ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yp 19 පරි. 150-157 පි.
  • මගේ පාඩුවේ සිටීමට ළමුන් මට ඉඩ නොහරින්නේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මගේ පාඩුවේ සිටීමට ළමුන් මට ඉඩ නොහරින්නේ මන්ද?
  • යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සිනහ වීමට කරුණක් නොවේ
  • ඔවුන් එසේ කිරීමට හේතුව
  • හිරිහැර කිරීම නැවැත්වීම
  • ඔබේ ආලෝකය බබළන්නට සැලැස්වීම
  • පළිගැනීමේ තියෙන වරද මොකක්ද?
    2001 පිබිදෙව්!
  • ලිංගික හිරිහැරවලට ලක් වුණොත් මම මොකද කරන්නේ?
    2000 පිබිදෙව්!
  • පාසැලේ මාව දන්න කෙනෙක් මුණගැසුණොත්?
    2002 පිබිදෙව්!
  • හිරිහැරවලින් බේරෙන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
තව තොරතුරු
යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
yp 19 පරි. 150-157 පි.

පරිච්ඡේද 19

මගේ පාඩුවේ සිටීමට ළමුන් මට ඉඩ නොහරින්නේ මන්ද?

පිරිමි ළමයාගේ ගමන් විලාශය පැහැදිලි ව යමක් හෙළි කරයි. සිතේ කලබල ගතියෙන් හා තමන් ගැන ම නිසැකකමක් නොමැති ව, ඔහු තම නව වටපිටාව නිසා වික්ෂිප්ත ව සිටින බව පැහැදිලි ය. ඔහු පාසලේ අලුත් ළමයෙකු බව වැඩිමල් ශිෂ්‍යයෝ විගස හඳුනා ගනිත්. සුළු මොහොතකින් අසභ්‍ය වචනවලින් පහර දීමට පටන් ගන්න යෞවනයන්ට ඔහු කොටු වේ! ඔහුගේ මුහුණ රතු වී, ඔහු ළඟ ම ආරක්ෂා ස්ථානයට—විවේකාගාරයට—දිව යයි. සිනා හඬ බිත්ති අතරේ ප්‍රතිනාදය වේ.

හිරිහැර කිරීම, සරදම් කිරීම සහ අන්‍යයන්ට අවමන් කිරීම, බොහෝ යෞවනයන්ගේ කෲර විනෝද ක්‍රියාවන් ය. බයිබල් කාලවල දී පවා, ඇතැම් යෞවනයෝ නපුරු ක්‍රියාදාමයක් පිළිබිඹු කළහ. උදාහරණයක් ලෙස, යෞවන පිරිමි ළමුන්ගේ කණ්ඩායමක් විටෙක ප්‍රොපේත එලිෂාට හිරිහැර කළහ. ඔහුගේ නිළයට නිග්‍රහ කරමින්, යෞවනයෝ ගරුසරු නැතිව මෙසේ කෑගැසුවෝ ය: “පලායව තට්ටයා, පලායව තට්ටයා!” (2 රාජාවලිය 2:​23-25) අද දින, බොහෝ යෞවනයෝ එලෙස ම අන්‍යයන් ගැන වේදනාකාරී ප්‍රකාශයන් කරමින්, අවමන් කිරීමට නැඹුරු වෙති.

“නවවන ශ්‍රේණියේ දී මම මගේ පන්තියේ කුඩා ම ළමයා ව සිටියා,” යයි ග්‍රොයින් පේන්ස් ඉන් ද ක්ලාස්රූම් හි කර්තෘවරුන්ගෙන් කෙනෙක් සිහිපත් කරයි. “පංති කාමරයේ දක්ෂ ම හා මිටි ම ළමයා වී සිටීම, උසස් කණිෂ්ඨ ශිෂ්‍යයෙකුට විපත්ති දායක සංයෝජනයකි: කුඩා ම තැනැත්තා වී සිටීම නිසා මට පහර දීමට අකැමැති වූ අය මා දක්ෂයෙකු වූ නිසා පහර දුන්නා. ‘ඇස් හතර,’ කියාත්, ඊට අමතර ව ‘ඇවිදින ශබ්දකෝෂය,’ කියාත්, වෙනත් විශේෂණයන් [පීඩාකාරී වචන] 800කිනුත්, මා ව හඳුන්වනු ලැබුවා.” ද ලෝන්ලිනස් ඔෆ් චිල්ඩ්රන් හි කර්තෘ ඊට මෙසේ එකතු කරයි: “ශාරීරික ආබාධයන්, කථා කිරීමේ ගැටලු හෝ පැහැදිලි ව පෙනෙන ශාරීරික හෝ චර්යා විශේෂත්වයන්ගෙන් යුත් ළමුන්, අන් ළමුන්ගෙන් සරදම් ලබන පහසු ඉලක්කයන් ය.”

ඇතැම් විට යෞවනයෝ කෲර තරඟයකට තුඩු දෙන දේවලට හවුල්වීමෙන් තමන් ව ආරක්ෂා කර ගනිති: (බොහෝ විට අන්‍යයන්ගේ දෙමව්පියන් සම්බන්ධයෙන්) වේදනාකාරී අවමන් කිරීම්වලින් එකිනෙකාට පහර දෙති. එහෙත් තුල්‍ය හිරිහැර කිරීම හමුවේ බොහෝ යෞවනයෝ අනාරක්ෂිත ව සිටිති. සහකාර පංති මිතුරන්ගෙන් වූ සරදම හා හිරිහැර කිරීම හේතුවෙන්, ඇතැම් දිනවල ඔහු කොතරම් බියෙන් හා අසතුටෙන් සිටියා ද කිවහොත් තමාට ‘වමනය යයි කියා ඔහු සිතූ,’ බව එක් යෞවනයෙක් සිහිපත් කරයි. අනෙක් ශිෂ්‍යයන් ඔහුට කුමක් කරයි ද යන්න ගැන කනස්සලු වෙමින් සිටි හෙයින් ඔහුට තම පාඩම් කෙරෙහි සිත යොමු කිරීමට නොහැකි විය.

සිනහ වීමට කරුණක් නොවේ

ඔබ තුල්‍ය කෲරත්වයේ උපහාසයට ලක් වී තිබෙන්නෙහි ද? එසේ නම් දෙවියන් වහන්සේ එය සිනහ වීමට කරුණක් ලෙස නොසලකන බව දැනගැනීම ඔබට සැනසිල්ලක් විය හැක. ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ කිරි වැරීමේ මංගල්‍යය පැවැත්වීම ගැන බයිබල් වාර්තාව සලකා බලන්න. පෙනෙන ආකාරයට ඊසාක්ට ලැබෙන උරුමය ගැන ඊර්ෂ්‍යා වූ ආබ්‍රහම්ගේ වැඩිමල් පුත් ඉශ්මායෙල්, ඊසාක්ට “සරදම් කිරීමට” පටන් ගත්තේ ය. කෙසේ නමුත්, එම විහිළු කිරීම හොඳ-සිතකින් කරන ලද එකක් නොවී, සරදම් කිරීම ‘පීඩා’ කිරීමක් බවට පත් විය. (ගලාති 4:29) මෙබැවින් ඊසාක්ගේ මව, සාරාට, සරදම් කිරීම තුළ වූ වෛරය ගැන අවබෝධ විය. එය තම පුත් ඊසාක්ගේ මාර්ගයෙන්, “වංශයක්,” හෝ මෙසියස්, ඇති කිරීමේ යෙහෝවඃ වහන්සේගේ අරමුණට නිග්‍රහ කිරීමක් බව ඇය වටහා ගත්තා ය. සාරාගේ ඉල්ලීම නිසා, ඉශ්මායෙල් හා ඔහුගේ මව ආබ්‍රහම්ගේ නිවසෙන් පිටමං කරන ලදි.—උත්පත්ති 21:​8-14.

එලෙස ම, යෞවනයෝ නපුරු අදහසින් ඔබට හිරිහැර කරන විට—විශේෂයෙන් බයිබල් ප්‍රමිතීන්ට අනුව ඔබ ජීවත්වීමට වෑයම් කරන නිසා ඔවුන් එසේ කරන විට—එය සිනහ වීමට කරුණක් නොවේ. උදාහරණයක් ලෙස, ක්‍රිස්තියානි යෞවනයෝ, අන්‍යයන් සමඟ තම ඇදහිල්ල බෙදා ගන්නන් වශයෙන් හඳුන්වා ඇත. එහෙත්, යෙහෝවඃ වහන්සේගේ යෞවන සාක්ෂිකරුවන්ගේ කණ්ඩායමක් පැවසුවේ මෙයාකාරයෙන් ය: “අපි ගෙයින් ගෙට ගොස් දේශනා කරන නිසා පාසලේ සිටින ළමයි අපට විහිළු කරනවා, ඒ නිසා අපට පහත් ලෙස සලකනවා.” එසේ ය, පැරණි කාලයේ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත සේවකයින් මෙන්, බොහෝ ක්‍රිස්තියානි යෞවනයින් “සරදම් මගින් . . . පීඩා ලබයි.” (හෙබ්‍රෙව් 11:​36, NW) එවන් පරිභව කිරීම් විඳදරා ගැනීමේ දී ඔවුන්ගේ ධෛර්යය නිසා ඔවුන් ප්‍රශංසා ලැබිය යුතු ය!

ඔවුන් එසේ කිරීමට හේතුව

කෙසේ නමුත්, ඔබට සිත් වේදනාවන් දෙන්නන් ව පාඩුවේ සිටීමට සලස්වන්නේ කෙසේ දැයි ඔබ කල්පනා කළ හැක. ප්‍රථමයෙන්, සරදම හට ගැනීමට හේතුව සලකා බලන්න. “සිනාසීමේදී පවා සිතේ කනගාටු තිබේ,” යයි බයිබලයේ හිතෝපදේශ 14:13 පවසයි. යෞවනයන් කණ්ඩායමක් විසින් කෙනෙකුට හිරිහැර කරන විට විගස සිනහ හඬ පැතිරේ. එහෙත් ඔවුන් ‘හෘදයේ යහපත් තත්ත්වය නිසා ප්‍රීති හඬ නගනවා,’ නොවේ. (යෙසායා 65:14) බොහෝ විට සිනාසීම ඇතුළාන්ත වියවුල සඟවන හුදෙක් වෙස් මාරු කිරීමකි. බොරු චන්ඩිකමක් පෙන්වුවත් සිත් වේදනාවන් දෙන්නන් ඇත්තෙන් ම මෙසේ පවසනවා විය හැක: ‘අප අපට ම කැමති නෑ, ඒත් කෙනෙකු පහත් කිරීමෙන් වඩා හොඳ ගතියක් අපට දැනෙනවා.’

ඊර්ෂ්‍යාව ද ප්‍රහාරයන්වලට පෙලඹීමකි. තම පියාගේ ප්‍රියතම දරුවා තමා වූ බැවින් ඔහුගේ ම සහෝදරයන් ඔහුට විරුද්ධ ව නැගී සිටි යෞවන යෝසෙප් ගැන වූ බයිබල් වාර්තාව සිහිපත් කරන්න. අධිකතර ඊර්ෂ්‍යාව වාචික පීඩාවට පමණක් නොව නමුත් මිනී මැරීම ගැන පවා කල්පනා කිරීමට මඟ පෑදී ය! (උත්පත්ති 37:​4, 11, 20) එලෙස ම අද දින, ඉතා දක්ෂ හෝ ගුරුවරුන් විසින් මහත් කැමැත්තක් දක්වන ශිෂ්‍යයෙක් තම තුල්‍යයන්ගේ ඊර්ෂ්‍යාව ඇවිස්සිය හැක. පෙනෙන හැටියට අවමන් කිරීම ‘ඔහු ව, සාමාන්‍ය තත්ත්වයකට පහත දැමීමක් බඳු ය.’

මෙබැවින් බොහෝ විට අසුරක්ෂිත භාවය, ඊර්ෂ්‍යාව හා පහත් ආත්ම-අභිමානය, අවමන් කිරීමට හේතූන් වේ. එසේ නම්, යම් අසුරක්ෂිත යෞවනයෙකුට තම සුරක්ෂිතය නැති වී තිබෙන බැවින් ඔබ ඔබගේ ආත්ම-ආභිමානය නැති කර ගත යුත්තේ මන්ද?

හිරිහැර කිරීම නැවැත්වීම

“නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, . . . මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය,” යයි ගීතිකාකරු පවසයි. (ගීතාවලිය 1:1) ඔබ වෙතින් අවධානය වෙනතකට හැරවීම සඳහා අවමන් කරන්නන්ට එකතු වීමෙන් හුදෙක් අවමන් කිරීම් දිගට ම පවතිනවා පමණකි. “කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. . . . යහපතින් නපුර පරාජය කරන්න,” යනු දිව්‍ය අවවාදයයි.—රෝම 12:​17-21, නව අනුවාදය.

දේශනාකාරයා 7:9 හි තවදුරටත් මෙසේ පවසයි: “කෝපවීමට [අමනාප වීමට NW ] නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය [අමනාපය NW ] පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය.” එසේ ය, ඔබ සරදම් කිරීම එතරම් බරපතළ ලෙස ගණන් ගන්නේ මන්ද? ඔබේ දේහ ලක්ෂණවලට විහිළු කරනවා නම් හෝ ඔබේ මුහුණේ කැලැල්වලින් විනෝදයක් ලබනවා නම් එය වේදනාකාරී දෙයක් බව සැබෑවකි. කෙසේ නමුත්, ප්‍රකාශයන්, අප්‍රිය විය හැකි වුවත්, ඒවා අනිවාර්යයෙන් ම ද්වේෂ සහගත සිතින් කරන දේවල් නොවේ. එබැවින් කෙනෙක් අහිංසක ලෙස—හෝ සමහර විට එතරම් අහිංසක නොවන ලෙස පවා—ඔබට යම් සංවේදයක් ඇති කරන කාරණයක් වෙත අවධානය යොමු කරනවා නම්, නොඉවසිලිමත් වන්නේ මන්ද? පවසන ලද දෙය අසභ්‍ය හෝ ගරුසරු නැති දෙයක් නොවේ නම්, එහි ඇති හාස්‍ය බව දැකීමට වෑයම් කරන්න. “සිනාසීමට කාලයක්” තිබේ, තව ද සෙල්ලමට කරන ලද සරදමකට තරහා ගැනීම වුවමනාවට වඩා ප්‍රතික්‍රියා කිරීමක් විය හැක.—දේශනාකාරයා 3:4.

එහෙත් සරදම් කිරීම කෲර නම් හෝ එපමණක් නොව නපුරු නම් කුමක් ද? ඔබේ ප්‍රතික්‍රියාවෙන් සතුටු වීමට, ඔබේ දුකේ දී කෲර වින්දනයක් ලැබීමට අවමන් කරන්නාට වුවමනා බව මතක තබා ගන්න. බැණ වැදීම, ආරක්ෂාව සෙවීම හෝ කඳුළු හෙළීම, හිරිහැර කිරීම දිගට ම කරගෙන යෑමට ඔහුට හෝ ඈට උනන්දු කිරීමක් විය හැක. ඔබ සිත් තැවුලට පත් වෙනවා දැකීමෙන් එම තැනැත්තාට සෑහීමක් ගෙන දෙන්නේ මන්ද? අවමන් කිරීම වැළැක්වීමට හොඳ ම මාර්ගය වන්නේ බොහෝ විට ගණන් නොගෙන ඒවා නොසලකා හැරීම ය.

සාලමොන් රජු තවදුරටත් මෙසේ පැවසී ය: “මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න [“මනුෂ්‍යයන් කියන සෑම දෙයකට ම අවධානය යොමු නොකරන්න”—ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්], එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත. මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය.” (දේශනාකාරයා 7:​21, 22) අවමන් කරන්නන්ගේ ඇනුම්පද සහිත ප්‍රකාශයන්ට “ඔබේ සිත යොමු කිරීමෙන්” වුවමනාවට වඩා ඔබ ගැන ඔවුන්ගේ විනිශ්චය පිළිබඳ ව සැලකිලිමත්වීමක් අදහස් වනු ඇත. ඔවුන්ගේ විනිශ්චය වලංගු ද? ඊර්ෂ්‍යාකාර තුල්‍යයන්ගෙන් ප්‍රේරිත පාවුල් අසාධාරණ ලෙස ප්‍රහාර ලැබූ නමුත්, ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: “නුඹලා විසින්වත් මනුෂ්‍ය විනිශ්චයෙන්වත් මා විනිශ්චයකරනු ලැබීම මට ඉතා සුළු දෙයක්ය. . . . මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය. [යෙහෝවඃ වහන්සේ ය. NW ]” (1 කොරින්ති 4:​3, 4) දෙවියන් වහන්සේ සමඟ වූ පාවුල්ගේ සම්බන්ධතාවය එතරම් ම ශක්තිමත් වූ බැවින් අසාධාරණ නිග්‍රහ කිරීම් ඉදිරියේ නොසැලී සිටීමට ඔහුට නිසැකකම හා ඇතුළාන්ත ශක්තිය තිබුණි.

ඔබේ ආලෝකය බබළන්නට සැලැස්වීම

ඇතැම් විට ක්‍රිස්තියානියෙකු වශයෙන් වූ ඔබේ ජීවන මාර්ගය නිසා ඔබ සරදමට ලක් විය හැක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ම එවැනි “විරුද්ධ කථා,” විඳදරා ගැනීමට සිදු විය. (හෙබ්‍රෙව් 12:3, NW) යෙහෝවඃ වහන්සේගේ පණිවුඩය නිර්භීත ලෙස කථා කළ බැවින් යෙරෙමියා ද “දවස පුරා . . . කවටකම්,” ලබන්නෙක් බවට පත්විය. හිරිහැර කිරීම කොතරම් පීඩාකාරී වූවාද කියතොත් යෙරෙමියාට තම ධෛර්යය තාවකාලික ව නැති වී ගියේ ය. “මම සමිඳාණෝ [යෙහෝවඃ වහන්සේ NW ] අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි,” කියා ඔහු තීරණය කළේ ය. කෙසේ වුවද, දෙවියන් වහන්සේට හා සත්‍යයට වූ ඔහුගේ ප්‍රේමය අවසානයේ දී තම බියගුලු බවින් මිදෙන්නට ඔහු ව පෙලඹ විය.—යෙරෙමියා 20:​7-9, නව අනුවාදය.

එලෙස ම අද දින ඇතැම් ක්‍රිස්තියානි යෞවනයන් ද අධෛර්යට පත් වී තිබේ. සරදම් කිරීම නැවැත්වීමට කැමැත්තෙන්, ඇතැම් අය තමන් ක්‍රිස්තියානින් ය යන කාරණය වසන් කිරීමට වෑයම් දරා තිබේ. එහෙත් දෙවියන් වහන්සේට තිබෙන ප්‍රේමය මගින් බොහෝ විට අවසානයේ දී එවැනි අයට තම බියගුලු බවින් ජය ගෙන, ‘තම ආලෝකය බබළවන්නට’ පොලඹවා ඇත! (මතෙව් 5:16) උදාහරණයක් ලෙස, එක් නහඹර පිරිමි ළමයෙක් මෙසේ පැවසුවේ ය: “මගේ ආකල්පය වෙනස් වුණා. මම ක්‍රිස්තියානියෙකු වී සිටීම උසුලා ගෙන සිටින බරක් යයි කල්පනා කිරීම නවතා, එය ආඩම්බර වීමට දෙයක් යයි කල්පනා කිරීමට පටන් ගත්තා.” දෙවියන් වහන්සේ දැන සිටීමේ හා අන්‍යයන්ට උපකාර කිරීමට උන් වහන්සේ විසින් යොදවනු ලැබීමේ වරප්‍රසාදය ගැන ඔබට ද “පාරට්ටු” කළ හැක.—1 කොරීන්ති 1:31.

කෙසේ වුවද, නොකඩවා අන්‍යයන් ව විවේචනය කිරීම මගින් හෝ ඔබ උසස් යයි ඔබ සිතන බවට අන්‍යයන්ට හැඟීමක් දීම මගින් හෝ වෛරය ඇති නොකරන්න. ඔබේ ඇදහිල්ල බෙදා ගැනීමට ප්‍රස්තාව මතු වෙන විට, එසේ කරන්න, නමුත් “මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.” (1 පේතෘස් 3:15) ඔබ පාසලේ සිටින කාලයේ දී, යහපත් හැසිරීම සඳහා ඔබේ කීර්තිය, ඔබට ඉමහත් ආරක්ෂාවක් වන බවට ඔප්පු විය හැක. ඔබේ නිර්භීත ස්ථාවරය ගැන අන්‍යයන් අකැමැති විය හැකි වුවත්, ඔවුන් බොහෝ විට ඊර්ෂ්‍යා සහගත ලෙස ඔබට ගරු කරනු ඇත.

වනෙස්සා නමැති ගැහැණු ළමයාට, පහර දෙමින්, ඈ ව තල්ලු කරමින්, ඇගේ අතෙන් පොත් බිම හෙලමින්, ගැහැණු ළමුන් කණ්ඩායමක් විසින් හිරිහැර කරන ලදි—සියල්ල ම දබරයක් ඇවිස්සීමට දරන වෑයමක් සඳහා ය. එපමණක් ද නොව ඔවුහු ඇගේ හිස පිට සහ සුදු ඇඳුමේ චොකලට් කිරි වත් කළෝ ය. එහෙත් ඇය කිසිවිටෙක ඇවිස්සුනේ නැත. පසු කලෙක, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක දී කණ්ඩායමේ කැරලිකාර නායකයා ව වනෙස්සාට මුණ ගැසුණි! “මම ඔබට ද්වේෂ කළා . . . , ඔබේ සන්සුන්කම එක් වරක් හෝ නැති වෙනවා දැකීමට මට වුවමනා වුණා,” යයි කලින් හිංසා කළ තැනැත්තිය පැවසුවා ය. කෙසේ වුවද, වනෙස්සා ඇගේ ශාන්ත භාවය පවත්වා ගත්තේ කෙසේ ද යන්න ගැන ඈ තුළ වූ කුතුහලය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට එකඟ වීමට ඇයට මඟ පෑදී ය. “මම ඉගෙන ගත් දෙය කෙරෙහි මට තද ඇල්මක් ඇති වුණා, ඒ වගේ ම මං හෙට බව්තීස්ම වෙනවා,” යයි ඈ තවදුරටත් පැවසුවා ය.

එබැවින් ඔබේ ස්වභාවය බිඳීමට තුල්‍යයන්ගේ “විරුද්ධ කථාවට” ඉඩ නොදෙන්න. සුදුසු අවස්ථාවල දී, හාස්‍ය රසය දක්වන්න. නපුරුකමට කරුණාවන්තකමින් ප්‍රතිචාරය දක්වන්න. විරුද්ධවාදිකමේ ඇවිලෙන ගින්නට පිදුරු දැමීම ප්‍රතික්ෂේප කරන්න, කාලයාගේ ඇවෑමෙන් ඔබට සිත් වේදනාවක් දෙන්නන්ට හිරිහැර කිරීමට ඔබ ව ඉලක්කයක් කර ගැනීමෙන් ලැබෙන්නේ සුළු සතුටක් විය හැක, මන්ද “දර නැති තැන ගින්න නිවීයයි.”—හිතෝපදේශ 26:20.

සාකච්ඡාව සඳහා ප්‍රශ්න

◻ කෲර ලෙස අන්‍යයන්ට සරදම් කරන්නන් ව දෙවියන් වහන්සේ සලකන්නේ කෙසේ ද?

◻ යෞවන හිරිහැර කිරීම පිටුපස බොහෝ විට තිබෙන්නේ කුමක් ද?

◻ හිරිහැර කිරීම අඩු කිරීමට හෝ නැවැත්වීමට පවා ඔබට හැක්කේ කෙසේ ද?

◻ අන්‍යයන් ඔබට සරදම් කරන විට පවා, පාසලේ දී “ඔබේ ආලෝකය බබළන්නට ඉඩහැරීම” වැදගත් වන්නේ මන්ද?

◻ පාසලේ දී සහසික ක්‍රියාවලින් ඔබ ව ආරක්ෂා කර ගැනීමට ඔබට කුමන පියවර ගත හැකි ද?

[155 පිටුවෙහි හුවා දැක්වීම]

බොරු චන්ඩිකමක් පෙන්වුවත් සිත් වේදනාවන් දෙන්නන් ඇත්තෙන් ම මෙසේ පවසනවා විය හැක: ‘අප අපට ම කැමති නෑ, ඒත් කෙනෙකු පහත් කිරීමෙන් අපට වඩා හොඳ ගතියක් දැනෙනවා’

[152 පිටුවෙහි ඇති කොටුව]

බැට කෑමෙන් වැළකීමට මට හැක්කේ කෙසේ ද?

‘ඔබ පාසලට පැමිණෙන විට ඔබේ අත්වල ඔබේ ජීවිතය රැගෙන එන්නේ ය.’ බොහෝ ශිෂ්‍යයෝ එසේ පවසති. එහෙත් ආයුධයක් රැගෙන ඒම අනුවණකමක් හා කරදර කැඳවීමකි. (හිතෝපදේශ 11:27) එසේ නම්, ඔබට ඔබ ව ම ආරක්ෂා කර ගත හැකි වන්නේ කෙසේ ද?

අනතුරු දායක ස්ථාන දැනගෙන ඉන් වළකින්න. කොරිඩෝරයන්, පියගැට පෙළවල් සහ ගබඩා කාමර, ඇතැම් පාසල්වල සැබෑ කරදර ස්ථානයන් වේ. තව ද දබර හා මත් ද්‍රව්‍ය භාවිතය සඳහා එකතු වන ස්ථාන වශයෙන් විවේකාගාර ඉතා අපකීර්තිමත් ස්ථාන වන බැවින් මෙම පහසුකම් සහිත ස්ථාන භාවිතයට ගැනීමට වඩා බොහෝ යෞවනයෝ එවන් ස්ථාන මගින් අපහසුතාවය විඳිති.

ඔබේ ආශ්‍රිතයන් ගැන සැලකිලිමත් වන්න. හුදෙක් තමා නුසුදුසු අය සමඟ ආශ්‍රය කරන බැවින් බොහෝ විට යෞවනයෙකු දබරයකට කොටු වී සිටින බව ඔහු දැනගනියි. (හිතෝපදේශ 22:​24, 25 බලන්න.) සැබවින් ම, ඔබේ පාසල් මිතුරන්ට අකමැත්තක් දැක්වීම ඔවුන් පිටස්තරයන් ලෙස සැලකීමක් විය හැක, නැතහොත් ඔබ කෙරෙහි ඔවුන් තුළ වෛරයක් ඇති කළ හැක. ඔබ ඔවුන්ට මිත්‍රශීලී හා ආචාරසම්පන්න වෙනවා නම්, ඔබට ඔබේ පාඩුවේ ඉන්නට ඉඩ දීමට ඔවුන් වඩාත් නැඹුරු වන්නට ඉඩ තිබේ.

දබරවලින් ඉවත් ව යන්න. “ එකිනෙකා අතර තරඟ ඇති කිරීමට බල කිරීමෙන්,” වළකින්න. (ගලාති 5:​26, NW පාද සටහන) ඔබ දබරයක ජයග්‍රාහයකයා වුවත්, ඔබේ එදිරිකාරයා, ඔහු හෝ ඇය, තමාටත් වාරයක් පැමිණෙන තෙක් නිසොල්මනේ බලා සිටින්නට පුළුවන. එබැවින් පළමු ව දබරයකින් ඉවත් ව යනු වස් කථා කිරීමට වෑයම් කරන්න. (හිතෝපදේශ 15:1) කථා කිරීමෙන් පලක් නොවේ නම්, මුහුණ පා සිටින සහසික තත්ත්වයෙන් ඉවත් ව යන්න—නැතහොත් දුවන්න. මතක තබාගන්න, “ මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය.” (දේශනාකාරයා 9:4) අවසාන උපාය වශයෙන්, ඔබ ව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සාධාරණ උපක්‍රම යොදන්න.—රෝම 12:18.

ඔබේ දෙමව්පියන්ට කථා කරන්න. යෞවනයන් “ තම පාසල් දාමරිකයන් ගැන දෙමව්පියන්ට කියා සිටින්නේ කලාතුරකිනි. මන්ද තමන් බියගුලුයි කියා දෙමව්පියන් සිතයි, නැතහොත් කවටකම්වලට එරෙහි ව නැගී නොසිටින නිසා තමන්ට සැර වේ යයි බිය වෙන බැවිනි.” (ද ලෝන්ලිනස් ඔෆ් චිල්ඩ්රන්) එහෙත්, බොහෝ විට, කරදරය නැවැත්වීමට එක ම මාර්ගය වන්නේ දෙමව්පියෙකුගේ මැදිහත්වීම පමණි.

දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න. ඔබ ව ශාරීරික අනතුරෙන් වළක්වන බවට දෙවියන් වහන්සේ සහතික වන්නේ නැත. එහෙත් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට ධෛර්යය හා තත්ත්වය සන්සුන් කිරීමට අවශ්‍ය ප්‍රඥාව දීමට උන් වහන්සේට හැක.—යාකොබ් 1:5.

[151 පිටුවෙහි ඇති පින්තූර]

බොහෝ යෞවනයෝ තුල්‍ය හිරිහැරවල ගොදුරන් වෙත්

[154 පිටුවෙහි ඇති පින්තූර]

හිරිහැර කරන්නාට වුවමනා වන්නේ ඔබේ දුකේ දී ප්‍රීතියෙන් උමතු වීමටයි. බැණ වැදීම හෝ කඳුළු සැලීම තවදුරටත් හිරිහැර කිරීමට දිරි දීමක් පවා විය හැක

[156 පිටුවෙහි ඇති පින්තූර]

විහිළු කරනු ලබන විට සිනාමුසු භාවයක් දැක්වීමට වෑයම් කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න