පරිච්ඡේද 20
මගේ ගුරුවරයා සමඟ පෑහී සිටීමට මට හැක්කේ කෙසේ ද?
“අසාධාරණ ගුරුවරයෙකු මට රුස්සන්නෙ නෑ,” යයි යෞවන විකී පවසයි. ඔබටත් එලෙස හැඟෙන බවට කිසි සැකයක් නැත. එහෙත්, 1981 දී අමෙරිකානු යෞවනයන් 1,60,000ක් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයක දී, තම ගුරුවරුන් යම් ආකාරයක අනිසි අනුග්‍රහයක් දක්වන බවට සියයට 76දෙනෙක් දෝෂාරෝපණය කළහ!
තමන් උසස් ආකාරයෙන් වැඩ කළා යයි සිතන යෞවනයන්ට අඩු ලකුණු ලැබෙන විට ඔවුහු සිත් තැවුලට පත් වෙති. හික්මවීම අධික ව තිබෙනවා යයි හෝ එය නුවමනා යයි කියා පෙනෙන විට නැතහොත් ජාතිවාදී අගති හැඟීම් මගින් පොලඹවන බවත් පෙනෙන විට ඔවුහු ඒ ගැන අමනාපය දක්වති. ගුරුවරයා පංතියේ තම සුරතලාට විශේෂ අවධානයක් යොමු කරන විට හෝ ප්‍රමුඛ අනුග්‍රහ පූර්වක සැලකීමක් කරන විට ඔවුහු කෝප වෙති.
ගුරුවරුන් නොවරදින සුලු අය නොවන බව පිළිගත යුත්තකි. තමන්ට ආවේණික වූ අමුතු ගතිලක්ෂණ, ගැටලු සහ අගතීන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන්ට තිබේ. කෙසේ වුවද, බයිබලය මෙසේ උපදෙස් දෙයි: “කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න.” (දේශනාකාරයා 7:9) ගුරුවරු පවා “බොහෝ වර . . . පැකිලේ. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.” (යාකොබ් 3:2) එමනිසා ඔබේ ගුරුවරයාට සැකයේ වාසිය දෙන්නට ඔබට පුළුවන් ද?
තම ගුරුවරයා “සෑම දෙනාට ම බැණවදින” බව ෆ්‍රෙඩී නමැති යෞවනයා දුටුවේ ය. ෆ්‍රෙඩී උපායශීලී ව ගුරුවරයා වෙත එළඹී මෙම පරුෂ හැසිරීමට හේතුව සොයා ගත්තේ ය. “අද උදේ මගේ මෝටර් රථය මට කරදර දුන්නා, පාසලට එන අතරතුරේ දී එය අධික ලෙස රත් වුණා, මට වැඩට එන්නත් පමා වුණා,” කියා ගුරුවරයා පැහැදිලි කළේ ය.
ගුරුවරු සහ ඔවුන්ගේ සුරතලුන්
ගුරුවරයාගේ සුරතලුන්ට දක්වන විශේෂ අනුග්‍රහයන් ගැන කුමක් ද? ගුරුවරයෙකු අද්විතීය ඉල්ලීම් හා පීඩනයන්ට මූණපාන බව සිතේ තබා ගන්න. බීං ඇඩොලෙසන්ට් යන පොත, ගුරුවරුන් විස්තර කරන්නේ, “සාමාන්‍යයෙන් ම මනස් වෙනතකට යොමු වී තිබෙන” යෞවනයන් කණ්ඩායමකගේ අවධානය අල්ලා තබා ගැනීමට උත්සාහ කළ යුතු “බරපතළ අසීරු තත්ත්වයකට” මූණපාන අය වශයෙනි. “චිත්ත ස්වභාවය වෙනස් වෙන හා සිත වෙනතකට යොමු වෙන, යමක් කෙරෙහි මිනිත්තු 15කට වඩා වැඩි අවධානයක් යොමු කිරීමට සාමාන්‍යයෙන් ම පුරුද්දක් නැති, කණ්ඩායමක් ඔවුන් ඉදිරියේ සිටිති.”
එසේ නම්, මහන්සි වී පාඩම් කරන, අවධානය යොමු කරන, නැතහොත් ඔහුට හෝ ඈට ගරුත්වයකින් සලකන, ශිෂ්‍යයෙකු කෙරෙහි ගුරුවරයෙකු විසින් අධික අවධානයක් යොමු කිරීම පුදුමයක් ද? ‘ගුරුවරයාගේ සිත දිනාගෙන සිටින්නන්’ ඔබට වඩා වැඩි අවධානයක් ලබනවා යයි පෙනෙන්නට තිබෙන විට එය තරහා ඇවිස්සීමට හේතුවක් විය හැකි බව සත්‍යයකි. එහෙත් ඔබේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් නොසලකා හැර නොතිබෙන තාක් කල් යම් උත්සාහවන්ත ශිෂ්‍යයෙකු ගුරුවරයෙකුගේ සුරතලා වෙනවා නම් සිත් තැවුලට හෝ ඊර්ෂ්‍යාවට පත් වන්නේ මන්ද? ඇරත්, ඔබ ම මීට වඩා ටිකක් උත්සාහවන්ත වීම හොඳ අදහසක් විය හැක.
පංති කාමරයේ යුද්ධ
තම ගුරුවරයා ගැන එක් ශිෂ්‍යයෙක් මෙසේ පැවසී ය: “ඔහුට විරුද්ධ ව අප යුද්ධයක් අරඹා ඇතැයි ඔහු කල්පනා කරමින් සිටි අතර ප්‍රථමයෙන් ම අප ව ප්‍රහාරයට ලක් කිරීමට තීරණය කළේ ය.” ඔහු පීඩනෝන්මාදක පුද්ගලයෙකි. කෙසේ වුවද, ටිකක් “පීඩනෝන්මාදක වීමට” ඔවුනට අයිතියක් තිබෙන බව බොහෝ ගුරුවරුන්ට හැඟේ. බයිබලයේ පුරෝකථනය කර තිබූ පරිදි, මේවා “අන්තරා සහිත කාලවල්” වන අතර ශිෂ්‍යයෝ බොහෝ විට “තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව [ආත්මදමනය නැත්තෝව NW], කෲරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව,” සිටිති. (2 තිමෝති 3:1-3) යු.එස්.න්‍යූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් මෙලෙස පැවසී ය: “බොහෝ නගරබද පාසල් දිස්ත්‍රික්කවල ගුරුවරුන් ජීවත් වන්නේ සැහැසිකමේ බිය ඇතිවයි.”
කලින් ගුරුවරයෙකු ව සිටි රෝලන්ඩ් බෙට්ස් ගුරුවරුන් ගැන මෙසේ පවසයි: “[උපමා අලංකාරයෙන් කියනවා නම්] ගුරුවරුන් ව කෝප කරවා, ඇවිස්සීමෙන්, ඔවුන් අවසානයේ දී කුපිත ව පිපිරෙන්නට පෙර, කෙතරම් දුරකට ඔවුන් දරාගෙන සිටී ද නැතහොත් උසුලයි ද කියා බැලීම තමන්ට සහජයෙන් ලැබී තිබෙන වගකීමක් ලෙස ළමයි සලකති. . . . අලුත් ගුරුවරයෙකු ව කෝපයෙන් පිපිරීමට ආසන්න වෙන තෙක් ඔවුන් ඔහු ව කෝප කරවා ඇති බව ළමුන්ට හැඟී ගිය විට ඔවුහු තව වැඩියෙන් ඔහු ව කෝප කරවති.” ඔබ හෝ ඔබේ පංතියේ මිතුරන් ගුරු හිරිහැර කිරීමට සහභාගි වී තිබෙනවා ද? එසේ නම් ඔබේ ගුරුවරයාගේ ප්‍රතික්‍රියාව කෙරෙහි පුදුම නොවන්න.
බයිබලය මෙසේ පවසයි: “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය;” (දේශනාකාරයා 7:7) ඇතැම් පාසල්වල පැතිර පවතින බිය සහ ගරුසරු නොකරන වාතාවරණය තුළ, සමහර ගුරුවරුන් වුවමනාවට වඩා ප්‍රතික්‍රියා කරන අතර තදින් හික්මවන්නන් බවට පත්වීම තේරුම් ගත හැකි ය. ද ෆැමිලි හෑන්ඩ්බුක් ඔෆ් ඇඩොලෙසන්ස් මෙසේ නිරීක්ෂණය කරයි: “තම හැසිරීමෙන් ගුරුවරයා සුළු කර පෙන්වන . . . ශිෂ්‍යයන් ව සාමාන්‍යයෙන් ම නැවත සුළු කරනු ලබයි.” එසේ ය, බොහෝ විට එදිරිවාදී ගුරුවරයෙකු බිහි කරනු ලබන්නේ ශිෂ්‍යයින් විසින් ය!
තව ද, පංති කාමරයේ පවතින දරුණු සමච්චල්වල බලපෑම් ගැන සලකා බලන්න. ගුරුවරුන් වෙනුවට ආදේශක ගුරුවරුන්ට යෞවනයන් විසින් “විඳින්නට සලස් වන බලවත් වේදනාවන් හා හිංසාවන්” ගැන කථා කරන විට යෞවන වැලරි පවසන දේ අතිශයෝක්තියක් නොවේ. රෝලන්ඩ් බෙට්ස් තවදුරටත් මෙසේ පවසයි: “ආදේශක ගුරුවරුන් ව බොහෝ විට කෝපයෙන් පුපුරන තරමට ම, විඩාවට පත් කොට, තම පංති විසින් දයානුකම්පා රහිත ව පීඩා කරනු ලැබේ.” තමන්ට ඉන් බේරීමට හැකි බව ස්ථිර ව ම දන්නා හෙයින්, ශිෂ්‍යයෝ හිටිහැටියේ ම—බලවත් සමගියකින් තම පොත් හෝ පැන්සල් බිම දමමින්—අශෝභන නිග්‍රහයන්වලින් සතුටු වීමට කැමැති වෙති. නැතහොත් ‘මෝඩ බවක් පාමින්’ සහ ඔහු පවසන වචනයක්වත් ඔවුනට තේරුම් ගත නොහැකි ලෙස ක්‍රියා කරමින්, ඔවුන් තම ගුරුවරයා කලකිරවීමට වෑයම් කරන්නට ඉඩ තිබේ. “අපි බාධා පමුණුවන්නේ විහිළුවට,” යයි යෞවන බොබි පැහැදිලි කරයි.
කෙසේ වෙතත්, ඔබ පංති කාමරයේ කෲරකම වපුරනවා නම්, ඔබ අධර්මිෂ්ඨ, එදිරිකාර ගුරුවරයෙකු නෙළා ගතහොත් පුදුම නොවන්න. (ගලාති 6:7 සසඳන්න.) රන් අණ මතක තබාගන්න: “එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා.” (මතෙව් 7:12) පංති කාමරයේ සමච්චල් කිරීම්වලට හවුල්වීම ප්‍රතික්ෂේප කරන්න. ඔබේ ගුරුවරයා පවසන දෙයට සාවධාන ව සිටින්න. සහයෝගයෙන් සිටින්න. සමහර විට කාලයාගේ ඇවෑමෙන්—අඩු තරමින් ඔබ කෙරෙහිවත්—ඔහු එදිරිවාදීකම දැක්වීම අඩු කරනු ඇත.
‘මගේ ගුරුවරයා මට කැමති නෑ’
ඇතැම් විට පුද්ගලිකත්වයේ ඝට්ටනයක් හෝ යම් ආකාරයක වරදවා තේරුම් ගැනීමක් ඔබේ ගුරුවරයා ඔබට විරුද්ධ ව සිටීමට සලස්වයි; සෑම තොරතුරක් ම සෙවීමට ඇති ආශාව කැරලිකාරකම ලෙස හෝ ටිකක් හිතුමතේ ක්‍රියා කිරීම මෝඩකම ලෙස වරදවා තේරුම් ගෙන ඇත. තව ද, ගුරුවරයෙක් ඔබට අකැමැති නම්, ඔහු ඔබ ව ලජ්ජාවට හෝ නින්දාවට පත් කිරීමට නැඹුරු විය හැක. එකිනෙකා කෙරෙහි වෛරය වැඩි දියුණු විය හැක.
බයිබලය මෙසේ පවසයි: “කාටවත් නපුරට නපුර නොකරල්ලා. . . . පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා.” (රෝම 12:17, 18) ඔබේ ගුරුවරයා ව විරුද්ධ කර නොගැනීමට වෑයම් කරන්න. අනවශ්‍ය විරෝධයන්ගෙන් වළකින්න. දොස් පැවරීම සඳහා යුතු කිසි ම හේතුවක් ඔබේ ගුරුවරයාට නොදෙන්න. ඇරත්, මිත්‍රශීලී ව සිටින්නට වෑයම් කරන්න. ‘මිත්‍රශීලී? ඔහුට?’ යයි ඔබ අසයි. එසේ ය, ඔබ පංතියට පැමිණෙන විට ඔබේ ගුරුවරයාට ගෞරවාන්විත ව ආචාර කිරීමෙන් ආචාරශීලී වන්න. ඔබ නොකඩවා ම ආචාර සම්පන්න වීමෙන්—විටින් විට සිනාවක් පෑමෙන් පවා—ඔබ ගැන ඔහුගේ ආකල්පය හුදෙක් වෙනස් විය හැක.—රෝම 12:20, 21 සසඳන්න.
ඔබට සැමවිට ම සෑම තත්ත්වයකින් බේරීම සඳහා ම සිනා විය නොහැකි බව සත්‍යයකි. එහෙත් දේශනාකාරයා 10:4 මෙසේ අවවාද කරයි: “ආණ්ඩුකාරයාගේ [නොහොත් බලය ලත් පුද්ගලයෙකුගේ] සිත නුඹට විරුද්ධව [තරවටු කිරීම නිසා] ඇවිස්සුණොත් නුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකීයයි.” එමෙන් ම “මෘදු උත්තරයකින් කෝපය පහවෙන” බවත් මතක තබා ගන්න.—හිතෝපදේශ 15:1.
‘මට මීට වඩා හොඳ ලකුණු මට්ටමක් ලැබෙන්න තිබුණා’
මෙය පොදු චෝදනාවකි. ඔබේ ගුරුවරයා සමඟ කථා කර ගැටලුව විසඳා ගැනීමට වෑයම් කරන්න. දාවිත් රජු විසින් කරන ලද බරපතළ වරදක් එළිදරව් කිරීමේ අමාරු කාර්යයට නාතාන් එළඹුණේ කෙසේ ද යන්න ගැන බයිබලය පවසයි. නාතාන් මහ හයියෙන් චෝදනා නගමින් රජ වාසළට කඩා වැදුනේ නැත, නමුත් ඔහු උපායශීලී ව දාවිත් වෙත එළඹුණේ ය.—2 සාමුවෙල් 12:1-7.
ඔබට ද, එලෙස ම, යටහත් පහත් ව සහ සන්සුන් ව ඔබේ ගුරුවරයා වෙත එළඹිය හැක. කලින් පාසල් ගුරුවරයෙකු ව සිටි බෲස් වෙබර් අපට මෙසේ මතක් කරයි: “ශිෂ්‍යයෙකුගේ කැරලිකාර ගතිය ගුරුවරයෙකු තුළ දැඩි බවක් උපදවයි. ඔබ ශබ්ද නගා ප්‍රලාප දොඩමින්, බෙරිහන් දෙනවා නම් හෝ සම්පූර්ණ අයුක්තිය ගැන චෝදනා නගමින් හා පළිගන්නා බවට තරයේ කියා සිටිනවා නම්, ඔබට ඉන් කිසි පලක් නොවේ.” වඩා වැඩිහිටි එළඹීමක් උපයෝගි කිරීමට වෙර දරන්න. ගුරුවරයා ලකුණු දෙන පිළිවෙළ තේරුම් ගැනීමට ඔබට උපකාර කරන මෙන් ඔහුගෙන් ඉල්ලීමෙන් ඔබට පටන් ගත හැක. ඊළඟට, වෙබර් පවසන්නේ, “ඔබ නරක විනිශ්චයක ගොදුරක් නොව නමුත් ප්‍රමාද දෝෂයක හා වරදවා ගණන් ගැනීමක ගොදුරක් බව ඔප්පු කිරීමට වෑයම් කරන්න කියා ය. ඔබේ ගුරුවරයාගේ ම ලකුණු දීමේ පිළිවෙළ භාවිතා කරන්න; ඔබට ලකුණු දීමේ දී වරදක් සිදු වී ඇති බව ඔබට පෙනෙන්නේ කොතැන්හි දැයි ඇයට පෙන්වා දෙන්න.” ඔබේ ලකුණු වෙනස් නොකළත්, ඔබේ මේරූ භාවය ඔබේ ගුරුවරයා වෙත ඒකාන්ත හැඟීමක් ඇති කිරීමට ඉඩ තිබේ.
ඔබේ දෙමව්පියන්ට දැනගැනීමට සලස්වන්න
එහෙත්, ඇතැම් අවස්ථාවල දී, හුදෙක් කථා කිරීම නිෂ්ඵල බව ඔප්පු වේ. සූසන්ගේ උදාහරණය ගන්න. උසස් සමර්ථයන් ලබා ගත් ශිෂ්‍යාවක් හැටියට, ඇගේ ගුරුවරුන්ගෙන් කෙනෙකු ඇයට අසමත්වීමේ ලකුණු දීමට පටන් ගත් විට ඇය පුදුමයට පත් වූවා ය. ගැටලුව? සූසන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකු ව සිටි අතර, මේ නිසා ම තමා ඇයට අකැමැති වූ බව ඇගේ ගුරුවරිය විසින් ප්‍රකාශ කළා හා සමාන විය. “එය ඇත්තෙන් ම කලකිරවන සුලුය, කුමක් කරන්න ද කියා මා නොදැන සිටියා,” යයි සූසන් පවසන්නී ය.
සූසන් මෙසේ සිහිපත් කරන්නී ය: “මා නිර්භීතකම උපදවා ගෙන මෙම ගුරුවරිය ගැන [තනි මව්පියෙක් වූ] මගේ මවට පැවසුවා. ඇය මෙසේ පැවසුවා, ‘හොඳයි, සමහර විට ඔබේ ගැරුවරිය සමඟ කථා කරන්න මට පුළුවන් වෙයි.’ පාසල ආගන්තුකයන් පිළිගන්නා අවස්ථාවේ දී ඈ ගොස් ගැටලුව කුමක් වූවා දැයි කියා මගේ ගුරුවරියගෙන් විමසුවා. මගේ මව ඇත්තෙන් ම කලබල කරාවි යයි මා සිතුවත්, ඈ එසේ කළේ නෑ. ඈ හුදෙක් සන්සුන් ව ඇයට කථා කළා.” ගුරුවරිය සූසන් සඳහා වෙනත් ගුරුවරයෙකු සූදානම් කළා ය.
පැටලිලි සහිත සෑම කරුණක් ම සුදුසු අන්දමින් අවසන් නොවෙන අතර ඇතැම් අවස්ථාවල දී ඔබට හුදෙක් විඳදරා ගැනීමට සිදුවන බව පිළිගත හැක. එහෙත් මෙම වාරයේ ඔබට ඔබේ ගුරුවරයා සමඟ සමාදානයෙන් ගත කළ හැකි නම්, සමහර විට වෙනස් පංති මිතුරන් පමණක් ද නොව අලුත් ගුරුවරයෙකු සමඟ පවා කල් ගෙවීමට ඉගෙන ගැනීම සඳහා ඔබට නව පටන් ගැනීමක් තිබෙන්නා වූ ලබන වසරක් සැමවිට ම තිබේ.
සාකච්ඡා කිරීමට ප්‍රශ්න
◻ ඔබට අසාධාරණ ලෙස සලකන ගුරුවරයෙකුට සැලකීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ සුරතලුන් යයි කියන ලද අයට ගුරුවරුන් නිතර මහත් අවධානයක් යොමු කරන්නේ මන්ද?
◻ නීරස යයි පෙනෙන ගුරුවරයෙකුගෙන් ඔබට ඉගෙන ගත හැක්කේ කෙසේ ද?
◻ ඇතැම් ගුරුවරු තම ශිෂ්‍යයින් කෙරෙහි එදිරිවාදී වෙන බව පෙනෙන්නේ මන්ද?
◻ පං ති කාමරයේ දී රන් අණ අදාළ කර ගැනීමට ඔබට හැක්කේ කෙසේ ද?
◻ ඔබ අසාධාරණ ලකුණු හෝ සැලකිල්ල ලැබීමේ ගොදුරක් ව සිටින බව ඔබට හැඟේ නම් ඔබට කළ හැක්කේ කුමක් ද?
[158 පිටුවෙහි හුවා දැක්වීම]
ගුරුවරයාගේ සුරතලා වෙත දෙනු ලබන අවධානය බොහෝ විට අමනාපයක් අවුස්සයි
[163 පිටුවෙහි හුවා දැක්වීම]
“ බොහෝ නගරබද පාසල් දිස්ත්‍රික්කවල ගුරුවරු ජීවත් වන්නේ සැහැසිකමේ බිය ඇතිවයි.”—යු.එස්.න්‍යුස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට්
[160 සහ 161 පිටුවල ඇති කොටුව]
‘මගේ ගුරුවරයා නීරසයි!’
ද ෆැමිලි හෑන්ඩ්බුක් ඔෆ් ඇඩොලෙසන්ස් මෙසේ පවසයි: “ යෞවන ශිෂ්‍යයින්ගෙන් වැඩි දෙනෙක්, ගුරුවන් නීරස ය, නැතහොත් හාස්‍යරසයක් නැත යයි කියමින් ඔවුන් ගැන විවේචනය කරමින් දොස් පවරන බව ඇතැම් සමීක්ෂණයන් දක්වයි.” විගස හෝ පසු ව ‘කඳුළු වගුරන තමරට ම’ ඔබ ව නීරස බවට පත්කරවන ගුරුවරයෙකු ඔබටත් ලැබෙනු ඇත. ඔබට කළ හැක්කේ කුමක් ද?
එක් මෑත පරීක්ෂණයක දී අනාවරණය කරනු ලැබුවේ කාර්මික චිත්‍ර කලාව, ශාරීරික අධ්‍යාපනය සහ සංගීතය වැනි පංතිවල දී යෞවනයෙකුගේ සිත යොමුකරන මට්ටම ඉතා උසස් බවයි. කෙසේ නමුත්, භාෂාව සහ ඉතිහාසය සම්බන්ධ ව කටයුතු කරන පංතිවල දී සිත යොමු කිරීම අඩු වේ.
ශාස්ත්‍රීය විෂයන් පිළිබඳ ගුරුවරුන්ට වඩා ශාරීරික-අධ්‍යාපනයට හෝ සංගීත උපදේශකයන්ට වැඩි විශේෂ දක්ෂතාවයක් ලැබී තිබෙනවා ද? විය නොහැක. පැහැදිලි ව ම, ශාස්ත්‍රීය විෂයන් කෙරෙහි බොහෝ යෞවනයන් තුළ හුදෙක් නිෂේධාත්මක ආකල්පයන් තිබේ. තව ද විෂය රසයක් නැතැයි කියා ශිෂ්‍යයෝ කලින් තීරණය කරන්නේ නම්, සොක්‍රටීස්ගේ දක්ෂතාවයන් තිබෙන ගුරුවරයෙකුට පවා ඔවුන්ගේ අවධානය යොමු කර තබා ගැනීමට දුෂ්කර කාලයක් තිබෙනු ඇත! එසේ නම්, එයට ඇතැම් විෂයන් කෙරෙහි ඇති ඔබේ ආකල්පය හරිගස්සා ගැනීම පමණක් අවශ්‍ය වෙනවා විය හැකි ද? ඔබ ඉගෙන ගන්නා දෙය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කර ගැනීමෙන් පාසලේ වූ නීරස ස්වභාවය ඉවත් විය හැක.
ඇතැම් විට ඉගෙනීමට උනන්දුවක් දක්වන ශිෂ්‍යයෝ පවා ඔවුනට “ නරක” ගුරුවරුන් සිටින්නේ යයි චෝදනා කරති. එහෙත් ඇත්තෙන් ම “ හොඳ” ගුරුවරයෙක් ලෙස හැඳින්විය හැක්කේ කවරෙක් ද? එක් යෞවන ගැහැණු ළමයෙකු මෙසේ පැවසුවා ය: “ මගේ ගණිත ගුරුවරිය බොහෝ සිනා උපදවන දේ කියන නිසා ඇයට මං කැමතියි.” එක් පිරිමි ළමයෙක් ‘බොහෝ විහිළු කරන’ නිසා තම ඉංග්‍රීසි ගුරුවරයාට ප්‍රශංසා කළේ ය.
එහෙත් කැමැත්තක් දක්වනු ලබන හෝ විනෝදය ඇති කිරීම පවා ගුරුවරයෙකුට වාසියක් විය හැකි අතර, ඔහුට “ වෙන අයටත් උගන්වන්ට සමර්ථ,” භාවයක් සඳහා එය ආදේශකයක් වන්නේ නැත. (2 තිමෝති 2:2) මෙහි දී බයිබලය සඳහන් කරන්නේ ආත්මික සුදුසුකම් ගැන වුවත්, හොඳ ගුරුවරයෙකු තම විෂය දැන සිටිය යුතුය යන කාරණය එය හුවා දක්වයි.
අභාග්‍යයකට, දැනගැන්ම හා සිත්ගන්නා පුද්ගලිකත්වයක් සැමවිට ම එකට ම තිබෙන්නේ නැත. උදාහරණයක් ලෙස, ප්‍රේරිත පාවුල්, දේව වචනයේ අනුශාසකයෙකු වශයෙන් උසස් ලෙස සුදුසුකම් ලැබ සිටියේ ය. එහෙත් පාවුල්ගේ දවස්වල සමහර ක්‍රිස්තියානිවරු ඔහු “ ළඟ සිටින විට, ඔහුගේ කිසි පෙනුමක් නැත [නොතිබුණි], කතාවෙහි දක්ෂකමක් නැත” යයි චෝදනා කළහ. පාවුල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ මම කතාවෙහි අදක්ෂවූවත්, දැනඋගත්කමින් අදක්ෂ නොවෙමි.” (2 කොරින්ති 10:10; 11:6, නව අනුවාදය) පාවුල්ට පැවසීමට තිබුණු දෙය සමහරෙක් නොසලකා හැරියේ නම්, කථිකයෙකු හැටියට ගෙන හැර දැක් වූ ඔහුගේ අඩුව පමණක් දැක්කේ නම්, වටිනා දැනගැන්ම ලබා ගැනීම ඔවුනට අහිමි වනු ඇත. පාසල ගැන සලකා බලන විට එම වරද ම නොකරන්න! ගුරුවරයෙක් “ නරක,” යයි තීරණය කිරීමට පෙර ඔබෙන් ම මෙසේ අසන්න, ‘ඔහු කතා කරන දේ කුමක් ද කියා ඔහු දන්නවා ද? මට ඔහුගෙන් ඉගෙන ගත හැකි ද?’
ප්‍රාණවත් භාවයක් නැති කථිකයෙකු වන ගුරුවරයෙකු වෙත සාමාන්‍ය අවධානයට වඩා වැඩි අවධානයක් යොමු කිරීමට ඔබට සිදු විය හැක. ඔහුට පැවසීමට තිබෙන දෙය කෙරෙහි ඕනෑකමින් සවන් දෙමින් ඔබේ අවධානය යොමු කර තබා ගැනීමට කෙටි සටහන් ගැනීමට වෑයම් කරන්න. නීරස පංති කාමර සාකච්ඡාවන්ගේ අඩුපාඩුව පිරිමැසීමට නිවසේ දී අමතර පාඩම්වල යෙදෙන්න.
බාබරා මේය, නම් ගුරුවරිය විසින් ම තවදුරටත් මෙසේ පවසයි: “ තමන්ට මතක තබා ගැනීමට බැරි තරම් පෙනෙන හැටියට මෙම එක ම පාඩම් නැවත නැවත වැඩි වාර ගණනක් කර තිබෙන ගුරුවරු, යාන්ත්‍රික චර්යා ක්‍රමයකට වැටීමට නැඹුරු වෙති.” දේවල් ප්‍රමුදිත කිරීමට ඔබට කළ හැකි වන්නේ කුමක් ද? “ වෙනසක් කිරීමට ඔබේ අත උස්සා වඩා තොරතුරු විමසන්න. . . . ඔහු දන්නා සියල්ල ම ඔබට පැවසීමට ඔහුට සලස්වන්න.” මෙයට ගුරුවරයා අමනාප වෙයි ද? ඔබ ගෞරවාන්විත ව එසේ කරනවා නම් අමනාප නොවෙයි. (කොලොස්සි 4:6) මේය මෙසේ පවසයි: “ ඔබේ ගුරුවරයා හුදෙක් උඩින් පල්ලෙන් තොරතුරු රැගෙන එනවාට වඩා ටිකක් වැඩියෙන් සූදානම් වී පංතියට පැමිණෙන බව ඔබ සොයා ගනු ඇත.”
උණුසුම් භාවය බෝවෙන සුලු අතර, ඉගෙනීමට ඇති ඔබේ ආශාව ඔබේ ගුරුවරයා තුළට යම් ජීවයක් ලබා දිය හැක. සැබවින් ම, ප්‍රබල වෙනස්වීමක් අපේක්ෂා නොකරන්න. තව ද, ඔබට නොකඩවා ම දුක් විඳීමට සිදු වන ඇතැම් පංති තිබිය හැක. එහෙත් ඔබ හොඳ සවන් දෙන්නෙක් සහ ඉගෙන ගනිමින් සිටින දෙය කෙරෙහි අවංක ව ම උනන්දුවක් දක්වන්නෙක් නම්, නීරස ගුරුවරයෙකුගෙන් පවා ඔබට තවදුරටත් ඉගෙන ගත හැක.
[162 පිටුවෙහි ඇති පින්තූර]
වර්ධනය වෙමින් පවතින පාසල් සහසිකකම ගුරුවරයාගේ රැකියාව දුෂ්කර එකක් කරවා අත
[164 පිටුවෙහි ඇති පින්තූර]
යම් අයුක්ති සහගත දෙයක් හට ගෙන තිබෙන බව ඔබට හැඟේ නම් ගෞරවාන්විත ව ඔබේ ගුරුවරයා වෙත එළඹෙන්න