පරිච්ඡේද 37
මට ඉඳ හිට හොඳින් විනෝද විය නොහැක්කේ මන්ද?
සිකුරාදා සන්ධ්‍යාවන්හි දී, පෝලින්a ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට පුරුදු ව සිටියා ය. ඇය එහි දී සාකච්ඡාවන් ප්‍රීතියෙන් භුක්ති වින්ද නමුත්, තම පාසල් මිතුරන් පිටත විනෝද වෙමින් කල් ගෙවමින් සිටි අතර, ඇයට එහි ඉන්නට සිදු වීම ගැන ඇය ඇතැම් අවස්ථාවල දී අමනාප වූවා ය.
රැස්වීම අවසන් වූ පසු, පෝලින්, නිවස කරා යන අතර මඟ දී ප්‍රදේශයේ යෞවනයන් ගැවසෙන ස්ථානයක් පසු කරගෙන යන්නී ය. ඇය මෙසේ සිහිපත් කරන්නී ය: “හඬ නැඟෙන සංගීතයෙනුත්, දැල්වෙන ආලෝකයෙනුත් සිත ඇදී ගියා, අප එය පසුකර යද්දී මම මගේ නහය ජනේලයට තද කරගෙන ඔවුන් ලබමින් සිටින්නට ඇති සතුට ගැන ආශාවෙන් කල්පනා කළා.” කාලයාගේ ඇවෑමෙන්, ඇගේ මිතුරන් සමඟ ප්‍රීති වීමට තිබූ ඇගේ ආශාව ඇගේ ජීවිතයේ වඩාත් ම වැදගත් දෙය බවට පත් විය.
ඔබ ක්‍රිස්තියානියෙකු බැවින්, ඔබට යම් දෙයකින් අඩුවක් තිබෙන බව පෝලින්ට වාගේ ම, ඇතැම් විට ඔබටත් හැඟෙන්නට පුළුවන. අන් සියලු දෙනා ම කථා කරමින් සිටින රූපවාහිනි දර්ශනය නැරඹීමට ඔබට වුවමනා වන නමුත්, එය ඉතා සහසික යයි ඔබේ දෙමව්පියෝ පවසති. ඔබට ගැවසීමට පහසු සුපිරි වෙළෙඳ සංකීර්ණයකට ගොස් ඔවුන් සමඟ ආශ්‍රය කරමින් සිටින්නට වුවමනා නමුත්, ඔබේ දෙමව්පියන් ඔවුන් ව හඳුන්වන්නේ “නරක ආශ්‍රිතයන්” වශයෙනි. (1 කොරින්ති 15:33, NW) ඔබේ සියලු පාසල් මිතුරන් සහභාගි වන එම සාදයට යෑමට ඔබට වුවමනා වනමුත්, මව සහ පියා එපා යයි පවසති.
ඔබේ පාසල් මිතුරන් ඔවුන්ට කැමති ආකාරයට ඇවිත් යමින්, විවිධ ප්‍රසංගයන්ට සහභාගි වෙමින්, එමෙන් ම ඔවුන්ගේ දෙමව්පියන්ගේ ඇඟිලි ගැසීමකින් තොර ව හිමිදිරි පාන්දර තෙක් සාදයන් පවත්වමින් සිටින බව පෙනෙන්නට තිබේ. මෙබැවින් ඔබ ඔවුන්ගේ නිදහසට ඊර්ෂ්‍යා කරන බව ඔබට දැනිය හැක. ඔබට යම් නරක දෙයක් කිරීමට වුවමනා වීමක් නොව, ඔබට ඉඳහිට හොඳින් විනෝද වන්නට වුවමනා වනවා පමණකි.
විනෝදාස්වාදය දෙස දෙවියන් වහන්සේ බලන අයුරු
ප්‍රීතිය භුක්ති විඳීමට ඔබට වුවමනා වීමෙහි කිසි වරදක් නැති බවට සහතික වන්න. ඇරත්, යෙහෝවඃ වහන්සේ “සන්තෝෂවත් දෙවියන් වහන්සේ,” ය. (1 තිමෝති 1:11, NW ) තව ද ප්‍රඥාවන්ත මිනිසා වූ සාලමොන් මගින් උන් වහන්සේ මෙසේ පවසන සේක: “යෞවනයෙනි, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න. ඔබ තවමත් යෞවන ව සිටිය දී සතුටෙන් සිටින්න. ඔබට කිරීමට වුවමනා දේ කරන්න, එමෙන් ම ඔබේ හෘදයේ ආශාව ඉෂ්ට කරන්න.” කෙසේ වුවද, සාලමොන් ඉන් පසු මෙසේ අනතුරු ඇඟවූයේ ය: “ඔබ කුමක් කළත් දෙවියන් වහන්සේ ඔබ ව විනිශ්චය කරන්නට යන බව මතක තබා ගන්න.”—දේශනාකාරයා 11:9, 10, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්.
දෙවියන් වහන්සේ ඔබේ ක්‍රියාවන්ට ඔබ ව වගකිව යුතු තැනැත්තා කර තිබෙන බව දැන සිටීමෙන් විනෝදාස්වාදය දෙස සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයකින් බැලීමට සලසයි. කෙනෙකු ටික වේලාවකට හොඳ කාලයක් ගත කිරීම දෙවියන් වහන්සේ හෙලා දකින්නේ නැති අතර උන් වහන්සේ අනුමැතිය නොදෙන්නේ ඊළඟ විනෝද අවස්ථාව සඳහා පමණක් ජීවත් වන පුද්ගලයෙකුට, එනම් ‘සැපසෙල්ලමට ප්‍රේම කරන්නෙකුට,’ ය. (2 තිමෝති 3:1, 4) ඒ මන්ද? සාලමොන් රජු ව සලකා බලන්න. ඔහුගේ ධන සම්භාරයන් භාවිතා කරමින්, මනුෂ්‍යයෙකුට ලැබිය හැකි සෑම සතුටක ම රස ඔහු වින්දේ ය. ඔහු මෙසේ පවසයි: “මාගේ ඇස් ආශා කළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත [හෘදය NW ] නොවැලැක්වීමි,” ප්‍රතිඵලය? “සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව,” තිබීම ය. (දේශනාකාරයා 2:10, 11) එසේ ය, අවසානයේ දී, සතුට-සෙවීමේ ජීවිතයක් ඔබට ඉතිරි කරන්නේ හිස් භාවයක් සහ කලකිරීමක් පමණක් බව දෙවියන් වහන්සේ දන්නා සේක.
එමෙන් ම ඔබ මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ පූර්ව විවාහ ලිංගික සබඳතා වැනි, අපිරිසිදු පුරුදුවලින් නිදහස් ව සිටීම ද දෙවියන් වහන්සේට අවශ්‍ය ය. (2 කොරින්ති 7:1) එහෙත්, නව යොවුන් වියේ සිටින්නන්, හුදු විනෝදය සඳහා කරන දේවලින් බොහොමයක් මගින් මෙම පුරුදුවල උගුලට කෙනෙකු ව අසු වීමට මඟ පෑදිය හැක. උදාහරණයක් ලෙස, එක් යෞවන ගැහැණු ළමයෙක්, ආරක්ෂාවට කෙනෙකු නොමැති ව පාසල් මිතුරන් සමහරෙකුගේ එකමුතු හමුවකට සහභාගි වීමට තීරණය කළා ය. “ස්ටීරියෝ යන්ත්‍රයෙන් නැගී ආවේ කදිම සංගීතයක්. අපි හොඳට නැටුවා, හොඳ රසකැවිලි තිබුණා, ඇතිවෙන්න හිනා වුණා,” යයි ඇය සිහිපත් කළා ය. එහෙත් ඉන් පසු, “එක් කෙනෙක් මරිජුවානා ගෙනාවා. ඊට පස්සේ මත්පැන් ගෙනාවා. සියල්ල පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වුණේ ඒ වෙලාවෙයි.” ලිංගික දුරාචාරය ප්‍රතිඵලය විය. ගැහැණු ළමයා මෙසේ වරද හෙළි කළා ය: “එදා පටන් මං දුකෙන් හා කලකිරීමෙන් සිටිනවා.” වැඩිහිටි අධීක්ෂණය නොමැති ව, එවන් එකමුතු හමුවන් “රුදුරු සාදයන්,” නැතහොත් ඝෝෂා සහිත ප්‍රීති සාදයන් බවට කෙතරම් පහසුවෙන් පත් වේ ද!—ගලාති 5:21, බයිංටන්.
ඔබට යා හැකි තැන් සහ ඔබට ආශ්‍රය කළ හැකි කවරෙකු සමඟ ද යන්න ගැන සමහර විට සීමාවන් පනවමින්, ඔබේ විවේක කාලය ඔබ ගත කරන ආකාරය ගැන ඔබේ දෙමව්පියන් ඉතා සැලකිලිමත්වීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ චේතනාව? දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම පිළිපැදීමට ඔබට උපකාර කිරීමයි: “නුඹේ සිතෙන් [හෘදයෙන් NW ] ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරපන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.”—දේශනාකාරයා 11:10.
සතුට-සොයන්නන්ට ඊර්ෂ්‍යා වෙනවා ද?
මේ සියල්ල අමතක කර ඇතැම් යෞවනයන් භුක්ති විඳිනවා යයි පෙනෙන නිදහසට ඊර්ෂ්‍යා කිරීම පහසු දෙයකි. පෝලින් ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම නවතා සතුට-සොයන කට්ටියක් සමඟ එකතු වූවා ය. “මට කරන්න එපා යයි කියා තිබුණු හැම වරදක් ම මම කරමින් සිටියා,” යයි ඇය සිහිපත් කරන්නී ය. පෝලින්ගේ සතුට සෙවීම, අවසානයේ දී ඇය ව අත් අඩංගුවට ගැනීමටත්, හිතුවක්කාර ගැහැණු ළමුන් සඳහා වූ පාසලකට දැමීමටත් හේතු කර විය!
බොහෝ කලකට ඉහත දී ගීතාවලිය 73 හි ලේඛකයාට පෝලින්ගේ හැඟීම්වලට සමාන හැඟීම් තිබුණි. “මම දුෂ්ටයන්ගේ අභිවෘධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි,” යයි ඔහු පාපොච්චාරණය කළේ ය. ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති මගින් ජීවත්වීමේ වටිනාකම සැක කිරීමට පවා ඔහු පටන් ගත්තේ ය. “සැබවින් මාගේ සිත [හෘදය NW ] පවිත්‍රකරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය,” යයි ඔහු පැවසුවේ ය. එහෙත් ගැඹුරු තීක්ෂ්ණ බුද්ධියක් ඔහුගේ මනසට පැමිණියේ ය: දුෂ්ට ජනයා විපත්තිය ආසන්නයේ “ලිස්සන තැන්වල” අස්ථිර ව සිටිති!—ගීතාවලිය 73:3, 13, 18.
පෝලින් මෙය ඉගෙන ගත්තේ—අසීරු ආකාරයකිනි. ඇගේ ලෞකික හඹා යෑමෙන් පසු, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නැවත ලබා ගනු වස් ඇය ඇගේ ජීවිතයේ විශාල වෙනස්කම් කළා ය. නොසෑහෙන්න විනෝද වීම නිසා ඔබට විඳින්නට සිදු වන විපාකය බොහෝ සෙයින් නොවටිනා යමක් බව තේරුම් ගැනීමට ඔබට අත් අඩංගුවේ සිටීමට, ලිංගික ව පැතිරෙන රෝගයක් වැළඳීමට නැතහොත් මත් ද්‍රව්‍යවලින් ඉවත්වීමේ ඉතා පීඩාකාරී තත්ත්වය අත්දැකීමට හෝ අවශ්‍ය නොවේ. එවන් අවදානම්වලින් නිදහස් ව කෙනෙකුට ප්‍රීතිය භුක්ති විඳීමට ගුණදායක වර්ධනාත්මක මාර්ග බොහොමයක් තිබේ. ඒවායින් සමහරක් කවරේ ද?
විනෝදය සඳහා ගුණදායක අවස්ථා
නව යොවුන් වියේ සිටින්නන් “පවුලේ අය සමඟ විටින් විට විනෝද ගමන් යෑමේ සහ ක්‍රියාකාරකම්වල යෙදීමේ ප්‍රීතිය භුක්ති විඳින,” බව අමෙරිකානු යෞවනයන් පිළිබඳ සමීක්ෂණයක් හෙළි කළේ ය. පවුලක් වශයෙන් දේවල් එකට කිරීම සතුටක් ගෙන දෙනවා පමණක් නොව නමුත් පවුලේ එකමුතු භාවය වැඩි කිරීමට ද එයට හැක.
මින් අදහස් කරන්නේ හුදෙක් රූපවාහිනිය එකට නැරඹීමට වඩා වැඩි දෙයකි. වෛද්‍ය ඇන්තනි පිඑට්‍රොපින්ටො මෙසේ පවසයි: “රූපවාහිනිය බැලීමේ ගැටලුව නම්, එය අන්‍යයන් සමඟ සිට කළ හැකි එකක් වුවත්, එය ප්‍රධාන වශයෙන් ම හුදකලා ක්‍රියාකාරකමක් වීම ය. . . . එහෙත්, ගෘහස්ත ක්‍රීඩා, එළිමහන් ක්‍රීඩා, ඉවුම් පිහුම් සංග්‍රහයන්, ශිල්ප ව්‍යාපෘතියන් සහ හඬ නගා කියවීම වැනි විනෝදය ගෙන දෙන ක්‍රියාවන්, නවීන පවුලකට රූපවාහිනිය වෙත අක්‍රියාශීලී ව යොමු වී සිටිනවාට වඩා අදහස් හුවමාරුව, සහයෝගිතාවය සහ බුද්ධිමය උත්තේජනය සඳහා ඇත්තෙන් ම වඩා වැඩි ප්‍රස්තාවන් ඉදිරිපත් කරයි.” සත් දෙනෙකුගේ පියෙකු වන ජෝන් මේ ආකාරයට පවසයි: ‘මිදුල පිරිසිදු කිරීම හෝ නිවසේ තීන්ත ගෑම පවා, පවුලක් වශයෙන් කරන විට සතුටක් විය හැක.’
ඔබේ පවුලේ අය දැනටමත් එවන් දෑ එකට නොකරනවා නම්, මුල පුරා, ඔබේ දෙමව්පියන්ට යෝජනාවන් ඉදිරිපත් කරන්න. පවුලක් වශයෙන් විනෝද ගමන් යෑම හෝ ව්‍යාපෘතිවල යෙදීම සඳහා යම් උනන්දුමත් සහ ප්‍රබෝධවත් අදහස් ඉදිරිපත් කිරීමට වෙර දරන්න.
කෙසේ වුවද, ඔබට ම ප්‍රීතිය භුක්ති විඳීමට, ඔබ සැමවිට ම අන්‍යයන් සමඟ සිටීමට අවශ්‍ය නැත. තම ආශ්‍රිතයන් ගැන ප්‍රවේසමෙන් සැලකිලිමත් වන යෞවනියක වූ මේරි, ඇගේ කාලය තනි ව ම ප්‍රීතියෙන් භුක්ති විඳින අයුරු ඉගෙන ගෙන ඇත. “මා පියානෝව සහ වයලීනය වාදනය කරන අතර, ඒවා පුරුදු වීමට මං යම් කාලයක් ගත කරනවා,” යයි ඇය පවසන්නී ය. නව යොවුන් වියේ වෙනත් ගැහැණු ළමයෙකු වන මෙලිසා, එලෙස ම මෙසේ පවසන්නී ය: “මං සමහර වෙලාවට කතන්දර හෝ පදරචනා ලිවීමට කාලය ගත කරනවා.” කියවීම, වඩුවැඩ, හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීම වැනි කුසලතා වර්ධනය කිරීම මගින් ඵලදායී ලෙස කාලය ගත කිරීමට ඔබට ද හැක.
ක්‍රිස්තියානි එකමුතු හමුවන්
කලින් කලට, මිතුරන් සමඟ එකට එකතු වීම ද ප්‍රීතිදායක දෙයකි. තව ද ඔබට ඕනෑතරම් සඵලදායී ක්‍රියාකාරකම් භුක්ති විඳිය හැකි පැති බොහොමයක් තිබේ. පන්දු ක්‍රීඩා, අයිස් තරණය කිරීම, සයිකල් පැදීම, බේස්බෝල් ගැසීම සහ පැසි පන්දු ක්‍රීඩා උතුරු අමෙරිකාවේ ජනප්‍රිය ක්‍රියාකාරකම් ය. කටුගෙය හෝ සත්වෝද්‍යානය බැලීමට යෑම වැනි විවිධාකාර වූ දෑ ද ඔබට කළ හැක. තව ද, එසේ ය, සහකාර ක්‍රිස්තියානි යෞවනයන් සමඟ එකට එකතු වී, හුදෙක් තැටි වාදනය හෝ ඵලදායී රූපවාහිනි දර්ශනයක් නැරඹීම සඳහා ස්ථානයක් තිබේ.
වඩා විධිමත් එකමුතු වීමක් සැලසුම් කිරීමට ඔබට උපකාර කිරීමට ඔබේ දෙමව්පියන්ගෙන් ඇසීමට පවා ඔබට හැක. සාද සෙල්ලම් සහ සමූහ ගායනය වැනි, නානාවිධ ක්‍රියාකාරකම් සඳහා පිළියෙළ කිරීමෙන් එය ප්‍රබෝධවත් එකක් කරන්න. ඔබේ මිතුරන්ගෙන් සමහරෙකුට සංගීතමය කුසලතා තිබේ නම්, සමහර විට ඉන් ස්වල්පයක් ඉදිරිපත් කිරීමට ඔවුන් ව චාටුවෙන් කැමති කරවා ගත හැකි වේ. මෙම අවස්ථාවට හොඳ ආහාර ද එක්කර ගත හැකි නමුත්, ඒවා විසිතුරු හෝ මිල අධික වීමට අවශ්‍ය නැත. ඇතැම් විට වෙනස් ආහාර වර්ග ගෙන ඒමට අමුත්තන්ට හැක.
බෝල සෙල්ලම් කිරීම හෝ පිහිනීම වැනි ක්‍රියාකාරකම් සඳහා ඉඩ සලසන උද්‍යානයක් හෝ එළිමහන් ප්‍රදේශයක් ළඟපාත තිබේ ද? විනෝද ගමනක් සැලසුම් නොකරන්නේ මන්ද? නැවතත්, කිසිවෙකුටත් මූල්‍යමය බරක් ඇති නොවන පිණිස ආහාර ගෙනැවිත් බෙදා ගැනීමට පවුල්වලට හැක.
ප්‍රමාණවත් ව කිරීම ප්‍රධාන දෙයයි. ප්‍රීතිය භුක්ති විඳීමට සංගීතය කන්-දෙදරවන මට්ටමක තිබීමට හෝ විනෝදයක් ලැබීමට නැටුම්, පහත් හෝ කාමාධික වීමට ද අවශ්‍ය නැත. එලෙස ම, මාරාන්තික තරඟ නොමැති ව එළිමහන් ක්‍රීඩාවලින් ප්‍රීතිය භුක්ති විඳිය හැක. එහෙත්, එක් දෙමව්පියෙක් මෙසේ වාර්තා කරයි: “දබරයකට තුඩු දෙන තෙක් ම වාගේ, ඇතැම් යෞවනයෝ සමහර අවස්ථාවල වාද කරති.” ‘එකිනෙකා සමඟ තරඟ කිරීමෙන්’ වැළකීමට බයිබලයේ අවවාදය අනුගමනය කිරීම මගින් එවන් ක්‍රියාකාරකම් ප්‍රීතිදායක ව තබා ගන්න.—ගලාති 5:26, NW.
ඔබ ආරාධනා කළ යුත්තේ කාට ද? බයිබලය මෙසේ පවසයි, මුළු “සහෝදර සමාගමට ප්‍රේමකරපල්ලා.” (1 පේතෘස් 2:17) ඔබේ එකමුතු හමුවන් තුල්‍යයන්ට පමණක් සීමා කරන්නේ මන්ද? ඔබේ ආශ්‍රයන් පුළුල් කරන්න. (2 කොරින්ති 6:13 සසඳන්න.) එක් දෙමව්පියෙක් මෙසේ නිරීක්ෂණය කළේ ය: “ක්‍රියාකාරකම්වලින් සමහරකට සහභාගි වීමට නොහැකි වුවත්, වයසින් වැඩි අය, පැමිණ සිදු වන දේ නැරඹීමට ආශා වෙති.” වැඩිහිටියන් ඉදිරිපිට දී බොහෝ විට දේවල් පාලනයෙන් තොර වීම වළක්වා ගැනීමට උපකාරවත් වේ. එහෙත්, එකතුවන ඕනෑ ම කෙනෙකුට “මුළු සහෝදර සමාගමට” ම ආරාධනා කිරීමට හැකියාවක් නැත. ඇරත්, වඩා කුඩා එකමුතු හමුවන් පාලනය කිරීම වඩා පහසු ය.
එකිනෙකා ආත්මික ව වර්ධනය කිරීමට ද ක්‍රිස්තියානි එකමුතු හමුවන් ප්‍රස්තාව උදා කරයි. එකමුතු හමුවකට ආත්මිකත්වය එකතු කිරීමෙන් ඉන් විනෝදයක් ලැබිය නොහැකි බව ඇතැම් යෞවනයන්ට හැඟෙන බව සැබෑවකි. “අප එකමුතු හමුවක් පවත්වන විට, ‘එය, ඉඳ ගමු, ගන්න බයිබලය එළියට, බයිබල් ක්‍රීඩාවන් කරමු,’ ” යන්න වන බව එක් ක්‍රිස්තියානි පිරිමි ළමයෙක් පැමිණිලි කළේ ය. කෙසේ වුවද, ගීතිකාකරු පැවසුවේ මෙසේ ය: “ස්වාමීන්ගේ [යෙහෝවඃ වහන්සේගේ NW ] ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, . . . මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය [සන්තෝෂවන්නේ ය NW ].” (ගීතාවලිය 1:1, 2) මෙබැවින් සාකච්ඡාවන්—නැතහොත් ක්‍රීඩාවන් පවා—බයිබලය උපයෝගි කර ගෙන කරන විට ඉතා ප්‍රීතිදායක විය හැක. වඩා සම්පූර්ණ ලෙස සහභාගි වීමට හැකි වන පිණිස සමහර විට ශුද්ධ ලියවිලි ගැන ඔබේ දැනගැන්ම හුදෙක් තියුණු කර ගැනීමට ඔබට අවශ්‍ය වේ.
තවත් අදහසක් නම් ඔවුන් ක්‍රිස්තියානින් බවට පත් වූ අයුරු විස්තර කිරීමට කිහිප දෙනෙකුට සැලැස්වීම ය. නැතහොත් සිනහ උපදවන කතන්දර කියන්නට සමහරෙකුට ආරාධනා කිරීම මගින් උණුසුම් භාවයේ හෝ සිනහවේ මාත්‍රයක් එකතු කරන්න. මේවා බොහෝ විට වටිනා පාඩම් උගන්වයි. මෙම පොතේ සමහර පරිච්ඡේදවලට එකමුතු හමුවක දී සිත්ගන්නා සමූහ සාකච්ඡාවකට පදනම සකසන්නට පවා හැක.
විනෝදාස්වාදය සමබර ව තබාගන්න!
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබවින් ම ඉඳහිට විනෝදයක් ලැබීමෙන් වැළකී සිටියේ නැත. නිසැක ව ම, ආහාර, සංගීතය, නැටුම් සහ වර්ධනය ගෙන දෙන ආශ්‍රය පිරී තිබුණා වූ කානා හි සරණ මංගල්‍යයකට උන් වහන්සේ සහභාගි වීම ගැන බයිබලය කියයි. යේසුස් වහන්සේ පවා ආශ්චර්යවත් ලෙස මුද්‍රික පානය සැපයීම මගින් සරණ මංගල්‍යය සාර්ථකවත් කර ගැනීමට දායක වූ සේක!—යොහන් 2:3-11.
එහෙත් යේසුස් වහන්සේගේ ජීවිතය නොනවතින සාදයක් වූයේ නැත. උන් වහන්සේ, සිය කාලයෙන් වැඩි කොටසක් ගත කළේ, ආත්මික අවශ්‍යතාවයන් ලුහුබඳිමින්, දෙවියන් වහන්සේගේ කැමැත්ත ජනයාට උගන්වමින් ය. උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මාගේ කෑම නම් මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමය.” (යොහන් 4:34) දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමෙන් යේසුස් වහන්සේට යම් තාවකාලික විනෝදයකින් ලැබෙන සතුටට වඩා වැඩි කල්පවතින සතුටක් ලැබිණ. අද දින, තවමත් “ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා [බහුල ව කිරීමට NW ]” තිබේ. (1 කොරින්ති 15:58; මතෙව් 24:14) එහෙත්, කලින් කලට, ඔබට යම් විනෝදාස්වාදයක් අවශ්‍ය බව හැඟෙන විට, එය සමබර, ඵලදායී අයුරකින් භුක්ති විඳින්න. එක් ලේඛකයෙක් පවසන්නේ මෙයාකාරයට ය: “ජීවිතය සැමවිට ම ක්‍රියාශීලී භාවයෙන් හා ප්‍රබෝධයෙන් පිරි දේවලින් ද සිත කැළඹීම්වලින් ද පිරී පවතින්ට නුපුළුවන—එසේ පැවතුණහොත් ඔබ සමහර විට අධික වෙහෙසකට පත් විය හැක!”
[අධෝලිපි]
a ඇගේ නියම නම නොවේ.
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ සමහර ක්‍රිස්තියානි යෞවනයන් ලෝකයේ යෞවනයන්ට ඊර්ෂ්‍යා කරන්නේ මන්ද? ඔබට කවදා හෝ එසේ හැඟී තිබේ ද?
◻ යෞවනයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දෙවියන් වහන්සේ දෙන අවවාදය කුමක් ද? විනෝදය පිළිබඳ ඔවුන්ගේ තේරීමට මෙය බලපෑ යුත්තේ කෙසේ ද?
◻ දෙවියන් වහන්සේගේ නීති හා ප්‍රතිපත්ති උල්ලංඝනය කරන යෞවනයන්ට ඊර්ෂ්‍යා වීම අනුවණ දෙයක් වන්නේ මන්ද?
◻ (1) පවුලේ සාමාජිකයන්, (2) ඔබ සමඟ ම, සහ (3) සහකාර ක්‍රිස්තියානින් සමඟ, ගුණදායක විනෝදාස්වාදයක ප්‍රීතිය භුක්ති විඳීමට ඇතැම් මාර්ග මොනවා ද?
◻ විනෝදාස්වාදය දෙස බලන කල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශයක් තැබුවේ කෙසේ ද?
[297 පිටුවෙහි හුවා දැක්වීම]
“ හඬ නැඟෙන සංගීතයෙනුත්, දැල්වෙන ආලෝකයෙනුත් සිත ඇදී ගියා, අප එය පසුකර යද්දී මම මගේ නහය ජනේලයට තද කරගෙන ඔවුන් ලබමින් සිටින්නට ඇති සතුට ගැන ආශාවෙන් කල්පනා කළා”
[302 පිටුවෙහි හුවා දැක්වීම]
“එක් කෙනෙක් මරිජුවානා ගෙනාවා. ඊට පස්සේ මත්පැන් ගෙනාවා. සියල්ල පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වුණේ ඒ වෙලාවෙයි.”
[299 පිටුවෙහි ඇති පින්තූර]
බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරන යෞවනයන්ට සැබවින් ම හොඳ කාලයක් අතපසු වන්නේ ද?
[300 පිටුවෙහි ඇති පින්තූර]
විනෝදාංශයක යෙදීම විවේක කාලය පාවිච්චි කිරීමේ එක් සඵලදායී මාර්ගයකි
[301 පිටුවෙහි ඇති පින්තූර]
නානා විධ ක්‍රියාකාරකම් සැලසුම් කර තිබෙන විට හා වෙනස් වයස්-සීමාවන්වල අය පැමිණ සිටින විට ක්‍රිස්තියානි එකමුතු හමුවන් වඩා ප්‍රීතිදායක වේ