රියා කළේ ය. ක්‍රිස්තියානින් “ගුණවත් ජන පිරිසක් වුවත්, පැරණි ආගමික සම්ප්‍රදායන්ට පහදා දෙන්ට බැරි තරම් විරුද්ධ” බව අවසානයේ රෝමානු බලධාරීන් පිළිගත් බව මහාචාර්ය හෙන්රි චැඩ්වික් පවසයි. ක්‍රිස්තියානියෙක් ව සිටීම මරණ දණ්ඩනීය වරදක් වුවත්, යේසුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් තුළ ඇදහිල්ල පාවාදීම පිළිබඳ සිතුවිල්ලක් තිබුණේ නැත.
“පවුලේ සාමාජිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම නිසා මිථ්‍යා දෘෂ්ටික පවුල් තුළ ඇති වූ කෝපයේ” ප්‍රතිඵලයක් හැටියට ද වෛරය සිදු වූ බව මහාචාර්ය ඩබ්. එම්. රැම්සේ පවසයි. “මිථ්‍යා දෙවිවරුන් පිළිගැනීම අදහස් කරන බවට වූ පදනම මත කෙනෙකුගේ අසල් වැසියෙකුට ඉතාමත් සාමාන්‍ය සමාජ චාරිත්‍රයකට අනුකූල විය නොහැකි වූ අවස්ථාවන්හි දී, සමාජයේ ජීවත්වීම අතිදුෂ්කර දෙයක් වූයේ” යයි ආචාර්ය ජේ. ඩබ්. සී. වෙන්ඩ් පවසයි. බොහෝ දෙනෙක්, මුල් ක්‍රිස්තියානින් මනුෂ්‍ය වර්ගයාට වෛර කරන්නන් හැටියට කල්පනා කිරීම නැතහොත් ඔවුන් අදේව වාදීන් යයි සැලකීම පුදුමයක් නොවේ.
වර්ධනය සමඟින් පීඩා වැඩිවෙයි
ප්‍රේරිත යොහන් විසින් උගන්වනු ලැබූ බවට කියන, පොලිකාප්, ස්මරණය (දැන් ඉස්මීර්) නම් නගරයේ ගෞරවනීය වැඩිමහල්ලෙක් බවට පත් විය. ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු පො.යු. 155 දී කණුවක් මත පුළුස්සනු ලැබී ය. රෝමානු පළාත් ආණ්ඩුකාර ස්ටේෂියස් ක්වාඩ්රාටස් සෙනඟ එක්රැස් කළේ ය. තමන්ගේ දෙවිවරුන්ට නමස්කාර කිරීම අධෛර්යවත් කිරීම වෙනුවෙන් 86 හැවිරිදි පොලිකාප් ව නීචකොට සැලකූ විරුද්ධවාදී මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් ද, තමුන්ට එය මහා සබත් දවසක පවා කරන්නට සිදු වුවද, පොලිකාප් ව පිළිස්සීමට කැමැත්තෙන් දර එකතු කළා වූ උමතුවෙන් උනන්දු වූ යුදෙව්වන්ගෙන් ද එම ක්‍රීඩාංගනය පිරී තිබුණි.
ඉන් අනතුරුව රෝමානු ලෝකය පුරා ක්‍රිස්තියානින් කෙරෙහි වේගවත් පීඩා රැල්ලක් මුදා හරිනු ලැබී ය. අධිරාජ්‍ය මාර්කස් ඕරේලියස් යටතේ ක්‍රිස්තියානින් වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබී ය. ඔවුන් රෝමානු පුරවැසියන් ව සිටියේ නම් ඔවුන් මරණු ලැබුවේ කඩුවෙනි; එසේ නොවූයේ නම්, ඔවුන් ව රංග භූමිවල වන සතුන් විසින් මරණු ලැබී ය. ඔවුන්ගේ අපරාධය? හුදෙක් තමන්ගේ ඇදහිල්ල පාවාදීමට හෝ එය අත්හැරීමට ක්‍රිස්තියානින් ප්‍රතික්ෂේප කර සිටීම ය.
නවීන දින ප්‍රංශ නගරයක් වන ලයොන් ක්‍රමයෙන් ගොඩනැගුනේ, රෝමය හා රයිනේ ගඟ අතර මූලික පරිපාලන මධ්‍යස්ථානයක් හා එක ම රෝමානු බලකොටුව වූ, ලුග්ඩූනුම් නම් රෝමානු යටත් විජිතයෙනි. පොදු යුගයේ 177වන විට, එහි ශක්තිමත් ක්‍රිස්තියානි ප්‍රජාවක් වාසය කළ අතර මිථ්‍යා දෘෂ්ටික පොදු ජනයා ඔවුන්ට එරෙහි ව ක්‍රෝධයෙන් නැගී සිටියහ. මෙය පටන් ගත්තේ ක්‍රිස්තියානින් ව පොදු ජනයා රැස් වූ තැන්වලින් අහක් කරනු ලැබූ අවස්ථාවේ දී ය. කලහකාරී පිරිස කෝලහාලයක් ඇති කළ අතර, ඉන් විපාක වූ පීඩාවන් කොතරම් දරුණු වූවා ද කීවොත්, එක ම ක්රිස්තියානියෙක්වත් සිය නිවසෙන් බැහැර වන්නට භයෙන් සිටියහ. ක්‍රිස්තියානින් ව සොයා මරණයට පත් කරන ලෙස රෝමානු ආණ්ඩුකාරයා ආඥා කළේ ය.
විපාකය
යේසුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ මරණයත් ඔවුන්ගේ මැඩපවත්වන බලපෑම ඉවත් ව යාමත් සමඟ, තමන් ක්‍රිස්තියානින් යයි කියා සිටි අය අතර ඇදහිල්ල අත්හැරයාමක් වර්ධනය වන්නට පටන් ගති. (2 තෙසලෝනික 2:7) පොදු යුගයේ හතරවෙනි සියවසේ නිමාව කරා පැමිණෙන විට, ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ධර්මය රාජ්‍යය ආගම බවට පත්වී තිබුණි. ඒ වන විට, එය දූෂණය වී තිබූ අතර, එය ලෝකය සමඟ තමන් ව ම හඳුන්වා දෙමින් ඇදහිල්ල පාවා දීමට සූදානමින් සිටියේ ය. මෙය වනාහි යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පළමු ගෝලයන් කවරදාකවත් නොකළ යමකි. (යොහන් 17:16) කෙසේ වෙතත්, ඊට බොහෝ කලකට පෙර බයිබලයේ පිළිගත් ග්රන්ථ සමූහය, ක්‍රිස්තියානි ඇදහිල්ල පිළිබඳ එහි වාර්තාවත් සමඟින් සම්පූර්ණ කර තිබුණි.
දහස් සංඛ්‍යාත මුල් ක්‍රිස්තියානින්ගේ වේදනාවන් හා මිය යාම නිෂ්ප්රයෝජන වී ද? කිසිසේත් නැත! තමන්ගේ ඇදහිල්ල පාවා දීම පිළිබඳ ව කිසි ම කල්පනාවක් නැති ව ‘ඔවුන් මරණය දක්වා විශ්වාසවන්ත ව සිටි අතර ඔවුහු ජීවනයේ ඔටුන්න ලැබූහ.’ (එළිදරව් 2:10) පීඩාවේ උණුසුම යෙහෝවඃ වහන්සේගේ සේවකයන්ට තවමත් දැනෙනමුත්, මුල් සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල හා අඛණ්ඩතාවය ඔවුනට මහත් දිරිගැන්වීමක ප්‍රභවයක් හැටියට පවතී. එබැවින්, නවීන දින ක්‍රිස්තියානින් ද ඇදහිල්ල පාවා දීම පිළිබඳ කිසි ම සිතුවිල්ලක් භාර ගන්නේ නැත.
[8, 9වන පිටුවේ පින්තූර]
නීරෝ
අධිරාජ්‍යවාදී රෝමයේ ආකෘතියක්
කායිසර්ගේ නමස්කාරයට කැප කරන ලද පූජාසනයක්
[හිමිකම් විස්තර]
Nero: Courtesy of The British Museum
Museo della Civiltà Romana, Roma
[10වන පිටුවේ පින්තූරය]
මාර්කස් ඕරේලියස්
[හිමිකම් විස්තර]
The Bettmann Archive