කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කිරීමට ඔබට හැක!
අවුරුදු 23ක් වයසැති එක්තරා මිනිසෙකුගේ දුක්බර තත්ත්වය සලකා බලන්න. ඔහුට සීමිත අධ්‍යාපනයක් පමණක් තිබෙන අතර, ඔහු වැඩ කරමින් සිටින්නේ අවම වැටුපකට ය. විවාහ වීම හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම ගැන ඔහුට සිතා ගන්නටවත් බැරුවා සේ ය. “ඔහු බොහෝ දුකට පත්වී කලකිරී සිටිනවා” කියා ඔහුගේ මව පැවසීම පුදුමයක් නොවේ. මෙම යෞවනයාගේ තත්ත්වය තවත් මිලියන සංඛ්‍යාවකගේ තත්ත්වයට බෙහෙවින් සමාන ය. කුමක් හෝ හේතුවක් නිසා, සෑම ජීවිත රටාවකට ම අයත් අය කලකිරීමෙන් සිටිති.
කලකිරීම [Frustration] යනු, “නිෂ්ප්රභා වූ ආශාවන්, අභ්‍යන්තර ගැටුම්, හෝ වෙනත් නිරාකරණය නොවූ ගැටලු යනාදියෙන් පැන නගින සුරක්ෂිත බවක් නැති කමේ, අධෛර්ය වීමේ, හා අතෘප්තිමත් බවේ බලවත් නිදන්ගත හැඟීමකි නැතහොත් තත්ත්වයකි.” (වෙබ්ස්ටර්’ස් තර්ඩ් න ඉන්ටනැෂනල් ඩික්ෂනරි) යමක් ඉෂ්ට කර ගැනීමට අප වෙහෙස මහන්සි වී වෑයම් කළ ද, එය සාර්ථක නොවන අවස්ථාවන්හි දී අපි කලකිරීම අත්දකිමු. අප හැරෙන සෑම පැත්තක් ම ඇහිරී තිබෙන බවට හැඟීමක් අපට ඇති වේ. එය හරියට ම සාර්ථක වීමට කිසි අවකාශයක් නැති ව, අප අපගේ හිස ගල් බිත්තියක ගසා ගනිමින් සිටිනවා වාගේ ය. මෙවිට හැඟෙන ආකාරය අපි සියල්ලන් ම දනිමු.
තෘප්තියට පත් විය නොහැකි යයි හැඟෙන රැකියාවන්හි නියුක්ත සේවකයන්ට නොවටිනා භාවයේ හැඟීම් ඇති විය හැකි ය. කිසිවෙක් තමන් ගැන සැලකිලිමත් වී කෘතඥපූර්වක නොවන්නේ නම්, තමන්ගේ එදිනෙදා කාංසාවන් හා වෙහෙසකාරී යුතුකම් සමඟ පොර බදින භාර්යාවන්ට නැතහොත් මව්වරුන්ට සම්පූර්ණ නොවූ බවේ නැතහොත් අගයනු නොලැබීමේ හැඟීමක් ඇති විය හැකි ය. අධ්‍යාපනය ලැබීමට දරන වෑයම්වල දී පාසලේ අමාරුකම්වලට මුහුණ දෙන යෞවනයන්ට කලකිරීමේ හැඟීමක් ඇති විය හැකි ය. සුළු ජාතීන්ගේ කණ්ඩායම්වලට අයත් සාමාජිකයෝ, තමන් අයුක්ති සහගත වෙනස්කම්වලට භාජනය වෙමින් සිටින බවට ඒත්තු ගෙන, මහත් නොසතුටට හා කලකිරීමට පත් විය හැකි ය. අවංක ව හොඳ තත්ත්වයේ පවතින නිෂ්පාදනයන් හෝ සේවාවන් සැපයීමට වෑයම් කරන ව්‍යාපාරිකයන් ව, කිසි ප්‍රතිපත්තියක් නැති හා වංක තරඟකරුවන් විසින් මූල්‍යමය වශයෙන් විනාශයට ලක් කළ හැකි ය. මේවා හා මීට සමාන අත්දැකීම් බොහෝ දෙනෙකු තුළ කලකිරීම ඇති කරවමින්, අපේක්ෂා භංගත්වයට පත් කරවයි.
මීට සියවස් ගණනාවකට පෙර ජීවත්වූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකුට තම කලකිරීම අපට තේරුම් ගත හැකි වචනින් ප්‍රකාශ කළ හැකි විය. ඊශ්‍රායලයේ සාලමොන් රජු මෙසේ පැවසී ය: “නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටුමි. මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට [හදවතට NW] නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය.” (දේශනාකාරයා 2:11, 22, 23) විපාකදායී ජීවිතයක් තමන්ගෙන් අහිමි කරන්නා වූ කලකිරීම සමඟ ක්‍රියා කිරීමට වෑයම් කිරීමේ දී, බොහෝ දෙනෙකුට හැඟෙන අපේක්ෂා භංගත්වයේ හැඟීම් සාලමොන්ගේ වදන්වලින් පළ වෙයි.
කලකිරුනු මිනිසුන් බලාපොරොත්තු සුන් වූ සිහිවිකල් තත්ත්වයකට පවා පත් වෙන්නට පුළුවන. මෙය තදබල ලෙස දැනුන අවස්ථාවන්හි සමහරෙක් ඊට එරෙහි ව කරන සටන අත්හැර දමා, සමාජයේ සාමාන්‍ය සාරධර්මයන් නොසලකන ආකාරයට ජීවත්වීමට පටන් ගෙන තිබේ. තමන්ට අයිති යයි ඔවුන් සිතන දෙය ලබා ගැනීමට, සමහරෙක් අපරාධ හා ප්රචණ්ඩතාවයට නැඹුරු වී ඇත. අනුකම්පා රහිත පීඩනයන්, විවාහයන් හා පවුල් සම්බන්ධතා බිඳ හෙලා තිබේ.
අපෙන් වැඩි පිරිසකට කලකිරීම සමඟ කටයුතු කිරීම සඳහා ක්‍රම සෙවීමට මහත් වෑයමක් දැරීමට සිදුවෙනවා විය හැක. අප කුමක් කළත්, දේවල් වඩාත් බරපතළ අතට හැරෙන බව පෙනෙන්නට පුළුවන. “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය” යයි හිතෝපදේශ 13:12 පවසයි. අපගේ ශාරීරික හා ආත්මික ශුභසාධනය අන්තරායට පත් විය හැකි ය. තත්ත්වය බලාපොරොත්තුවක් නැතුව ම ද? අපගේ ඌනතාවයන් හා වැරදිවලට වන්දියක් වශයෙන් අප සැමදා කලකිරීමෙන් යුතු ව ජීවත් විය යුතු ද? වඩාත් තෘප්තිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කිරීමට යම් ප්‍රායෝගික පියවර කිසිත් ගත හැකි ද? අපි බලමු.
කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කිරීම සඳහා ඇතැම් මාර්ග
අපට ගැටලුවක් තිබෙන විට, අපට අවවාද අවශ්‍ය විට, මේ සඳහා අපි සාමාන්‍යයෙන් අපට විශ්වාස කළ හැකි, අවබෝධය ඇති, අත්දැකීම් ලත් කෙනෙකු වෙතට යන්නෙමු. හිතෝපදේශ 3:5, 6 මෙසේ නිර්දේශ කරයි: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [හෘදයෙන් NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි විශ්වාසකරපන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකාපන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.” දේව වචනය වන, බයිබලය තුළ, ප්‍රායෝගික අවවාද සොයා ගත හැකි ය. එය සපයන්නා වූ තික්ෂ්ණ බුද්ධියේ සමහරක් ආදර්ශයන් සලකා බලන්න.
කලකිරීම ජීවිතය පැවැත්වීම සඳහා වැඩ කිරීම හා සම්බන්ධ විය හැකියි. උදාහරණයක් වශයෙන්, අපගේ ලෞකික රැකියාව තෘප්තිදායක එකක් විය හැකි වුවත්, ඊට ලැබෙන අඩු වැටුප අසහනයට [විෂාදයට, depression] හේතුකාරකයක් විය හැකි ය. අප අපගේ පවුලේ අයට ප්‍රේම කරන අතර ඔවුන්ට හොඳ ම දෙය ලබා දීමට අප තුළ ආශාවක් තිබේ. එහෙත් අපගේ මූල්‍යමය වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ඇති වන කනස්සලු ගතියට නිමාවක් නැතුවාක් සේ ය. අප අතිකාල වැඩ කරන්නටත් ඇතැම් විට අමතර රැකියාවක් ලබා ගන්නටත් පුළුවන. යම් කලකට පසු, ජීවිතය සඳහා ආහාර අනුභවය, නිදා ගැනීම, හා වැඩ කිරීම වෙහෙසකාරී චක්‍රයක් බව පෙනෙන්නට පුළුවන. එහෙත්, බිල්පත් ගොඩ ගැසේ, ණය බර වැඩිවේ, එමෙන් ම කලකිරීම වැඩි වර්ධනය වෙයි.
බාහිර රැකියාවක මූලික අරමුණ වනුයේ අපගේ අවශ්‍යතාවයන් සඳහා මුදල් ඉපයීම ය. එහෙත් අපට අවශ්‍ය වන්නේ කොතරම් ප්‍රමාණයක් ද? ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වේ ය: “අප මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත, එයින් අපට කිසිවක් ගෙනයන්ටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇත්නම් එයින් [ලත් පමණින් NW] සතුටුවන්නෙමුව.” අප උත්සාහ කරන්නේ, වෙනත් අයට තිබෙන හෝ වෙනත් අයට කළ හැකි තරමට පෑහී, අපත් වඩාත් වැඩියෙන් දේවල් ලබා ගැනීමට ද? එසේ නම්, අප කලකිරීමේ විපාක කපා ගනු ඇත්තේ ය. පාවුල් මෙසේ අනතුරු ඇඟවී ය: “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.” (1 තිමෝති 6:7-10) ද්‍රව්‍යමය හඹායෑම් පිළිබඳ අවංක තක්සේරුවක් කිරීමෙන් සමහරක් අනවශ්‍ය දෑ හෙළි කර ගත හැකි ය. සකසුරුවම සම්බන්ධ සමහරක් සාධාරණ වෙනස්කම් කිරීම හා වඩාත් සරල ජීවිත ක්‍රමයක් තෝරා ගැනීම අපගේ කලකිරීම අඩු කර ගැනීමට අතිශයින් උපකාරවත් විය හැකි ය.
ඉටුකර ගත නොහැකි වූ ස්වභාවික ආශාවන් බොහෝ සේ කලකිරීමට හේතු කරවා තිබේ. නිදසුනක් වශයෙන්, විවාහ වී පවුල් ජීවිතයත් සමඟ පැමිණෙන සුරක්ෂිත භාවය හා උණුසුම් ආදරය ලබා ගැනීමට මහත් ආශාවක් යෞවනියක් තුළ ඇති වීම ස්වභාවික දෙයකි. මේ සඳහා, ඇය නූතන විලාසිතා මෙන් ම රූප ලාවණ්‍යය වැඩි කර ගැනීමට උපකාරවත් වන දෑ සමඟින් තමා ව සිත් ඇදගන්නා සුලු කෙනෙකු කර ගැනීමටත්, ආදරවන්තයෙකු නැති අයට අවවාද දෙන විටින් විට පළ වන ප්‍රකාශන කියවීමටත් මහත් ආශා ඇත්තියක් බවටත් පත් විය හැකි ය. මෙම ස්ත්‍රිය සුදුසු යමෙක් හමු වීමේ බලාපොරොත්තුවෙන් අනන්ත අප්‍රමාණ සමාජ උත්සවවලට සහභාගි විය හැකි වුවත්, ඒ සියල්ල අසාර්ථක වෙයි. මෙසේ වසර ගණනාවක් ගත වීමත් සමඟ ම, කලකිරීම දරා ගත නොහැකි තත්ත්වයට පත් වේ. බලාපොරොත්තු සියල්ල සුන් වී සිටින ඇය තුළ, නුසුදුසු යමෙකු සමඟ විවාහ වීමට පෙලඹීමක් ඇති විය හැක. මීටත් වඩා දරුණු දේ නම්, සෙනෙහස සඳහා ඇති ඇයගේ දැඩි ආශාව තෘප්තිමත් කර ගැනීමට, ඇය දුරාචාර හැසිරීමේ ද සම්බන්ධ වීමට හැකියාවක් තිබීම ය.
විවාහ වීමට ආශා කරන ස්ත්‍රියක් හා සම්බන්ධයෙන් ගත් කල, ඉවසීම හා හොඳ විනිශ්චය අත්‍යවශ්‍ය ය. නුසුදුසු තැනැත්තෙක්—විශේෂයෙන් යෙහෝවඃ වහන්සේ කෙරෙහි ඇදහිල්ල හීන අයෙකු—සමඟ විවාහ වීම, බරපතළ වරදක් වනු ඇත. (1 කොරින්ති 7:39; 2 කොරින්ති 6:14, 15) අනිවාර්යයෙන් ම දුරාචාරය මඟ පාදන්නේ අන් කිසිවකට නොව නමුත් හෘද වේදනාවන්ට හා බලාපොරොත්තු රහිත භාවයට ය. (හිතෝපදේශ 6:32, 33) අවංක ලෙස තමා ව ම පරීක්ෂා කර බලමින්, කාරණය සමඟ සිහි නුවණින් ක්‍රියා කිරීම, උපකාරවත් වේ. නවීන පන්නයේ විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් නැතහොත් අසාමාන්‍ය සුවඳ විලවුන්වලට වඩා, “මෘදුවූ නිශ්චලවූ ගතියකට” හරි ආකාරයේ විවාහ කලත්‍රයෙකුගේ සිත් ඇද ගත හැකි ය. (1 පේතෘස් 3:3, 4) බොහෝ විට දුර නොදක්නා නැතහොත් වැදගැම්මකට නැති ලෞකික විශේෂඥයන්ගේ අවවාද කෙරෙහි රැඳී සිටිනවා වෙනුවට, ප්‍රේම කරනු ලබන හා ආදරයෙන් රැකබලා ගනු ලබන භාර්යාවක් වීමට අවශ්‍ය කරවන දෑ ඉගෙන ගැනීමට විවාහයේ නිර්මාතෘවරයා වෙතට යාම අතිශයින් වැදගත් ය. (හිතෝපදේශ 31වන පරිච්ඡේදය) අවිවාහක පුරුෂයන් හා ස්ත්‍රීන්, තමන් කලත්‍රයෙකු තුළ තිබීමට ආශා කරන ගුණාංග විදහා පෙන්වීමට වෑයම් කළ යුතු ය. බයිබල් ප්‍රතිපත්තිවලට ගෞරව කරන්නා වූ සෙනඟ සමඟ සනීපදායී ඇසුරක් පැවැත්වීමට සෙවීම කොතරම් ඥානවන්ත ද! අපි මේ දේවල් ජීවිතයේ අදාළ කර ගන්නෙමු නම්, සන්තෝෂවත් විවාහයක් සඳහා අපගේ අපේක්ෂාවන් අතිශයින් ම වඩාත් හොඳ වනු ඇත. අප්‍රමාද ව විවාහයක් කර ගත නොහැකි වුවද, ශුද්ධ ලියවිල්ලට එකඟ ව ක්‍රියා කිරීම ප්‍රීතිය ගෙනෙනු ඇති අතර තනිකඩ භාවයේ ජීවිතය ඉතා විපාකදායී යමක් කරවනු ඇත.
දැරීමට අපහසු වගකීම් සමූහයක් අප ව බලවත් කෝපයට පත් කළ හැකි ය. සෑම පැත්තකින් ම පීඩනයන් තිබෙන්නට පුළුවන. අප අපගේ පවුලේ දැඩි අවශ්‍යතා සිතැති ව සිටින අතර, අපගේ රැකියාවේ ස්වාමියා කිසිවිටෙක තෘප්තියට පත් නොවන කෙනෙකු විය හැකි ය. ඥාතීන් තමන් අර්බුදයකට මුහුණ දෙන සෑම වතාවක ම තමන්ට උපකාර කිරීමක් අපෙන් බලාපොරොත්තු විය හැකි ය. බොහෝ පීඩනයන් නිසා, නොසලකා හරින ලද පුද්ගලික කාරණා රැසකට අපගේ අවධානය යොමු කරන්නට සිදු වී තිබේ. අපගේ කාලය හා ශ්‍රමය විවිධ දිශා සමූහයකට එකවර යොමු කළ යුතු යයි පෙනෙන්නට පුළුවන. කලකිරීම බලවත් කෝපයක් බවට පරිවර්තනය විය හැකි අතර, සියල්ල අත්හැර දැමීමට අප තුළ හැඟීමක් ඇති විය හැකි ය. ඉතින්, අප කුමක් කළ යුතු ද?
අප අපගේ ප්‍රමුඛත්වයන් යළි සලකා බැලීම ඥානවන්ත වනු ඇත. අප විසින් කළ හැකි දේවලට සීමාවක් තිබෙන නිසා, අන්‍යයන් විසින් කරනු ලබන සෑම ඉල්ලීමක් ම ඉටු කිරීම අපහසු ය. අප වඩාත් “උතුම් වූ [වැදගත් වූ NW] දේවල්” කෙරෙහි පමණක් කාරණා සීමා කර ගත යුතු ය. (පිලිප්පි 1:10) සියල්ල සලකා බැලූ කල, “මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය.” (දේශනාකාරයා 9:4) ඇතැම් වගකීම් උග්‍ර ඒවා වන අතර ඒවා පමා කළ නොහැකි ය. එහෙත් එතරම් වැදගත් නොවන ඒවා කල් දැමීමට සිදු විය හැකි ය. වෙනත් අය විසින් ද හවුල් විය යුතු ඇතැම් වගකීම් සඳහා පූර්ණ වගකීම අප භාර ගෙන තිබෙනවා වන්නට පුළුවන. සමහරක් වගකීම් අත්‍යවශ්‍ය නොවේ නම්, ඒවා සහමුලින් ම ඉවත් කර දැමීමට සිදු විය හැකි ය. මෙය මුලින් ම වෙනත් අයට අපහසුවක් ඇති කළත් ඔවුන්ගේ බලාපොරොත්තුව කඩ කරනවා වුවත්, අපගේ ම ශාරීරික හා චිත්ත වේගීය සීමාවන්ට ගෞරව කිරීමට අපට අවශ්‍ය ය.
බෙලහීන කරවන රෝගයක් නිසා අපට එක දිගට දින හෝ සති ගණනාවක් ගිලන් යහනක සිටීමට සිදු විය හැකි හෙයින් එයට ඉතා ප්රකෝපකාරී කලකිරීමක් ඇති කළ හැකි ය. අධික වේදනාව අප ව දුක්ඛිත තත්ත්වයට පත් කළ හැකි ය. සුවයක් බලාපොරොත්තුවෙන්, යම් හොඳක් වේ යයි සිතා ගෙන, අප එක් වෛද්‍යවරයෙකුගෙන් තවත් වෛද්‍යවරයෙකු වෙතට යන්නට පුළුවන, නැතහොත් බෙහෙත් හෝ විටමින් බොහොමයක් ගන්නවා විය හැක. එහෙත්, අප දිගට ම වේදනාකාරී තත්ත්වයක සිටිය හැකි අතර, එසේ ජීවත්වීමට වෑයමක් දැරීම වටින්නේ දැයි පවා කල්පනා කරන්නට පටන් ගත හැකි ය.
මෙය දෙවියන් වහන්සේගේ නව ලෝකයේ දී පමණක් පිළියම් කළ හැකි ගැටලුවක් වන්නට පුළුවන. (2 පේතෘස් 3:13; යෙසායා 33:24 සසඳන්න.) මිනිසුන් අසම්පූර්ණ බැවින්, වෛද්‍යවරුන්ට හා ඖෂධවලට කළ හැකි ප්‍රමාණය සීමිත ය. යම් අවස්ථාවක දී, අප අපගේ වේදනාවන් ජීවිතයේ කොටසක් ලෙසට භාර ගත යුතු ය. ප්‍රේරිත පාවුල්ට ‘මාංසයේ උලක්’ තිබුණි. මෙය ඇතැම් විට ඔහුගේ ඇස්වල නැතහොත් ඔහුගේ ශරීරයේ වෙනත් කොටසක ලෙඩක් වූවා විය හැකි ය. මෙය ඔහුට කොතරම් කරදරකාරී වූයේදයත්, ඔහු නොකඩවා සහනය ඉල්ලා යාච්ඤා කළේ ය. (2 කොරින්ති 12:7-10) එහෙත් දෙවියන් වහන්සේ පාවුල් ව සුව කළේ නැත, තව ද එම ප්රේරිතයාට තමාගේ මරණය දක්වා එම රෝගී තත්ත්වය සමඟ ක්‍රියා කරන්නට සිදු වූවා විය හැක. ඔහු ඔහුගේ වේදනාවත් සමඟ ජීවත් විය, ඔහු අනුකම්පාව ඉල්ලා සිටියේ නැත, එසේ ම ඔහු ඔහුගේ ප්‍රීතිය නැති කර ගත්තේ ද නැත. (2 කොරින්ති 7:4) හරි දේට ඍජු ව සිටි තැනැත්තෙක් වූ යෝබ් මහත් ලෙඩදුක් වින්ඳ ද, ඔහු යෙහෝවඃ වහන්සේ කෙරෙහි සිය ඇදහිල්ල පැවැත්වූ අතර මෙය මහත් විපාක ලැබීමට හේතු විය. (යෝබ් 42:12, 13) අප දෙවියන් වහන්සේගේ සේවකයන් නම්, අපට මෙම ආදර්ශයන් මෙනෙහි කිරීමෙනුත්, යෙහෝවඃ වහන්සේගේ උපකාරය සඳහා යාච්ඤා කිරීමෙනුත් දිගට ම වැඩකටයුතු කරගෙන යාමට ශක්තිය සොයා ගත හැකි ය.—ගීතාවලිය 41:1-3.
කලකිරීම මැද ශක්තිමත් ව
කිනම් ආකාරයේ කලකිරීම් තිබුණ ද, යෙහෝවඃ වහන්සේගේ ජනයාට ආත්මික වශයෙන් ශක්තිමත් ව සිටිය හැකි ය. නිදසුනක් වශයෙන්, අපට රෝග විඳදරා ගැනීමට සිදු විය හැකි වුවත්, දෙවියන් වහන්සේගේ ආත්මික සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමෙන් අපට ‘ඇදහිල්ලේ නිරෝගී ව’ සිටිය හැකි ය. (තීතස් 2:1, 2) අප ද්‍රව්‍යමය දිළිඳුකම නිසා කලකිරීමකට පත් ව සිටියත්, අපට පුදුමාකාර ලෙස ආත්මික වශයෙන් ධනවත් ව සිටිය හැකි ය.
ප්‍රඥාව හා ශක්තිය සඳහා දෙවියන් වහන්සේ කෙරෙහි රැඳී සිටීමෙන්, අපට ගෙදරදොරේ කටයුතුවල දී ඇති වන කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කළ හැකි ය. උදාහරණයක් හැටියට, නාබල්ගේ භාර්යාව වූ, අබීගායිල් ගැන සලකා බලන්න. නාබල් තමාගේ “ක්‍රියාවලින් කර්කශවූ නපුරු වූ” කෙනෙක් ව සිටි අතර, ඔහුගේ නාමය ම ‘දුර්ජන, මෝඩ’ යන්න අදහස් දෙයි. එවන් මිනිසෙකු සමඟ ජීවත්වීම කොතරම් කලකිරීමකට ලක් කරවන සුලු වන්නට ඇත් ද! එහෙත් අබීගායිල් “බුද්ධිමත්” ව සිටි අතර, බලාපොරොත්තු නැති කර ගත්තේ නැත. ඇත්ත වශයෙන් ම එක්තරා අර්බුදකාරී අවස්ථාවක ඇයගේ වදන් හා ක්‍රියාවන් කොතරම් නුවණ ඇති ව තිබුණේ ද කිවහොත්, නාබල්ගේ අවමන් කිරීම් හා ගුණමකුකමට ලේ වැගිරවීමෙන් ද, යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට අසමත්වීමෙන් ද, පළි නොගැනීමට ඇයට දාවිත් ව එකඟ කරවා ගත හැකි විය.—1 සාමුවෙල් 25:2-38.
ක්‍රිස්තියානි සභාවට සම්බන්ධ යමෙකුගේ තත්ත්වයක් නිසා අප කලකිරීමට පත් ව සිටින්නේ නම්, අපට යෙහෝවඃ වහන්සේ ලබා දෙන ශක්තියෙහි පිහිටෙන් එය විඳදරා ගත හැකි ය. මෙය දියොත්රෙපස්ගේ කලකිරවන සුලු හැසිරීම, භක්තිමත් මිනිසෙකු වූ ගායස් විසින් යහපත කර, සන්තෝෂය හා මහඟු ආත්මික විපාක ලැබීමෙන් ද වැළැක්වූයේ නැත යන කාරණයෙන් දැකබලා ගත හැකි ය.—ක්‍රියා 20:35; 3 යොහන් 1-10.
අප අපගේ සභාවේ සෙසු ඇදහිලිවන්තයන්ට සේවය කිරීමට ආශා කරන නමුත්, අන්‍යයන් වැඩිමහල්ලන් නැතහොත් උපස්ථායක සේවකයන් හැටියට පත් කරනු ලබන අවස්ථාවෙහි අප ව පත් කරනු නොලබන විට ද කලකිරීම ඇති විය හැකි ය. කෙසේ වුවද, බලාපොරොත්තු සුන්වීම අප ව සම්පූර්ණයෙන් ම යටපත් කර දැමීමට ඉඩ හරිනවා වෙනුවට, අප අප ව ම ආත්මික ව ශක්තිමත් කර ගත යුතු අතර, වඩාත් පුළුල් ලෙස දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල නිපදවීමට අප ඊට ඉඩ හළ යුතු ය. (ගලාති 5:22, 23) මෝසෙස් මිදියන් හි දී ගත කළ අවුරුදු 4 තුළ දී, ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා හැටියට ඔහු මුහුණ දෙනු ඇති දුෂ්කරතාවයන් හා කලකිරීම් සමඟ කටයුතු කිරීමට දෙවියන් වහන්සේ ඔහු තුළ වඩා උසස් පරිමාණයකට මොළොක්කම, ඉවසීම හා තවත් අවශ්‍ය කරවන ගුණාංග වැඩි වර්ධනය කළ සේක. මේ හා සමාන ව, අප ද ආත්මික ව ශක්තිමත් ව සිට කලකිරීමට ගොදුරු නොවන්නේ නම්, යෙහෝවඃ වහන්සේ අපට ලැබිය හැකි අනාගතික සේවා වරප්රසාදයන් සඳහා අප ව සූදානම් කරනවා විය හැකි ය.
නොබෝ කලකින්—කලකිරීමෙන් සහනයක්!
කලකිරීමේ ස්වභාවය කුමක් වුවත්, එය කවදා හෝ අවසන් වනු ඇත් ද? අපට, අපගේ තත්ත්වය බලාපොරොත්තු රහිත ලෙස දැනිය හැකි වුවත්, අපගේ මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන් වහන්සේට එය එසේ නොවේ. උන් වහන්සේ කලකිරීමට යටත් නොවෙන සේක. අනාගතවක්තෘ යෙසායා තුළින්, දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: එසේ ම, “මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.” (යෙසායා 55:11) යෙහෝවඃ වහන්සේට සර්වබලධාරී බලයක් හා ආධිපත්‍යයක් ඇති නිසා, උන් වහන්සේට කළ නොහැකි දෙයක් නැත. (මාර්ක් 10:27) ස්වකීය ජනයාට නිමා නොවන ආශීර්වාද ගෙන ඒමට වූ උන් වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වනවා නියත ය.—යෝෂුවා 21:45.
සැකය හා අස්ථිර බව කලකිරීමට තුඩු දෙන මූලික සාධකයන් ය. කෙසේ වුවද, මීට පටහැනි ව, “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය.” (හෙබ්‍රෙව් 11:1) දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල, බයිබලය මත පදනම් අපගේ සියලු බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉෂ්ට වනු ඇති බවට සහතිකයක් ලබා දෙයි. මුළු බයිබලයේ ම තේමාවෙන් කැපී පෙනෙන්ට සලස්වන්නේ, ධර්මිෂ්ඨ අය ප්‍රීතියෙන් යුක්ත ව සදාකාලයට ම ජීවත් වන්නා වූ පරිපූර්ණ පාරාදීසයක් බවට පොළොව පත් වනු ඇති, රාජ්‍යය පාලනයක් පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුව ය. (ගීතාවලිය 37:11, 29) දෙවියන් වහන්සේ ‘ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ [තෘප්තිමත් NW] කරනු’ ඇති බැවින්—කලකිරීම ද ඇතුළු ව—නපුරු දේ සියල්ලක් ම ඉවත් ව යනු ඇත.—ගීතාවලිය 145:16.
එම ආශීර්වාදයන් යථාර්ථයක් ලෙස ඉෂ්ට වනතෙක්, අප සියලු දෙනා කලකිරීම අත්දකිනු ඇත. එහෙත් නොනැවතී කටයුතු කරගෙන යාමට ධෛර්ය හා ස්ථිර භාවය අපට ලබා දීමට ශුද්ධ ලියවිලිමය බලාපොරොත්තුවට හැකි ය. අපගේ ජීවිතවලට ස්ථිර භාවයත්, අපගේ හෘදයන්ට සමාදානයත් ගෙනෙන්නා වූ ආකාරයකට හොඳ විචාර බුද්ධියක් හා සාධාරණ භාවයක් පැවැත්විය යුතු ක්‍රමය අපට පෙන්වීමට බයිබලයේ අපට දක්නට ඇති කදිම උපදෙස්වලට හැකි ය. අපට බලාපොරොත්තු කඩවීම් තිබුණ ද, “කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය” අත්දකින්නට පුළුවන. (පිලිප්පි 4:6, 7) එමනිසා කලකිරීමට එරෙහි ව කරන සටන බලාපොරොත්තු රහිත එකක් නොවේ. යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇති ව අද දින අපට ඒ සමඟ සාර්ථක ව කටයුතු කළ හැකි අතර, අනාගතයේ දී එය ජය ගන්නට ද හැකි වනවා නොඅනුමාන ය. w92 9/15
දෙවියන් වහන්සේ යෝබ්, මෝසෙස්, අබිගායිල්, හා පාවුල් යනාදීන්ට උපකාර කළාක් මෙන්, කලකිරීම සමඟ සාර්ථක ව කටයුතු කිරීමට ඔබට උපකාර කිරීමටත් උන් වහන්සේට හැක