පරිච්ඡේදය 34
පුදුමාකාර අභිරහසක් හෙළි වෙයි
1. (අ) භයංකර මෘගයා සහ ඌ පිට සිටින මහා ගණිකාව දකින යොහන් ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඒ මන්ද? (ආ) මෙම දර්ශනයේ සිදුවීම් ඉටු වෙද්දී යොහන් පන්තිය ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
යොහන් දකින්නේ ඉතා පාළු ප්‍රදේශයක් මැද භයානක රතු පාට වන මෘගයෙක් මත ඉඳගෙන සිටින ඉතා නීච ගණිකාවකගේ දර්ශනයයි. (එළිදරව් 17:3) යොහන් ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔහු පවසන්නේ මෙසේයි. “ඇය දුටු විට මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි.” (එළිදරව් 17:6ආ) මෙවැනි දර්ශනයක් කිසිම මිනිසෙකුට නම් තනිව සිතින් මවාගන්න බැහැ. අද දින මෙම දර්ශනයේ සිදුවීම් ඉටු වෙද්දී යොහන් පන්තියටත් ඇති වෙන්නේ ඒ හා සමාන පුදුමයක්. ඇත්තෙන්ම මෙම ලෝකයේ සිටින ජනතාව සහ පාලකයන් ඒ දර්ශනය දුටුවොත් ඔවුනුත් පුදුමයට පත් වෙනවා නිසැකයි. මේ දර්ශනය අපගේ කාලයේදී ඉතා ප්‍රබල යථාර්ථයක් බවට පත් වෙනවා. දැනටමත් දෙවිගේ සේවකයන් මෙම දර්ශනයේ ඉටුවීමට සහභාගි වී තිබෙනවා. එමනිසා එම දර්ශනය තුළ ගැබ්ව ඇති සියලුම දේවල් සම්පූර්ණයෙන්ම ඉටු වන බව ඔවුන්ට විශ්වාසයි.
2. (අ) පුදුමයෙන් බලා සිටින යොහන්ට දේවදූතයා පවසන්නේ කුමක්ද? (ආ) යොහන් පන්තියට හෙළි කර ඇත්තේ කුමක්ද? මෙය කර තිබෙන්නේ කෙසේද?
2 යොහන් පුදුමයට පත් වන ආකාරය දේවදූතයා දකිනවා. යොහන් ඊළඟට පවසන්නේ මෙසේයි. “එබැවින් ඒ දේවදූතයා මට මෙසේ කීවේය: ‘ඔබ පුදුම වුණේ ඇයි? ස්ත්‍රිය ගැනත්, ඇයව දරාගෙන සිටින හිස් සත හා අං දසය ඇති වන මෘගයා ගැනත් වූ අභිරහස මම ඔබට කියන්නෙමි.’ ” (එළිදරව් 17:7) ඒ දේවදූතයා දැන් මෙම අභිරහස හෙළි කරන්නයි යන්නේ. මෙම දර්ශනයේ විවිධ තොරතුරු සහ සිදු වෙන්නට යන පුදුමාකාර දේවල් ඔහු දැන් පුදුමයෙන් බලා සිටින යොහන්ට පැහැදිලි කරනවා. දේවදූතයන්ගේ මඟ පෙන්වීම ලබන විමසිලිමත් යොහන් පන්තියටත් මෙම දර්ශනයේ තොරතුරු පැහැදිලි කර තිබෙනවා. පුරාණයේ සිටි විශ්වාසවන්ත යෝසෙප් මෙන් යොහන් පන්තිය ඇතුළුව අපත් විශ්වාස කරන්නේ අනාවැකියක හෝ දර්ශනයක “අර්ථය කීම දෙවිට අයිති” දෙයක් බවයි. (උත්පත්ති 40:8; දානියෙල් 2:29, 30ද බලන්න.) යෙහෝවා දෙවි දැන් තම සේවකයන්ට විශේෂ අවධානයක් දෙමින් මෙම දර්ශනය ගැනත් එහි ඉටුවීම ඔවුන්ගේ ජීවිතවලට බලපාන ආකාරය ගැනත් තෝරා දෙනවා. (ගීතාවලිය 25:14) ස්ත්‍රිය හා වන මෘගයා පිළිබඳ මෙම අභිරහස තේරුම්ගැනීමට අවශ්‍ය අවබෝධය ඔහු ඔවුන්ට ලබා දී තිබෙන්නේ එය කළ යුතු හරිම වෙලාවටයි.—ගීතාවලිය 32:8.
3, 4. (අ) වර්ෂ 1942දී, සහෝදර නෝර් ඉදිරිපත් කළ ප්‍රසිද්ධ කථාව කුමක්ද? ඒ කතාවේදී රතු පාට වන මෘගයාව හඳුන්වා දුන්නේ කවුරුන් හැටියටද? (ආ) සහෝදර නෝර් ඊළඟට කතා කළේ දේවදූතයා යොහන්ට පැවසූ කවර වචන ගැනද?
3 දෙවන ලෝක මහා යුද්ධය උත්සන්නව පැවති කාලයේ 1942 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දිනවලදී එක්සත් ජනපදයේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමුළුවක් පැවැත්වූවා. (සමුළුවේ නම, “දෙවි ගෙනෙන නව ලොව” යන්නයි.) මෙම සමුළුව පැවැත්වූ ප්‍රධාන මධ්‍යස්ථානය වුණේ ඔහයෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නුවරයි. දුරකථන මාර්ගයෙන් සමුළුව පැවැත්වූ තවත් ස්ථාන 50ක්ම එම මධ්‍යස්ථානයට සම්බන්ධ කර තිබුණා. මෙම සමුළු සියල්ලටම 1,29,699දෙනෙක් පැමිණියා. ලොව පුරා යුදමය වාතාවරණයක් තිබුණත් සමුළුව පවත්වන්න හැකි සෑම ස්ථානයක එය පසුව පවත්වනු ලැබුවා. ඒ කාලයේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් සිතුවේ මෙම ලෝක යුද්ධය තවත් උත්සන්න වී යෙහෝවා දෙවිගේ මහත් දවසේ යුද්ධයෙන් කෙළවර වන බවයි. එමනිසා “සාමය පවතීද” යන මැයින් යුත් ප්‍රසිද්ධ කථාව කාගෙත් කුතුහලයට හේතුවක් වුණා. මේ කතාව ඉදිරිපත් කළේ වොච්ටවර් සමිතියේ නව සභාපති වූ සහෝදර එන්. එච්. නෝර් විසිනුයි.a ලෝකය මහා යුද්ධයකට පැටලී සිටි අවස්ථාවේදී ඔහු සාමය ගැන කතා කරන්න තීරණය කළේ ඇයි? එයට හේතුව නම් දෙවි හෙළි කරමින් සිටි දේවලට යොහන් පන්තිය “සාමාන්‍යයට වඩා වැඩි අවධානයක්” ලබා දෙමින් සිටි නිසයි.—හෙබ්‍රෙව් 2:1; 2 පේතෘස් 1:19.
4 “සාමය පවතීද?” යන කතාවෙන් එළිදරව් 17:3හි සඳහන් දර්ශනය ගැන හෙළි කළේ කුමක්ද? මෙම රතු පාට වන මෘගයා ජාතීන්ගේ සංගමය බව පැහැදිලිව හඳුන්වා දුන් සහෝදර නෝර්, මෙම මෘගයාගේ පැවැත්ම ගැන දිගටම කතා කළා. ඔහු පැවසූ දේ දේවදූතයා යොහන්ට ඊළඟට පැවසූ මෙම වචන මත පදනම් වුණා. “ඔබ දුටු වන මෘගයා කලින් සිටියේය. දැන් නැත. එහෙත් ඌ අගාධයෙන් පිටතට නැඟී එන්නට සූදානමින් සිටින්නේය. ඌ විනාශයට යන්නටද නියමිතය.”—එළිදරව් 17:8අ.
5. (අ) “වන මෘගයා කලින් සිටියේය” කීමෙනුත් “දැන් නැත” කීමෙනුත් අදහස් කරන්නේ කුමක්ද? (ආ) “ජාතීන්ගේ සංගමය අගාධයෙන් පිටතට එයිද?” යන ප්‍රශ්නයට සහෝදර නෝර් පිළිතුරු දුන්නේ කෙසේද?
5 “වන මෘගයා කලින් සිටියේය” කීමෙන් අදහස් කරන්නේ 1920 ජනවාරි 10වනදා සිට ජාතීන්ගේ සංගමය ලෙස එය පැවති බවයි. සමස්තයක් ලෙස එයට සාමාජික රටවල් 63ක් සම්බන්ධ වුණා. නමුත් පසුව පිළිවෙළින් ජපානය, ජර්මනිය සහ ඉතාලිය එයින් ඉවත් වූ අතර කලින් තිබූ සෝවියට් සංගමය ජාතීන්ගේ සංගමයෙන් ඉවත් කළා. අනතුරුව 1939 සැප්තැම්බර් මාසයේදී ජර්මනියේ නාට්සි ඒකාධිපති හිට්ලර් දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ කළා.b මෙයින් පැහැදිලි වුණේ ජාතීන්ගේ සංගමය ලෝකයේ සාමයක් ඇති කරන්න අසමත් වී තිබුණු බවයි. ඒ සංගමය අක්‍රියාශීලී වූ නිසා එය ‘අගාධයට’ ගියායයි පැවසුවොත් නිවැරදියි. මේ අනුව 1942දී ඒ සංගමය ‘කලින් සිටියේය’ කියා පවසන්න හැකි වුණා. ඒ දර්ශනයේ සම්පූර්ණ තේරුම මීට කලින් දෙවි හෙළි කර තිබුණේ නැහැ. යෙහෝවා දෙවි එය හෙළි කළේ එය කළ යුතු හරිම වෙලාවටයි. සහෝදර නෝර් එම සමුළුවේදී “වන මෘගයා . . . දැන් නැත” කියා ප්‍රකාශ කළේ ඒ නිසයි. ඊළඟට ඔහු ඇසූ ප්‍රශ්නය මෙයයි. “ජාතීන්ගේ සංගමය අගාධයෙන් පිටතට එයිද?” එළිදරව් 17:8 උපුටා දක්වමින් ඔහු පිළිතුරු දුන්නේ “ලෝකයේ ජාතීන්ගෙන් සෑදුණු සංගමයක් අනිවාර්යයෙන්ම නැවත මතු වෙනවා” යන්නයි. ඒ දේ ඇත්තටම සිදු වුණා. යෙහෝවා දෙවි කලින් පැවසූ දේවල් කොතරම් නිවැරදිද කියාත් තහවුරු වුණා.
අගාධයෙන් පිටතට ඒම
6. (අ) රතු පාට වන මෘගයා අගාධයෙන් පිටතට ආවේ කවදාද? කුමන අලුත් නමින්ද? (ආ) එක්සත් ජාතීන්ගේ සංවිධානය කලින් සිටි රතු පාට වන මෘගයාම බව පැවසිය හැක්කේ ඇයි?
6 මෙම රතු පාට වන මෘගයා ඇත්තටම අගාධයෙන් පිටතට ආවා. ඒ 1945 ජූනි 26වන දිනයේදීයි. ඒ දිනයේදී එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරේ මහත් ප්‍රීති ඝෝෂා මැද රටවල් 50ක් එකතු වී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කර එහි සාමාජිකත්වය ලබාගත්තා. මෙම සංවිධානය පිහිටෙව්වේ “ජාත්‍යන්තර සාමය සහ සුරක්ෂිතභාවය පවත්වාගැනීමටයි.” කලින් පැවති ජාතීන්ගේ සංගමය හා මෙම සංවිධානය අතර බොහෝ සමානකම් තිබුණා. ඒ ගැන එක් විශ්වකෝෂයක සඳහන් වෙන්නේ මෙසේයි. “එක්සත් ජාතීන්ගේ සංවිධානය යම් යම් පැතිවලින් පළමු ලෝක යුද්ධයට පසුව බිහි වූ ජාතීන්ගේ සංගමයට සමානයි. . . . එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කිරීමට දායක වූ ජාතීන් බොහොමයක් ජාතීන්ගේ සංගමයේ ආරම්භයටත් දායක වුණා. ජාතීන්ගේ සංගමය මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් බිහි කළේ ජාතීන් අතර සාමය පවත්වාගැනීමටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින ආයතන බොහොමයක් ජාතීන්ගේ සංගමය යටතේ පැවති ඒවාටත් සමානයි.” (The World Book Encyclopedia) එසේනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය කලින් සිටි රතු පාට මෘගයාම බව පැවසිය හැකියි. ජාතීන්ගේ සංගමයට අයත් වුණේ සාමාජික රටවල් 63ක් පමණයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටවල් 190ක් අයත් වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ජාතීන්ගේ සංගමයට වඩා එයට වැඩි බලතල ඇති බවයි.
7. (අ) නැවත පැමිණ සිටින රතු පාට මෘගයා ගැන ලෝක වාසීන් ගෞරවයෙන් යුතුව පුදුම වෙන්නේ කෙසේද? (ආ) එක්සත් ජාතීන්ට තිබූ ඉලක්කය කුමක්ද? මේ සම්බන්ධව එහි මහා ලේකම් පැවසුවේ කුමක්ද?
7 එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වූ මුල් කාලයේදී බොහෝදෙනෙක් විශාල බලාපොරොත්තු ඇතුව සිටියා. මෙයත් දේවදූතයා ඊළඟට පවසන මෙම වචනවල ඉටුවීමක්. “ඒ වන මෘගයා කලින් සිටි සැටිත්, දැන් නැති නමුත් ඉදිරියේදී පැමිණ සිටින්නට යන සැටිත් පොළොවේ වාසය කරන අය දකින විට, ඔවුහු ගෞරවයෙන් යුතුව පුදුමයට පත් වන්නෝය. නමුත් ලෝකය පිහිටුවීමේ පටන්, ඔවුන්ගේ නම් ජීවන ලියවිල්ලෙහි ලියවී නැත.” (එළිදරව් 17:8ආ) ඇත්තටම පොළොවේ වැසියන් මෙම දැවැන්ත සංවිධානය දෙස පුදුම වී බලා සිටිනවා. එහි වැඩකටයුතු සිදු වෙන්නේ නිව් යෝක් නුවරේ කාගෙත් අවධානය ඇදගන්නා සුවිශාල ගොඩනැඟිල්ලක සිටයි. නමුත් සැබෑ සාමය හා සුරක්ෂිතභාවය උදා කර දීමට එය අපොහොසත් වී තිබෙනවා. උදාහරණයකට 20වන සියවසේදී ලොව පුරා යම් සාමයක් පවත්වාගත හැකි වුණේ ලෝකයේ ජාතීන් එකිනෙකාට භයෙන් සිටි නිසයි. එමනිසා ලොව පුරාම අවි රැස් කරගැනීමේ ප්‍රබල තරඟයක්ද දකින්න ලැබුණා. අවුරුදු 40ක දැඩි ප්‍රයත්නයකින් පසු එක්සත් ජාතීන්ගේ එවකට සිටි මහා ලේකම් වන හවියේ පෙරෙස් දේ ක්වේයාර් මහතා 1985දී තම අසතුට ප්‍රකාශ කළේ මෙලෙසයි. “අප දැන් ජීවත් වන මේ යුගයේ වැජඹෙන්නේ උන්මත්තිකයන්. ඒ නිසා කුමක් කරන්නද කියා අපට සිතාගන්නවත් බැහැ.”
8, 9. (අ) ලෝකයේ ප්‍රශ්න ගැටලුවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයට විසඳුම් නැත්තේ ඇයි? දෙවි නියම කර ඇති ආකාරයට ළඟදීම සිදු වෙන්නේ කුමක්ද? (ආ) එක්සත් ජාතීන් ආරම්භ කළ අයගේ හා ඒ ගැන පුදුම වෙන අයගේ නම් දෙවිගේ “ජීවන ලියවිල්ලෙහි” සඳහන් වී නැත්තේ ඇයි? (ඇ) යෙහෝවා දෙවිගේ රාජ්‍යයෙන් ඉටු වෙන්නේ කුමක්ද?
8 මේ ලෝකයේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතේ නෙවෙයි. එයට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජීවය ලබා දෙන්නේ ජීවනයේ උල්පත වන දෙවි නොවීමයි. එයට තිබෙන්නේ ඉතා කෙටි පැවැත්මක්. දෙවි නියම කර ඇති ආකාරයට එය “විනාශයට යන්නටද නියමිතය.” එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි කළ අයගේ හා ඒ ගැන පුදුම වෙන අයගේ නම් දෙවිගේ ජීවන පොතේ ලියවී නැහැ. යෙහෝවා දෙවි තම පුත් යේසුස් ක්‍රිස්තුස් පාලනය කරන රාජ්‍යය තුළින් අනිවාර්යයෙන්ම ඉටු කරන දේ පව්කාර මියැදෙන මිනිසුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළින් කොහොමටවත් ඉටු කරගන්න බැහැ.—දානියෙල් 7:27; එළිදරව් 11:15.
9 ඇත්තටම එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ සාමයේ කුමාරයා වන යේසුස් ක්‍රිස්තුස් යටතේ පවතින සදාකාලික පාලනයක් කරන දේවරාජ්‍යයේ අපහාසාත්මක අනුකරණයක්. (යෙසායා 9:6, 7) යම් තාවකාලික සාමයක් කෙසේ හෝ ඇති කිරීමට මෙම සංවිධානය සමත් වුණත් එය සැබෑ සාමයක් නම් නෙවෙයි. යුද්ධ නැවතත් හටගන්නවා. ඒ තමයි පව්කාර මිනිසුන්ගේ ස්වභාවය. “ලෝකය පිහිටුවීමේ පටන්, ඔවුන්ගේ නම් ජීවන ලියවිල්ලෙහි ලියවී නැත.” යේසුස් පාලනය කරන යෙහෝවා දෙවිගේ රාජ්‍යය මගින් පොළොව පුරාවටම සදාකාලික සාමයක් උදා කරනවා පමණක් නොව යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන දෙවිගේ මතකයේ සිටින ධර්මිෂ්ඨයන්ව සහ අධර්මිෂ්ඨයන්ව මළවුන්ගෙන් නැවත නැඟිටුවනවා. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) මෙයට ඇතුළත් වෙන්නේ සාතන් සහ ඔහුගේ වංශයෙන් බිහි වන අයගේ පීඩා ප්‍රහාර මැද දෙවිට විශ්වාසවන්තව සිටි අය සහ ඉදිරියේදී දෙවිට කීකරු වන බව ඔප්පු කරන අයයි. නමුත් මහා බැබිලෝනියට මහත් ගැතිකමක් දක්වන අයගේ නම්වත් වන මෘගයාට දිගටම නමස්කාර කරන අයගේ නම්වත් දෙවිගේ ජීවන පොතෙහි කොහොමටවත් සඳහන් වෙන්නේ නැහැ.—නික්මයාම 32:33; ගීතාවලිය 86:8-10; යොහන් 17:3; එළිදරව් 16:2; 17:5.
සාමය සහ සුරක්ෂිතභාවය නිෂ්ඵල බලාපොරොත්තුවක්
10, 11. (අ) එක්සත් ජාතීන්ගේ සංවිධානය 1986 වසර නම් කළේ කුමක් වෙනුවෙන්ද? නමුත් සිදු වුණේ කුමක්ද? (ආ) සාමය වෙනුවෙන් යාච්ඤා කිරීමට ඉතාලියේ අසීසි නුවරේ ආගම් වර්ග කීයක් රැස් වුණාද? දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නාද? පැහැදිලි කරන්න.
10 මිනිස් වර්ගයා තුළ බලාපොරොත්තුවක් ඇති කිරීමේ අදහසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය 1986 වසර “ජාත්‍යන්තර සාම වර්ෂය” ලෙස නම් කළා. ඔවුන්ගේ අරමුණ වුණේ “සාමය ආරක්ෂා කරමින් මිනිස් සංහතියේ අනාගතය සුරක්ෂිත කිරීමයි.” යුද වදිමින් සිටි ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ අඩුම තරමින් වසරකටවත් තම අවි බිම දමන්න කියයි. සිදු වුණේ කුමක්ද? ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය පිළියෙල කළ වාර්තාවකට අනුව 1986දී සිදු වූ යුද්ධවලින් පමණක් මිලියන පහක් තරම් විශාල ජන පිරිසක් මිය ගියා. මෙම වසර සැමරීමට විශේෂ කාසි සහ මුද්දර නිකුත් වුණත් බොහෝ ජාතීන් පැතූ දේ ක්‍රියාත්මක කිරීමට කිසිවක් කළේ නැති තරම්. කොහොමවුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ හොඳ හිත තබාගන්න කවදත් උත්සාහ කරන ලෝකයේ ආගම් මෙම වසරේ වැදගත්කම විවිධ ආකාරවලින් ප්‍රචලිත කරන්න උත්සාහ දැරුවා. උදාහරණයකට 1986 ජනවාරි 1වනදා දෙවෙනි ජුවාම් පාවුලු පාප්වරයා එක්සත් ජාතීන්ගේ මෙම පරමාර්ථය ප්‍රශංසාවට ලක් කරමින් එම වසර සාමය වෙනුවෙන් කැප කළ වසරක් ලෙස නම් කළා. එම වසරේ ඔක්තෝබර් 27වනදා ඔහුගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ ආගමික නායකයන් බොහෝදෙනෙක් ලෝක සාමය උදෙසා යාච්ඤා කිරීමට ඉතාලියේ අසීසි නුවරේ රැස් වුණා.
11 දෙවි මෙම යාච්ඤාවලට සවන් දුන්නාද? මෙම ආගමික නායකයන් යාච්ඤා කරමින් සිටියේ මොන දෙවියන්ටද? ඒ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් විවිධාකාර පිළිතුරු දෙනවාට සැකයක් නැහැ. ඇත්තටම විවිධාකාරවලින් ඉදිරිපත් කරන යාච්ඤාවලට මෙලෙස පිළිතුරු දෙන්න පුළුවන් විවිධ දෙවිවරුන් මිලියන ගණනක් සිටිනවාද? මෙම රැස්වීමට සහභාගි වූ ක්‍රිස්තියානියයි කියාගත් බොහෝදෙනෙක් ත්‍රිත්ව දෙවි කෙනෙකුටයි නමස්කාර කළේ.c බෞද්ධ, හින්දු, සහ වෙනත් ආගමිකයන් අසංඛ්‍යාත දෙවිවරුන්ට යාච්ඤා යාතිකා පුද කළා. සමස්තයක් ලෙස ප්‍රධාන ආගම් වර්ග 12ක් මෙම රැස්වීමට සහභාගි වුණා. ඔවුන් අතර එංගලන්ත සභාවේ කැන්ටබරියේ අගරදගුරු, බෞද්ධාගමේ දලයි ලාමා, රුසියානු ඕතඩොක්ස් සභාවේ අගරදගුරු, ටෝකියෝ නුවරේ ෂින්ටෝ සිද්ධස්ථාන සංගමයේ සභාපති, අප්‍රිකානු සර්වජීවවාදීන් සහ පිහාටුවලින් සැරසූ හිස්වැසුම් පැළඳ සිටි අමෙරිකානු ඉන්දියානුවන් දෙදෙනෙක් යනාදි ආගමික නායකයන් සිටියා. ඔවුන් තම ආගම්වලට ආවේණික වූ ඇඳුම්වලින් සැරසී සිටි නිසා සියලුදෙනාගේම අවධානයට ඔවුන් ලක් වුණා. රූපවාහිනියෙනුත් එයට පුළුල් ප්‍රචාරයක් ලැබුණා. එක් කණ්ඩායමක් නොකඩවා එක දිගටම පැය 12ක්ම යාච්ඤා කළා. (ලූක් 20:45-47 බලන්න.) නමුත් ඒ අවස්ථාවේදී ඔවුන්ට ඉහළින් තිබූ වැහි වලාකුළු ඉක්මවා යන්නවත් ඒ යාච්ඤා සමත් වුණාද? නැහැ. ඒ මතු දැක්වෙන හේතු නිසයි.
12. ලෝක ආගමික නායකයන් සාමය උදෙසා කළ යාච්ඤාවලට දෙවි පිළිතුරු නොදුන්නේ ඇයි?
12 ‘යෙහෝවා දෙවිගේ නමින් හැසිරෙන’ අයට වඩා වෙනස්ව මේ එක පුද්ගලයෙකුවත් ජීවමාන දෙවි යෙහෝවාට යාච්ඤා කළේ නැහැ. ඔවුන්ට ඒ නම දන්නේ නැහැයි කියා කියන්නත් බැහැ. ඒ නම මුල් බයිබල් පිටපත්වල 7,000 වාරයක් පමණ දක්නට තිබෙනවා. (මීකා 4:5; යෙසායා 42:8, 12)d මේ අයගෙන් වැඩිදෙනෙක් යේසුස් ක්‍රිස්තුස්වත් විශ්වාස කළේ නැහැ. ඒ නිසාම ඔවුන් යේසුස්ගේ නාමයෙන් දෙවිට යාච්ඤා කළේ නැහැ. (යොහන් 14:13; 15:16) මේ කිසිවෙක් අද දින දෙවිගේ කැමැත්ත කරන අයවත් නෙවෙයි. අද දින දෙවිගේ කැමැත්ත නම් මිනිස් වර්ගයාගේ එකම බලාපොරොත්තුව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අප විසින් පිළිගැනීම නෙවෙයි. ඒ වෙනුවට මිනිස් වර්ගයාගේ එකම බලාපොරොත්තුව දෙවිගේ රාජ්‍යය කියා ලොව පුරා ප්‍රකාශ කිරීමයි. (මතෙව් 7:21-23; 24:14, මාක් 13:10) ඒ ආගම් වැඩි හරියක්ම 20වන සියවසේ සිදු වූ ලෝක මහා යුද්ධ දෙක ඇතුළු ඉතිහාසය පුරා පැවති යුද්ධවලදී වගුරුවා ඇති ලේ ගංගාවලට වග කිව යුතුයි. එවන් අයට දෙවි කියන්නේ මෙසේයි. “ඔබ බොහෝ යාච්ඤා කරන කල මම නොඅසන්නෙමි. ඔබේ අත් ලෙයින් පිරී තිබේ.”—යෙසායා 1:15; 59:1-3.
13. (අ) ලෝක ආගමික නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකතු වී සාමය සඳහා යාච්ඤා කරන්නේ කුමන හේතුවක් නිසාද? (ආ) සාමය සඳහා කරන ප්‍රකාශයන් අවසන් වෙන්නේ කුමකින්ද?
13 අද දින ලෝක ආගමික නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ හවුල් වී මේ කාලයේදී සාමය සඳහා යාච්ඤා කිරීම අපේ උනන්දුවට ලක් විය යුතු කරුණක්. මේ නූතන කාලයේදී බොහෝදෙනෙක් ආගම් අත්හැර යන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යම් බලපෑම් කර වාසි ලබාගැනීමයි ඔවුන්ගේ අරමුණ. පුරාණ ඊශ්‍රායෙලයේ දෙවිට ද්‍රෝහී වූ නායකයන් මෙන් ඔවුන්ද “සමාදානය නැති කල්හි ඔවුහු සමාදානය, සමාදානය” කියා පවසනවා. (යෙරෙමියා 6:14) සාමය සඳහා ඔවුන් දිගින් දිගටම විවිධ ප්‍රකාශයන් කරයි කියා අපට අපේක්ෂා කළ හැකියි. ඒ ගැන පාවුල් පැවසුවේ මෙසේයි. “රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන බව ඔබම හොඳාකාරයෙන් දන්නහුය. ‘සාමය සහ සුරක්ෂිතභාවය!’ යයි ඔවුන් කියන විට, ගර්භිණියකට ප්‍රසව වේදනාව පැමිණෙන්නාක් මෙන් ඔවුන් නොදැනුවත්වම ඔවුන් පිටට ක්ෂණිකව විනාශය පැමිණෙන්නේය. ඔවුහු කිසිසේත් නොගැලවෙන්නෝය.” (1 තෙසලෝනික 5:2, 3) එමනිසා මෙම ප්‍රකාශයන් යෙහෝවා දෙවි ඔවුන් පිට ගෙනෙන විනාශයෙන් අවසන් වෙනවා.
14. “සාමය සහ සුරක්ෂිතභාවය” යන ප්‍රකාශය සිදු වෙන්නේ කෙසේද? එම ප්‍රකාශයට මුළා නොවී සිටින්න කෙනෙකුට හැක්කේ කෙසේද?
14 මෑත කාලවලදී ලෝක නායකයන් “සාමය සහ සුරක්ෂිතභාවය” යන යෙදුම ඔවුන්ගේ විවිධ දේශපාලන සැලසුම් ගැන විස්තර කිරීමට යොදාගෙන තිබෙනවා. ඔවුන් සාමය සඳහා දරන වෑයම් 1 තෙසලෝනික 5:3හි ඉටුවීමක ආරම්භයක් කියා අපට පැවසිය හැකිද? එසේ නැත්නම් පාවුල් කතා කරමින් සිටියේ ලෝකයේ සිටින සියලුදෙනාගේ අවධානය ඇදගන්නාවූ යම් සුවිශේෂ සිද්ධියක් ගැනද? සාමාන්‍යයෙන් බයිබල් අනාවැකි ඉටු වන ආකාරය තේරුම්ගත හැකි වෙන්නේ ඒවා ඉටු වුණායින් පසුව හෝ ඉටු වන අතරතුරේදීයි. එමනිසා අපට මේ ගැන බලා සිටීමට සිදු වෙනවා. නමුත් ක්‍රිස්තියානීන් හොඳින් දන්නා දෙයක් වෙන්නේ ලෝකයේ ජාතීන් සාමයක් හෝ සුරක්ෂිතභාවයක් ගැන කතා කර යම් ප්‍රතිඵල ලබනවා කියා පෙනුණත් සැබෑ වෙනසක් ඇති කරන්න ඔවුන්ට නොහැකි බවයි. මේ ලෝකයේ තිබෙන ආත්මාර්ථය, වෛරය, අපරාධ, පවුල් කඩාකප්පල් වීම්, දුරාචාරය, අසනීප, ශෝකය සහ මරණය ඒ විදිහටම තිබේවි. ඔබ ලෝකයේ සිදු වන දේවල් ගැන හා දේවවචනයේ දී ඇති අනතුරු ඇඟවීම් ගැන සෝදිසියෙන් සිටිනවා නම් “සාමය සහ සුරක්ෂිතභාවය” ගැන මොනයම් ප්‍රකාශයක් කළත් ඔබ ඉන් මුළා වෙන්නේ නැහැ.—මාක් 13:32-37; ලූක් 21:34-36.
[පාදසටහන්වල]
a සහෝදර ජේ. එෆ්. රදෆඩ් මිය ගියේ 1942 ජනවාරි 8වනදායි. ඉන්පසුව වොච්ටවර් සමිතියේ සභාපති ලෙස පත් වුණේ සහෝදර එන්. එච්. නෝර්.
b වර්ෂ 1940 නොවැම්බර් 20වනදා “අලුත් ජාතීන්ගේ සංගමයක්” බිහි කිරීමට ජර්මනිය, ඉතාලිය, ජපානය සහ හංගේරියාව අත්සන් තැබුවා. ඉන් දින හතරකට පසු සාමය හා අලුත් ලෝක ක්‍රමයක් බිහි කිරීම නිමිත්තෙන් වතිකානුව දේවමෙහෙයක් හා යාච්ඤා මෙහෙයක් ගුවන් විදුලියෙන් විකාශනය කළා. නමුත් එම “අලුත් සංගමය” කිසිදාක එළි දුටුවේ නැහැ.
c ත්‍රිත්ව සංකල්පය පැමිණෙන්නේ පුරාණ බැබිලෝනියෙන්. එහි ෂාමාෂ් නම් හිරු දෙවියාවද, සින් නමැති සඳ දෙවියාවද ඉෂ්ටාර් නමැති තරු දෙවියාවද ත්‍රිත්වයක් ලෙස සලකා නමස්කාර කළා. ඊජිප්තුවරුන්ටත් එවැනි ත්‍රිත්ව දෙවියෙක් සිටියා. එනම් ඔසිරිස්, අයිසිස් සහ හෝරස් ත්‍රිත්ව දෙවියායි. ඇසිරියන්වරුන්ගේ ප්‍රධාන දෙවියා වූ අෂ්ෂූර්ටත් හිස් තුනක් තිබුණා. මේ රටාවම අනුගමනය කරමින් කතෝලික පල්ලිවලද “දෙවියන් වහන්සේව” මුහුණු තුනක් ඇතිව රූපයට නඟා තිබෙනවා.
d එක්තරා ශබ්දකෝෂයක යෙහෝවා දෙවිව හඳුන්වන්නේ “යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිගන්නා හා නමස්කාර කරන එකම ශ්‍රේෂ්ඨ දෙවි” ලෙසයි.—Webster’s Third New International Dictionary, 1993.
[250වන පිටුවේ කොටුව]
වෙස්ගත් “සාමය”
එක්සත් ජාතීන්ගේ සංවිධානය 1986 වසර ජාත්‍යන්තර සාම වසර ලෙස නම් කළත් අවි තරඟය එන්න එන්නම උග්‍ර වුණා. සිදු වූ දේ ගැන පළ වූ වාර්තාවක සඳහන් මෙම තොරතුරු බලන්න:
වර්ෂ 1986දී ලෝකයේ සියලුම රටවල් අවි ආයුධ සඳහා වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 9,00,000ක් වුණා.
අවි ආයුධ වෙනුවෙන් එක පැයකින් වැය කරන මුදල සුව කළ හැකි බෝවන රෝගවලින් වාර්ෂිකව මිය යන මිලියන 3.5ක ජනතාවට අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් වූ බව ගණන් බලා තිබුණා.
ලොව පුරා සිටින සෑම පස්දෙනෙකුගෙන් එක් කෙනෙක් අන්ත දිලිඳුකමේ ග්‍රහණයට හසු වී සිටිනවා. හාමතෙන් පෙළෙන මොවුන් සියලුදෙනාටම අවුරුද්දක් පුරා අවශ්‍ය ආහාර සපයන්න, ලෝකය දවස් දෙකක් තුළ අවි ආයුධ සඳහා වැය කරන මුදල ප්‍රමාණවත් වෙනවා.
ලෝකයේ ගබඩා කර ඇති සියලුම න්‍යෂ්ටික අවි පුපුරුවාහැරියොත් එයින් නිකුත් වන ශක්තිය චර්නොබිල්හි සිදු වූ පිපිරීම මෙන් කෝටි 16 ගුණයකින් වැඩි වී තිබුණා.
න්‍යෂ්ටික අවි ගබඩාවල තිබෙන බෝම්බයක් පුපුරුවාහැරියොත් එයින් නිකුත් වන ශක්තිය 1945දී හිරෝෂිමා නගරයට හෙළූ බෝම්බය මෙන් 500 ගුණයකින් වැඩියි.
න්‍යෂ්ටික ගබඩාවල ඇති සියලුම බෝම්බවල ශක්තිය හිරෝෂිමා නුවරට හෙළූ බෝම්බවල ශක්තිය මෙන් මිලියනයක් තරම් ප්‍රබලයි. දෙවන ලෝක මහා යුද්ධයේදී මිනිසුන් මිලියන 38ක් ඝාතනය කිරීමට භාවිත කළ අවි මෙන් එම ගබඩාවල ඇති අවිවල ශක්තිය 2,700 ගුණයක්ව තිබුණා.
යුද්ධ එන්න එන්නම වඩාත් මාරාන්තික මුහුණුවරක් ගන්නා අතර ඒවා වැඩි වැඩියෙන් සිදු වෙමින් තිබුණා. දහඅටවන සියවසේ යුද්ධවලදී මිය ගියේ මිලියන 4.4ක සංඛ්‍යාවක්. දහනවවන සියවසේදී ඒ සංඛ්‍යාව මිලියන 8.3ක් දක්වාද වැඩි වුණා. නමුත් 20වන සියවසේ මුල් අවුරුදු 86 ඇතුළත මිය ගිය සංඛ්‍යාව මිලියන 98.8ක් වුණා. දහඅටවන සියවසේ සිට බලන විට අප දකින්නේ ලෝක ජනගහන වර්ධන වේගයට වඩා හය ගුණයකින් යුද්ධවලින් මිය යන සංඛ්‍යාව වැඩි වී ඇති බවයි. ඒ වගේම 19වන සියවස හා සසඳද්දී 20වන සියවසේ යුද්ධවලදී මිය ගිය සංඛ්‍යාව දස ගුණයකින් වැඩියි.—World Military and Social Expenditures 1986.
[247වන පිටුවේ පින්තූර]
රතු පාට මෘගයා ගැන පැවසූ දේ සැබෑ කරවමින් දෙවෙන ලෝක මහා යුද්ධයේදී ජාතීන්ගේ සංගමය අගාධයකට හෙළනු ලැබුවත්, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස පිටතට ආවා
[249වන පිටුවේ පින්තූර]
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළ “සාම වසරට” සහයෝගය දක්වමින් ලෝක ආගමික නායකයන් ඉතාලියේ අසීසි නුවරේ එක් රැස් වී යාච්ඤා කළත් කිසි කෙනෙක් ජීවමාන දෙවි යෙහෝවාට යාච්ඤා කළේ නැහැ