ඔවුහු දෙවියන් වහන්සේගේ නාමය දැන සිටියෝ ය
එංගලන්තය සතු අමෙරිකානු යටත් විජිතයන්හි ලියා ප්‍රකාශයට පත් කරන ලද්දේ යයි පිළිගනු ලැබූ මුල් ම ප්රකාශනය වූයේ බේ සාම් පොත ය. එහි මුල් ම සංස්කරණය මුද්‍රණය කරන ලද්දේ, වර්ෂ 1640 තුළ මැසචුසෙට්ස් බේ ජනාවාසයේ ස්ටීවන් ඩේ විසිනි. එම පොතේ, හෙබ්‍රෙව් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද, ගීතාවලිය නම් බයිබල් පොත අඩංගු ව තිබිණ. එය පරිවර්තනය කර තිබුණේ එවකට ඉංග්‍රීසි භාෂාව කථා කරනු ලැබූ හා ලියනු ලැබූ ආකාරයට ය.
බේ සාම් පොතේ සැලකිය යුතු විශේෂාංගයක් වූයේ සමහරක් වගන්තිවල දිව්‍ය නාමය භාවිතා කිරීම ය. එබැවින්, දැනට වසර 350කට පමණ පෙර අතීතයේ වුවත් එම ප්රකාශනය කිය වූ කවරෙකුට නමුත් අපගේ මැවුම්කරුවාණන්ගේ නාමය දැනගැනීමට හැකියාවක් තිබුණි. උදාහරණයක් වශයෙන්, එම සංස්කරණයේ, ගීතාවලිය 83:17, 18 හි මෙසේ කියවීමට තිබේ: “ඔව්හු සදාකල් වික්ෂිප්ත ව, හා බොහෝ සෙයින් වියවුල් ව සිටිත්වා; එසේ ය, ලජ්ජාවට පත් ව විනාශ වෙත්වා. ඔබගේ නාමය යිහෝවා පමණක් වන බව, පූර්වයේ සිට මුළු පොළොවට මහෝත්තමයාණන් බව ජනයා දැනගන්නා පිණිස ය.”
ඇත්ත වශයෙන් ම, මහෝත්තම දෙවියන් වහන්සේ, ස්වකීය නාමය යෙහෝවඃ (යිහෝවා) බව අප පිළිගැනීමට වඩා වැඩි යමක් අපෙන් ඉල්ලා සිටින සේක. බේ සාම් පොතේ, ගීතාවලිය 1:1, 2 මෙසේ පවසයි: “ආශීර්වාද ලත් මනුෂ්‍යයා” දුදනාගේ අවවාදය අනුව නොහැසිරෙයි, “එහෙත් යිහෝවාගේ ව්‍යවස්ථාවෙහි ඔහු මහත් ආශාවෙන් ප්‍රීති වෙයි.” වර්ෂ 1648 සංශෝධිත න්යූ ඉංග්ලන්ඩ් සාම්ස් පවසනුයේ මෙසේ ය: “එහෙත් ඔහු තමාගේ මුළු ප්‍රීතිය තබන්නේ යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාව මත ය.”
විසිවන ශතවර්ෂයේ න වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඔෆ් ද හෝලි ස්ක්‍රිප්චර්ස් බයිබලයේ අපට මෙය මෙසේ කියවීමට තිබේ: “දුෂ්ටයන්ගේ උපදෙස් අනුව නොහැසිර ඇත්තා වූ ද, පව්කාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ ද, සරදම් කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නා වූ මිනිසා සන්තෝෂවත් ය. එහෙත් ඔහුගේ අතිශය ප්‍රීතිය යෙහෝවඃ වහන්සේගේ ව්‍යවස්ථාව කෙරෙහි ය. තව ද ඔහු උන් වහන්සේගේ ව්‍යවස්ථාව දිවා රෑ හින් හඬින් කියවයි.”
සැබෑ සන්තෝෂයෙන් සිටීමට නම්, යමෙක් දුෂ්ටයන්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කළ යුතු ය. පව්කාරයන්ගේ ආදර්ශය අනුගමනය නොකළ යුතු ඔහු අදේවවාදී සමච්චල් කරන්නන් ද ඇසුරු නොකළ යුතු ය. වෙනත් දෑ අතර, තමා ව ලිංගික දුරාචාරය, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, හා දේව වචනයට පටහැනි වෙනත් ක්‍රියාවන්වලට ඇද දැමිය හැකි උපදෙස් හා හැසිරීම් සහිත අයගේ ඇසුරෙන් ද වැළකී සිටිය යුතු ය. එසේ ය, අව්‍යාජ සන්තෝෂය රඳා පවතින්නේ යෙහෝවඃ නම් සැබෑ දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගැනීමෙනුත්, බයිබලයේ දක්වා ඇති පරිදි උන් වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වීමෙනුත් ය. w92 9/15