ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • es26 44-56 පි.
  • අප්‍රියෙල්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල්
  • දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
  • උපමාතෘකා
  • අප්‍රියෙල් 1, බදාදා
  • සිහි කිරීමේ දිනය
    හිරු බැස යෑමෙන් පසුව
    අප්‍රියෙල් 2, බ්‍රහස්පතින්දා
  • අප්‍රියෙල් 3, සිකුරාදා
  • අප්‍රියෙල් 4, සෙනසුරාදා
  • අප්‍රියෙල් 5, ඉරිදා
  • අප්‍රියෙල් 6, සඳුදා
  • අප්‍රියෙල් 7, අඟහරුවාදා
  • අප්‍රියෙල් 8, බදාදා
  • අප්‍රියෙල් 9, බ්‍රහස්පතින්දා
  • අප්‍රියෙල් 10, සිකුරාදා
  • අප්‍රියෙල් 11, සෙනසුරාදා
  • අප්‍රියෙල් 12, ඉරිදා
  • අප්‍රියෙල් 13, සඳුදා
  • අප්‍රියෙල් 14, අඟහරුවාදා
  • අප්‍රියෙල් 15, බදාදා
  • අප්‍රියෙල් 16, බ්‍රහස්පතින්දා
  • අප්‍රියෙල් 17, සිකුරාදා
  • අප්‍රියෙල් 18, සෙනසුරාදා
  • අප්‍රියෙල් 19, ඉරිදා
  • අප්‍රියෙල් 20, සඳුදා
  • අප්‍රියෙල් 21, අඟහරුවාදා
  • අප්‍රියෙල් 22, බදාදා
  • අප්‍රියෙල් 23, බ්‍රහස්පතින්දා
  • අප්‍රියෙල් 24, සිකුරාදා
  • අප්‍රියෙල් 25, සෙනසුරාදා
  • අප්‍රියෙල් 26, ඉරිදා
  • අප්‍රියෙල් 27, සඳුදා
  • අප්‍රියෙල් 28, අඟහරුවාදා
  • අප්‍රියෙල් 29, බදාදා
  • අප්‍රියෙල් 30, බ්‍රහස්පතින්දා
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
es26 44-56 පි.

අප්‍රියෙල්

අප්‍රියෙල් 1, බදාදා

“පුතාව පිළි අරන් ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම සදාකාල ජීවිතය ලබා දෙන්න මගේ පියාණන් කැමතියි.”—යොහ. 6:40.

යේසුස්ගේ ශරීරයෙන් සහ රුධිරයෙන් ප්‍රයෝජන ලබන්න නම් අපි ඔහුගේ ජීවිත පූජාව ගැන විශ්වාසේ තියන්න ඕනේ. (එෆී. 1:7) “වෙනත් බැටළුවන්” කියලා යේසුස් හඳුන්වපු අය අවුරුද්දකට සැරයක් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වද්දී එතන තියෙන රොටි කන්නෙවත් වයින් බොන්නෙවත් නැහැ. එයාලට ඒක කරන්න අයිතියක් නැහැ. (යොහ. 10:16) හැබැයි සංකේතවත් විදිහට එයාලා යේසුස්ගේ ශරීරයෙන් කනවා, රුධිරයෙන් බොනවා. එයාලා ඒක කරන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඒ පූජාව නිසා ලැබෙන්න යන දේවල් ගැනත් සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියලා පෙන්නලා. (යොහ. 6:53) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයේදී රොටි සහ වයින් ගන්න අය පෙන්නනවා එයාලා අලුත් ගිවිසුමට අයිති අය කියලා. ඒ වගේම එයාලට තියෙන්නේ දේවරාජ්‍යයේ හවුල් පාලකයන් වෙන බලාපොරොත්තුව කියලා. අපි අභිෂේක ලත් අය වුණත් වෙනත් බැටළුවන්ට අයිති අය වුණත් සදාකාල ජීවිතේ ලබාගන්න නම් අපි හැමෝම යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසේ තියන්න ඕනෙමයි. w24.12 13 14¶, 16¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 12) මතෙව් 26:1-5, 14-16; ලූක් 22:1-6

සිහි කිරීමේ දිනය
හිරු බැස යෑමෙන් පසුව
අප්‍රියෙල් 2, බ්‍රහස්පතින්දා

“කුඩා රැළ, බය වෙන්න එපා. මොකද ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ තාත්තා ඔයාලට රාජ්‍යය දෙන්න ඔහුගේ අනුමැතිය දීලා තියෙනවා.”—ලූක් 12:32.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය වෙලාවේ යේසුස් මුහුන් දාපු නැති රොටි නියෝජිතයන්ට දීලා කිව්වා ඒකෙන් ඔහුගේ ශරීරය නියෝජනය වෙනවා කියලා. ඊටපස්සේ ඔහු වයින් අතින් අත යවලා කිව්වා “ලේවලින් තමයි ගිවිසුම ස්ථිර වෙන්නේ” කියලා. (මාක් 14:22-25; ලූක් 22:20; 1 කොරි. 11:24) ඒ අලුත් ගිවිසුම ඇති වුණේ දෙවියනුයි, ‘දෙවියන්ගේ ඊශ්‍රායෙලුයි’ අතරේ. ඒ කියන්නේ යේසුස් එක්ක ‘දේවරාජ්‍යයේ’ පාලනයට හවුල් වෙන අය අතරේ විතරයි. (හෙබ්‍රෙ. 8:6, 10; 9:15) ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වලා දුන්න වෙලාවේ යේසුස් කියපු දේවල් අදාළ වුණේ “කුඩා රැළට.” ඒ පොඩි පිරිසට අයිති වුණ මුල්ම කට්ටිය තමයි එදා යේසුස් එක්ක උඩුමහල් කාමරේ හිටපු විශ්වාසවන්ත නියෝජිතයන්. යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්න තැනක් හම්බ වෙන්නෙත් එයාලටයි. w24.12 11 9-10¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 13) මතෙව් 26:17-19; මාක් 14:12-16; ලූක් 22:7-13 (හිරු බැස යෑමෙන් පසු සිදුවීම්: නීසාන් 14) යොහන් 13:1-5; 14:1-3

අප්‍රියෙල් 3, සිකුරාදා

“දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.”—යොහ. 3:16.

යේසුස්ව පාවා දුන්නා. අත්අඩංගුවට ගත්තා. ඔහුට අපහාස කළා. බොරු චෝදනා කරලා වරදකරුවෙක් කියලා ඔප්පු කළා. හුඟක් වධ දුන්නා. ඊටපස්සේ සොල්දාදුවෝ ඔහුව අරගෙන ගිහින් වධකණුවක ඇණ ගැහුවා. මේ හැම දෙයක්ම යේසුස් විශ්වාසවන්තව දරාගද්දී ඒ වේදනාව ඔහුටත් වඩා දරාගත්ත කෙනෙක් හිටියා. ඒ තමයි යෙහෝවා දෙවියන්. පුතාව බේරගන්න ඕන තරම් බලය තිබුණත් ඇයි යෙහෝවා ඒ වෙලාවේ මුකුත් නොකර හිටියේ? ඒකට උත්තරේ ආදරය. ජීවිත පූජාවෙන් පැහැදිලි වෙනවා යෙහෝවා ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඔහු ඔහුට තියෙන හොඳම දේ දුන්නේ, මෙච්චර දුකක් උහුලගත්තේ ඔයාව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න. (1 යොහ. 4:9, 10) යෙහෝවාට ඕනෙ අපි එක් එක් කෙනාට පව්කාරකම එක්ක සටන් කරන්න, ඒකෙන් ජය ගන්න උදව් කරන්න. w24.08 6 13-14¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 14) යොහන් 19:1-42

අප්‍රියෙල් 4, සෙනසුරාදා

“ඔයාලා වෙනුවෙන් ක්‍රිස්තුස් දුක් වින්දා.”—1 පේතෘ. 2:21.

යේසුස් දුක් විඳිනවා බලන් ඉද්දී යෙහෝවාට කොච්චර නම් දුකක් දැනෙන්න ඇද්ද! ඒ ගැන හිතද්දී යෙහෝවාට අපි ගැන තියෙන ආදරේ තරම අපිට තේරෙනවා. සාතන් කිව්වා අභියෝග එද්දී කවුරුත් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නේ නැහැ කියලා. ඒක බොරුයි කියලා ඔප්පු කරන්න මැරෙන්න කලින් යේසුස්ට ගොඩක් දුක් විඳින්න යෙහෝවා ඉඩහැරියා. (යෝබ් 2:1-5) ආගමික නායකයන් යේසුස්ට අපහාස කරන විදිහ, සොල්දාදුවන් ඔහුට කසයෙන් ගහන විදිහ, ඔහුව වධකණුවේ ඇණ ගහන විදිහ යෙහෝවා දැක්කා. ඔහුගේ ආදරණීය පුතා දරාගන්න බැරි වේදනාවක් උහුලන් අවසන් හුස්ම හෙළන විදිහත් යෙහෝවා දැක්කා. (මතෙ. 27:28-31, 39) යෙහෝවාට පුළුවන්කම තිබුණා ඕනම වෙලාවක මැදිහත් වෙලා ඒක නවත්තන්න. (මතෙ. 27:42, 43) හැබැයි යෙහෝවා එහෙම කළා නම් ජීවිත පූජාවක් නැහැ. අපිට බලාපොරොත්තුවකුත් නැහැ. ඒ නිසා අවසන් හුස්ම වැටෙන කල්ම යේසුස්ට දුක් විඳින්න යෙහෝවා ඉඩහැරියා. w25.01 22 7¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 15) මතෙව් 27:62-66 (හිරු බැස යෑමෙන් පසු සිදුවීම්: නීසාන් 16) යොහන් 20:1

අප්‍රියෙල් 5, ඉරිදා

“ඔහු දවස් 40ක් තිස්සේ කීප වතාවක්ම එයාලා ඉස්සරහා පෙනී හිටියා.”—ක්‍රියා 1:3.

ඒ, ක්‍රි.ව. 33 නීසාන් මාසයේ 16වෙනිදා. මේ වෙද්දී යේසුස්ගේ ගෝලයෝ ඉන්නේ බයෙන්, දුකෙන් යටපත් වෙලා. එයාලාගෙන් දෙන්නෙක් යෙරුසලමේ ඉඳලා එම්මාවුස් ගමට යනවා. අඳුරන්නේ නැති කෙනෙක් එයාලාගේ ගමනට එකතු වෙනවා. එයාලා යේසුස්ට වුණ දේවල් ඒ කෙනාට පැහැදිලි කරනවා. මේ නාඳුනන කෙනා එයාලට “මෝසෙස් පැවසූ දේවලින් පටන්ගෙන සියලු අනාගතවක්තෘවරුන්” ගැලවුම්කරු ගැන කියලා තියෙන අනාවැකි ගැන පැහැදිලි කරනවා. ඒ වගේම ඔහු දුක් විඳලා මැරෙන්න ඕන හේතුවත් පැහැදිලි කරනවා. ඒ තුන්දෙනාම එම්මාවුස්වලට ආවාට පස්සේ මේ ගෝලයෝ දැනගන්නවා ඒ ආවේ නැවත නැඟිට්ට යේසුස් කියලා. (ලූක් 24:13-35) යේසුස් මේ පොළොවේ ගත කරපු අන්තිම දවස් 40 පුරාම ගොඩක් සැරයක් ඔහුගේ ගෝලයන් ඉදිරියේ පෙනී හිටියා. දුකෙන්, බයෙන් හිටපු ගෝලයන්ව ඔහු දිරිගැන්නුවා. ඒ නිසා එයාලාගේ දුක, බය සතුටට පෙරළුණා. දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න, උගන්නන්න එයාලට ලොකු ධෛර්යයකුත් ලැබුණා. w24.10 12 1-3¶

සිහි කිරීමට නියමිත බයිබල් කියවීම: (දිවා කාලයේ සිදුවීම්: නීසාන් 16) යොහන් 20:2-18

අප්‍රියෙල් 6, සඳුදා

“ශුද්ධ දෙයක් වන ඔයාලාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න.”—යූද් 20.

වැඩිහිටියන් වෙන එක කාලයත් එක්ක ඉබේටම වුණාට අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන එක ඉබේම වෙන්නේ නැහැ. උදාහරණෙකට කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන් ශුභාරංචිය පිළිගත්තා. බව්තීස්ම වුණා. එයාලට දෙවියන්ගේ බලය ලැබුණා. පාවුල් එයාලට දීපු මඟ පෙන්වීම්වලිනුත් එයාලා ඉගෙනගත්තා. (ක්‍රියා 18:8-11) ඒත් බව්තීස්ම වෙලා කාලයක් ගියත් එයාලා අවබෝධයෙන් වැඩ කළේ නැහැ. (1 කොරි. 3:2) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න නම් මුලින්ම ඒකට ආසාවක් තියෙන්න ඕනේ. හැබැයි ‘අනුවණකමට ආස’ අයට වෙනස් වෙන්න කිසිම වුවමනාවක් නැහැ. (හිතෝ. 1:22) එයාලා බලන්නේ හැමදාම බබාලා වගේ ඉන්න. එයාලට කවදාවත් අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න බැහැ. සමහරු කිසිම වගකීමක් ගන්නේ නැහැ. එයාලා බලන් ඉන්නේ දෙමාපියෝ එයාලා වෙනුවෙන් තීරණ ගන්න කල්. හැබැයි අපිට ඕනෙ වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙලා යෙහෝවා එක්ක තියෙන බැඳීම වැඩි කරගන්න. ඉතින් ඔයාත් එතනට එන්න මහන්සි වෙන කෙනෙක් නම් ඒකට “ආසාවක් වගේම පෙලඹීමක්” ඇති කරන්න කියලා දිගටම යෙහෝවාගෙන් ඉල්ලන්න.—ෆිලි. 2:13. w24.04 4 9-10¶

අප්‍රියෙල් 7, අඟහරුවාදා

‘යෙහෝවා කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න.’—2 පේතෘ. 3:9.

මිනිස්සුන්ව විනිශ්චය කරද්දී යෙහෝවාට හැඟෙන විදිහ ගැන ඔහු අපිට කියලා තියෙනවා. (එස. 33:11) හොඳ හේතුවක් නැතුව නිකන් ආවාට ගියාට යෙහෝවා කාවවත් සදහටම විනාශ කරන්නේ නැහැ. දයාව පෙන්නන්න පුළුවන් හැම අවස්ථාවකදීම ඔහු ඒක පෙන්නනවා. නැවත නැඟිටින්නේ නැති අය ගැන අපි මොනවාද දන්නේ? ඒ වගේ කීපදෙනෙක් ගැන විතරයි බයිබලේ තියෙන්නේ. යේසුස් කිව්වා යූදස් ඉස්කාරියොත් නැවත නැඟිටින්නේ නැහැ කියලා. (මාක් 14:21; යොහ. 17:12) යූදස් හිතාමතාමයි යෙහෝවාටයි, යේසුස්ටයි විරුද්ධව වැඩ කළේ. (මාක් 3:29) යේසුස්ගේ කාලේ හිටපු සමහර ආගමික නායකයන්ටත් නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කිව්වා. (මතෙ. 23:33) පාවුල් කිව්වා පසුතැවෙන්නේ නැතුව දිගටම සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව වැඩ කරන අයටත් නැවත නැඟිටීමක් නැහැ කියලා.—හෙබ්‍රෙ. 6:4-8; 10:29. w24.05 4 10-11¶

අප්‍රියෙල් 8, බදාදා

“තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව යෙහෝවා ආරක්ෂා කරනවා.”—ගීතා. 31:23.

අපි යෙහෝවාට ළං වෙලා ඉන්න කල් සාතන්ට බැහැ අපිට සදහටම හානි වෙන දෙයක් කරන්න. (1 යොහ. 3:8) පාරාදීසේදී අපේ විශ්වාසයට හානියක් වෙන දේවලින් විතරක් නෙවෙයි මරණයෙන් දෙවියන් ඔහුගේ යාළුවන්ව ආරක්ෂා කරනවා. (එළි. 21:4) දෙවියන්ගේ කූඩාරමේ ඉන්න අය විදිහට ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ලැබුණ එක ඇත්තටම ගෞරවයක්! (එස. 37:27) හැබැයි මේ කූඩාරමේ දිගටම ඉන්න නම් අපේ පැත්තෙනුත් කරන්න ඕනෙ දේවල් තියෙනවා. හිතන්න කෙනෙක් එයාගේ ගෙදරට ඔයාට ආරාධනා කළාම එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒ වගේ තමයි දිගටම දෙවියන්ගේ කූඩාරමේ ඉන්න නම් ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා අපි තේරුම්ගන්න ඕනේ. යෙහෝවා ගැන අපේ හිතේ තියෙන ආදරේ අපිව පොලඹවනවා ‘සියල්ලේදී ඔහුව සතුටු කරන්න.’ (කොලො. 1:10) අපේ හිතේ යෙහෝවා ගැන තියෙන ගරුබිය පොඩ්ඩක්වත් අඩු වෙන්න දෙන්න හොඳ නැහැ. ඔහු අකමැති දේවල්වලින් ඈත් වෙලා ඉන්න වගේම “දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න” ඒ ගරුබිය අපිව පොලඹවනවා.—මීකා 6:8. w24.06 4 8-9¶

අප්‍රියෙල් 9, බ්‍රහස්පතින්දා

“වරදකරුවන් වෙනුවෙනුත් ඔහු මැදිහත් වුණා.”—යෙසා. 53:12.

දවසක් යෙහෝවා ආබ්‍රහම්ගෙන් ඉල්ලුවා එයාගේ පුතා ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කරන්න කියලා. ඒ වගේ දෙයක් තාත්තා කෙනෙක්ට දරාගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. හැබැයි ආබ්‍රහම් යෙහෝවාට කීකරු වුණා. ඒත් එයා පුතාව මරන්න යද්දීම යෙහෝවා එයාව නැවැත්තුවා. මේ සිද්ධියෙන් යෙහෝවා ඉස්සරහට කරන්න යන වැදගත් දෙයක් පෙන්නුවා. ඒ, ඔහුගේ ආදරණීය පුතාව පූජාවක් විදිහට ඔප්පු කරන්න යන එක. යෙහෝවා ඒ තරමටම මිනිස්සුන්ට ආදරේ කළා. (උත්. 22:1-18) සියවස් ගාණකට පස්සේ යෙහෝවා ඊශ්‍රායෙල් ජාතියට නීතිය දුන්නා. ඒකේ කියලා තිබුණා පව්වලට සමාව ලබාගන්න නම් සත්ව පූජා ඔප්පු කරන්න ඕනෙ කියලා. (ලෙවී. 4:27-29; 17:11) ඒ පූජාවලින් මිනිස්සුන්ගේ පව්වලට සම්පූර්ණයෙන්ම සමාව ලැබෙන විශේෂ පූජාවක් නියෝජනය වුණා. පැවතෙන තැනැත්තා දුක් විඳලා මැරෙනවා කියලත් ඔහුව බැටළුවෙක් වගේ ඔප්පු කරනවා කියලත් යෙහෝවා අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කිව්වා. ඒ තැනැත්තා වුණේ දෙවියන්ගේ පුත්‍රයන් අතරින් විශේෂ කෙනෙක්. ඒ දේ යෙහෝවා කළේ ඔයා වෙනුවෙන්!—යෙසා. 53:1-12. w24.08 4 7-8¶

අප්‍රියෙල් 10, සිකුරාදා

“ඔබේ නීතියට මම මොන තරම් ආදරේ කරනවාද! දවස තිස්සේම මං ඒ ගැන කල්පනා කරනවා.”—ගීතා. 119:97.

ඔයා බයිබලෙන් කොටසක් කියෙව්වාට පස්සේ ඒ තොරතුරු ජීවිතේට අදාළ කරගන්න විදිහ ගැන හිතන එක වැදගත්. ඒ නිසා බයිබලේ කියවද්දී ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මේ තොරතුරු දැන් සහ අනාගතේට මට උදව් වෙන්නේ කොහොමද?’ ඒක තේරුම්ගන්න අපි පොඩි උදාහරණයක් බලමු. හිතන්න, ඔයාගේ බයිබල් කියවීමට 1 තෙසලෝනික 5:17, 18 ඇතුළත් කියලා. ඒ පද දෙක කියෙව්වාට පස්සේ ඔයාට හිතන්න පුළුවන් ‘මං කී සැරයක් යාච්ඤා කරනවාද, මං හොඳට කාලේ අරන් යාච්ඤා කරනවාද’ කියලා. ඒ වගේම යෙහෝවාට ස්තුති කරන්න පුළුවන් පැතිත් ඔයාට හිතන්න පුළුවන්. සමහරවිට ඔයා හිතයි ‘ඒ පැතිවලින් තුනක් ගැන මං අද දවසේ යෙහෝවාට ස්තුති කරනවා’ කියලා. ඒ විදිහට විනාඩි කීපයක් හරි අරන් ඔයා හොඳට හිතද්දී ඔයාට පුළුවන් දෙවියන්ගේ වචනය අහන කෙනෙක් වගේම පිළිපදින කෙනෙක් වෙන්න. ඒ විදිහට ඔයා හැම දවසකම බයිබලේ කියවලා ඒකෙන් අදාළ කරගන්න පුළුවන් දේවල් ගැන හිතද්දී කාලෙත් එක්කම දෙවියන්ගේ සේවකයෙක් විදිහට ඔයාට තව දියුණු වෙන්න පුළුවන්. w24.09 4-5 9-10¶

අප්‍රියෙල් 11, සෙනසුරාදා

“අපි ඔයාලා වෙනුවෙන් වෙහෙස මහන්සි වෙලා කරපු දේවල් අපතේ යන්න දෙන්න එපා. එතකොට ඔයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග කිසිම අඩුවක් නැතුව ඔයාලට ලැබෙයි.”—2 යොහ. 8.

යෙහෝවා අපිව හදලා තියෙන්නේ අනිත් අයගෙන් අපිට දේවල් ලැබෙද්දී දැනෙන සතුටට වඩා සතුටක් අනිත් අය වෙනුවෙන් දෙද්දී ලැබෙන විදිහට. අපේ සහෝදර සහෝදරයින්ට උදව්වක් කරන්න හම්බ වෙද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම එයාලා අපිව අගය කරද්දී අපිට සතුටක් දැනෙනවා. හැබැයි අගය කළත් නැතත් හරි දේ කළා කියන සතුට අපිට තියෙනවා. අමතක කරන්න එපා අපි දුන්නාට වඩා ‘විශාල ප්‍රමාණයක් අපිට දෙන්න යෙහෝවාට පුළුවන්.’ (2 ලේක. 25:9) ඔයා කොච්චර දුන්නත් ඔයා දෙනවාට වඩා වැඩියෙන් යෙහෝවා ඔයාට දෙනවා. ඇත්තටම යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද අනිත් අයගෙන් ලැබෙන කිසිම දේකට සම කරන්න පුළුවන්ද? ඒ නිසා දිගටම අපේ ආදරණීය තාත්තාව ආදර්ශෙට ගන්න අපි අධිෂ්ඨාන කරගමු. w24.09 31 20-21¶

අප්‍රියෙල් 12, ඉරිදා

“යෙහෝවා මගේ දෙවියනි, මගේ මුළු හිතින්ම මම ඔබට ප්‍රශංසා කරනවා. හැමදාම ඔබේ නම ගෞරවයට පත් කරනවා.”—ගීතා. 86:12.

යෙහෝවා දයාවෙන්, අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක්. (ගීතා. 103:13; යෙසා. 49:15) අපිට රිදෙද්දී ඔහුටත් රිදෙනවා. (සෙක. 2:8) ඔහුගේ යාළුවෙක් වෙන්න ඔහු මාර්ගය විවෘත කරලා තියෙනවා. (ගීතා. 25:14; ක්‍රියා 17:27) ඔහු ගොඩක් නිහතමානියි. “ඔහු පහතට නැමිලා අහස දිහාත් පොළොව දිහාත් බලනවා. ඔහු අසරණයාව දූවිල්ලෙන් නැඟිටුවනවා.” (ගීතා. 113:6, 7) ඒ දේවල් ගැන හිතද්දී යෙහෝවාට ගෞරවය නොදී ඉන්න පුළුවන් කාටද? අපිට ඕන අනිත් අයත් යෙහෝවා ගැන දැනගන්නවා දකින්න. ඒ විදිහටත් අපි ඔහුට ගෞරව කරනවා. අද ඉන්න හුඟක් අය යෙහෝවා ගැන ඇත්ත දන්නේ නැහැ. මොකද සාතන් ඔහු ගැන අමූලික බොරු ගොතලා මිනිස්සුන්ගේ මනස් අන්ධ කරලා තියෙන්නේ. (2 කොරි. 4:4) සාතන් කියනවා යෙහෝවා කියන්නේ පළිගන්න, මිනිස්සු ගැන කිසිම සැලකිල්ලක් නැති, මේ හැම දුකකටම වග කියන්න ඕන කෙනා කියලා. හැබැයි අපේ දෙවියන් ගැන අපි දන්නවා. ඒ නිසා අපිට විශේෂ අවස්ථාවක් තියෙනවා මිනිස්සුන්ට යෙහෝවා ගැන ඇත්ත කියලා ඔහුට ගෞරවය දෙන්න.—යෙසා. 43:10. w25.01 3 6-7¶

අප්‍රියෙල් 13, සඳුදා

‘සාතන් පොළොවේ ඉන්න හැමෝවම නොමඟ යවනවා.’—එළි. 12:9.

යේසුස් පරිපූර්ණ වුණත් ගොඩක් ආශ්චර්යයන් කළත් සාතන්ගේ ඉත්තෝ ඔහුට විරුද්ධව එක පිට එක බොරු ගෙතුවා. උදාහරණෙකට යේසුස් භූතයන්ව පන්නද්දී ආගමික නායකයන් කිව්වා ඔහු ඒ දේවල් කරන්නේ “භූතයන්ගේ පාලකයාගේ” උදව්වෙන් කියලා. (මාක් 3:22) ඒ වගේම ඔහු දෙවියන්ට අපහාස කරන කෙනෙක් කියලත් එයාලා චෝදනා කළා. ඊටපස්සේ එයාලා සෙනඟව උසිගැන්නුවා යේසුස්ව මරන්න කියන්න කියලා. (මතෙ. 27:20) යේසුස්ගේ අනුගාමිකයන් දේශනා කරද්දීත් එයාලාගේ හතුරෝ ‘වෙනත් ජාතීන්වල අයව උසිගන්නලා ඒගොල්ලන්ගේ මනසට යේසුස්ගේ ගෝලයන් ගැන වැරදි අදහස් දැම්මා.’ (ක්‍රියා 14:2, 19) එහෙම කළේ එයාලට පීඩා කරන්න. ක්‍රියා 14:2 ගැන 1998 දෙසැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ මෙහෙම කියනවා. ‘ආගමික නායකයන් යේසුස්ගේ ගෝලයන් කියපු පණිවිඩේ ප්‍රතික්ෂේප කරලා විතරක් නැවතුණේ නැහැ. එයාලා යේසුස්ගේ අනුගාමිකයන් ගැන වැරදි අදහස් මිනිස්සුන්ගේ ඔළුවලට දාන්නත් නොසෑහෙන්න දේවල් කළා.’ සාතන් අදත් බොරු පතුරලා “මුළු පොළොවම නොමඟ යවනවා.” w24.04 11 15-16¶

අප්‍රියෙල් 14, අඟහරුවාදා

“මුළු පොළොවේම විනිශ්චයකරු වන ඔයා සාධාරණය ඉටු කරන්නේ නැද්ද?”—උත්. 18:25.

කෙනෙක් මැරෙන වෙලාව අනුව එයාට සදාකාල ජීවිතේ ලැබෙයිද නැද්ද කියලා තීරණේ වෙන්නේ නැහැ. යෙහෝවා පරිපූර්ණ විනිශ්චයකරුවෙක්. ඔහුගේ විනිශ්චයන් හැම තිස්සේම සාධාරණයි, ධර්මිෂ්ඨයි. (ගීතා. 33:4, 5) ඉතින් අපිට විශ්වාසයි “මුළු පොළොවෙම විනිශ්චයකරු” දෙන හැම තීන්දුවක්ම හරියි කියලා. කෙනෙක් ජීවත් වෙන තැන අනුවත් එයාට සදාකාල ජීවිතේ ලැබෙයිද නැද්ද කියලා තීරණේ වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා තහංචි තියෙන හුඟක් පැතිවලට ශුභාරංචිය ගෙනියන්න බැහැ කියලා. ඒ පැතිවල ඉන්න මිලියන ගාණකට ශුභාරංචිය පිළිගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසාම එයාලව “එළුවන්” විදිහට යෙහෝවා ලේබල් කරයි කියලා අපිට හිතන්නවත් බැහැ. (මතෙ. 25:46) අපි හිතනවාට වඩා යෙහෝවා ඒ එක් එක් කෙනා ගැන ගොඩක් හිතනවා. අපි දන්නේ නැහැ මහත් පීඩාව කාලේදී ඔහු කොහොම දේවල් හසුරුවයිද කියලා. සමහරවිට යෙහෝවාගේ නම ගෞරවයට පත් වෙන කාලේදී ඔහු ගැන ඉගෙනගෙන, ඔහු ගැන විශ්වාසේ තියලා, ඔහුගේ පැත්තේ ඉන්නවා කියලා පෙන්නන්න එයාලට අවස්ථාවක් ලැබෙයි.—එස. 38:16. w24.05 12 14-15¶

අප්‍රියෙල් 15, බදාදා

“එකිනෙකාට ආදරේ කරන්න.”—යොහ. 15:12.

යෙහෝවාගේ සෙනඟ එකිනෙකාට උදව් කරන්න හරිම කැමතියි. (2 කොරි. 8:4) සමහර වෙලාවලදී ඒකට ධෛර්යය ඕනේ. උදාහරණෙකට යුද්ධයක් ඇති වුණාම ඒ පැතිවල ඉන්න සහෝදර සහෝදරියන්ට දිරිගැන්වීම්, සහනය ඕනෙ කියලා වැඩිමහල්ලන් දන්නවා. එයාලට බයිබල්, අපේ ප්‍රකාශන, කෑම බීම, ඉන්න හිටින්න තැන් ඕනෙ කියලත් වැඩිමහල්ලන් දන්නවා. බැටළුවන්ට තියෙන ආදරේ නිසා වැඩිමහල්ලන් ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව සහෝදරයන්ට උදව් කරන්න ගොඩක් මහන්සි වෙනවා. අමාරු කාලවලදී අපි අතර එක්සත්කම තියෙන්න ඕනේ. ඒ නිසා ශාඛා කාර්යාලයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. (හෙබ්‍රෙ. 13:17) විපතකදී කරන්න ඕන දේවල් ගැන සභාවෙන් දාලා තියෙන සැලසුම් සහ සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් වැඩිමහල්ලන් නිතරම සෝදිසි කරලා බලන්න ඕනේ. (1 කොරි. 14:33, 40) එඩිතර වෙන්නත් ඕනේ. හැබැයි පරෙස්සමින්. (හිතෝ. 22:3) දෙයක් කරන්න කලින් හොඳට හිතන්න. අනවශ්‍ය විදිහට ජීවිතේ අනතුරේ දාගන්න එපා. යෙහෝවා මත රැඳිලා ඉන්න. පරෙස්සමින් දේවල් කරන්න ඔහු උදව් කරයි. w24.07 4 8¶; 5 11¶

අප්‍රියෙල් 16, බ්‍රහස්පතින්දා

‘මගේ විපතේදී මම යෙහෝවාට හඬගැසුවා. මම උදව් ඉල්ලන හඬ ඔහුගේ දෙසවනට වැටුණා.’—ගීතා. 18:6.

දාවිත් යෙහෝවාව හොඳට දැනන් හිටියා. ඔහු මත රඳා හිටියා. සාවුල් ඇතුළු සතුරන් එයා පස්සේ පන්නද්දී දාවිත් යාච්ඤාවෙන් යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් එයාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා එයාව ආරක්ෂා කළාට පස්සේ එයා කිව්වා “යෙහෝවා දෙවි ජීවමානයි” කියලා. (ගීතා. 18:46) ඒකෙන් දාවිත් අදහස් කළේ දෙවියන් කියලා කෙනෙක් නිකම්ම ඉන්නවා කියලා විතරක් නෙවෙයි. එක පොතක කියනවා දාවිත් එතන කාවද්දන්න හැදුවේ “තමන්ගේ සෙනඟට උදව් කරන්න ලෑස්ති පිට ඉන්න දෙවියන් සැබෑ කෙනෙක්” කියලා. දාවිත් අද්දැකීමෙන්ම දැනන් හිටියා එයා මූණ දෙන හැම දෙයක්ම යෙහෝවා දකිනවා, ඔහු එයාට උදව් කරන්න ලෑස්තියි කියලා. යෙහෝවාට දිගටම සේවේ කරන්න ඒක දාවිත්ට ලොකු ශක්තියක් වුණා. (ගීතා. 18:28, 29, 49) යෙහෝවා ජීවමානයි කියලා අපිට ස්ථිර වෙද්දී ඔහුට උද්‍යෝගයෙන් සේවේ කරන්න අපිට පුළුවන්. ඒකෙන් ඕනම පීඩාවක් විඳදරාගන්න ඕන කරන ශක්තිය වගේම යෙහෝවාට උපරිමෙන් සේවේ කරන්න තල්ලුවකුත් ලැබෙනවා. දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න අපිට තියෙන අධිෂ්ඨානයත් තව වැඩි වෙනවා. w24.06 20-21 3-4¶

අප්‍රියෙල් 17, සිකුරාදා

“කොයිම විදිහකින්වත් ඔයාලව රවට්ටන්න කාටවත් ඉඩ දෙන්න එපා.”—2 තෙස. 2:3.

හිතන්න, බයිබලේට එකඟ නැති අදහාගන්න බැරි දෙයක් ගැන ඔයාට ආරංචි වෙනවා. ඒක අහපු ගමන්ම විශ්වාස කරන්නේ නැතුව ‘ඒ දේ මං මෙච්චර කල් බයිබලෙන් ඉගෙනගත්ත සත්‍යයට එකඟද’ කියලා හිතන්න. සෝවියට් පාලන කාලේදී සතුරන් අපේ සහෝදරයන්ට ලියුමක් යැව්වා. බැලූ බැල්මට පේන්න තිබුණේ ඒක ලෝක මූලස්ථානයෙන් ලැබුණ එකක් වගේමයි. ඒකේ සමහර සහෝදරයන්ට කියලා තිබුණා පොඩි පොඩි කණ්ඩායම් හදාගන්න කියලා. හැබැයි අපේ විශ්වාසවන්ත සහෝදරයන් නම් ඒකට රැවටුණේ නැහැ. එයාලට තේරුණා මේ ලියුමේ තියෙන දේවල් එයාලා මෙච්චර කල් බයිබලෙන් ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම්වලට එකඟ නැහැ කියලා. අදත් සතුරන් නවීන තාක්ෂණය පාවිච්චි කරලා අපේ මනස අවුල් කරන්න, අපි අතර බෙදීම් ඇති කරන්න උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවට ‘ඉක්මනින් ක්‍රියා කරලා මනස අවුල් කරගන්න එපා.’ ඒ වෙනුවට ‘මං මේ අහන, කියවන දේ මං මෙච්චර කල් ඉගෙනගත්ත සත්‍ය ඉගැන්වීම්වලට එකඟයිද නැද්ද’ කියලා කල්පනා කරලා බලමු.—2 තෙස. 2:2; 1 යොහ. 4:1. w24.07 12 14-15¶

අප්‍රියෙල් 18, සෙනසුරාදා

“කාගේ හරි අතින් පාපයක් වුණොත් එයාගේ උදව්වට කෙනෙක් ඉන්නවා.”—1 යොහ. 2:1.

හැම දවසකම අපි ගොඩක් තීරණ ගන්නවා. කෙනෙක්ට ජීවිතේ ගන්න පුළුවන් වැදගත්ම තීරණේ තමයි එයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා ඔහුගේ පවුලේ අයත් එක්ක එකට එකතු වෙලා ඔහුට නමස්කාර කරන්න ගන්න තීරණේ. ඒ දේ හැමෝම කරනවා දකින්නයි යෙහෝවා කැමති. ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන එයාලා සදහටම ජීවත් වෙනවා දකින්නයි ඔහු ආස. (ද්වි. 30:19, 20; ගලා. 6:7, 8) ඒ වුණත් යෙහෝවා කාටවත් බල කරන්නේ නැහැ ඔහුට නමස්කාර කරන්න කියලා. ඒ තීරණේ ගන්න ඔහු අපි එක් එක් කෙනාට ඉඩ දීලා තියෙනවා. හැබැයි බව්තීස්ම වුණ කෙනෙක් යෙහෝවාගේ නීතියක් කඩලා බරපතළ වරදක් කළොත්? එයා පසුතැවිලි වෙන්නේ නැත්නම් එයාව සභාවෙන් අයින් කරන්න ඕනේ. (1 කොරි. 5:13) එහෙම වුණත් එයා පසුතැවිලා ආයෙත් යෙහෝවා ළඟට එන කල් ඔහු ආසාවෙන් බලාගෙන ඉන්නවා. යෙහෝවා ජීවිත පූජාව දුන්න වැදගත්ම හේතුවලින් එකක් තමයි පසුතැවිලි වෙන අයට සමාව දෙන්න පුළුවන්කම ලැබෙන එක. අපේ ආදරණීය දෙවියන් බරපතළ වැරදි කරන අයගෙන් ඉල්ලනවා පසුතැවෙන්න කියලා.—සෙක. 1:3; රෝම 2:4; යාකො. 4:8. w24.08 14 1-2¶

අප්‍රියෙල් 19, ඉරිදා

“ඔයා ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් මගේ හිත සතුටින් පිරෙයි.”—හිතෝ. 23:15.

යොහන් තුන්වෙනි ලිපිය ලියන කාලේ සමහරු බොරු ඉගැන්වීම් පතුරලා සභාවේ බෙදීම් ඇති කළා. හැබැයි තවත් අය දිගටම “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වුණා.” එයාලා යෙහෝවාට කීකරු වෙලා ඔහුගේ ආඥා පිළිපැද්දා. (2 යොහ. 4, 6) ඒ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් නිසා යොහන්ගේ විතරක් නෙවෙයි යෙහෝවාගේ හිතත් ගොඩක් සතුටු වුණා. (හිතෝ. 27:11) අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? විශ්වාසවන්තව හිටියොත් ඒක අපිටත් අනිත් අයටත් සතුටක්. (1 යොහ. 5:3) උදාහරණෙකට අපි විශ්වාසවන්තව ඉද්දී ඒ ගැන යෙහෝවා සතුටු වෙනවා කියලා අපි දන්නවා. ඒක අපිටත් සතුටක්. අපි මේ ලෝකේ බලපෑමට අහු නොවී යෙහෝවා කියන දේ කරද්දී ඔහු ගොඩක් සතුටු වෙනවා. දේවදූතයොත් සතුටු වෙනවා. (ලූක් 15:10) අපේ සහෝදරයන් විශ්වාසවන්තව ඉද්දී ඒක අපිටත් ලොකු සතුටක්. (2 තෙස. 1:4) අපි දිගටම විශ්වාසවන්තව හිටියොත් සාතන්ගේ මේ සමාජය නැති වෙන දවසට අපිට සතුටු වෙන්න පුළුවන් සාතන්ගේ බලපෑම තියෙද්දීත් අපි යෙහෝවාට විශ්වාසවන්තව හිටියා කියලා. w24.11 12 17-18¶

අප්‍රියෙල් 20, සඳුදා

“ඔයාලා දිගටම කරන්න ඕනෙ ඔයාලට යහපතක් වෙන දේවල්ම නෙමෙයි, අනිත් අයට යහපතක් වෙන දේවල්.”—1 කොරි. 10:24.

කෙනෙක්ට කැමතියි කියන්න කලින් එයා ගැන හොයලා බලන්න කොච්චර කාලයක් ගන්න ඕනෙද? වැඩි කල් ගන්නේ නැතුව ඉක්මනටම කැමතියි කිව්වොත් එයා හිතයි ඔයා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තීරණ ගන්න කෙනෙක් කියලා. (හිතෝ. 29:20) අනිත් අතට ඔයා එයාට කැමතියි කියලා එයා දන්නවා නම් ඔයා ඒ ගැන කියන්න පරක්කු කරද්දී එයා හිතයි ඔයා තීරණයක් ගන්න බැරුව වැනිවැනී ඉන්න කෙනෙක් කියලා. (දේශ. 11:4) කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් ‘මං බඳින්නේ එයාවමයි’ කියලා හිතන්න ඕනෙ නැහැ. හැබැයි ‘මං බඳින්න ලෑස්තියි, එයා මට ගැළපෙන කෙනා වෙයි’ කියලා ඔයාට ෂුවර් වෙන්න ඕනේ. කෙනෙක් ඔයාට කැමතියි කියලා දැනෙනවා නම් මොකද කරන්නේ? ඔයා එයාට කැමති නැත්නම් ඔයා කරන කියන දේවලින් ඒක එයාට අඟවන්න. මොකද හිතේ කිසිම කැමැත්තක් නැතුව බොරුවට කෙනෙක්ට බලාපොරොත්තු දෙන එක හොඳ දෙයක් නෙවෙයි. අනිත් අය ගැන හිතන කෙනෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ.—එෆී. 4:25. w24.05 22-23 9-10¶

අප්‍රියෙල් 21, අඟහරුවාදා

“මං ආයෙත් ඇවිල්ලා ඔයාලව මගේ ගෙදරට පිළිගන්නවා.”—යොහ. 14:3.

ඇත්තටම අභිෂේක කරලා ඉන්න, විශ්වාසවන්ත අයව විතරයි යේසුස් ස්වර්ගයේ තියෙන රාජ්‍යයට පිළිගන්නේ. අභිෂේක ලත් කෙනෙක්ට දිගටම සෝදිසියෙන් ඉන්න බැරුව ගියොත් “තෝරාගත් අය” අතර ඉන්න එයාට බැරි වෙනවා. (මතෙ. 24:31) අභිෂේක ලත් අය විතරක් නෙවෙයි මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුව තියෙන අයත් යේසුස් දීපු අනතුරු ඇඟවීම හිතට අරන් දිගටම සෝදිසියෙන් ඉන්න ඕනේ. විශ්වාසවන්තව ඉන්නත් ඕනේ. අපි යෙහෝවාව හොඳට අඳුරනවා. ඒ නිසා ඔහුගේ තීරණ අපි සැක කරන්නේ නැහැ. මේ කාලේ යෙහෝවා සමහර අයව අභිෂේක කරනවා නම් අපි ඒ ගැන කලබල වෙන්නේ නැහැ. මතකද මිදිවත්ත ගැන යේසුස් කියපු උදාහරණේ? (මතෙ. 20:1-16) 11වෙනි පැයේදී වැඩට ආපු අයට ගෙව්වෙත් උදේ ඉඳලා මිදිවත්තේ වැඩ කරපු අයට දීපු කුලියමයි. ඒ වගේ තමයි අභිෂේක ලත් අයව තෝරගන්නේ කොයි කාලේද කියන එක නෙවෙයි වැදගත්. එයාලා දිගටම විශ්වාසවන්තව හිටියොත් එයාලාගේ තෑග්ග එයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. w24.09 24 15-17¶

අප්‍රියෙල් 22, බදාදා

“ඔයාලා වෙනුවෙන් ක්‍රිස්තුස් දුක් වින්දා. ඔහු එහෙම කළේ ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාලට ආදර්ශයක් තියන්නයි.”—1 පේතෘ. 2:21.

අසාධාරණකම්වලට මූණ දෙන විදිහ ගැන අපිට හොඳම ආදර්ශය තිබ්බේ යේසුස්. පවුලේ අයගෙන් සහ තව හුඟක් අයගෙන් යේසුස්ට ගොඩක් අසාධාරණකම් වුණා. ඔහුව විශ්වාස නොකරපු නෑයෝ කිව්වා ඔහුට පිස්සු කියලා. ආගමික නායකයන් කිව්වා ඔහුට බලය ලැබෙන්නේ භූතයන්ගෙන් කියලා. රෝම සොල්දාදුවන් ඔහුට අපහාස කරලා, වධ හිංසා දීලා, අන්තිමට ඔහුව මරලා දැම්මා. (මාක් 3:21, 22; 14:55; 15:16-20, 35-37) ඔය මොන අසාධාරණකම වුණත් යේසුස් එකට එක කළේ නැහැ. ඒ හැම දේම දරාගත්තා. අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 පේතෘ. 2:21-23) අනිත් අය අපිට අසාධාරණ විදිහට සලකද්දී අපි වැඩ කරන්න ඕන විදිහ යේසුස් පෙන්නුවා. යේසුස් දැනන් හිටියා කට පියන් ඉන්න ඕනෙ කොයි වෙලේද කතා කරන්න ඕනෙ කොයි වෙලේද කියලා. (මතෙ. 26:62-64) ඔහුට විරුද්ධව කරපු හැම බොරු චෝදනාවකටම ඔහු උත්තර බඳින්න ගියේ නැහැ. (මතෙ. 11:19) පීඩා කරපු අයට උත්තර දෙද්දී ඔහු එයාලට අපහාස කළේවත් තර්ජනේ කළේවත් නැහැ. w24.11 4-5 9-10¶

අප්‍රියෙල් 23, බ්‍රහස්පතින්දා

“ක්‍රිස්තුස් යේසුස් මේ ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවගන්න.”—1 තිමෝ. 1:15.

හිතන්න, ඔයා ආදරේ කරන කෙනෙක්ට හරිම වටින, එයාට ප්‍රයෝජනවත් වෙන තෑග්ගක් ඔයා දෙනවා කියලා. හැබැයි එයා ඒක පෙට්ටියක දාලා පැත්තකින් අරන් තියෙනවා. එයා ඒක දිහා බලන්නෙවත් එයාට ඒක මතකවත් නැහැ. එහෙම වුණොත් නම් ඔයාට ලොකු දුකක් දැනෙයි. හැබැයි ඔයා දීපු තෑග්ගෙන් එයා ප්‍රයෝජන ගන්නවා නම්, ඒ ගැන එයා ඔයාට ස්තුති කරනවා නම් ඔයාට කොහොම දැනෙයිද? ලොකු සතුටක් දැනෙයි නේද? යෙහෝවාත් අපිට හරිම වටිනා තෑග්ගක් දුන්නා. ඒ ඔහුගේ පුතාගේ ජීවිතේ. යෙහෝවා අපිට දුන්න ඒ වටිනා තෑග්ග, ඒක දීලා ඔහු පෙන්නපු ආදරේ අපි අගය කරද්දී යෙහෝවාගේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා. (යොහ. 3:16; රෝම 5:7, 8) කල් යද්දී යෙහෝවා අපිට දීපු මේ තෑග්ග කොච්චර වටිනවාද කියන දේ අපිට අමතක වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක හරියට යෙහෝවා දීපු තෑග්ග අපි පෙට්ටියක දාලා පැත්තකින් තියනවා වගේ. ඒ ගැන අපිට මතක් වෙන්නෙවත් නැහැ. එහෙම නොවෙන්න නම් යෙහෝවායි, යේසුයි අපි වෙනුවෙන් කරපු දේ ගැන අපි නිතරම හිතන්න ඕනේ. w25.01 26 1-2¶

අප්‍රියෙල් 24, සිකුරාදා

“ඒ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඔයාගේ මුළු ශක්තියම වැය කරලා ඒ දේවල් කරන්න. එතකොට ඔයා දියුණු වෙන විදිහ හැමෝටම දකින්න පුළුවන් වෙයි.”—1 තිමෝ. 4:15.

වැඩිමහල්ලෙක් වෙන්න සුදුසුකම් ලබන සහෝදරයෙක් “ළඟදී දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත කෙනෙක්” වෙන්න බැහැ. මොකද කෙනෙක්ට අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන්න යම් කාලයක් යනවා. ඔයා වැඩිමහල්ලෙක් වෙන්න කලින් යේසුස් වගේ නිහතමානීව අනිත් අයට සේවේ කරන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. යෙහෝවා තව පැවරුම් දෙන කල් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. (මතෙ. 20:23; ෆිලි. 2:5-8) ඔයා යෙහෝවාව අත්හරින්නේ නැතුව, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙලා, සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් පිළිගන්නවා නම් ඔයා දෙවියන්ට ළැදි කෙනෙක් කියලා ඔප්පු කරයි. බයිබලේ කියනවා වැඩිමහල්ලෙක් “උගන්වන්න සුදුසුකම් තියෙන කෙනෙක් වෙන්න ඕනෙ” කියලා. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම දක්ෂ කථිකයෙක් වෙන්න ඕනෙද? නැහැ. හැම වැඩිමහල්ලෙක්ටම දක්ෂ විදිහට දේශන දෙන්න බැහැ. හැබැයි සේවේ යද්දී, අනිත් අයව දිරිගන්වද්දී බයිබලේ හොඳට පාවිච්චි කරලා අනිත් අයගේ හිත්වලට කතා කරන්න එයාලට පුළුවන් වෙන්න ඕනේ. w24.11 23-24 14-15¶

අප්‍රියෙල් 25, සෙනසුරාදා

“මම ඔබේ ආඥාවලට හුඟක් ආදරේ කරනවා. මට ඒවා රන්වලටත් වඩා, පවිත්‍ර රන්වලටත් වඩා වටිනවා!”—ගීතා. 119:127.

ඔයා බයිබලෙන් කියවපු දේක නොතේරෙන තැනක් තිබ්බොත් ඒ ගැන තව හොයලා අධ්‍යයනය කරන්න. ඔයා ඉගෙනගත්ත දේවල් ගැන දවස පුරාම හොඳට හිතන්න. ඒවායින් යෙහෝවා ගැන, යේසුස් ගැන, එයාලාගේ ආදරේ ගැන ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් හිතන්න. (ගීතා. 119:97, පාදසටහන) ඔයා බයිබලේ කියවන, අධ්‍යයනය කරන හැම වතාවකම අලුත් දෙයක්, ආස හිතෙන දෙයක් හම්බ වුණේ නැහැ කියලා අධෛර්යය වෙන්න එපා. හිතන්න ඔයා හරියට රත්තරන් හොයන කෙනෙක් වගේ කියලා. ඒ වගේ කෙනෙක් රත්තරන් පොඩි කෑල්ලක් හොයාගන්නත් පැය ගණන්, දවස් ගණන් මහන්සි වෙනවා. එයා අත්හරින්නේ නැතුව එහෙම හොයන්නේ හම්බ වෙන හැම පොඩි රත්තරන් කෑල්ලක්ම ගොඩක් වටිනවා කියලා එයා දන්න නිසයි. එහෙනම් බයිබලෙන් හම්බ වෙන හැම අලුත් දෙයක්ම රත්තරන්වලට වඩා කොච්චර වටිනවාද! (හිතෝ. 8:10) ඉතින් අත්හරින්නේ නැතුව දිගටම බයිබලේ කියවන්න. ඉගෙනගන්න පුළුවන් අලුත් දේවල් දිගටම හොයන්න.—ගීතා. 1:2. w25.01 25 14-15¶

අප්‍රියෙල් 26, ඉරිදා

“යෙහෝවා අදිමදි නොකර මුළු හදවතින්ම ඔයාලට සමාව දීලා තියෙනවා වගේ ඔයාලත් ඒ විදිහටම එයාලට සමාව දෙන්න.”—කොලො. 3:13.

යෙහෝවා බලාපොරොත්තු වෙනවා අපිව රිද්දන අයට සමාව දෙන්න අපි ලෑස්ති පිට ඉඳියි කියලා. (ගීතා. 86:5; ලූක් 17:4; එෆී. 4:32) අපේ කිට්ටු යාළුවෙක්, පවුලේ කෙනෙක් කරපු කියපු දෙයක් නිසා අපේ හිතට ලොකු වේදනාවක් දැනෙන්න පුළුවන්. (ගීතා. 55:12-14) ඒක හරියට පිහියකින් පපුවට ඇන්නා වගේ වේදනාවක්. (හිතෝ. 12:18) සමහරවිට අපි අපේ හැඟීම් ගණන් ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒක හරියට පපුවට ඇනපු පිහිය එහෙම්මම තියාගෙන ඉන්නවා වගේ. ඒකෙන් වෙන්නේ හිතේ තුවාලේ සනීප වෙන්නේ නැති එකයි. කෙනෙක් අපි අප්සෙට් යන විදිහේ දෙයක් කළොත් අපිට එකපාරට කේන්ති යන්න පුළුවන්. බයිබලෙත් කියනවා කේන්ති යන දේවල් වෙන්න පුළුවන් කියලා. ඒත් කවදාවත් ඒ කේන්තියට අපිව පාලනය කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. (ගීතා. 4:4; එෆී. 4:26) මොකද කේන්ති ගත්තා කියලා ඒකෙන් වෙන හොඳක් නැහැ. (යාකො. 1:20) මතක තියාගන්න, කේන්ති යන එක පාලනය කරන්න ඔයාට බැරි වෙයි. ඒත් කේන්තියෙන් ඉන්නවාද නැද්ද කියන එක පාලනය කරන්න ඔයාට පුළුවන්. w25.02 15 4-6¶

අප්‍රියෙල් 27, සඳුදා

“ප්‍රඥාව ඒක තියෙන කෙනාගේ ජීවිතේ ආරක්ෂා කරනවා.”—දේශ. 7:12.

“දෙවියන් ඉස්සරහා පොහොසත් වෙන්නේ නැතුව” තමන්ටම වස්තු රැස් කරගන්න එක කොච්චර මෝඩයිද කියලා යේසුස් උදාහරණෙකින් කිව්වා. (ලූක් 12:16-21) මොකද හෙට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. (හිතෝ. 23:4, 5; යාකො. 4:13-15) ඒ වගේම යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් වෙන්න කැමැත්තෙන් ඉන්න අය “හැම දෙයක්ම අත්හරින්න” වුණත් ලෑස්ති පිට ඉන්න ඕනෙ කියලා. (ලූක් 14:33) මුල් සියවසේ යුදයේ හිටපු ක්‍රිස්තියානීන් හරිම කැමැත්තෙන් ඒක කළා. (හෙබ්‍රෙ. 10:34) අදත් දේශපාලන පක්ෂවලට සහය දෙන්නේ නැති නිසා අපේ හුඟක් සහෝදරයන්ට රස්සාවල් නැති වෙලා තියෙනවා. (එළි. 13:16, 17) ඒ වගේ දේකට මූණ දෙන්න එයාලට උදව් වෙලා තියෙන්නේ මොකක්ද? ඒ, “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ” කියලා යෙහෝවා දීලා තියෙන පොරොන්දුව ගැන තියෙන විශ්වාසේ. (හෙබ්‍රෙ. 13:5) අනාගතය ගැන අපි සැලසුම් කරනවා. හැබැයි නොහිතන දේවල්වලට මූණ දෙන්න වුණත් අපිට විශ්වාසයි යෙහෝවා අපේ උදව්වට ඉන්නවා කියලා. w25.03 29 13-14¶

අප්‍රියෙල් 28, අඟහරුවාදා

“ක්‍රිස්තුස් ගැන ඉගෙනගත්ත මූලික ඉගැන්වීම් අපි දැන් පහු කරලා ගිහින් තියෙන නිසා අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න ලොකු උත්සාහයක් දරමු. ආයෙත් අත්තිවාරමක් දාන්න අපිට ඕනෙ නැහැ.”—හෙබ්‍රෙ. 6:1.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න යෙහෝවා අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඔහු අපිට එඬේරුන්ව සහ ගුරුවරුන්ව දීලා තියෙනවා. එයාලා “ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන, හොඳින් වැඩුණු අවබෝධයෙන් ක්‍රියා කරන” අය වෙන්න අපිට උදව් කරනවා. (එෆී. 4:11-13) දෙවියන් අපිට ඔහුගේ බලයත් දෙනවා. ඒ නිසා “ක්‍රිස්තුස්ගේ මනස” ඇතුව ඉන්න අපිට පුළුවන්. (1 කොරි. 2:14-16) ඒ විතරක් නෙවෙයි යේසුස් මේ පොළොවේ ඉද්දී කරපු කියපු දේවල් දෙවියන් සුවිශේෂ පොත්වල ලියන්න මඟ පෙන්නුවා. ඒවා අධ්‍යයනය කරද්දී යේසුස් වගේ හිතලා ඔහු වගේ අවබෝධයෙන් වැඩ කරන්න අපිට පුළුවන්. අවබෝධයෙන් වැඩ කරන්න නම් අපි “ක්‍රිස්තුස් පිළිබඳ මූලික ඉගැන්වීම් පහු කරලා” ඉස්සරහට යන්න ඕනේ. w24.04 4-5 11-12¶

අප්‍රියෙල් 29, බදාදා

“සිතීමේ හැකියාව ඔයාව රැකගනියි. වටහාගැනීමේ හැකියාව ඔයාට ආරක්ෂාවක් වෙයි.”—හිතෝ. 2:11.

හැම දවසකම අපිට තීරණ ගන්න වෙනවා. සමහර ඒවා ගන්න ලේසියි. උදාහරණෙකට උදේට කන්නේ මොනවාද, නිදාගන්නේ කීයටද වගේ ඒවා. හැබැයි තවත් තීරණ ගන්න ඒ තරම් ලේසි නැහැ. ඒ තීරණ අපේ සෞඛ්‍යයට, අපේ සතුටට, අපි ආදරේ කරන අයට, අපේ නමස්කාරයට බලපාන්න පුළුවන්. අපිට ඕනෙ අපේ තීරණවලින් අපිට වගේම අපේ පවුලේ අයටත් ප්‍රයෝජන ලැබෙනවා දකින්න. හැබැයි වැදගත්ම දේ අපිට ඕනෙ අපේ තීරණවලින් යෙහෝවාගේ හිත සතුටු කරන්න. (රෝම 12:1, 2) හොඳ තීරණයක් ගන්න උදව් වෙන වැදගත් දෙයක් තමයි ඒ කාරණයට සම්බන්ධ තොරතුරු හොයලා බලන එක. ඇයි ඒක වැදගත්? හිතන්න, අසනීපෙන් ඉන්න කෙනෙක් දොස්තරව හම්බ වෙන්න යනවා කියලා. දොස්තර එයාව පරීක්ෂා කරන්නේ නැතුව, එයාගෙන් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව බෙහෙත් දුන්නොත් ඒක හරි යයිද? නැහැ නේද? ඔයාත් තීරණයක් ගන්න කලින් හැම පැත්තක්ම හොයලා බලන්න ඕනේ. w25.01 14 1-3¶

අප්‍රියෙල් 30, බ්‍රහස්පතින්දා

“යෙහෝවා ඔයාගේ වරදට සමාව දෙනවා. ඒ නිසා ඔයා දැන් මැරෙන්නේ නැහැ.”—2 සාමු. 12:13.

යෙහෝවා දෙවියන් දයාව පෙන්නන විදිහ ගැන අපි මොනවාද දන්නේ? “කිසි කෙනෙක් විනාශ වෙනවාට ඔහු කැමති නැහැ” කියලා ඔහු පෙන්නලා තියෙන්නේ කොහොමද? (2 පේතෘ. 3:9) බරපතළ වැරදි කරපු අයට යෙහෝවා දයාව පෙන්නපු අවස්ථා ගැන බයිබලේ තියෙනවා. දාවිත් ඒ වගේ කෙනෙක්. එයා අතින් බරපතළ වැරදි වුණා. එයා අනාචාරයේ යෙදුණා. මිනී මැරුවා. හැබැයි එයා පසුතැවිලි වුණාම යෙහෝවා එයාට දයාව පෙන්නලා සමාව දුන්නා. (2 සාමු. 12:1-12) මනස්සේත් ජීවිත කාලෙන් වැඩි හරියක්ම දුෂ්ට දේවල් කරපු කෙනෙක්. එයාත් පසුතැවිලි වුණාම යෙහෝවා එයාට දයාව පෙන්නලා සමාව දුන්නා. (2 ලේක. 33:9-16) ඒ සිද්ධිවලින් පේනවා දයාව පෙන්නන්න හේතුවක් තියෙනවා නම් යෙහෝවා ඒක නොපෙන්වා ඉන්නේ නැහැ කියලා. ඒ වගේ අයව ඔහු නැවත නැඟිට්ටවනවා. මොකද කරපු වැරදි තේරුම් අරන් එයාලා පසුතැවිලි වුණා. w24.05 4 12¶

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න