ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • es26 31-43 පි.
  • මාර්තු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු
  • දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
  • උපමාතෘකා
  • මාර්තු 1, ඉරිදා
  • මාර්තු 2, සඳුදා
  • මාර්තු 3, අඟහරුවාදා
  • මාර්තු 4, බදාදා
  • මාර්තු 5, බ්‍රහස්පතින්දා
  • මාර්තු 6, සිකුරාදා
  • මාර්තු 7, සෙනසුරාදා
  • මාර්තු 8, ඉරිදා
  • මාර්තු 9, සඳුදා
  • මාර්තු 10, අඟහරුවාදා
  • මාර්තු 11, බදාදා
  • මාර්තු 12, බ්‍රහස්පතින්දා
  • මාර්තු 13, සිකුරාදා
  • මාර්තු 14, සෙනසුරාදා
  • මාර්තු 15, ඉරිදා
  • මාර්තු 16, සඳුදා
  • මාර්තු 17, අඟහරුවාදා
  • මාර්තු 18, බදාදා
  • මාර්තු 19, බ්‍රහස්පතින්දා
  • මාර්තු 20, සිකුරාදා
  • මාර්තු 21, සෙනසුරාදා
  • මාර්තු 22, ඉරිදා
  • මාර්තු 23, සඳුදා
  • මාර්තු 24, අඟහරුවාදා
  • මාර්තු 25, බදාදා
  • මාර්තු 26, බ්‍රහස්පතින්දා
  • මාර්තු 27, සිකුරාදා
  • මාර්තු 28, සෙනසුරාදා
  • මාර්තු 29, ඉරිදා
  • මාර්තු 30, සඳුදා
  • මාර්තු 31, අඟහරුවාදා
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
es26 31-43 පි.

මාර්තු

මාර්තු 1, ඉරිදා

“කෙනෙක් මැරෙද්දී එයා කරපු වැරදිවලින් එයා නිදහස් වෙනවා.”—රෝම 6:7.

කාලයක් හොඳට ඉඳලා පස්සේ අධර්මිෂ්ඨ වුණ අය ගැන බයිබලේ තියෙනවා. සලමොන් ඒ වගේ කෙනෙක්. එයා යෙහෝවාව අඳුරගෙන හිටපු, ඔහුට නමස්කාර කරපු, ඔහුගේ ආශීර්වාද අද්දැකපු කෙනෙක්. ඒත් පස්සේ එයා බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඉතින් යෙහෝවාට එයාත් එක්ක ගොඩක් කේන්ති ගියා. එයාගේ වැරදිවල ප්‍රතිඵල ඊශ්‍රායෙල්වරුන්ට සියවස් ගාණක්ම විඳින්න වුණා. ඇත්ත, බයිබලේ කියනවා සලමොන් මැරුණාම “ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කළා” කියලා. ඒ කියන්නේ එයාව තැන්පත් කළේ දාවිත් වගේ විශ්වාසවන්ත අය එක්ක. (1 රාජා. 11:5-9, 43; 2 රාජා. 23:13) එහෙම කියන නිසාම එයාට නැවත නැඟිටීමක් ලැබෙයිද? බයිබලේ ඒ ගැන කියලා නැහැ. නැවත නැඟිටීම කියන්නේ යෙහෝවා ආදරෙන් දෙන තෑග්ගක්. ඔහු ඒ තෑග්ග දෙන්නේ ඔහුට සදහටම නමස්කාර කරනවා දකින්න ඔහු කැමති අයට. (යෝබ් 14:13, 14; යොහ. 6:44) සලමොන්ට ඒ තෑග්ග හම්බ වෙයිද? යෙහෝවා තමයි ඒක දන්නේ. හැබැයි අපි දන්නවා යෙහෝවා මොන තීරණේ ගත්තත් ඒක හරියි කියලා. w24.05 4 9¶

මාර්තු 2, සඳුදා

“මම හැමදාමත් ඔබේ ආදරේ, සැලකිල්ල ලබමින් ඔබේ කූඩාරමේ ඉන්නවා.”—ගීතා. 61:4.

අපි අපේ ජීවිතේ යෙහෝවාට කැප කරද්දී ඔහු අපිව ඔහුගේ කූඩාරමට පිළිගන්නවා. ඒ වගේ කෙනෙක්ට ඇති තරම් දෙවියන්ගේ පෝෂණය ලැබෙනවා. කූඩාරමේ ඉන්න අනිත් අය එක්කත් එයාට හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන්. යෙහෝවාට කීකරු වෙන සෙනඟ ඉන්න ඕනෙම තැනක ඔහුගේ කූඩාරම තියෙනවා. (එළි. 21:3) එතකොට විශ්වාසවන්තව ඉඳලා මැරුණ අය? එයාලා තවමත් ඉන්නේ දෙවියන්ගේ කූඩාරමේ කියලා කියන්න පුළුවන්ද? ඔව්. මොකද මැරුණත් එයාලා තවමත් යෙහෝවාගේ මතකයේ ජීවත් වෙනවා. ඒකයි යේසුස් මෙහෙම කිව්වේ. “මිය ගිය අය නැවත නැඟිටින බව මෝසෙස් පවා පැහැදිලි කළා. කටු පඳුර අසල සිද්ධියේ යෙහෝවා දෙවිව හඳුන්වා තිබුණේ, ‘ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි’ ලෙසයි. මෙයින් පැහැදිලි වන්නේ ඔහු මිය ගොස් ඇති අයගේ දෙවි නොව ජීවත් වන අයගේ දෙවි බවයි. මන්ද ඔවුන් මිය ගොස් සිටියත් දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියටයි.”—ලූක් 20:37, 38. w24.06 3 6-7¶

මාර්තු 3, අඟහරුවාදා

“මගේ ශක්තියත් මගේ පලිහත් යෙහෝවායි.”—ගීතා. 28:7.

දාවිත් එක්ක එකතු වෙලා සටන් කරලා ඊශ්‍රායෙල්වරුන්ව සතුරන්ගේ අතින් බේරගන්න ලෑස්ති පිටයි සාදොක් හෙබ්‍රොන්වලට ගියේ. (1 ලේක. 12:38) යුද්ධ කරලා අද්දැකීම් නැති වුණාට සාදොක්ට එඩිතරකමේ නම් අඩුවක් තිබුණේ නැහැ. සාදොක් වගේ පූජකයෙක් කොහොමද එඩිතරව වැඩ කරන්න ඉගෙනගත්තේ? එඩිතර, ධෛර්යවන්ත හුඟදෙනෙක් එයා වටේ හිටියා. එයාලාගේ ආදර්ශයෙන් සාදොක් ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. ඒ වගේ කෙනෙක් තමයි දාවිත්. එයා එඩිතරව “ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ” අරන් වැඩ කළා. ඒකයි මුළු ඊශ්‍රායෙල් සෙනඟම එයාව රජ විදිහට පත් කරන්න කැමති වුණේ. (1 ලේක. 11:1, 2) ඒ වගේම දාවිත් සටන්වලට යද්දී හැම වෙලාවෙම විශ්වාසේ තිබ්බේ යෙහෝවා මත. (ගීතා. 138:3) දාවිත් විතරක් නෙවෙයි සාදොක්ට ආදර්ශයට ගන්න තව අය හිටියා. උදාහරණෙකට යෙහෝයාදා, දක්ෂ සෙබළෙක් වුණ එයාගේ පුතා බෙනායා සහ හමුදාවේ ප්‍රධානීන් විසිදෙදෙනා ඒ අයට ඇතුළත්.—1 ලේක. 11:22-25; 12:26-28. w24.07 3 5-6¶

මාර්තු 4, බදාදා

“දෙවියන් මෙච්චර ආදරෙන් දේවල් කරන්නේ ඔයාලට පසුතැවිලි වෙන්න උදව් කරන්නයි.”—රෝම 2:4.

ටාසස්වලින් ආපු සාවුල් යේසුස්ගේ අනුගාමිකයන්ට හරිම දරුණු විදිහට පීඩා කළා. ඒ හුඟදෙනෙක් හිතුවේ සාවුල් කවදාවත් වෙනස් වෙන එකක් නැහැ කියලා. හැබැයි යේසුස් දැනන් හිටියා සාවුල්ට පසුතැවිලා වෙනස් වෙන්න පුළුවන් කියලා. යේසුයි, යෙහෝවායි දැක්කේ සාවුල්ට තිබුණ ලස්සන ගති. ඒකයි යේසුස් කිව්වේ “මං එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා” කියලා. (ක්‍රියා 9:15) පසුතැවෙන්න උදව් කරන්න යේසුස් එයා ඉස්සරහා ආශ්චර්යයකුත් කළා. (ක්‍රියා 7:58–8:3; 9:1-9, 17-20) ක්‍රිස්තියානියෙක් වුණාට පස්සේ පාවුල් යෙහෝවායි, යේසුයි එයාට පෙන්නපු දයාව, කරුණාව නිතරම මතක් කළා. (1 තිමෝ. 1:12-15) සැරයක් කොරින්ති සභාවේ ඉන්න කෙනෙක් අනාචාරයේ යෙදෙමින් හිටියත් සභාවේ ඉන්න අය ඒකට මුකුත් කරන්නේ නැහැ කියලා පාවුල්ට ආරංචි වුණාම පාවුල් මොනවාද එයාලට කිව්වේ? එයා කියපු දේවලින් කෙනෙක්ව හික්මවද්දී යෙහෝවා පෙන්නන ආදරේ ගැනත් කෙනෙක් පසුතැවෙද්දී ඔහු පෙන්නන දයාව ගැනත් අපිට ඉගෙනගන්න පුළුවන්. w24.08 13 15-16¶

මාර්තු 5, බ්‍රහස්පතින්දා

“දෙවියන්ගේ පුතා ආවේ යක්ෂයාගේ ක්‍රියා නැත්තටම නැති කරලා දාන්නයි.”—1 යොහ. 3:8.

සියවස් ගණන් ගෙවිලා යද්දී යෙහෝවා ටිකෙන් ටික පෙන්නුවා පව්කාර මිනිස්සුන්ට වුණත් ඔහුට ළං වෙන්න පුළුවන් කියලා. ඒදන් උයනේ කැරැල්ලෙන් පස්සේ යෙහෝවා ගැන මුලින්ම විශ්වාසේ තිබ්බ කෙනා තමයි ආබෙල්. එයා යෙහෝවාට ගොඩක් ආදරේ කළා. එයාට ඕන වුණේ යෙහෝවාගේ හිත සතුටු කරලා ඔහුට ළං වෙන්න. ආබෙල් කියන්නේ එඬේරෙක්. ඒ නිසා යෙහෝවා සතුටු වෙයි කියලා හිතලා එයා එයාගේ රැළේ හිටපු බැටළු පැටියෙක්ව පූජාවක් විදිහට ඔප්පු කළා. ඒ පූජාව ගැන යෙහෝවාට දැනුණේ කොහොමද? බයිබලේ කියනවා “යෙහෝවා ආබෙල්ව සහ එයාගේ පූජාව සතුටින් පිළිගත්තා” කියලා. (උත්. 4:4) ආබෙල් විතරක් නෙවෙයි නෝවා වගේ යෙහෝවාට ආදරේ කරපු, යෙහෝවා ගැන විශ්වාසේ තියපු මිනිස්සු දුන්න පූජාත් යෙහෝවා සතුටින් පිළිගත්තා. (උත්. 8:20, 21) ඉතින් ඒ වගේ පූජා පිළිගත්ත එකෙන් යෙහෝවා පෙන්නුවා පව්කාර මිනිස්සුන්ට වුණත් යෙහෝවාගේ හිත සතුටු කරලා ඔහුට ළං වෙන්න පුළුවන් කියලා. w24.08 3 5-6¶

මාර්තු 6, සිකුරාදා

“මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ. මගේ පය ලිස්සන්නයි ගියේ.”—ගීතා. 73:2.

අසාධාරණයක් වෙද්දී අපේ හිත ගොඩක් පෑරෙයි. ඔළුවට ලොකු බරක් දැනෙයි. (දේශ. 7:7) විශ්වාසවන්ත සේවකයන් වුණ යෝබ්, හබක්කුක් වගේ අයටත් එහෙම දැනුණා. (යෝබ් 6:2, 3; හබ. 1:1-3) එහෙම දැනෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ වගේ වෙලාවලදී අපි වැඩ කරන විදිහ ගැන සැලකිලිමත් වුණේ නැත්නම් අපේ අතින් මෝඩ දෙයක් වුණත් වෙයි. ඒකෙන් ප්‍රශ්නෙත් තව දුරදිග යයි. අසාධාරණකම් කරන අය කිසි ප්‍රශ්නයක් නැතුව ඉද්දී අපිට හිතෙයි අපි හරි දේ කරලා වැඩක් තියෙනවාද කියලා. ගීතිකාකරු දැක්කා අසාධාරණකම් කරන අය ‘කිසි කරදරයක් නැතුව ජීවිතය ගත කරනවා.’ (ගීතා. 73:12) ඒක දැකලා එයා ගොඩක් අධෛර්යය වුණා. යෙහෝවාට සේවේ කරන එකෙන් ඇත්තටම වැඩක් තියෙනවාද කියලා එයා හිතුවා. ඒකයි එයා කිව්වේ “ඒ හැම දෙයක්ම තේරුම්ගන්න උත්සාහ කරද්දී මගේ හිතට ලොකු කලකිරීමක් දැනුණා” කියලා.—ගීතා. 73:14, 16. w24.11 3 5-7¶

මාර්තු 7, සෙනසුරාදා

“පොළොවේ සියලු ගෝත්‍රවලට අයිති ජනයෙනි, යෙහෝවාට ලැබෙන්න ඕනෙ ගෞරවය දෙන්න. යෙහෝවාට තියෙන තේජස සහ බලය නිසා ඔහුට ගෞරව කරන්න.”—ගීතා. 96:7.

යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නවා. ඔහුට ගෞරව කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. ඔහු සියලු බලැති දෙවියන්, ඔහුගේ බලයට සීමාවක් නැහැ. (ගීතා. 96:4-7) ඔහු නිර්මාණය කරපු දේවලින් පේනවා ඔහු කොච්චර ප්‍රඥාවන්තද කියලා. මේ හැම දෙයක්ම නිර්මාණය කළෙත් ඒවා පවතින්නෙත් ඔහු නිසයි. (එළි. 4:11) යෙහෝවා විශ්වාසවන්තයි. (එළි. 15:4) ඔහු දෙයක් කළොත් ඒක සාර්ථක වෙනවාමයි. පොරොන්දුවක් දුන්නොත් ඒක රකිනවාමයි. (යොෂු. 23:14) ඒකයි යෙරෙමියා යෙහෝවා ගැන මෙහෙම කිව්වේ. “ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.” (යෙරෙ. 10:6, 7) ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපේ ගෞරවය ලබන්න වටිනවා. හැබැයි ඔහු අපේ ගෞරවය විතරක් නෙවෙයි අපේ ආදරෙත් දිනාගෙන තියෙනවා. අපි යෙහෝවාට ගෞරව කරන ප්‍රධානම හේතුව අපේ හිතේ ඔහුට තියෙන ආදරේ. w25.01 3 5-6¶

මාර්තු 8, ඉරිදා

“ඒ දුෂ්ට කෙනාව ඔයාලා අතරින් අයින් කරලා දාන්න.”—1 කොරි. 5:13.

දෙවියන්ගේ හතුරෝ හදන්නේ සංවිධානෙන් කරන හොඳ දේවල් නරක දේවල් විදිහට පෙන්නලා සංවිධානේ නම කැත කරන්න. උදාහරණෙකට අපි බයිබලෙන් දැනගත්තා හැම අතින්ම පවිත්‍රව ඉන්න එක යෙහෝවා ඔහුගේ සෙනඟගෙන් බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් කෙනෙක් කිසිම පසුතැවිල්ලක් පෙන්නන්නේ නැතුව දිගින් දිගටම අපවිත්‍ර ජීවිතයක් ගත කරනවා නම් එයාව සභාවෙන් අයින් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. (1 කොරි. 5:11, 12; 6:9, 10) බයිබලේ තියෙන ඒ ආඥාවට අපි කීකරු වෙද්දී අපේ හතුරෝ ඒක පාවිච්චි කරලා මෙහෙම කියනවා. “සාක්ෂිකාරයෝ මිනිස්සුන්ට ආදරේ නෑ. එයාලට වඩා වෙනස් අයව එයාලට අල්ලන්නේ නෑ. එයාලා මිනිස්සුන්ව කොන් කරනවා.” ඒ වගේ කතා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි අඳුරගන්න ඕනේ. සංවිධානේ ගැන පතුරුවන හැම බොරුවක් පිටිපස්සේම ඉන්නේ සාතන්. සාතන් තමයි “බොරුවේ පියා.” (යොහ. 8:44; උත්. 3:1-5) ඒ නිසා සාතන් එයාගේ ගෝල බාලයන්ව දාලා බොරු දේවල් ප්‍රචාරය කරන්න පුළුවන් තරම් දේවල් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. w24.04 10-11 13-14¶

මාර්තු 9, සඳුදා

“කියපු දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා.”—එස. 33:33.

“මහ බැබිලෝනිය” විනාශ වෙනවා දැක්කාම සමහරවිට කෙනෙක්ට මතක් වෙයි ‘සාක්ෂිකරුවන් කාලයක් තිස්සේ කිව්වේ මේ සිද්ධිය ගැන නේද’ කියලා. ඒ කියන්නේ මහත් පීඩාව කාලේදී දකින දේවල් නිසා සමහරුන්ගේ හිතේ දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙයිද? (එළි. 17:5) එහෙම වුණොත් ඒක මෝසෙස්ගේ කාලේ වුණ දේකට සමානයි. මතකද වහල්භාවයෙන් නිදහස් වෙලා එද්දී ඊශ්‍රායෙල්වරු එක්ක “වෙනත් ජාතීන්ට අයත් මහත් සමූහයක්” ආවා? සමහරවිට එයාලට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වෙන්න ඇත්තේ මෝසෙස් පීඩා දහය ගැන කියපු දේවල් ඉටු වෙනවා දැක්කාට පස්සේ. (නික්. 12:38) මහ බැබිලෝනිය විනාශ වෙනවා දැක්කාම සමහරුන්ට දෙවියන් ගැන විශ්වාසයක් ඇති වුණොත් අපිට හිතෙයිද ‘මේ මිනිස්සු අන්තිම මොහොතේ අපිට එකතු වෙන එක හරිම අසාධාරණයි’ කියලා? නැහැ. මොකද අපිට ඕනෙ යෙහෝවා වගේ වෙන්න. ඔහු ‘දයාවන්ත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන, සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන දෙවි කෙනෙක්.’—නික්. 34:6. w24.05 11 12-13¶

මාර්තු 10, අඟහරුවාදා

“සත්‍ය ඉගැන්වීම්වලට දිගටම ඇලිලා ඉන්න.”—2 තිමෝ. 1:13.

කෙනෙක්ගේ විශ්වාසේ ගොඩනැඟිලා තියෙන්නේ “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” මත නෙවෙයි නම් මොනවා වෙයිද? ඒක තේරුම්ගන්න මේ සිද්ධිය බලන්න. මුල් සියවසේදී ක්‍රිස්තියානීන් අතර කතාවක් පැතිරුණා යෙහෝවාගේ දවස ඇවිල්ලා කියලා. ඒ කටකතාව හැදුණේ පාවුල් එව්වයි කියලා හිතපු ලියුමක් නිසා. කාලේ අරන් ඒ ගැන ඇත්ත නැත්ත හොයලා බලනවා වෙනුවට සමහර ක්‍රිස්තියානීන් තව අය අතරේ ඒ කටකතාව පැතිරුවා. පාවුල් එයාලත් එක්ක හිටපු කාලේ කියපු දේවල් එයාලට මතක තිබුණා නම් කවදාවත් එයාලා ඒ කටකතාවට රැවටෙන්නේ නැහැ. (2 තෙස. 2:1-5) මොකද පාවුල් එයාලට අනතුරු අඟවලා තිබුණා කනට වැටෙන හැම දේම විශ්වාස කරන්න එපා කියලා. ඒ නිසයි ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා පාවුල් එයාලට ලියපු දෙවෙනි ලියුමේ අන්තිමට මෙහෙම සඳහන් කළේ. “පාවුල් වන මම සෑම ලිපියකම කරනවා වගේ මගේම අත්අකුරින් සුබ පැතුම් ඔබට ලියා එවන්නෙමි.”—2 තෙස. 3:17. w24.07 12 13-14¶

මාර්තු 11, බදාදා

“ඔයාලා විඳදරාගන්න ඕනේ.”—හෙබ්‍රෙ. 10:36.

යුදයේ තත්වය දරුණු වෙද්දී හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට තව වැඩියෙන් විඳදරාගන්න වුණා. සමහරු දරුණු විරුද්ධවාදිකම්වලට මූණ දීලා තිබුණත් වැඩිදෙනෙක් ක්‍රිස්තියානීන් වුණේ එච්චර පීඩා තිබුණේ නැති සාමකාමී කාලේදී. ඒ නිසා කලින්ට වඩා දරුණු විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න සිද්ධ වෙයි කියලත් මරණය දක්වාම යේසුස් වගේ විඳදරාගන්න ලෑස්ති පිට ඉන්න කියලත් පාවුල් එයාලට මතක් කළා. (හෙබ්‍රෙ. 12:4) ක්‍රිස්තියානීන්ගේ ගාණ එන්න එන්න වැඩි වෙද්දී යුදෙව් විරුද්ධවාදීන්ට එයාලා ගැන තිබුණ කේන්තිය, වෛරය තව වැඩි වුණා. අවුරුදු කීපයකට කලින් යුදෙව්වන් 40දෙනෙක්ට වඩා දිවුරලා කිව්වා ‘පාවුල්ව මරලා දාන කල් එයාලා නොකා නොබී ඉන්නවා’ කියලා. එහෙම වුණේ නැත්නම් එයාලට ශාප වෙන්න ඕනෙ කියලත් එයාලා කිව්වා. (ක්‍රියා 22:22; 23:12-14) අන්තවාදී ආගමික අදහස්, වෛරය පැතිරුණ ඒ වගේ කාලෙකත් එයාලට සිද්ධ වුණා දෙවියන්ට නමස්කාර කරන්න, දේශනා කරන්න සහ එයාලාගේ විශ්වාසය ශක්තිමත්ව තියාගන්න. w24.09 12 15¶

මාර්තු 12, බ්‍රහස්පතින්දා

“යේසුස් අම්මාට මෙහෙම කිව්වා. ‘අම්මේ, මේ ඉන්නේ ඔයාගේ පුතා.’”—යොහ. 19:26.

යේසුස් යොහන්ට ගොඩක් ආදරේ කළා. (මතෙ. 10:2) යේසුස් සේවේ කරපු කාලේ පුරාම එයා ඔහුත් එක්කම හිටියා. යේසුස් කරපු ආශ්චර්යයන් එයා දැක්කා. අමාරු කාලවලදීත් එයා යේසුස් එක්කම හිටියා. යේසුස්ට වධ දීලා මරන විදිහ එයා දැක්කා. යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ එයාට ඔහුව හම්බ වුණා. මුල් සියවසේදී ක්‍රිස්තියානි සභාව තිබ්බේ පොඩි කණ්ඩායමක් විදිහට. හැබැයි “මුළු පොළොව පුරාම දේශනා කරලා” ක්‍රිස්තියානි සභාව වර්ධනය වෙන විදිහ යොහන් දැක්කා. (කොලො. 1:23) යොහන්ගේ ජීවිතේ අන්තිම කාලේදී එයාට අවස්ථාව ලැබුණා බයිබලේ පොත් කීපයක්ම ලියන්න. එයා යේසුස්ගෙන් ලැබුණ පුදුමාකාර දර්ශන ඇතුළත් එළිදරව් පොත ලිව්වා. (එළි. 1:1) එයාගේ නමින් තියෙන සුවිශේෂ පොතත් එයා ලිව්වා. ලිපි තුනක් ලියන්නත් යොහන්ට අවස්ථාව ලැබුණා. ඒකෙන් තුන්වෙනි ලිපිය එයා ලිව්වේ ගායස්ට. යොහන් ගායස්ට එයාගෙම දරුවෙක්ට වගේ ආදරේ කළා. (3 යොහ. 1) මේ විශ්වාසවන්ත මහලු මිනිසා ලියපු දේවල් එදා වගේම අදත් යේසුස්ගේ අනුගාමිකයන්ට ලොකු දිරිගැන්වීමක්! w24.11 12 15-16¶

මාර්තු 13, සිකුරාදා

‘ස්වාමිපුරුෂයෙනි, එයාලට ගෞරවයෙන් සලකන්න.’—1 පේතෘ. 3:7.

බිරිඳට ආදරේ කරන සැමියෙක් බිරිඳව සලකන්නේ එයාට වටින කෙනෙක් විදිහට. යෙහෝවාගෙන් ලැබුණ වටින තෑග්ගක් විදිහට. (හිතෝ. 18:22; 31:10) සැමියෙක්ට බිරිඳ ගැන එහෙම දැනෙනවා නම් ලිංගික සම්බන්ධකම් පවත්වද්දී වුණත් එයා බිරිඳට ආදරෙන්, ගෞරවයෙන් සලකනවා. එයාලා ලිංගිකව එක් වෙද්දී බිරිඳට අපහසුතාවක් දැනෙන දේවල්, එයා අකමැති ලිංගික ක්‍රියා, එයාගේ හෘද සාක්ෂිය වධ දෙන විදිහේ දේවල් කරන්න සැමියා බල කරන්නේ නැහැ. සැමියාටත් ඕනෙ යෙහෝවා ඉස්සරහා නිදොස් හෘද සාක්ෂියක් තියාගන්න. (ක්‍රියා 24:16) ස්වාමිපුරුෂයෙනි, කියන කරන හැම දේකින්ම බිරිඳට ගෞරවය පෙන්නන්න ඔයා ගන්න උත්සාහය යෙහෝවා දකිනවා, ඔහු ඒක ගොඩක් අගය කරනවා. බිරිඳව රිද්දන කිසිම දෙයක් නොකර එයාට ඔයාගේ ආදරේ, ගෞරවය, සෙනෙහස පෙන්නන්න අධිෂ්ඨාන කරගන්න. ඔයා එහෙම කරද්දී ඔයා එයාට ආදරෙයි, එයාව ඔයාට ගොඩක් වටිනවා කියලා එයාට දැනෙයි. ඔයා බිරිඳට ගෞරවයෙන් සලකද්දී මේ ලෝකේ ඔයාට තියෙන වටිනාම බැඳීම ඔයා රැකගන්නවා. ඒ යෙහෝවාත් එක්ක තියෙන බැඳීම.—ගීතා. 25:14. w25.01 13 17-18¶

මාර්තු 14, සෙනසුරාදා

‘යේසුස් අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය දුන්නා. ඔහු එහෙම කරලා අපිව පවිත්‍ර කළා. එහෙම කළේ මුළු හදවතින්ම යහපත් දේවල් කරන, ඔහුට අයිති විශේෂ සෙනඟක් වෙන්න අපිට අවස්ථාව දෙන්නයි.’—තීත. 2:14.

යෙහෝවාගේ සෙනඟ හරිම උද්‍යෝගයෙන් දේශනා කරනවා. ඒක එයාලා අනිත් ක්‍රිස්තියානීන්ට වඩා වෙනස් වෙන්න එක හේතුවක්. උද්‍යෝගය දිගටම තියාගන්න, ඒක වැඩි කරගන්න අපිට උදව් වෙන්නේ මොනවාද? එහෙම කරන්න අපිට යේසුස්ගෙන් දෙයක් ඉගෙනගන්න පුළුවන්. යේසුස් මේ පොළොවේ සේවේ කරද්දී කවදාවත් උද්‍යෝගය අඩු කරගත්තේ නැහැ. කාලේ යන්න යන්න ඔහුගේ සේවේ ඔහු තවත් වැඩි කළා. යේසුස් කියපු උදාහරණේ හිටපු කෙනා අවුරුදු තුනක් තිස්සේ මහන්සි වෙලා අත්තික්කා ගහට සාත්තු කළත් ඒකේ එක ගෙඩියක්වත් ආවේ නැහැ. ඒ වගේ යේසුත් අවුරුදු තුනක් තිස්සේ යුදෙව්වන්ට දේශනා කළත් එයාලාගෙන් හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් වුණේ නැහැ. හැබැයි ඒ මිදිවත්තේ වැඩ කරපු කෙනා වගේම යේසුත් බලාපොරොත්තු අත්හැරියෙවත් සේවේ අඩු කළේවත් නැහැ. ඒ වෙනුවට මිනිස්සුන්ගේ හදවතට කාවදින විදිහට පණිවිඩේ කියන්න ඔහු තවත් මහන්සි වුණා. (ලූක් 13:6-9) සේවේ උද්‍යෝගයෙන් කරන්න යේසුස් උගන්නපු දේවල් සහ ඔහු කරපු දේවල් ආදර්ශයට ගන්න එක අපිට උදව් වෙනවා. w25.03 14-15 1-4¶

මාර්තු 15, ඉරිදා

“බුද්ධිමත් කෙනා දැනුම් තේරුම් ඇතුව වැඩ කරයි.”—හිතෝ. 13:16.

‘එයා තමයි මට ගැළපෙනම කෙනා’ කියලා හිතුණොත්? ගත් කටටම කැමතියි කියලා දානවාද? බයිබලේ කියන්නේ දෙයක් කරන්න කලින් හොයලා බලන්න කියලා. ඒ නිසා කැමතියි කියන්න කලින් එයා රැස්වීම්වලදී, අනිත් තැන්වලදී වැඩ කරන විදිහත් අනිත් අයට සලකන විදිහත් බලන්න. එයා මොන වගේ කෙනෙක්ද, එයාට දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවාද, එයා වැඩ කරන්නේ කොහොමද කියලා රැස්වීම්වලදී, කට්ටිය එකතු වෙන අවස්ථාවලදී ඔයාට තේරුම්ගන්න පුළුවන්. මේ පැතිත් හිතන්න. එයාගේ යාළුවෝ කවුද? එයා කතා කරන්නේ මොන වගේ දේවල් ගැනද? (ලූක් 6:45) එයාගේ ඉලක්ක ඔයාගේ ඉලක්කවලට ගැළපෙනවාද? ඒ වගේම ඔයාට පුළුවන් එයාගේ සභාවේ වැඩිමහල්ලන්ගෙන් හරි එයාව හොඳට දන්න, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ගෙන් හරි එයා ගැන අහන්න. (හිතෝ. 20:18) එයාලාගෙන් අහන්න “අනිත් අය අතරේ එයාට තියෙන්නේ මොන වගේ නමක්ද, එයාගේ ගුණාංග මොනවාද” කියලා. (රූත් 2:11) ඒත් එයා යන එන තැන්, කන බොන දේවල් වගේ හැම එකක්ම හොයන්න ගියොත් ඔයා එයාගේ නිදහස නැති කරනවා. අන්තිමට වෙන්නේ එයාට ඔයාව වධයක් වෙන එක. w24.05 22 7-8¶

මාර්තු 16, සඳුදා

“අන්තිමේදී මම මගේ වරද ගැන ඔබට කිව්වා.”—ගීතා. 32:5.

වැඩිමහල්ලන් වරදකරු පසුතැවිලි වෙන එකක් නැහැ කියලා හිතන්න ඉක්මන් වෙන්නේ නැහැ. වැඩිමහල්ලන් හම්බ වෙන්න යන මුල් වතාවේදීම සමහරු පසුතැවෙනවා. හැබැයි තවත් අයට පසුතැවෙන්න කාලයක් ඕනේ. ඒ නිසා වැඩිමල්ලන් ඒ වගේ කෙනෙක්ව හම්බ වෙන්න එක සැරේකට වඩා යනවා. සමහරවිට මුල්ම වතාවේ වැඩිමහල්ලන්ව හම්බ වුණාට පස්සේ එයා වැඩිමහල්ලන් කියපු දේවල් ගැන හිතන්න පෙලඹෙයි. ඒ වගේම යටහත් වෙලා, කරපු වරදට සමාව ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරයි. (ගීතා. 38:18) ඉතින් වැඩිමහල්ලෝ ආයේ වතාවක් එයාව හම්බ වෙන්න යද්දී එයා කලින්ට වඩා වෙනස් විදිහට හිතන්න පටන් අරන් කියලා වැඩිමහල්ලන්ට තේරෙයි. වරදක් කරපු කෙනෙක්ට පසුතැවිලි වෙන්න උදව් කරද්දී වැඩිමහල්ලන් එයාට අනුකම්පාවෙන්, කරුණාවෙන් සලකනවා. එයාට උදව් කරන්න ගන්න හැම මහන්සියකටම ආශීර්වාද කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලනවා. නොමඟ ගිය කෙනා එයාගේ වැරැද්ද තේරුම් අරගෙන පසුතැවිලි වෙයි කියන බලාපොරොත්තුව එයාලට තියෙනවා.—2 තිමෝ. 2:25, 26. w24.08 22-23 12-13¶

මාර්තු 17, අඟහරුවාදා

“ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘කිසිම කෙනෙක් මැරෙනවා දකින්න මම කැමති නැහැ. ඒ නිසා වැරදි අතහැරලා ජීවත් වෙන්න.’”—එස. 18:32.

යෙහෝවා කිසිම කෙනෙක් විනාශ වෙනවාට කැමති නැහැ. ඔහුට ඕනෙ වැරදි කරපු හැම කෙනෙක්ම ඔහුත් එක්ක සමාදාන වෙනවා දකින්න. (2 කොරි. 5:20) ඒ නිසයි ඉතිහාසය පුරාම යෙහෝවා ඔහුව අතහැරලා ගිය සෙනඟගෙන්, එක් එක් පුද්ගලයාගෙන් ආයේ ආයේ ඉල්ලන්නේ පසුතැවිලා ඔහු ළඟට එන්න කියලා. ඉතින් වැඩිමහල්ලන් බරපතළ වැරදි කරපු අයට පසුතැවිලි වෙන්න උදව් කරද්දී ඇත්තටම කරන්නේ යෙහෝවා එක්ක එකට වැඩ කරන එකයි. (රෝම 2:4; 1 කොරි. 3:9) වැරදි කරපු කෙනෙක් පසුතැවිලි වෙද්දී ස්වර්ගයේ හැමෝම ඒ ගැන සතුටු වෙන විදිහ හිතාගන්න පුළුවන්ද? නැති වුණ බැටළුවන් සභාවට හැරිලා එන වාරයක් වාරයක් ගාණේ අපේ ආදරණීය තාත්තා යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඔහු පෙන්නන අනුකම්පාව, දයාව, මහත් කරුණාව ගැන හිතන්න හිතන්න ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙන්නේ නැද්ද?—ලූක් 1:78. w24.08 31 16-17¶

මාර්තු 18, බදාදා

“සෙනඟ එකතු වෙලා ඔහුව අල්ලගෙන රජකමට පත් කරන්න හිතන් ඉන්නවා කියලා යේසුස් තේරුම්ගත්තා. ඉතින් ඔහු එතනින් පිටත් වෙලා ආයෙත් තනියම කන්දට ගියා.”—යොහ. 6:15.

යේසුස්ව රජකමට පත් කරන්න ඔහු මිනිස්සුන්ට ඉඩ දුන්නා නම් ඔහු කරන්නේ රෝම පාලනය යටතේ හිටපු යුදෙව්වන්ගේ දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන එකයි. හැබැයි ‘ඔහු එතනින් පිටත් වෙලා කන්දට ගියා.’ මිනිස්සුන්ගෙන් කොච්චර පීඩනයක් ආවත් ඔහු දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ. ඒක අපිටත් හොඳ ආදර්ශයක්! ආශ්චර්යයක් කරලා කෑම දෙන්න කියලවත් ලෙඩ්ඩු සුව කරන්න කියලවත් කවුරුත් අපිට කියන එකක් නැහැ. අපිව එයාලාගේ පාලකයා කරගන්න හදන එකකුත් නැහැ. හැබැයි එයාලා කැමති කෙනාට ඡන්දේ දාන්න, ඒ කෙනාට අපේ සපෝට් එක දෙන්න කියලා එයාලා අපිව පොලඹවාගන්න හදයි. ඒත් ඒ වෙලාවට වැඩ කරන්න ඕන විදිහ යේසුස් පෙන්නුවා. ඔහු දේශපාලනයට සම්බන්ධ දේවලට කිසිම විදිහකින් හවුල් වුණේ නැහැ. ඔහු මෙහෙමත් කිව්වා. “මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ.” (යොහ. 17:14; 18:36) ක්‍රිස්තියානීන් විදිහට අපිටත් ඕනෙ යේසුස් හිතපු, වැඩ කරපු විදිහ ආදර්ශයට ගන්න. අපි සපෝට් කරන්නේ දේවරාජ්‍යයට. ඒ ගැන අපි කතා කරනවා. ඒක එන්න කියලා යාච්ඤා කරනවා.—මතෙ. 6:10. w24.12 4 5-6¶

මාර්තු 19, බ්‍රහස්පතින්දා

“මගේ ආඥා පිළි අරන් ඒවාට කීකරු වෙන කෙනා තමයි ඇත්තටම මට ආදරේ කරන්නේ. මට ආදරේ කරන කෙනාට මගේ තාත්තාත් ආදරේ කරනවා. මමත් එයාට ආදරේ කරනවා. මං ගැන හැම දෙයක්ම එයාට හෙළි කරනවා.”—යොහ. 14:21.

ඔයා බයිබලේ අධ්‍යයනය කරද්දී ඒ ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් හැමෝටම එකම විදිහට සලකලා යෙහෝවා වගේ යුක්තිගරුක වෙන්න. යෙහෝවාගේ නම වෙනුවෙන් ඕනම දුකක් විඳින්න ලෑස්ති පිට ඉඳලා, අමාරු තත්වයකදී වුණත් අනිත් අයට උදව් කරලා අපිට පුළුවන් යේසුස් වගේ ආදරේ පෙන්නන්න. යේසුස්ව ආදර්ශයට අරන් අනිත් අයට සාක්ෂි දරන්නත් අපිට පුළුවන්. එතකොට එයාලටත් අවස්ථාව ලැබෙනවා යෙහෝවා දුන්න වටිනා තෑග්ගෙන් ප්‍රයෝජන ගන්න. ජීවිත පූජාව ගැන ඉගෙනගන්න ඉගෙනගන්න යෙහෝවා ගැනත් යේසුස් ගැනත් අපේ හිතේ තියෙන ආදරේ තව වැඩි වෙනවා. ඒ විදිහට අපේ ආදරේ වැඩි වෙද්දී ඒ දෙන්නාත් අපිට තව ආදරේ කරයි. (යාකො. 4:8) ඉතින් ජීවිත පූජාව ගැන ඉගෙනගන්න යෙහෝවා දීලා තියෙන හැම දේකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. w25.01 25 16-17¶

මාර්තු 20, සිකුරාදා

“ඔබ මගේ හැම වරදක්ම ඔබ පිටුපසට වීසි කළා.”—යෙසා. 38:17.

අද දිනපදයෙන් තේරෙනවා යෙහෝවා අපේ වැරදි දිහා ආයේ හැරිලාවත් බලන්නේ නැහැ කියලා. ඒක “ඔබ මාගේ වැරදි සලකන්නේ කවදාවත් මගේ අතින් නොවුණු ඒවා හැටියටයි” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම අදහසක් දෙන උදාහරණයක් මීකා 7:18, 19 තියෙනවා. එතන කියනවා යෙහෝවා අපේ වැරදි මුහුදු පතුලටම වීසි කරනවා කියලා. ඉස්සර කාලේ මුහුදු පතුලට දෙයක් වැටුණාම ඒක ආයේ ගන්නවා බොරු! ඒ උදාහරණවලින් පැහැදිලියි යෙහෝවා සමාව දුන්නාම අපේ වැරදි ඔහු අපෙන් සම්පූර්ණෙන්ම අයින් කරනවා කියලා. ඒ නිසා ඒ වැරදි ඔළුවේ තියාගෙන අපි තවත් වධ වෙවී ඉන්න ඕනෙ නැහැ. ඒකයි දාවිත් මෙහෙම කිව්වේ. “තමන් කරපු වැරදිවලට සමාව ලැබුණ අය සන්තෝෂවත්. වැරදි මකලා දාලා තියෙන නිසා එයාලා ඉන්නේ සතුටින්.” (රෝම 4:7) අන්න ඒක තමයි සමාව දෙන හරිම විදිහ. w25.02 9 7-8¶

මාර්තු 21, සෙනසුරාදා

“මම නිර්මාණය කරන දේ ගැන සතුටු වෙන්න. සදහටම ප්‍රීති ඝෝෂා නඟන්න.”—යෙසා. 65:18.

අද පොළොවේ ලස්සන පාරාදීසයක් තියෙනවා. මිලියන ගාණක් සෙනඟ ඒකේ සතුටින්, සාමයෙන් කල් ගෙවනවා. එයාලාගේ එකම අධිෂ්ඨානය කවදාවත් මේ පාරාදීසේ දාලා යන්නේ නැතුව ඉන්න එක. එයාලට ඕනෙ තව පුළුවන් තරම් දෙනෙක්ට මේ පාරාදීසෙට එන්න උදව් කරන්න. මොකක්ද මේ පාරාදීසේ? ඒක සංකේතවත් එකක්. දුෂ්ටකම්වලින් පිරිලා තියෙන සාතන්ගේ මේ ලෝකේ යෙහෝවා පාරාදීසයක් වගේ ලස්සන වටපිටාවක් ඇති කරලා තියෙනවා. (1 යොහ. 5:19; එළි. 12:12) ඒ නිසා තමයි ඒක ‘ආරක්ෂා වීමට ස්ථානයක්, වතුර ඇති උයනක්’ කියලා බයිබලේ හඳුන්වන්නේ. (යෙසා. 4:6; 58:11) මේ පාරාදීසේ ඉන්න අයට යෙහෝවාගේ ආශීර්වාද තියෙන නිසා අවසාන කාලේ කොච්චර දරුණු දේවල් වුණත් එයාලා ලොකු සතුටක්, ආරක්ෂාවක් අද්දකිනවා.—යෙසා. 54:14; 2 තිමෝ. 3:1. w24.04 20 1-2¶

මාර්තු 22, ඉරිදා

“හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න.”—ෆිලි. 4:6.

හොඳ කෙනෙක්ව හොයාගන්න උදව් කරන්න කියලා ඔයා යෙහෝවාගෙන් ඉල්ලලා ඇති. යෙහෝවා ඔයා වෙනුවෙන් කෙනෙක්ව හොයලා දෙන්නේ නැහැ. හැබැයි ඔයාට දැනෙන විදිහ, ඔයාට ඕනෙ දේවල් ඔහු දන්නවා. ඔයා කෙනෙක්ව හොයන කාලේදී ඔහු ඔයාට හොඳ මඟ පෙන්වීම් දෙයි. ඒ නිසා ඔයාගේ ආසාවන් ගැන, ඔයාට දැනෙන විදිහ ගැන දිගටම ඔහුට කියන්න. (ගීතා. 62:8) ඉවසීමෙන් බලාගෙන ඉන්න, ප්‍රඥාවන්තව වැඩ කරන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (යාකො. 1:5) ඔයාට දැන් ගැළපෙන කෙනෙක්ව හොයාගන්න බැරි වුණත් යෙහෝවා ඔයාව අත්හරින්නේ නැහැ. ඔහු දිගටම ඔයා ගැන හොයලා බලලා ඔයාට ආදරේ, සැලකිල්ල පෙන්නනවා. (ගීතා. 55:22) ඒත් කෙනෙක්ව හොයාගන්න එක තමයි මේ කාලේ ඔයාට තියෙන ලොකුම වැඩේ කියලා හිතන්න එපා. (ෆිලි. 1:10) මොකද නියම සතුට තියෙන්නේ බඳිනවාද නැද්ද කියන එක මත නෙවෙයි, යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම මත. (මතෙ. 5:3) තනිකඩ කාලේ ඔයාට යෙහෝවා වෙනුවෙන් වැඩිපුර දෙයක් කරන්න නිදහස තියෙනවා. (1 කොරි. 7:32, 33) ඒ නිසා මේ කාලේ උපරිමෙන් පාවිච්චි කරන්න. w24.05 21 4¶; 22 6¶

මාර්තු 23, සඳුදා

“ඔයා ගැනම විතරක් හිතන්නේ නැතුව අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න.”—ෆිලි. 2:4.

කොච්චර කල් යාළු වෙලා ඉන්න ඕනෙද? කතාවට කියනවා “ඉක්මන් කොටයි” කියලා. ඉතින් තීරණයක් ගන්නත් ඉක්මන් වෙන්න එපා. (හිතෝ. 21:5) දෙන්නාට දෙන්නා හොඳට අඳුරගන්න ඇති තරම් කාලයක් ගන්න. හැබැයි ඕනෑවට වඩා ඇදඇද ඉන්න එකෙත් තේරුමක් නැහැ. මොකද බයිබලේ කියනවා “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය” කියලා. (හිතෝ. 13:12) යාළු වෙලා ඉන්න දෙන්නෙක්ට උදව් කරන්න අනිත් අයටත් පුළුවන්. පොඩි කෑමකට, පවුලේ නමස්කාරයට නැත්නම් විනෝද වෙන වෙලාවලදී එයාලටත් එන්න කියන්න. (රෝම 12:13) එයාලා ගමන්බිමන් යද්දී එයාලාගේ තනියට යන්න කාව හරි ඕනෙද? එයාලට කොහේ හරි යන්න ඕනෙ නම් එයාලව එක්කන් යන්න පුළුවන්ද? එයාලට හම්බ වෙලා කතා කරන්න තැනක් ඕනෙද? එහෙමනම් ඒ පැතිවලින් එයාලට උදව්වක් දෙන්න. (ගලා. 6:10) යාළු වෙලා ඉන්න දෙන්නෙක් ඔයාට කිව්වොත් එයාලාගේ තනියට එන්න කියලා ඒක වධයක් කියලා හිතන්නේ නැතුව එයාලට උදව් කරන්න. හැබැයි එහෙම ගියාම එයාලා දෙන්නාට තනි වෙන්න දෙන්න එපා. එයාලාගේ නිදහසට බාධා කරන්නත් එපා. w24.05 30 13-14¶

මාර්තු 24, අඟහරුවාදා

“පසුතැවිලි වෙන්න මං එයාට කාලයක් දුන්නා.”—එළි. 2:21.

කෙනෙක් වරදකට වැටෙන්න බලපාපු හේතු තේරුම්ගන්න වැඩිමහල්ලන් උත්සාහ කරනවා. යෙහෝවාත් එක්ක එයාට තිබුණ බැඳීම දුර්වල වුණේ එයාගේ අධ්‍යයන පුරුදු, සේවේ අඩු වුණ නිසාද? එයාට යාච්ඤාව අතපසු වෙලාද? වැරදි පෙලඹීම්වලට එයාව පාලනය කරන්න එයා ඉඩ දීලාද? ආශ්‍රය ගැන, විනෝදයට කරන දේවල් ගැන එයා මෝඩ තීරණ අරන්ද? ඒ තීරණ එයා හිතන විදිහට බලපාලා තියෙන්නේ කොහොමද? එයා තේරුම් අරන් ඉන්නවාද එයා කරපු දේවල් නිසා එයාගේ තාත්තා වන යෙහෝවාට කොහොමද දැනෙන්නේ කියලා? ඒ වගේ ප්‍රශ්න අහලා වැඩිමහල්ලන්ට පුළුවන් එයා යෙහෝවාගෙන් ඈත් වුණේ ඇයි කියලා තේරුම්ගන්න එයාට කාරුණිකව උදව් කරන්න. ඒත් අදාළ නැති වෙනත් පෞද්ගලික තොරතුරු හාරා අවුස්සන්න වැඩිමහල්ලන්ට අවශ්‍ය නැහැ. (හිතෝ. 20:5) වැඩිමහල්ලන්ට පුළුවන් උදාහරණ පාවිච්චි කරලා එයා කරපු දේ කොච්චර බරපතළද කියලා තේරුම්ගන්න උදව් කරන්න. එතකොට සමහරවිට එයාව හම්බ වුණ පළවෙනි අවස්ථාවේදීම එයාට එයා කරපු දේ ගැන ලොකු දුකක් ඇති වෙයි. සමහරවිට එයා අවංකව පසුතැවිලි වෙන්නත් පෙලඹෙයි. w24.08 22 9-11¶

මාර්තු 25, බදාදා

“මං වෙන නගරවලටත් ගිහින් දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න ඕනේ. මාව එවලා තියෙන්නේ ඒක කරන්නයි.”—ලූක් 4:43.

යේසුස් උද්‍යෝගයෙන් “දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” කිව්වා. ඔහු දැනන් හිටියා යෙහෝවා ඒක ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා කියලා. දේශනා සේවේ තමයි යේසුස්ගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ. ඔහු පොළොවේ හිටපු අන්තිම මාස කීපයේදීත් “නගරයෙන් නගරයටත් ගමින් ගමටත්” ගිහිල්ලා අනිත් අයට ඉගැන්නුවා. (ලූක් 13:22) ඒ වගේම ඔහුත් එක්ක සේවේ කරන්න ඔහු තව ගෝලයන්වත් පුහුණු කළා. (ලූක් 10:1) අදත් අපිට තියෙන ප්‍රධානම වැඩේ තමයි දේශනා සේවේ හවුල් වෙන එක. ඒක යෙහෝවායි, යේසුයි අපෙන් බලාපොරොත්තු වෙනවා. (මතෙ. 24:14; 28:19, 20) යෙහෝවාට මිනිස්සු ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න එකෙනුත් සේවේ උද්‍යෝගය වැඩි කරගන්න අපිට පුළුවන්. යෙහෝවා කැමති පුළුවන් තරම් දෙනෙක් ශුභාරංචිය පිළිගන්නවා දකින්න. (1 තිමෝ. 2:3, 4) ඒ නිසයි මේ ජීවිත ගලවන පණිවිඩේ මිනිස්සුන්ගේ හදවතට කාවදින විදිහට කියන්න යෙහෝවා අපිව පුහුණු කරන්නේ. මිනිස්සු අපේ පණිවිඩේ දැන් පිළි නොගත්තත් සමහරවිට එයාලට අවස්ථාව ලැබෙයි මහත් පීඩාව ඉවර වෙන්න කලින් ඒක පිළිගන්න. w25.03 15-16 5-7¶

මාර්තු 26, බ්‍රහස්පතින්දා

“එයා එක්ක වචනයක් හරි කතා කළොත් ඔයාලත් එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල්කරුවෙක් වෙනවා.”—2 යොහ. 11.

පුහුණු කරපු හෘද සාක්ෂියට අනුව අපි එක් එක් කෙනාට පුළුවන් සභාවෙන් අයින් කරපු කෙනෙක් එක්ක වැඩ කරන විදිහ තීරණේ කරන්න. එයා රැස්වීමට ආවම එයාට “හලෝ” කියන එක, “ඔයා ආපු එක ලොකු සතුටක්” කියන එක සමහරුන්ට ප්‍රශ්නයක් නැති වෙයි. හැබැයි අපි එයාත් එක්ක කතා කරකර ඉන්නෙවත් එයාව වෙන වෙලාවක හම්බ වෙලා කාලේ ගත කරන්නෙවත් නැහැ. සමහරු හිතනවා ‘ඉතිං බයිබලේ කියනවානේ එහෙම කෙනෙක් එක්ක වචනයක් හරි කතා කළොත් ඔයාලත් එයාගේ දුෂ්ට ක්‍රියාවලට හවුල් වෙනවා කියලා?’ (2 යොහ. 9-11) හැබැයි අවට පදවලින් තේරෙනවා ඒ මඟ පෙන්වීම දෙන්නේ සත්‍ය නමස්කාරය අතහැරලා ගිය අය ගැන සහ බයිබලේට පටහැනි දේවල් කරන්න අනිත් අයව පොලඹවන අය ගැන කියලා. (එළි. 2:20) ඒ නිසා සත්‍යය අතහැරලා ගිය අයගේ ඉගැන්වීම් දිගටම පතුරුවන කෙනෙක්ව, බයිබලේ හෙළා දකින දේවල් කරන එක “කමක් නෑ” කියලා කියන කෙනෙක්ව වැඩිමහල්ලන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් පසුතැවෙන කල් අපි එයා එක්ක කතා කරන්නෙවත් එයාට රැස්වීම්වලට ආරාධනා කරන්නෙවත් නැහැ. w24.08 30-31 14-15¶

මාර්තු 27, සිකුරාදා

“ඒ දේවල් තාමත් එයාලාගේ හිත්වලට ගිහින් තිබුණේ නැහැ.”—මාක් 6:52.

ආශ්චර්යවත් විදිහට සෙනඟට කන්න දුන්නාට පස්සේ යේසුස් ගෝලයන්ව කපර්ණවුමට පිටත් කරලා යැව්වා. මිනිස්සු ඔහුව රජ කරවන්න හදනවා කියලා තේරුම්ගත්ත නිසා යේසුස් තනියම කන්දට ගියා. (යොහ. 6:16-20) ඒ අතරේ ගෝලයෝ බෝට්ටුවෙන් යද්දී ලොකු කුණාටුවක් ආවා. ඒ වෙලාවේ යේසුස් එයාලා හිටපු තැනට වතුර උඩ ඇවිදගෙන ආවා. ඔන්න ඔය වෙලාවේ තමයි පේතෘස්ටත් වතුර උඩ ඇවිදගෙන එන්න කියලා යේසුස් කිව්වේ. (මතෙ. 14:22-31) යේසුස් බෝට්ටුවට නැග්ග හැටියේ කුණාටුව නතර වුණා. පුදුම වුණ ගෝලයෝ කිව්වා “ඔබ නම් ඇත්තටම දෙවියන්ගේ පුතා” කියලා. (මතෙ. 14:33) හරි නම් එයාලා ඒක තේරුම්ගන්න තිබුණේ ආශ්චර්යවත් විදිහට යේසුස් රොටි දීපු වෙලාවේ. බලන්න ඒ ගැන මාක් කියන දේ. “ඒක දැක්කාම ගෝලයන්ට අදහාගන්න බැරුව ගියා. මොකද ඔහු රොටිවලින් කරපු ආශ්චර්යය එයාලා දැක්කත් ඒකෙන් ඉගෙනගන්න ඕනෙ පාඩම එයාලා තේරුම් අරන් තිබුණේ නැහැ.” (මාක් 6:50-52) රොටි දෙනවාට වඩා බලවත් ආශ්චර්යයන් කරන්න යෙහෝවා යේසුස්ට බලය දීලා තියෙනවා කියලා ගෝලයෝ තේරුම්ගත්තේ නැහැ. w24.12 5 7¶

මාර්තු 28, සෙනසුරාදා

“දෙවියන්ගේ කැමැත්ත තමයි හැම පසුබිමකටම අයිති මිනිස්සු ගැලවීම ලබාගන්න එක. ඒ වගේම එයාලා සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබාගන්න එක.”—1 තිමෝ. 2:4.

යෙහෝවාගේ ආදරේ අගය කරන්න පුළුවන් තව විදිහක් තියෙනවා. ඒ, සිහි කිරීමේ කාලේදී ජීවිත පූජාව අපිට ගොඩක් වටිනවා කියලා අපි වැඩ කරන විදිහෙන් පෙන්නන එක. සිහි කිරීමට අපි ලෑස්ති වෙනවා වගේම අනිත් අයටත් ඒකට ආරාධනා කරන්න අපිට පුළුවන්. සිහි කිරීමේදී වෙන්නේ මොනවාද කියලා එයාලට පැහැදිලි කරන්නත් පුළුවන්. jw.org එකේ තියෙන ‘යේසුස් මිය ගියේ ඇයි?’ සහ ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ කියන වීඩියෝ එයාලට පෙන්නන්නත් පුළුවන්. වැඩිමහල්ලන් අමතක නොකර අක්‍රියාශීලී වෙලා ඉන්න හැමෝටම ආරාධනා කරන්න ඕනේ. හිතන්න, නැති වුණ එක බැටළුවෙක් හරි ආපහු යෙහෝවාගේ රැළට එකතු වෙද්දී ස්වර්ගයේ ඉන්න අයට වගේම අපිටත් කොච්චර සතුටක් දැනෙයිද! (ලූක් 15:4-7) සිහි කිරීමේදී අපේ සහෝදර සහෝදරියන්ව විතරක් නෙවෙයි අලුතෙන් එන අයව, කාලෙකට පස්සේ එන අයව අපි ආදරෙන් පිළිගන්න ඕනේ. මොකද අපිට ඕනෙ අපේ ආදරේ එයාලට දැනෙනවා දකින්නයි.—රෝම 12:13. w25.01 29 15¶

මාර්තු 29, ඉරිදා

“ඔහු එක්ක සමාදාන වෙන්න අපිට අවස්ථාව දෙන්න ඔහු තමන්ගේ පුතාව පූජාවක් විදිහට එව්වේ අපිට තියෙන ආදරේ නිසයි.”—1 යොහ. 4:10.

යේසුස්ගේ ජීවිත පූජාව දුන්න එකෙන් යෙහෝවාගේ තව ලස්සන ගුණාංගයක් අපිට පේනවා. ඒ, ඔහුට අපි ගැන තියෙන ආදරය. (යොහ. 3:16; 1 යොහ. 4:9, 10) යෙහෝවා යේසුස්ව දුන්නේ අපේ පව්වලට සමාව දීලා අපිව ආයෙත් ඔහුගේ පවුලට පිළිගන්න තියෙන කැමැත්ත නිසයි. ආදම් පව් කරපු නිසා එයාව දෙවියන්ගේ පවුලෙන් අයින් කළා. ඒ නිසා ආදම්ගෙන් පැවත ආපු අපි හැමෝමත් යෙහෝවාගේ පවුලට අයිති වුණේ නැහැ. හැබැයි ජීවිත පූජාව නිසා යෙහෝවාට පුළුවන් වුණා අපේ පව්වලට සමාව දීලා දෙවියන් ගැන විශ්වාසේ තියන, ඔහුට කීකරු වෙන අයව ආයේ ඔහුගේ පවුලට එකතු කරගන්න. අපිට දැනුත් පුළුවන් යෙහෝවා එක්කයි, ඔහුට නමස්කාර කරන අනිත් අය එක්කයි හොඳ බැඳීමක් තියාගන්න. ඇත්තටම යෙහෝවාගේ ආදරේ මොන තරම්ද!—රෝම 5:10, 11. w25.01 21 6¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 9) යොහන් 12:12-19; මාක් 11:1-11

මාර්තු 30, සඳුදා

“දෙවියන් අපිට කොච්චර ආදරෙයිද!”—1 යොහ. 4:9.

යේසුස්ගේ ජීවිත පූජාව කියන්නේ මිල කරන්න බැරි වටිනා තෑග්ගක්. (2 කොරි. 9:15) යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරපු නිසා යෙහෝවාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔයාට පුළුවන් වුණා. සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුවත් ඔයාට ලැබුණා. යෙහෝවා අපිට තියෙන ආදරේ නිසා යේසුස්ගේ ජීවිත පූජාව අපි වෙනුවෙන් දීපු එක ගැන අපි කොච්චර අගය කරන්න ඕනෙද! (රෝම 5:8) යේසුස් කිව්වා අවුරුද්දකට සැරයක් ඔහුගේ මරණය සිහි කරන්න කියලා. ජීවිත පූජාව ගැන දිගටම හිතේ අගයක් තියාගන්නත් යේසුස් සහ යෙහෝවා අපි වෙනුවෙන් කරපු දේ අමතක නොකර ඉන්නත් ඒක උදව් වෙයි. (ලූක් 22:19, 20) 2026 සිහි කිරීම පවත්වන්නේ අප්‍රියෙල් 2වෙනි බ්‍රහස්පතින්දා. අපි හැමෝම සිහි කිරීමට සහභාගි වෙන්න දැන් තියාම ලෑස්ති වෙනවා ඇති. යෙහෝවායි, යේසුයි අපි වෙනුවෙන් කරපු දේ ගැන සිහි කිරීම කාලේදී තව හොඳට හිතන්න කාලේ ගන්න එකෙන් අපිට ප්‍රයෝජන තියෙනවා. w25.01 20 1-2¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 10) යොහන් 12:20-50

මාර්තු 31, අඟහරුවාදා

“රිදී වෙනුවට මගෙන් හික්මවීම් ලබාගන්න. පවිත්‍ර රන් වෙනුවට දැනුම තෝරගන්න.”—හිතෝ. 8:10.

යෙහෝවායි, යේසුයි ඔයා වෙනුවෙන් කරපු දේ ගැන තව හොඳට හිතද්දී ඒ දෙන්නා ඔයාට පෙන්නලා තියෙන ආදරේ තව තව දකින්න ඔයාට පුළුවන් වෙයි. ඔයාට පුළුවන් මේ අවුරුද්දේ සිහි කිරීම කාලේදී සුවිශේෂ පොත් එකක් හරි කීපයක් හරි හොඳට වෙලාව අරන් කියවන්න. එකපාර ගොඩක් පරිච්ඡේද කියවන්නේ නැතුව හෙමීට කියවන්න. යෙහෝවාටයි, යේසුස්ටයි ආදරේ කරන්න තියෙන තව හේතු හොයන්න. ඔයා අවුරුදු ගාණක් පුරා සත්‍යයේ ඉන්න කෙනෙක් නම් ඔයාට මෙහෙම හිතෙනවා ඇති. ‘ජීවිත පූජාව ගැන, යෙහෝවාගේ යුක්තිය ගැන, ඔහුගේ ආදරේ ගැන ඉගෙනගන්න තව අලුත් අලුත් දේවල් තියෙනවාද?’ ඇත්තටම ඒවා ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඔයාට පුළුවන් අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරුවලින් උපරිම ප්‍රයෝජන ගන්න. w25.01 24-25 13-15¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 11) ලූක් 21:1-36

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න