“අන්තිම සතුරා” පරාජය වනු නියත ය!
ඔබ දරුවෙක් ව සිටි අවදියේ, ඔබ අඳුරට භයෙන් සිටින්නට ඇත. ත්‍රාසජනක කථාන්තර මෙන් ම ඇතැම් සුරංගනා කථා පවා ඔබ ව කාංසාවට පත් කරන්නට ඇත. ඔබ නිදා ගන්නට වෑයම් කරත් ම ඔබගේ මව හෝ පියා ලාම්පුවක් දැල් වූ විට, එය කොතරම් සැනසිලිදායක වූවා ද!
මීට සමාන ව මරණයත් බොහෝ දෙනෙකු ව භීතියට පත් කරයි. එහෙත්, එය එසේ විය යුතු නැත. ඒ මන්ද? හේතුව මරණයේ සැබෑ ස්වභාවය නිසා ය.
ඔබගේ සතුරා ව දැන හඳුනා ගන්න
පුරාතන ඊශ්‍රායෙලයේ ප්‍රඥාවන්ත රජ සාලමොන් මෙසේ ප්‍රකාශ කළේ ය: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. එහෙත් මළාහු කිසිවක් නොදනිති.” (දේශනාකාරයා 9:5) ඔබගේ ම බයිබලයේ ඇති දේවානුභාවය ලත් මෙම සිතුවිල්ලට අනුව, මරණය හරියට ම ජීවනයේ විරුද්ධ දෙය වන්නේ ය. මළවුන්ට දැනුම් තේරුම් ඇති පැවැත්මක් නැත.
උපමාලංකාරයෙන් යුක්ත ව මරණයට යොමු දක්වමින්, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් මෙසේ ලියයි: “එම්බා මරණය, තාගේ ජය කොයිද? එම්බා මරණය, තාගේ කටුව කොයිද?” මරණය ඇති කරන කටුව කුමක් ද? “මරණයේ කටුව නම් පාපය” යයි පාවුල් පවසයි. (1 කොරින්ති 15:55, 56; හොෂෙයා 13:14) එසේ නම් මෙම මාරාන්තික කටුවේ මූලාරම්භය කුමක් ද? ශුද්ධ ලියවිල්ලේ වෙනත් තැනක, පාවුල් මෙසේ පවසයි: “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) “ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක්මෙන්” යයි පවසන විට, ඒ ‘එක් මනුෂ්‍යයාගේ’ අනන්‍යතාව පිළිබඳ ව පාවුල් සැක පහළ කරන්නේ නැත. (1 කොරින්ති 15:22) එසේ ය, අපගේ ආදි පියා වන, ආදම්ගේ අකීකරුකම තුළින්, අපි සියල්ලෝ ම මරණයේ කටුවට ගොදුරු වන්නෙමු.—උත්පත්ති 3:1-19.
ප්‍රසන්න පරිසරයක හොඳ ශරීර සෞඛ්‍යයක් හා ප්‍රේමනීය පවුලක් ඇති අප කවරෙකුවත් මැරෙන්නට තෝරා ගන්නේ නැත. කෙසේ වෙතත්, බයිබලය පෙන්වන ආකාරයට, “කාලයත් හදිසි කාරණත්” අපගේ ජීවිතය පැහැරගෙන යා හැක. (දේශනාකාරයා 9:11) ඇත්ත වශයෙන් ම, අපගේ ජීවිතයට හෙට කුමක් වනු ඇද්ද කියා අප දන්නේ නැත. (යාකොබ් 4:14) එක් දෙයක් ස්ථිර ය, එනම්, අප සියල්ලන් ම පාපයත් මරණයත් උරුම කරගෙන ඇති බව ය. එබැවින්, මරණය අප පසුපස පියමං කරමින්, සතුරෙක් මෙන් පහර දෙයි.
ප්‍රේම කළ කෙනෙකුගේ මරණය සමඟ කටයුතු කිරීම
මරණය විශේෂාකාරයකින් සතුරෙක් වන්නේ එමගින් ප්‍රේම කළ කෙනෙකුට පහර ලැබූ විට ය. අසාධ්‍ය රෝගාතුර තත්ත්වයක සිටි භාර්යාවක්, මරණය සිහිකරමින් තම ස්වාමිපුරුෂයාට කියා සිටියේ, “එය ඔබට මීටත් වඩා අමාරු වෙයි” යනුවෙනි. ඇයට එසේ කිව හැකි වූයේ මන්ද? හේතුව බයිබලය මෙසේ පැවසීම ය: “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ල නුඹේ වීර්‍ය්‍යයෙන් කරපන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි [ෂෙයොලයෙහි NW ] [මිනිස් වර්ගයාගේ පොදු මිනී වළ] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:10) මළාහු තවදුරටත් වේදනා නොවිඳිති. එහෙත් සංවේගයේ පීඩාකාරී බර ඉතිරි වී සිටින ඥාතීන් හා මිත්‍රයන් මත පැටවේ. එවන් දුක් විඳීමක් ගැන යමක් කළ හැකි ද?
දේව වචනය වන බයිබලයේ පිටු තුළ, බොහෝ සැනසිලිදායක වදන් අඩංගු ව ඇත. උදාහරණයක් හැටියට, ගීතාවලිය පොත කියවීම හා ඒ මත මෙනෙහි කිරීම නිසැක ව ම සහනයේ එක් ප්‍රභවයකි. මතු සඳහන් ආකාරයේ වදන් ද සැනසිල්ල ගෙන දෙයි: “දවස්පතා අපේ බර උසුලන්නාවූ, අපේ ගැළවුම්කාරවූ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්‍රශංසාවේවා.”—ගීතාවලිය 68:19.
සැනසිල්ලේ තවත් ප්‍රභවයක් වන්නේ ක්‍රිස්තියානි සභාවයි. පොදු යුගයේ පළමු සියවසේ දී ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේ ය: “ඇත්තටම අසරණව සිටින වැන්දඹුවන්ට ගෞරවකරපන්න. නුමුත් යම් වැන්දඹු ස්ත්‍රියෙකුට [තමාට ද්‍රව්‍යමය වශයෙන් උපස්ථාන කළ හැකි] දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ. වැන්දඹුවන්ගේ ගණනට ලියවෙන්ට යුතුව සිටින්නී නම්, [වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ, නව අනුවාදය] වයසින් හැටකට අඩු නැත්තාවූ, එකම පුරුෂයෙකුට භාර්ය්යාවව සිටියාවූ, යහපත් ක්‍රියා ගැන ප්රසිද්ධවූ, දරුවන් ඇති කළාවූ, ආගත්රැක සත්කාරකළාවූ, ශුද්ධවන්තයන්ගේ පාද සේදුවාවූ, පීඩා විඳින්නන්ට උපකාර කළාවූ, සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදී සිටියාවූ තැනැත්තියක්ය.” (1 තිමෝති 5:3, 4, 9, 10) සමානාකාරයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ අද දවසේ සෙසු ඇදහිලිවන්තයන්ට එවන් උපකාරය හා සැනසිල්ල ලබා දෙති.
බොහෝ අවස්ථාවන්හි වියෝවට පත් අය හට කරන්නට සිදුවන ලොකු ම දෙය වන්නේ චිත්ත වේගීය ව සකස්වීම හෙවත් හිත හදා ගැනීමයි. “මම මගේ භාර්යාවට බොහෝ සේ ආදරය කළා” යනුවෙන් දෙවසරකට කලින් මිය ගිය තමාගේ කලත්‍රයා ගැන එක්තරා මනුෂ්‍යයෙක් ලීවේ ය. “මගේ ජීවිතයේ කනගාටුදායක ම සිද්ධිය මෙයයි, එය මට විඳදරා ගන්නට අමාරුයි.” යම් කලකට විවාහක ව සිටි පුද්ගලයෙක් මනුෂ්‍ය සම්බන්ධතාවයන්හි වඩාත් ම කිට්ටු බැඳියාව තුළ ඔහුගේ හෝ ඇයගේ ජීවිතය හවුලේ භුක්ති විඳ ඇත. විවාහක කලත්‍රයෙක් මිය යන විට, ඉතිරි වී සිටින සහකරුවාට ස්වභාවයෙන් ම මහත් පාඩුවක් දැනේ. උපකාරය සඳහා එම තැනැත්තාට කවරෙකු වෙතට හැරෙන්නට හැකි ද?
මෙවන් තත්ත්වයන් යටතේ, හොඳ ක්‍රිස්තියානි මිත්‍රත්වය වර්ධනය ගෙන දෙන සුලු යමක් වන්නට පුළුවන. “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නේ විපත්තියේදී පිහිටවීමටය” යයි නැණවත් හිතෝපදේශයක් පවසයි. (හිතෝපදේශ 17:17) වැන්දඹුවකට හෝ කනවැන්දුම් පුරුෂයෙකුට උපකාරය—එනම් සැබෑ අනුබලයක් ලබා දෙන්නා වූ මිත්‍රයන්—අවශ්‍ය ය. ශෝකවන අය කථා කරන විට කඳුලු සැලුවත්, ඥානවන්ත මිතුරෝ එසේ කිරීමට ඔවුන් ව දිරිගන්වති. ඇතැම් විට කලත්රරයෙක් අහිමි වීමේ වේදනාව හා හෘද වේදනාව ඒ වන විටත් අත්දැක ඇති ක්‍රිස්තියානියෙකුට යම් කාරුණික උපකාරයක් පිරිනමන්නට පුළුවන. “කලකිරුණු ආත්මයන් හට සැනසිලිදායක ලෙස කථා කරන” මෙන් බයිබලය උපදෙස් දෙයි. (1 තෙසලෝනික 5:14, NW) එහෙත් වැන්දඹුවන් හා කනවැන්දුම් පුරුෂයන් තමන්ගේ විවාහක කලත්‍රයන් නොමැතිකමින් වේදනාවෙන් සිටින බව මතක තබා ගන්න. එබැවින්, වියෝ දුකෙන් සිටින්නන් අන්‍යයන් කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ සියල්ලන්ට ම පිරිසිදු හැසිරීමක් පවත්වන්නට හැකියාවක් ලබා දෙන තත්ත්වයන් යටතේ පමණකි.—1 පේතෘස් 2:12.
මරණයෙන් උරුමවන වේදනාවන් සඳහා හොඳම වේදනා නාශකය වන්නේ අන්‍යයන්ට උපකාර කිරීමෙහි කාර්ය බහුල ව සිටීම ය—ඇත්තෙන් ම, තමන් ම උපකාරය අවශ්‍ය කරවන තත්ත්වයක සිටින්නේ යයි විශ්වාස කරන්නන්ට මෙය සැබෑ අභියෝගයකි! පරාර්ථකාමිත්වය ක්‍රියාවට නැගෙන්නේ මෙතැන දී ය. අන්‍යයන් වෙනුවෙන් පරාර්ථකාමී ව කටයුතු කිරීම දුක හා වේදනාව නැති කිරීමට උපකාරවත් වේ. මන්දයත් යේසුස් වහන්සේ මෙසේ වදාළ බැවිනි: “ගැනීමට වඩා දීමේ දී බොහෝ සන්තෝෂයක්” ඇත්තේ ය.—ක්‍රියා 20:35, NW.
මරණයෙන් ජය ලැබීම
බඹරෙක් විදීම ඉතා වේදනාකාරී වන්නට පුළුවන, තව ද මරණය පවා සිදුවිය හැක. කෙසේ නමුත්, ඔබගේ හමට කාවැදී ඇති එම කෘමියාගේ දළය ඉවත් කිරීම, සාමාන්‍යයෙන්, සහනදායී වන්නට උපකාරවත් විය හැකි ය. එහෙත් මරණය ඇති කරන්නා වූ විදීමෙන් සහනයක් සඳහා ඇති අපේක්ෂාවන් මොනවා ද?
මරණය ගෙනෙන්නා වූ විදීම පාපය බව පැහැදිලි කිරීමෙන් පසු, පාවුල් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ, “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා!” යනුවෙනි. (1 කොරින්ති 15:57) මරණයෙන් ජය ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධ වී තිබෙන්නේ කෙසේ ද? “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය” යයි යේසුස් වහන්සේ තමන් ගැන කථා කළ අවස්ථාවේ දී, තත්ත්වය ඒ බව උන් වහන්සේ පෙන්වා දුන් සේක. (මතෙව් 20:28) එසේ ය, දේව පුත්‍රයාණන් වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිත්, යෙහෝවඃ වහන්සේ උන් වහන්සේ තුළින් සපයා ඇති මිදීමේ මිලය කෙරෙහිත් ඇදහිල්ල තබන්නන්ට, ආදම්ගෙන් උරුම වූ මරණය දිගට ම පැවැත්මෙන් තොර ව සිටීමට හේතුවක් නොවන්නේ ය.—යොහන් 3:16.
“සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත නැගිටීමටත් පිටත්ව එන්නෝය” යන යේසුස් වහන්සේගේ වදන් ඇත්ත වශයෙන් ම දිරිගන්වන සුලු ඒවා ය.—යොහන් 5:28, 29.
ඊට සියවස් ගණනාවකට පෙර, දිවැස්වර යෙසායා පුරෝකථනය කර තිබුණේ මෙසේ ය: “උන් වහන්සේ [යෙහෝවඃ දෙවියන් වහන්සේ] ඇත්ත වශයෙන් ම මරණය සදාකාලයට ම ගිල දමන සේක, එමෙන් ම පරමාධිපති ස්වාමින් වන යෙහෝවඃ වහන්සේ සියලු මුහුණුවලින් ස්ථිර වශයෙන් ම කඳුළු පිසදමන සේක.” (යෙසායා 25:8, NW) එළිදරව් 21:4 හි බයිබලය යළිත්, මෙම ආශ්චර්යවත් අපේක්ෂාව මෙසේ ඉදිරිපත් කරයි: “[දෙවියන් වහන්සේ] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” මරණ නින්දේ පසුවන අය සඳහා වූ මෙම බයිබල් බලාපොරොත්තුවෙන් ශක්තිය ලබන වියෝවට පත් අය “බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් . . . සෝක” වන්නට උවමනාවක් නැත.—1 තෙසලෝනික 4:13.
බයිබලයේ එළිදරව් කර තිබෙන ආකාරයට, මනුෂ්‍ය වර්ගයා සඳහා දෙවියන් වහන්සේ සැපයීමට සූදානම් ව සිටින දේවල් සිතෙන් මවා ගන්නට වෑයම් කරන්න. තදාසන්න වී ඇති ‘මහත් පීඩාව’ දැනට පවතින දේවල දුෂ්ට පිළිවෙළ සඳහා නිමාවක් අදහස් කරයි. (එළිදරව් 7:14) බොරු ආගම්වලට සම්බන්ධ වී සිටින අය විනාශ කරනු ලබත්. සාගතයට හා යුද්ධයට දායක වන ගිජු දේශපාලන හා වාණිජ මූලිකාංග තවත් නොපවතී. මනුෂ්‍ය මරණ මෙතරම් සංඛ්‍යාවක් ඇති කළ, සාතන් නම් යක්ෂයා ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් පාතාලයේ සිර කරන සේක. ඉන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ සිය දහස් අවුරුදු පාලනය පටන් ගන්නා අතර, එම පාලනය තුළ සිය මිදීමේ මිලයේ වටිනාකම උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් යොදවන සේක. මළවුන් තමන් බලාපොරොත්තුවෙන් සිටි නැවත නැගිටීම ලබා නැවත පැමිණෙනු ඇති අතර, දේව වචනයේ ආලෝකය කොතරම් දීප්තිමත් ව බැබළෙනු ඇද්ද කීවොත්, මනුෂ්‍ය වර්ගයාගේ සතුරා වන, මරණය පිළිබඳ මිථ්‍යා මත තවදුරටත් නොපවතිනු ඇත. ඒ අවස්ථාවේ දී ජීවත් ව සිටින්නට යන සියල්ලන්ට ම දෙවියන් වහන්සේගේ මාර්ග ඉගෙන ගැනීමටත් උන් වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුකූල වීමටත් ප්‍රස්තාවක් ලැබෙනු ඇත.—හිතෝපදේශ 4:18; ක්‍රියා 24:15; හෙබ්‍රෙව් 2:14, 15; එළිදරව් 18:4-8; 19:19-21; 20:1-3.
“එවිට කෙළවර පැමිණේ,” එවිට ‘ක්‍රිස්තුස් යේසුස් වහන්සේ රාජ්‍යය සිය පිය වූ දෙවියන් වහන්සේට භාරදෙන සේක.’ “මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාදයට දමන තුරු රජකම්කරන්නට ඕනෑය. නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය.” යයි පාවුල් පවසයි. (1 කොරින්ති 15:23-26) ආදම්ගේ පාපයෙන් විපාක වන සියලු අබල දුබල තත්ත්වයන් එවිට නොපවතිනු ඇත. මෙහි දී අවසාන පරීක්ෂණයක් සිදුවනු ඇති අතර දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් ඇදහිල්ලෙන් එය ජය ගනු ඇත. (එළිදරව් 20:4-10) මෙහි දී පරිපූර්ණත්වයට යළි පත් කරනු ලැබ ඇති මෙම කීකරු මනුෂ්‍යයන් ජීවත් වන්නට යන්නේ අවුරුදු හැත්තෑවකට හෝ අසූවකට නොව, නැතහොත් අවුරුදු එකසිය දහයකට පවා නොව, නමුත් සදාකාලයට ම ය. සිය ප්‍රේමනීය පුත්‍රයාණන් තුළින් දෙවියන් වහන්සේගෙන් මොනතරම් අනගි දීමනාවක් ද!—රෝම 6:23.
එසේ නම්, කොතරම් දීර්ඝ කලක් ඔබට ජීවත් වන්නට පුළුවන් ද? ඔබගේ ආයු කාලය සදාකාලය පුරා විහිදෙන්නට හැකි ය. ඔබ දැනට කරමින් සිටින ආකාරයට මෙම ලෝකයේ ‘අන්තිම කාලයේ’ ජීවත් වෙමින් සිටින ඔබ, කිසිසේත් මිය නොයන්නට පවා ඉඩ ඇත. (දානියෙල් 12:4; යොහන් 11:25, 26; 17:3) ඔබ දිව්‍ය කැමැත්ත කරන්නේ නම්, දෙවියන් වහන්සේගේ පොරොන්දු වූ නව ලොව තුළට ඇතුළත් වන්නට පුළුවන.—2 පේතෘස් 3:13.
කෙසේ වෙතත්, ඔබ දැනට වයස්ගත ව සිටින්නේ නම්, මිය යාමට ඇති හැකියාව ගැන ඔබ යථාර්ථවාදී ව සලකා බැලිය යුතු ය. නිසැක ව ම, නැවත නැගිටීමේ බලාපොරොත්තුව ප්‍රීතිය ගෙන දෙයි. එහෙත් එම නව පිළිවෙළේ යෙහෝවඃ වහන්සේ පවුල් ජීවිතය සකසන්නට යන ආකාරය ගැන ඔබ කල්පනා කරන්නට පුළුවන. එවන් කාරණා ගැන කරදර වීම අවශ්‍ය නැත, මන්දයත් සදාකාලයට ම තමන් වහන්සේට විශ්වාසනීය ව සිටින්නට යන අයගේ කල්පවතින සන්තෝෂය ගැන යෙහෝවඃ වහන්සේ කටයුතු කරන්නට යන නිසා ය.
සාතන්ගේ දුෂ්ට පිළිවෙළේ අන්තරා සහිත මෙම “අන්තිම දවස්” එහි නිමාව කරා ඇදීයත් ම, මරණය පිළිබඳ භයට යෙහෝවඃ වහන්සේට සේවය කිරීමේ වරප්‍රසාදය ඔබෙන් ඉවත් කරන්නට මේ අවස්ථාවේ දී ඉඩ නොදෙන්න. (2 තිමෝති 3:1) ඔබ ප්‍රේම කරන කෙනෙක් මරණයෙන් ඔබට අහිමි වූවොත්, එයට ඇත්තා වූ තාවකාලික ස්වභාවය ඒත්තු ගෙන සහනයක් ලබන්න. (එළිදරව් 20:13, 14) නැවත නැගිටීමේ බලාපොරොත්තුව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතුව සිටින්න. එවිට, මහත් පීඩාවෙන් ගැලවීම මාර්ගයෙන් හෝ නැවත නැගිටීම මාර්ගයෙන් යන කොයි ආකාරයකින් හෝ ඔබ නව ලෝකය තුළට ඇතුල් වුවත්, මරණය නමැති අන්තිම සතුරා නියත වශයෙන් ම නැති කරනු ලබන බවට වූ දේවානුභාවය ලත් සහතිකය පිළිබඳ ව ස්ථිර වන්න.—එළිදරව් 7:9, 14.
[5වන පිටුවේ පින්තූරය]
හොඳ ක්‍රිස්තියානි ආශ්‍රිතයන්ට වියෝ දුකින් පෙළෙන අය ව ගොඩ නැංවිය හැකි ය
[7වන පිටුවේ පින්තූරය]
ප්‍රේමනීය අයකුගේ මරණයෙන් විඳින ශෝකය අඩු කිරීමට දායක වන මඟක් නම්, අන් අයට උපකාර කිරීමෙහි කාර්ය බහුල ව සිටීම ය