ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • es26 7-19 පි.
  • ජනවාරි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි
  • දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
  • උපමාතෘකා
  • ජනවාරි 1, බ්‍රහස්පතින්දා
  • ජනවාරි 2, සිකුරාදා
  • ජනවාරි 3, සෙනසුරාදා
  • ජනවාරි 4, ඉරිදා
  • ජනවාරි 5, සඳුදා
  • ජනවාරි 6, අඟහරුවාදා
  • ජනවාරි 7, බදාදා
  • ජනවාරි 8, බ්‍රහස්පතින්දා
  • ජනවාරි 9, සිකුරාදා
  • ජනවාරි 10, සෙනසුරාදා
  • ජනවාරි 11, ඉරිදා
  • ජනවාරි 12, සඳුදා
  • ජනවාරි 13, අඟහරුවාදා
  • ජනවාරි 14, බදාදා
  • ජනවාරි 15, බ්‍රහස්පතින්දා
  • ජනවාරි 16, සිකුරාදා
  • ජනවාරි 17, සෙනසුරාදා
  • ජනවාරි 18, ඉරිදා
  • ජනවාරි 19, සඳුදා
  • ජනවාරි 20, අඟහරුවාදා
  • ජනවාරි 21, බදාදා
  • ජනවාරි 22, බ්‍රහස්පතින්දා
  • ජනවාරි 23, සිකුරාදා
  • ජනවාරි 24, සෙනසුරාදා
  • ජනවාරි 25, ඉරිදා
  • ජනවාරි 26, සඳුදා
  • ජනවාරි 27, අඟහරුවාදා
  • ජනවාරි 28, බදාදා
  • ජනවාරි 29, බ්‍රහස්පතින්දා
  • ජනවාරි 30, සිකුරාදා
  • ජනවාරි 31, සෙනසුරාදා
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2026
es26 7-19 පි.

ජනවාරි

ජනවාරි 1, බ්‍රහස්පතින්දා

“හොඳට වැඩුණු අය වගේ හිතන්න පුරුදු වෙන්න.”—1 කොරි. 14:20.

පවුලකට පුංචි කිරිකැටියෙක් ඉපදෙන එක තරම් සතුටක් තවත් නැහැ. හැබැයි එයා හැමදාම බබෙක් වෙලා ඉන්නවාට දෙමාපියන් කැමති නැහැ. බබා උස් මහත් වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ගොඩක් වධ වෙනවා. යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න මුල්ම පියවර තියද්දී අපිත් පුංචි කිරිකැටියෙක් වගේ. දෙමාපියෝ වගේ යෙහෝවාත් අපි දිහා බලලා සතුටු වෙනවා. හැබැයි අපි හැමදාම ඒ විදිහටම ඉන්නවා දකින්න ඔහු කැමති නැහැ. (1 කොරි. 3:1) ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා ‘වැඩිහිටියෙක් වගේ තේරුම්ගැනීමේ හැකියාව ඇතුව අපි වැඩ කරයි’ කියලා. ‘වැඩිහිටියෙක් වගේ කාරණා තේරුම්ගන්න හැකියාව තියෙන කෙනෙක්’ කියන ග්‍රීක යෙදුම “අවබෝධයෙන් වැඩ කරන” සහ “සම්පූර්ණ” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. (1 කොරි. 2:6) දරුවෙක් දවසින් දවස උස් මහත් වෙලා වැඩිහිටියෙක් වෙනවා වගේ අපිත් යෙහෝවා එක්ක තියෙන බැඳීම දවසින් දවස වැඩි කරගන්න ඕනේ. එතකොටයි අපි අවබෝධයෙන් වැඩ කරන අය කියලා කියන්න පුළුවන්. ඒත් අපි ඒ තැනට ආවාට පස්සෙත් දිගටම දියුණු වෙන්න ඕනේ.—1 තිමෝ. 4:15. w24.04 2 1¶, 3¶

ජනවාරි 2, සිකුරාදා

“මගේ කූඩාරම ඔවුන් අතරේ තියෙයි. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.”—එස. 37:27.

යෙහෝවා දෙවියන් ඔයාගේ කවුද? ඔයා කියයි ‘යෙහෝවා මගේ තාත්තා, මගේ දෙවියන්, මගේ යාළුවා’ කියලා. ඔයා කවදා හරි යෙහෝවාව ඔහුගේ කූඩාරමට ඔයාව ආදරෙන් පිළිගන්න කෙනෙක් විදිහට දැකලා තියෙනවාද? දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද? ඔබේ ශුද්ධ කන්දේ වාසය කිරීමට අවස්ථාව ලැබෙන්නේ කාටද?” (ගීතා. 15:1) එතන දාවිත් යෙහෝවාව කූඩාරමට ඇතුල් වෙන්න කියලා ආරාධනා කරන කෙනා විදිහටත් ඔහුගේ සෙනඟව ඒ කූඩාරමට ඇතුල් වෙන අය විදිහටත් හඳුන්වනවා. දාවිත් එහෙම කිව්වේ යෙහෝවායි, ඔහුගේ සෙනඟයි අතරේ තියෙන කිට්ටු බැඳීම පෙන්නන්න. යෙහෝවාගේ යාළුවෝ වෙලා ඔහුගේ කූඩාරමට ඇතුල් වෙන්න අපිටත් පුළුවන්. හැම දේම නිර්මාණය කරන්න කලින් යෙහෝවා හිටියේ තනියම. ඒත් එක අවස්ථාවකදී ඔහු ඔහුගේ කුලුඳුල් පුතාව නිර්මාණය කළා. ඒක හරියට ඔහු තමන්ගේ කූඩාරමට මුලින්ම යේසුස්ට එන්න කිව්වා වගේ. බයිබලේ කියනවා යෙහෝවා ‘විශේෂයෙන්ම යේසුස් ගැන ප්‍රීති වුණා’ කියලා. කූඩාරමට මුලින්ම ඇතුල් වුණ කෙනා විදිහට යේසුත් ‘නිතරම යෙහෝවා ඉදිරියේ සතුටින් හිටියා.’—හිතෝ. 8:30. w24.06 2 1-3¶

ජනවාරි 3, සෙනසුරාදා

‘සාදොක් තරුණ, එඩිතර, යුද්දෙට දක්ෂ කෙනෙක්.’—1 ලේක. 12:28.

පුරුෂයන් 3,40,000කට වඩා හෙබ්‍රොන් කිට්ටුව කඳුකර පැත්තක රැස් වෙලා ඉන්නවා. දවස් තුනක්ම එයාලා කතාබහ කරනවා, යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කරනවා. (1 ලේක. 12:39) එයාලා එකතු වුණේ දාවිත්ව මුළු ඊශ්‍රායෙලයේම රජ විදිහට පත් කරන්න. එයාලා අතරේ සාදොක් කියන තරුණයත් ඉන්නවා. එතන හිටපු වැඩිදෙනෙක් එයා හිටියා කියලා දන්නෙවත් නැතුව ඇති. හැබැයි යෙහෝවා එයාව දැක්කා. ඔහුට ඕන වුණා එයා එතන හිටියා කියලා අපිත් දැනගන්නවාට. (1 ලේක. 12:22, 26-28) සාදොක්, උත්තම පූජක අබියාතර් එක්ක කිට්ටුවෙන් සේවේ කරපු පූජකයෙක්. එයා දිවැසිවරයෙක්. දෙවියන්ගේ කැමැත්ත තේරුම්ගන්න හැකියාව, ප්‍රඥාව දෙවියන් එයාට දීලා තිබුණා. (2 සාමු. 15:27) එයා හරිම එඩිතරයි. මේ අවසාන කාලේ සාතන් දෙවියන්ගේ සෙනඟගේ විශ්වාසෙට පහර දෙනවා. (1 පේතෘ. 5:8) ඒ නිසා සාතන්වයි, එයාගේ පාලනය යටතේ තියෙන මේ දුෂ්ට සමාජයයි යෙහෝවා අයින් කරලා දාන කල් දිගටම විඳදරාගන්න අපිටත් එඩිතරකම ඕනේ. (ගීතා. 31:24) ඉතින් සාදොක් වගේ අපිත් එඩිතර වෙමු. w24.07 2 1-3¶

ජනවාරි 4, ඉරිදා

“ආදම් අවුරුදු 930ක් ජීවත් වෙලා මැරුණා.”—උත්. 5:5.

ආදම් සහ ඒවගේ මූණවල්වල හැමදාටම හිනාවක් තියෙනවා දකින්නයි යෙහෝවාට ඕන වුණේ. ඔහු එයාලට ලස්සන නිවහනක් දුන්නා. විවාහය කියන තෑග්ග දුන්නා. ආසාවෙන් කරන්න පුළුවන් පැවරුමක් දුන්නා. එයාලට තිබුණේ දරුවන්ව බිහි කරලා එයාලව මුළු පොළොව පුරාම පදිංචි කරවන්න. සම්පූර්ණ පොළොවම ඒදන් උයන වගේ ලස්සන තැනක් කරන්න. ඒත් එක්කම දෙවියන් එයාලට එකම එක ආඥාවක් දීලා කිව්වා ඒක කැඩුවොත් එයාලා මැරෙනවා කියලා. මොකද වුණේ? ඒ ලස්සන පින්තූරෙට දුෂ්ට දේවදූතයෙක් ඇතුල් වුණා. එයාට යෙහෝවා ගැනවත් ආදම්, ඒව ගැනවත් කිසිම ආදරයක් තිබ්බේ නැහැ. එයා ආදම් සහ ඒවව පෙලඹුවා දෙවියන්ට විරුද්ධව පව් කරන්න. ආදම් සහ ඒව මෙච්චර කල් එයාලට ආදරෙන් සලකපු තමන්ගේ තාත්තා ගැන විශ්වාසේ තියනවාට වඩා කොහේවත් හිටපු සාතන්ව විශ්වාස කළා. ඒ නිසා දෙවියන්ට අකීකරු වුණොත් වෙනවා කියලා දෙවියන් කියපු දේම සිද්ධ වුණා. එදා ඉඳන් එයාලා ටිකෙන් ටික වයසට ගිහින් අන්තිමේදී පොළොවටම පස් වුණා.—උත්. 1:28, 29; 2:8, 9, 16-18; 3:1-6, 17-19, 24. w24.08 3 3¶

ජනවාරි 5, සඳුදා

“දෙවියන් කියන දේවලට නිකම්ම සවන් දෙන කෙනෙක් වෙන්නේ නැතුව ඒවා පිළිපදින කෙනෙක් වෙන්න.”—යාකො. 1:22.

යෙහෝවායි, යේසුයි කැමති අපි සතුටින් ඉන්නවා දකින්න. ගීතාවලිය 119:2 මෙහෙම කියනවා. “ඔහුගේ සිහිගැන්වීම්වලට කීකරු වන අය සන්තෝෂවත්ය. ඔවුහු මුළු හදවතින්ම දෙවිගේ මඟ පෙන්වීම් පතන්නෝය.” යේසුත් කිව්වා “සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි” කියලා. (ලූක් 11:28) දෙවියන්ට නමස්කාර කරන අය විදිහට අපි ඉන්නේ ගොඩක් සතුටින්. මොකද අපි දේවවචනය හැමදාම කියවලා ඒකේ තියෙන දේවල් ජීවිතේට අදාළ කරගන්නවා. (යාකො. 1:22-25) අපි දන්නවා යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා කියලා. (දේශ. 12:13) දේවවචනයේ තියෙන දේවල් අදාළ කරගද්දී අපේ විවාහ ජීවිත සාර්ථක වෙනවා. සභාවේ අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්නත් පුළුවන්. දෙවියන්ට කීකරු වෙන්නේ නැති අය අද්දකින ප්‍රශ්නවලින් ඈත් වෙලා ඉන්නත් අපිට පුළුවන් වෙනවා. යෙහෝවාගේ නීති, නියෝග, තීන්දු ගැන කතා කළාට පස්සේ දාවිත් කිව්වා “ඒවා පිළිපැදීමෙන් බොහෝ ආශීර්වාද ලැබෙනවා” කියලා.—ගීතා. 19:7-11. w24.09 2 1-3¶

ජනවාරි 6, අඟහරුවාදා

“හිත බිඳුණු අයට ඔහු සුවය ලබා දෙයි. ඔවුන්ගේ තුවාල වෙළුම් පටිවලින් බඳියි.”—ගීතා. 147:3.

පොළොවේ ඉන්න ඔහුගේ සේවකයන් අද්දකින හැම දෙයක්ම යෙහෝවා දකිනවා. අපි සතුටින් ඉද්දී, දුකෙන් ඉද්දී යෙහෝවා ඒ ගැන දන්නවා. (ගීතා. 37:18) අපි ලොකු වේදනාවකින් හිටියත් ඔහුට සේවේ කරන්න අපිට පුළුවන් හැම දේම කරද්දී ඔහුට අපි ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. අපිට උදව් කරන්න, අපිව සනසන්න ඔහු බලාගෙන ඉන්නවා. ගීතාවලිය 147:3 කියනවා ‘බිඳුණු සිත් ඇති අයගේ තුවාල යෙහෝවා සුව කරනවා’ කියලා. හිතේ වේදනාවෙන් ඉන්න අයට යෙහෝවා ආදරෙන් උදව් කරන විදිහ ගැනයි එතන විස්තර කරන්නේ. යෙහෝවා අපිට සැලකිල්ල පෙන්නන විදිහ සම්පූර්ණයෙන්ම අද්දකින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? මේ ගැන හිතන්න. තුවාල වෙලා ඉන්න කෙනෙක්ව සුව කරන්න වෛද්‍යවරයෙක් සෑහෙන දෙයක් කරනවා. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ලබන්න නම් තුවාල වුණ කෙනා එයා දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. හිතේ වේදනාවෙන් ඉන්න අයට යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් ආදරෙන් මඟ පෙන්වීම් දෙනවා. w24.10 6 1-2¶

ජනවාරි 7, බදාදා

“පොළොවේ හිටපු හැම ජීවියෙක්ම නැති කරලා දැම්මා.”—උත්. 7:23.

අධර්මිෂ්ඨයි කියලා යෙහෝවා විනිශ්චය කරපු අය ගැන අපේ ප්‍රකාශනවල කතා කරලා තියෙනවා. ඒ වගේ අයට නැවත නැඟිටීමක් නැහැ කියලයි අපි කලින් කිව්වේ. අධර්මිෂ්ඨ අයට විරුද්ධව යෙහෝවා දෙවියන් දීපු විනිශ්චයන් ගැන බයිබලේ තියෙනවා. උදාහරණෙකට යෙහෝවා ජලගැල්මක් ගෙනල්ලා නෝවාවයි, එයාගේ පවුලේ අයවයි ඇරෙන්න අනිත් හැමෝවම විනාශ කළා. පොරොන්දු දේශයේ හිටපු ජාතීන් හතක් ඊශ්‍රායෙල්වරු මාර්ගයෙන් විනාශ කළා. ඇසිරියානු හමුදාවේ 1,85,000ක්ව දේවදූතයෙක් මාර්ගයෙන් එක රැයෙන් මැරුවා. (ද්වි. 7:1-3; යෙසා. 37:36, 37) විනාශ වුණ ඒ කාටවත් නැවත නැඟිටීමක් නැහැ කියලා යෙහෝවා තීන්දු කළාද? ඒ ගැන ඉඟියක්වත් බයිබලේ තියෙනවාද? නැහැ. ඒ අවස්ථාවලදී විනාශ වුණ එක එක පුද්ගලයා ගැන යෙහෝවා ගත්ත තීරණේ අපි දන්නේ නැහැ. විනාශ වුණ ඒ අයට දෙවියන් ගැන ඉගෙනගන්න, පසුතැවෙන්න අවස්ථාවක් හම්බ වුණාද කියලත් අපි දන්නේ නැහැ. w24.05 3 5-7¶

ජනවාරි 8, බ්‍රහස්පතින්දා

“යහපත් දේවල් කරලා නපුරු දේවල් පරාජය කරන්න.”—රෝම 12:21.

යේසුස් සැරයක් අසාධාරණයක් වුණ වැන්දඹුවක් ගැන උදාහරණයක් කිව්වා. ඒ කාලේ අසාධාරණකම් හැම තැනම පැතිරිලා තිබුණ නිසා ඒ වැන්දඹුවට දැනුණ විදිහ ගෝලයන්ට හොඳටම තේරෙන්න ඇති. (ලූක් 18:1-5) ඒ වැන්දඹුවට දැනුණ විදිහ අපිටත් හොඳටම තේරෙනවා. මොකද අපිත් අසාධාරණකම්වලට ඕන හැටියේ මූණ දීලා ඇති. අනිත් අයව පහත් කරන, කෑදර විදිහට වැඩ කරන අයගෙන් අද ලෝකේ පිරිලා. ඒ නිසා අපිට අසාධාරණයක් වුණත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. (දේශ. 5:8) හැබැයි සභාවේ කෙනෙක් අතින් අපිට අසාධාරණයක් වෙද්දී ඒක අපිට දරාගන්න ලේසි නැහැ. ඇත්ත, එයාලා අපේ විරුද්ධවාදීන් වගේ හිතාමතාම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. උරුම වෙලා තියෙන පාපය නිසා ඒ වගේ දෙයක් එයලා අතින් වෙන්න පුළුවන්. යේසුස් විරුද්ධවාදීන්ගෙන් ආපු අසාධාරණකම්වලට මූණ දුන්නා. ඔහු වැඩ කරපු විදිහෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. විරුද්ධවාදීන් අපිට කරන අසාධාරණකම් අපි ඉවසනවා නම් අපේම සහෝදර සහෝදරියන් අපිට අසාධාරණයක් කරද්දී අපි ඒවා ඊට වඩා කොච්චර ඉවසන්න ඕනෙද? w24.11 2 1-2¶

ජනවාරි 9, සිකුරාදා

“මේ අයට කන්න දෙන්න අපි රොටි ගන්නේ කොහෙන්ද?”—යොහ. 6:5.

රොටි කියන්නේ අතීතයේ හිටපු අයගේ ප්‍රධාන කෑමක්. (උත්. 14:18; ලූක් 4:4) කොච්චරද කියනවා නම් බයිබලේ කෑම කියලා පරිවර්තනය කරලා තියෙන සමහර තැන්වල මුල් භාෂාවේ තියෙන්නේ “රොටි” කියලා. (මතෙ. 6:11) යේසුස් කරපු ආශ්චර්යයන්වලින් දෙකක්ම රොටිවලට සම්බන්ධ ඒවා. (මතෙ. 16:9, 10) ඒ එක සිද්ධියක් යොහන් 6වෙනි පරිච්ඡේදයේ තියෙනවා. යේසුස්ගේ නියෝජිතයෝ සේවේ ගිහින් මහන්සි වෙලයි ඇවිත් හිටියේ. ඒ නිසා යේසුස් එයාලව බෝට්ටුවකින් ගලීල මුහුද හරහා බෙත්සයිදාවල පාළු තැනකට එක්ක ගියා. (මාක් 6:7, 30-32; ලූක් 9:10) හැබැයි වැඩි වෙලාවක් යන්න කලින් දහස් ගාණක් මිනිස්සු එතනට එන්න පටන්ගත්තා. යේසුස් එයාලව මඟහරිනවා වෙනුවට කාලේ අරන් එයාලට දේවරාජ්‍යය ගැන කියලා දුන්නා. අසනීප අයව සුව කළා. හවස් වේගෙන එද්දී ගෝලයෝ කල්පනා කළා ‘මේ මිනිස්සු කන්නේ මොනවාද’ කියලා. සමහර අය ගාව කන්න පොඩි දෙයක් තියෙන්න ඇති. ඒත් හුඟක් අයට කෑම හොයාගෙන අවට ගම්වලට යන්න වෙනවා.—මතෙ. 14:15. w24.12 2 1-2¶

ජනවාරි 10, සෙනසුරාදා

“දෙවියන් දෙන තෑග්ග සදාකාල ජීවනයයි. ඒ තෑග්ග ලැබෙන්නේ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්.”—රෝම 6:23.

ආදම් සහ ඒව පරිපූර්ණ අය. ඒගොල්ලෝ ජීවත් වුණේ හරිම ලස්සන උයනක. (උත්. 1:27; 2:7-9) ඒගොල්ලන්ට මේ පොළොවේ සතුටින් හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව තිබුණා. හැබැයි හැම දේම වෙනස් වුණා. එයාලාගේ නිවහන වුණ ලස්සන උයන එයාලට නැති වුණා. සදාකල් ජීවත් වෙන අවස්ථාවත් නැති වුණා. බයිබලේ මෙහෙම කියනවා. “එක මිනිසෙක් නිසා ලෝකෙට පව්කාරකම ඇතුල් වුණා. ඒ පව්කාරකමේ ප්‍රතිඵලය මරණයයි. මරණය හැමෝටම උරුම වුණා. මොකද හැමෝම වැරදි කළා.” (රෝම 5:12) ආදම් එයාගේ දරුවන්ට දීපු උරුමය පව්කාරකම. ඒකේ ප්‍රතිඵලය මරණය. අපිට උරුම වුණ මේ පව්කාරකම හරියට ලොකු ණයක් වගේ. ඒක කවදාවත් ගෙවලා ඉවර කරන්න පුළුවන් එකක් නම් නෙවෙයි. (ගීතා. 49:8) යේසුස් අපේ පව් ‘ණයකට’ සමාන කළා. (මතෙ. 6:12, පාදසටහන; ලූක් 11:4) අපි වැරදි කරද්දී ඒක හරියට අපි යෙහෝවාට ණය වෙනවා වගේ. කාගෙවත් උදව් නැතුව අපිට තනියෙන් ඒ ණය ගෙවලා ඉවර කරන්න බැහැ. ඒ ණය අහෝසි වෙන්නේ අපි මැරුණාම විතරයි.—රෝම 6:7. w25.02 2-3 2-3¶

ජනවාරි 11, ඉරිදා

“ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා.”—යොහ. 17:26.

ශුභාරංචිය කියන්න ලැබුණ අවස්ථාව ඇත්තටම අපිට ගෞරවයක්. මොකද ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. යේසුස් මේ පොළොවේ ඉද්දී භූතයෝ ඔහු ගැන සාක්ෂි දරන්න හැදුවා. හැබැයි ඔහු ඒකට ඉඩ දුන්නේ නැහැ. (ලූක් 4:41) අදත් දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වෙලා සේවේ යන්න නම් කෙනෙක්ට සුදුසුකම් තියෙන්න ඕනේ. ඕනම වෙලාවක ඕනම තැනක සාක්ෂි දරන එකෙන් අපි පෙන්නනවා මේ සේවේ භාර දීලා යෙහෝවා අපිට පෙන්නපු ගෞරවය අපි ගොඩක් අගය කරනවා කියලා. අපිට ඕනෙ යේසුස් වගේ පුළුවන් තරම් දෙනෙක්ගේ හදවත්වල සත්‍යය කියන බීජය පැළ කරලා ඒකට වතුර දාන්න. (මතෙ. 13:3, 23; 1 කොරි. 3:6) සංවිධානයත් යේසුස් වගේම දෙවියන්ගේ නම දැනුම් දෙන්න හැම දේම කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය.’ මුල් ලියවිලිවල දෙවියන්ගේ නම තිබුණ හැම තැනකම ඒ පරිවර්තනයෙත් නම තියෙනවා. ඒ පරිවර්තනය සම්පූර්ණෙන්ම හරි කොටස් විදිහට හරි භාෂා 270කට වඩා වැඩි ගාණකින් දැන් කියවන්න පුළුවන්. w24.04 9 8-9¶

ජනවාරි 12, සඳුදා

“එයාගේ සැමියා නැඟිටලා එයාට ප්‍රශංසා කරනවා.”—හිතෝ. 31:28.

සතුටින් විවාහ ජීවිතේ ගත කරන සහෝදරයන් හැම දවසකම වගේ එයාලාගේ ආදරේ බිරිඳට පෙන්නන්න මොනවා හරි දෙයක් කරනවා. (1 යොහ. 3:18) බිරිඳගේ අතින් අල්ලන එක, එයාව ආදරෙන් වැලඳගන්න එක වගේ පොඩි පොඩි විදිවලිනුත් සැමියෙක්ට පුළුවන් බිරිඳ ගැන එයාට කොච්චර සෙනෙහසක් තියෙනවාද කියලා පෙන්නන්න. සැමියෙක්ට පුළුවන් මෙසේජ් එකකින් “ඔයා නැතුව පාළුයි,” “ඔයාගේ දවස කොහොමද” වගේ දේවල් බිරිඳට කියන්න. කාලෙන් කාලෙට බිරිඳට කොච්චර ආදරෙයිද කියලා ලියලා පොඩි කාඩ් එකක්, ලියුමක් දෙන්න. ඒ වගේ දේවලින් සැමියෙක් පෙන්නනවා එයා බිරිඳට ගෞරව කරනවා කියලා. ඒකෙන් විවාහ බැඳීමත් තව ශක්තිමත් වෙනවා. බිරිඳට ගෞරවයෙන් සලකන සැමියෙක් බිරිඳට තමන් ගැනම හොඳ හැඟීමක් ඇති වෙන විදිහට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් විදිහක් තමයි බිරිඳ එයා වෙනුවෙන් කරන හැම දෙයක්ම එයා අගය කරනවා කියලා කියන එක. (කොලො. 3:15) සැමියෙක් බිරිඳව අවංකව අගය කරද්දී බිරිඳගේ හිතට ලොකු සතුටක් වගේම ආරක්ෂාවක්, ආදරයක්, ගෞරවයක් දැනෙනවා. w25.01 11 15¶; 13 16¶

ජනවාරි 13, අඟහරුවාදා

‘යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්. ඔබ යන්න ඕනෙ පාර ඔබට පෙන්නලා දෙන්නේ මමයි.’—යෙසා. 48:17.

15වෙනි ගීතිකාව ඉවර වෙන්නේ මේ පොරොන්දුවත් එක්ක. ‘ඒ වගේ කෙනෙක් කවදාවත් වැටෙන්නේ නැහැ.’ ඒ ගීතිකාවේ තියෙන හැම දෙයක්ම අපි කරයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙන හේතුව ඒකෙන් තේරෙනවා. ඔහුට ඕනෙ අපි සතුටින් ඉන්නවා දකින්න. දෙවියන් අපිට කියන දේවල් අපි කරද්දී අපේ ජීවිත සාර්ථක වෙනවා. ඔහු අපිව ආරක්ෂා කරනවා. යෙහෝවාගේ කූඩාරමේ ඉන්න අය ඉස්සරහා තියෙන්නේ හරිම ලස්සන අනාගතයක්. විශ්වාසවන්ත අභිෂේක ලත් අයට ස්වර්ගයේ යේසුස් එයාලා වෙනුවෙන් ‘සූදානම් කරපු ස්ථානවල’ ඉන්න ලැබෙනවා. (යොහ. 14:2) පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එළිදරව් 21:3 තියෙන පොරොන්දුව අද්දකින්න ලැබෙනවා. යෙහෝවාගේ කූඩාරමට ඇතුල් වෙලා ඔහුගේ යාළුවෙක් විදිහට සදහටම ඉන්න ලැබෙන එක ලොකු ගෞරවයක් නෙවෙයිද?—ගීතා. 15:1-5. w24.06 13 19-20¶

ජනවාරි 14, බදාදා

“යෙහෝවාගේ නමට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න.”—ගීතා. 96:8.

යෙහෝවා ගොඩක් “තේජවත්” දෙවි කෙනෙක් කියලා බයිබලේ පෙන්නලා තියෙනවා. ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් බේරගෙන දවස් කීපයකට පස්සේ ඔහු ඔහුගේ තේජස ඊශ්‍රායෙල්වරුන්ට පෙන්නුවා. මේ සිද්ධිය හිතින් මවාගන්න. දැන් මිලියන ගාණක් ඊශ්‍රායෙල්වරු දෙවියන් කියන දේ අහන්න සීනයි කන්ද පාමුල රැස් වෙලයි ඉන්නේ. එකපාරටම කන්ද අඳුරු වලාවකින් වැහිලා යනවා. පොළොව දෙදරන්න පටන්ගන්නවා. ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටනවා. හයියෙන් හොරණෑවක් පිඹින සද්දයකුත් ඇහෙනවා. (නික්. 19:16-18; 24:17; ගීතා. 68:8) ඒ දේවල් දකිද්දී යෙහෝවා කොච්චර ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියලා ඊශ්‍රායෙල්වරුන්ට තේරෙන්න ඇති. අද අපි යෙහෝවා කරලා තියෙන ශ්‍රේෂ්ඨ දේවල් ගැන, ඔහුගේ ලස්සන ගුණාංග ගැන අනිත් අයට කියද්දීත් යෙහෝවාගේ උදව්වෙන් අපි කරන දේවලට ඔහුට ප්‍රශංසා කරද්දීත් අපි කරන්නේ ඔහුව ගෞරවයට පත් කරන එකයි.—යෙසා. 26:12. w25.01 2 2-3¶

ජනවාරි 15, බ්‍රහස්පතින්දා

‘මාව එව්වේ යෙහෝවා.’—ගණන්. 16:28.

දවසක් පොරොන්දු දේශයට යන අතරතුර ඊශ්‍රායෙල්වරු අතර හිටපු අධිපතීන් පිරිසක් මෝසෙස්ටයි, යෙහෝවා එයාට දීපු අධිකාරියටයි විරුද්ධව කැරලිගැහුවා. එයාලා කිව්වා “මේ මුළු සෙනඟම සිටින්නේ ශුද්ධ තත්වයකයි. යෙහෝවා දෙවිත් ඔවුන් අතරේ සිටිනවා” කියලා. (ගණන්. 16:1-3) එයාලා කියපු දේ ඇත්ත. යෙහෝවා ඉස්සරහා ‘එයාලා හැමෝම’ හිටියේ ශුද්ධ තත්වයක තමයි. හැබැයි සෙනඟට මඟ පෙන්නන්න එයාලා අතරින් යෙහෝවා පත් කළේ මෝසෙස්ව. එයාලා මෝසෙස්ට විරුද්ධව කැරලිගහලා කළේ යෙහෝවාට විරුද්ධව කැරලිගහන එකයි. එයාලා බැලුවේ යෙහෝවාට ඕනෙ මොනවාද කියලා නෙවෙයි එයාලට ඕනෙ මොනවාද කියලයි. ඇත්තටම එයාලට ඕනෙ වුණේ අනිත් අය අතරේ කැපිලා පේන්න, තව බලය ලබාගන්න. හැබැයි අන්තිමේදී මේ කැරලිකරුවන්වයි, එයාලට සහයෝගය දීපු දහස් ගාණක්වයි යෙහෝවා විනාශ කළා. (ගණන්. 16:30-35, 41, 49) මොකක්ද පාඩම? අදත් සංවිධානයෙන් ඇති කරලා තියෙන සැලසුම් අපි පිළිගන්නේ නැත්නම් යෙහෝවා අපිවත් පිළිගන්නේ නැහැ. w24.07 11 11¶

ජනවාරි 16, සිකුරාදා

“දර්ශනය ඉටු වෙන්න නියමිත කාලයක් තියෙනවා.”—හබ. 2:3.

මේ සමාජය ළඟදීම අවසන් වෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරන්නේ නැහැ. ඒක විශ්වාස කරන අපිටත් එයාලා හිනා වෙනවා. (2 පේතෘ. 3:3, 4) අපි තාමත් දන්නේ නැති ගොඩක් දේවල් තිබුණත් යෙහෝවා තීරණේ කරලා තියෙන දවසටම මේ සමාජ ක්‍රමය අවසන් වෙනවා කියලත් ඒ කාලේදී ඔහු අපිව බලාගනියි කියලත් අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. යෙහෝවා අද අපිට මඟ පෙන්වීම් දෙන්න පාවිච්චි කරන “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” ගැනත් අපිට ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (මතෙ. 24:45) මහත් පීඩාව කාලේදී අපිට මඟ පෙන්වීම් ලැබෙයි. අපේ ජීවිත ගලවගන්න ඒවා උදව් වෙයි. ඒ නිසා පෙරමුණ ගන්න අය දෙන මඟ පෙන්වීම් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න දැන් තමයි කාලේ. එයාලා දැන් දෙන මඟ පෙන්වීම් ගැන අපිට විශ්වාසයක් නැත්නම් මහත් පීඩාව කාලේදී දෙන මඟ පෙන්වීම් විශ්වාස කරන්න අපිට අමාරු වෙයි. w24.09 11 11-12¶

ජනවාරි 17, සෙනසුරාදා

‘දෙවියන් ඔයාලාගෙන් බලාපොරොත්තු වෙන දේ කිසිම සැකයක් නැතුව තේරුම්ගන්න. දෙවියන් බලාපොරොත්තු වෙන දේ කරද්දී ඔහුව සතුටු කරන්න පුළුවන්. ඔහු බලාපොරොත්තු වෙන දේ යහපත්. ඒකේ කිසිම අඩුවක් නැහැ.’—රෝම 12:2.

දෙමාපියෙනි, ඔයාලට යෙහෝවා ගැන විශ්වාසයක් තිබ්බ පලියට ඒක ඉබේම දරුවාට එයි කියලා හිතන්න එපා. ඒ නිසා දරුවෙක් කාලෙන් කාලෙට මේ වගේ ප්‍රශ්න අහයි. ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා කොහොමද දන්නේ? බයිබලේ තියෙන හැම දේම ෂුවර්ද?’ බයිබලේ අපිට කියන්නේ ‘හිතලා දේවල් කරන්න තියෙන හැකියාව’ පාවිච්චි කරලා ‘හැම දෙයක්ම හොඳට හොයලා බලලා හරි දේ සහතික කරගන්න’ කියලා. (රෝම 12:1; 1 තෙස. 5:21) ඉතින් ඒක කරන්න දරුවාට උදව් කරන්නේ කොහොමද? බයිබලේ තියෙන දේවල් සත්‍යයයි කියලා තහවුරු කරගන්න දරුවාට උනන්දු කරන්න. දරුවා ප්‍රශ්නයක් අහද්දී ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත පාවිච්චි කරලා උත්තරේ හොයාගන්න විදිහ එයාට පෙන්නන්න. ඒකේ “බයිබලය” කියන මාතෘකාව යටතේ “ලියවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන්” කියලා කොටසක් තියෙනවා. ඒකේ තොරතුරු බැලුවොත් දරුවාට පුළුවන් බයිබලේ නිකම්ම මිනිස්සු ලියපු පොතක් නෙවෙයි, ඒක දෙවියන්ගෙන්ම ලැබුණ පොතක් කියන්න තියෙන සාක්ෂි හොයාගන්න.—1 තෙස. 2:13. w24.12 14-15 4-5¶

ජනවාරි 18, ඉරිදා

“ඒ දේවල් විශ්වාසවන්ත පුරුෂයන්ට උගන්වන්න. එතකොට අනිත් අයට උගන්වන්න ඕනෙ කරන සුදුසුකම් ලබාගන්න ඒ අයට පුළුවන් වෙයි.”—2 තිමෝ. 2:2.

යේසුස්ව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? වැඩිමහල්ලන් සහෝදරයන්ව පුහුණු කරන්න ඕනේ. යෞවන වයසේ අයටත් සභාවේ වැඩ කරට අරන් කරන්න උගන්නන්න ඕනේ. හැබැයි එයාලා හැම දේම හරියටම කරයි කියලා වැඩිමහල්ලන් බලාපොරොත්තු වෙන්න නරකයි. ඒ වෙනුවට ආදරෙන් එයාලට අවශ්‍ය උපදෙස් දෙන්න. එතකොට එයාලා තේරුම්ගනියි නිහතමානී වෙන එක, විශ්වාසවන්තව වැඩ කරන එක, අනිත් අයට කැමැත්තෙන්ම උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා. (1 තිමෝ. 3:1; 1 පේතෘ. 5:5) යේසුස් ගෝලයන්ට භාර දුන්නේ දේශනා කරන වැඩේ විතරක් නෙවෙයි. අනිත් අයට උගන්නන වැඩෙත් ඔහු එයාලට දුන්නා. ගෝලයන්ට හිතෙන්න ඇති ඒ වගේ දෙයක් කරන්න එයාලට සුදුසුකම් නැහැ කියලා. හැබැයි යේසුස්ට එයාලා ගැන විශ්වාසයක් තිබ්බා. එයාලා ඒක හරියටම කරයි කියලා ඔහු දැනන් හිටියා. ඒකයි ඔහු එයාලට කිව්වේ “පියාණන් මාව එවූ ආකාරයටම මමත් ඔබව යවනවා” කියලා.—යොහ. 20:21. w24.10 16 15¶; 17 17¶

ජනවාරි 19, සඳුදා

‘දාවිත් මගේ හිත සතුටු කරන කෙනෙක්.’—ක්‍රියා 13:22.

දාවිත් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. එයා සංගීතඥයෙක්, කවියෙක්, රණශූරයෙක් සහ අනාගතවක්තෘවරයෙක්. එයා ජීවිතේ ගොඩක් ප්‍රශ්නවලට මූණ දුන්නා. ඉරිසියාවෙන් පැළුණු සාවුල් රජගෙන් පලා ගිහින් එයා අවුරුදු ගාණක් තැනින් තැන ජීවත් වුණා. රජ වුණාට පස්සෙත් එයාගේ පුතා අබ්සලොම් රජකම පැහැරගන්න ගිය නිසා ජීවිතේ බේරගන්න එයාට ආයෙත් පලා යන්න වුණා. ජීවිතේ හැලහැප්පීම්වලට මූණ දුන්නත් එයා අතින් බරපතළ වැරදි වුණත් දාවිත් අවසන් හුස්ම හෙළන කල්ම යෙහෝවාව අත්හැරියේ නැහැ. ඒකයි යෙහෝවා කිව්වේ දාවිත් “මගේ හිත සතුටු කරන කෙනෙක්” කියලා. ඒ නිසා දාවිත් කියපු දේවල්වලට අපි ඇහුම්කන් දෙන එක වටිනවා. (1 රාජා. 15:5) උදාහරණෙකට තමන්ගේ පුතා සහ ඊළඟ රජ වන සලමොන්ට දාවිත් කියපුවා බලන්න. යෙහෝවාට නමස්කාර කරන්න දේවමාලිගාවක් හදන්න යෙහෝවා තෝරගත්තේ සලමොන්ව. (1 ලේක. 22:5) ඒ නිසා සලමොන් ඉස්සරහා ගොඩක් අභියෝග තිබ්බා. දාවිත් සලමොන්ට කිව්වා යෙහෝවාට කීකරු වුණොත් එයාගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා.—1 රාජා. 2:2, 3. w24.11 10 9-11¶

ජනවාරි 20, අඟහරුවාදා

“ඔබේ ජීවිතය යෙහෝවාට භාර දෙන්න. ඔහු මත රඳා ඉන්න. ඔහු ඔබ වෙනුවෙන් අවශ්‍ය පියවර ගනියි.”—ගීතා. 37:5.

වචනවලින්, අතින් පයින් බිරිඳව රිද්දන පුරුෂයෙක් යෙහෝවා එක්කයි, බිරිඳ එක්කයි බිඳුණු බැඳීම ආයේ ඇති කරගන්න පියවර කීපයක්ම ගන්න ඕනේ. (1) හදාගන්න ඕන පැත්තක් තියෙනවා කියලා එයා තේරුම්ගන්න ඕනේ. එයාට බැහැ කිසිම දෙයක් යෙහෝවාගෙන් හංගන්න. (ගීතා. 44:21; දේශ. 12:14; හෙබ්‍රෙ. 4:13) (2) බිරිඳට නපුරු විදිහට සලකන එක නවත්තලා වෙනස් වෙන්න ඕනේ. (හිතෝ. 28:13) (3) බිරිඳගෙනුයි, යෙහෝවාගෙනුයි සමාව ගන්න ඕනේ. (ක්‍රියා 3:19) එයා හිතන, කතාබහ කරන, වැඩ කරන විදිහ වෙනස් කරගන්න ආසාවක් ඇති කරන්න කියලත් ඒක කරන්න උදව් කරන්න කියලත් යෙහෝවාට කන්නලව් කරන්න ඕනේ. (ගීතා. 51:10-12; 2 කොරි. 10:5; ෆිලි. 2:13) (4) ඕනම විදිහක ප්‍රචණ්ඩකාරී දේකින් සහ නපුරු කතාබහෙන් ඈත් වෙලා එයාගේ යාච්ඤාවලට එකඟව වැඩ කරන්න ඕනේ. (ගීතා. 97:10) (5) ඉක්මනින්ම වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න ඕනේ. (යාකො. 5:14-16) (6) කලින් කරපු වරදට ආයේ වැටෙන්නේ නැතුව ඉන්න මොන වගේ දේවලින්ද වළකින්න ඕනෙ කියලා හිතලා ඒකට අහු නොවී ඉන්න සැලසුම් කරන්න ඕනේ. w25.01 11 14¶

ජනවාරි 21, බදාදා

“ඔයා තවත් පරක්කු කරන්නේ ඇයි? නැඟිටලා බව්තීස්ම වෙන්න.”—ක්‍රියා 22:16.

ඔයාට ජීවිතේ දීපු, හැම හොඳ තෑග්ගක්ම දීපු යෙහෝවාට ඔයා ආදරෙයිද? හිතේ තියෙන ඒ ආදරේ ඔහුට පෙන්නන්න ඔයාට ඕනද? ඒක කරන්න තියෙන හොඳම විදිහ තමයි ඔයාගේ ජීවිතේ ඔහුට කැප කරලා බව්තීස්ම වෙන එක. ඔයා ඒ පියවරවල් ගද්දී ඔයා යෙහෝවාගේ පවුලේ කෙනෙක් වෙනවා. ඔයා යෙහෝවාට අයිති කෙනෙක් වෙන නිසා ආදරණීය තාත්තා විදිහට, ඔයාගේ යාළුවා විදිහට ඔහු ඔයාට මඟ පෙන්නයි. ඔයාව බලාගනියි. (ගීතා. 73:24; යෙසා. 43:1, 2) ඒ වගේම ඔයාට සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුවත් ලැබෙනවා. ( පේතෘ. 3:21) බව්තීස්මය කල් දාන්න ඔයාටත් මොකක් හරි හේතුවක් තියෙනවාද? එහෙම දැනුණ එකම කෙනා ඔයා නෙවෙයි. ඇත්තටම මිලියන ගාණකට බව්තීස්ම වෙන්න ඕන කරන සුදුසුකම් ලබාගන්න එයාලාගේ හැසිරීම, හිතන විදිහ වෙනස් කරගන්න වුණා. ඒත් දැන් එයාලා සතුටින්, උද්‍යෝගයෙන් යෙහෝවාට සේවේ කරනවා. w25.03 2 1-2¶

ජනවාරි 22, බ්‍රහස්පතින්දා

“ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.”—ගීතා. 130:4.

බයිබලේ අපේ පාප ලොකු බරකට සමාන කරලා තියෙනවා. දාවිත් මෙහෙම කිව්වා. “මං කරපු වැරදි ගොඩගැහුවොත් ඒවා මගේ හිසටත් ඉහළින් තියෙයි. ඒවා මං පිට පටවලා තියෙන ලොකු බරක් වගේ. මට ඒ බර දරාගන්න බැහැ.” (ගීතා. 38:4) ඒත් කෙනෙක් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවා එයාට සමාව දෙනවා. (ගීතා. 25:18; 32:5) “සමාව දෙනවා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනේ අදහස “උස්සනවා, උස්සලා අයින් කරනවා” කියන එකයි. කරේ තියාගෙන යන බරක් ශක්තිමත් කෙනෙක් ඇවිත් අයින් කරනවා වගේ යෙහෝවාත් අපි උස්සන් යන පාප අපෙන් අයින් කරනවා. ගීතාවලිය 103:12 කියනවා “බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ ඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා” කියලා. බස්නාහිර ඉන්න කෙනෙක්ට ඈතින්ම තියෙන තැන තමයි නැඟෙනහිර. කවදාවත් ඒ දෙක එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යෙහෝවා අපේ වැරදි අපෙන් හිතාගන්න බැරි තරම් දුරකට ගෙනියනවා. ඇත්තටම ඔහු සමාව දෙන විදිහ කොයි තරම් ශ්‍රේෂ්ඨද! w25.02 9 5-6¶

ජනවාරි 23, සිකුරාදා

‘ඔයාලා දුප්පත් අයට දෙයක් දෙද්දී ඒ ගැන අඬ බෙර ගහන්න එපා.’—මතෙ. 6:2.

යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ පේතෘස් උපතින්ම කොර වෙලා හිටපු මනුස්සයෙක්ව ආශ්චර්යවත් විදිහට සුව කළා. (ක්‍රියා 1:8, 9; 3:2, 6-8) ඒක දැක්කාම සෙනඟ පේතෘස්ව වට කරගත්තා. (ක්‍රියා 3:11) අනිත් අයගේ ගෞරවේ, පිළිගැනීම ලබන්න කැමති මිනිස්සු හිටපු සංස්කෘතියකින් පේතෘස් ආවත් මේ වෙලාවේ එයා ගෞරවේ එයාට ගත්තේ නැහැ. පේතෘස් නිහතමානීව හැම ප්‍රශංසාවක්ම යෙහෝවාටයි, යේසුස්ටයි දුන්නා. එයා මෙහෙම කිව්වා. ‘යේසුස්ගේ නමින් තමයි අපි මේ මිනිසාව සුව කළේ. ඔහුගේ නම ගැන අපි විශ්වාසය තිබ්බ නිසයි අපිට එහෙම කරන්න පුළුවන් වුණේ.’ (ක්‍රියා 3:12-16) පේතෘස් වගේ අපිටත් දිගටම නිහතමානී වෙන්න උත්සාහ කරන්න පුළුවන්. අපි අනිත් අය වෙනුවෙන් හොඳ දේවල් කරන්නේ යෙහෝවාටයි, එයාලටයි ආදරේ නිසයි. නැතුව ප්‍රශංසාව ඕන නිසා නෙවෙයි. අපි කරන දේවල් අනිත් අය දැක්කත් නැතත් අපි යෙහෝවා වෙනුවෙනුයි, සහෝදරයන් වෙනුවෙනුයි සතුටින්, පුළුවන් හැම විදිහකින්ම සේවේ කරනවා නම් අපි නිහතමානී අය කියලා කියන්න පුළුවන්.—මතෙ. 6:1-4. w25.03 10-11 11-12¶

ජනවාරි 24, සෙනසුරාදා

“නිතරම ඔයා ගැනත් ඔයා උගන්වන දේ ගැනත් හොඳ අවධානයකින් ඉන්න.”—1 තිමෝ. 4:16.

අපේ හිතේ යෙහෝවාටයි, අසල්වැසියාටයි තියෙන ආදරේ ගැන හිතන එක සේවේ උද්‍යෝගය වැඩි කරගන්න උදව් වෙනවා. (මතෙ. 22:37-39) අපි සේවේ කරද්දී යෙහෝවාට කොච්චර සතුටක් දැනෙනවාද! කෙනෙක් බයිබලේ ඉගෙනගද්දී ඒ කෙනාට කොච්චර සතුටක් දැනෙනවාද! අපේ පණිවිඩේ පිළි අරන් යෙහෝවාට සේවේ කරන්න තීරණේ කරන කෙනෙක්ට ලැබෙන්නේ සදාකාල ජීවිතේ. ඒ ගැනත් හිතන්න. (යොහ. 6:40) ඔයා ඉන්නේ ගෙදරටම කොටු වෙලාද? එහෙමනම් ඔයා දැන් ඉන්න තත්වේ මැද වුණත් යෙහෝවාටයි, අනිත් අයටයි ආදරේ පෙන්නන්න පුළුවන් විදි හිතන්න. කොරෝනා කාලේ සැමුවෙලුයි, ඩානියායි ගෙදරටම කොටු වුණා. ඒත් එයාලා සේවේ නැවැත්තුවේ නැහැ. එයාලා ටෙලිෆෝන් එකෙන් සාක්ෂි දරුවා, ලියුම් ලිව්වා, සූම් එකෙන් බයිබල් පාඩම් කළා. සැමුවෙල්ටයි, ඩානියාටයි කරන්න පුළුවන් ප්‍රමාණය කලින්ට වඩා අඩු වුණත් එයාලා එයාලාගේ උපරිමේ කළා. ඒ නිසා එයාලාගේ සතුට නැති වුණේ නැහැ. w24.04 18 15-16¶

ජනවාරි 25, ඉරිදා

“හොඳ බිරිඳක් හොයාගන්න පුළුවන් කාටද? එයා කොරල්වලටත් වඩා හුඟක් වටිනවා.”—හිතෝ. 31:10.

විවාහය කියන්නේ සතුටින් ඉන්න අත්‍යවශ්‍යම දෙයක් නොවුණාට හුඟක් තරුණ අය, තරුණ වයස පහු කරපු අය බඳින්න ආසයි. හැබැයි ඔයා කෙනෙක් එක්ක යාළු වෙන්න කලින් වියහියදම් පාලනය කරන්න ඉගෙනගන්න ඕනේ. ඔයාට දෙවියන් එක්ක හොඳ බැඳීමකුත් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා ඔයාවම හොඳට තේරුම් අරන් ඉන්නත් ඕනේ. (1 කොරි. 7:36) යාළු වෙන්න කලින් ඔයා හොයන්නේ මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්වද කියලා හොඳට හිතන්න. එහෙම නැති වුණොත් ගැළපෙන කෙනා ඇස් ඉස්සරහම හිටියත් ඔයාට එයාව පේන එකක් නැහැ. නැත්නම් ගැළපෙන්නේ නැති කෙනෙක් එක්ක ඔයා යාළු වෙයි. ඔයා බඳින කෙනා අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙලා ඉන්න ඕනේ. (1 කොරි. 7:39) හැබැයි කෙනෙක් බව්තීස්ම වුණ පළියට එයා ඔයාට හරියනම කෙනා කියලා කියන්න බැහැ. ඒ නිසා මෙහෙම හිතන්න. ‘මගේ ඉලක්ක මොනවාද? මං මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්වද හොයන්නේ? මං බලාපොරොත්තු වෙන දේවල් සාධාරණද?’ w24.05 20 1¶; 21 3¶

ජනවාරි 26, සඳුදා

“අනිත් අයට කරුණාවන්තව සලකන්න.”—එෆී. 4:32.

එකඟ නොවෙන තැන් එද්දී යාළු වෙලා ඉන්න දෙන්නෙක්ට වැඩ කරන්න පුළුවන් කොහොමද? ඉඳලා හිටලා එකඟ නොවීම් ඇති වෙනවා කියන්නේ “මේක නං හරියන්නේ නෑ” කියන එක නෙවෙයි. ඕනම දෙන්නෙක් අතරේ ප්‍රශ්න, එකඟ නොවීම් ඇති වෙනවා. ශක්තිමත් විවාහ බැඳීමක් කියන්නේ දෙන්නා අතරේ වෙනස්කම් නැහැ කියන එක නෙවෙයි, කොච්චර හොඳට ඒවාට හැඩගැහෙන්න පුළුවන්ද කියන එකට. දැන් ඔයාලා ප්‍රශ්න විසඳගන්න විදිහෙන් පේනවා ඔයාලාගේ විවාහ ජීවිතේ සාර්ථක වෙයිද නැද්ද කියලා. ඒ නිසා මෙහෙම හිතන්න. ‘තරහ ගන්නේ නැතුව සන්සුන්ව අපිට දේවල් ගැන කතා කරන්න පුළුවන්ද? අඩුපාඩු පිළි අරන් ඒවා හදාගන්න අපි උත්සාහ කරනවාද? මං අනිත් කෙනාගේ අදහස්වලට ගරු කරනවාද? වැරැද්දක් වුණාම සමාව ඉල්ලනවාද? සමාව දෙනවාද?’ (එෆී. 4:31) හැබැයි ඔයාලා හැම තිස්සේම කැත්තට පොල්ල වගේ නම්? කතාවක් ඉවර වෙන්නේ වාදයකින් නම්? ‘බැන්දාට පස්සේ ඔව්වා හරි යයි’ කියලා හිතන්න එපා. එයා ඔයාට හරියන්නේ නැහැ කියලා හිතෙනවා නම් හොඳම දේ සම්බන්ධේ නතර කරන එක. ඒක දෙන්නාටම හොඳයි. w24.05 29 12¶

ජනවාරි 27, අඟහරුවාදා

‘මගේ පර්වතය වන යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා වේවා! මට සටන් කරන්න උගන්වන්නේ ඔහුයි.’—ගීතා. 144:1.

අපි නිතරම හරි දේ කරනවා නම්, තීරණ ගද්දී බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් හොඳ ආදර්ශයක් වෙන්න අපිට පුළුවන්. බයිබලේ අධ්‍යයනය කරලා විශ්වාසය වැඩි කරගද්දී යෙහෝවාටයි, ඔහුගේ ප්‍රමිතිවලටයි ඇලිලා ඉන්න අපිට පුළුවන්. අපි තීරණයක් ගන්න කලින් වැනෙන්නෙවත් තීරණයක් ගත්තාට පස්සේ දෙගිඩියාවෙන් ඉන්නෙවත් නැහැ. අපි බොරු ඉගැන්වීම්වලටයි, ලෝකේ අදහස්වලටයි අහු වෙලා ගහගෙන යන්නෙත් නැහැ. (එෆී. 4:14; යාකො. 1:6-8) ප්‍රශ්නවලට මූණ දෙන අයට උදව් කරන්නත් අපිට පුළුවන්. (1 තෙස. 3:2, 3) වැඩිමහල්ලනුත් සීමාව දැනගෙන වැඩ කරන, හොඳ සිහිකල්පනාවෙන් දේවල් කරන, පිළිවෙළකට, සාධාරණව වැඩ කරන අය වෙන්න ඕනේ. දුෂ්කරතා එද්දී සන්සුන්ව ඉන්න එයාලා සභාවේ අයට උදව් කරනවා. එයාලා ඒක කරන්නේ “සත්‍ය පණිවිඩයට” ඇලිලා ඉඳලා. (තීත. 1:9; 1 තිමෝ. 3:1-3) රැස්වීම් ගිහින්, සේවේ ගිහින්, පෞද්ගලික අධ්‍යයනය කරලා එයාලා සභාවේ අයට ආදර්ශයක් තියනවා. හිතපු නැති දේවල් වෙද්දී යෙහෝවාවයි, ඔහුගේ පොරොන්දුයි මනසේ තියාගන්න එයාලා උදව් කරනවා. w24.06 31 16-18¶

ජනවාරි 28, බදාදා

“පසුතැවිලි වෙන්න. මොකද ස්වර්ග රාජ්‍යය ළඟටම ඇවිත්.”—මතෙ. 4:17.

යෙහෝවා සමාව දෙන්න කොච්චර කැමතිද කියලා යේසුස් මිනිස්සුන්ට ඉගැන්නුවා. යේසුස් තාත්තා කෙනෙකුයි, පුතෙකුයි ගැන කතන්දරයක් කිව්වා. ඒ කතාවේ ඉන්න පුතා ගෙදරින් ගිහිල්ලා පහත් ජීවිතයක් ගත කරනවා. ඒත් ‘එයාට තේරුණාම එයා වැඩ කරලා තියෙන්නේ කොච්චර මෝඩ විදිහටද කියලා’ එයා ආපහු ගෙදර එනවා. ඊටපස්සේ වෙන දේ ගැන යේසුස් මෙහෙම කියනවා. “පුතා එනවා තාත්තා ඈත තියා දැක්කා. පුතාව දැක්කාම තාත්තාට දැනුණේ ලොකු අනුකම්පාවක්. ඉතින් එයා පුතා ගාවට දුවගෙන ගිහින් එයාව බදාගෙන ආදරෙන් ඉඹගත්තා.” පුතාට ඕන වුණේ ‘මං ඔයාගේ සේවකයෙක් විදිහට වැඩ කරන්නද’ කියලා තාත්තාගෙන් අහන්න. හැබැයි තාත්තා කියනවා ‘ඔයා මගේ පුතා. නැති වෙච්ච මගේ පුතාව මට ආයෙත් හම්බ වුණා’ කියලා. පස්සේ පුතාව පවුලට ආයෙත් ආදරෙන් පිළිගන්නවා. (ලූක් 15:11-32) යේසුස් ස්වර්ගයේ හිටපු කාලේ එයාගේ තාත්තා දයාවෙන් පෙලඹිලා පසුතැවිලි වෙන මිනිස්සුන්ට සමාව දෙන විදිහ ඕන තරම් දකින්න ඇති. ඇත්තටම අපේ දයාවන්ත තාත්තා ගැන යේසුස් අපේ හිතේ අඳින්නේ කොච්චර ලස්සන චිත්‍රයක්ද! w24.08 11 11-12¶

ජනවාරි 29, බ්‍රහස්පතින්දා

“හොඳ සිහිකල්පනාවෙන් ඉන්න.”—1 පේතෘ. 4:7.

සිහිකල්පනාවෙන් ඉන්න කෙනෙක් තීරණ ගන්න වෙද්දී ඒ ගැන යෙහෝවා හිතන්නේ මොකක්ද කියලා නිතරම හිතනවා. එයාට එයාගේ ජීවිතේ තියෙන වටිනාම දේ යෙහෝවාත් එක්ක තියෙන බැඳීමයි. එයා එයා ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. එයා තේරුම්ගන්නවා හැම දේම එයා දන්නේ නැහැ කියලා. එයා නිතරම යාච්ඤා කරලා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලනවා. ඒකෙන් පේනවා එයා රැඳිලා ඉන්නේ යෙහෝවා මත කියලා. සමහර දේවල් අපිට හරිම ලේසියෙන් කරගන්න පුළුවන් කියලා හිතුණත් අපි දිගටම යෙහෝවාට යාච්ඤා කරලා ඔහු මත රැඳිලා ඉන්න ඕනේ. විශේෂයෙන්ම අපිට වැදගත් තීරණ ගන්න වෙද්දී අපි ඔහුට යාච්ඤා කරලා ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න ඕනේ. මොකද අපිට හොඳම දේ දන්නේ යෙහෝවා කියලා අපිට විශ්වාසයි. යෙහෝවා ඔහුගේ ගුණාංග ආදර්ශයට ගන්න පුළුවන් විදිහට අපිව නිර්මාණය කරපු එක ගැන අපි ඔහුට කොච්චර ස්තුති කරන්න ඕනෙද! (උත්. 1:26) ඇත්ත, අපිට යෙහෝවාව 100%ක් ආදර්ශයට ගන්න බැහැ.—යෙසා. 55:9. w25.03 11 13¶; 13 17-18¶

ජනවාරි 30, සිකුරාදා

‘ආදරේ තියෙන කෙනෙක් බලාපොරොත්තු නැති කරගන්නේ නැහැ. එයා ඕනෙම දෙයක් සැලෙන්නේ නැතුව විඳදරාගන්නවා.’—1 කොරි. 13:7.

‘අනිත් අයට අගයක් නෑ’ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. කෙනෙක් අපි කරපු දේකට අගයක් පෙන්නුවේ නැත්නම් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. “ඇත්තටම එයාට මං කරපු දේ ගැන අගයක් නැද්ද? නැත්නම් එයාට ‘තැන්ක් යූ’ කියන්න අමතක වෙලාද?” අපි බලාපොරොත්තු වුණ විදිහට කෙනෙක් අපිට අගය පෙන්නන්නේ නැතුව ඉන්න තව ගොඩක් හේතු තියෙන්න පුළුවන්. සමහර අයට හිතේ ලොකු අගයක් තිබ්බත් ඒක වචනවලට පෙරළගන්න තේරෙන්නේ නැහැ. සමහරු කාලෙකට කලින් අනිත් අය වෙනුවෙන් හොඳට දීපු කරපු අය. දැන් එයාලට අනිත් අයගෙන් උදව් ලැබෙද්දී ඒක එයාලට හුරු නැතුව ඇති. හැබැයි අපි සහෝදර සහෝදරියන්ට ආදරේ නම් එයාලා ඒ කොහොම හිතුවත් අපි එයාලා වෙනුවෙන් දේවල් කරලා ඒකෙන් සතුටක් ලබනවා. (එෆී. 4:2) අනිත් අය ඉක්මනින්ම අගය පෙන්නයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. සලමොන් රජ කිව්වා “ඔබ කෑම ජලයෙහි පා කර යවන්නේ නම් දවස් ගණනාවකට පසු එය නැවතත් ඔබට ලැබෙයි” කියලා. (දේශ. 11:1) එතන කියන විදිහට සමහරු අපි කරපු දේට අගය පෙන්නන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. w24.09 30 18-19¶

ජනවාරි 31, සෙනසුරාදා

“පුරුද්දක් විදිහට වැරදි කරන අයව හැමෝම ඉස්සරහා නිවැරදි කරන්න. එතකොට ඒක අනිත් අයට අනතුරු ඇඟවීමක් වෙයි.”—1 තිමෝ. 5:20.

වැඩිමහල්ලන්ගේ කමිටුවකින් කෙනෙක්ට අවවාද කරලයි තියෙන්නේ කියලා සමහරවිට නිවේදනයක් දෙයි. එහෙම වෙලාවලදී අපි එයාත් එක්ක ආශ්‍රය කරන එක නතර කරන්නේ නැහැ. මොකද අපි දන්නවා එයා ඒ වැරැද්ද හදාගෙන පසුතැවිලි වෙලා ඉන්නේ කියලා. එයා තාමත් අපේ සභාවට අයිති කෙනෙක්. එයාට හරි දේ කරන්න අපේ දිරිගැන්වීම්, අපේ ආශ්‍රය ඕනේ. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වුණාට සභාවෙන් අයින් කරපු කෙනෙක් එක්ක අපි වැඩ කරන විදිහ ඊට වඩා වෙනස්. අපි එයාව ‘ආශ්‍රය කරන එක නතර කරනවා.’ අපි ‘ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නෙවත් නැහැ.’ (1 කොරි. 5:11) ඒ කියන්නේ අපි සභාවෙන් අයින් කරපු කෙනෙක්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියන එකද? නැහැ. ඇත්ත, අපි එයාත් එක්ක ආශ්‍රය කරන්නේ නැහැ. හැබැයි පුහුණු කරපු අපේ හෘද සාක්ෂියට අනුව අපි එක් එක් කෙනාට තීරණේ කරන්න පුළුවන් එහෙම කෙනෙක්ට රැස්වීමට ආරාධනා කරනවාද නැද්ද කියලා. සමහරවිට එයා අපේ නෑදෑයෙක්, කලින් අපිට ගොඩක් කිට්ටු වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. w24.08 30 13-14¶

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න