රූපවාහිනිය කෙතරම් අනතුරුදායකද?
වර්ෂ 1997 දෙසැම්බර් 18වනදා, රූපවාහිනි කාටූනයක් ජපානයේ ටෝකියෝහි බොහෝදෙනෙකුව ලෙඩ කර තිබූ බවට වාර්තා වුණා. සිය ගණන් රෝහලට ගෙන යනු ලැබුවා. “සමහර දරුවන් ලේ වමනේ කළා; අනිත් අයට හදිසි ආබාධ ඇති වුණා; එහෙමත් නැත්නම් සිහි නැති වුණා” කියා ද නියූ යෝක් ටයිම්ස් වාර්තා කළා. “ඇතැම් සමකාලීන රූපවාහිනි දර්ශනවලට දරුවන් මොනතරම් ගොදුරු විය හැකිද යන්න සම්බන්ධයෙන් මෙම සිද්ධිය පුදුමයට පත් කරන සිහිගැන්වීමක් කියා වෛද්‍යවරු හා මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවයි.”
නියූ යෝක් ඩේලි නියූස් මෙසේ පැවසුවා: “රූපවාහිනියෙන් පණ දුන් අද්භූත සතෙක් උගේ දීප්තිමත් රතු ඇස් විදහාගෙන සිටිය අතර, රට පුරාම දරුවන් සියදහසක් කම්පනයට පත්වීමෙන් පසු ඊයේ ජපානය සන්ත්රාසයෙන් වෙළී ගියා.
“රූපවාහිනි කාටූනයක් . . . නැරඹීමෙන් පසු අඟහරුවාදා රාත්‍රියේ දරුවන් 600කට ආසන්න සංඛ්‍යාවක් හා වැඩිහිටියන් කිහිපදෙනෙකුව හදිසි ප්‍රතිකාර ඒකකවලට ගෙනගියා.” ස්වසන අසීරුතා ඇති වී තිබූ ඇතමෙකුව දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරනු ලැබුවා.
අට-හැවිරිදියකගේ මව වූ යුකිකෝ ඉවාසාකි මෙසේ පැහැදිලි කළා: “මගේ දුවට සිහි නැති වෙනවා දැක්කහම මට ලොකු භයක් ඇති වුණා. දුව හුස්ම ගන්න පටන්ගත්තේ මම එයාගේ පිටට පාරක් ගැහැව්වට පස්සෙයි.”
“වාර සිය ගණනක්” යොදාගත් බවට ඔවුන් කියා සිටින පණගැන්වීමේ තාක්ෂණයකට එවැනි භයානක, සාහසික ප්‍රතික්‍රියාවක් ඇති කළ හැක්කේ කෙසේද යන්න පැහැදිලි කරන්න, දරුවන් සඳහා රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කරන්නන්ට නොහැකි වුණා.
රූපවාහිනිය නැරඹීමේ අනතුරුදායක බලපෑම් ගැන සාවධානව සිටින ඇතැම් දෙමාපියන් රූපවාහිනිය නැරඹීම පරෙස්සමින් පාලනය කර, එසේත් නැත්නම් තමන්ගේ නිවසෙන් රූපවාහිනිය ඉවත් කිරීම පවා කර තිබෙනවා. තම නිවසෙහි රූපවාහිනිය අයින් කිරීමට පෙර දරුවන් “කෙටි වේලාවකට අවධානය දුන් අතර, කිපෙනසුලු ගතියක්, අඩු සහයෝගයක් හා බැහැර කරන්න බැරි වූ කම්මැළි ගතියක්” පෙන්වූ බව අ.එ.ජ. ටෙක්සස්, ඇලන්හි දෙමාපියෙක් නිරීක්ෂණය කළා. ඔහු තවදුරටත් මෙසේ පැහැදිලි කළා: “වයස 6 සිට 17 දක්වා සිටින අපේ දරුවන් පස්දෙනාගෙන් සෑම කෙනෙකුම වගේ ඉහළම ලකුණු ගන්න ශිෂ්‍යයන්. රූපවාහිනිය නැති නිසා, ඔවුන් ක්‍රීඩාවලට, කියවීමට, කලාවට, පරිගණක පාවිච්චියට හා තවත් එවැනි දේවල් ඇතුළු විවිධ දේවලට ඉක්මනින්ම උනන්දුවක් වර්ධනය කරගත්තා.
“අවුරුදු දෙකකට ඉස්සෙල්ලා විශේෂයෙන් මතක හිටින දෙයක් සිද්ධ වුණා. එතකොට වයස 9ක්ව හිටි මගේ පුතා, යාළුවෙකුගේ ගෙදර මුළු රෑම ගත කරන සාදයකට ගිහින් ඉන්නකොට, ඔහුව ගෙදර ගෙනියන්න එන්න කියලා මට කතා කරලා කිව්වා; . . . ඔහුව එක්කගෙන ඇවිත් මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහැව්වහම, ඔහු මෙහෙම කිව්වා, ‘හරි කම්මැළි පාටියක්. ඒගොල්ලන්ට ඕනෙ ඔහේ ඉඳගෙන ටීවී එක බලන්න විතරයි!’”