පරිච්ඡේද 16
මා ශෝක වන ආකාරයට ශෝක වීම සාමාන්‍ය ද?
මිෂෙල් තම පියා මිය ගිය දිනය මෙසේ සිහිපත් කරයි: “මා කම්පනය වූ තත්ත්වයක සිටියා. . . . ‘එය සත්‍යයක් වෙන්න බෑ,’ යයි මම මට ම පවසමින් සිටියෙමි.”
සමහර විට ඔබ ප්‍රේම කරන යම් කෙනෙකු—දෙමව්පියෙකු, සහෝදරයෙකු, සහෝදරියක හෝ මිතුරෙකු—මිය ගොස් ඇත. තව ද කනගාටුව පමණක් දැනෙනවාට වඩා, ඔබට කෝපය, වියවුල සහ සන්ත්‍රාසය ද දැනේ. ඔබට හැකි අයුරින් වෑයම් කළත්, කඳුළු නවතා ගැනීමට ඔබට නොහැක. නැතහොත් ඔබට දැනෙන වේදනාව ඔබ තුළ හිර කර ගෙන සිටියි.
සැබවින් ම, අප ප්‍රේම කරන කෙනෙකු මිය යන විට චිත්ත වේගීය ව ප්‍රතික්‍රියා කිරීම ස්වභාවික දෙයකි. යේසුස් වහන්සේ පවා, තම කිට්ටු මිතුරෙකු මිය ගිය බව දැනගත් විට, ආත්මයෙන් “සුසුම් ලා . . . ඇඬූ සේක.” (යොහන් 11:33-36; සසඳන්න 2 සාමුවෙල් 13:28-39.) ඔබට මෙන් ම අන්‍යයන්ට ද හැඟී ඇති බව වටහා ගැනීමෙන් ඔබට වූ අහිමි වීම සමඟ වඩා හොඳින් ක්‍රියා කිරීමට ඔබ හට උපකාරවත් විය හැක.
සැබෑ තත්ත්වය ප්‍රතික්ෂේප කිරීම
ප්‍රථමයෙන් ම ඔබට හැඟීම් නොදැනෙන බවක් දැනිය හැක. සමහර විට ඔබ හද පත්ලෙන් බලාපොරොත්තු වන්නේ එය සම්පූර්ණයෙන් ම නපුරු සිහිනයක්, කවරෙකු හෝ පැමිණ ඔබ ව අවදි කරවා දේවල් හුදෙක් සැමවිට ම තිබුණු ආකාරයෙන් ම තබනු ඇතැයි කියා ය. උදාහරණයක් වශයෙන්, සින්ඩිගේ මව, පිළිකාවකින් මිය ගියා ය. සින්ඩි මෙසේ පැහැදිලි කරන්නී ය: “ඇය මැරුණ බව මා ඇත්තෙන් ම පිළිගෙන නැහැ. අතීතයේ දී මා ඇය සමඟ සාකච්ඡා කර තිබෙන්නට ඇති යම් දෙයක් සිදු වෙන අතර, ‘එය මම අම්මාට කියන්න ඕනෙ,’ යයි මා පවසන බව මට දැනේ.”
මරණයෙන් වියෝ වී සිටින පුද්ගලයෝ මරණය සිදු වී ඇතැයි යන්න ප්‍රතික්ෂේප කිරීමට නැඹුරු වෙති. එපමණක් නොව වීදියේ දී හෝ පසු කර යන බස් රථයක හෝ දුම්රියක, හිටිහැටියේ ම ඔවුන් මිය ගිය තැනැත්තා දකිනු ඇතැයි ඔවුන් සිතන්නට ද පුළුවන. සමහර විට ඒ හා සමාන පෙනුමක් ඇති කෙනෙකු ක්ෂණයකින් දැකීමෙන් මරණය සිදු වී නැතැයි යන බලාපොරොත්තුව ප්‍රාණවත් කළ හැක. මතක තබාගන්න, දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සෑදුවේ මැරෙන්නට නොව, ජීවත්වීමට ය. (උත්පත්ති 1:28; 2:9) එබැවින් මරණය පිළිගැනීමේ ගැටලුව අපට තිබීම සාමාන්‍ය දෙයක් පමණි.
“මට එසේ කරන්න ඇයට හැකි වුණේ කෙසේ ද?”
මිය ගිය තැනැත්තා සමඟ ඔබට සුළු කෝපයක් දැනෙන අවස්ථාවන් තිබෙනවා නම් වුවත් පුදුම නොවන්න. සින්ඩි මෙසේ සිහිපත් කරන්නී ය: “අම්මා මිය ගිය විට, මා මෙසේ සිතූ අවස්ථා තිබුණා, ‘ඔබ මැරෙන්නට යන බව ඔබ සැබවින් ම අපට දැන්වූයේ නෑ. ඔබ නිකම් ම සියල්ල අත්හැර ගියා.’ අතරමං වූ බවක් මට හැඟුණා.”
එලෙස ම සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ මරණයෙන් එවැනි හැඟීම් ඇවිස්සිය හැක. “මිය ගිය කෙනෙකු කෙරෙහි කෝපය දැනීම ඇත්තෙන් ම හාස්‍ය දෙයක් මෙන් පෙනේ. නමුත් මගේ සහෝදරිය මිය ගිය විට, මට ද එලෙස කල්පනා කිරීම වළක්වා ගන්නට බැරි වුණා. ‘මා සම්පූර්ණයෙන් ම තනි කර දමා මැරෙන්නට ඇයට හැකි වුණේ කෙසේ ද? මට එසේ කිරීමට ඇයට හැකි වුණේ කෙසේ ද?’ යන සිතුවිලි මම සිතමින් සිටියා,” යයි කැරන් පැහැදිලි කරයි. ඔහුගේ හෝ ඇගේ මරණය හේතුවෙන් සිදු වී ඇති මුළු වේදනාව නිසා එම සහෝදරයා හෝ සහෝදරිය කෙරෙහි තමන් කෝපයෙන් සිටින බව සමහරෙකුට දැනේ. රෝගී සහෝදරයා හෝ සහෝදරිය මිය යන්නට පෙර මුළු කාලය හා අවධානය ලැබූ හෙයින්, සමහරෙකුට අතපසු කළ බවක්, සමහර විට අමනාප ගතියක් පවා දැනේ. ශෝකයෙන් පීඩිත දෙමව්පියෝ, තව දරුවෙකු නැති වේ ය යන බියෙන්, හිටිහැටියේ ම වුවමනාවට වඩා ආරක්ෂා කිරීමට පටන් ගැනීමත්, මිය ගිය තැනැත්තා කෙරෙහි වෛරයක් ඇවිස්සිය හැක.
“. . . කළා නම්”
වැරදි සහිත බව හැඟීම ද නිතර සිදු වන ප්‍රතික්‍රියාවකි. ප්‍රශ්න හා සැකයන් මනසින් ගලා එයි. ‘ඊට වැඩි යමක් කිරීමට අපට හැකි ව තිබුණේ ද? අප වෙනත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත යුතු ව තිබුණේ ද?’ තව ද කළා නම් හොඳයි යන හැඟීම් ද ඇති වේ. එනම් ‘අප එතරම් දබර නොකළා නම්.’ ‘මා මීට වඩා කරුණාවන්ත ව කටයුතු කළා නම්.’ ‘ඒ වෙනුවට, මම වෙළෙඳ සලට යෑම කළා නම්,’ යන්න ය.
මිෂෙල් මෙසේ පවසයි: “මගේ පියා සමඟ වඩා ඉවසිලිවන්ත ව හා තේරුම් ගැනීමකින් යුතු ව ක්‍රියා කරන්නට මට තිබුණා. නැත්නම් ඔහු නිවසට පැමිණි විට ඔහුට වඩා පහසු වීම සඳහා නිවසේ කිරීමට තිබුණු දේවල් වැඩියෙන් කරන්නට මට තිබුණා.” තව ද එලිසා මෙසේ නිරීක්ෂණය කළා ය: “මව රෝගී වී එතරම් විගසින් මැරුණු විට, අප එකිනෙකා අතර මේ සියලු ම නොවිසඳුණු හැඟීම් තිබුණා. මා වැරදි සහිත බව මට දැන් හැඟෙනවා. මා ඇයට කියන්නට යුතු ව තිබුණු සියලු දේවල්, මා නොකිව යුතු ව තිබුණු සියලු දේවල්, මා කළ සියලු වැරදි, ගැන මම කල්පනා කරනවා.”
සිදු වූ දේ සඳහා ඔබ ඔබට ම දොස් පවරා ගැනීමට පවා හැක. සින්ඩි මෙසේ සිහිපත් කරන්නී ය: “අප අතර සිදු වූ සෑම වාද විවාදයක් ගැන ම, මවට මා ඇති කළ සියලු පීඩන ගැන ම, වරදකරු මා බව මට හැඟුණා. මා ඇයට සිදු කළ සියලු පීඩා ඇගේ අසනීපයට දායක වන්නට ඇතැයි මට හැඟුණා.”
“මගේ මිතුරන්ට මා කියන්නේ කුමක් ද?”
තම පුත්‍රයා පිළිබඳ ව එක් වැන්දඹුවක් මෙසේ නිරීක්ෂණය කළා ය: “ඔහුගේ පියා මැරුණ බව අනිත් ළමුන්ට පැවසීමට ජොනි පිළිකුල් කළේ ය. එය ඔහු ව අසීරු තත්ත්වයකට පත් කළ අතර හුදෙක් ඔහු අසීරු ව සිටි බැවින්, එය ම ඔහු ව කෝපයට පත් කළේ ය.”
ඩෙත් ඇන්ඩ් ග්‍රීෆ් ඉන් ද ෆැමිලි පොතේ මෙසේ පැහැදිලි කරයි: “ ‘මගේ මිතුරන්ට මා කිව යුත්තේ කුමක් ද?’ යන්න බොහෝ සහෝදරයන්ට [ජීවත් ව සිටින සහෝදර සහෝදරියන්ට] අති වැදගත් ප්‍රශ්නයකි. බොහෝ විට, තමන් අත්දකිමින් සිටින දෙය තම මිතුරන්ට නොතේරෙන බව එම සහෝදරයන්ට දැනේ. සිදු වී ඇති අහිමි වීම යම් අයුරකින් ප්‍රකාශ කර එය බෙදා ගැනීමට දරන වෑයමට ලැබෙන්නේ ඇස් ලොකු කර බැලීම් හා විපරම් සහිත බැලීම් පමණකි. . . . ඒ හේතුවෙන්, මරණය නිසා දුකට පත් වී සිටින සහෝදරයාට ප්‍රතික්ෂේප කරනු ලැබූ බවක්, තනි වූ බවක් හා ඇතැම් විට කල්පනාවෙහි වෙනස් බවක් ද දැනිය හැක.”
එහෙත්, ඇතැම් විට අන්‍යයන්, මරණයෙන් ශෝකයට පත් ව සිටින මිතුරෙකුට පවසන්නේ කුමක් දැයි නොදන්නා බව තේරුම් ගන්න—එබැවින් ඔවුහු කිසිවක් නොපවසති. ඔබේ අහිමි වීම, ඔවුන්ගේ ද ප්‍රේමනීය කෙනෙකු අහිමි විය හැකි බව ඔවුනට ද මතක් කර දීමට පුළුවන. ඒ ගැන මතක් කිරීමට වුවමනා නොවන හෙයින් ඔවුන් ඔබ ව මග හැර සිටිය හැක.
ඔබේ ශෝකයට මුහුණ දීම
ඔබේ ශෝකය සාමාන්‍ය එකක් බව දැන සිටීම, එය සමඟ සාර්ථක ව කටයුතු කිරීමට මහත් උපකාරයක් වේ. එහෙත් සත්‍යය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ ශෝකය දිගට ම පැවතීම පමණකි. මිය ගිය තැනැත්තා කෑම වේලකට ඒවි යයි සිතමින්, පවුලක් සමහර අවස්ථාවල ඔහු වෙනුවෙන් කෑම මේසයක හිස් තැනක් ඉතිරි කර තබති. එහෙත්, එක් පවුලක්, කාරණා වෙනස් අයුරකින් හැසිර වීමට තෝරා ගත්හ. මව මෙසේ පවසන්නී ය: “තවදුරටත් එම පිළිවෙළට ම මුළු තැන් ගෙයි මේසයේ අපි කිසිදා හිඳ නොගත්තෙමු. මගේ ස්වාමි පුරුෂයා ඩේවිඩ්ගේ පුටුවට ගිය බැවින් එම අඩුව පිරවීමට එය උපකාරවත් විය.”
ඔබ පවසන්නට හෝ කරන්නට යුතු වූ හෝ නොයුතු වූ දේවල් තිබිය හැකි අතර ම, සාමාන්‍යයෙන් ම ඔබේ ප්‍රේමනීය තැනැත්තාගේ මරණයට හේතූන් වූයේ ඒවා නොවන බව වටහා ගැනීම ද උපකාරවත් වේ. ඇරත්, “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව.”—යාකොබ් 3:2.
ඔබේ හැඟීම් බෙදා ගැනීම
වෛද්‍ය අර්ල් ග්‍රොල්මන් මෙසේ යෝජනා කරයි: “ඔබේ පරස්පර විරෝධී චිත්ත වේගයන් වටහා ගැනීම ප්‍රමාණවත් නොවේ; ඔබ ඒවා සමඟ විවෘත ව ක්‍රියා කළ යුතුයි. . . . ඔබේ හැඟීම් බෙදා ගැනීමට කාලය මෙයයි.” එය ඔබට වෙන් වී සිටීමට කාලයක් නොවේ.—හිතෝපදේශ 18:1.
වෛද්‍ය ග්‍රොල්මන් පවසන්නේ, ශෝකය සැබෑ බව ප්‍රතික්ෂේප කිරීමෙන්, “ඔබ සන්තාපය දීර්ඝ කරගෙන, ශෝක වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරනවා පමණකි,” කියා ය. ඔහු මෙසේ යෝජනා කරයි: “ඔබේ දැඩි ශෝකය සඳහා ඔබේ බොහෝ හැඟීම් සාමාන්‍ය ප්‍රතික්‍රියාවන් බව තේරුම් ගන්නා මිතුරෙකු, හොඳ සවන් දෙන්නෙකු සොයා ගන්න.” දෙමව්පියෙකු, සහෝදරයෙකු, සහෝදරියක, මිතුරෙකු හෝ ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලෙකු, බොහෝ විට සැබෑ උපකාරයක් වන බවට ඔප්පු විය හැක.
තව ද ඔබට වැලපෙන්නට සිතෙනවා නම් කුමක් ද? වෛද්‍ය ග්‍රොල්මන් ඊට මෙසේ එකතු කරයි: “සමහරෙකු හට, පුරුෂයින්ට මෙන් ම ස්ත්‍රීන්ට සහ දරුවන්ට ද, චිත්ත වේගීය පීඩාව සඳහා කදිම චිකිත්සාව වන්නේ කඳුළු ය. සංවේගය ඉවත් කිරීම හා වේදනාවෙන් මිදීම සඳහා වැලපීම ස්වාභාවික මාර්ගයකි.”
පවුලක් වශයෙන් එක් ව ක්‍රියා කිරීම
අහිමි වූ කාලයක දී ඔබේ දෙමව්පියන් ද මහඟු උපකාරයක් විය හැකි අතර—ඔවුනට උපකාරකයෙක් වීමට ඔබට හැකියි. උදාහරණයක් ලෙස, එංගලන්තයේ, ජේන් සහ සාරාට, තම 23න්-හැවිරිදි සහෝදරයා වූ ඩැරල් අහිමි විය. ඔවුන් තම ශෝකයෙන් මිදී ජීවත් වූයේ කෙසේ ද? ජේන් මෙසේ පිළිතුරු දෙන්නී ය: “අප සිව් දෙනෙකු සිටිය නිසා, මම ගිහින් තාත්තා සමඟ සියල්ල කළ අතරතුරේ සාරා අම්මා සමඟ සියල්ල කළා ය. මෙලෙස අපි තනි වී නොසිටියෙමු.” ජේන් තවදුරටත් මෙසේ සිහිපත් කරන්නී ය: “මීට පෙර තාත්තා අඬනවා මා කිසිදා දැකල තිබුණේ නෑ. ඔහු කීප වතාවක් හැඬුව. එක අතකට එය හොඳ දෙයක් වුණා. තව ද අතීතය දෙස හැරී බලන කල, ඔහු ව හුදෙක් සැනසීමට එහි සිටීමට හැකි වීම ගැන මං සතුටු වෙනවා.”
කල්පවතින බලාපොරොත්තුවක්
එංගලන්තයේ යෞවන ඩේවිඩ්ට, තම 13න්-හැවිරිදි සහෝදරිය වූ ජෙනට් ව හොජ්කින්ගේ රෝගය නිසා අහිමි විය. ඔහු මෙසේ පවසයි: “මට මහත් සේ ප්‍රයෝජනවත් වූ දේවලින් එකක් වූයේ අවමංගල්‍ය කථාවේ දී සඳහන් කළ එක් පදයකි. එහි සඳහන් වන්නේ: ‘මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා, යේසුස් වහන්සේ, මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ,’ කියා ය. කථිකයා නැවත නැගිටීම සම්බන්ධයෙන් ‘සහතිකයක්’ යන ප්‍රකාශය බර කර කීවේ ය. අවමංගල්‍යයෙන් පසු ව එය මට ශක්තිය ගෙන දෙන මහත් හේතුවක් වුණා.”—ක්‍රියා 17:31 නව අනුවාදය; මාර්ක් 5:35-42; 12:26, 27; යොහන් 5:28, 29; 1 කොරින්ති 15:3-8 ද බලන්න.
බයිබලයේ නැවත නැගිටීමේ බලාපොරොත්තුව ශෝකය පහ කරන්නේ නැත. ඔබේ ප්‍රේමනීය තැනැත්තා ව ඔබට කිසිදා අමතක නොවනු ඇත. කෙසේ වුවද, බයිබලයේ පොරොන්දුවලින් බොහෝ දෙනාට සැබෑ සැනසිල්ලක් ලැබී තිබෙන අතර ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ප්‍රේම කළ කෙනෙකු අහිමි වීමේ වේදනාවෙන් ක්‍රමක්‍රමයෙන් ගොඩ ඒමට පටන් ගෙන තිබේ.
සාකච්ඡා කිරීමට ප්‍රශ්න
◻ ඔබ ප්‍රේම කරන මිය ගිය යමෙකු සඳහා ශෝක වීම ස්වාභාවික දෙයක් බව ඔබට හැඟෙන්නෙහි ද?
◻ ශෝක වන තැනැත්තෙකු අත්දකිනු ඇත්තේ කිනම් චිත්ත වේගයන් ද, එමෙන් ම ඒ මන්ද?
◻ ශෝක වෙන්නා වූ යෞවනයෙකුට, ඔහුගේ හෝ ඇගේ හැඟීම් සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමට හැකි ඇතැම් මාර්ග කවරේ ද?
◻ ප්‍රේමනීය තැනැත්තෙකු අහිමි වී සිටින මිතුරෙකු සැනසීමට ඔබට හැකි වන්නේ කෙසේ ද?
[128 පිටුවෙහි හුවා දැක්වීම]
“ඇය මිය ගොස් සිටින බව මා සැබවින් ම පිළිගෙන නැත. . . . ‘එය මම අම්මාට කියන්න ඕනෙ,’ යයි මා පවසන බව මට දැනේ.”
[131 පිටුවෙහි හුවා දැක්වීම]
“සැබවින් ම මෙය මට සිදු වෙමින් පවතින්නේ නෑ!”
[129 පිටුවෙහි ඇති පින්තූර]
අප ප්‍රේම කළ කෙනෙකු මිය යාමෙන් අපට අහිමි වෙනවා නම්, අනුකම්පා සහගත කෙනෙකුගේ උපකාරය අපට අවශ්‍යයි
[130 පිටුවෙහි ඇති පින්තූර]
“අම්මා මිය ගිය විට, මම මෙසේ සිතුවා . . . ‘ඔබ මැරෙන්නට යන බව ඔබ ඇත්තෙන් ම අපට දැන්වූයේ නෑ. ඔබ නිකම් ම සියල්ල අත්හැර ගියා.’ අතරමං වූ බවක් මට හැඟුණා.”