කුරුල්ලන් නැරඹීම සැමටම සිත්ගන්නා විනෝදාංශයක්ද?
“කුරුල්ලන් නරඹන කෙනෙකුගේ ජීවිතය නිමක් නැති පුදුමවලින් පිරී තිබේ.” ඩබ්. එච්. හඩ්සන්—ද බුක් ඔෆ් එ නැචුරලිස්ට් (ස්වභාව විද්‍යාඥයෙකුගේ පොතක්).
දකුණු අප්‍රිකාව හා මොසැම්බික් අතර සීමාවේ කෝසී බොක්ක අසල, කීත්, එව්ලින්, ජනි සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා කුරුල්ලෙක් දැකීමට කිලෝමීටර් 22ක් ඇවිද්දා. මේ නිකම්ම නිකම් කුරුල්ලෙක් නම් නෙවෙයි! ඔවුන් සොයමින් සිටියේ ඇස් වටා රතු පාට හමක් ඇති කළු-සුදු විශාල කුරුල්ලෙක් වූ පාම්-ගෙඩි ගිජුලිහිණියාවයි. ඌ මැරුණු මාළු හා තෙල් ගත හැකි පාම් ගස්වල ගෙඩි ආහාරයට ගනියි.
කීත් මෙසේ විස්තර කරයි: “හුඟ වෙලාවක් ඇවිද්දට පස්සේ, අපි ගෙදර ආවේ බලාපොරොත්තු සුන් කරගෙන; එකෙක්ව විතරයි දැක්කේ; ඌවත් දැක්කේ ඈත පියාඹන කොටයි. අපේ කූඩාරමට ආපහු ආවහම අපිට දැකගන්න ලැබුණේ මොකක්ද? අපිට ඉහළින් පාම් ගහක ලැගලා හිටිය පාම්-ගෙඩි ගිජුලිහිණියන් තුන්දෙනෙක්! සම්පූර්ණයෙන්ම විදහාගත් පිහාටුවලින් අපිට චමත්කාරජනක දර්ශනයක් දෙමින් උන් ඉගිල්ලිලා යනකම්, අපි පැය භාගයක් විතර උන් නැරඹීමෙන් ආස්වාදයක් ලැබුවා. ඒ දවසේදීම, අපි මුල් වතාවට දුඹුරු-කෙවුල්-බකමූණාවත් දැක්කා. ඇත්තෙන්ම, මාළු අල්ලන බකමූණෙක්!”
ඕනෑම කෙනෙකුට වින්දනයක්
ලොව පුරාම, කුරුල්ලන්ව නැරඹීමත්, උන්ගේ හඬ ඇසීමත් ප්‍රියකරු දෙයක්. විශේෂයන් 9,600කට වැඩිය සිටීම, ඕනෑම සාවධාන නරඹන්නෙකුට ප්‍රස්තා උදා කර දෙනවා. වේගවත්ව ඉගිලෙන ගුමන කුරුල්ලෙකුගේ හෝ පිළිහුඩුවෙකුගේ දීප්තිමත් වර්ණ දැකීමෙන් කවුද වින්දනයක් නොලබන්නේ? කවට කුරුල්ලෙකුගේ, රෑ කොවුලෙකුගේ හෝ ඕස්ට්‍රේලියානු විශිෂ්ට වීණා කුරුල්ලෙකුගේ විවිධත්වයක් ගන්නා ගීත ගායනයෙන්, එහෙමත් නැත්නම් කෝකිලයාගේ පැහැදිලි හඬින් හෝ ඕස්ට්‍රේලියානු කැහිබෙල්ලාගේ සිත් පිනවන මිහිරි හඬින් මන බැඳුණු විට නැවතී නොබලන්නේ කවුද?
කුරුල්ලන් නැරඹීම කියන්නේ කැලෑ කුරුල්ලන්ව නිරීක්ෂණය කිරීමයි. එය කොතරම් ක්‍රියාශීලී විනෝදාංශයක් වේවිද යන්න රඳා පවතින්නේ ඔබ මතයි. දුර්ලභ කුරුල්ලන්ව සෙවීමට මඩවගුරුවලට බසින්න හෝ කඳු නඟින්න ඔබට ආශාවක් නොතිබෙනවා වෙන්න පුළුවන්. කෙසේවුවත්, තම පිටිපස මිදුලේ හෝ වත්තේ ඉඳගෙන කුරුල්ලන් නිරීක්ෂණය කිරීම තෘප්තියට සහ ප්රබෝධයට හේතු වන බව බොහෝදෙනෙකුට පෙනී යනවා. බොහෝදෙනෙක් දේශීය කුරුල්ලන්ව ගෙන්වාගැනීමට වතුර හා කුරුලු කෑමක් එළිමහනේ තබනවා. සෑම අවුරුද්දකම ඊට ලොල් වන අය වැඩි වෙයි. ඒ වෙනුවෙන් දරන වෑයම වටිනවා කියා විශ්වාස කරන ජන සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා.
එය මෙතරම් ජනප්‍රිය මන්ද?
ස්ටීව් එච්. ම’ඩොක්ගේ, ඇන් අමෙරිකා චැලේන්ජ්ඩ් (අභියෝගයට ලක් වූ අමෙරිකාවක්) නම් පොතට අනුව, 1990 සහ 2050 අතර වර්ෂවලදී, එ.ජ. ජනගහනයට වඩා ශීඝ්‍රයෙන් කුරුල්ලන් නරඹන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙයි කියා අපේක්ෂා කෙරේ. “ඉන්දියාවේ කුරුල්ලන් නැරඹීමෙහි යෙදී සිටින ජනයා වැඩි වෙමින් තිබෙන” බව නියූ සයන්ටිස්ට් සඟරාව වාර්තා කළා. එමෙන්ම දකුණු අප්‍රිකාවේ කුරුලු ජීවිතය පිළිබඳ ප්‍රකාශන කමිටුවේ සභාපති, ගෝර්ඩන් හෝල්ට්හෞසන් විශ්වාස කරන්නේ, “දකුණු අප්‍රිකාවේ . . . කුරුලු පොත් දෙවෙනි වන්නේ බයිබලයට විතරක්” බවයි.
කුරුල්ලන් නරඹන්නෙකුගේ ඇසින් ඔබ කුරුල්ලෙකු දකින විට ඔබ ඊට ඇබ්බැහි වනවා නිසැකයි! කුරුල්ලන් නැරඹීම බෝවෙනසුලුයි. එය, ඔබව ගෙමිදුල්වලින් එළිමහන් තැන්වලට ගෙන යමින්, ඔබේ මනස උද්දීපනය කරන මිල කළ නොහැකි විනෝදාංශයක් විය හැකියි. දඩයමක් කරන්න යනවා වගේ ආකර්ෂණයක් තිබුණත්, ඝාතනය කිරීමක් සිදු වන්නේ නැහැ. දරුවන් සහ වැඩිහිටියන් ඉක්මනින්ම එයට හුරු වන බැවින්, පවුල් වශයෙන් හෝ මිත්‍ර කණ්ඩායම් වශයෙන් ප්‍රීතියෙන් මෙය භුක්ති විඳිය හැකියි. තනිවම වුවත් එයින් ආස්වාදයක් ලැබිය හැකියි. කුරුල්ලන් නැරඹීම පිරිසිදු, හිතකර, සාර්ථක විනෝදයක් වන අතර වසර පුරාම කොතැනකදී වුවත් කළ හැකියි.
කුරුල්ලන් නැරඹීම සඳහා අවශ්‍ය මූලිකාංග
ඇතැම්විට ඔබ කුරුල්ලෙකු දැක, උගේ නම මොකක්ද කියා කල්පනා කරනවාද? දැවැන්ත රාජාලීන්, මොණරුන් හා හංසයන්ගේ නම් දැනගැනීමෙන් පමණක් නොව, නමුත් පහසුවෙන්ම නොසලකා හැරෙන බිම්බස්සන් හා ගී ගයන කුරුලු වර්ගවල නම් දැනගැනීමෙනුත් තෘප්තිමත් හැඟීමක් ඇති වෙයි. එක-වගේ සිලිබිල්ලන් සහ ශරත් ඍතුවේදී පිහාටු කලඹක් ඇති ගස් රැවියන් මෙන්ම අතරමැදි කුරුල්ලන් රාශියක්ද ඉන්නවා.a
උන්ව හඳුනාගැනීම සඳහා, ඔබේ රටේ හෝ ප්‍රදේශයේ කුරුල්ලන් ගැන සඳහන් ක්ෂේත්‍ර උපදෙස් පොතක් ඔබට අවශ්‍ය වනු ඇත. මෙය එක් එක් ජාතියේ පිරිමි හා ගැහැනු සතුන්ගේ පින්තූරු හා විස්තර සහිත සාක්කු ප්‍රමාණයේ පොතක්. වඩාත් හොඳ උපදෙස් පොත්වල හොඳින් නොවැඩුණු පිල් හා වාර පිල් කලඹ පිළිබඳවද ඇතුළත්.
කුරුල්ලන් නිරීක්ෂණය කිරීමට පටන්ගන්නෙකුට තවත් අවශ්‍ය කුමක්ද? මාළු අල්ලන්නෙකුට බිලිපිත්තක් හෝ දැලක් යම් සේද, කුරුල්ලන් නිරීක්ෂණය කරන්නෙකුට කදිම දූරදර්ශක යුවළකුත් එසේමයි. අහල පහළ වෙසෙන කුරුල්ලන්ව ඔබ දූරදර්ශක තුළින් දකින විට උන් සම්බන්ධයෙන් ඔබ දකින පොඩි පොඩි දේවල් මගින් ඔබ පුදුමයට පත් වේවි. උදාහරණයක් හැටියට, අප්‍රිකාවේ විශාල හිපපොටේමසෙක්ව පහසුවෙන්ම දැකගත හැකියි. නමුත් ඔබ දූරදර්ශක පාවිච්චි නොකරනවා නම්, හිපෝගේ පිටේ නැඟ පරපෝෂිතයන්ගෙන් පෝෂණය වන කුඩා රතු-හොට කුරුල්ලාව ඔබට දැකගත නොහැකියි.
කුරුල්ලන් නිරීක්ෂණය සඳහා සියලුම දූරදර්ශක නිර්මාණය කර නැති අතර, කළ හැකි හොඳම දේ විවිධ දූරදර්ශක වර්ග එකිනෙක හා සැසඳීමයි. කුරුල්ලන් නිරීක්ෂණය කරන්නන් අතර, ජනප්‍රිය වර්ග දෙකක් වන්නේ, 7 x 42 සහ 8 x 40යි. මුල් අංකය ලොකු කර දැක්වීමේ බලයට යොමු දැක්වෙන අතර දෙවන එකෙන්, විශාල කාචයේ විෂ්කම්භය මිලිමීටර්වලින් දැක්වේ. ජාතික භූගෝල විද්‍යාවේ ෆීල්ඩ් ගයිඩ් ටු ද බ’ඩ්ස් ඔෆ් නෝර්ත් අමෙරිකා (උතුරු අමෙරිකාවේ කුරුල්ලන් සඳහා ක්ෂේත්‍ර උපදෙස් පොත) පැහැදිලි කරන්නේ, “ලොකු කර දැක්වීමේ බලය හා කාච ප්‍රමාණය අතර 1 සිට 5 දක්වා අනුපාතයක් තිබීම, ආලෝකය එක්රැස් කිරීමේ හැකියාව සඳහා සාමාන්‍යයෙන්ම සුදුසු බවට සලකන බවයි.” අඩු ආලෝක තත්වයන් යටතේදී පවා වර්ණ නිශ්චය කරගැනීමට මෙය ඔබට සලස්වයි. මෙබැවින්, අවශ්‍ය වන්නේ පැහැදිලිකමයි.
හොයන්න පටන්ගන්නේ කොතැනින්ද? අහල පහළින්
අහල පහළ සිටින කුරුලු වර්ග දන්නා පුද්ගලයා, දුර්ලභ හෝ නිතර නොදකින කුරුල්ලන්ව සොයාගැනීමට වෙනත් තැනකට ගමන් කිරීම සඳහා වඩාත් හොඳ තත්වයක සිටියි. ඔබේ නිවස අවට ස්ථිරවම වෙසෙන්නේ කුමන විශේෂද කියා ඔබ දන්නවාද? සමහරවිට ළඟ පාත විලකට හෝ වගුරකට යන අතරේ කවදාවත් බිමට බසින්නේ නැති බව පෙනෙන්නේ මොන උන්ද? දේශගුණික වෙනස් වීම් අනුව යම් යම් කාලවලදී කරන තම ගමන්වලදී පසු කර යන්නේ කුමන පර්යටන සංක්රමිකයන්ද? ද බ’ඩ්වොච’ස් ක’ම්පෑනියන් (කුරුල්ලන් නරඹන්නාගේ මිතුරා) නම් තම පොතෙහි ක්‍රිස්ටෆ’ ලීහි මෙසේ ලිව්වා: “උතුරු අමෙරිකාවේ, දළ වශයෙන් අභිජනන කුරුලු විශේෂ 645කින් සියයට 80ක් පමණ [පර්යටනය] කරනවා.”
මේ පර්යටකයන්ගෙන් සමහර උන් ආහාර ගැනීමට හා විවේක ගැනීමට ඔබේ නිවස අසල නැවතිය හැකියි. සමහර පෙදෙස්වල වෙසෙන, මහත් ආශාවකින් කුරුල්ලන් නිරීක්ෂණය කරන්නන් තමන්ගේම පසුමිදුලෙහි කුරුලු විශේෂ 210කට වඩා හඳුනාගෙන තිබෙනවා. සෑම වසරකම ඔබ පළමු හා අවසාන වතාවට විශේෂයක් දකින විට දින සටහන් පොතක් පවත්වාගැනීම සිත්ගන්නා මෙන්ම අධ්‍යාපනයක් ලැබෙන එකක් බව ඔබට පෙනී යාවි.
කුරුල්ලන් නැරඹීමට ක්‍රම
ඔබේ කර වටා දමාගත් දූරදර්ශකයත්, ඔබේ සාක්කුවේ ක්ෂේත්‍ර උපදෙස් පොතත් ඇතුව ඔබ දැන් පසුමිදුලෙන් එපිට ගවේෂණයට සූදානම්. උද්‍යානවල හා අභයභූමිවල බොහෝවිට කුරුලු පිරික්සුම් ලැයිස්තු තිබේ. මේවා විශේෂයන් දැකිය හැකි සමයන් හා ඔබට උන්ව සොයාගැනීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ඇඟවීමක් කරයි. ඔබේ දර්ශනයන් ස්ථිර කරගැනීම සඳහා පිරික්සුම් ලැයිස්තුවක් ප්‍රයෝජනවත් මෙවලමක් වනු ඇත. ඔබ දැන් දැක්කායයි සිතන කුරුල්ලා දුර්ලභ හැටියට ලැයිස්තු ගත කර තිබෙනවා නම්, එවිට සියුම් ලෙස පරීක්ෂා කර බැලීම හොඳ දෙයක් වන අතර, විශේෂයෙන්ම ඔබ ආධුනිකයෙක් නම් එසේ කිරීම හොඳ දෙයක්. (“හඳුනාගැනීම සඳහා මූලික මඟ පෙන්වීම්” කොටුව බලන්න.) අනිත් අතට, ඌ බහුලව සිටින්නෙකු හැටියට ලැයිස්තුගත කර තිබේ නම්, ඔබ ඌව හරියට හඳුනාගෙන ඇති.
ඔබට සම්බ වනු ඇති වාසස්ථානවල සලකුණු හා වර්ග පෙන්වන සිතියමක් කලින් ලබාගැනීමට වෑයම් කරන්න. වාසස්ථාන දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති තැන්වල සාමාන්‍යයෙන් කුරුල්ලන් බහුලව සිටිනවා. ඔබ ඒ අවට ඇවිදිනවා වුවත් නැත්නම් එක තැන සිටිනවා වුවත්, වටාපිටාවට සරිලන සේ සිටීමට මහන්සිගනිමින්, කුරුල්ලන් ඔබ වෙත පැමිණෙන තුරු ඉන්න. ඉවසිලිවන්තව සිටින්න.
සිත්ගන්නා කුරුල්ලන් මෑතකදී දුටු තැන් පිළිබඳ වාර්තාවලට සවන් දීමට කුරුලු ලෝලීන්ට ඉල්ලා සිටිය හැකි දූරකථන අංකයක් සමහර ස්ථානවල තිබේ.
පෙර සූදානම වටී
විශේෂිත කුරුල්ලන්ව ඉලක්ක කරගැනීම ඵලදායී නමුත්, ඔබ දකින්න කැමති උන් ගැන කලින්ම කියවා බැලීම ඔබට වාසිදායකයි. ඔබ කැරිබියන් ප්‍රදේශයේ සිටිනවා නම්, කියුබා, පුවටෝ රිකෝ හෝ ජැමෙයිකා යන කුමන වර්ගයක වුවත් කමක් නැහැ මෝඩ කුරුල්ලාව සොයාගන්නම ඕනෙ කියා සමහරවිට ඔබ තීරණය කළ හැකියි. දීප්තිමත් කොළ හා රතු පිහාටුවලින් වර්ණවත් වූ ඌ හුරුබුහුටි කුඩා මැණිකක් බඳුයි. හ’බට් රැෆිඅල්ගේ, ගයිඩ් ටු ද බ’ඩ්ස් ඔෆ් පුවටෝ රිකෝ ඇන්ඩ් ද ව’ජින් අයිලන්ඩ්ස් (පුවටෝ රිකෝ සහ ව’ජින් දූපත්වල කුරුල්ලන් පිළිබඳ උපදෙස් පොත) අපට කියන්නේ, ඌ “දකින්න අමාරුයි, නමුත් නිතර ඇසෙනවා” කියායි. කියුබාවේ මෝඩ කුරුල්ලන්, උන්ගේ බඩජාරිකමට හා උන්ගේ පැටවුන්ට වේගයෙන් කෑම කැවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධයි. කෑම කැවීම සම්බන්ධයෙන් කුරුල්ලන්ගේ ක්‍රම විස්තර කළ පසු, රැෆිඅල් මෙම උපදෙස දෙයි: “ගල් දෙකක් එකට තට්ටු කළොත් බොහෝවිට උන් ඇදී එයි.”
වසන්තයේ මුල් කාලයේදී බැදි කුකුළෙකුගේ අලංකාර ගුවන්ගත වීමක් වැනි, එක් විශේෂයක ජීවිත ඉතිහාසයෙහි එක්තරා සිද්ධියක් දැකගැනීමට, එහෙමත් නැත්නම් සරත් ඍතුවේදී අප්‍රිකාවට සංචරණය සඳහා සූදානම් වන, ජිබ්රෝල්ටා හෝ බොස්පරස්හි සුදු මානාවන්ගේ විශාල සංඛ්‍යාව දැකගැනීමට නැතහොත් ඉශ්රායෙලය හරහා කුරුල්ලන්ගේ පර්යටනය දැකගැනීමට ඔබට එම ක්ෂේත්රවලට යෑමට කාලයක් නියම කරගැනීමට වුවමනා විය හැකියි.
විශේෂ කුරුල්ලෙක් සෙවීමට සැලසුම් කිරීම, හැමදාම තිබෙන යම් ඓතිහාසික ස්මාරකයක් නැරඹීම හා සමාන නැති බව පිළිගන්න ඕනෙ. කුරුල්ලන් නිරතුරුවම ගමනේ යෙදෙනවා. උන් හරි ප්‍රාණවත්. එමෙන්ම විවිධයි. තවත් පුදුමයට පත් කරවයි. නමුත් සෙවීම හා බලා සිටීම සඳහා දරන වෑයම වටී!
මේ සියල්ල, කුරුල්ලන් නැරඹීම ප්රීතිජනක එකක් කරයි. ඔබ කොතරම් සැලසුම් කළත් ඔබට ඕන කරන—අඩුම තරමින් දකින්න බලාපොරොත්තු වන කුරුල්ලන් නොසිටිය හැකියි. නමුත් වෙනත් කුමන අනපේක්ෂිත සොයාගැනීම් ඔබ ඉදිරියේ තිබේද කියා කිසිවෙකුට පැවසිය නොහැකියි. එක දෙයක් නම් ස්ථිරයි; කුරුල්ලන් කවදාවත් ඔබේ බලාපොරොත්තු සුන් කරන්න යන්නේ නැහැ. ඉවසිලිවන්තව ඉන්න. කුරුල්ලන් නැරඹීමෙන් සතුටු වන්න! එමෙන්ම උන්ගේ නිර්මාතෘවරයාව අමතක නොකරන්න!—උත්පත්ති 1:20; 2:19; යෝබ් 39:13-18, 27-29.
[පාදසටහන]
a කුරුල්ලන්ව ප්‍රධාන දෘශ්‍ය කොටස් අටකට බෙදා තිබේ: (1) පිහිනන්නන්—තාරාවන් හා තාරාවන් වැනි කුරුල්ලන්, (2) ගුවන්ගත වන්නන්—ගලුවියන් හා ගලුවියන් වැනි කුරුල්ලන්, (3) කකුල්-දිග ජලයෙහි ඇවිද කන්නන්—කොක්කු, (4) වඩාත් කුඩා, ජලයෙහි ඇවිද කන්නන්—ඔලෙවියා හා සිලිබිල්ලන්, (5) කුකුළන් වැනි කුරුල්ලන්—පුන්කුකුළා හා වටුවා, (6) ගොදුරු කුරුල්ලන්—උකුස්සන්, රාජාලීන් හා බකමූණන්, (7) යෂ්ටිසාදින ගෝත්‍රයේ (ලගින) කුරුල්ලන් හා (8) එම ගෝත්‍රයට අයත් නොවන කුරුල්ලන්—එ ෆීල්ඩ් ගයිඩ් ටු ද බ’ඩ්ස් ඊස්ට් ඔෆ් ද රොකීස්, (නැඟෙනහිර රොකී කඳුකරයේ කුරුල්ලන් සඳහා ක්ෂේත්‍ර උපදෙස් පොතක්) රොජ’ ටෝරි පීට’සන් විසින්.
[26වන පිටුවේ කොටුව]
හඳුනාගැනීම සඳහා මූලික මඟ පෙන්වීම්
නුහුරු නුපුරුදු කුරුල්ලෙක් මුල් වතාවට නෙත ගැටුණ විට, මතු ප්‍රශ්න සමහරකට උත්තර ලබාගැනීමට වෑයම් කිරීම උපකාරවත් විය හැකියි:
1. කුරුල්ලාට තිබෙන්නේ කිනම් අයුරක වර්ණද—තනි, වෛරම් වැටුණු, තිත් හෝ බිංදු වැටුණු වර්ණයක්ද?
2. කුරුල්ලාගේ වාසස්ථානය කුමක්ද—වතුර, මඩ වගුර, වගුරු බිම, ඕවිට හෝ කැලෑවද?
3. කුරුල්ලාගේ ප්‍රමාණය කුමක්ද? හුරු පුරුදු කුරුල්ලෙක් හා සසඳන්න—ගේ කුරුල්ලා, රොබින්, පරෙවියා හෝ උකුස්සා.
4. කුරුල්ලා හැසිරෙන්නේ කෙසේද—කෘමීන් පස්සේ වේගයෙන් හඹා යනවාද? ඉහළට පියාසර කරනවාද? පෙඳය විගස වනනවාද? පෙඳය ඉහළට උස්සාගෙන හෝ පහළට දමාගෙන ඉන්නවාද? නැත්නම් බිම ඇවිදිනවාද?
5. හොටේ හැඩය මොන වගේද—කොට හා උල්, කොට හා මහත, දිග, වක්‍ර හෝ කොක්කක් වැනි හොටක්ද?
මේ “ගතිලක්ෂණ” දෙස බැලීමෙන් හා මූලික කුරුලු උපදෙස් පොතකට යොමුවීමෙන්, නවකයෙකුට පවා පොදුවේ සිටින විශේෂයන් හඳුනාගැනීමට පටන්ගත හැකියි.—අමෙරිකා එක්සත් ජනපදයේ නියූ ජර්සි, මෙරිල් ක්‍රීක් ජලාශය, ප්‍රදර්ශන උපදෙස් පොත.
[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
23-7 පිටුවල කුරුලු පින්තූරූ: The Complete Encyclopedia of Illustration/J. G. Heck
[24, 25 යන පිටුවේ සිතියම⁄පින්තූර]
(For fully formatted text, see publication)
හිම පාත්තයා
උතුරු අමෙරිකාව
ගුමන කුරුල්ලා
උතුරු/මධ්‍යම අමෙරිකාව
නිල් කිරලා
උතුරු අමෙරිකාව
මැකෝ
මධ්‍යම/දකුණු අමෙරිකාව
හිස මුඩු රාජාලියා
උතුරු අමෙරිකාව
කාඩිනල්
උතුරු/මධ්‍යම අමෙරිකාව
පැස්තුඩුවා
අමෙරිකා මහද්වීපයන්
කහ මිශ්‍ර දුඹුරු රාජාලියා
අප්‍රිකාව, ආසියාව
ටූකනයා
දකුණු අමෙරිකාව
රතු දෑ තුඩුවා
දකුණු අමෙරිකාව
ෆ්රැන්ක්ලින් ගලුවියා
අමෙරිකා මහද්වීපයන්
මහ සුදු කොකා
ලොව පුරා
චැෆින්ච්
යුරෝපය, උතුරු අප්‍රිකාව
මැන්ඩරින් තාරාවා
චීනය
මානාවා
යුරෝපය, අප්‍රිකාව, ආසියාව
සීයක්කාරයා
නිවර්තන
කළු-ඔටුනු කොකා
අප්‍රිකාව
ගෞල්ඩියන් ෆින්ච්
ඕස්ට්‍රේලියාව
කුකබරා
ඕස්ට්‍රේලියාව
මොණරා
ලොව පුරා
පැස්බරා
අප්‍රිකාව
රොසෙල්ලා ගිරවා
ඕස්ට්‍රේලියාව
[හිමිකම් විස්තර]
U.S. Fish and Wildlife Service, Washington, D.C./Glen Smart
Green Chimney’s Farm අනුග්‍රහයෙන්
San Diego Wild Animal Park අනුග්‍රහයෙන්
සිතියම: The Complete Encyclopedia of Illustration/ J. G. Heck
San Diego Wild Animal Park අනුග්‍රහයෙන්