සදාකාලික වධ විඳීම—සිත් කළඹවන සුලු මූල ධර්මයක් වන්නේ මන්ද?
“මට ආරංචියි ඔබ ඔබගේ දේවගැතියා ව අස් කළා කියලා. වැරැද්ද මොකක් ද?”
“ඇත්තෙන් ම, අප සියල්ලන් ම නිරයට යන බව ඔහු අපට කියමින් සිටියා.”
“අලුත් දේවගැතියා කියන්නේ මොකක් ද?”
“අලුත් දේවගැතියාත් කියනවා අප නිරයට යනවා කියලා.”
“ඉතින් මොකක් ද වෙනස?”
“ඇත්තෙන් ම වෙනස තමයි, කලින් හිටපු දේවගැතියා එය කී විට, ඔහු ඒ ගැන ඉතා සතුටු වන බව හැඟුණා; එහෙත් අලුත් තැනැත්තා එය කියන විට, එය ඔහුට හෘදය බිඳෙන තරම් වේදනාවක් ඇති කරන බව හැඟුණා.”
උපමා පොතක සඳහන් ව ඇති මෙම කථාව, බයිබල් ගුරුවරුන් මෙන් ම පල්ලි යන අය බොහෝ දෙනෙක් නිරය පිළිබඳ මූල ධර්මය ගැන නොසන්සුන් තත්ත්වයක සිටින බව විශේෂිත ක්‍රමයකට පිළිබිඹු කරයි. වඩාත් පුළුල් පරිමාණයකින් ගත් කල, එය කැනේඩියානු දේවවේදී ක්ලාක් එච්. පිනක් නිරීක්ෂණය කළ දෙය තහවුරු කරයි: “ගත වූ ශතවර්ෂයන් පුරා මනුෂ්‍ය හෘදය සාක්ෂියට වධ දී ඇති දේව ධර්ම ඉගැන්වීම් සියල්ල අතරින්, ශරීරයේ හා ආත්මයේ සදාකාලික වූ සචේතනික දඬුවමක් හැටියට නිරය පිළිබඳ ලද අර්ථ දැක්මට, වඩා වැඩි කනස්සල්ලක් ඇති කර තිබෙන්නේ ස්වල්පයක් පමණ යයි මම සිතමි.”
සදාචාරමය ඇඟවීම්
එසේ නම්, ක්‍රිස්තියානි ලෝකයේ ඉදිරිපත් කරනු ලබන නිරය පිළිබඳ දර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කරදරයට පත් වන්නේ මන්ද? (කොටුව බලන්න.) මහාචාර්ය පිනක් මෙසේ ගෙනහැර දක්වයි: “සිහි ඇති ප්රාණියෙකුට නිමා නොවන කාලයක් පුරා, කායික ව හා මානසික ව වධ විඳීමට සිදුවන බවට වූ සංකල්පය, බොහෝ සෙයින් කැළඹීම් ඇති කරවන්නක් වන අතර, දිව්‍ය ආඥාවක් අනුව මෙය ඔවුන් කෙරෙහි නියම කරනු ලබන බවට වූ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබඳ මගේ ස්ථිර විශ්වාසය ව්‍යාකූලත්වයට පත් කරයි.”
එසේ ය, සදාකාලික වධ පැමිණ වීම පිළිබඳ ඉගැන්වීම සදාචාර ගැටලුවක් ඉදිරිපත් කරයි. උදාහරණයක් වශයෙන්, කතෝලික දේවවේදී හාන්ස් කුං විසින් නගන ලද මතු සඳහන් ප්‍රශ්න අවංක ක්‍රිස්තියානිහු මෙනෙහි කරති: “ප්‍රේමයේ දෙවියන් වහන්සේ . . . තමන්ගේ මැවිලිවලට පමුණුවනු ලබන මෙම නිමා නොවන, බලාපොරොත්තු විරහිත, අනුකම්පා රහිත, ප්‍රේමය රහිත, කෲර කායික වූ ද මානසික වූ ද වධ කිරීම සදාකාලයෙන් සදාකාලයට බලා සිටිය යුතු ද?” කුං වැඩිදුරටත් මෙසේ පවසයි: “උන් වහන්සේ එතරම් දැඩි හෘදයක් ඇති ණය හිමියෙක් ද? . . . පළිගැනීමට ඇති තමාගේ පිපාසය මෙවන් ආකාරයකට සංසිඳුවා ගත් මනුෂ්‍යයෙක් ගැන අප කුමක් කල්පනා කරනු ඇද්ද?”a ඇත්ත වශයෙන් ම, අපගේ සතුරන්ට අප ප්‍රේම කළ යුතු යයි බයිබලය තුළින් අපට පවසන දෙවියන් වහන්සේ, තමන්ගේ සතුරන්ට සදාකාලයට ම වධ කිරීමට කැමති විය හැක්කේ කෙසේ ද? (1 යොහන් 4:8-10) නිරයේ ස්වභාවය කෙසේ හෝ දෙවියන් වහන්සේගේ ස්වභාවය සමඟ ගැළපිය නොහැකි බවත්, මෙම මූල ධර්මය සදාචාරමය අර්ථයක හැඟීමක් ලබා නොදෙන බවත් ඇතැමෙක් නිගමනය කිරීම, පුදුමයක් නොවේ.
වෙනත් බොහෝ ඇදහිලිවන්තයෝ මෙම ප්‍රශ්න මඟ හැරීමෙන් තමන්ගේ හෘදය සාක්ෂිය නිහඬ කිරීමට වෑයම් කරති. කෙසේ වෙතත් මෙම ප්‍රශ්න නොසලකා සිටීම, මෙම ව්‍යාකූලත්වය ඇති කරවන ප්‍රශ්න අතරුදහන් වී යෑමට සලස්වන්නේ නැත. එනිසා අපි ප්‍රශ්නයට මුහුණ දෙමු. මෙම මූල ධර්මය හා සම්බන්ධ ව පවතින සදාචාරමය ඇඟවීම් කවරේ ද? ක්රිස්වෙල් තියොලජිකල් රිව නම් ග්‍රන්ථයේ, මහාචාර්ය පිනක් මෙසේ ලියයි: “සදාකාලික ව වධ කිරීම, සදාචාර දෘෂ්ටියකින් ගත් කල එය නොඉවසිය හැකි යමක් වේ. හේතුව, එය, ඊට ගොදුරු වන්නන්ට මැරෙන්නට පවා ඉඩ නොහරිමින්, ඖෂවිට්ස් නාට්සි සිර කඳවුරක් වූ අවුෂ්විට්ස් වැනි තත්ත්වයක සදාකාලයට ම තබා ගන්නා ලේ පිපාසාවෙන් සිටින රාක්ෂයෙක් බවට දෙවියන් වහන්සේ ව පත් කරවන නිසා ය.” ඔහු මෙසේ ද විමසයි: “දයානුකම්පාවක් ඇති කවරෙකුට හෝ මෙවන් අදහසක් [නිරය පිළිබඳ සම්ප්‍රදායික මූල ධර්මය] මෙනෙහි කරමින් සන්සුන් ව සිටිය හැක්කේ කෙසේ ද? . . . ක්‍රිස්තියානින්ට මෙවන් කුරිරුකම් හා දෝෂ සහිත තත්ත්වයකින් යුත් දේවත්වයක් කෙරෙහි අවධානය යොමු කළ හැක්කේ කෙසේ ද?”
මනුෂ්‍යයාගේ හැසිරීම කෙරෙහි මෙම මූල ධර්මය ඇති කරන්නට ඇති නපුරු බලපෑම පෙන්වමින්, පිනක් මෙසේ පවසයි: “තමාගේ සතුරන්ට වධ පමුණුවන්නා වූ දෙවි කෙනෙක් කෙරෙහි විශ්වාස කළ අය විසින් කුමනාකාරයේ කුරිරුකම් කර තිබේදැයි කියා පවා මම කල්පනා කරන්නෙමි.” ඔහු අවසාන වශයෙන් මෙසේ පැවසී ය: “මෙය යළි සලකා බැලීමක් අවශ්‍ය කරවන අතිශයින් කැළඹිලි සහගත සංකල්පයක් නොවේ ද?” එසේ ය, මෙවන් කුරිරුකම් දෙවියන් වහන්සේට පවරනු ලැබේ නම්, සංවේදී පල්ලි යන්නන් නිරාගින්න යළි පරීක්ෂා කර බැලීම පුදුමයක් නොවේ. එමෙන් ම ඔවුන් දකින්නේ කුමක් ද? සදාකාලික වධ පැමිණ වීම පිළිබඳ අදහසට පහර දෙන තවත් ගැටලුවකි.
නිරය හා යුක්තිය
නිරයේ සම්ප්‍රදායික මූල ධර්මය ගැන කල්පනා කරන බොහෝ දෙනෙක්, එය දෙවියන් වහන්සේ අයුක්ති සහගත ආකාරයකට ක්‍රියා කරන බව විස්තර කරන්නේ යයි දකිත්. එනිසා එය යුක්තිය පිළිබඳ ඔවුන්ගේ ස්වභාවික හැඟීමට පටහැනි වේ. කොයි ආකාරයෙන් ද?
සදාකාලික ව වධ පැමිණ වීම් පිළිබඳ මූල ධර්මය දෙවියන් වහන්සේ විසින් දෙන ලද “ඇසට ඇසත් දතට දතත්” යන යුක්තිය පිළිබඳ ප්‍රමිතියත් සමඟ සැසඳීමෙන්, ඔබට පිළිතුර සොයා ගත හැකි ය. (නික්මයාම 21:24) තර්ක කරනු පිණිස, නියම විපාකය සම්බන්ධ නීතියක් වූ, පුරාතන ඊශ්‍රායෙල්වරුන්ට දෙනු ලැබූ එම දිව්‍ය නීතිය නිරාගින්න පිළිබඳ මූල ධර්මයට අදාළ කරන්න. ඔබ බොහෝ දුරට එළඹෙනු ඇත්තේ කිනම් නිගමනයට ද? එනම් සදාකාලික වධ වේදනා පමුණුවා ඇති පව්කාරයන්ට පමණක් අනුරූප ව සදාකාලික වධ වේදනා ලැබීමට යෝග්‍ය තත්ත්වයක සිටින බව ය—එනම් සදාකාලික වධ වේදනා සඳහා සදාකාලික වධ වේදනා. එහෙත් මනුෂ්‍යයන්ට (කොතරම් දුෂ්ට වුවත්) පැමිණ විය හැක්කේ සීමා සහිත කලකට පමණක් බැවින්, ඔවුන් ව සදාකාලික වධ වේදනාවන් විඳීමට නියම කිරීම, ඔවුන්ගේ අපරාධය හා අසීමිත කාලයකට දෙන නිරාගින්නේ දඬුවම අතර අසමානකමක් ඇති කරයි.
සරල ව කියතොත්, දඬුවම පමණට වඩා දැඩි වනු ඇත. එය “ඇසට ඇසත් දතට දතත්” යන්න බොහෝ සෙයින් ඉක්මවා යනු ඇත. එමෙන් ම යේසුස් වහන්සේගේ ඉගැන්වීම් පළිගැනීමේ අදහස මර්දනය කළ බව ඔබ සලකා බලන විට, සැබෑ ක්‍රිස්තියානින්ට සදාකාලික වධ වේදනා පැමිණවීමේ යම් යුක්ති සහගත තත්ත්වයක් දැකීමට අමාරු බව ඔබ පිළිගනු ඇත.—මතෙව් 5:38, 39; රෝම 12:17.
මූල ධර්මය යුක්ති සහගත කරවීම
එහෙත්, ඇදහිලිවන්තයෝ බොහෝ දෙනෙක් එම මූල ධර්මය යුක්ති සහගත යයි කීමට වෑයම් කරත්. ඒ කෙසේ ද? මූල ධර්මයට පාක්ෂික බොහෝ දෙනෙක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජාතික ලේඛක ක්ලයිව් එස්. ලුවිස්, ද ප්‍රොබ්ලම් ඔෆ් පේන් නම් සිය පොතේ මෙසේ පවසයි: “මට බලය තිබේ නම්, ක්‍රිස්තියානි ධර්මයෙන් මා මෙයට වඩා කැමැත්තෙන් ඉවත් කරන්නා වූ අන් මූල ධර්මයක් නොමැත. එහෙත් එයට ශුද්ධ ලියවිල්ලේත්, විශේෂාකාරයෙන් අපගේ ස්වාමීන් වහන්සේගේ ම වදන්වලත් පූර්ණ අනුබලය ලැබේ.” මෙසේ, අනුග්රාහකයෝ සදාකාලික වධ පැමිණ වීම පිළිකුල් සහගත යයි ඇත්ත වශයෙන් ම පිළිගත්ත ද, ඒත් සමඟ ම ඔවුන්ට බයිබලය එය උගන්වන බවට හැඟෙන බැවින්, එම මූල ධර්මය අනිවාර්ය එකක් යයි කියා සිටිති. දේවවේදී පිනක් මෙසේ සඳහන් කරයි: “එහි අප්‍රසන්න තත්ත්වය පිළිගැනීමෙන්, ඔවුහු බයිබලය කෙරෙහි සිය අඛණ්ඩ විශ්වාසකමත්, හුදෙක් ශුද්ධ ලියවිල්ල එය උගන්වන බැවින් එවන් බිය උපදවන සත්‍යයක් ඔවුන් පිළිගැනීම තුළ යම් වීරත්වයකුත් සනාථ කිරීමට බලාපොරොත්තු වෙති. ඔවුහු බයිබලයේ නොවරදින භාවය අවදානමට ලක් ව ඇතැයි අඟවති. එහෙත් ඇත්තෙන් ම සැබෑ තත්ත්වය එය ද?”
බයිබලයට විශ්වාසනීය ව සිටීම, තේරීමක් නොකර මෙම මූල ධර්මය පිළිගැනීමට ඔබට බලකරන්නේ දැයි ඔබත් කල්පනා කරන්නට පුළුවන. බයිබලය සැබවින් ම කියන්නේ කුමක් ද?
[පාදසටහන්වල]
a ඉටර්නල් ලයිෆ්?—ලයිෆ් ආෆ්ටර් ඩෙත් ඈස් අ මෙඩිකල්, ෆිලසොෆිකල්, ඇන්ඩ් තියලොජිකල් ප්‍රොබ්ලම්, 136වන පිටුව.
[5වන පිටුවේ කොටුව]
සමාන අදහස් තුනකින් සමන්විත දසුනක්
රෙපරමාදු භක්තිකයින් බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලබන, වෙස්ට්මිනිස්ටර් ඇදහිල්ලේ ප්‍රකාශය පවසන්නේ ස්වර්ගයට නොයන අය, “සදාකාල වධ වේදනාවන්ට පමුණුවා, සදාකාල විනාශයෙන් දඬුවම් කරනු ලබන” බව ය. “රෝමානු කතෝලික ක්‍රිස්තියානි ධර්මයේ නිරය, . . . ගින්නේ මෙන් ම වෙනත් වධ වේදනාවන්ගෙන් සමන්විත . . . නිම නොවන්නා වූ දඬුවම් විඳින තත්ත්වයක් හැටියට කල්පනා කෙරේ” යයි දි එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් පැහැදිලි කරයි. “නිරය වනාහි ශාප ලත් අය සඳහා නියම වූ සදාකාල ගින්නේ හා දඬුවමේ ඉරණමක් බවට වූ ඉගැන්වීම” “නැගෙනහිර ඕතඩොක්ස් ක්‍රිස්තියානි ධර්මය” ද එයාකාරයෙන් ම පිළිගන්නා බවට මෙම විශ්වකෝෂය වැඩිදුරටත් පවසයි.—වෙළුම 6, පිටු 238-9.