පරිච්ඡේදය 33
නින්දිත ගණිකාවට ලැබෙන විනිශ්චය
දර්ශනය 11—එළිදරව් 17:1-18
සිදු වන දේ: මහා බැබිලෝනිය රතු පාට වන මෘගයෙකු පිට ඉඳගෙන සිටිනවා. අන්තිමේදී ඇය ඒ මෘගයා අතින්ම විනාශ වෙනවා
ඉටු වන කාලය: 1919 සිට මහත් පීඩාව දක්වා
1. දේවදූතයන් හත්දෙනාගෙන් කෙනෙක් යොහන්ට හෙළි කරන්නේ කුමක්ද?
යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ කෝපයෙන් පිරුණු බඳුන් හතම සම්පූර්ණයෙන්ම වත් කළ යුතුයි! හයවන දේවදූතයා තම බඳුන පුරාණ බැබිලෝනිය පිහිටා තිබුණු ස්ථානය පිට වත් කර ඇති බව ඔබට මතක ඇති. එයින් සංකේතවත් වෙන්නේ දෙවි මෙම දුෂ්ට ලෝකය මතට ගෙනෙන විනාශය ළං වෙමින් පවතින මේ කාලයේදී මහා බැබිලෝනියට අද්දකින්න සිදු වන පීඩායි. (එළිදරව් 16:1, 12, 16) මීට අමතරව යෙහෝවා දෙවි තම ධර්මිෂ්ඨ විනිශ්චයන් ඉටු කිරීමට හේතුව සහ එය ඉටු කරන ආකාරය ඒ දේවදූතයාම හෙළි කරයි කියා සිතාගන්න පුළුවන්. යොහන්ට ඊළඟට අහන්න දකින්න ලැබෙන දෙයින් ඔහු පුදුමයට පත් වෙනවා. “බඳුන් සත ඇතිව සිටි දේවදූතයන් සත්දෙනාගෙන් එක් කෙනෙක් ඇවිත් මට මෙසේ කීවේය: ‘එන්න. බොහෝ ජල ධාරා මත ඉඳගෙන සිටින මහත් ගණිකාව පිට පැමිණෙන විනිශ්චය මම ඔබට පෙන්වමි. පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය. පොළොවේ වසන අයද ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.’”—එළිදරව් 17:1, 2.
2. (අ) “මහත් ගණිකාව” ඉපැරණි රෝමය නොවන බව කිව හැක්කේ කෙසේද? (ආ) ඇගෙන් විශාල ව්‍යාපාරික සංවිධාන සංකේතවත් නොවෙන්නේ ඇයි? (ඇ) ඇගෙන් ආගම් නියෝජනය වන බව පැවසිය හැක්කේ ඇයි?
2 මෙම “මහත් ගණිකාව” කවුද? ඇයට එතරම් පහත් නමක් දී ඇත්තේ ඇයි? සමහරුන් කියන්නේ ඇගෙන් ඉපැරණි රෝමය සංකේතවත් වන බවයි. නමුත් රෝමය දේශපාලන අධිරාජ්‍යයක්. බයිබලයේ කියන්නේ රෝමය ඇතුළුව පොළොවේ සියලුම රජවරුන් සමඟ මෙම ගණිකාව වේශ්‍යාකම් කළ බවයි. එමනිසා ඇය රෝමය විය නොහැකියි. මීට අමතරව ඇයව විනාශ කළ විට “පොළොවේ රජවරු” ඇය ගැන හඬන බවත් සඳහන් වෙනවා. එමනිසා කිසිම දේශපාලන බලවේගයක් ඇගෙන් නියෝජනය විය නොහැකියි. (එළිදරව් 18:9, 10) ඒ වගේම පොළොවේ වෙළෙන්දන්ද ඇය ගැන හඬා වැළපෙන නිසා ඇගෙන් විශාල ව්‍යාපාරික සංවිධාන සංකේතවත් විය නොහැකියි. (එළිදරව් 18:15, 16) නමුත් අප දකින්නේ ‘සියලු ජාතීන් නොමඟ ගියේ ඇගේ භූතවාදී ක්‍රියා නිසා’ බවයි. (එළිදරව් 18:23) මෙයින් පැහැදිලි වෙන්නේ මෙම මහත් ගණිකාව ලොව පුරා පවතින ආගම් සංකේතවත් කරන බවයි.
3. (අ) මහත් ගණිකාවගෙන් රෝමානු කතෝලික සභාව හෝ ක්‍රිස්තියානියයි කියාගන්නා සියලු පල්ලිවලට වඩා වැඩි යමක් සංකේතවත් වෙන්නේ ඇයි? (ආ) බොහෝ පෙරදිග ආගම්වල මෙන්ම ක්‍රිස්තියානියයි කියන නිකායවල දක්නට තිබෙන්නේ කුමන බැබිලෝනිය ඉගැන්වීම්ද? (ඇ) ක්‍රිස්තියානියයි කියාගන්නා පල්ලි බොහොමයක ඉගැන්වීම්, උත්සව හා චාරිත්‍ර වාරිත්‍රවල ආරම්භය ගැන රෝමානු කතෝලික කාදිනල්වරයෙක් පිළිගත්තේ කුමක්ද? (පාදසටහන බලන්න.)
3 එයට ඇතුල් වෙන්නේ මොන ආගම්ද? සමහරුන් හිතන්නේ ඇගෙන් රෝමානු කතෝලික සභාව නියෝජනය වන බවයි. නැත්නම් ක්‍රිස්තියානියයි කියාගන්නා සියලු පල්ලි කියායි. නමුත් ඇය සියලු ජාතීන් මුළා කරන බව පෙන්වන නිසා ඇගෙන් ඊටත් වඩා විශාල ආගම් සමූහයක් නියෝජනය විය යුතුයි. ඇත්තටම ලොව පුරා අධිරාජ්‍යයක් හා සමානව පැතිර ඇති අසත්‍යය උගන්වන සියලුම ආගම් ඇගෙන් නියෝජනය වෙනවා. මෙම සියලුම ආගම්වල ඉගැන්වීම්, වත්පිළිවෙත් ආදිය පරීක්ෂා කර බලද්දී ඒවාට බැබිලෝනියේ ආභාසය තිබෙන බව පැහැදිලියි. නිදසුනකට මරණයෙන් පසු නොනැසී පවතින යමක් ඇති බවට වූ විශ්වාසය, වධ වේදනා දෙන නිරයක් හෝ අපායක් ඇති බවට වූ විශ්වාසය සහ ත්‍රිත්වය පිළිබඳ ඉගැන්වීම ‘ක්‍රිස්තියානි’ නිකායවල පමණක් නොව බොහෝ පෙරදිග ආගම්වලත් දක්නට ලැබෙනවා. මීට අවුරුදු 4,000කට පමණ පෙර ඉපැරණි බැබිලෝනියෙන් බිහි වූ මෙම බොරු ඉගැන්වීම් ඇතුළත් ආගම් වර්තමානයේ විශාල අධිරාජ්‍යයක් ලෙස පැතිර තිබෙනවා. එමනිසා එයට මහා බැබිලෝනිය කියා හැඳින්වීම සුදුසුයි.a නමුත් ඇයට “මහත් ගණිකාව” කියන පහත් නම දී තිබෙන්නේ ඇයි?
4. (අ) ඉපැරණි ඊශ්‍රායෙල් ජාතිය වේශ්‍යාකම් කළේ කුමන ආකාරයෙන්ද? (ආ) අද දින මහා බැබිලෝනිය වේශ්‍යාකම් කරන්නේ කෙසේද?
4 බැබිලෝනිය අධිරාජ්‍යය (බාබෙල්, තේරුම “වියවුල”) බලය අතින් හිණිපෙත්තටම නැඟ සිටියේ නෙබුකද්නෙශර් රජුගේ පාලන කාලයේදීයි. එය ආගම හා දේශපාලනය මිශ්‍ර වී තිබුණු පාලනයක්. එම නුවරේ දේවාල දහස් ගණනක් තිබුණා. එහි පූජකයන්ට බොහෝ බලතල තිබුණා. ලෝක අධිරාජ්‍යයක් වූ බැබිලෝනිය පහ වී බොහෝ කාලයක් ගත වී තිබුණත් එහි ආගමික බලපෑම නම් තවමත් නැති වී නැහැ. අදත් මහා බැබිලෝනිය දේශපාලනයට ඇඟිලි ගසමින් දිගටම බලපෑම් කරනවා. ආගම් මෙලෙස දේශපාලනයට මැදිහත් වීම දෙවි අනුමත කරනවාද? හෙබ්‍රෙව් ලියවිල්ලේ ඊශ්‍රායෙල් ජාතිය ගැන කියවද්දී ඒ ජාතිය බොරු නමස්කාරයට හවුල් වෙන්න පටන්ගත් විට හා යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට අවට සිටි ජාතීන් සමඟ ගිවිසුම් ඇති කරගත් විට ඔවුන් කළ දේ දෙවි සැලකුවේ වේශ්‍යාකමක් හැටියටයි. (යෙරෙමියා 3:6, 8, 9; එසකියෙල් 16:28-30) මහා බැබිලෝනියද ඒ හා සමානව වේශ්‍යාකම් කර තිබෙනවා. ඇත්තටම පොළොවේ පාලකයන්ව තම අල්ලේ නටවා තමාට අවශ්‍ය දේ ඔවුන් ලවා ඉටු කරගන්න ඇය ඕනෑම දෙයක් කරනවා.—1 තිමෝති 4:1.
5. (අ) ආගමික නායකයන් කෑදරකමක් දක්වන්නේ කුමකටද? (ආ) ලෝකයේ ප්‍රසිද්ධ වීමට ආශාවක් ඇති කරගැනීම යේසුස්ගේ වචනවලට පටහැනි දෙයක් වෙන්නේ ඇයි?
5 අද දින ආගමික නායකයන් රජයේ ඉහළ නිලතල ලබාගැනීමට සැලසුම් යොදනවා. සමහර රටවල ඔවුන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් පවා ලබාගෙන සිටිනවා. උදාහරණයකට 1988දී එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය ලබාගැනීම සඳහා ජනප්‍රිය රෙපරමාදු නායකයන් දෙදෙනෙක් තරඟ කළා. මහා බැබිලෝනියේ නායකයන් මිනිසුන් ඉදිරියේ කැපීපෙනීමට දක්වන්නේ මහත් කෑදරකමක්. ඔවුන් ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් සමඟ ගත් ඡායාරූප ප්‍රසිද්ධ පුවත්පත්වල නිතරම පළ වෙනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය යේසුස් කළ දේට හාත්පසින්ම වෙනස්. ඔහු දේශපාලනයට කොහොමටවත් සම්බන්ධ වුණේ නැහැ. ඔහු තම ගෝලයන්ට උපදෙස් දුන්නේ “මා ලෝකයේ කොටසක් නොවන්නා සේම ඔවුහුද ලෝකයේ කොටසක් නොවෙති” කියායි.—යොහන් 6:15; 17:16; මතෙව් 4:8-10; යාකොබ් 4:4ද බලන්න.
‘වේශ්‍යාකම’ දිගටම
6, 7. (අ) හිට්ලර්ගේ නාට්සි පක්ෂය ජර්මනියේ පාලනය අල්ලාගත්තේ කෙසේද? (ආ) වතිකානුව සහ නාට්සි ජර්මනිය අතර ගිවිසුම ලෝකය අල්ලාගැනීමට හිට්ලර් ගත් උත්සාහයට මහත් රුකුලක් වුණේ කෙසේද?
6 දේශපාලනයට ඇඟිලි ගැසීම නිසා මේ මහා ගණිකාව මිනිසාට බොහෝ දුක් පීඩා ඇති කර තිබෙනවා. නිදසුනකට හිට්ලර් ජර්මනියේ බලය අල්ලාගත් ආකාරය සලකා බලන්න. සමහරුන් කියන්නේ මෙම තොරතුරු ඉතිහාස පොත්වලින් මකා දැමිය යුතු බවයි. ඒ තරමටම ඒවා පිළිකුල්සහගතයි. වර්ෂ 1924දී නාට්සි පක්ෂය ජර්මානු පාර්ලිමේන්තුවේ ආසන 32ක් හිමි කරගෙන සිටියා. වර්ෂ 1928 වන විට ඔවුන්ට තිබුණේ ආසන 12ක් පමණයි. නමුත් 1930දී ලෝක ආර්ථිකයේ ඇති සිදු වුණු දරුණු පරිහානියත් සමඟම තත්වය වෙනස් වුණා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නාට්සිවාදීන් 1932 ජූලි මාසයේ පැවති ජර්මානු මැතිවරණයෙන් ආසන 608න් 230ක්ම හිමි කරගත්තා. මේ අවස්ථාවේදී පාප් විසින් පත් කළ නයිට්වරයෙකු වූ ජර්මනියේ හිටපු පාලක ෆ්‍රාන්ස් වොන් පාපන් නාට්සිවාදීන්ට උදව් කළා. ඉතිහාසඥයන් පවසන විදිහට වොන් පාපන් සිහින මැව්වේ අලුත් ශුද්ධ රෝම අධිරාජ්‍යයක් බිහි කරන්නයි. ජර්මනියේ පාලකයා ලෙස තමාගේ බලය තහවුරු කරගන්න බැරි වූ නිසා නාට්සිවාදීන් තුළින් යම් බලයක් ලබාගන්නයි ඔහු කල්පනා කළේ. වර්ෂ 1933 ජනවාරි මාසයේදී ඔහු හිට්ලර් වෙනුවෙන් ජර්මානු රදලයන්ගේ සහය ලබාගත් අතර, ඉතා කපටි සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළින් 1933 ජනවාරි 30වනදා හිට්ලර්ව ජර්මානු පාලකයා ලෙස පත් කිරීමට ඔහු දැරූ උත්සාහය සාර්ථක වුණා. ඔහුව හිට්ලර්ගේ දෙවනියා ලෙස පත් කළ අතර ජර්මනියේ කතෝලික ජනයාව හිට්ලර්ගේ පැත්තට දිනාගන්නා ලෙස ඔහු පියවර ගත්තා. බලයට පත් වී මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා දැමූ හිට්ලර් ඔහුගේ විරුද්ධ පාක්ෂිකයන්ව දහස් ගණනක් ගාල් කඳවුරුවලට යැව්වා. ඉන්පසුව යුදෙව් ජාතිකයන්ට පීඩා හිරිහැර කිරීමේ විශාල ව්‍යාපෘතියක් ආරම්භ කළා.
7 නාට්සිවාදීන් එන්න එන්නම බලවත් වෙද්දී වතිකානුව ඔවුන්ව මිත්‍ර කරගැනීමට උත්සාහ දැරුවා. ඒ බව තහවුරු වුණේ වතිකානුව හා නාට්සි ජර්මනිය අතර 1933 ජූලි 20වනදා අත්සන් කළ ගිවිසුම මගිනුයි. එයට අත්සන් තැබුවේ (පසුව 12වන පියුස් පාප්වරයා ලෙස පත් වුණු) කාදිනල් පාකෙල්ලි සහ වොන් පාපන් යන දෙදෙනායි. ඒ අවස්ථාවේදී පාකෙල්ලි විසින් වොන් පාපන්ට වතිකානුවේ පාප්වරයාගෙන් ඉතා උසස් සම්මානයක් පිරිනමනු ලැබුවා.b මෙම සිදුවීම ගැන ටීබෝර් කෝව්ස් නම් ලේඛකයා මෙසේ ලියයි. “මෙම ගිවිසුම හිට්ලර් ලැබූ මහත් ජයග්‍රහණයක්. ඔහුට තම රටෙන් පිටතදී සහය ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. ලැබුණෙත් ඉතාමත් ගෞරවණීයයයි සැලකූ තැනකින්.” (පොත, Satan in Top Hat) මෙම ගිවිසුමේ කොන්දේසිවලට අනුව වතිකානුව ජර්මනියේ කතෝලික මධ්‍යම පක්ෂයට මෙතෙක් දුන් සහයෝගය ඉවත් කරගත් අතර හිට්ලර්ගේ පක්ෂය “ඒකීය රාජ්‍යයක්” ලෙස පිළිගත්තා.c මෙම ගිවිසුමේ 14වන වගන්තියේ මෙසේද සඳහන් වුණා. “අගරදගුරුවරු, රදගුරුවරු යනාදි තනතුරුවලට කෙනෙක්ව පත් කරන්නේ ඒ අය නාට්සි පාලනයට පක්ෂව සිටින බව නාට්සි පාලනයේ නියෝජිතයෙකු විසින් තහවුරු කළායින් පසුවයි.” වර්ෂ 1933 අවසානයේදී ලෝකය අල්ලාගැනීමට හිට්ලර් ගත් උත්සාහයට වතිකානුව ලබා දුන් මෙම සහයෝගය ඔහුට මහත් රුකුලක් වුණා. මෙම වර්ෂය 11වන පියුස් පාප්වරයා විසින් “ශුද්ධ වර්ෂයක්” ලෙසත් නම් කළා.
8, 9. (අ) වතිකානුව මෙන්ම කතෝලික සභාවත් එහි පූජකයනුත් නාට්සි කෲරකම්වලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) ජර්මනියේ රෝමානු කතෝලික රදගුරුවරුන් දෙවන ලෝක මහා යුද්ධය ආරම්භයේදී නිකුත් කළ ප්‍රකාශය කුමක්ද? (ඇ) ආගම හා දේශපාලනය සම්බන්ධ වීම නිසා සිදු වී තිබෙන්නේ කුමක්ද?
8 හිට්ලර්ගේ කෲර ප්‍රතිපත්තිවලට පූජකයන් හා කන්‍යා සොහොයුරියන් අතළොස්සක් විරෝධය පළ කළත් සමස්තයක් ලෙස වතිකානුව මෙන්ම කතෝලික සභාව සහ එහි පූජක සමූහය කුරිරු නාට්සි පාලනයට ඍජුවම හෝ වක්‍රකාරව සහයෝගය දැක්වූවා (විරෝධය පළ කළ අයට යම් හිංසා පීඩාවලට මුහුණ දෙන්නත් සිදු වුණා). ඇත්තටම ඔවුන් මෙම නාට්සි පාලනය සැලකුවේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති කොමියුනිස්ට්වාදය නැවැත්වීමට මඟක් ලෙසයි. වතිකානුවේ නිහඬව වැජඹෙමින් සිටි 12වන පියුස් පාප්වරයා, යුදෙව්වන්ව සමූලඝාතනය කිරීම ගැන හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ වෙනත් අයට කුරිරු ලෙස පීඩා කිරීම ගැන හෝ වචනයක්වත් කිව්වේ නැහැ. එමනිසා 2වන ජුවාම් පාවුල් පාප්වරයා 1987 මැයි මාසයේ ජර්මනියට ගිය අවස්ථාවේදී නාට්සි ප්‍රහාරයට විරෝධය පෑ එක් අවංක පූජකයෙකු ගැන ඔහු කළ ප්‍රශංසාව ඇත්තෙන්ම විහිළුවක්. එසේනම් හිට්ලර්ගේ භීෂණ සමයේදී ජර්මනියේ අනිකුත් පූජකයන් කරමින් සිටියේ කුමක්ද? දෙවන ලෝක මහා යුද්ධයේ ආරම්භයත් සමඟම 1939 සැප්තැම්බර් මාසයේදී ජර්මානු කතෝලික රදගුරුවරුන් තම පල්ලි සාමාජිකයන්ට ලියූ ලිපියකින් ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි වෙනවා. එහි සඳහන් වෙන්නේ මෙසේයි. “මේ තීරණාත්මක පැයේදී අපි අපේ කතෝලික සෙබළුන්ගෙන් ඉල්ලන්නේ අප රටේ නායකතුමාට [හිට්ලර්ට] කීකරුව එතුමා වෙනුවෙන් තම ජීවිතය වුණත් පුදන්න සූදානම් වෙන්න කියායි. සියලුම බැතිමතුන්ගෙනුත් අප ඉල්ලා සිටින්නේ මෙම යුද්ධයෙන් ජය ලබන්නට දෙවියන්ගේ ආශීර්වාද පතා ඕනෑකමින් යාච්ඤා කරන ලෙසටයි.”
9 කතෝලික පල්ලිය ආණ්ඩු සමඟ ඇති කරගත් මෙවන් සම්බන්ධකම්වලින් හෙළි වෙන්නේ ඉතිහාසයේ පසුගිය වසර 4,000 පුරාම ආගම් දේශපාලනයට ඇඟිලි ගසා බලය හා වාසි ලබාගත් ආකාරයයි. ආගම හා දේශපාලනය මෙලෙස එක්වීම නිසා යුද්ධ, පීඩා කිරීම් සහ මහා පරිමාණයෙන් මිනිස් ඝාතන හා කුරිරුකම් සිදු වී තිබෙනවා. ඇත්තෙන්ම යෙහෝවා දෙවි විසින් මෙම මහා ගණිකාව විනිශ්චය කිරීමට කාලය පැමිණ තිබීම ගැන මිනිස් වර්ගයාට කොතරම් සතුටු විය හැකිද! ඇත්තෙන්ම ඇය සහමුලින්ම විනාශ වීමට සුදුසුයි!
බොහෝ ජල ධාරා මත ඉඳගෙන සිටිමින්
10. මහා බැබිලෝනිය ඉඳගෙන සිටින “බොහෝ ජල ධාරා” මොනවාද? ඒවාට කුමක් සිදු වෙමින් තිබේද?
10 පුරාණ බැබිලෝනිය බොහෝ ජල ධාරා මත ඉඳගෙන සිටියා කියා පැවසිය හැකියි. එයට හේතුව එය ජලය මත යැපුණු නුවරක් වූ නිසයි. යුප්‍රටීස් ගඟ හා එයට සම්බන්ධ බොහෝ ජල මාර්ග නුවරට ආරක්ෂාවක් සපයා දුන්නා. මෙයින් ඔවුන්ට හොඳ ප්‍රවාහණ පහසුකම් ලැබුණා. ඒ නිසා නුවරේ ආර්ථිකය නඟා සිටුවන්නත් එය දායක වුණා. නමුත් මේ ජල ධාරා එක රැයකින් සිඳී ගියා. (යෙරෙමියා 50:38; 51:9, 12, 13) මහා බැබිලෝනියත් ආරක්ෂාව සහ තම මඩිය තර කරගැනීම සඳහා “බොහෝ ජල ධාරා” මත යැපෙනවා. මේ බොහෝ ජල ධාරාවලින් “ජනයන්ද සමූහයන්ද ජාතීන්ද භාෂාවන්ද” නියෝජනය වෙනවා. මෙයට මිලියන දහස් ගණනක් වූ ජන පිරිසක් ඇතුළත් වෙනවා. මහා බැබිලෝනිය ඔවුන්ව තම අණසක යටතේ තබාගෙන බොහෝ ධන සම්පත් ලබා ගනිමින් පෝෂණය වෙනවා. නමුත් මෙම ජල ධාරා හිඳී යන්නේ මහා බැබිලෝනියට මෙලෙස ලැබෙන සහයෝගය ක්‍රමක්‍රමයෙන් අඩු වී යන නිසයි.—එළිදරව් 17:15; ගීතාවලිය 18:4ද යෙසායා 8:7ද බලන්න.
11. (අ) පුරාණ බැබිලෝනිය ‘මුළු පොළොව මත් කළේ’ කෙසේද? (ආ) මහා බැබිලෝනියත් ‘මුළු පොළොව මත් කරන්නේ’ කෙසේද?
11 පුරාණ බැබිලෝනිය ‘යෙහෝවා දෙවිගේ අතේ තිබෙන මුළු පොළොව මත් කළ රන් පාත්‍රයක්’ ලෙසත් විස්තර කර තිබෙනවා. (යෙරෙමියා 51:7) යෙහෝවා දෙවි අවට සිටි ජාතීන් මත තම කෝපය වැගිරෙව්වේ පුරාණ බැබිලෝනිය යොදාගෙනයි. එය සිදු වුණේ බැබිලෝනිය ඒ ජාතීන්ව යටත් කරගැනීමෙනුයි. එසේ යටත් කරගැනීමෙන් ඔවුන් මුළු පොළොව මත් කළා කියා කිව හැකියි. පරාජය වූ මෙම ජාතීන් වෙරිමතින් සිටින මිනිසෙකු මෙන් දුර්වල වුණා. මෙයාකාරයට මහා බැබිලෝනියත් යම් ජයග්‍රහණ ලබමින් ලෝක අධිරාජ්‍යයක් බවට පත් වී සිටිනවා. තම බොරු ඉගැන්වීම් සහ නොයෙක් චාරිත්‍ර වාරිත්‍ර මගින් “පොළොවේ වැසියන්ව” වහල් කරගෙන මත් වූවන් මෙන් ඔවුන්ව දුර්වල කරගන්න ඇය සමත් වී සිටිනවා. නමුත් ඇය එසේ කර තිබෙන්නේ දෙවිගේ යම් අරමුණක් ඉටු කිරීමට නම් නෙවෙයි. ඇය ඉටු කර තිබෙන්නේ ඇය සමඟ වේශ්‍යාකම් කරන ‘පොළොවේ රජවරුන්ට’ අවශ්‍ය දෙයයි. එවිට ‘වෙරිමතින්’ සිටින ජනතාව තම අණසක යටතේ තබාගැනීම පාලකයන්ට පහසු කාර්යයක් වී තිබෙනවා.
12. (අ) දෙවන ලෝක මහා යුද්ධයේදී ජපානයේ සිදු වූ ලේ වැගිරීමට මහා බැබිලෝනිය වග කිව යුතුයි කියා පැවසිය හැක්කේ ඇයි? (ආ) ජපානයේ ‘ජල ධාරාවලින්’ මහා බැබිලෝනියට ලැබුණු සහයෝගය පිරිහී ගියේ කෙසේද? මෙහි ප්‍රතිඵලය කුමක්ද?
12 මෙයට කැපීපෙනෙන උදාහරණයක් ෂින්ටෝ ධර්මය අදහන ජපානයෙන් සොයාගත හැකියි. දෙවන ලෝක මහා යුද්ධය පැවති කාලයේදී ජපන් සෙබළුන් සිතුවේ තමාට කළ හැකි උතුම්ම පරිත්‍යාගය ෂින්ටෝ ධර්මයේ උසස්ම දෙවියා ලෙස සැලකූ එම රටේ අධිරාජ්‍යයා වෙනුවෙන් තම දිවි පුද කිරීම කියායි. එයට හේතුව ඔවුන්ට එම අදහස පොවා තිබුණු නිසයි. ඔවුන් හැම කෙනෙක්ම පාහේ යටත් වීම සැලකුවේ අගෞරවයක් හැටියටයි. ප්‍රතිඵලය දෙවන ලෝක මහා යුද්ධයේදී ජපන් සෙබළුන් මිලියන 1.5ක් පමණ මිය යෑමයි. ෂින්ටෝ ධර්මයේ බලපෑම නිසා කොතරම් ලේ වැගිරීමක් සිදු වුණාද! ජපානය යුද්ධයෙන් පරාජය වූ විට තමා දෙවියෙකු නොවන බව කීමට හිරෝහිටෝ අධිරාජ්‍යයාට සිදු වුණා. ප්‍රතිඵලයක් ලෙස මහා බැබිලෝනියේ ෂින්ටෝ ආගමෙන් “ජල ධාරා” එනම් බොහෝ ජන පිරිසක් සිඳී ගියා. මෙම සිඳී යෑමේ ප්‍රතිඵලයක් ලෙස මෑත වර්ෂවලදී විශ්වයේ අධිපති යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වූ සේවකයන් වීමට ජපන් ජාතිකයන්ගෙන් 2,00,000කට වඩා වැඩි පිරිසකට හැකි වී තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කලින් ෂින්ටෝ හා බෞද්ධ ධර්මය ඇදහූ අයයි.
ගණිකාව මෘගයෙකු පිට ඉඳගෙන සිටියි
13. දේවදූතයා යොහන්ව පාළුකරයට ගෙන යන විට ඔහු දකින පුදුම දර්ශනය කුමක්ද?
13 මහා ගණිකාව සහ ඇයට අත් වන ඉරණම ගැන අනාවැකියේ තවත් හෙළි වෙන්නේ මොනවාද? යොහන් ඉතා පුදුමසහගත දර්ශනයක් දකිනවා.“තවද, ඔහු [දේවදූතයා] ආත්මය මාර්ගයෙන් මාව පාළුකරයකට ගෙන ගියේය. එවිට, දේවඅපහාස නම්වලින් පිරී සිටි, හිස් සතක්ද අං දසයක්ද ඇති තද රතු පාට වන මෘගයෙකු පිට ස්ත්‍රියක් ඉඳගෙන සිටිනවා දුටිමි.”—එළිදරව් 17:3.
14. යොහන්ව පාළුකරයකට ගෙන යෑම සුදුසු දෙයක් වෙන්නේ ඇයි?
14 යොහන්ව පාළුකරයකට රැගෙන යන්නේ ඇයි? කලින් පුරාණ බැබිලෝනියට අත් වන විනාශය ගැන කී දෙයින් එය පැහැදිලි වෙනවා. ඒ විනාශය ගැන විස්තර කර තිබුණේ “ජලයෙන් වට වුණු දේශයට විරුද්ධව” දුන් තීන්දුවක් ලෙසයි. (යෙසායා 21:1, 9, NW) ආරක්ෂාවට කොතරම් ජල මාර්ග තිබුණත් පුරාණ බැබිලෝනිය පාළු බිමක් වන බව අනතුරු අඟවා තිබුණා. එමනිසා මහා බැබිලෝනියට සිදු වන දේ ගැන දැකගැනීමට යොහන්ව දර්ශනයකින් පාළුකරයකට ගෙන යෑම සුදුසුයි. ඇයත් පාළු වී නාස්ති වී යා යුතුයි. (එළිදරව් 18:19, 22, 23) නමුත් යොහන් දැන් දකින දෙයින් ඔහු පුදුමයට පත් වෙනවා! මෙම ගණිකාව සිටින්නේ තනිව නම් නෙවෙයි. ඇය වාඩි වී සිටින්නේ ඉතා අද්භූත වන මෘගයෙකු පිටයි!
15. එළිදරව් 13:1හි සඳහන් වන මෘගයා සහ එළිදරව් 17:3හි සඳහන් වන මෘගයා අතර ඇති වෙනස්කම් මොනවාද?
15 මෙම වන මෘගයාට හිස් සතක් හා අං දහයක් තිබෙනවා. එසේනම් යොහන් මේ දකින්නේ මීට කලින් දුටු හිස් සතක් හා අං දහයක් ඇති වන මෘගයාවමද? (එළිදරව් 13:1) නැහැ. යම් වෙනස්කම් තිබෙනවා. මේ වන මෘගයා රතු පාටයි. කලින් වන මෘගයාට වගේ මේ වන මෘගයාට ඔටුනු නැහැ. කලින් වන මෘගයාගේ අපහාස නාම ලියා තිබුණේ උගේ හිස් සතේ පමණයි. නමුත් මේ වන මෘගයා “දේවඅපහාස නම්වලින් පිරී” සිටිනවා. නමුත් කලින් දුටු වන මෘගයා සහ මෙම අලුත් වන මෘගයා අතර යම් සම්බන්ධයක් තිබිය යුතුයි. එයට හේතුව මෙම වන මෘගයන් දෙදෙනා අතර යම් සමානකම් තිබෙන නිසයි.
16. රතු පාට වන මෘගයා කියන්නේ කාටද? උගේ අරමුණ ගැන සඳහන් කර ඇත්තේ කුමක්ද?
16 මෙම අලුත් රතු පාට වන මෘගයා කියන්නේ කාටද? ඒ බැටළු පැටවෙකුගේ මෙන් අං දෙකක් ඇති එංගලන්ත-අමෙරිකානු වන මෘගයා මුල් වී බිහි කළ හිස් සතක් ඇති වන මෘගයාගේ රූපය විය යුතුයි. මෙම රූපය සෑදුවායින් පසුව එයට හුස්ම දීමට අං දෙකක් ඇති වන මෘගයාට අවසර දෙනු ලැබුවා. (එළිදරව් 13:14, 15) දැන් යොහන් මෙම රූපය දකින්නේ පණ ඇති හුස්ම ගන්නා මෘගයෙක් ලෙසයි. මෙයින් සංකේතවත් වෙන්නේ 1920දී අං දෙකක් ඇති වන මෘගයා විසින් බිහි කළ ජාතීන්ගේ සංගමයයි. එක්සත් ජනපදයේ ජනාධිපති වුඩ්රෝ විල්සන්ගේ සිහිනය වුණේ මෙම සංගමය මගින් “සියලු මිනිසුන්ට යුක්තිය ඉටු කර, යුද්ධයේ තර්ජනය සදහටම ඉවත් කරනු” ඇති බවයි. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසු මෙම සංගමය නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස එළි දුටු විට එහි ප්‍රකාශිත අරමුණ “ජාත්‍යන්තර සාමය හා සුරක්ෂිතභාවය පවත්වාගැනීම” බව සඳහන් වුණා.
17. (අ) සංකේතවත් රතු පාට වන මෘගයා දේවඅපහාස නම්වලින් පිරී සිටින්නේ කෙසේද? (ආ) රතු පාට වන මෘගයා පිට ඉඳගෙන සිටින්නේ කවුද? (ඇ) බැබිලෝනියේ ආභාසය ඇති ආගම් ජාතීන්ගේ සංගමය සහ ඉන්පසුව බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ මුල පටන් සම්බන්ධ වුණේ කෙසේද?
17 මිනිසුන් මෙම රතු පාට වන මෘගයාව අන්තර්ජාතික රූපයක් ලෙස සලකමින් දේවරාජ්‍යයෙන් පමණක් කළ හැකි දේ එයට කළ හැකි බව පවසමින් යෙහෝවා දෙවිට අගෞරව කරනවා. එය දේවඅපහාස නම්වලින් පිරී සිටිනවා කියා සඳහන් වෙන්නේ ඒ නිසයි. (දානියෙල් 2:44; මතෙව් 12:18, 21) යොහන් දකින දර්ශනයේ තවත් පුදුම දෙයක් වෙන්නේ මෙම රතු පාට වන මෘගයා පිට මහා බැබිලෝනිය ඉඳගෙන සිටීමයි. මෙය බැබිලෝනියේ ආභාසයක් ඇති ආගම් විශේෂයෙන් ක්‍රිස්තියානියයි කියාගන්නා ආගම් ජාතීන්ගේ සංගමයට සහ ඉන්පසුව එළි දුටු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වී ඇති ආකාරය තුළින් අපි දකිනවා. වර්ෂ 1918 දෙසැම්බර් 18වනදා එක්සත් ජනපදයේ සියලුම ‘ක්‍රිස්තියානි’ පල්ලි එකතු වී ස්ථිර කරගත් සම්මුතියක මෙසේ සඳහන් වුණා. “මෙම සංගමයෙන් ඉටු වෙන්නේ දේශපාලන අරමුණක් නම් නෙවෙයි. පොළොව මත දේවරාජ්‍යයේ පාලනය සිදු වෙන්නේ එය තුළිනුයි. . . . ජාතීන්ගේ සංගමයට සියලුම පල්ලි සහයෝගය දැක්විය යුතුමයි. එසේ නැත්නම් එයට පැවතිය නොහැකියි. . . . ජාතීන්ගේ සංගමයේ පදනම සපයන්නේ දේවරාජ්‍යයේ ශුභාරංචියයි. එහි අරමුණ වෙන්නේ ‘මිහිපිට දේවප්‍රසාදය ලත් ජනයා අතර සාමය’ උදා කර දීමයි.”
18. ‘ක්‍රිස්තියානි’ පූජකයන් ජාතීන්ගේ සංගමයට සහයෝගය දැක්වූයේ කෙසේද?
18 වර්ෂ 1919 ජනවාරි 2වනදා එක්තරා පුවත්පතක මෙම සිරස්තලය දක්නට තිබුණා. “විල්සන්ගේ ජාතීන්ගේ සංගමය පිළිගන්නා ලෙස පාප්වරයා ජනයාගෙන් උදක්ම ඉල්ලා සිටියි.” (San Francisco Chronicle) වර්ෂ 1919 ඔක්තෝබර් 16වනදා ප්‍රධාන ක්‍රිස්තියානි නිකායන් කිහිපයකට අයත් පූජකයන් 14,450දෙනෙක් අත්සන් තැබූ පෙත්සමක් එක්සත් ජනපද සෙනෙට් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් ඉල්ලා සිටියේ “ජාතීන්ගේ සංගමය සම්මත කිරීමට පැරිසියේ ඇති කරගත් සාම ගිවිසුම” අනුමත කරන ලෙසටයි. එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය මෙම ගිවිසුම අනුමත නොකළත් පල්ලි නායකයන් ජාතීන්ගේ සංගමය වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළා. මෙම සංගමයේ ආරම්භක උත්සවය සිදු කළ ආකාරය ගැන 1920 නොවැම්බර් 20වනදා ස්විට්සර්ලන්තයෙන් නිකුත් වුණු පුවතක මෙසේ සඳහන් වුණා. “ජාතීන්ගේ සංගමයේ පළමු රැස්වීම අද දින උදේ 11ට ආරම්භ වුණේ ජිනීවා නුවරේ සියලුම පල්ලිවල සීනු නාද කිරීමෙනුයි.”
19. රතු පාට වන මෘගයා පෙනී සිටියේ කවදා සිටද? යොහන් පන්තිය ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
19 දේවරාජ්‍යයේ පාලනය ස්වර්ගයේ ආරම්භ වීම ඉතා කැමැත්තෙන් පිළිගත් එකම කණ්ඩායම වුණේ යොහන් පන්තියයි. ඔවුන් ක්‍රිස්තියානියයි කියාගත් පල්ලි සමඟ එකතු වී රතු පාට වන මෘගයාට ගරු බුහුමන් දෙන්න පටන්ගත්තාද? නැහැ. වර්ෂ 1919 සැප්තැම්බර් 7වන ඉරු දින එක්සත් ජනපදයේ ඔහයෝ ප්‍රාන්තයේ සීඩා පොයින්ට් නුවරේ පැවැත්වූ සමුළුවේ ප්‍රසිද්ධ කථාවේ තේමාව වුණේ “පීඩිත මිනිස් සංහතියට ඇති එකම බලාපොරොත්තුව” යන්නයි. ඊට පසුව දා සැන්ඩස්කි නුවරේ පළ වූ පුවත්පතකට අනුව සහෝදර ජේ. එෆ්. රදෆඩ් 7,000කට ආසන්න පිරිසක් අමතමින් පැවසුවේ “ජාතීන්ගේ සංගමයට කොහොමටවත් දෙවිගේ අනුමැතිය නොලැබෙන බවයි.” එයට හේතුව පැහැදිලි කරමින් ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. “කතෝලික හා රෙපරමාදු පූජකයන් යන දෙපිරිසම දෙවිගේ අරමුණ ප්‍රතික්ෂේප කර ජාතීන්ගේ සංගමය අනුමත කරනවා. ඔවුන් කියන්නේ යේසුස් දේශනා කළ දේවරාජ්‍යයේ පාලනය පොළොවේ සිදු කරන්නේ එතුළින් බවයි.”—Star-Journal.
20. පොළොව මත දේවරාජ්‍යයේ පාලනය ජාතීන්ගේ සංගමය මගින් ඉටු වෙනවා කියා පූජකයන් විසින් පැවසීම දේවඅපහාසයක් වුණේ ඇයි?
20 ජාතීන්ගේ සංගමයේ බිඳ වැටීමත් සමඟ මිනිසුන් තනන මෙවැනි සංවිධාන දේවරාජ්‍යයට කිසිම ආකාරයකින්වත් සම්බන්ධ නොවන බව පූජකයන් තේරුම්ගත යුතුව තිබුණා. ඇත්තටම ජාතීන්ගේ සංගමය දෙවිගේ අරමුණට සම්බන්ධ වුණා නම් එහි අසාර්ථක වීමටත් දෙවි වග කිව යුතුයි. මෙයින් ඔවුන් නොකියා කියන්නේ දෙවි අසාර්ථක වූ බව නෙවෙයිද? මෙය සැබෑ දෙවිට මොන තරම් අපහාසයක්ද! බයිබලයේ කියන්නේ දෙවිගේ “වැඩ සම්පූර්ණ” බවයි. එමනිසා යෙහෝවා දෙවි මිනිසාට සාමය උදා කරමින් ස්වර්ගයේ මෙන් පොළොවෙහි තම කැමැත්ත ඉටු කරන්නේ එකිනෙකාව ඇන කොටාගන්නා, දෙවි කෙනෙකුව පවා පිළි නොගන්නා දේශපාලනඥයන් සමූහයක් මාර්ගයෙන් නම් නෙවෙයි. නමුත් යේසුස් පාලනය කරන ස්වර්ග රාජ්‍යය මාර්ගයෙනුයි.—ද්විතීය කතාව 32:4; මතෙව් 6:10.
21. මහා ගණිකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබල දෙමින් ගරු බුහුමන් කරන බවට ඇති සාක්ෂි මොනවාද?
21 ජාතීන්ගේ සංගමයට පසුව බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කුමක් කිව හැකිද? ආරම්භයේ පටන්ම මෙම සංවිධානය මත මහා ගණිකාව ඉඳගෙන සිටින බව පැහැදිලියි. එයට බලපෑම් කරමින් යම් මඟ පෙන්වීම් ලබා දෙන්න ආගමික නායකයන් උත්සාහ කරන බව කාටත් පෙනෙනවා. නිදසුනක් වශයෙන් 1965 ජූනි මාසයේදී මෙම සංවිධානයේ 20වන සංවත්සරය එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරේ පැවැත්වූ අවස්ථාවේදී ලෝකයේ ජනගහනයෙන් මිලියන දෙදාහක් පමණ නියෝජනය කරන ආගමික නායකයන් පිරිසක් ඊට සහභාගි වුණා. එයට රෝමානු කතෝලික, ග්‍රීක ඕතඩොක්ස්, රෙපරමාදු, යුදෙව්, හින්දු, බෞද්ධ සහ මුස්ලිම් නායකයන් ඇතුළත් වී සිටියා. ඔවුන් සියලුදෙනා එහි පැමිණ සිටියේ එම සංවිධානයට තම සහයෝගය සහ ගරු බුහුමන් දැක්වීමටයි. වර්ෂ 1965 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට ගිය හයවන පාවුලු පාප්වරයා එය විස්තර කළේ “සියලුම ජාත්‍යන්තර සංවිධානවලින් ශ්‍රේෂ්ඨතම සංවිධානය” ලෙසයි. ඔහු මෙසේද පැවසුවා. “සාමය හා සෞභාග්‍යය උදා කරන පිණිස පොළොවේ සියලුම ජාතීන් පිහිට පතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනුයි.” වර්ෂ 1979 ඔක්තෝබර් මාසයේ එම මූලස්ථානයට ගිය දෙවන ජුවාම් පාවුලු පාප්වරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික පිරිස අමතමින් පැවසුවේ මෙසේයි. “සාමය උදා කර දීමට හා යුක්තිය ඉටු කිරීමට එකම මඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එය ඉටු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.” ඒ කතාවේදී මෙම පාප්වරයා යේසුස් ක්‍රිස්තුස් ගැනවත් දේවරාජ්‍යය ගැනවත් එක වචනයක්වත් පැවසුවේ නැහැ. වර්ෂ 1987 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදයට ඔහු පැමිණි අවස්ථාව ගැන නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා වී තිබුණේ මෙසේයි. “‘ලොව පුරා සාමය උදා කර දීමට’ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමි වැදගත් කාර්යය ගැන ජුවාම් පාවුලු පාප්වරයා දීර්ඝ ලෙස කතා කළා.”
අභිරහස් නාමයක්
22. (අ) මහත් ගණිකාව ඉඳගෙන සිටින්නේ කුමනාකාරයේ මෘගයෙකු පිටද? (ආ) මහා බැබිලෝනිය නමැති සංකේතවත් ගණිකාව යොහන් විස්තර කරන්නේ කෙසේද?
22 මහා ගණිකාව දැන් ඉඳගෙන සිටින වන මෘගයා ඉතා භයානකයි කියා යොහන් පසුව දැනගන්නවා. නමුත් මුලින්ම ඔහුගේ අවධානය යොමු වෙන්නේ මහා බැබිලෝනිය වෙතයි. ඇය ඇඳගෙන සිටින්නේ ධනවත් කාන්තාවක් ලෙසයි. නමුත් ඇය ඉතා පිළිකුල්සහගතයි! “ඒ ස්ත්‍රිය දම් පාට සහ තද රතු පාට වස්ත්‍ර පැළඳ, රන්, අනර්ඝ ගල් සහ මුතුවලින් සැරසී සිටියාය. එමෙන්ම, පිළිකුල් දේවලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍ර දේවලින්ද පිරුණු රන් කුසලානයක් ඇගේ අතෙහි තිබිණ. ඇගේ නළලෙහි, අභිරහසක්ව තිබුණු මේ නම ලියා තිබිණ. එනම්, ‘ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවල්වලද මව වන මහා බැබිලෝනිය’ කියා ලියා තිබිණ. ඒ ස්ත්‍රිය, ශුද්ධ තැනැත්තන්ගේ ලෙයින්ද, යේසුස්ගේ සාක්ෂිකරුවන්ගේ ලෙයින්ද වෙරි වී සිටි බව මම දුටිමි.”—එළිදරව් 17:4-6අ.
23. මහා බැබිලෝනියේ සම්පූර්ණ නාමය කුමක්ද? එයින් අදහස් කරන්නේ කුමක්ද?
23 ඉපැරණි රෝමයේ ගණිකාවන්ගේ නළල්වල ඔවුන්ගේ නම් ලියා තිබුණා. මෙම ගණිකාවගේ නළලේත් නමක් ලියා තිබෙනවා.d එය දිග නමක්. එනම් “ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවල්වලද මව වන මහා බැබිලෝනිය” යන්නයි. එම නාමය “අභිරහසක්” වෙන්නේ එයට සැඟවුණු අර්ථයක් තිබෙන නිසයි. නමුත් දෙවිගේ නියමිත කාලයේදී එම අභිරහස හෙළි කරනවා. එම නාමයෙන් ඇත්තටම අදහස් කරන දේ අද දින සිටින දෙවිගේ සේවකයන්ට සම්පූර්ණයෙන්ම තේරුම්ගැනීමට ප්‍රමාණවත් තොරතුරු දේවදූතයා යොහන්ට ලබා දෙනවා. එමනිසා මහා බැබිලෝනියෙන් ලෝකයේ පවතින අසත්‍යය උගන්වන සියලුම ආගම් නියෝජනය වන බව අපි දන්නවා. ඇය “ගණිකාවන්ගේ මව” වෙන්නේ ක්‍රිස්තියානියයි කියාගන්නා නිකායන් රාශිය ඇතුළුව ඇගේ අණසක යටතේ පවතින අසත්‍යය උගන්වන සියලුම ආගම් ඇගේ වේශ්‍යාකම් අනුකරණය කරන ඇගේ දූවරුන් හා සමාන වන නිසයි. ඒ වගේම ඇයව “පිළිකුල් දේවල” මව හැටියටත් හඳුන්වනවා. එයින් අදහස් කරන්නේ රූප වන්දනාව, භූතවාදය, පේන කීම, හඳහන් බැලීම, ශාස්ත්‍ර කීම, බිලි පූජා, දේවාලවල ගණිකා වෘත්තියේ යෙදීම, බොරු දෙවිවරුන්ගේ නාමයෙන් වෙරිවීම සහ වෙනත් අශික්ෂිත ක්‍රියා සියල්ලේ මුල ඇය බවයි.
24. මහා බැබිලෝනිය “දම්පාට සහ තද රතුපාට” වස්ත්‍රවලින් හා “රන්, අනර්ඝ ගල් සහ මුතුවලින් සැරසී” සිටීම යෝග්‍ය වෙන්නේ ඇයි?
24 මහා බැබිලෝනිය “දම්පාට සහ තද රතුපාට වස්ත්‍ර පැළඳ, රන්, අනර්ඝ ගල් සහ මුතුවලින්” සැරසී සිටිනවා. ඇය මෙලෙස විස්තර කර තිබෙන්නේ ඇයි? මේ ලෝකයේ ආගම් සතු අලංකාරවත් ගොඩනැඟිලි, දුර්ලභ ප්‍රතිමා සහ චිත්‍ර, මිල කළ නොහැකි පිළිම සහ අයිකොන් චිත්‍ර හා වෙනත් වටිනා ආගමික බඩු බාහිරාදිය වගේම ඔවුන් සතු දේපළ වස්තු සම්භාරය ගැන කල්පනා කර බලද්දී ඇයව එලෙස විස්තර කිරීම කොතරම් යෝග්‍යද කියා පෙනෙනවා. ලොව පුරාම මහා බැබිලෝනිය මහත් ධනස්කන්ධයක් එකතු කර තිබෙනවා. උදාහරණ ලෙස අපට වතිකානුව, එක්සත් ජනපදයේ රූපවාහිනිය හරහා ජනතාවට දේශනා කරන අය, ආසියාවේ අලංකාරවත් පන්සල් සහ දේවස්ථාන යනාදිය එකතු කර ඇති ධන සම්භාරය සඳහන් කළ හැකියි. ඔවුන්ට මෙම ධනය අහිමි වූ අවස්ථාත් නොතිබුණාම නෙවෙයි.
25. (අ) ඇය අත තිබුණු ‘රන් කුසලානේ පිරී තිබුණු අපවිත්‍ර දේවලින්’ සංකේතවත් කරන්නේ කුමක්ද? (ආ) මෙම ගණිකාව මත් වී සිටින්නේ කුමන ආකාරයකින්ද?
25 ගණිකාවගේ අතේ තිබෙන දේ දැන් බලන්න. එය දැක යොහන්ට දැනුණේ පිළිකුලක්. එය නම් “පිළිකුල් දේවලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍ර දේවලින්ද පිරුණු රන් කුසලානයක්.” මේ කුසලානේ “තම වේශ්‍යාකමේ කෝපය නමැති වයින්” තිබුණා. සියලු ජාතීන් බී මත් වී සිටියේ ඒ වයින්වලිනුයි. (එළිදරව් 14:8; 17:4) ඒ කුසලානයට පිටතින් ඉතා වටිනා පෙනුමක් තිබුණත් එතුළ තිබෙන්නේ ඉතා අපවිත්‍ර හා පිළිකුල්සහගත දේවල්. (මතෙව් 23:25, 26 බලන්න.) මේ කුසලානය පිරී තිබෙන්නේ ජාතීන්ව මුළා කර තම ග්‍රහණයට හසු කරගැනීම සඳහා මෙම මහා ගණිකාව යොදාගන්නා සියලුම පිළිකුල්සහගත මායම් හා බොරුවලිනුයි. ඊටත් වඩා පිළිකුල් දේ නම් මේ ගණිකාව දෙවිගේ සේවකයන්ගේ ලේවලින් මත් වී සිටීමයි. ඇත්තටම ඇය ගැන පසුව සඳහන් වෙන්නේ මෙසේයි. “අනාගතවක්තෘවරුන්ගේත්, ශුද්ධ තැනැත්තන්ගේත්, පොළොවේදී මරනු ලැබූ සියල්ලන්ගේත් ලේ ඇය තුළ සම්බ වුණේය.” (එළිදරව් 18:24) මොන තරම් විශාල ලේ වරදක්ද!
26. මහා බැබිලෝනිය ලේ වරදට වග කිව යුතු බවට තිබෙන සාක්ෂි මොනවාද?
26 පසුගිය සියවස් ගණනාව පුරා අධිරාජ්‍යයක් මෙන් පැතිර ඇති අසත්‍යය උගන්වන සියලුම ආගම්වල නාමයෙන් ලේ ගංගා වගුරවා තිබෙනවා. නිදසුනකට ක්‍රි.ව. 500 සිට 1500 දක්වා කාලයේදී ජපානයේ කියෝටෝ නුවරෙහි තිබුණු පන්සල් යුධ බලකොටු බවට පත් කළා. එහි වැඩ වාසය කළ රණශූර භික්ෂූන් “බුදුන්ගේ ශුද්ධ නාමය” සඳහන් කරමින් වීථි පුරා ලේ වගුරුවමින් එකිනෙකා සමඟ සටන් වැදුණා. පසුගිය 20වන සියවසේදී පල්ලිවල නායකයන් තම තමුන්ගේ රටවල හමුදාවන් සමඟ යුධ පිටියට ගියා. ඔවුන්ගේ දිරිගැන්වීම් මත සෙබළුන් තම ප්‍රතිවාදීන්ව ඝාතනය කළා. අඩුම තරමින් මිලියන සියයක් පමණවත් ජීවිත නැති වුණා. වර්ෂ 1987 ඔක්තෝබර් මාසයේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් කිව්වේ මෙසේයි. “ඉතිහාසයේ වැඩියෙන්ම ලේ වගුරුවා තිබෙන්නේ 20වන සියවසේදීයි. මේ සියවසේ පමණක් සිදු වූ යුද්ධවලින් ඝාතනය වූ අයගේ සංඛ්‍යාව මුළු මිනිස් ඉතිහාසයේ සිදු වූ යුද්ධවලින් ඝාතනය වූ අයගේ සංඛ්‍යාවට වඩා වැඩියි.” මෙවැනි දේවලට හවුල් වූ ලෝකයේ ආගම් ඇත්තටම දෙවිගේ විනිශ්චය ලබන්න වටිනවා. යෙහෝවා දෙවි ‘නිදොස් ලේ වගුරුවන අත්වලට’ ද්වේෂ කරනවා. (හිතෝපදේශ 6:16, 17) “ශුද්ධ වූද සැබෑ වූද පරමාධිපති ස්වාමිනී, පොළොවෙහි වාසය කරන්නන්ව විනිශ්චය කිරීමෙන් සහ අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළිගැනීමෙන් ඔබ වැළකී සිටින්නේ තව කොපමණ කලකටද?” මෙම වචන පූජාසනයෙන් මීට කලින් යොහන්ට ඇසුණු බව ඔබට මතක ඇති. (එළිදරව් 6:10) දෙවි ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන අවස්ථාව පැමිණෙන විට ගණිකාවන්ගේද පොළොවෙහි පිළිකුල් දේවල්වලද මව වන මහා බැබිලෝනියට අනිවාර්යයෙන්ම ගණන් දෙන්න සිදු වෙනවා.
[පාදසටහන්වල]
a ‘ක්‍රිස්තියානි’ පල්ලිවල බොහෝ ඉගැන්වීම්, මංගල්‍ය හා වත්පිළිවෙත් බයිබලයට පටහැනි බව පැහැදිලිව පෙන්වමින් 19වන සියවසේ විසූ රෝමානු කතෝලික කාදිනල්වරයෙක් වූ ජෝන් හෙන්රි නිව්මන් මෙසේ සඳහන් කළා. “දේවස්ථාන භාවිතය, එම දේවස්ථාන සාන්තුවරයෙකුගේ නමින් කැප කිරීම, මංගල්‍ය අවස්ථාවලදී ඒවා ගස් අතුවලින් සැරසීම, සුවඳ දුම්, පහන්, ඉටිපන්දම් භාවිතය, අසනීපවලින් සුව වූ විට ස්තුති පූජා ඔප්පු කිරීම්, ආසිරි පැන්, වැරදි කරන අයට ආරක්ෂාව සපයන ස්ථාන, ශුද්ධ දවස් හා කාලවල්, දිනදර්ශන භාවිතය; පෙරහැරවල්; කෙත්වතුවලට ආශීර්වාද කිරීම්, පූජක ඇඳුම්, හිස බූ ගෑම; විවාහයේදී පළඳින මුදුව, හිරු නඟින දිසාවට මුහුණ ලා සිටීම, රූප භාවිතය, සමහරවිට පූජකයන්ගේ ජප කිරීම් සහ “සමිඳුනී, අපට දයා වුව මැනව” යන ගීතිකාව යනාදි සියල්ලම මිථ්‍යා ආගම්වලින් පැමිණ ඇති දේවල්. නමුත් ඒවා පල්ලියේ සම්මත වී තිබෙන නිසා ශුද්ධ දේවල් ලෙස සලකනවා.” (Essay on the Development of Christian Doctrine)
එවැනි දේවල් ශුද්ධයයි සලකනවා වෙනුවට “සර්වපරාක්‍රම තැනැත්තා වන යෙහෝවා” දෙවි ක්‍රිස්තියානීන්ට අවවාද කරන්නේ මෙසේයි. “ඒ අය අතරෙන් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වී සිටින්න . . . අපවිත්‍ර දේ ස්පර්ශ කිරීම නතර කරන්න.”—2 කොරින්ති 6:14-18.
b “ජර්මනියේ වෙනත් කිසිම කෙනෙකුට වඩා හිට්ලර්ට බලයට එන්න සහයෝගය දුන්නේ” වොන් පාපන් බව විලියම් එල් ෂයිරර් තම පොතේ සඳහන් කරනවා. (පොතේ නම, The Rise and Fall of the Thrid Reich) වර්ෂ 1933දී ජර්මනියේ හිටපු පාලකයෙක් වූ වොන් ෂ්ලයිෂර් වොන් පාපන් ගැන පැවසුවේ මෙසේයි. “ඔහු කොච්චර ද්‍රෝහියෙක්ද කියනවා නම් ඔහු එක්ක සසඳද්දී යූදස් ඉස්කාරියොත් සාන්තුවරයෙක්.”
c වර්ෂ 1929 මැයි 14වනදා 11වන පියුස් පාප් මොන්ද්‍රාගොන් විදුහලේ සිසුන් අමතමින් කියා සිටියේ මිනිසුන්ගේ යහපත සඳහා තමන් යක්ෂයා සමඟ වුණත් ගිවිසුමක් ඇති කරගන්න පසුබට නොවන බවයි.
d රෝම ජාතික කර්තෘ සෙනෙකා අනාචාරයේ යෙදුණු පූජකවරියකට කී දේ බලන්න. “තරුණිය, මා ඔබ දුටුවේ ගණිකා මඩමක් අසලයි. . . . ඔබේ නළලේ මා දුටුවේ ඔබේ නමයි. අනාචාරයෙන් ඔබ මිල මුදල් උපයාගත්තා.”—එච්. බී. ස්වීට්, Controv. i, 2.
[237වන පිටුවේ කොටුව]
චර්චිල් ආගම්වල වෙස්මුහුණ ගලවයි
වින්ස්ටන් චර්චිල් 1948දී ලියූ පොතක සඳහන් වුණේ හිට්ලර් “ඔස්ට්‍රියාවේ දේශපාලන නායකයන් අතර තිබුණු සමඟිය බිඳ දැමීමට හෝ ඔවුන්ව තම පැත්තට නම්මාගැනීමට” ෆ්‍රාන්ස් වොන් පාපන්ව ජර්මන් නියෝජිතයෙකු ලෙස ඔස්ට්‍රියාවට යැවූ බවයි. වියානා නුවරේ සිටි එක්සත් ජනපද නියෝජිතයා වොන් පාපන් ගැන මෙසේ පැවසූ බව චර්චිල් සඳහන් කරනවා. “වොන් පාපන් කිසිම බියක් සැකක් නැතුව මට කිව්වේ කතෝලිකයෙක් හැටියට තමා ලබාගෙන තිබුණු හොඳ නම භාවිත කරමින් කාදිනල් ඉනිට්සර් වැනි ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රියානුවන් සමඟ මිත්‍රවීමට අදහස් කරන බවයි.”—The Gathering Storm.
ඔස්ට්‍රියාව ජර්මනියට යටත් වී හිට්ලර්ගේ හමුදා වියානා නුවරේ තම බලය ඉක්මනින් තහවුරු කරගත් විට කාදිනල් ඉනිට්සර් ඔස්ට්‍රියාවේ සියලුම පල්ලිවලට නියෝග කළේ පල්ලිවල ස්වස්තික කොඩිය ඔසවා, සීනු නාද කර, ඇඩොල්ෆ් හිට්ලර්ගේ උපන් දිනයේදී ඔහුට ගෞරව කිරීමක් වශයෙන් දෙවියන්ට යාච්ඤා කරන්න කියායි.
[238වන පිටුවේ කොටුව⁄පින්තූරය]
නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් සංස්කරණයේ පමණක් මෙම මාතෘකාව ඇති ලිපිය 1941 දෙසැම්බර් 7වන දිනේදී පළ වුණා:
නාට්සීන් වෙනුවෙන් කළ යාච්ඤාව
“ෆුල්ඩා නුවරේ කතෝලික රදගුරු ජයග්‍රහණය පතා යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටියි. . . . ෆුල්ඩා නගරයේ රැස් වූ ජර්මානු කතෝලික රදගුරුවරුන්ගේ සම්මේලනයේ නිර්දේශයට අනුව සියලුම දේවමෙහෙයන් ආරම්භයේදී හා අවසානයේදී යුද්ධය වෙනුවෙන් රචනා කළ විශේෂ යාච්ඤාවක් කියවිය යුතුයි. මෙම යාච්ඤාව තුළින් ඉල්ලා සිටින්නේ ජර්මානු හමුදාවන්ගේ ජයග්‍රහණයට ආශීර්වාද කරන ලෙස හා සෙබළුන්ගේ ජීවිත හා සෞඛ්‍යයට ආරක්ෂාව ලබා දෙන ලෙසයි. එමෙන්ම, ‘ගොඩබිමේ, මුහුදේ සහ ගුවනේ’ සටන් වදින ජර්මානු සෙබළුන් වෙනුවෙන් අඩුම තරමින් මසකට වරක්වත් විශේෂ ඉරිදා දේවමෙහෙයක් පැවැත්වීමට මෙම රදගුරුවරුන් කතෝලික පූජකයන්ට උපදෙස් දුන්නා.”
මෙම ලිපිය පුවත්පතේ පසු සංස්කරණවලින් ඉවත් කළා. එයට හේතුව එදිනම නාට්සි ජර්මනියේ පැත්ත ගෙන සිටි ජපානය පර්ල් වරායේ තිබුණු එක්සත් ජනපදයේ නාවික හමුදා බලෑණියට පහර දීමයි.
[244වන පිටුවේ කොටුව]
“දේවඅපහාස නම්”
පළමු ලෝක මහා යුද්ධයෙන් පසුව බැටළු පැටවෙකුට සමාන අං දෙකක් ඇති වන මෘගයා ජාතීන්ගේ සංගමය බිහි කිරීමට අනුග්‍රහය දැක්වූවා. එය දුටු ආගමික නායකයන් බොහෝදෙනෙක් වහාම ඊට ආගමික මුහුණුවරක් දීමට උත්සාහ කළා. ප්‍රතිඵලයක් ලෙස සාමය වෙනුවෙන් පිහිටෙවූ මෙම අලුත් සංවිධානය “දේවඅපහාස නම්වලින් පිරී” ගියා.
“ජාතීන්ගේ සංගමයට අත හිත දෙමින් එහි ශුභසිද්ධිය තකා වැඩ කිරීම සියලුම ක්‍රිස්තියානි ආගම්වල යුතුකමයි. එමගින් කඩදාසි කැබැල්ලක් මත සම්මත කරගත් දේ දේවරාජ්‍යය මගින් ඇත්තටම ඉටු වන දෙයක් බවට පත් කළ හැකියි.”—The Christian Century, U.S.A., 1919 ජූනි 19, 15 පිටුව.
“දේවරාජ්‍යයේ අරමුණ වෙන්නේ මුළු ලොවම එහි පාලනයට ගෙන සාමය පැතිරවීමයි. ජාතීන්ගේ සංගමයෙන් එම අරමුණ ඉටු වෙයි. සියලුම ක්‍රිස්තියානීන් ‘ඔබගේ රාජ්‍යය ඒවා’ කියා කරන යාච්ඤාව ඉටු වෙන්නේ මෙම ජාතීන්ගේ සංගමය තුළිනුයි.”—The Christian Century, U.S.A., 1919 සැප්තැම්බර් 25, 7 පිටුව.
“ජාතීන්ගේ සංගමයට පදනම සපයා දී තිබෙන්නේ යේසුස්ගේ රුධිරයයි.”—රෙපරමාදු දේවගැති, ආචාර්ය ෆ්‍රැන්ක්, ක්‍රේන්. අ.එ.ජ.
“සියලුම ක්‍රිස්තියානි සභාවන් ජාතීන්ගේ සංගමයට අනුග්‍රහය දක්වන්නේ මිනිසුන්ට සෙතක් සැලසිය හැකි එකම පාලන ක්‍රමය මෙය වන නිසයි. ලෝකයේ සියලුම ජාතීන්ගේ ප්‍රශ්න ගැටලුවලදී යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම් ක්‍රියාත්මක කළ හැකි එකම දේශපාලන විසඳුම මෙයයි.”—The Congregationalist and Advance, U.S.A., 1919 නොවැම්බර් 6, 642 පිටුව.
“දෙවි පියාණන්ගෙත් මිහිපිට සිටින දේවදරුවන්ගෙත් අරමුණු ඉටු කරන [ජාතීන්ගේ සංගමයේ] ප්‍රතිපත්ති රකින ලෙසත් ඒවායේ උන්නතිය තකා වැඩ කරන ලෙසත් සියලුම මෙතෝදිස්ත භක්තිකයන්ගේ සභා සම්මේලනය ඉල්ලා සිටී.”—බ්‍රිතාන්‍යයේ වැස්ලියානු මෙතෝදිස්ත සභාව.
“මෙම ගිවිසුමේ සියලුම අරමුණු, බලාපොරොත්තු සහ සම්මුතීන් දෙස බලන විට අපට පෙනෙන්නේ එහි යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වල නියම සාරය අඩංගු බවයි. එනම් දේවරාජ්‍යය සහ දෙවිගේ ධර්මිෂ්ඨකමයි. . . . එයින් එහා දෙයක් එහි නැහැ.”—1922 දෙසැම්බර් 3වනදා ජිනීවා නුවරේදී ජාතීන්ගේ සංගමයේ සම්මේලනය ආරම්භ කරමින් කැන්ටබරියේ අගරදගුරු කළ දේශනයෙන්.
“මේ රට තුළ පවතින සෑම ආගමික සංවිධානයකටම දී තිබෙන ශුද්ධ අයිතිවාසිකමක්ම ජාතීන්ගේ සංගමයටත් ලබා දිය යුතුයි. එයට හේතුව සාමයේ කුමාරයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය සියලු ජාතීන්ට ලබා දීම සඳහා දැනට තිබෙන යෝග්‍යම සංවිධානය එය වන නිසයි.”—බ්‍රිතාන්‍යයේ රෙපරමාදු දේවගැතියෙකු වූ ආචාර්ය ගාවි.
[236වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ලොව පුරා තිබෙන ආගම්වල බොරු ඉගැන්වීම් පැමිණියේ පුරාණ බැබිලෝනියෙන්
බැබිලෝනිය
ත්‍රිත්ව හෝ ත්‍රිමූර්ති දෙවිවරුන්
මරණයෙන් පසු අමරණීයව පවතින යමක් තිබෙයි
භූතවාදය—“මළවුන්” සමඟ කතා කිරීම
නමස්කාරයේදී රූප භාවිතය
භූතයන්ව සන්සිඳුවීමට දොළ පිදේනි දීම
ආගමික නායකයන් විසින් කරන ප්‍රබල පාලනයක්
[239වන පිටුවේ පින්තූරය]
පුරාණ බැබිලෝනිය බොහෝ ජල ධාරා මත පිහිටා තිබුණා
[239වන පිටුවේ පින්තූරය]
මහා ගණිකාව අද දිනත් “බොහෝ ජල ධාරා” මත ඉඳගෙන සිටියි
[241වන පිටුවේ පින්තූරය]
මහා බැබිලෝනිය ඉඳගෙන සිටින්නේ භයානක වන මෘගයෙකු පිටයි
[242වන පිටුවේ පින්තූරය]
ලෝකයේ ආගම් ගණිකාවක් මෙන් පොළොවේ රජවරු සමඟ වේශ්‍යාකම් කරනවා
[245වන පිටුවේ පින්තූරය]
ස්ත්‍රිය “ශුද්ධ තැනැත්තන්ගේ ලේවලින් මත් වී” සිටිනවා