පෙබරවාරි
පෙබරවාරි 1, ඉරිදා
“වාදවිවාදවලට පැටලෙන්නේ නැති කෙනා අනිත් අයගේ ගෞරවය දිනාගනියි. ඒත් මෝඩයෝ නිතරම ඒවාට පැටලෙනවා.”—හිතෝ. 20:3.
හොඳ ගුණාංග තියෙන සහෝදරයන් සභාවට වටිනවා. ඔයා “සාධාරණව හිතලා වැඩ කරන කෙනෙක්” නම් ඔයා සාමය රැකගන්න උත්සාහ කරනවා. අනිත් අයට හොඳට ඇහුම්කන් දෙනවා. එයාලව තේරුම්ගන්නවා. උදාහරණෙකට හිතන්න, වැඩිමහල් රැස්වීමකදී වැඩිමහල්ලෝ හුඟදෙනෙක් එක තීරණයක් ගන්නවා. ඒත් ඔයාගේ තීරණේ වෙන එකක්. එයාලාගේ තීරණෙන් බයිබල් ප්‍රතිපත්තියක්, නීතියක් කැඩෙන්නේ නැත්නම් ඒකට එකඟ වෙන්න ඔයා කැමති වෙයිද? තමන්ට ඕනෙ දේ විතරක් කරන්නේ නැතුව අනිත් අයගේ අදහස් පිළිගන්න. (උත්. 13:8, 9; හිතෝ. 15:22) ඒ වගේම ඔයා අනිත් අයට අගෞරවනීයව සලකන කෙනෙක්වත් වාදවලට පැටලෙන කෙනෙක්වත් වෙන්න බැහැ. ඒ වෙනුවට එයාලව තේරුම් අරන් එයාලට කරුණාවෙන් සලකනවා. “සාමකාමී” කෙනෙක් සාමය නැති වෙන වෙලාවලදීත් සාමය ඇති කරන්න මහන්සි වෙනවා. (යාකො. 3:17, 18) ඔයාගේ කාරුණික වදන්වලට පුළුවන් ඔයාගේ විශ්වාසයන්ට විරුද්ධ වෙන කෙනෙක්ගේ ගල් හිතක් වුණත් මොළොක් කරන්න.—විනි. 8:1-3; හිතෝ. 25:15; මතෙ. 5:23, 24. w24.11 23 13¶
පෙබරවාරි 2, සඳුදා
“ඔහු දේවදූතයන්ව යවලා පොළොවේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කලුත් අහසේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කලුත් පොළොවේ හතර කොනෙන්ම ඔහුට අයිති, තෝරගත්ත අයව එකට රැස් කරනවා.”—මාක් 13:27.
යේසුස් ඔහුගේ ජීවිතේ අපි වෙනුවෙන් එක සැරයක් දුන්නා. “ඒක ආයේ කරන්න ඕනෙ වෙන්නේ නැහැ.” (රෝම 6:10) හැබැයි යේසුස් තාමත් අපි වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා. ජීවිත පූජාව නිසා දැන් අපිට අද්දකින්න පුළුවන් දේවලින් ප්‍රයෝජන ගන්න ඔහු දිගටම අපිට උදව් කරනවා. ඔහු අපේ රජ, උත්තම පූජකයා සහ සභාවේ හිස විදිහට සේවේ කරනවා. (1 කොරි. 15:25; එෆී. 5:23; හෙබ්‍රෙ. 2:17) අභිෂේක ලත් අය සහ මහත් සමූහය එක් රැස් කරන කාර්යය භාරව ඉන්නෙත් ඔහුයි. ඒ වැඩේ මහත් පීඩාව අවසන් වෙන්න කලින් කරන්න ඕන දෙයක්. (මතෙ. 25:32) මේ අන්තිම කාලේ ඔහු ඔහුගේ සේවකයන්ට ඕන කරන පෝෂණය විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් කිසිම අඩුවක් නැතුව දෙනවා. (මතෙ. 24:45) දහස් අවුරුදු පාලනය කාලේ පුරාමත් ඔහු අපි වෙනුවෙන් සේවේ කරනවා. ඇත්තටම යෙහෝවා ඔහුගේ පුතාව අපි වෙනුවෙන් සම්පූර්ණයෙන්ම දුන්නා කියලා කියන්න පුළුවන්. w25.01 24 12¶
පෙබරවාරි 3, අඟහරුවාදා
“දෙවියන් ඔහුගේ මහත් කරුණාව පෙන්නලා එයාලා ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කළා. ඒක දෙවියන්ගෙන් නොමිලේ ලැබුණ තෑග්ගක්. ඒ කරුණාව ඔහු පෙන්නුවේ මිනිස්සුන්ව බේරගන්න අවශ්‍ය වන්දිය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ගෙවන්න සැලසුම් කරලයි.”—රෝම 3:24.
යෙහෝවා අපිට සමාව දෙද්දී ඔහු සම්පූර්ණෙන්ම ඒක කරනවා. ඔහු අපේ වැරදි මතක් කරකර ඉස්සරහට අපිට දඬුවම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපේ තාත්තා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. ඒ වගේම අපි මතක තියාගන්න ඕනෙ යෙහෝවා දෙන සමාව අපිට ලැබෙන තෑග්ගක් කියලා. පව්කාර අපිට ඒක ලැබෙන්නේ යෙහෝවාගේ ආදරේ, මහත් කරුණාව නිසයි. එහෙම නැතුව ඒක ලබන්න අපිට අයිතියක් තියෙන නිසා නෙවෙයි. යෙහෝවා අපිට “ඇත්තටම සමාව දෙන” එක කොච්චර දෙයක්ද! (ගීතා. 130:4; රෝම 4:8) කොහොමවුණත් යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපේ පැත්තෙනුත් වැදගත් දෙයක් වෙන්න ඕනේ. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “ඔයාලා අනිත් අයගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔයාලාගේ පියාණන් ඔයාලාගේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.” (මතෙ. 6:14, 15) ඒ කියන්නේ යෙහෝවා සමාව දෙන විදිහ අපිත් ආදර්ශෙට ගන්න ඕනේ. w25.02 13 18-19¶
පෙබරවාරි 4, බදාදා
“ධර්මිෂ්ඨ අයව වගේම අධර්මිෂ්ඨ අයවත් මරණයෙන් නැවත නැඟිට්ටවනවා.”—ක්‍රියා 24:15.
සොදොම් සහ ගොමෝරාවේ විනාශ වුණ අය ගැන හිතන්න. ධර්මිෂ්ඨ කෙනෙක් වුණ ලොත් ජීවත් වුණේ එයාලා එක්ක. හැබැයි ලොත් ඒ හැමෝටම දේශනා කළා කියලා හිතන්න බැහැ. ඒ නගරවල හිටියේ හරිම දුෂ්ට මිනිස්සු. ඒත් එයාලා හරි වැරැද්ද ගැන දැනන් ඉන්න ඇද්ද? උදාහරණෙකට ලොත්ගේ ගෙදරට අමුත්තෝ වගයක් ආපු වෙලාවේ එයාලව දූෂණය කරන්න නගරේ මිනිස්සු ගේ වට කළා. බයිබලේ කියනවා මහලු අය විතරක් නෙවෙයි බාල අයත් එතනට ආවා කියලා. ඒකෙන් තේරෙනවා පොඩි දරුවෝ පවා හිටියේ පිරිහුණු වටපිටාවක කියලා. එයාලට හරි වැරැද්ද ගැන අවබෝධයක් තිබුණේ නැහැ. (උත්. 19:4; 2 පේතෘ. 2:7) දයාවෙන් පිරුණු යෙහෝවා ඒ හැමෝවම විනාශ කළේ ‘ආයේ නං එයාලව නැඟිට්ටවන්නේ නෑ’ කියලා හිතාගෙනද? අපි දන්නේ නැහැ. ඔහු ආබ්‍රහම්ට කිව්වා එහේ ධර්මිෂ්ඨ මිනිස්සු දහදෙනෙක්වත් නැහැ කියලා. (උත්. 18:32) ඒ අධර්මිෂ්ඨ මිනිස්සුන්ව යෙහෝවා විනාශ කරපු එක සාධාරණයි. හැබැයි ‘නැවත නැඟිටින අධර්මිෂ්ඨ අය’ අතරේ එයාලාගෙන් කිසිම කෙනෙක් ඉන්න එකක් නැහැ කියලා අපිට කියන්න බැහැ. w24.05 2 3¶; 3 8¶
පෙබරවාරි 5, බ්‍රහස්පතින්දා
“දිගටම දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එතකොට ඔයාලට ඕනෙ කරන අනිත් හැම දේම ඔහු ඔයාලට දෙනවා.”—මතෙ. 6:33.
ආර්ථික ප්‍රශ්න එද්දී සමහරු භාරගන්න රස්සා නිසා එයාලට සිද්ධ වෙනවා පවුලේ අයගෙන් ගොඩක් ඈතට ගිහින් ජීවත් වෙන්න. හැබැයි පස්සේ වැඩිදෙනෙක්ට තේරෙනවා ඒක කොච්චර මෝඩද කියලා. ඉතින් අලුත් රස්සාවක් භාරගද්දී හම්බ වෙන පඩිය ගැන විතරක් නෙවෙයි ඒ වෙනුවෙන් ඔයාට කැප කරන්න වෙන වටින දේවල් ගැනත් හිතන්න. (ලූක් 14:28) ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ බිරිඳගෙන්, සැමියාගෙන් මං ඈත් වෙලා හිටියොත් ඒක එයාට කොහොම බලපායිද? මට හැම රැස්වීමකටම යන්න පුළුවන් වෙයිද? සේවේ යන්න පුළුවන් වෙයිද? සභාවේ අයව ආශ්‍රය කරන්න පුළුවන් වෙයිද?’ ඔයාට දරුවෝ ඉන්නවා නම් මේ ගැනත් හිතන්න. ‘මං දරුවන් ළඟ නැතුව “යෙහෝවා දෙන හික්මවීම් සහ අවවාදවලට එකඟව” එයාලව පුහුණු කරන්නේ කොහොමද?’ (එෆී. 6:4) තීරණයක් ගන්න වෙද්දී යෙහෝවා හිතන විදිහ තේරුම් අරන් ඒක ගන්න. බයිබල් ප්‍රතිපත්ති ගැන කිසිම ගාණක් නැති නෑදෑයෝ, යාළුවෝ කියන දේවලට අහු වෙන්න එපා. w25.03 29 12¶
පෙබරවාරි 6, සිකුරාදා
“අපි පොඩි දරුවන් වගේ වැඩ කරන එක නවත්තන්න ඕනේ.”—එෆී. 4:14.
අවබෝධයෙන් වැඩ නොකරන කෙනෙක් ලේසියෙන්ම “සූක්ෂ්ම ලෙස කපටිකමින් විවිධ දේවල් උගන්වන මිනිසුන්ට,” ජනමාධ්‍යයෙන් පැතිරෙන බොරු ප්‍රවෘත්තිවලට, නොමඟ යවන තොරතුරුවලට, සත්‍යය අත්හැරලා ගිය අයට රැවටෙන්න පුළුවන්. එයා අනිත් අයට ඊර්ෂ්‍යා කරන, බෙදීම් ඇති කරන, පොඩි දේටත් අප්සෙට් ගහන, වැරදි පෙලඹීම්වලට ලේසියෙන්ම අහු වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. (1 කොරි. 3:3) දරුවෙක්ට තනියම හිතලා බලලා තීරණ ගන්න අවබෝධයක් නැති නිසා එයාට හැම තිස්සේම වැඩිහිටියෙක්ගේ උදව් ඕනේ. (එෆී. 4:15) හිතන්න, අම්මා කෙනෙක් පුංචි දුවත් එක්ක පාර පනිනවා කියලා. අම්මා දුවට කියනවා එයාගේ අත තදින් අල්ලගන්න කියලා. හැබැයි දුව ලොකු වෙද්දී තනියම පාර පනින්න අම්මා එයාට ඉඩ දුන්නාත් නිතරම මතක් කරනවා දෙපැත්ත බලලා පරෙස්සමට පනින්න කියලා. දුව වැඩිහිටියෙක් වුණාම අම්මාගේ උදව් නැතුව පාර පනින්න පුළුවන්. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ටත් තීරණයක් ගන්න වෙද්දී එයා බයිබල් ප්‍රතිපත්ති හොඳට බලලා යෙහෝවා හිතන විදිහ තේරුම් අරන් ඒ අනුව වැඩ කරනවා. w24.04 3 5-6¶
පෙබරවාරි 7, සෙනසුරාදා
“යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් කාටද?”—ගීතා. 15:1.
කාලයක් යන කල්ම යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙන්න පුළුවන් වුණේ ස්වර්ගයේ හිටපු අයට විතරයි. පස්සේ ඔහු කූඩාරමට එන්න කියලා පොළොවේ අයටත් ආරාධනා කළා. ඒනොක්, නෝවා, ආබ්‍රහම්, යෝබ් ඒ විදිහට දෙවියන් ඔහුගේ කූඩාරමට පිළිගත්ත කීපදෙනෙක්. ‘සැබෑ දෙවියන් එක්ක ගමන් කරපු’ ඒ විශ්වාසවන්ත අයව හඳුන්වන්නේ දෙවියන්ගේ යාළුවන් විදිහට. (උත්. 5:24; 6:9; යෝබ් 29:4; යෙසා. 41:8) සියවස් ගාණක් පුරා දෙවියන් මිනිස්සුන්ට ආරාධනා කරනවා ඔහුගේ කූඩාරමට ඇතුල් වෙන්න කියලා. (එස. 37:26, 27) උදාහරණෙකට එසකියෙල්ගේ අනාවැකියෙන් පේනවා යෙහෝවාට ඕනෙ ඔහුගේ සෙනඟත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න කියලා. ඔහු පොරොන්දු වෙනවා එයාලත් එක්ක “සමාදානයේ ගිවිසුමක්” ඇති කරගන්නවා කියලා. ඒ අනාවැකියේ කතා කරන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන අයයි, මේ පොළොවේ ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන අයයි දෙවියන්ගේ කූඩාරමේ “එක රැළක්” විදිහට ඉන්න කාලයක් ගැන. (යොහ. 10:16) ඒ කාලේ දැන් උදා වෙලා! w24.06 2 2¶, 4¶; 3 5¶
පෙබරවාරි 8, ඉරිදා
‘අපි දෙවියන්ගේ උදව්වෙන් හිතට ධෛර්යය ගත්තා.’—1 තෙස. 2:2.
යෙහෝවාගේ සෙනඟ විදිහට අපි අපේ සම්පූර්ණ සහයෝගය දේවරාජ්‍යයට දෙනවා. ඒක කරන්න එඩිතරකම ඕනෙමයි. (මතෙ. 6:33) උදාහරණෙකට මේ දුෂ්ට සමාජයේ යෙහෝවාගේ ප්‍රමිති රකින්න, ශුභාරංචිය දේශනා කරන්න අපිට එඩිතරකම ඕනේ. දැන් දැන් දේශපාලන ප්‍රශ්න නිසා මිනිස්සු හුඟක් බෙදිලා. ඒ වගේ බෙදුණ සමාජයක පැති නොගෙන ඉන්නත් අපිට එඩිතරකම ඕනේ. (යොහ. 18:36) දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැති නිසාත් හමුදාවට බැඳෙන්නේ නැති නිසාත් දෙවියන්ගේ සෙනඟ වධ හිංසාවලට ලක් වෙනවා. ආර්ථික ප්‍රශ්න අද්දකිනවා. සමහරු හිරේ විලංගුවේ පවා වැටිලා තියෙනවා. ඒත් එඩිතරව වැඩ කරලා යෙහෝවාටයි, ඔහුගේ පාලනයටයි පක්ෂව ඉන්න අයගේ ආදර්ශ ගැන හිතද්දී අපිත් පෙලඹෙනවා එයාලා වගේ වෙන්න. අපේ රජ යේසුස් ගැන හිතන්න. ඔහු මේ පොළොවේ ඉද්දී දේශපාලනෙට සම්බන්ධ වුණේ නැහැ. (මතෙ. 4:8-11; යොහ. 6:14, 15) ඔහු හරි දේ කළේ යෙහෝවාගේ ශක්තිය මත රැඳිලා. w24.07 3 4¶; 4 7¶
පෙබරවාරි 9, සඳුදා
“එයා ඒ ගහෙන් ගෙඩි කඩාගෙන කෑවා. පස්සේ එයාගේ ස්වාමිපුරුෂයාටත් ඒකෙන් කන්න දුන්නා. ඔහුත් ඒකෙන් කෑවා.”—උත්. 3:6.
යෙහෝවා මේ සිද්ධිය බයිබලේට ඇතුළත් කරපු එකෙන් තේරෙනවා ඔහු පව්කාරකම මෙච්චර පිළිකුල් කරන්නේ ඇයි කියලා. පව්කාරකම අපිව අපේ තාත්තාගෙන් ඈත් කරනවා. අපිට මරණය උරුම කරලා දෙනවා. (යෙසා. 59:2) අන්න ඒ නිසා තමයි සාතන් ආදම් සහ ඒවව පව්කාරකමට ඇදලා දැම්මේ. අදටත් මිනිස්සුන්ව වරදට පොලඹවන එක සාතන් නවත්තලා නැහැ. සාතන් හිතන්න ඇති ඒදන් උයනේදී එයා කරපු දේවල් නිසා එයා දින්නා කියලා. හැබැයි එයා තේරුම්ගත්තේ නැහැ අපේ යෙහෝවා දෙවියන් කොච්චර ආදරණීය කෙනෙක්ද කියලා. ආදම් සහ ඒවගෙන් පැවතෙන අය ගැන දෙවියන්ට තිබුණ අරමුණ ඔහු කවදාවත් වෙනස් කළේ නැහැ. ඔහු මිනිස්සුන්ට ගොඩක් ආදරෙයි. ඒ නිසා ඉක්මනටම ඔහු මිනිස්සු ඉස්සරහා බලාපොරොත්තුවක් තිබ්බා. (රෝම 8:20, 21) ඔහු දැනගෙන හිටියා ආදම් සහ ඒවගෙන් පැවතෙන අයගෙන් සමහරු ඔහුට ගොඩක් ආදරේ කරයි, පව්කාරකමට විරුද්ධව සටන් කරන්න ඔහුගෙන් උදව් ඉල්ලයි කියලා. ආදරණීය තාත්තා සහ නිර්මාතෘ විදිහට යෙහෝවා එයාලට මාර්ගයක් විවෘත කළා පව්කාරකමෙන් නිදහස් වෙලා ඔහුට ළං වෙන්න. w24.08 3 3-4¶
පෙබරවාරි 10, අඟහරුවාදා
‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා තේරුම්ගන්න.’—ෆිලි. 1:10.
දෙවියන්ගේ සෙනඟගෙන් හුඟදෙනෙක් හරිම කාර්යබහුලයි. අපිට වෙනවා අපිවයි, පවුලේ අයවයි බලාගන්න රස්සාවක් කරන්න. (1 තිමෝ. 5:8) හුඟක් ක්‍රිස්තියානීන් පවුලේ අසනීප අයව, මහලු අයව බලාගන්නවා. අපිට වෙනවා අපේ සෞඛ්‍යය ගැනත් සැලකිලිමත් වෙන්න. ඒකටත් කාලේ ඕනේ. සභාවෙත් අපිට හුඟක් වැඩ තියෙනවා. උද්‍යෝගයෙන් දේශනා සේවේ හවුල් වෙන එක ඒවාවලින් ප්‍රධානම එකක්. බයිබලේ කියවන එකත් අපේ ජීවිතේ “වඩා වැදගත් දේවල්වලින්” එකක්. ඒ නිසා අපි ඒකට මුල් තැන දෙනවා. සතුටින් ඉන්න කෙනෙක් ගැන ගීතිකාකරු මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ නීතිය කියවීමෙන් ඔහු මහත් ප්‍රීතියක් ලබන්නේය. ඔහු දිවා රෑ දෙවිගේ නීතිය කියවා ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්නේය.” (ගීතා. 1:1, 2) ඒකෙන් පැහැදිලියි අපි බයිබලේ කියවන්න අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කරගන්න ඕනෙ කියලා. ඒත් ඒකට හොඳම වෙලාව මොකක්ද? ඒක එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් වෙනවා. අපි මොන වෙලාව තෝරගත්තත් ඒ වෙලාව හැමදාම බයිබලේ කියවන්න පුළුවන් වෙලාවක් වෙන්න ඕනේ. w24.09 3 5-6¶
පෙබරවාරි 11, බදාදා
“හැම කෙනෙක්ම තමන්ට පැවරිලා තියෙන වගකීම ඉටු කරන්න ඕනේ.”—ගලා. 6:5.
අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ටත් අනිත් අයගේ උදව් ඕනේ. හැබැයි එයා කරන්න ඕනෙ මොනවාද කියලා අහඅහා යන්නවෙත් ගන්න ඕනෙ තීරණ අනිත් අය පිට පටවන්නෙවත් නැහැ. අද්දැකීම් තියෙන, අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ගෙන් මඟ පෙන්වීමක් ගත්තත් එයා දන්නවා අන්තිම තීරණේ ගන්න ඕනෙ එයාමයි කියලා. මොකද එයා දන්නවා එයාට ‘පැවරිලා තියෙන වගකීම එයා ඉටු කරයි’ කියලා යෙහෝවා බලාපොරොත්තු වෙනවා කියලා. වැඩිහිටියන් හැමෝම එක වගේ නැහැ. අවබෝධයෙන් වැඩ කරන අයත් ඒ වගේ. එයාලට තියෙන ගුණාංග වෙනස්. සමහරු හොඳට හිතලා බලලා වැඩ කරනවා. තවත් අය නිර්භීතයි. තවත් අය ත්‍යාගශීලියි. සමහරුන්ගේ හිත ඉක්මනින් උණු වෙනවා. අවබෝධයෙන් වැඩ කරන දෙන්නෙක් එකම කාරණයකදී වෙනස් තීරණ ගන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ දෙන්නාගෙම තීරණ බයිබලේට එකඟයි. විශේෂයෙන්ම ඒක වෙන්නේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න වෙද්දී. ඒ දේ හොඳට තේරුම් අරන් ඉන්නවා නම් අනිත් කෙනා වෙනස් තීරණයක් ගත්තත් එයාව විනිශ්චය නොකර ඉන්න පුළුවන්. ඒකෙන් සභාවේ එක්සත්කමත් රැකෙනවා.—රෝම 14:10; 1 කොරි. 1:10. w24.04 4 7-8¶
පෙබරවාරි 12, බ්‍රහස්පතින්දා
“සිත්තැවුලෙන් මං යටපත් වෙලා ඉද්දී ඔබ මාව සනසලා මගේ හිත සන්සුන් කළා.”—ගීතා. 94:19.
ඔයාගෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා නම් යෙහෝවාට ඔයාව ගොඩක් වටිනවා කියලා සහතික වෙන බයිබල් පද කියවලා ඒවා ගැන හිතන්න. ඔයාට එහෙම හිතෙන්නේ ඉලක්කයක් ජය ගන්න බැරි වුණ නිසාද? අනිත් අය තරම් දේවල් කරන්න බැරි නිසාද? එහෙනම් ඔයාව අනිත් අයත් එක්ක සසඳන්න එපා. ඔයාට කරන්න බැරි දේවල් ගැන හිතන්නත් එපා. ඔයාට බැරි දේවල් යෙහෝවා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතා. 103:13, 14) ඔයා වටින්නේ නැහැ කියලා ඔයාට හිතෙන්නේ කවුරු හරි කෙනෙක් අතින් ඔයා හිංසනයට ලක් වෙලා තියෙන නිසා නම් ඒක වුණේ ඔයාගේ වරදින් නෙවෙයි කියලා මතක තියාගන්න. අනිත් අයට නපුරු විදිහට සලකන අයට යෙහෝවාට ගණන් දෙන්න වෙනවා. (1 පේතෘ. 3:12) යෙහෝවාට පුළුවන් අනිත් අයට උදව් කරන්න ඔයා වගේ කෙනෙක්ව වුණත් පාවිච්චි කරන්න. ඔහු ඔයාට ඔහුත් එක්ක සේවේ කරන්න අවස්ථාව දීලා තියෙනවා. (1 කොරි. 3:9) ජීවිතේ අද්දැකපු කටුක දේවල් නිසා අනිත් අයගේ වේදනාව, එයාලට හැඟෙන විදිහ ඔයාට හොඳට තේරුම්ගන්න පුළුවන්. ඒ නිසා එයාලට උදව් කරන්න ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. w24.10 7-8 6-7¶
පෙබරවාරි 13, සිකුරාදා
“දෙවියන් තෝරගත්ත සේවකයන් රෑ දවල් දෙකේම ඔහුට කන්නලව් කරද්දී ඔහු එයාලා වෙනුවෙන් සාධාරණය ඉටු කරලා දෙන්නේ නැද්ද? ඒ වගේම ඔහු එයාලා එක්ක ගොඩක් ඉවසීමෙන් වැඩ කරනවා. මං ඔයාලට කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම එයාලට ඉක්මනින්ම සාධාරණය ඉටු කරලා දෙනවා.”—ලූක් 18:7, 8.
“යෙහෝවා යුක්තියට ප්‍රිය කෙනෙක්.” (ගීතා. 37:28) අපිට අසාධාරණයක් වෙද්දී ඔහුට ඒක දැනෙනවා. යේසුස් කිව්වා හරි වෙලාව ආවාම යෙහෝවා “ඉක්මනින්ම සාධාරණය ඉටු කරලා දෙනවා” කියලා. අසාධාරණකම් නිසා අපි අද්දකින හැම වේදනාවක්ම ළඟදීම දෙවියන් අයින් කරනවා. ඔහු ආයේ කවදාවත් අපිට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. (ගීතා. 72:1, 2) යෙහෝවා ළඟදීම මේ හැම ප්‍රශ්නයක්ම නැති කරලා දානවා. හැබැයි ඒ වෙන කල් අපිට වෙන අසාධාරණකම් දරාගන්න ඔහු අපිට උදව් කරනවා. (2 පේතෘ. 3:13) අපිට අසාධාරණයක් වෙද්දී මෝඩ විදිහට වැඩ කරන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද කියලා ඔහු අපිට උගන්නනවා. ඔහු ඒක කරන්නේ ඔහුගේ පුතාගේ ආදර්ශය පාවිච්චි කරලා. ඒ වගේම අසාධාරණයක් වෙද්දී අපිට අදාළ කරගන්න පුළුවන් මඟ පෙන්වීම් ඔහු බයිබලේට ඇතුළත් කළා. w24.11 2-3 3-4¶
පෙබරවාරි 14, සෙනසුරාදා
“එයාලට මොනවා හරි කන්න දෙන්න.”—මතෙ. 14:16.
එච්චර සෙනඟකට කන්න දෙන එක ලේසි නැහැ. මොකද එතන පුරුෂයන් 5,000ක් එක්ක ළමයිනුයි, ගෑනු අයයි 15,000ක් විතර ඉන්න ඇති. (මතෙ. 14:21) අන්දෘ ඒ වෙලාවේ මෙහෙම කිව්වා. “මේ පොඩි පුතා ළඟ බාර්ලි රොටි පහකුයි, පොඩි මාළු කූරි දෙකකුයි තියෙනවා. ඒත් මෙච්චර ලොකු සෙනඟකට මේකෙන් මොනවා කරන්නද?” (යොහ. 6:9) බාර්ලි රොටි කියන්නේ ඒ කාලේ මිනිස්සු නිතරම කාපු කෑමක්. ඒ වගේම ඒ ළමයා ළඟ තිබුණ මාළු හොඳට ලුණු දාලා වේළපුවා වෙන්න ඇති. යේසුස්ට ඕන වුණා සෙනඟ වෙනුවෙන් දෙයක් කරන්න. ඉතින් ඔහු සෙනඟට කිව්වා කණ්ඩායම් විදිහට බෙදිලා තණබිමේ ඉඳගන්න කියලා. (මාක් 6:39, 40; යොහ. 6:11-13) ඊටපස්සේ යේසුස් ඔහුගේ තාත්තාට ස්තුති කරලා යාච්ඤාවක් කරනවා. ඒකෙන් ඔහු පෙන්නුවා ඒ කෑම දුන්නේ දෙවියන් කියලා. ඒ වගේම ඒවා දුන්නාට ඔහුට ස්තුති කරන එක කොච්චර වැදගත්ද කියලත් යේසුස් පෙන්නුවා. ඒක අපිටත් හොඳ ආදර්ශයක්. කන්න කලින් යෙහෝවාට ස්තුති කරන එක කොච්චර වැදගත්ද! ඊටපස්සේ යේසුස් ගෝලයන්ට කිව්වා කෑම බෙදලා දෙන්න කියලා. සෙනඟ ඇති වෙන්න කෑවා. w24.12 2-3 3-4¶
පෙබරවාරි 15, ඉරිදා
‘ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කරන්න.’—1 ලේක. 29:20.
යේසුස් යෙහෝවාට ගෞරවය දුන්නා. ඔහු ආශ්චර්යයන් කරද්දී මිනිස්සුන්ට කිව්වා ඔහු ඒවා කළේ දෙවියන්ගේ උදව්වෙන් කියලා. (මාක් 5:18-20) ඒ වගේම ඔහු තමන්ගේ තාත්තා ගැන කියපු දේවලින් සහ අනිත් අයට සලකපු විදිහෙනුත් යෙහෝවාට ගෞරවය දුන්නා. දවසක් යේසුස් සිනගෝගයේ උගන්නද්දී එයාට ඇහුම්කන් දුන්න අය අතරේ අවුරුදු 18ක් පුරා භූතයෙක්ගෙන් පීඩා විඳපු ස්ත්‍රියක් හිටියා. ඒ භූතයා එයාගේ ශරීරයට කොච්චර හිරිහැර කළාද කියනවා නම් එයාට කෙළින් හිටගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. එයා හිටියේ දෙකට නැමිලා. මේ ස්ත්‍රියව දැක්කාම යේසුස්ට දැනුණේ ලොකු අනුකම්පාවක්. ඒ නිසා ඔහු එයා ළඟට ගිහින් කිව්වා “ඔයාගේ අසනීපෙන් ඔයා දැන් නිදහස්” කියලා. එහෙම කියලා යේසුස් ඒ ස්ත්‍රියව ඇල්ලුවා. එතකොටම එයා කෙළින් හිටගත්තා. තමන් සම්පූර්ණයෙන්ම සනීප වෙලා කියලා දැක්කාම ඒ ස්ත්‍රිය “දෙවියන්ට ප්‍රශංසා කරන්න පටන්ගත්තා.” (ලූක් 13:10-13) ඇත්තටම දෙවියන්ට ප්‍රශංසා කරන්න එයාට හොඳ හේතුවක් තිබ්බා. අපිටත් එහෙමයි. w25.01 2-3 3-4¶
පෙබරවාරි 16, සඳුදා
“අපේ වැරදිවලටත් සමාව දෙන්න.”—ලූක් 11:4.
ආදම් සහ ඒව නැති කරගත්ත හැම දේම ආයේ ලබාගන්න අපිට පුළුවන්ද? අපේ හැකියාවෙන් නම් ඒක කීයටවත් කරන්න බැහැ. (ගීතා. 49:7-9) උදව් ලැබුණේ නැත්නම් අපිට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපිට නැවත නැඟිටීමකුත් නැහැ. අපිත් සත්තු වගේ නිකම්ම මැරිලා යයි. (දේශ. 3:19; 2 පේතෘ. 2:12) අපේ ආදරණීය තාත්තා යෙහෝවා ආදම්ගෙන් අපිට උරුම වුණ ණය ගෙවන්න ඉදිරිපත් වුණා. ඒ, අපි වෙනුවෙන් වටින තෑග්ගක් දීලා. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “දෙවියන් මුළු ලෝකයටම කොච්චර ආදරේ කළාද කියනවා නම් ඔහුගේ එකම පුතාව එයාලා වෙනුවෙන් දුන්නා. එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.” (යොහ. 3:16) ඒ තෑග්ග නිසා යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් අපේ පව්වලටත් සමාව ලබාගන්නත් අපිට අවස්ථාව හම්බ වුණා. w25.02 3 3-6¶
පෙබරවාරි 17, අඟහරුවාදා
“ඊටපස්සේ සාවුල් නැඟිටලා බව්තීස්ම වුණා.”—ක්‍රියා 9:18.
බව්තීස්ම වෙන්න සාවුල්ට උදව් වුණේ මොකක්ද? ස්වර්ගයේ හිටපු යේසුස් සාවුල්ට දර්ශනය වුණ වෙලාවේ එයා අන්ධ වුණා. (ක්‍රියා 9:3-9) දවස් තුනක් යන කල් එයා නොකා නොබී වුණ දේ ගැන හිතන්න ඇති. යේසුස් තමයි ගැලවුම්කරු කියලත් ඔහුගේ අනුගාමිකයන් තමයි සැබෑ ආගම අදහන්නේ කියලත් එතකොට සාවුල්ට තේරුණා. සාවුල් උඩඟුකමටයි, මිනිස්සුන්ට තිබුණ බයටයි ඉඩ දුන්නේ නැහැ බව්තීස්ම වෙන එකෙන් එයාව වළක්වන්න. පීඩා විඳින්න වෙනවා කියලා දැන දැනත් එයා කැමැත්තෙන්ම ක්‍රිස්තියානියෙක් වුණා. (ක්‍රියා 9:15, 16; 20:22, 23) බව්තීස්මයෙන් පස්සෙත් එයාට එන පීඩා දරාගන්න එයා දිගටම යෙහෝවා ගැන විශ්වාසේ තියලා වැඩ කළා. (2 කොරි. 4:7-10) ඔයාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණාම ඔයාගේ විශ්වාසේ හෙල්ලෙන විදිහේ දේවලට මූණ දෙන්න වෙයි. ඔයාට පීඩා එයි. හැබැයි ඔයා තනි වෙලා නැහැ. ඔයාට නිසැක වෙන්න පුළුවන් යෙහෝවාගෙයි, යේසුස්ගෙයි උදව් ඔයාට තියෙනවා කියලා.—ෆිලි. 4:13. w25.03 4 8-9¶
පෙබරවාරි 18, බදාදා
“මම කිසිම අරමුණක් නැතුව දුවන්නේ නැහැ.”—1 කොරි. 9:26.
බයිබලේ කියවන එක හොඳ දෙයක්. හැබැයි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි ඊට වඩා දෙයක් කරන්න ඕනේ. මේ උදාහරණේ බලන්න. පැළෑටි හොඳට වැඩෙන්න නම් ඒවාට වැස්ස ඕනේ. හැබැයි කෙටි කාලයක් ඇතුළත ධාරානිපාත වැස්සක් වැස්සොත් ඒ වතුර පොළොවට උරාගන්න අමාරුයි. එතකොට කොච්චර වැස්සත් ප්‍රයෝජනයක් නැහැ. පැළෑටි හොඳින් වැඩෙන්න නම් පසට වතුර හොඳට උරාගන්න ඕනේ. ඒකට කාලයක් යනවා. අපිත් බයිබලේ ඉක්මනට ඉක්මනට කියෙව්වොත් කියවන දේවල් මනසට උරාගන්න, මතක තියාගන්න, ඒකෙන් නියම ප්‍රයෝජන ගන්න අපිට බැරි වෙයි. (යාකො. 1:24) ඔයා බයිබලේ කියවන්නේ පැයට කිලෝමීටර් බර ගාණක වේගයෙන් කියලා ඔයාට දැනෙනවා නම් මොකක්ද කරන්න පුළුවන්? වේගය අඩු කරන්න. ඔයා කියවන දෙයින් ඉගෙනගන්න පුළුවන් මොකක්ද කියලා හිතන්න. ඒකට අධ්‍යයනයට වෙන් කරන වෙලාව තව ටිකක් දික් කරන්න ඔයාට පුළුවන්. w24.09 4 7-9¶
පෙබරවාරි 19, බ්‍රහස්පතින්දා
“ඔයාලා අතරේ පෙරමුණ අරගෙන වැඩ කරන අයට කීකරු වෙන්න.”—හෙබ්‍රෙ. 13:17.
සංවිධානය ගැන විශ්වාසයක් තියෙනවා කියලා වැඩිමහල්ලන්ට පෙන්නන්න පුළුවන් විදිහක් තමයි මඟ පෙන්වීම් ලැබෙද්දී උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව ඒවාට හොඳ අවධානයක් දීලා ඒවා අදාළ කරගන්න එක. රැස්වීමේදී කොටස් කරන විදිහ, සභාවක් ඉස්සරහා යාච්ඤා කරන විදිහ ගැන වගේම යේසුස්ගේ බැටළුවන්ව බලාගන්න විදිහ ගැනත් වැඩිමහල්ලන්ට මඟ පෙන්වීම් ලැබෙනවා. එයාලා ඒවා අදාළ කරගද්දී බැටළුවන්ට ලොකු ආරක්ෂාවක් වගේම යෙහෝවාගේ ආදරෙත් දැනෙනවා. වැඩිමහල්ලන්ගෙන් මඟ පෙන්වීම් ලැබෙද්දී අපිත් ඒවාට කැමැත්තෙන්ම කීකරු වෙන්න ඕනේ. එතකොට එයාලාගේ වැඩේ කරන්න එයාලට ලේසියි. බයිබලෙත් කියන්නේ වැඩිමහල්ලන්ට යටත් වෙන්න, එයාලට කීකරු වෙන්න කියලා. (හෙබ්‍රෙ. 13:7, 17) ඒත් ඒක හිතන තරම්ම ලේසි නැහැ. මොකද එයාලත් පව්කාරයෝ. ඒත් අපි එයාලාගේ හොඳ පැති බලන්නේ නැතුව අඩුපාඩුම හොයන්න ගියොත් ඒකෙන් වෙන්නේ අපි අපේ හතුරන්ට උල්පන්දම් දෙන එක. මොකද අපි වැඩිමහල්ලන්ගේ අඩුපාඩුම බැලුවොත් එයාලා ගැන විතරක් නෙවෙයි සංවිධානය ගැන අපිට තියෙන විශ්වාසෙත් අඩු වෙයි. w24.04 10 11-12¶
පෙබරවාරි 20, සිකුරාදා
‘ඔහු මිනිස්සුන්ව වෙන් කරනවා.’—මතෙ. 25:32.
මහත් පීඩාව අතරේ මැරෙන කිසිම කෙනෙක් නැවත නැඟිටින්නේ නැද්ද? බයිබලේ පැහැදිලිවම කියනවා යෙහෝවාට විරුද්ධ වෙන, අර්මගෙදොන් යුද්දේදී ඔහුගේ සේනාව අතින් විනාශ වෙන අයට නැවත නැඟිටීමක් නැහැ කියලා. (2 තෙස. 1:6-10) එතකොට ඒ කාලේදී ස්වාභාවිකව මැරෙන අය? අනතුරකින් මැරෙන අය? නැත්නම් වෙන කෙනෙක්ගේ අතින් මැරුම් කන අය? එයාලා ගැන මොනවාද කියන්න පුළුවන්? (දේශ. 9:11; සෙක. 14:13) එයාලාගෙන් සමහර අය නැවත නැඟිටින “අධර්මිෂ්ඨ අය” අතරේ ඉඳීද? (ක්‍රියා 24:15) උත්තරය, අපි දන්නේ නැහැ! හැබැයි ඉස්සරහට වෙන සමහර දේවල් ගැන අපි දන්නවා. උදාහරණෙකට අර්මගෙදොන්වලදී කෙනෙක්ට විනිශ්චයක් ලැබෙන්නේ එයා යේසුස්ගේ සහෝදරයන්ට සලකලා තියෙන විදිහ අනුව කියලා අපි දන්නවා. (මතෙ. 25:40) ඉතින් කෙනෙක් යේසුස්ටයි, අභිෂේක ලත් අයටයි සහය දීලා තියෙනවා නම් එයාව ගණන් ගන්නේ බැටළුවෙක් විදිහට.—එළි. 12:17. w24.05 10-11 9-11¶
පෙබරවාරි 21, සෙනසුරාදා
“යෙහෝවා ජීවමානයි! මගේ පර්වතය වන ඔහුට ප්‍රශංසා වේවා! ගැලවීම දෙන මගේ දෙවියනි, ඔබ හැම කෙනෙක්ගෙම පැසසුමට ලක් වේවා!”—ගීතා. 18:46.
“ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්.” අපි ජීවත් වෙන මේ කාලය බයිබලේ විස්තර කරලා තියෙන්නේ අන්න ඒ විදිහටයි. (2 තිමෝ. 3:1) සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ හැමෝම මූණ දෙන ප්‍රශ්නවලට අමතරව අපි දෙවියන්ගේ සෙනඟ නිසා අපි විරුද්ධවාදිකම්වලටත් මූණ දෙනවා. ඒත් මේ හැම දෙයක්ම මැද්දේ යෙහෝවාට දිගටම නමස්කාර කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒකට ප්‍රධානම හේතුව තමයි යෙහෝවා ‘ජීවමානයි’ කියන දේ අපි අද්දකින එක. (යෙරෙ. 10:10; 2 තිමෝ. 1:12) යෙහෝවා කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්. ඔහු අපි මූණ දෙන හැම අභියෝගයක්ම දකිනවා වගේම අපිට උදව් කරන්න අවස්ථා හොයනවා. (2 ලේක. 16:9; ගීතා. 23:4) ඉතින් අපි දෙවියන්ව ජීවමාන කෙනෙක් විදිහට දකිනවා නම් අපේ ඉස්සරහට එන ඕනෑම අභියෝගයක් පරාද කරන්න අපිට පුළුවන්. w24.06 20 1-2¶
පෙබරවාරි 22, ඉරිදා
“ධර්මිෂ්ඨයන්ගේ මාවත, දීප්තිමත් අලුයම් ආලෝකය වගෙයි. ඒ එළිය ටිකෙන් ටික වැඩි වෙලා මහ දවාලේ දීප්තියෙන් බැබළෙනවා.”—හිතෝ. 4:18.
දෙවියන්ගේ සංවිධානය ගැන අපි දිගටම විශ්වාස කරන්න ඕනේ. හිතන්න, බයිබලේ තියෙන ඉගැන්වීමක් ගැන අපේ අවබෝධයේ වෙනසක් වුණා කියලා. නැත්නම් අපි දෙවියන්ට සේවේ කරන විදිහේ වෙනසක් වුණා කියලා. ඒ වගේ වෙලාවට වෙනස්කම් කරන්න දාසයා අදිමදි කරන්නේ නැහැ. මොකද අනිත් හැම දේටම වඩා එයාලට ඕනෙ යෙහෝවාගේ හිත සතුටු කරන්න. මඟ පෙන්වීම් දෙද්දී ඒවා හැම තිස්සේම බයිබලේ මත පදනම් කරගන්නත් එයාලා වගබලා ගන්නවා. පාවුල් මෙහෙම කිව්වා. “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට තදින් ඇලී සිටින්න.” (2 තිමෝ. 1:13) “නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්” කියන්නේ බයිබලෙන් අපි ඉගෙනගන්න දේවලට. (යොහ. 17:17) අපි විශ්වාස කරන හැම දෙයක්ම ගොඩනැඟිලා තියෙන්නේ ඒ ඉගැන්වීම් මත. අපි ඒ ඉගැන්වීම්වලට ඇලිලා ඉන්නේ කොහොමද කියලා සංවිධානයෙන් අපිට උගන්නනවා. ඉතින් අපි ඒ ඉගැන්වීම් සත්‍යයයි කියලා පිළිගද්දී යෙහෝවා අපිට ආශීර්වාද කරනවා. w24.07 11-12 12-13¶
පෙබරවාරි 23, සඳුදා
‘යෙහෝවා ඔයා ගැන ඉවසනවා. මොකද ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්නයි.’—2 පේතෘ. 3:9.
පසුතැවිලි වෙලා සමාව ලැබුණාම කොයි තරම් සහනයක් දැනෙනවාද කියලා පේතෘස් දැනන් හිටියා. ඒ නිසා පසුතැවෙන එකේ වැදගත්කම එයා අනිත් අයටත් ඉගැන්නුවා. යේසුස් ගැන විශ්වාසේ තිබ්බේ නැති යුදෙව්වන්ට පේතෘස් කිව්වා ඔයාලා තමයි ගැලවුම්කරුව මැරුවේ කියලා. හැබැයි එයා ආදරෙන් එයාලාගෙන් මෙහෙම ඉල්ලුවා. “දැන් පසුතැවිලි වෙන්න. ඔයාලාගේ ජීවිත වෙනස් කරගන්න. එතකොට ඔයාලාගේ වැරදිවලට සමාව ලබාගන්නත් යෙහෝවාගෙන් ලොකු සහනයක් ලබාගන්නත් ඔයාලට පුළුවන් වෙයි.” (ක්‍රියා 3:14, 15, 17, 19) කෙනෙක් පසුතැවෙද්දී එයා කරපු වරද එයා අත්හරිනවා කියලා පේතෘස් පෙන්නුවා. ඒ කියන්නේ එයා හිතපු, වැඩ කරපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන යෙහෝවා සතුටු වෙන විදිහට හිතන්න, වැඩ කරන්න පටන්ගන්නවා. පේතෘස් කිව්වා කෙනෙක් පසුතැවෙනවා නම් යෙහෝවා එයාට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියලා. ඒක හරියට කරපු වරද හොයාගන්න බැරි වෙන්න මකලා දානවා වගේ. අපි අතින් කොච්චර බරපතළ වරදක් වුණත් යෙහෝවා අපිට සම්පූර්ණයෙන්ම සමාව දෙනවා කියලා දැනන් ඉන්න එක කොච්චර සහනයක්ද! w24.08 12 14¶
පෙබරවාරි 24, අඟහරුවාදා
“ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා.”—හෙබ්‍රෙ. 13:5.
ළඟදීම යෙහෝවා මේ දුෂ්ට සමාජය විනාශ කරනවා කියලා අපිට විශ්වාසයි නම් අපේ ජීවිතේ වැදගත්ම දේ සල්ලි හම්බ කරන එකයි කියලා අපි හිතන්නේ නැහැ. බයිබලේ කියනවා ඉස්සරහට මිනිස්සු “තමන් සතු රිදී වීථියට විසි කරනවා” කියලා. මොකද එයාලා තේරුම්ගන්නවා ‘යෙහෝවා දෙවි තම උදහස ප්‍රකාශ කරන දවසේදී එයාලා ළඟ තියෙන රන් රිදීවලින් ගැලවීම ලබාගන්න බැහැ’ කියලා. (එස. 7:19) ඉතින් අපි කරන්න ඕනෙ පුළුවන් තරම් සල්ලි හම්බ කරන එකට කාලේ දෙන එක නෙවෙයි, අපේ පවුලේ අයව බලාගන්න ගමන් යෙහෝවාට වැඩි සේවයක් කරන්න උදව් වෙන විදිහේ තීරණ ගන්න එකයි. අපි එහෙම කරනවා නම් හම්බ වෙන ගාණට වඩා වියදම් කරලා ණය වෙන්නෙවත් තියෙන දේවල් බලාගන්න ඕනෑවට වඩා කාලේ වැය කරන්නෙවත් නැහැ. අපිට තියෙන ධන සම්පත් අපේ ජීවිතේ අංක එකට දාගන්නේ නැතුව ඉන්නත් අපි පරෙස්සම් වෙනවා. (මතෙ. 6:19, 24) අවසානය ළං වෙද්දී යෙහෝවාවද විශ්වාස කරන්නේ, ධන සම්පත් ගැනද විශ්වාසය තියන්නේ කියලා අපිට තීරණයක් ගන්න වෙනවා. w24.09 11 13-14¶
පෙබරවාරි 25, බදාදා
“තමන් කීයටවත් වැටෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනා පරෙස්සම් වෙන්න ඕනේ. මොකද එයා වැටෙන්න පුළුවන්.”—1 කොරි. 10:12.
අපේ සමහර දුර්වලකම්වලින් සම්පූර්ණයෙන්ම ගොඩ එන්න අපිට පුළුවන්. හැබැයි තවත් ඒවා එක්ක ජීවිත කාලේ පුරාම සටන් කරන්න වෙයි. උදාහරණෙකට පේතෘස් මිනිස්සුන්ට තිබුණ බය නිසා යේසුස්ව තුන් පාරක්ම අඳුරන්නේ නැහැ කියලා කිව්වා. (මතෙ. 26:69-75) ඒත් පස්සේ කාලෙක මන්ත්‍රණ සභාව ඉස්සරහා එයා යේසුස් ගැනම නිර්භීතව සාක්ෂි දැරුවා. පේන විදිහට එයා දුර්වලකමින් ගොඩ ඇවිත් වගේ. (ක්‍රියා 5:27-29) ඒත් අවුරුදු කීපයකට පස්සේ ‘චර්මච්ඡේදනයට පක්ෂ අයට තිබුණ බය නිසා’ යුදෙව් නොවන ක්‍රිස්තියානීන් එක්ක කෑම කන එක එයා නැවැත්තුවා. (ගලා. 2:11, 12) එයාගේ දුර්වලකම ආයේ උඩට ආවා. සමහරවිට කවදාවත් එයාට ඒ දුර්වලකම සම්පූර්ණයෙන්ම ජය ගන්න බැරි වෙන්න ඇති. අපේ තත්වෙත් ඒක නම් “අවදිව ඉන්න” කියලා යේසුස් දීපු උපදෙස අදාළ කරගන්න. (මතෙ. 26:41) ‘මං ඒකෙන් ගොඩ ඇවිල්ලා’ කියලා හිතුණත් වැරදි පෙලඹීමක් එන්න පුළුවන් අවස්ථා දිගටම මඟහරින්න. දුර්වලකමත් එක්ක සටන් කරන්න මේ වෙන කල් උදව් වුණ දේවල් දිගටම කරන්න.—2 පේතෘ. 3:14. w24.07 18-19 17-19¶
පෙබරවාරි 26, බ්‍රහස්පතින්දා
“ඔහු තෑගි විදිහට පුරුෂයන්ව දුන්නා.”—එෆී. 4:8.
යේසුස් වගේ ත්‍යාගශීලී කෙනෙක් එදා මෙදා තුර මේ පොළොවේ ඉඳලා නැහැ. පොළොවේ ඉද්දී ඔහුට තිබුණ බලය ඔහු පාවිච්චි කළා මිනිස්සුන්ට උදව් කරන්න. (ලූක් 9:12-17) ඔහු ජීවිතේ පූජා කරලා අපි වෙනුවෙන් දෙන්න පුළුවන් වටිනාම තෑග්ග දුන්නා. (යොහ. 15:13) ඔහු නැවත නැඟිට්ටාට පස්සෙත් උදව් කරන එක නතර කළේ නැහැ. ඔහු පොරොන්දු වුණා වගේම අපිට උගන්නන්න, ඕනෙ කරන සහනය දෙන්න ඔහු උපකාරකයෙක්ව එව්වා. (යොහ. 14:16, 17; 16:13) දේශනා කරන්න, ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්න යේසුස් අද අපේ රැස්වීම් මාර්ගයෙන් අපිව පුහුණු කරනවා. (මතෙ. 28:18-20) ඔහු “පුරුෂයන්වත් තෑගි විදිහට දුන්නා.” (එෆී. 4:7, 8) යේසුස් එයාලව දුන්නේ සභාවට එක එක විදිවලින් උදව් කරන්නයි කියලා පාවුල් පැහැදිලි කළා. (එෆී. 1:22, 23; 4:11-13) ඇත්ත, එයාලත් පාපය උරුම කරගත්ත අය. ඒ නිසා එයාලා අතිනුත් අඩුපාඩු වෙනවා. (යාකො. 3:2) හැබැයි යේසුස් ඒ වටිනා පුරුෂයන්ව පාවිච්චි කරනවා අපිට ඕනෙ කරන උදව් දෙන්න. w24.10 18 1-2¶
පෙබරවාරි 27, සිකුරාදා
“වටහාගැනීමේ හැකියාව ඔයාට ආරක්ෂාවක් වෙයි.”—හිතෝ. 2:11.
දාවිත් සලමොන්ට කිව්වා සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ එයා යෙහෝවාට කීකරු වුණොත් විතරයි කියලා. ඒත් එයා වයසට යද්දී බොරු දෙවිවරුන්ට නමස්කාර කළා. ඒ නිසා එයා ගැන යෙහෝවා පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. ඉතින් ධර්මිෂ්ඨකමින්, යුක්තිසහගතව මිනිස්සුන්ව පාලනය කරන්න යෙහෝවා සලමොන්ට දුන්න හැකියාව එයාගෙන් අයින් කළා. (1 රාජා. 11:9, 10; 12:4) පාඩම? කීකරු වෙද්දී අපේ ජීවිත සාර්ථක වෙනවා. (ගීතා. 1:1-3) යෙහෝවා කියන්නේ නැහැ සලමොන්ට වගේ ප්‍රසිද්ධිය, ධන සම්පත් අපිට දෙනවා කියලා. හැබැයි ඔහුට කීකරු වුණොත් හොඳ තීරණ ගන්න ඕනෙ කරන ප්‍රඥාව ඔහු දෙනවා. (හිතෝ. 2:6, 7; යාකො. 1:5) ඔහුගේ මඟ පෙන්වීමෙන් රස්සාව, අධ්‍යාපනය, විනෝදය, සල්ලි හම්බ කරන එක වගේ දේවලදී ඥානවන්ත තීරණ ගන්න පුළුවන්. දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගද්දී ඔහුත් එක්ක තියෙන බැඳීම ආරක්ෂා වෙනවා. අපිට සදාකල් ජීවිතෙත් ලැබෙනවා. (හිතෝ. 2:10, 11) හොඳ යාළුවෝ හොයාගන්න පුළුවන් වගේම පවුල් ජීවිතේ සාර්ථකව, සතුටින් ගත කරන්නත් පුළුවන්. w24.11 10-11 11-12¶
පෙබරවාරි 28, සෙනසුරාදා
“හැම දෙයක්ම හොඳට හොයලා බලලා හරි දේ මොකක්ද කියලා සහතික කරගන්න. ඊටපස්සේ ඒ දේ තදින් අල්ලගන්න.”—1 තෙස. 5:21.
දෙමාපියෙනි, බයිබලේ ගැනත් දෙවියන් ගැනත් දරුවා එක්ක කතා කරන්න අවස්ථා හොයාගන්න. ඔයා දරුවා එක්ක කෞතුකාගාරයක් බලන්න යද්දී ඒක කරන්න පුළුවන්. ඒකේ තියෙන සමහර කෞතුක වස්තු සහ සිද්ධි පාවිච්චි කරලා බයිබලේ තියෙන දේවල් ඇත්ත කියලා පෙන්නන්න ඔයාට පුළුවන්. උදාහරණෙකට අවුරුදු 3,000ක් පරණ මෝවබ් ගල් පුවරුවක දෙවියන්ගේ නම තියෙනවා කියලා ඔයාගේ දරුවා දන්නවාද? ඒ ගල් පුවරුවේ අනුරුවක් වෝර්වික්වල සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ “බයිබලය සහ දෙවියන්ගේ නම” කියන ප්‍රදර්ශන කුටියෙත් තියෙනවා. ඒ පුවරුවේ තියෙනවා මේෂා කියන මෝවබ් රජ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කැරලිගැහුවා කියලා. ඒක බයිබලේ තියෙන දේටත් එකඟයි. (2 රාජා. 3:4, 5) ඒ විදිහට බයිබලේ තියෙන දේවල් විශ්වාසවන්තයි, නිවැරදියි කියන්න සාක්ෂි දරුවා එයාගේ ඇස් දෙකෙන්ම දකිද්දී එයාගේ විශ්වාසේ තව වැඩි වෙයි. w24.12 14 4¶; 15 6¶