ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 7/8 28-29 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යුරෝපයේ ආගමික නිදහසට තර්ජනයක්
  • හපන් ජනේල්
  • රූපවාහිනිය දරුවන්ට බලපාන අන්දම
  • ඇවිදීම ආයුෂ වැඩි කළ හැකියි
  • සංගීතය දරුවන්ට උපකාරයක්
  • වෙරළබඩ පරිසර විද්‍යාව
  • අපේ සමස්ත ලෝක ආහාර වට්ටෝරුව
  • ආඳන්ට වැඩක්
  • ආරක්ෂක පටි සමඟ මාරක රිය අනතුරු
  • දුම්කොළ නිසා මරණ
  • මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
    1995 පිබිදෙව්!
  • ලෝකය දෙස බැලීම
    1996 පිබිදෙව්!
  • දුම්කොළ පාක්ෂිකයෝ තම උෂ්ණ-වායු බැලුම් දියත් කරති
    1995 පිබිදෙව්!
  • දුම්කොළ සමාගම් ගිනි ජාලාවකට හසු වී
    1996 පිබිදෙව්!
1998 පිබිදෙව්!
g98 7/8 28-29 පි.

ලෝකය දෙස බැලීම

යුරෝපයේ ආගමික නිදහසට තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදයෙහි වොෂිංටන් ඩී.සී.හි මෑතක පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ඉතාලියේ ටියුරින්හි රෝමානු කතෝලික විශාරදයෙක් වන මාසීමෝ ඊන්ට්‍රෝවින්යෙ පැවසුවේ, රටවල් කිහිපයක නිකාය-විරෝධී ලැයිස්තු නැතහොත් වාර්තා සම්පාදනය කරන බවයි. “අවදානම් නිකායන්” ලෙස ඉලක්ක කරගෙන ඇති සංවිධානවලට, උද්‍යෝගී කතෝලික නිකායන්, ක්වේකර් නිකායිකයන්, තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය, බැප්ටිස්ට්, බෞද්ධ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ හැසිඩික් යුදෙව්වන් ඇතුළත් වෙනවා. ජර්මානු වාර්තාවක කණ්ඩායම් 800ක්ද, බෙල්ජියමේ එකක 187ක්ද, ප්‍රංශයේ එකක 172ක්ද සඳහන් වෙනවා. ප්‍රංශයේ “ගුරුවරුන් වසර ගණනාවක් ගෞරවාන්විතව සේවය කළද, යෙහෝවාගේ සාක්ෂිකරුවන් වූ නිසාම ඔවුන්ව ප්‍රසිද්ධ පාසැල්වලින් අස් කර දමනු ලබන” බව ඊන්ට්‍රෝවින්යෙ ලියයි. කොම්පස් ඩිරෙක්ට් පුවත් සේවාව වාර්තා කළ පරිදි, නිකාය-විරෝධී ව්‍යාපාරවලට මහජනයා අනුග්‍රහය දැක්වීම ගැන ඊන්ට්‍රෝවින්යෙ සැලකිලිමත් වෙනවා. “බොහෝදුරට සුළු ආගමික කණ්ඩායම් ගැන සම්පූර්ණයෙන්ම පාහේ වැරදිසහගත වූ තොරතුරු මෙන්ම නුරුස්නා ලෝක දෘෂ්ටියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරයන් වගකිව යුතු බව ඉතා පැහැදිලියි” කියා ඔහු පැවසුවා.

හපන් ජනේල්

පොළොවට සමීපව පියාසර කරන අහස් යානයක් පැමිණෙද්දී, ස්වයංක්‍රීයව වැසෙන ජනේලයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ පර්යේෂකයන් නිෂ්පාදනය කර තිබෙනවා. පීඩාකාරි ශබ්දයට හේතු වන එම අහස් යානය පසු වූ විට, එම ජනේලය නැවත විවෘත වෙයි. ජනේලය තුළම සවි කර ඇති පරිගණක සැලසුම්වල ආධාරයෙන් පිටතට සවි කර ඇති මයික්‍රොෆෝනයට හැකියාව තිබෙනවා, අධිබර ට්‍රක් රථවල හඬ වැනි පීඩාකාරි ශබ්දවලට හේතු වන වෙනත් දේවල නිශ්චිත සංඛ්‍යාතයන් හඳුනාගන්න. මෙම ජනේල්වලට ඩෙසිබෙල 20ක තරම් ප්‍රමාණයකින් පීඩාකාරි ශබ්ද අඩු කළ හැකි බව පරීක්ෂණවලින් හෙළි වෙයි. බාධාවට පත් නොවන නින්දක් ලබා දෙන්න එය සමත් වෙයි කියා අපේක්ෂා කෙරේ. නියූ සයන්ටිස්ට් සඟරාව මෙසේ අදහස් දක්වයි: “මෙම පද්ධතියේ විශාල වාසිවලින් එකක් නම්, මිල අධික වායුසමන ඉදි කිරීමේ අවශ්‍යතාව නොමැතිව, ගොඩනැඟිලිවලට ශබ්දරෝධක තත්වයක් මෙන්ම හොඳ වාතාශ්‍රයක් ලබා දීමට හැකිවීමයි.”

රූපවාහිනිය දරුවන්ට බලපාන අන්දම

“දරුවන් පංති කාමරයේ සතියකට ගත කරන පැය 23 හා සැසඳුවොත්, ඔවුන් සතියකට පැය 38ක් රූපවාහිනිය නැරඹීම සඳහා වැය කරන බැවින්, පාසැලේ බලපෑමට වඩා අවුරුදු 6 සිට 12 අතර දරුවන්ගේ හැසිරීම කෙරෙහි කාටුන් වැඩසටහන් සහ වීඩියෝ ක්‍රීඩාවන් බලපෑමක් කරනවා” කියා මෙක්සිකෝවේ පුවත්පතක් වන එල් යූනිවෙර්සාල් වාර්තා කරයි. යම් තත්වයන් යටතේ විදහාපෙන්විය යුතු ආකල්ප, එම ආකල්ප හොඳද නරකද කියා දරුවාට නොදැනෙන ආකාරයකින් රූපවාහිනිය දරුවන්ට උගන්වන බව පර්යේෂක ඕමා ටෝරබ්ලාන්කා සඳහන් කළා. ඔහු මෙසේ පැහැදිලි කළා: “කාටුන් වැඩසටහන්වල හෝ චිත්‍රපටියක හෝ යම් චරිතයක් බැඳ තැබීමෙන් සතුටුදායක ප්‍රතිඵල ලබන ආකාරය දරුවෙක් දකී නම්, එම දරුවා මෙම ක්‍රියාව අනුකරණය කිරීමට තිබෙන ඉඩ කඩ වැඩියි.” “දරුවන් පාසැලේදී ඉගෙනගන්නා දේ නොව, රූපවාහිනියෙන් හැම දිනකම ඉගෙනගන්න දේ තම දෛනික ජීවිතයට අදාළ කරගන්නේ, පාසැල් යෑම නිකම්ම යුතුකමක් කියා සලකන නිසයි” යන්න ටෝරබ්ලාන්කාගේ පර්යේෂණය හෙළි කළා.

ඇවිදීම ආයුෂ වැඩි කළ හැකියි

දිනපතාම ඇවිදීම, යමෙකුගේ ආයුෂ සැලකිය යුතු අන්දමකින් දීර්ඝ කරන්න හැකි බව ඒෂියාවීක් කියයි. අවුරුදු 12ක් පුරා ගෙනයනු ලැබූ අධ්‍යයනයක් සැලකිල්ලට යොමු කළේ, ඇවිදීමට හැකියාවක් තිබූ 61 සහ 81 අතර වයස්වල පසු වන දුම්පානය නොකරන පුරුෂයන් 707දෙනෙකුවයි. “දවසකට කි.මී. 3.2ක් (සැතපුම් දෙකක්) පමණක් සාමාන්‍ය වේගයකින් පවා ඇවිද්ද අය, ඕනෑම හේතුවක් නිසා ඔවුන් මියයෑමට තිබෙන හැකියාව අඩකින් අඩු කළ” බව වාර්තාවෙහි සඳහන් වෙයි. අඩුම තරමින් දවසකට කිලෝමීටර් 3.2ක්වත් ඇවිද්ද අයට වඩා නොඇවිද්ද අයට ඕනෑම පිළිකාවකින් මියයෑමට තිබුණු ඉඩ කඩ 2.5ගුණයකින් වැඩි වුණා. දිනකට කිලෝමීටරයක් තරම් කෙටි දුරක් ඇවිදීමෙන් පවා මරණ අනුපාතය අඩු වන බව ද නියූ ඉංග්ලන්ඩ් ජ’නල් ඔෆ් මෙඩිසින්හි (නියූ ඉංග්ලන්ඩ් වෛද්‍ය ජ’නලයෙහි) පළ වූ අධ්‍යයනයකින් හෙළි වුණා. මීට කලින්, එතරම් ප්‍රබල නොවූ ව්‍යායාම කිරීමේ වටිනාකම ඇතැම් ශරීර යෝග්‍යතා ප්‍රවීණයෝ ප්‍රශ්නයට ලක් කළා. දැන්, මෙම අලුත් අධ්‍යයනයේ නිගමනය මෙයයි: “වයසක උදවියට ඇවිදින්න දිරිගැන්වීම ඔවුන්ගේ සෞඛ්‍යයට ප්‍රයෝජනදායක විය හැකියි.”

සංගීතය දරුවන්ට උපකාරයක්

අවුරුදු තුනේ හෝ හතරේ දරුවන්ට සංගීතය වාදනය කරන්න ඉගැන්වීම, තර්ක කිරීමටත්, කල්පනා කිරීමටත් ඔවුන්ට උපකාර කළ හැකියයි අ’වයින්හි කැලිෆෝනියා සරසවියේ භෞතික විද්‍යාවේ මහාචාර්ය ගෝඩන් ෂෝ කියයි. මෙම ළාබාල වයසේදී, මොළයේ සම්බන්ධක පහසුවෙන්ම ගොඩනැඟෙන අතර, දිනකට විනාඩි දහයක් තරම් කෙටි කාලයකට නිතිපතා පෙරහුරු කිරීම, “දරුවෙකු තර්ක කරන සහ කල්පනා කරන ආකාරය සම්බන්ධයෙන් දිගු කාලීන වැඩිදියුණු වීමක්” ජනිත කරවීමට දායක වන බව පර්යේෂකයන් නිරූපණය කර තිබෙනවා. මාස නවයක් පුරා දිවගිය පරීක්ෂණයකදී, පියානෝව වාදනය කිරීමට ඉගෙන තිබූ දරුවන්, පරිගණකය ඉගෙනගත්ත හෝ කිසිම පුහුණුවක් ලබා නොගත්ත දරුවන් සමඟ සසඳනු ලැබුවා. ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් වාර්තා කරන්නේ, පියානෝව වාදනය කරන්න ඉගෙනගෙන තිබූ අය තම බුද්ධි පරීක්ෂණවල ලකුණු මට්ටම් සියයට 35කින් වැඩි කර තිබුණත්, අනික් කණ්ඩායම් දෙක කිසිම දියුණුවක් ලැබුවේ නැහැ නැත්නම් ලැබුවේ ඉතා අල්ප දියුණුවක් පමණක් බවයි.

වෙරළබඩ පරිසර විද්‍යාව

වෙරළක් ඕනෑවට වඩා පිරිසිදු කිරීමෙන් එය විනාශ කරන්න පුළුවන්ද? වේල්ස්වල ස්වොන්සී බොක්කේ කළ අධ්‍යයනයක් අනුව පිළිතුර වන්නේ ඔව් යන්නයි. වඩදියේදී දවසකට දෙවරක් සුන්බුන් එක්කාසු වන වෙරළ ඉමක් තිබීම හොඳ තත්වයකින් යුත් වෙරළක් පැවතීමට යතුර වෙනවා. මෙම සුන්බුන්වලට, මුහුදු පැළෑටි සමඟ මිශ්‍ර වූ ගස්වැල්, පාවෙන දැව, ඇල්ගී, සතුන්ගේ මළ කඳන් පවා ඇතුළත් විය හැකියි. වියෝජනය වන වෘක්ෂලතාදිය දිරීමට උපකාර කරන කුඩා අපෘෂ්ඨවංශීන් මෙම සුන්බුන් මිශ්‍රණයෙහි ජීවත් වන අතර, දිරාපත් වන දේ වැල්ලට බන්ධන කාරකයක් ලෙස ක්‍රියා කිරීමට තුඩු දෙන පරිද්දෙන් ඒවා සුළඟින් සහ මුහුදු රැල්ලෙන් විසුරුවා හැරේ. වෙරළ ඉම කුරුල්ලන්ට මෙන්ම ලඳු මීයන්, මීයන්, හාවුන් සහ නරියන් සඳහා පවා ආහාර සපයයි. වෙරළ නිතිපතා පවිත්‍ර කිරීම සියුමැලි පාරිසරික සමබරතාවට බාධා පමුණුවන බව සංරක්ෂකයන් තේරුම්ගත්තේ, වෙරළ ඉමෙහි ආහාර බුදිමින් සිටි ජලයෙහි ඇවිද කන පක්ෂීන්ගේ සංඛ්‍යාව පිරිහෙන බව දුටු විටයි. වෙරළට කැමැත්තක් දක්වන බොහෝදෙනා යථාර්ථවාදී නොවන තරම් පිරිසිදු වෙරළක් ආශා කරනවා. වෙරළට පැමිණෙන එක් කෙනෙක් වැල්ලෙන් කුඩා ගල් කැට පවා බැහැර කිරීම අපේක්ෂා කළ බව ලන්ඩනයේ ද ටයිම්ස් වාර්තා කරයි.

අපේ සමස්ත ලෝක ආහාර වට්ටෝරුව

ලෝකයේ ජනගහනය දිනපතා කොතරම් කනවාද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? දෛනික පරිභෝජනය සම්බන්ධයෙන් ග්‍රීක පුවත්පතක් වන ටෝ වීමා පුදුම දනවන සංඛ්‍යා ලේඛන කිහිපයක් වාර්තා කළා. ලෝකය පුරාම බිත්තර දෙසිය කෝටියක් නිෂ්පාදනය කොට පරිභෝජනයට ගනු ලබනවා. ඒ ප්‍රමාණය සයිප්‍රස් දූපත තරම් විශාල ඔම්ලට් එකක් සෑදීමට තරම් සෑහෙයි! ලෝකයෙහි ඉරිඟු ටොන් දශලක්ෂ 1.6ක් කා දමනු ලබනවා. අර්තාපලුත් හරි ජනප්‍රියයි. ටොන් 7,27,000ක් කෑමට ගැනේ! පොළොවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකගේ ප්‍රධාන ආහාරය බත්. දිනපතා ටොන් දශලක්ෂ 1.5ක් නිපදවනු ලැබෙයි. මෙයින් ටොන් 3,65,000ක්ම චීන ජාතිකයන් විසින් පරිභෝජනය කෙරේ. පෙරූ තේ කොළ ටොන් 7,000ක්, කෝප්ප තුන්සිය කෝටියකට සෑහෙයි. ලෝකයේ වරප්‍රසාද ලත් අය කැවියා (මාළු බිත්තර කෑමක්) ටොන් 2.7ක ආස්වාදය ලබනවා. නිර්දේශ කරනු ලබන කැලරි 2,500 හා සැසඳුවොත්, බටහිර ලෝකයේ සාමාන්‍ය වැඩිහිටියෙක් දිනපතා කැලරි 4,000ක් පරිභෝජනය කරන අතර, අප්‍රිකාවේ ඒ සාමාන්‍යය 1,800කට සීමා වී තිබෙනවා.

ආඳන්ට වැඩක්

ජපානයෙහි ජලයේ තත්වය පරීක්ෂා කිරීමේ වැඩය ආඳන්ට භාර දී තිබෙන බව ද ඩේලි යෝමීයූරී වාර්තා කරයි. ජල තත්වයේ අල්ප වෙනස් වීම්වලට ආඳන් ප්‍රතික්‍රියා කරන බව හිරෝෂිමා සරසවියේ මහාචාර්ය කෙන්ජී නාම්බා අවුරුදු පහකට පෙර සොයාගත්තා. කැඩ්මියම් හෝ සයනයිඩ් වැනි හානිකර ද්‍රව්‍යයන් ආඳෙකුගේ හෘද ස්පන්දන වේගය බාල කරවීමට හේතු වන අතරම, පිළිකා හේතුකාරකයක් වන ට්‍රයික්ලෝරෝඑතිලින් උගේ හෘද ස්පන්දන වේගය ශීඝ්‍ර ලෙස ඉහළ නංවයි. මෙම අද්විතීය සංවේදිතාව උපයෝගි කරගන්නාවූ යන්ත්‍රයක් දැන් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ආඳා එම යන්ත්‍රයේ ඇක්‍රිලික් නළයක් තුළ සිටී. එම නළය තුළින් ජලය ගලා යද්දී, නළයට සවි කර ඇති ඉලෙක්ට්‍රෝඩ ආඳාගේ හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කර, යම් වෙනසක් ඇතොත් පේජරයක් තුළින් ශිල්පියෙකුට දන්වනු ලබනවා. මෙම වැඩය කිරීමට තෝරාගෙන ඇති ආඳන් විශේෂයෙන්ම පිරිසිදු ජලාශවලින් ගෙන ඇති අතර, නිරවද්‍යතාව පවත්වාගැනීමට මාසිකව උන් වෙනුවට අලුත් ආඳන්ව යොදාගනු ලබයි.

ආරක්ෂක පටි සමඟ මාරක රිය අනතුරු

පෞද්ගලික නිදහස සම්බන්ධයෙන් කරන සහතිකය උල්ලංගනය කරන බව තීරණය කරමින්, කොස්ටා රිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ආණ්ඩුක්‍රමික මණ්ඩලය, මෑතකදී ආරක්ෂක පටිය අනිවාර්යයෙන්ම පැළඳිය යුතු බවට වූ නීතියක් අවලංගු කළ බව කොස්ටා රිකාවේ සැන් හෝසෙහි ද ටීකෝ ටයිම්ස් වාර්තා කරයි. ගත් තීරණයෙන් පසු, ආරක්ෂක පටි පාවිච්චි කරන රියැදුරන්ගේ ප්‍රතිශතය සියයට 87 සිට සියයට 44 දක්වා අඩු වී තිබෙන අතරම, හදිසි අනතුරු සහ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන මරණ වැඩි වී තිබෙනවා. තුවාල වන සංඛ්‍යාව අඩු කිරීමට කොස්ටා රිකාවේ මාර්ග ආරක්ෂක මණ්ඩලය හදිසි ප්‍රයත්නයක් දියත් කර ඇතත්, මඟීන් ආරක්ෂක පටි නොපළඳින විට එම උත්සාහය ව්‍යර්ථ වන බව වාර්තාව සඳහන් කරයි. මණ්ඩලයේ නියෝජිත මාන්ෆ්‍රෙට් සෙර්වැන්ටෙස් මෙසේ පවසයි: “වගකීමේ හැඟීමකින් කටයුතු කරන රියැදුරන් වීමෙන් තමුන්ව ආරක්ෂා කරගෙන, තම ජීවිත බේරාගැනීමට පුළුවන් බව ජනයාට තේරුම් කර දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ.”

දුම්කොළ නිසා මරණ

ලොව පුරා ජනයා සියකෝටි 1.1ක් පමණ දුම්පානය කරන බව දුම්කොළ පාලනය පිළිබඳ ආසියානු විමසුම් ආයතනයේ මහාචාර්යවරිය වන ජූඩිත් ම’කේ පවසයි. බ්‍රිටිෂ් මෙඩිකල් ජ’නල්හි (බ්‍රිතාන්‍ය වෛද්‍ය ජ’නලයේ) වාර්තා වී ඇති ආකාරයට, දුම්කොළ සහ සෞඛ්‍යය පිළිබඳ දහවන ලෝක සම්මේලනයේදී, 1990දී දුම්කොළවලට සම්බන්ධ මරණ දශලක්ෂ තුනක් සිදු වූ බව තක්සේරු කරනු ලැබුවා. වසර 2025 සහ 2030 අතර කාලයේදී එම මරණ සංඛ්‍යාව කෝටියක් දක්වා ඉහළ නැංවේයයි අපේක්ෂා කෙරේ. මීළඟ දශක තුන තුළදී, දුම්පානයට සම්බන්ධ මරණවල වැඩිවීම සංවර්ධිත ජාතීන්ගේ සිට සංවර්ධනය වෙමින් පවතින ඒවා දක්වා මාරු වන බව එම ජ’නල් පවසයි. ඔක්ස්ෆඩ් සරසවියේ වෛද්‍ය සංඛ්‍යාලේඛන පිළිබඳ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය රිචඩ් පීටෝට අනුව, “වෙන කිසිම රටකට වඩා දැනුත් චීනයේ තමයි වැඩිදෙනෙක් දුම්කොළ හේතුවෙන් මැරෙන්නේ.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න