නිරාගින්න—ඇවිලෙමින් තිබේ ද නැතහොත් නිවෙමින් තිබේ ද?
රෙපරමාදු දේශක ජොනතන් එඩ්වර්ඩ්ස් 18වන ශතවර්ෂයේ විසූ යටත් විජිත අමෙරිකානුවන්ගේ හදවත් තුළ මහත් භයක් ඇති කළේ, ඔහු නිරයේ සිදුවන දේවල් ඉතා සජීවී අයුරින් හා බිහිසුණු අයුරින් විස්තර කළ නිසා ය. පිළිකුල් සහගත මකුළුවන් මෙන් පව්කාරයන් ව ගිනිදැල්වලට උඩින් දෙවියන් වහන්සේ එල්ලා තිබූ දර්ශනයක් වරක් ඔහු විස්තර කළේ ය. එඩ්වර්ඩ්ස් සිය සභාවට දොස් පවරමින් මෙසේ කියා සිටියේ ය: “අහෝ පව්කාරය, නුඹ එල්ලී සිටින්නේ හීන් නූලකින් ය, එය වටා දිව්‍ය උදහසේ ගිනිදැල් බුරබුරා නැගෙමින් තිබේ, ඕනෑ ම මොහොතක එය පිලිස්සී කැඩීයාමට ඉඩකඩ තිබේ.”
කෙසේ වෙතත්, එඩ්වර්ඩ්ස්ගේ අපකීර්තිමත් වූ මෙම දේශනය ඉදිරිපත් කිරීමෙන් මද කලකට පසු, නිරයේ ගිනිදැල් දුර්වල වී නිවී යන්නට පටන් ගති.a ඩී. පී. වෝකර්ගේ ද ඩික්ලයින් ඔෆ් හෙල් නම් පොතෙහි සඳහන් වන්නේ, “18වන ශතවර්ෂයේ හතරවන දශකය වන විට, නිරයට පත් කරන ලද්දවුන් සඳහා සදාකාලික වධ පැමිණ වීම පිළිබඳ මූල ධර්මයට ප්‍රසිද්ධියේ අභියෝග එල්ල වූ” බව ය. දහනව වන ශතවර්ෂය තුළ දී නිරයේ ගිනිදැල් මැලවෙන්නට විය, තව ද නිරය වනාහි ඊට ගොදුරුවූවන් සදාකාලයට ම මනසින් හා ශරීරයෙන් දරුණු ලෙස වධ විඳින්නා වූ තැනක් වන බවට වූ එඩ්වර්ඩ්ස්ගේ මතය තවදුරටත් පොදු කථාබහේ දී සාකච්ඡා කරනු ලැබුවේ නැත. “නවීන බුද්ධි වාදය මගින් ද හිරෝෂීමා මෙන් ම නාට්සි සමූලඝාතන තුළින් සිදු වූ භීෂණ මගින් ද එහි ගිනිදැල් බොහෝ සෙයින් දුබල කළ හෙයින් නිරය පිළිබඳ ඇඳ තිබූ ඉතා බිහිසුණු මානසික චිත්රයේ භයංකර බව පහව ගියේ ය” යනුවෙන් ජෙෆ්රි ෂෙලර් නමැති පත්රකලාවේදියා පවසයි.
එමෙන් ම දේශකයන් බොහෝ දෙනෙක් ගින්න හා ගෙන්දගම් සඳහා වූ සිය ආශාව නැති කර ගෙන සිටියහ. ක්‍රිස්තියානි ලෝකයේ ගතානුගතික පල්ලිවල දේශනා කූඩුවලින් නික්මුණු විචිත්‍ර දේශනා තුළ නිරයේ භීෂණයන් පිළිබඳ ඉතා උද්යෝගිමත් වූ දේශනා, තවදුරටත් සම්භ නොවී ය. ඉහළ පෙළේ දේවවේදීන් බොහෝ දෙනෙකුට, නිරය ගැඹුරට අධ්‍යයනය කිරීම සඳහා බොහෝ සෙයින් යල්පැන ගොස් ඇති විෂයක් බවට පත් විය. වසර කීපයකට පෙර එක්තරා පල්ලි ඉතිහාසඥයෙක් විශ්ව විද්‍යාල දේශනයක් සඳහා නිරය පිළිබඳ ව පර්යේෂණ කරමින් සිටි අතර ඔහු අධ්‍යයන සඟරා ගණනාවක සුචි පිරික්සී ය. ඔහුට එය සඳහන් එක ම තැනක්වත් සොයා ගත නොහැකි විය. න්යූස්වීක් සඟරාවට අනුව, එම ඉතිහාසඥයා මෙසේ නිගමනය කළේ ය: “නිරය අතුරුදහන් විය. එය කවරෙකුට හෝ දැනුනේවත් නැත.”
නිරය යළි හිස ඔසවයි
අතුරුදහන් වී ඇත් ද? ඇත්තෙන් ම නැත. පුදුම සහගත ලෙසින්, නිරය පිළිබඳ මූල ධර්මය මෑත වර්ෂවල ඇතැම් ස්ථානවල එළි බැස ඇත. අමෙරිකාවේ කරන ලද ඡන්ද විමසුමකින් පෙන්වන්නේ නිරය විශ්වාස කරන බවට පවසන ජන සංඛ්‍යාව 1981 සියයට 53 සිට 1990 සියයට 60 දක්වා වැඩි වූ බව ය. මෙයට නිරය ගැන දේශනා කරන්නා වූ මෙන් ම ලෝකය පුරා වර්ධනය වන්නාවූ එවැන්ජලිස්ත ව්‍යාපාර එක් කළ විට, ක්‍රිස්තියානි ලෝකයේ චින්තනය තුළ නිරය භාරදූර ලෙසින් යළි හිස එසවීම ඇත්තෙන් ම සමස්ත ලෝකයේ ම සිදු වන්නක් බව ප්රත්යක්ෂ වේ.
එහෙත් මෙම පුනරුදය බලපාන්නේ පල්ලිවල ගිහියන්ට පමණක් ද, නැතහොත් එය දේවගැතියන්ටත් බලපාමින් තිබේ ද? මෙහිලා සත්‍යය නම්, ජොනතන් එඩ්වර්ඩ්ස් විසින් වසර 250කට පෙර දේශනා කරන ලද පරිදි නිරාගින්න ක්‍රිස්තියානි ලෝකයේ සම්ප්‍රදායික දේශනා කූඩුවලින් කිසිලෙසකින්වත් අතුරුදහන් නොවීම ය. වර්ෂ 1991 දී, යූ. එස්. න්යූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් නිරීක්ෂණය කළ පරිදි, “ඇතැම් ගතානුගතික වූ නිදහස් මතධාරී නිකායන් අතර පවා, දේවවේදීන්, දශක ගණනාවකට පෙර කළාට වඩා නිරය පිළිබඳ අදහස ගැන වඩාත් බරපතළ ලෙස කල්පනා කරන්නට පටන් ගෙන ඇති බවට ලකුණු ඇත.” පැහැදිලි ව ම, වසර ගණනාවක නොසලකා හැරීමකින් පසු, නිරාගින්න ලෝක ව්‍යාප්ත ව යළි ප්‍රසිද්ධ වන බවට කිව හැක. කෙසේ වෙතත්, එහි ගිනිමය අංග ලක්ෂණ රඳවා ගැනීමට එයට හැකි වී තිබේ ද?
නගන ලද ප්‍රශ්න
දේවවේදී ඩබ්. එෆ්. වොල්බ්රෙක්ට්ට කිසිදු සැකයක් නොවී ය: “නිරය නිරය ම වන අතර කිසිදු මනුෂ්‍ය ප්‍රාර්ථනයක් හෝ චින්තනයක් සදාකාලික දණ්ඩනය කිසිලෙසකින් අඩු කරන්නට යන්නේ නැත.” පල්ලිවලට යන බොහෝ දෙනෙකුට එතරම් නිසැක බවක් නොමැත. නිරයේ පැවැත්ම සැක නොකළ ද, ඔවුන්ට නිරයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න ඇත. තවත් දේවවේදියෙක් මෙසේ පිළිගනී: “මටත්, නිරය බයිබලයේ සාක්ෂීන්ගෙන් පැහැදිලි ව නිවේදනය කර ඇති, ප්‍රශ්න නොකරන ලද සත්‍යතාවයක් වුවද, එහි නිසි ස්වභාවය කුමක් ද යන්න නිශ්චය කිරීම ගැටලු සහිත ය.” එසේ ය, වැඩි වන්නා වූ දේවවේදීන් හා ගිහියන් සංඛ්‍යාවකට අද දවසේ පවතින ප්රශ්නය වනුයේ, “නිරයක් තිබේ ද?” යන්න නොව නමුත් “නිරය කුමක් ද?” යන්න ය.
ඔබ පිළිතුරු දෙන්නට යන්නේ කෙසේ ද? නිරයේ ස්වභාවය පිළිබඳ ව ඔබට කියා දී ඇත්තේ කුමක් ද? එමෙන් ම අවංක ක්‍රිස්තියානින් මෙම ඉගැන්වීමෙන් සිත් කළඹවන තත්ත්වයට පත් ව සිටින්නේ මන්ද?
[පාදසටහන්වල]
a වර්ෂ 1741 ජූලි 8වන දින එඩ්වර්ඩ්ස් “උදහස් වූ දෙවි කෙනෙකුගේ හස්තයේ සිටින පව්කාරයන්” නම් දේශනය ඉදිරිපත් කළේ ය.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: Doré’s illustration of Tumult and Escape for Dante’s Divine Comedy
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Dore’s illustration of Devils and Virgil for Dante’s Divine Comedy