බූඛන්වාල්ට්ට පසු මම සත්‍යය සොයා ගතිමි
එක්දහස් නවසිය තිස්ගණන්වල මා හැදී වැඩුණේ ප්‍රංශයේ ග්රෙනෝබෝල් නුවර දී ය. ප්‍රංශ ජාතියෙකු වූ මගේ ජර්මන් උගන්වන ගුරුවරයා, උන්මත්තක නාට්සි වාදියෙකු විය. පාසලේ දී ඔහු සෑම විටෙක ම කියා සිටියේ යම් දවසක ජර්මන් භාෂාව “ප්‍රයෝජනදායක” වන බවයි. කෙසේ වෙතත්, අපගේ ගුරුවරුන්ගෙන් වැඩි දෙනෙක්, Iවන ලෝක යුද්ධ කාලයේ සේවය කළ අය වූ අතර, ජර්මනියේ නාට්සි වාදයේ නැගීම ගැන කනස්සල්ලෙන් සිටියා. යුද්ධය එන්ට එන්ට ම ළංවෙන බව පැහැදිලි වනවාත් සමඟ ම, මගේ සැලකිල්ල ද උත්සන්න වී ගියා.
වර්ෂ 1940 දී, II වෙනි ලෝක යුද්ධය පටන් ගන්නවාත් සමඟ ම, සෝම් ගංගාවේ පැවති දරුණු සටන්වලින් මගේ දයාබර මාමා කෙනෙක් මරුමුවට පත්වුණා. එනිසා මා ඉතා කෝප වුවත් ප්‍රංශ හමුදාවට බැඳීමට තවමත් ළාබාල ව සිටියා. එහෙත්, අවුරුදු තුනකට පසු, ජර්මානු හමුදා ප්‍රංශයේ බලය තහවුරු කරගෙන සිටි කාලය අතුරතුර, ප්‍රංශයේ විරෝධතා ව්‍යාපාරයේ සැලසුම්කරුවෙකු වශයෙන් මගේ දක්ෂකම් යොදා ගැනීමට මා හට ප්‍රස්තාවක් උදා වුණා. මා අත්සන් පිටපත් කිරීමේ නිපුණයෙකු බවට පත් වූ අතර, ව්‍යාජ ජර්මානු රබර් මුද්‍රාවන් ද සෑදුවා. මේ අයුරින්, පදිංචි වී සිටින සතුරු හමුදාවන්ට එරෙහි ව සටන් කිරීමෙන් මා මොනතරම් තෘප්තියක් ලැබුවා ද කියතොත්, ඒ කාලයේ මා ඇසුරු කළ අයගේ කොමියුනිස්ට් අදහස් එතරම් වැදගත් දේවල් කියා මා තැකුවේ නැහැ.
අත් අඩංගුවට ගනු ලැබ
වර්ෂ 1934 නොවැම්බර් මස 11දා, Iවන යුද්ධයේ යුද විරාමය අනුස්මරණයක් වශයෙන් පෙළපාලියක් පැවැත්වීමට ප්‍රාදේශීය විරෝධතා ඒකකය ඉල්ලා සිටියා. එහෙත් ප්‍රංශ ජංගම ආරක්ෂක භටයන්, යුද්ධ අනුස්මරණ භූමියට යන පාලම අවහිර කර තිබූ අතර, නැවත හැරී යන ලෙස ඔවුන් අප ව දිරිගැන්වූවා. ඒ වෙනුවට නගරයේ වෙනත් යුද්ධ අනුස්මරණ ස්මාරකයක් වෙතට යාමට අපගේ පේළිය තීරණය කළා. නමුත් එක දෙයක් අපට අමතක වුණා. ඒ, එම ස්මාරකය, ගෙස්ටාපෝ කාර්යාලයට ගලකින් ගැසිය හැකි දුරකින් පමණ පිහිටා තිබූ බවයි.
සැනෙකින් අපගේ කණ්ඩායම අවිවලින් සන්නද්ධ සොල්දාදුවන් විසින් වටකෙරුණා. ඔවුන් තාප්පයට එරෙහි ව අප ව පෙළ ගැස්සුවා. සොල්දාදුවන් අප ව එතැනින් එහාට ගෙන ගිය විට, බිම මත තිබූ රිවෝල්වර් කිහිපයක් ඔවුහු සොයා ගත්තා. එක් අයෙක් ඒවා තමාට අයත් බව කීමට මැළි වූ හෙයින්, සොල්දාදුවෝ, ස්ත්‍රීන් හා වයස අවුරුදු 16 හා ඊට අඩු ළමුන් පමණක් නිදහස් කළා. මේ අයුරින්, වයස අවුරුදු 18 දී, තවත් සිරකරුවන් 450 දෙනෙකු සමඟ මා සිරභාරයට ගැණුනා. දවස් කිහිපයකට පසු ව, ප්‍රංශයේ උතුරු දෙසින් පිහිටි, කොම්ප්යාන් අසල වූ මඟ රැඳවුම් කඳවුරක් වෙතට අප ව මාරු කර යවනු ලැබුවා.
ජර්මනියට එන ගමනේ දී
වර්ෂ 1944 ජනවාරි 17දා, පළමු වතාවට—නමුත් අභාග්‍යයකට අවසාන වතාව නොවේ—ජර්මනු සොල්දාදුවන් මුණගැසුණු අතර, ඔවුන්ගේ හිස් වැසුම්වල වම් පැත්තේ ස්වස්තික ලකුණ ද, දකුණු පැත්තේ SS (Schutzstaffel) යනුවෙන් ද සටහන් කර තිබුණා. ඔවුන් සිරකරුවන් සිය ගණනක් එක්රැස් කළ අතර, කොම්ප්යාන් දුම්රිය ස්ථානයට අපට පයින් ගමන් කිරීමට සිදු වුණා. අප ව බඩු ගෙනයන දුම්රිය මැදිරිවලට පයින් ගසා දමනු ලැබුවා. මා සිටි මැදිරියේ පමණක් සිරකරුවන් 125ක් සිටියා. දවස් දෙකක් හා රෑ තුනක් අපට කන්නටවත් බොන්නටවත් කිසිවක් තිබුණේ නැහැ. පැය කිහිපයක් ඇතුළත දුර්වල ව සිටි අය ඒ වන විටත් සිහිවිසංඥව ගොස් පයින් පාගා දමනු ලැබ තිබුණා. දවස් දෙකකට පසු ව, අප ජර්මනියේ ඇතුළට වෙන්නට පිහිටි, වයිමාර් හි, බූඛන්වාල්ට්ට ළඟා වුණා.
විෂබීජහරණය කරනු ලැබ, මගේ හිස බූගෑවායින් පසු, 41,101 නම් අංකය යටතේ මා ලියා පදිංචි කරනු ලැබූ අතර, “කොමියුනිස්ට් ත්‍රස්තවාදියෙකු” වශයෙන් මා ව ශ්‍රේණි ගත කරනු ලැබුවා. රෝග බෝවීමෙන් වළකිනු පිණිස වෙන් කොට තබන කාලය අතරතුරේ දී, ප්‍රංශයේ නෝත්රඩාම් පල්ලියේ දේශනාවලට යුද්ධයෙන් පසු ව ප්‍රසිද්ධියක් ඉසිලූ ඩොමිනිකානු පූජකවරයෙකු වූ මිෂෙල් රිකේ ව මට මුණ ගැසුණා. දෙවියන් වහන්සේ එවැනි භය උපදවන දේවලට ඉඩ හරින්නේ ඇයි ද කියා මගේ වයසේ අනෙකුත් තරුණ අය සමඟ, මා ඇසුවා. ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි: “ස්වර්ගයට යාමට සුදුසුකම් ලැබීමට නම්, ඔබට බොහෝ දුක් වේදනා තුළින් යන්නට සිදු වෙනවා.”
එදිනෙදා ජීවිතය
අපගේ සිරමැදිරි පේළි 61 හි සිටි සියල්ලන්ට උදෑසන හතර හමාරට පමණ අවදි වන්නට සිදු වුණා. අප පිටතට ආවේ ඉන දක්වා උඩුකය නිරුවතින්, සහ ඇඟපත සේදීමට අයිස් බවට පත් වූ වතුර කඩන්නට සිදු වුණා. හොඳ සනීපයකින් සිටියත් නැතත්, සෑම කෙනෙකුට ම මෙය කරන්නට තිබුණා. කිසි රසයක් නැති පාන් අවුන්ස 7 සිට 11 දක්වා ප්‍රමාණයක්, මාජරින් තීරුවක් සහ සමහරවිට යන්තම් ජෑම් වගේ පෙනුණු යමක් දවසකට ලැබුණා. පෙරවරු 5.30ට පෙරට්ටුවේ නම් අඬ ගැසීමට සියලු දෙනා වටේට පෙළ ගැසුණා. පෙරදා රාත්‍රියේ මිය ගිය අය ව අපගේ පිටවල් මතින් රැගෙන යාම මොනතරම් දරුණු අත්දැකීමක් වුණා ද! මළ සිරුරු දැවී යනවාත් සමඟ ඉන් නැඟුණු කටුක දුගඳ නිසා අපට අපේ සගයන් ව මතක් වුණා, අපත් යම් දිනක ඒ අයුරින් ම අවසන් ගමන් යන්නට සිදු විය හැකි බව අප දැන සිටි හෙයින්, අප තුළ ඇතිවුණු, බලවත් පිළිකුල් සහගත, බලාපොරොත්තු සුන් වූ, ද්වේෂ සහගත හැඟීම් යටපත් කර ගන්නට බැරි තරම් වුණා.
BAU II කොමාන්ඩෝ යන අංශයේ මගේ වැඩවලට ඇතුළත් වූයේ, කිසි අරමුණකින් තොර ව අගල් කැපීමයි. අඩි හතක් පමණ ගැඹුරට අගල කැපූ විගසින්, එය ප්‍රවේසමෙන් ආයෙත් පුරවන්නට සිදු වුණා. වැඩ පටන් ගත්තේ පෙ.ව. 6.00ට, දිවා කාලයේ පැය භාගයක විවේකයක් තිබුණා, ඉන් පසු, ප.ව. 7.00වන තෙක් දිගට ම වැඩ කරන්නට සිදුවුණා. සවස් භාගයේ පෙරට්ටුව සඳහා කැඳවනු ලැබීමට කිසි නිමාවක් තිබුණු බවක් පෙනෙන්ට තිබුණේ නැහැ, රුසියානු පෙරමුණේ සිටින ජර්මානුවන් බොහෝ දෙනා මිය ගිය කොයියම් අවස්ථාවේ දී හෝ, එය අවසන් වූයේ මධ්‍යම රාත්රියෙදියි.
වෙනස් කණ්ඩායමක්
අසාමාන්‍ය විදිහට සියල්ලන්ගේ ම හිස කෙස් කපා තිබූ නිසා, යමෙක් කඳවුරෙන් පැන යන්නට තැත්කළා නම්, ලෙහෙසියෙන් ම හඳුනා ගනු ලැබුණා. අපේ කොණ්ඩය කපා තිබුණේ, මැදට හෝ දෙපැත්තට තීරුවක් බූගා තිබෙන අයුරින් හෝ, ඉතා කෙටියට කොටට කපා තිබෙන විදහටයි. ඒනමුත්, සමහර සිරකරුවන්ගේ කොණ්ඩය කපා තිබුණේ සාමාන්‍ය පිළිවෙළකට. ඒ කවුරුන් වූවා ද? ඒ ගැන කුතුහලයෙන් සිටි අපට අපගේ ප්‍රධානියා ඒ කවුරුන්දැයි පැවසුවා. “ඔවු බීබෙල්ෆෝෂර් (බයිබල් ශිෂ්‍යයන්)” යයි ඔහු පැවසුවා. “නමුත් බයිබල් ශිෂ්‍යයන් මේ දේශපාලන සිර කඳවුරක කරන්නේ කුමක් ද?” මා පුදුමයෙන් සිතුවා. “ඔවුන් මෙහි සිටින්නේ ඔවුන් ජෙහෝවාට නමස්කාර කරන නිසයි.” මට දැනගන්නට ලැබුණා. ජෙහෝවා? එතුවක් කල් මා දෙවියන් වහන්සේගේ නම ඇසූ පළමු වතාව එයයි.
අන්තිමේ දී, මට බයිබල් ශිෂ්‍යයන් ගැන තවත් ටිකක් දැනගන්නට ලැබුණා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජර්මානුවන් වූවා. හිට්ලර්ට කීකරු වීම ප්‍රතික්ෂේප කිරීම නිසා, ඔවුන්ගෙන් සමහරෙක් එක්දහස් නවසිය තිස් ගණන්වල මැද භාගයේ සිට, මෙම දේශපාලන සිර කඳවුරුවල සිට තිබුණා. ඔවුන්ට නිදහස් වී යන්නට තිබුණා, නමුත් ඔවුන් කොන්දේසිවලට අනුව යටත්වීම ප්‍රතික්ෂේප කළා. SS නිළධාරීන් ඔවුන් ව තමන්ගේ කරණවෑමියන් ලෙස යොදා ගත්තා, තව ද, පරිපාලන අංශවල වැඩ කිරීම වැනි, විශ්වාසවන්ත පුද්ගලයන්ගෙන් ඉටුවන අති විශේෂ කටයුතු ඔවුන් හට පවරනු ලැබුවා. මා හට වඩාත් කාවැදුණේ, ඔවුන් තුළ තිබුණා වූ, ශාන්ත භාවය සහ මුළුමනින් ම වෛරයේ හෝ විරෝධවීමේ සහ පළිගැනීමේ ස්වභාවයකින් තොර ගතියයි. මට ඒ ගැන තේරුම් ගන්න බැරි ව ගියා. අභාග්‍යයකට, ඔවුන් සමඟ ඒ කාලයේ කථා කරන්නට තරම් ජර්මානු භාෂාව ගැන දැනුමක් මට තිබුණේ නැහැ.
මරණයේ දුම්රිය
මිත්‍ර හමුදා පෙරට ඒමත් සමඟ ම, සිරකරුවන් ව තවදුරටත් රට මැද පිහිටි කඳවුරු වෙත යවනු ලැබුවා, නමුත් මේවා අතුරු සිදුරු නැති ව සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගියා. වර්ෂ 1945 අප්‍රියෙල් 6දා, උදේ, අපගෙන් 5,000ක් රැගත් SS භටයෝ, සැතපුම් හයක් ඇවිදින්නට තිබූ වයිමාර් ප්‍රදේශයට යන පාරට ඇද දැමුවා. වේගයෙන් ඇවිද යන්නට බැරිවුණු අය ව අනුකම්පා රහිත ව කෲර ව බෙල්ලට වෙඩි තබනු ලැබුවා. අවසානයේ දී, වයිමාර් දුම්රිය පළට පැමිණි අපි, බඩු ගෙනයන විවෘත මැදිරිවලට ගොඩ වුණා, දුම්රිය පිටත් වුණා. දුම්රිය දින 20ක් තිස්සේ එක් දුම්රිය පළකින් තවත් දුම්රිය පළකට ඔහේ ඇදී ගොස් අවසානයේ දී චෙකොස්ලොවැකියාවට ආවා.
එක් උදෑසනක, අපගේ දුම්රියේ එක් කොටසක් වෙනත් අතුරු මඟකට ගෙන යනු ලැබුවා. තුවක්කු මානා ගෙන පැමිණි සොල්දාදුවෝ, බඩු ගෙනයන මැදිරියක දොරවල් විවෘත කර ඒ තුළ සිටි රුසියානු ජාතික සිරකරුවන් සියල්ලන් ව ම ඝාතනය කළා. හේතුව? සිරකරුවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ ආරක්ෂක භටයන් ව මරා, රාත්‍රියේ පැන යාමයි. මැදිරියේ සිට රේල් පීල්ල මතට ගලා ආ ලේ දහරා අද දින පවා මට දැකගත හැකියි.
අවසානයේ දී, දුම්රිය ඩකව් වෙතට ළඟා වූ අතර, දවස් දෙකකට පසු ව අප ව අමෙරිකානු හමුදාව විසින් නිදහස් කර ගත්තා. දින 20 ඇතුළත මුළු ගමන පුරා, අපට ලැබුණු එක ම ආහාරය වූයේ අමු අර්තාපල් කිහිපයක් හා වතුර ටිකක් පමණයි. අප ගමන ආරම්භ කරද්දී, 5,000ක් පමණ සිටියා, නමුත් බේරී ගැලවුණේ 800ක් පමණයි. දවස් කිහිපයකට පසු ව තවත් බොහෝ දෙනෙක් මිය ගියා. මා සම්බන්ධයෙන් නම්, ගමනේ වැඩි හරියක් ම මා ගත කළේ මළ මිනියක් මත වාඩිගෙනයි.
අලුත් පියවරක්
මගේ නිදහස් වීමෙන් පසු ව, බූඛන්වාල්ට් හි සිටි ප්‍රධාන පෙළේ අය ඇතුළු ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කර තිබූ හෙයින්, එම පක්ෂයට ක්‍රියාශීලී ලෙස සහයෝගය දක්වනවා හැරෙන්නට වෙන කිසි ම දෙයක් සාමාන්‍ය යයි මට පෙනෙන්ට තිබුණේ නැහැ. මා ග්රෙනොබොල් හි සහයක කණ්ඩායම් ලේකම් බවට පත්වූ අතර, පැරිසියේ පැවැත්වෙන විධායක නිළධාරීන් සඳහා වූ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට දිරිගන්වනු ලැබුවා.
කෙසේ වෙතත්, වැඩිකල් යන්නට මත්තෙන්, මා අපේක්ෂා භංගත්වයට පත්වුණා. වර්ෂ 1945 නොවැම්බර් 11දා, ප්‍රංශයේ පැවැත්වෙන පෙළපාලියකට සහභාගි වීමට අප හට ඇරයුම් ලැබුණා. අපගේ කණ්ඩායමේ කොම්රඩ්ෂයො හට, අපගේ නවාතැන් සඳහා වැය කිරීමට අවශ්‍ය මුදලක් ලැබී තිබුණ ද, ඒවා අප වෙනුවෙන් වියදම් කරන්නට ඔහු අකැමැත්තෙන් සිටි බවක් පෙනෙන්ට තිබුණා. අප ව එක්සත් කිරීමේ අරමුණින් තිබූ අවංකකමේ හා මිත්‍රත්වයේ ප්‍රතිපත්ති ඔහුට මතක් කර දෙන්නට අපට සිදුවුණා. මා තවත් දැනගෙන සිටි දෙයක් තමයි, මා ඇසුරු කළ ප්‍රධාන පෙළේ පුද්ගලයන් බොහෝ දෙනෙකුට ලෝක ගැටලුවලට විසඳුමක් නොතිබුණු බව. එපමණක් ද නොවේ, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අදේවවාදීන් වුවද, මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා.
පසු ව මම ලියොන් හි පදිංචියට ගිය අතර, මම එහි සැලසුම්කරුවෙකු ලෙස දිගට ම වැඩ කළා. වර්ෂ 1954 දී, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් මා ව බැහැ දකින්නට ආවා, මම පිබිදෙව්! සඟරාවට දායක වුණා. මගේ දොරට තට්ටු කොට තිබූ ස්ත්‍රීන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක සමඟ එක් මිනිසෙකු මා ව බැහැදකින්නට පැමිණියා. සැනෙකින් මා සහ මගේ භාර්යාවට දැනී ගියේ අප දෙදෙනා ම ආත්මික දේවල් ගැන උනන්දු වී තිබෙන බවයි.
ඉන් පසු ව ඇති වූ සාකච්ඡාවන් අතරතුරේ දී, තම ඇදහිල්ල එතරම් සැබෑ ලෙස පැවැත්වූ බූඛන්වාල්ට් හි සිටි බීබෙල්ෆෝෂර්වරුන් ව මට මතක් වුණා. මෙම් බීබෙල්ෆෝෂර්වරුන් සහ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් යනු එක ම සෙනඟක් බව මට වැටහුණේ එවිටයි. බයිබල් පාඩමකට ස්තුති වන්නට, මගේ භාර්යාව සහ මම යෙහෝවඃ වහන්සේ උදෙසා ස්ථාවරයක් ගෙන 1955 අප්‍රියෙල් මාසයේ දී බව්තීස්ම වුණා.
මේ සියල්ල ම ඊයේ සිදු වුණාක් මෙන් මගේ මතකය අලුත් කියලා මට හිතෙනවා. මට අතීතයේ දී විඳින්නට සිදු වූ කටුක අත්දැකීම් ගැන මම පසු තැවෙන්නේ නැහැ. ඒවා මා ශක්තිමත් කොට තිබෙන අතර, මේ ලෝකයේ ආණ්ඩුවලට ඉදිරිපත් කිරීමට තිබෙන්නේ අල්පයක් බව දැකීමට ඒවා මට උපකාරවත් වුණා. පුද්ගලික අත්දැකීම් එක්තරා ප්‍රමාණයකට පමණක් වෙනත් අයට උපකාරවත් විය හැකි වුවත්, මේ ලෝකයේ ව්‍යාජ භාවය දැක, අනතුරු ව යේසුස් වහන්සේ විසින් ඉගැන්වූවාක් මෙන්, සැබෑ ක්‍රිස්තියානි ධර්මයේ යහපත්, අවංක සාරධර්මයන් සෙවීමට, මගේ අත්දැකීම් තුළින්, අද දින යෞවනයන් හට උපකාරවත් වේ නම්, මා ඒ ගැන සන්තෝෂ වෙනවා.
අද දින, දුක් විඳීම හා අයුක්තිය එදිනෙදා ජීවිතයේ කොටසක්. ප්‍රචණ්ඩතාවය හා උන්මත්තක විඥාන වාදය වෙනුවට, සහෝදර ප්‍රේමය සහ යුක්තිය පැතිර පවත්නා වූ, පැමිණෙන්ට යන වඩාත් හොඳ ලෝකයක් ගැන, දේශපාලන සිරකඳවුරුවල සිටියා වූ බීබෙල්ෆෝෂර්වරුන් මෙන් මමත් බලා සිටිනවා. මේ අතරතුර, මම ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු වශයෙන්, මගේ භාර්යාව, දරුවන් සහ මුනුබුරු මිනිබිරියන් සමඟ මට පුළුවන් තරම් හොඳින් දෙවියන් වහන්සේටත් ක්‍රිස්තුස් වහන්සේටත් සේවය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. (ගීතාවලිය 112:7, 8)—රෙනේ සෙග්ලාට් විසින් විස්තර කළ පරිදි. w92 6/1
ඉහළ: කඳවුරේ පෙරට්ටුවේ කැඳවීම
වමේ: බූඛන්වාල්ට් කඳවුරට ඇතුළු වන ගේට්ටුව. නාම පුවරුවේ මෙසේ පැවසෙයි: “තමාට ලැබිය යුතු දේ සෑම කෙනෙකුට ම ලැබේවා”
ඉහළ: බූඛන්වාල්ට් කඳවුරේ ආදාහන ශාලාව
වමේ: එක පිට එක තබන ලද පේළියකට සිරකරුවන් දහසය දෙනෙක්