ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w97 5/1 13-18 පි.
  • බොරු දූතයන්ට මොන සමාදානයක්ද!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොරු දූතයන්ට මොන සමාදානයක්ද!
  • 1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නමට විතරක් ඉන්න සමාදානයේ දූතයෝ
  • එක්සත් ජාතීන් සමාදානය ඇතිකරන්නෙක්ද?
  • ‘දුක්ඛිත ලෙස ඇඬීමට’ හේතු
  • පුදුමාකාර අභිරහසක් හෙළි වෙයි
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • එක්සත් ජාතීන් වෙත පාප්ගේ සංචාරය—ඉන් ඉටු වූයේ කුමක්ද?
    1996 පිබිදෙව්!
  • දේවසමාදානයේ දූතයන් සේ සේවය කිරීම
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w97 5/1 13-18 පි.

බොරු දූතයන්ට මොන සමාදානයක්ද!

“නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:9, 11.

1. ‘අන්තිම කාලයේ’ බොරු මෙන්ම සැබෑ දූතයන් ඉන්නවා කියන එක අපි අපේක්ෂා කළ යුත්තේ ඇයි?

බොරු දූතයන්ද, සැබෑ දූතයන්ද? බයිබල් කාලවලදී මේ දෙවර්ගයම හිටියා. නමුත් අපේ කාලය ගැන මොකක්ද කියන්න පුළුවන්? ස්වර්ගික දූතයෙක් දෙවිගේ අනාගතවක්තෘට මෙහෙම කිව්ව බව අපිට දානියෙල් 12:9, 10හි කියවන්න තියෙනවා: “අන්තිම කාලය දක්වා මේ වචන වසා මුද්‍රකොට තිබේ. බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදුවන්නෝය; දුෂ්ටයෝ දුෂ්ටකම්කරන්නෝය; දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇත්තෝ තේරුම්ගනිති.” අප දැන් ජීවත් වෙමින් සිටින්නේ එම ‘අන්තිම කාලයෙයි.’ “දුෂ්ටයෝ” හා ‘තීක්ෂ්ණ බුද්ධිය ඇත්තන්’ අතර අපිට තියුණු වෙනසක් පේනවාද? ඇත්තෙන්ම පේනවා!

2. යෙසායා 57:20, 21 අදදින ඉටු වෙමින් පවතින්නේ කොහොමද?

2 දෙවිගේ දූතයෙක් වූ යෙසායාගේ වචන අපට 57වන පරිච්ඡේදයේ 20 හා 21වන පදවල කියවන්න පුළුවන්: “දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි. දුෂ්ටයන්ට සමාදානය නැතැයි මාගේ [දෙවි කියයි].” විසිඑක්වන සියවස කරා එළඹෙන මේ ලෝකය, මේ වචනවලින් කෙතරම් උචිත ලෙස විස්තර කෙරෙනවාද! ‘අපිට ඒ සියවසට පා තබන්නවත් පුළුවන් වේවිද?’ කියාත් සමහරු ප්‍රශ්න කරනවා. තීක්ෂ්ණ බුද්ධිය ඇති දූතයන්ට අපට කියන්න තියෙන්නේ මොකක්ද?

3. (අ) පළමුවන යොහන් 5:19හි මොන වෙනසද දක්වලා තියෙන්නේ? (ආ) ‘තීක්ෂ්ණ බුද්ධිය ඇත්තන්ව’ එළිදරව් 7වන පරිච්ඡේදයේ විස්තර කරලා තියෙන්නේ කොහොමද?

3 ප්‍රේරිත යොහන්ට දිව්‍යානුභාවයෙන් ලැබූ තීක්ෂ්ණ බුද්ධිය තිබුණා. පළමුවන යොහන් 5:19හි මෙහෙම පවසලා තියෙනවා: “අපි [දෙවිගෙන්] වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමු.” මේ ලෝකයට වෙනස්ව සිටින්නේ, ආත්මික ඉශ්‍රායෙල්වරුන් 1,44,000දෙනායි; ඔවුන්ගෙන් වයසට යමින් සිටින ඉතිරි කොටසක් අප සමඟ තවමත් ඉන්නවා. ඔවුන් හා එක් වන්නේ “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණෙන “මහත් සමූහයක්.” මෙම සමූහයාගේ සංඛ්‍යාව දශලක්ෂ පහක් ඉක්මවා යන අතර, ඔවුන්ටද තීක්ෂ්ණ බුද්ධිය තියෙනවා. “මොව්හු මහත් පීඩා[ව] මැදින් එන්නෝය.” එමෙන්ම ඔවුන් විපාක ලබන්නේ ඇයි? ඔවුනුත් යේසුගේ මිදීමේ පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමෙන් “තමුන්ගේ සළු [බැටළුපැටවාගේ] ලෙයින් සෝදා සුදුකර[ගෙන]” තියෙන හින්දයි. ආලෝකයේ දූතයන් වශයෙන් ඔවුනුත් ‘දෙවිට රෑ දාවල් පරිශුද්ධ සේවය පිරිනමනවා.’—එළිදරව් 7:4, 9, 14, 15.

නමට විතරක් ඉන්න සමාදානයේ දූතයෝ

4. (අ) සාතන්ගේ ලෝකයේ, නමට විතරක් ඉන්න සමාදානයේ දූතයන් නියත වශයෙන්ම අසාර්ථක වෙන්නේ ඇයි? (ආ) එපීස 4:18, 19 අදට අදාළ වෙන්නේ කොහොමද?

4 ඒත් සාතන්ගේ ලෞකික පිළිවෙළේ නමට විතරක් ඉන්න සමාදානයේ දූතයෝ ගැන මොනවද කියන්න පුළුවන්? යෙසායා 33වන පරිච්ඡේදයේ 7වන පදයෙහි අපට මෙහෙම කියවන්න තියෙනවා: “බලව, ඔවුන්ගේ වික්‍රමාන්විතයෝ පිටතදී මොරගසති. සමාදානයේ තානාපතියෝ [දූතයෝ, NW] දුක්ඛිත ලෙස අඬති.” සමාදානය ගෙන ඒමට වෑයම් කරමින් ලෝකයේ අගනුවරින් අගනුවරට මහත් කලබලයකින් දුවයන අය සම්බන්ධයෙන් මෙය මොනතරම් සැබෑද! මොනතරම් නිෂ්ඵල ක්‍රියාවක්ද! ඒ ඇයි? ඔවුන් ලෝක ප්‍රශ්නවල මූලික හේතුසාධක සමඟ කටයුතු කරනවා වෙනුවට, ඒවායෙහි අංගලක්ෂණ විසඳන්න බලන හින්දයි. මුලින්ම, “මේ ලෝකයේ දෙවියා” හැටියට ප්‍රේරිත පාවුල් විස්තර කරන සාතන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ඔවුන් අන්ධව සිටිනවා. (2 කොරින්ති 4:4) සාතන් මනුෂ්‍යවර්ගයා අතරේ දුෂ්ටකමේ බීජ වපුරා තියෙන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් පාලකයන් බොහෝදෙනෙක් ඇතුළුව බහුතරයක් එපීස 4:18, 19හි තියෙන විස්තරයට ගැළපේ: “ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් [හෘද, NW] දැඩිවීම නිසාද [දෙවි] කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති. ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.”

5. (අ) සමාදානය ඇතිකරන්නන් වශයෙන් මනුෂ්‍ය ආයතන අසමත් වෙන්නේ ඇයි? (ආ) ගීතාවලිය 37 ඉදිරිපත් කරන්නේ සැනසීම ගෙන දෙන මොන පණිවිඩයද?

5 අදදින මෙතරම් පුළුල්ව පැතිර තියෙන කෑදරකම, ආත්මාර්ථකාමීකම සහ වෛරය මනුෂ්‍ය හෘදවලින් මුලිනුපුටා දමන්න අසම්පූර්ණ මනුෂ්‍යයන්ගෙන් හැදිල තියෙන කිසිම ආයතනයකට බැහැ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපේ මැවුම්කරු වන පරමාධිපති ස්වාමි වූ යෙහෝවාට විතරයි! එපමණක්ද නොව, ඔහුගේ මඟ පෙන්වීමට යටත් වෙන්න කැමැත්තෙන් ඉන්නේ, මනුෂ්‍යවර්ගයා අතුරින් අතළොස්සක් වන මොළොක් ගුණැති අය විතරයි. මේ අයට හා ලෝකයේ දුෂ්ට අයට සිදු වන දේ අතර වෙනස ගීතාවලිය 37:9-11හි මෙහෙම පෙන්නලා තියෙනවා: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් [යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය. මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”

6, 7. ලෝකයේ ආගම් සමාදානයේ දූතයන් හැටියට සේවය කරන්න අපොහොසත් වෙලා තියෙන බව පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මොන වාර්තාවද?

6 එහෙම නං, මෙම රෝගී ලෝකයේ ආගම් අතුරින් සමාදානයේ දූතයන් සොයාගන්න පුළුවන්ද? හොඳයි, මේ වන තෙක් ආගම්වල වාර්තාවෙන් මොනවාද පැහැදිලි වෙන්නේ? ගත වූ සියවස් ගණනාව පුරා ලේ වැගිරීම්වලින් වැඩිහරියකට ආගම් සහභාගි වී තියෙනවා විතරක් නොව, නමුත් එයට පොලඹවා තියෙන බවත් ඉතිහාස වාර්තාවෙන් පැහැදිලි වෙනවා. උදාහරණයක් හැටියට, කලින් යුගෝස්ලාවියාවේ කලබල ගැන වාර්තා කරමින්, 1995 අගෝස්තු 30වන දිනෙන් පටන්ගන්නා සතිය සඳහා වූ ක්‍රිස්ටියන් සෙන්චරිහි මෙහෙම අදහස් පළ වුණා: “ස’බිවරුන්ගේ බලය යටතේ තියෙන බොස්නියාවේ, හිතුවක්කාර ලෙස පිහිටුවාගත් පාර්ලිමේන්තුවේ ආසනවල පළමු පේළියේ ඉඳගන්නේ පූජකයන්. එමෙන්ම සටනට කලින්, හමුදා ඒකක හා අවිවලට පවා ආශීර්වාද කරන තැන්වලද ඔවුන් ඉන්නේ පෙරමුණේ.”

7 ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් අප්‍රිකාවෙහි සියවසක් පුරා සේවය කර තිබුණත්, ඉන් හොඳ ප්‍රතිඵල අත් වී නැහැ; කතෝලිකයන් සියයට 80ක් ඉන්න බවට නම් දරා තියෙන රටක් වන රුවන්ඩාවේ මෙය හොඳින් පැහැදිලි වුණා. එක්දහස් නවසිය අනූපහේ ජූලි 7 දිනැති ද නියූ යෝක් ටයිම්ස් මෙහෙම වාර්තා කළා: “[ප්‍රංශයේ] ලියොන්හි පළ වුණු ලිබරල්වාදී ගිහි කතෝලික සඟරාවක් වන ගෝල්‍යා, පසුගිය අවුරුද්දේ රුවන්ඩාවේ සිදු වුණ ඝාතනවලට හවුල් වූ, නැතහොත් ඒවාට අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින රුවන්ඩාවේ තවත් පූජකයන් 27දෙනෙක් සහ කන්‍යා සොහොයුරියන් හතරදෙනෙක්ව ලොවට ප්‍රසිද්ධ කරන්න සැලසුම් කරනවා.” ලන්ඩනයේ තියෙන මානව අයිතිවාසිකම් සංවිධානයක් වන ඇෆ්‍රිකන් රයිට්ස් සංවිධානය මෙම අදහස පළ කළා: “මේ ගැන නිහඬව හිටපු එකට වඩා, පල්ලිවල පූජකයන්, දේවගැතියන් හා කන්‍යා සොහොයුරියන් ඝාතනවලට ක්‍රියාශීලීව සහභාගි වුණ හින්දා පල්ලි වගකියන්නම ඕනෙ.” මෙය ඉශ්‍රායෙල්හි තිබුණු තත්වයට සමානයි. එවිට යෙහෝවාගේ සැබෑ දූතයා වන යෙරෙමියා, ඉශ්‍රායෙල්ගේ මෙන්ම ඇගේ පාලකයන්, පූජකයන් හා අනාගතවක්තෲන්ගේ “ලජ්ජාව” විස්තර කළා. ඔහු තවදුරටත් මෙහෙම කිව්වා: “නිර්දෝෂවූ දිළිඳුන්ගේ ප්‍රාණවල ලේ නුඹේ වස්ත්‍ර කොන්වල සම්බවිය.”—යෙරෙමියා 2:26, 34.

8. යෙරෙමියා සමාදානයේ දූතයෙක් වුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඇයි?

8 යෙරෙමියාව බොහෝ වෙලාවට විනාශය ප්‍රකාශ කරන අනාගතවක්තෘවරයෙක් වශයෙන් හඳුන්වලා තියෙනවා. නමුත් ඔහුට දෙවිගේ සමාදානයේ දූතයා කියලත් කියන්න පුළුවන්. ඔහුට කලින් සිටි යෙසායා කළ තරමින්ම, ඔහුත් සමාදානය ගැන කතා කළා. යෙහෝවා යෙරුසලම පිට විනිශ්චය තීන්දු කරන්න යෙරෙමියාව පාවිච්චි කළේ මෙහෙම කියමින්: “මේ නුවර මා ඉදිරියෙන් පහකරවන හැටියට ඒක ගොඩනැගූ දා පටන් අද දක්වා මාගේ උදහසත් මාගේ කෝපයත් ඉපදවීමට හේතුවක්ව තිබුණේය. එසේ වන්නේ මා කෝපකරවන හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද යූදා පුත්‍රයන්ද ඔවුන්ගේ රජවරුන්ද ඔවුන්ගේ අධිපතීන්ද ඔවුන්ගේ පූජකයන්ද ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ද යූදාහි මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද කළාවූ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසාය.” (යෙරෙමියා 32:31, 32) අදදින පාලකයන් මෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය කෙරෙහි යෙහෝවාගේ විනිශ්චය මෙය පූර්වාදර්ශනය කළා. සැබෑ සමාදානය පවතින්න නම්, දුෂ්ටකම හා දරුණුකම පිටිපස්සේ සිටින මේ අයව ඉවත් කළ යුතුමයි! ඔවුන් සමාදානයේ දූතයන් නොවන බවට සහතිකයි.

එක්සත් ජාතීන් සමාදානය ඇතිකරන්නෙක්ද?

9. එක්සත් ජාතීන් තමන් සමාදානයේ දූතයෙක් කියලා පවසා තියෙන්නේ කොහොමද?

9 එක්සත් ජාතීන්ට සැබෑ සමාදානයේ දූතයෙක් වෙන්න බැරිද? ඇත්තෙන්ම, හිරෝෂිමා නගරය පරමාණු බෝම්බයෙන් විනාශ වී යන්න දින 41ක් තරම් කෙටි කාලයකට කලින්, 1945 ජූනි මාසයේ ඉදිරිපත් කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ හැඳින්වීමෙහි එහි අරමුණ මෙහෙම ප්‍රකාශයට පත් වුණා: “යුද්ධය නමැති වසංගතයෙන් මතු පරම්පරා බේරාගැනීමයි.” එක්සත් ජාතීන්ගේ අපේක්ෂිත සාමාජිකයන් 50දෙනාගේ අරමුණ වුණේ, “ජාත්‍යන්තර සාමය හා සුරක්ෂිතභාවය පවත්වාගැනීමේ අදහසින් [තමුන්ගේ] ශක්තිය එක්සත් කරගැනීමයි.” අදදින එක්සත් ජාතීන්ගේ සංවිධානයට සාමාජික රටවල් 185ක් සිටින අතර, ඔවුනුත් කියා සිටින්නේ තමුනුත් එම අභිප්‍රායටම ඇප කැප වී සිටින බවයි.

10, 11. (අ) ආගමික නායකයන් එක්සත් ජාතීන් සඳහා තම සහය එළිපිටම ප්‍රකාශ කර තියෙන්නේ කොහොමද? (ආ) පාප්වරුන් “දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” වැරදි විදිහට දක්වලා තියෙන්නේ මොන ආකාරයෙන්ද?

10 ගත වෙලා තියෙන අවුරුදු ගණනාව පුරා, එක්සත් ජාතීන්ව බොහෝදෙනෙකුගේ, විශේෂයෙන්ම ආගමික නායකයන්ගේ ප්‍රසිද්ධ පැසසුමට ලක් වෙලා තියෙනවා. එක්දහස් නවසිය හැටතුනේ අප්‍රියෙල් 11වනදා XXIIIවන ජුවාම් පාප් “පාකෙම් ඉන් ටෙරිස්” (“පොළොවෙහි සාමය”) යන මැයින් යුත් තම ප්‍රකාශ පත්‍රයට අත්සන් තැබූ අතර, ඔහු එහි මෙහෙම ප්‍රකාශ කළා: “එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එයට සම්බන්ධ ආයතන, එයට පැවරී තියෙන කාර්යයන්වල වැදගත්කම හා ශ්‍රේෂ්ඨත්වයට එකඟව කටයුතු කරන්න වරම් ලබනු ඇතැයි යන්න අපේ ඒකාන්ත ප්‍රාර්ථනාවයි.” ඉන්පසුව, 1965 ජූනි මාසයේදී, ලෝක ජනගහනයෙන් අඩක්ම වාගේ නියෝජනය කළ ආගමික නායකයන්, එක්සත් ජාතීන්ගේ 20වන සංවත්සරය සැන් ෆ්‍රැන්සිස්කෝහි උත්සවාකාරයෙන් පැවැත්තුවා. එමෙන්ම 1965දී, VIවන පාවුලු පාප් එක්සත් ජාතීන් බැහැදකින්න ගිය අවස්ථාවකදී, එය “සමඟියේ හා සමාදානයේ අවසාන බලාපොරොත්තුව” ලෙස විස්තර කළා. එක්දහස් නවසිය අසූහයේදී, IIවන ජුවාම් පාවුලු පාප් එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික සාම වසරට අනුග්‍රහ දැක්වීමේදී සහයෝගය දැක්වූවා.

11 නැවතත්, 1995 ඔක්තෝබර් මාසයේ කළ බැහැදැකීමකදී, පාප් මෙහෙම ප්‍රකාශ කළා: “අදදින අපි සමරමින් සිටින්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචියයි.” නමුත් ඇත්තටම රාජ්‍ය ශුභාරංචිය පිළිබඳ දෙවිගේ දූතයා ඔහුද? ලෝක ගැටලු ගැන කතා කරමින් ඔහු තවදුරටත් මෙහෙම කිව්වා: “මෙම විශාල අභියෝගයන්වලට මුහුණ දෙද්දී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමි වැඩකොටස අපි කොහොමද නොසලකා හරින්නේ?” දෙවිගේ රාජ්‍යය වෙනුවට පාප් තෝරාගන්නේ එක්සත් ජාතීන්වයි.

‘දුක්ඛිත ලෙස ඇඬීමට’ හේතු

12, 13. (අ) යෙරෙමියා 6:14හි විස්තර කරලා තියෙන අන්දමට එක්සත් ජාතීන් ක්‍රියා කරලා තියෙන්නේ කොහොමද? (ආ) යෙසායා 33:7හි විස්තරයට එක්සත් ජාතීන්ගේ නායකත්වය ඇතුළත් වෙන්නේ ඇයි?

12 එක්සත් ජාතීන්ගේ 50වන සංවත්සරය, “පොළොවෙහි සාමය” සඳහා කිසිම සැබෑ අපේක්ෂාවක් ඉස්මතු කරන්න අසමත් වුණා. කැනඩාවේ ද ටොරොන්ටෝ ස්ටා’හි ලේඛකයෙක් එක හේතුවක් ඇඟෙව්වා; ඔහු මෙහෙම ලිව්වා: “එක්සත් ජාතීන්ගේ සංවිධානය දත් නැති සිංහයෙක් වගෙයි; එය මනුෂ්‍යයන්ගේ දරුණු ක්‍රියා හමුවේ ගොරවයි; නමුත් හපා කන්න කලින්, එහි සාමාජිකයන් බොරු දත් කුට්ටම් දාගන්නකං බලා සිටින්න සිද්ධ වෙනවා.” බොහෝවිට හපාකෑම ප්‍රබල මදියි; ප්‍රමාද වැඩියි. වර්තමාන ලෝක පිළිවෙළෙහි, විශේෂයෙන්ම ක්‍රිස්තියානි ලෝකයෙහි සමාදානයේ දූතයෝ යෙරෙමියා 6:14හි වචන ප්‍රතිනාද කරලා තියෙනවා: “සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනගගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර [සුව කරන්න වෑයම් කර, NW] තිබේ.”

13 එක්සත් ජාතීන්ගේ සාර්ථකත්වය උදෙසා, පිට පිටම හිටපු එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරුන් අවංකව වෙහෙස මහන්සි වී වැඩ කරලා තියෙනවා. නමුත්, යුද්ධ සීමා කළ යුතු අන්දම, ප්‍රතිපත්ති සැලසුම් කළ යුතු අන්දම සහ මූල්‍ය කටයුතු මෙහෙයවිය යුතු අන්දම ගැන විවිධ අරමුණු ඇති සාමාජිකයන් 185දෙනා අතර නිතර පවතින ගැටුම් නිසා, සාර්ථකත්වය සඳහා අපේක්ෂා ඇණහිටලා තියෙනවා. “මුළු ලොවටම බලපාන න්‍යෂ්ටික විනාශයක් සිදුවීමේ” භයංකාර සිතුවිල්ල දැන් අතුරුදහන් වන හින්දා, “මුළු මනුෂ්‍ය සංහතියේ ආර්ථික හා සමාජීය ප්‍රගතිය වෙනුවෙන් ජාතීන්ට එකට වැඩ කිරීම” සඳහා මාර්ගය විවෘත වන බව, එවකට හිටි මහා ලේකම් 1995 සඳහා තම වාර්ෂික වාර්තාවේ ලිව්වා. නමුත් ඔහු මෙහෙමත් එකතු කළා: “පසුගිය අවුරුදු කිහිපය පුරා ලෝක කටයුතු ගැන වාර්තා වෙලා තියෙන දේවල්, ගොඩක් දුරට මෙම ශුභවාදී අපේක්ෂාවන්ට පටහැනිව ගමන් කරලා තියෙන එක කනගාටුවට කරුණක් තමයි.” ඇත්තෙන්ම, සමාදානයේ දූතයන් සේ රඟපාන්න කැමති අය ‘දුක්ඛිත ලෙස අඬමින් සිටිනවා.’

14. (අ) එක්සත් ජාතීන් මූල්‍යමය අතින් මෙන්ම සදාචාරමය අතින් බංකොලොත් තත්වයක ඉන්නවා කියලා කියන්න පුළුවන් ඇයි? (ආ) යෙරෙමියා 8:15 ඉටු වෙමින් පවතින්නේ කොහොමද?

14 කැලිෆෝනියාවේ දි ඔරෙන්ජ් කවුන්ටි රෙජිස්ට’ පුවත්පතේ සිරස්තලයක මෙහෙම කියවුණා: “එක්සත් ජාතීන් මූල්‍යමය අතින් හා සදාචාරමය අතින් බංකොලොත්.” එක්දහස් නවසිය හතළිස්පහේ සිට 1990 දක්වා යුද්ධ 80කට වැඩිය පැවති බවත්, ඒවාට ජීවිත දශලක්ෂ 30කටත් වැඩිය බිලි වුණ බවත් එම ලිපියේ සඳහන් වුණා. වර්ෂ 1995 ඔක්තෝබර් රීඩ’ස් ඩයිජෙස්ට් කලාපයේ ලේඛකයෙක් කියපු දෙයක් එහි උපුටා දක්වලා තිබුණා: “එක්සත් ජාතීන්ගේ හමුදා මෙහෙයුම් ගැන විස්තර කළොත්, එය ‘අදක්ෂ සේනාධිපතීන්, නොහික්මුණු සෙබළුන්, සතුරන් සමඟ ඇති කරන ගිවිසුම්, දාමරික ක්‍රියා වළක්වාලීමට බැරිවීම හා ඇතැම්විට දරුණු සිදුවීම්වලට පවා දායක වීම’ වැනි අංගලක්ෂණවලින් යුක්තයි. එපමණක් නොව, ‘සිදු වන නාස්තිය, වංචාව සහ දූෂණය පුදුමසහගතයි.’” ද නියූ යෝක් ටයිම්ස්හි, “50 වසරට පිවිස ඇති එක්සත් ජාතීන්” යන මැයින් යුත් කොටසක් යටතේ මෙම සිරස්තලය තිබුණා: “අනිසි පාලනය හා නාස්තිය නිසා එක්සත් ජාතීන්ගේ හොඳම අභිප්‍රායන් වතුරේ යයි.” එංගලන්තයේ ලන්ඩන්හි පළ වන ද ටයිම්ස් පුවත්පතේ ලිපියක මෙම ශීර්ෂ පාඨය තිබුණා: “පනහේදී දුබලයි—යථා තත්වයට පැමිණෙන්න එක්සත් ජාතීන්ට ව්‍යායාම වැඩසටහනක් අවශ්‍යයි.” ඇත්තෙන්ම, තත්වය යෙරෙමියා 8වන පරිච්ඡේදයේ 15වන පදයේ කියවන්න තියෙන දේට සමානයි: “සමාදානය ගැන බලා සිටියෙමුව, නුමුත් කිසි හොඳක් නැත; සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමුව, නුමුත් අහෝ! භීතිය ඇත්තේය.” ඒ විතරක් නොව, න්‍යෂ්ටික සමූලඝාතනයක තර්ජනය මනුෂ්‍යවර්ගයා පිට තවමත් තියෙනවා. මනුෂ්‍යවර්ගයාට අවශ්‍ය සමාදානයේ දූතයා එක්සත් ජාතීන් නොවන බව පැහැදිලියි.

15. පුරාණ බබිලෝනිය සහ එහි ආගමික ජනිතයන් විනාශකාරි මෙන්ම සිහි මුර්ච්ඡා කරවනසුලු බව ඔප්පු කර තියෙන්නේ කොහොමද?

15 මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය මොකක් වේවිද? යෙහෝවාගේ අනාවැකිමය වචනය කිසිම සැකයකට ඉඩ තියන්නේ නැහැ. පළමුකොට, එක්සත් ජාතීන් සමඟ නිතරම පාහේ ඉතා මිත්‍රශීලීව කටයුතු කරලා තියෙන ලෝකයේ බොරු ආගම්වලට ඉදිරියේදී මොනව සිදු වේවිද? ඒවා බිහි වෙලා තියෙන්නේ මව් දිය උල්පතකින්: ඒ පුරාණ බබිලෝනියයි. එළිදරව් 17:5 ඔවුන්ව යෝග්‍ය ලෙස මෙහෙම විස්තර කරලා තියෙනවා: “මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය.” කුහකකමින් පිරුණු මෙම සංවිධානයේ අවසාන ඉරණම යෙරෙමියා විස්තර කළා. වේශ්‍යාවකට සමානව, ඔවුන් පොළොවේ දේශපාලනඥයන්ව වසඟ කරගෙන ඇති අතර, එක්සත් ජාතීන්ට ඉච්චා බස් දොඩමින්, එහි සාමාජික දේශපාලන බලයන් සමඟ නුසුදුසු සම්බන්ධකම් පවත්වලා තියෙනවා. ඉතිහාසයේ සිදු වෙලා තියෙන යුද්ධවලට ඔවුන් ප්‍රධාන පංගුකාරයන් වී තියෙනවා. ඉන්දියාවේ සිදු වන ආගමික සටන් ගැන සඳහන් කරමින් එක් විචාරකයෙක් මෙහෙම කිව්වා: “කා’ල් මාක්ස් කිව්වේ ආගම මහජනයාගේ අබිං කියලයි. නමුත් ඒ ප්‍රකාශය හරියටම හරියි කියලා කියන්න බැහැ. ඇයි කිව්වොත් අබිං කෙනෙක්ගේ සිහිය මුර්ච්ඡා කරනවා; ජනයාගේ සිහිය මුළා කරනවා. නෑ, ආගම හරියට ක්‍රැක් කොකේන් වගෙයි. එය පුදුමසහගත ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අතර, ඉතා විනාශකාරි බලවේගයක්.” ඒ ලේඛකයාත් සීයට සීයක්ම හරි නැහැ. බොරු ආගමට විනාශකාරි සහ සිහි මුර්ච්ඡා කරවන බලපෑම් දෙකම තියෙනවා.

16. අවංක හෘද ඇති ජනයා මහා බබිලෝනියෙන් දැන් පලා යා යුත්තේ ඇයි? (එළිදරව් 18:4, 5ද බලන්න.)

16 එහෙමනං, අවංක හෘද ඇති මනුෂ්‍යයන් මොනවාද කළ යුත්තේ? දෙවිගේ දූතයා වූ යෙරෙමියා අපිට උත්තරයක් දෙනවා: “බබිලෝනිය කෙරෙන් පලා ගොස් නුඹලා එකිනෙකා තම තමාගේ ප්‍රාණය ගළවාගන්න; . . . මක්නිසාද මෙය [යෙහෝවාගේ] පළිගැනීමේ කාලයය.” බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනියේ ග්‍රහණයෙන් දශලක්ෂ ගණන් ජනකායක් පලා ගොස් තිබීම අපිට සතුටක්. ඔබත් ඔවුන්ගෙන් කෙනෙක්ද? එහෙමනං, මහා බබිලෝනිය පොළොවේ ජාතීන්ට බලපෑම් කර තියෙන විදිහ ඔබට හොඳින් තේරුම්ගන්න පුළුවන්; “ඇගේ මුද්‍රික පානයෙන් ජාතීහු බීවෝය; එබැවින් ජාතීහු උමතුව සිටිති.”—යෙරෙමියා 51:6, 7.

17. මහා බබිලෝනිය පිට ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ මොන විනිශ්චයද? එම ක්‍රියාවට පස්සේ සිදු වෙන්නේ මොකක්ද?

17 කෙටි කාලයකින්, එළිදරව් 17:16, 17හි විස්තර කරලා තියෙන විදිහට, යෙහෝවාගේ මෙහෙයවීම යටතේ, “උමතුව” සිටින එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් බොරු ආගමට විරුද්ධව ක්‍රියා කරාවි: ඔවුහු “වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” මතෙව් 24:21හි සඳහන් මහත් පීඩාව ආරම්භ වන්නේ මේ සිද්ධියත් සමඟයි. එය උච්චාවස්ථාවට පත් වන්නේ සර්වපරාක්‍රම දෙවිගේ මහත් දවසේ යුද්ධය වන අර්මගෙදොන්හිදියි. පුරාණ බබිලෝනියට සිදු වුණාක් මෙන්, මහා බබිලෝනියත් යෙරෙමියා 51:13, 25හි තීන්දු වුණු විනිශ්චය ලබන්න යනවා: “එම්බා බොහෝ ජලයන් පිට වසන්නාවූ, බොහෝ වස්තු ඇත්තාවූ තැනැත්තිය, නුඹේ තණ්හාවේ මිම්ම වන නුඹේ අන්තිමය පැමුණුණේය. එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි [යෙහෝවා කියන්නේය]. මම මාගේ අත නුඹට විරුද්ධව දිඟුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.” බොරු ආගම් විනාශ වුණත් එක්කම වගේ, යෙහෝවාගේ පළිගැනීමේ දවසට හසු වන දූෂිත යුධ ආලයෙන් මත් වී සිටින ජාතීන්ද විනාශයට ලක් වෙන්න යනවා.

18. යෙසායා 48:22 ඉෂ්ට වෙන්න තියෙන්නේ කවදාද, කොහොමද?

18 පළමුවන තෙසලෝනික 5:3හි දුෂ්ටයන් ගැන මෙහෙම කියලා තියෙනවා: “සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.” මේ අය ගැන යෙසායා කිව්වේ මෙහෙමයි: “බලව, . . . සමාදානයේ තානාපතියෝ [දූතයෝ, NW] දුක්ඛිත ලෙස අඬති.” (යෙසායා 33:7) ඇත්තෙන්ම යෙසායා 48:22හි අපිට කියවන්න තියෙන විදිහට, “දුෂ්ටයන්ට සමාදානය නැතැයි [යෙහෝවා කියන්නේය].” එහෙත් දේවසමාදානයේ දූතයන් සඳහා තියෙන්නේ මොන වගේ අනාගතයක්ද? අපේ ඊළඟ ලිපිය ඒ ගැන කතා කරයි.

පුනරීක්ෂණ ප්‍රශ්න

◻ දෙවිගේ අනාගතවක්තෲන් බොරු දූතයන්ව හෙළි කර තියෙන්නේ මොන ප්‍රබල වචන සමඟින්ද?

◻ කල්පවතින සමාදානය ගෙන ඒමට දරන වෑයමේදී, මනුෂ්‍ය ආයතන අසමත් වෙන්නේ ඇයි?

◻ සමාදානයේ සැබෑ දූතයන්, එක්සත් ජාතීන්ට පක්ෂව කතාකරන්නන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

◻ යෙහෝවාගේ පොරොන්දු වූ සමාදානයෙන් ඉමහත් ප්‍රීතියක් ලබන්න නං, මොළොක් ගුණැති අය මොනවාද කළ යුත්තේ?

[15වන පිටුවේ පින්තූර]

හුදු මනුෂ්‍ය සාම ප්‍රයත්නවල අසාර්ථකභාවය ගැන යෙසායා, යෙරෙමියා සහ දානියෙල් යන හැමෝම පුරෝකථනය කළා

[16වන පිටුවේ පින්තූරය]

“මුළු ලෝකයා නපුරා තුළ[ය].”—ප්‍රේරිත යොහන්

[17වන පිටුවේ පින්තූරය]

“ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව” සිටියි.—ප්‍රේරිත පාවුල්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න