පරිච්ඡේද 36
රූපවාහිනිය නැරඹීමේ මගේ පුරුදු පාලනය කර ගැනීමට මට හැක්කේ කෙසේ ද?
බාල, මහලු බොහෝ දෙනෙකුට, රූපවාහිනිය නැරඹීම දරුණු ඇබ්බැහි වීමක් හා සමාන ය. සමීක්ෂණයන් පෙන්නුම් කරන්නේ වයස 18 පමණ වන විට සාමාන්‍ය අමෙරිකානු යෞවනයෙකු පැය 15,000ක් පමණ රූපවාහිනිය නරඹා ඇති බවයි! රූපවාහිනියට දරුණු ලෙස ඇබ්බැහි වූවන් සිය ඇබ්බැහි වීම නතර කිරීමට වෙර දරන විට ඔවුන් කොතරම් තදබල ලෙස ඇබ්බැහි වී ඇත් ද යන කාරණය පැහැදිලි වේ.
“මට රූපවාහිනියෙන් සම්පූර්ණයෙන් ම වැළකී සිටින්නට බැරි බවක් දැනේ. රූපවාහිනිය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, මට එය මඟහැර යන්න බෑ. මට එය වහන්න බෑ. . . . රූපවාහිනිය වහන්න ළං වෙන කොට, මගේ අත්වල ශක්තිය අඩු වෙලා යනවා. එනිසා මං එය ඉදිරිපිට පැය ගණන් හිඳගෙන ඉන්නවා.” නොමේරූ යෞවනයෙක් ද? නැත. මේ නම් විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයෙකු විය! එහෙත් යෞවනයන් පවා රූපවාහිනියට ඇබ්බැහි වූවන් විය හැක. “රූපවාහිනිය නොමැති සතියක්” ගත කිරීමට එකඟ වූ ඇතැමෙකුගේ ප්‍රතික්‍රියාවන් සැලකිල්ලට ගන්න:
“මා අසහනකාරී තත්ත්වයකින් පෙළී සිටියා . . . මගේ සිහිය විකල් වෙනවා.”—දොළොස්-හැවිරිදි සූසන්.
“පුරුද්ද ඉවත් කර ගැනීමට මට හැකි වෙයි කියා මා සිතන්නේ නෑ. මං වුවමනාවට වඩා රූපවාහිනියට කැමතියි.”—දහතුන්-හැවිරිදි ලින්ඩා.
“පීඩනය තදින් ම බලපෑවා. බලවත් උනන්දුව මා තුළ දිගට ම පැවතුණා. අමාරු ම කාලය වුණේ රාත්‍රී අටේ සිට දහය දක්වා අතර කාලයයි.”—එකොළොස්-හැවිරිදි ලුවිස්.
එසේ නම්, “රූපවාහිනිය නොමැති සතිය” හා සම්බන්ධ ව සිටි යෞවන අය බොහෝ දෙනෙක් එය අවසන් වූ වහා ම නැවත රූපවාහිනිය වෙත වියරු අන්දමින් ගොස් නැරඹීමේ ආශාව පුදුමයක් නොවේ. එහෙත් සිනහ වීමට කරුණක් වනවාට වඩා, රූපවාහිනියට ඇබ්බැහි වීම මඟින් ඒ සමඟ ම සිදු විය හැකි ගැටලු රාශියකට මං උදා කරයි. ඒවායින් සමහරක් පමණක් සලකා බලන්න:
ලකුණු මට්ටමෙන් පහත වැටීම: රූපවාහිනිය වැඩිපුර නැරඹීම මගින් “පාසල් තත්ත්වයන්ගේ පහත වැටීමක්, විශේෂයෙන් ම කියවීමේ පහත වැටීමක් අත්කර ගනියි,” යයි (එ. ජ.) ජාතික මානසික සෞඛ්‍යය ආයතනය වාර්තා කළේ ය. ද ලිටරසි හෝක්ස් නම් පොත තවදුරටත් මෙසේ චෝදනා කරයි: “දරුවන් කෙරෙහි රූපවාහිනිය ඇති කරන බලපෑම නම්, ඉගෙනීම වනාහි පහසු දෙයක්, ප්රයත්නයක් නොදරන දෙයක් සහ වින්දනයක් ලබන දෙයක් විය යුතු ය යන අපේක්ෂාව බිහි කිරීම ය.” මෙබැවින් රූපවාහිනියට ඇබ්බැහි වූ කෙනෙකුට පාඩම් කිරීම බරපතළ අමාරුවක් විය හැක.
දුර්වල කියවීමේ පුරුදු: ඔබ පොතක් අතට ගෙන එහි මුල සිට අගට කියෙවූ අන්තිම වතාව කවදා ද? වෙස්ට් ජර්මන් එසෝසිඒෂන් ඔෆ් බුක් ඩීලර්ස් වෙනුවෙන් කථා කරන්නෙක් කනගාටුවෙන් මෙසේ ප්‍රකාශ කළේ ය: “අප වැඩ අවසන් කර ගෙදර ගොස් රූපවාහිනිය ඉදිරියේ නින්දට වැටෙන මනුෂ්‍ය ජාතියක් බවට පත් වී ඇත. අපි එන්න එන්න ම කියවීම අඩුවෙන් කරන්නෙමු.” ඕස්ට්‍රේලියාවෙන් වූ වාර්තාවක් එලෙස ම මෙසේ පැවසී ය: “කියවීමට ගත කළ සෑම පැයකට ම, සාමාන්‍ය ඕස්ට්‍රේලියානු දරුවෙක් පැය හතක් රූපවාහිනිය නරඹා තිබෙනු ඇත.”
පිරිහී ගිය පවුල් ජීවිතය: එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ ලිව්වා ය: “රූපවාහිනිය වැඩිපුර නැරඹීම හේතුවෙන් . . . මා ඉතා හුදකලා වී සිටි අතර තනිකමක් දැනුණා. [මගේ] පවුලේ සාමාජිකයින් සියලු දෙනා ම අමුත්තන් මෙන් හැඟුණා.” එලෙස ම රූපවාහිනිය නිසා ඔබ ඔබේ පවුල සමඟ අඩු කාලයක් ගත කරන බව ඔබට පෙනේ ද?
අලස භාවය: රූපවාහිනියෙන් ඇති කරන අලස භාවය ම “වෑයමක් නොකර [තම] අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හා ප්රයත්නයක් නොදරා පහසු ජීවිතයක් ගත කිරීමට හැකි වේ යන අපේක්ෂාව කරා [යෞවනයෙකුට] මඟ පෑදිය හැක.”
අයහපත් බලපෑම්වලට අනාවරණය වීම: ඇතැම් කේබල් රූපවාහිනි ජාලයන්, කාමුක චිත්‍ර නිවසට ගෙන එයි. තව ද නිති පතා වැඩසටහන් මගින් රිය අනතුරු, හදිසි පිපිරීම්, ඇනකොටා ගැනීම්, වෙඩි තැබීම් සහ කරාටේ ගැසීම්වලින් පූර්ණ වේලක් බොහෝ විට සපයයි. එක් තක්සේරු කිරීමකට අනුව, එක්සත් ජනපදයේ එක් යෞවනයෙකු, තමාට වයස අවුරුදු 14වන විට, මිට මොළවා පහර දීම් සහ කෲර කොල්ලකෑම් දකිනවාට අමතර ව, 18,000 දෙනෙකු මරණයට පත් කරනවා දකිනු ඇත.
සහසික රූපවාහිනි දර්ශන නැරඹීමෙන් වින්දනයක් ලැබූ පිරිමි ළමුන් “බරපතළ ආකාරයක සැහැසියාවකට හවුල් වීමට,” තිබූ ඉඩකඩ වැඩි යයි බ්‍රිතාන්‍ය පර්යේෂකයෙකු වූ විලියම් බෙල්සන් සොයා ගත්තේ ය. රූපවාහිනි සැහැසියාව “ශාප කිරීමට සහ අසභ්‍ය භාෂාව භාවිතා කිරීමට, ක්‍රීඩාවල දී හෝ සෙල්ලම් කරන විට දී කලහකාරී ගතියට, වෙනත් පිරිමි ළමයෙකු කෙරෙහි සැහැසියාව භාවිතා කිරීම සඳහා තර්ජනය කිරීමට, බිත්තිවල සටන් පාඨයන් ලිවීමට [සහ] ජනේල කැඩීමට,” පෙලඹීමක් ඇති කළ හැකි බවත් ඔහු කියා සිටියේ ය. එවන් බලපෑම්වලට අසු නොවී සිටිය හැකි යයි ඔබ ඔබ ගැන ම සිතිය හැකි නමුත්, රූපවාහිනි සැහැසියාවට අනාවරණය වීමෙන් සැහැසියාව “කෙරෙහි වූ පිරිමි ළමුන්ගේ සචේතනික ආකල්පයන් වෙනස්,” වූයේ නැති බව බෙල්සන්ගේ අධ්‍යයනය සොයා ගත්තේ ය. සැහැසියාවෙන් සුපිරි වේල පෙනෙනාකාරයට සැහැසියාවට විරුද්ධ වන ඔවුන්ගේ යටි හිතේ අකමැත්තේ හැඟීම් කෙමෙන් ඉවත් කරයි.
එහෙත්, ඊටත් වඩා සැලකිලිමත් විය යුතු දෙය වන්නේ, රූපවාහිනි සැහැසියාවට ඇබ්බැහි වීම මගින් ‘සැහැසියාවට ප්‍රේම කරන ඕනෑ ම කෙනෙකු ව පිළිකුල්’ කරන දෙවියන් වහන්සේ සමඟ කෙනෙකුගේ ඇති සබඳතාවය මත එය ඇති කළ හැකි බලපෑම ගැන ය.—ගීතාවලිය 11:5.
මගේ නැරඹීම මට කෙසේ පාලනය කළ හැකි ද?
රූපවාහිනිය ස්ථිර වශයෙන් ම නරක දෙයක් ලෙස සැලකිය යුතු යයි අනිවාර්යයෙන් ම මින් අදහස් කරන්නේ නැත. ලේඛක වැන්ස් පැකාර්ඩ් මෙසේ ගෙන හැර දක්වයි: “එක්සත් ජනපද රූපවාහිනියේ ඇති බොහොමයක් ප්‍රතිඵලදායක විය හැක . . . බොහෝ විට සන්ධ්‍යාවේ පෙර භාගයේ—වවුලන්ගේ, බීවරයන්ගේ, කුළු මීමාගේ සිට පේත්තයා වැනි මාළුවෙකුගේ ක්‍රියාකාරකම්වලින්—ස්වභාව සෞන්දර්යයේ ක්‍රියාවලිය පෙන්නුම් කරන නිපුණ වූ මහිමාන්විත ඡායාරූපගත කිරීම් සහිත වැඩසටහන් තිබේ. මහජන රූපවාහිනියේ ප්‍රිය උපදවන බැලේ රැඟුම්, ඔපෙරාවන් (සංගීත නාටක) සහ කුටීර සංගීත වාදනය විකාශනය කරයි. වැදගත් සිද්ධීන් විස්තර කිරීමේ දී රූපවාහිනිය ඉතා හොඳ ය . . . විටින් විට රූපවාහිනියේ දීප්තිමත් සිත් ඇදගන්නා වැඩසටහන් පෙන්වයි.”
කෙසේ නමුත්, හොඳ දෙයක් වුවත් වුවමනාවට වඩා වැඩි වුවහොත් හානිදායක විය හැක. (හිතෝපදේශ 25:27 සසඳන්න.) තව ද හානිකර දර්ශනයන් නොබලා සිටීමට ඔබට ආත්ම-දමනය නැති බව ඔබට දැනෙනවා නම්, ප්‍රේරිත පාවුල්ගේ වචන මතක තබා ගැනීම හොඳ ය: “මම මා ව වහල් කර ගැනීමට කිසිවකට ඉඩ නොහරිමි.” (1 කොරින්ති 6:12, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) එසේ නම්, රූපවාහිනියට දාසයෙකු වීමෙන් නිදහස්වීමට සහ ඔබේ බැලීම පාලනය කිරීමට ඔබට හැක්කේ කෙසේ ද?
ලේඛක ලින්ඩා නීල්සන් මෙසේ නිරීක්ෂණය කරන්නී ය: “ආත්ම-දමනය පටන් ගන්නේ ඉලක්ක තබා ගැනීමට ඉගෙන ගැනීමෙනි.” පළමු ව, ඔබේ වත්මන් පුරුදු විග්රහ කර බලන්න. සතියකට, ඔබ නරඹන්නේ කුමන දර්ශන ද, එමෙන් ම සෑම දිනක ම රූපවාහිනිය ඉදිරිපිට ඔබ කෙතරම් කාලයක් ගත කරන්නේ ද කියා වාර්තාවක් තබා ගන්න. ඔබ නිවසට ඇතුළු වූ වහා ම එය ක්‍රියාකරවනවා ද? ඔබ එය වසා දමන්නේ කොයි වේලාවේ ද? සෑම සතියක ම “බැලිය-යුතු ම” වැඩසටහන් කීයක් තිබේ ද? ප්‍රතිඵලවලින් ඔබ පුදුමයට පත් විය හැක.
ඔබ නරඹමින් සිටියේ කුමන දර්ශන දැයි හොඳින් පරීක්ෂා කරන්න. “උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?” කියා බයිබලය අසයි. (යෝබ් 12:11) එබැවින් (ඔබේ දෙමව්පියන්ගේ අවවාදයන් සමඟ ම) සියුම් නුවණ භාවිතා කර, සැබවින් ම බැලීමට වටින්නේ කුමන වැඩසටහන් ද කියා පරීක්ෂා කරන්න. ඇතැමෙක් තමන් නරඹන්නේ කුමන වැඩසටහන් දැයි කලින් ම තීරණය කර ඒවා සඳහා පමණක් රූපවාහිනිය දමති! පාසල්-සතිය-තුළ දී-රූපවාහිනිය-බලන්නේ නැත යන නීති හෝ දිනකට-පැයක සීමාවන් පිහිටුවා ගනිමින්, වෙනත් අය වඩා දැඩි ක්‍රියා මාර්ගයන් ගනිති.
එහෙත් ක්‍රියාත්මක නොවන රූපවාහිනි යන්ත්‍රය හුදෙක් පරීක්ෂාව වැඩි බව ඔප්පු කරනවා නම් කුමක් ද? එක් පවුලක් ගැටලුව විසඳා ගත්තේ මෙසේ ය: “එය ඇස ගැටෙන මාර්ගයෙන් ඉවත් කර තැබීමට අපි අපගේ රූපවාහිනිය පතුල් මාලයේ තබන්නෙමු. . . . පතුල් මාලයේ එය තිබෙන බැවින් ඔබ නිවසට ඇතුල් වන විට විගස ඒ දෙසට අත යැවීමට පෙලඹීමක් ඇති වීමට තිබෙන පරීක්ෂාව අඩු ය. යම් දෙයක් නැරඹීමට වුවමනා වූ විට ඔබට විශේෂයෙන් එහි යාමට සිදු වේ.” ඔබේ රූපවාහිනිය පහසුවෙන් නැරඹිය නොහැකි තැනක තැබීමෙන් හෝ හුදෙක් එහි පේනුව ගලවා තැබීමෙන්, ඊට සමාන ව ඵලදායී ලෙස ක්‍රියාත්මක විය හැක.
සිත්ගන්නා කරුණක් නම්, “රූපවාහිනිය නොමැති සතියට,” සහභාගි වූ යෞවනයෝ බොහෝ විට ඔවුන්ගේ ‘බරපතළ අහිතකර වේදනාවන්’ සියල්ල මධ්‍යයෙහි රූපවාහිනිය සඳහා යම් ඒකාන්ත ආදේශකයක් සොයා ගත්හ. එක් ගැහැණු ළමයෙක් මෙසේ සිහිපත් කළා ය: “මම මගේ මව සමඟ කථා කළා. මගේ අවධානයන් ඇය සහ රූපවාහිනි යන්ත්‍රය අතර බෙදී නොතිබුණු බැවින්, මගේ ඇස් ඉදිරියේ ඇය ඉතා සිත්ගන්නා කෙනෙකු බවට පත් වූවා.” වෙනත් ගැහැණු ළමයෙක් කාලය ගෙවා ගත්තේ ඉවුම් පිහුම් සම්බන්ධයෙන් අත්දැකීමක් ලබා ගැනීමට වෑයම් කිරීමෙනි. “රූපවාහිනිය නරඹනවා වෙනුවට උද්‍යානයකට යෑම,” නැතහොත් මාළු ඇල්ලීමට, කියවීමට හෝ මුහුදු වෙරළට යාමෙන් පවා ද සතුට ගෙන දිය හැකි බව ජේසන් නමැති යෞවන පිරිමි ළමයා සොයා ගත්තේ ය.
“ස්වාමීන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරත,” වීම රූපවාහිනිය නැරඹීම පාලනය කිරීමට වෙනත් ප්‍රධාන දෙයක් බව වියන්ට්ගේ අත්දැකීම (“මා රූපවාහිනියට ඇබ්බැහි වූවෙකි” යන අතිරේකය බලන්න) නිදර්ශනය කරයි. (1 කොරින්ති 15:58, නව අනුවාදය) දෙවියන් වහන්සේට ළඟා වීම, දැන් ලබා ගැනීමට තිබෙන බොහෝ හොඳ ප්රකාශනවල උපකාරයෙන් බයිබලය අධ්‍යයනය කිරීම සහ දෙවියන් වහන්සේගේ වැඩයෙහි ඔබ ව කාර්ය බහුල කිරීම මගින් රූපවාහිනියට ඇබ්බැහි වීමෙන් ජය ගැනීමට ඔබට උපකාර කරනු ඇති බව ඔබත් දැනගනු ඇත. (යාකොබ් 4:8) ඔබ රූපවාහිනිය බැලීම සීමා කිරීමෙන් අදහස් වනු ඇත්තේ ඔබේ ප්‍රියතම වැඩසටහන් සමහරක් අත්හැරීමට සිදු වීම බව සැබෑවකි. එහෙත් වගවිභාගයක් නැතුව සෑම වැඩසටහනක් ම බැලීමෙන් ඔබ මුළු කාලය ම රූපවාහිනියට යොදමින් ඊට වහල් විය යුත්තේ මන්ද? (1 කොරින්ති 7:29, 31 බලන්න.) “මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි,” යයි විටෙක පැවසූ ප්‍රේරිත පාවුල් මෙන් ඔබ සමඟ ම ‘දැඩි ව’ සිටීම වඩා හොඳ ය. (1 කොරින්ති 9:27) රූපවාහිනි යන්ත්‍රයේ වහලෙකු ව සිටිනවාට වඩා මෙය හොඳ නොවන්නේ ද?
සාකච්ඡාව සඳහා ප්‍රශ්න
◻ රූපවාහිනිය බැලීම ඇතැම් යෞවනයන් සඳහා ඇබ්බැහි වීමක් වශයෙන් හැඳින්විය හැක්කේ මන්ද?
◻ වුවමනාවට වඩා රූපවාහිනිය නැරඹීමෙන් ඇති වීමට ඉඩ ඇති ඇතැම් අතුරු බලපෑම් මොනවා ද?
◻ රූපවාහිනිය නැරඹීම පාලනය කිරීමේ ඇතැම් මාර්ග මොනවා ද?
◻ රූපවාහිනිය නරඹනවා වෙනුවට ඔබට වෙන කුමක් කළ හැකි ද?
[295 පිටුවෙහි හුවා දැක්වීම]
“මා අසහනකාරී තත්ත්වයකින් පෙළී සිටියා . . . මගේ සිහිය විකල් වෙනවා”—දොළොස්-හැවිරිදි සූසන්, “රූපවාහිනිය නොමැති සතියට” සහභාගි වූ කෙනෙක්
[292 සහ 293 පිටුවල ඇති කොටුව]
‘මා රූපවාහිනියට ඇබ්බැහි වූවෙකි’—සම්මුඛ පරීක්ෂණයක්
සම්මුඛ පරීක්ෂක: ඔබ රූපවාහිනියට ඇබ්බැහි වූ විට ඔබේ වයස කීය ද?
වියන්ට්: අවුරුදු දහයක් පමණ. මා පාසලෙන් ගෙදර පැමිණි විගස ම, මං රූපවාහිනිය දානවා. ඉස්සෙල්ල ම, මං බලන්නේ කාටූන් සහ ළමා වැඩසටහන්. ඉන් පසු ප්රවෘත්ති යනවා, . . . එතකොට මම කුස්සියට ගිහින් කන්න මොනවා හරි තිබෙනවා ද කියලා බලනවා. ඊට පස්සේ, මං නැවතත් රූපවාහිනිය ළඟට ගිහින්, මට නිදා ගන්න වුවමනා වෙන තුරු නරඹනවා.
සම්මුඛ පරීක්ෂක: එහෙත් ඔබේ මිතුරන් සඳහා ඔබට කාලය තිබුණේ කවදා ද?
වියන්ට්: රූපවාහිනිය මගේ මිතුරා වී තිබුණා.
සම්මුඛ පරීක්ෂක: එසේ නම් සෙල්ලම් කිරීමට හෝ ක්‍රීඩා කිරීමට ඔබට කිසිවිටෙකත් වේලාව තිබුණේ නැද්ද?
වියන්ට්: [සිනාසෙමින්] මට ක්‍රීඩා දක්ෂතාවයේ හැකියාවන් නෑ. මම හැම වෙලාවේ ම රූපවාහිනිය බැලුව නිසා, මං කවදාවත් ඒවා වර්ධනය කළේ නෑ. මං දුර්වල පැසි පන්දු ක්‍රීඩකයෙක්. ඒ වගේ ම සරඹ පංතියේ දී හැම වෙලාවෙ ම අන්තිමට ම තෝර ගන්න තැනැත්තා මායි. එහෙත්, මගේ ක්‍රීඩා දක්ෂතාවයන් මීට වඩා ටිකක් වැඩියෙන් වර්ධනය කර ගෙන තිබුණා නම්—මට පාරට්ටු කර ගනිමින් ඇවිදින්නට තිබුණා නොවෙයි, නමුත් එහෙම කළා නම් අඩු ම තරමින් මට ම ප්‍රීතිය භුක්ති විඳින්නට පුළුවන් ව තිබුණා.
සම්මුඛ පරීක්ෂක: ඔබේ ලකුණු ගැන කියන්න පුළුවන් කුමක් ද?
වියන්ට්: ජ්‍යේෂ්ඨය සමත්වීමට මට හැකි වුණා. මම රෑ වෙන තුරු නිදි මරා, මගේ ගෙදර වැඩ කරන්නේ අන්තිම මොහොතෙයි. ඒත් මම එවැනි දුර්වල පාඩම් පුරුදු ඇති කර ගෙන තිබුණ නිසා උසස් පාසලේ දී වඩා අමාරු වුණා.
සම්මුඛ පරීක්ෂක: රූපවාහිනිය නැරඹීමෙන් ම ඔබට අහිතකර බලපෑමක් ඇති වී තිබෙනවා ද?
වියන්ට්: ඔව්, සමහර වෙලාවට මා ජනයා අතරේ සිටින විට, සාකච්ඡාවට සහභාගි වෙනවා වෙනුවට—මා රූපවාහිනි දර්ශනයක පිළිසඳරක් නරඹමින් සිටින්නාක් මෙන්—මං ඔවුන් දෙස නිකම් බලා සිටින බවයි මට දැනෙන්නේ. මීට වඩා හොඳින් ජනයා සමඟ සම්බන්ධයක් පැවැත්වීමට හැකි වුණා නම් කියලා මට සිතෙනවා.
සම්මුඛ පරීක්ෂක: හොඳයි, මෙම සාකච්ඡාවේ දී ඔබ කදිම ලෙස කථා කර තිබෙනවා. නිසැක ව ම ඔබේ ඇබ්බැහි වීමෙන් ඔබ ගොඩ ඇවිත් තියෙනවා.
වියන්ට්: මා උසස් පාසලට ඇතුළු වූවාට පස්සේ රූපවාහිනියෙන් ඈත් වීමට මං පටන් ගත්තා. . . . මං සාක්ෂිකාර යෞවනයන්ගේ ආශ්‍රය සොයා ගත්තා, ඒ වගේ ම ආත්මික ප්‍රගතියක් ඇති කර ගන්න පටන් ගත්තා.
සම්මුඛ පරීක්ෂක: එහෙත් ඔබේ රූපවාහිනිය බැලීමට මෙය සම්බන්ධ වන්නේ කෙසේ ද?
වියන්ට්: ආත්මික දේවල් කෙරෙහි මගේ අගය කිරීම වැඩි වූ නිසා, මා බැලූ දර්ශනවලින් බොහොමයක් ඇත්තට ම ක්‍රිස්තියානින් සඳහා නොවූ බව මං වටහා ගත්තා. එසේ ම, බයිබලය වැඩියෙන් පාඩම් කිරීමටත්, ක්‍රිස්තියානි රැස්වීම් සඳහා සූදානම් වීමට ඇති අවශ්‍යතාවයත් මට වැටහුණා. ඉන් අදහස් වුණේ රූපවාහිනිය බැලීමෙන් වැඩි කොටසක් කපා හැරීමයි. එහෙත්, එය පහසු එකක් වුණේ නෑ. එම සෙනසුරාදා-උදෑසන කාටූන්වලට මං ඉතා කැමැත්තක් දක්වමින් සිටියා. එහෙත් ඉන්පස්සේ සභාවේ ක්‍රිස්තියානි සහෝදරයෙක් සෙනසුරාදා-උදේ ඔහු සමඟ ගෙයින්-ගෙට දේශනා වැඩයෙහි යෑමට මට ආරාධනා කළා. එය සෙනසුරාදා උදෑසන රූපවාහිනිය බැලීමේ මගේ පුරුද්ද නවතා දැමුවා. එනිසා අන්තිමේ දී මං රූපවාහිනිය නැරඹීම ඇත්තෙන් ම අඩු කරන්න ඉගෙන ගත්තා.
සම්මුඛ පරීක්ෂක: අද දින ගැන කුමක් කිව හැකි ද?
වියන්ට්: කෙසේ නමුත්, රූපවාහිනිය දාලා තිබෙනවා නම්, මට වෙන කිසි දෙයක් කිරීමට බැරි වීමේ ගැටලුව මට තවමත් තිබෙනවා. එමනිසා බොහෝ අවස්ථාවල මම ඒක නොදා තියනවා. ඒ විතරක් නොවෙයි, මාස කීපයකට ඉස්සෙල්ලා මගේ රූපවාහිනිය කැඩුණා, එය සාදා ගැනීමට මං මහන්සි ගත්තේ නෑ.
[291 පිටුවෙහි ඇති පින්තූර]
රූපවාහිනිය බැලීම ඇතැමෙකු සඳහා බරපතළ ඇබ්බැහි වීමකි
[294 පිටුවෙහි ඇති පින්තූර]
අපහසු ස්ථානයක රූපවාහිනියක් තබා තිබෙන විට, එය ක්‍රියාත්මක කිරීමට පෙලඹීම අඩු වේ