වෙස් මාරුව දකින දේවිශ්වාස කළ යුතුද?
මධ්‍යම අප්‍රිකා නු සමූහාණ්ඩුවේ පිබිදෙව්! වාර්තාක රු විසින්
කට්ටඬියා මිය ගිහිල්ලයි සිටියේ. එනමුත් ඔහුගේ නිවස වටා එක්රොක්ව සිටි ජන සමූහයාට අනුව ඔහුගේ පෙනුම විතරයි වෙනස්ව තිබුණේ. මන්ද ඔහුගේ මරණ මොහොතේදී, සියලුදෙනා දැක්කේ ඔහුගේ නිවසේ දොරෙන් ලිස්සමින් පිටතට ඇදුණු දැවැන්ත පිඹුරෙක්! ඇතැම් අය සිතුවේ මෙය නිකම්ම අහම්බෙන්ම වගේ සිදු වූ දෙයක් කියායි. එනමුත් අනික් අය එය සැලකුවේ, කට්ටඬියා පිඹුරෙකු වී තිබූ බවට බලපවත්වන සාක්ෂියක් වශයෙනුයි. එනම් වෙස් මාරුවක්!
මනුෂ්‍යයෙකුට සතෙකු දක්වා වෙනස් විය හැකි හෝ වෙනස් කරනු ලැබිය හැකි බවට වූ අදහස අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල හොඳින් මුල් බැස තිබෙනවා. මන්ත්‍රකාරයන්ට දිවියන්ගේ සහ පිඹුරන්ගේ ස්වරූපය ගැනීමට බලය තිබෙන බව පොදුවේ විශ්වාස කරනු ලබනවා. මන්ත්‍රකාරයාට වෙනත් අයව සතුන් බවට පරිවර්තනය කළ හැකියි යන භයකුත් ඒ හා සමානව පැතිර පවතිනවා. හානි පැමිණවීමේ අදහසින් සූනියම්කාරියන්ට කුරුල්ලන් සහ වෙනත් සතුන් තුළින් මනුෂ්‍යයන්ගේ ආත්ම එවන්න පුළුවන් බවට බටහිර අප්‍රිකාවේ විශ්වාස කෙරේ. මළ ඥාතියෙකු අලියෙකු හෝ සර්පයෙකු දක්වා වෙනස් වී ඇති බවට තිබෙන භය නිසා මධ්‍යම අප්‍රිකාවේ ඇතැම් අය එම සතුන්ව ඝාතනය කරන්නේ නැහැ.
ඇතැම් පාඨකයන්ට මෙවන් විශ්වාසයන් අමුතු යමක් මෙන් පෙනුණත්, මෙවන් වෙස් මාරු ඇසින් දුටු සාක්ෂි මගින් සනාථ වී ඇති බවට බොහෝ අප්‍රිකානුවන් විශ්වාස කරනවා. බුද්ධිමත් පුද්ගලයන් කියා තිබෙන කතා රාශිය අහඹු සිදුවීම් විය නොහැකි බවට ඔවුන් තර්ක කරනවා.
ඒ හා සමාන විශ්වාසයන් ලොව පුරාම දකින්න ලැබෙනවා කියා කීමත් සත්‍යයක්. නිදසුනක් ලෙස, නරියන්, බල්ලන් සහ බෙන්හාවුන් මනුෂ්‍යයන්ට ආවේශ විය හැකිය යන විශ්වාසය ජපානයෙහි පවතී. රාත්රියේදී මිනීමරු වෘකයන් බවට පරිවර්තනය වන මිනිසුන් ගැන කතා යුරෝපීය ජන කතාවලත් දකින්න ලැබෙනවා. ලෝකයේ වෙනත් ප්‍රදේශවල, මනුෂ්‍ය රූපවල සිට සත්ව රූප දක්වාත් සත්ව රූපවල සිට මනුෂ්‍ය රූප දක්වාත් මාරු විය හැකි කොටීන්, වල් ඌරන්, කිඹුලන් සහ පූසන් ගැනත් කතා තිබෙනවා.
ඒ සඳහා ශුද්ධ ලියවිල්ලෙන් සාක්ෂි ඇද්ද?
ශුද්ධ ලියවිලි පවා අද්භූත වෙස් මාරුවක් පිළිබඳ විශ්වාසය සනාථ කරනු ලබන බව සමහරුන් කියා සිටිනවා. සාක්ෂි වශයෙන් බයිබල් වාර්තා සතරක් සඳහන් කෙරේ. මුල් එකේදී, යේසු මිනිසුන් දෙදෙනෙකුගෙන් භූතයන් දුරු කළ අතර, එසේ දුරු කරනු ලැබීමෙන් පසු එම භූතයන් ඌරු රැළකට වැහුණා. (මතෙව් 8:28-33) ගණන් කථාව 22:26-35හි වාර්තා වී ඇති දෙවන එකේ, බාලාම්ගේ කොටළුදෙන ඔහුට කතා කළා. සමහරවිට වඩාත් හොඳින් ප්‍රචලිත වී ඇති එක තමයි තුන්වන එක. එහිදී ඒදන් උයනෙහි සර්පයෙක් ඒවට කතා කළා.—උත්පත්ති 3:1-5.
කෙසේවෙතත්, මෙම වාර්තාවන් දෙස කිට්ටුවෙන් බැලුවොත්, මේවා වෙස් මාරුවක් වුණ බවට උදාහරණ නොවන බව ඉතා පැහැදිලියි. භූතයන් වැහුණු ඌරන් සලකා බලන්න. මෙම ඌරන් සතුන් හැටියට වෙනස් වූ මිනිසුන් කියා බයිබලය පවසන්නේ නැහැ. ඒ වෙනුවට, ආවේශ වෙන්න කලින් “ඌරු රැළක් ගොදුරු කමින්” සිටි බව වාර්තාවෙහි පැවසේ. (මතෙව් 8:30) ඌරන්ට ආවේශ වුණේ මනුෂ්‍යයන්ගේ ආත්ම නොව සාතන්ගේ භූතයෝයි.
බාලාම්ගේ කොටළුදෙන සහ ඒදන්හි සර්පයා ගැන කුමක් කිව හැකිද? මුලින් සඳහන් එක ගත්තොත්, කොටළුදෙනට කතා කරන්න පුළුවන් වන විදිහට ‘යෙහෝවා කොටළුදෙනගේ මුඛය ඇරිය’ බව බයිබලයෙහි නිශ්චිතව පවසා තිබෙනවා. (ගණන් කථාව 22:28) ඌ වෙස් මාරු වූ මනුෂ්‍යයෙක් නොවෙයි. ඒදන්හි සර්පයා ගත්තොත්, “ඒ පුරාණ සර්පයා” හැටියට බයිබලය හඳුන්වන්නේ සාතන් නමැති යක්ෂයාවයි. (එළිදරව් 12:9) “තමාගේ ප්‍රයෝගයෙන් [ඒවව රැවටුවේ]” සර්පයා මගින් කතා කළ සාතන්. (2 කොරින්ති 11:3) ඔව්, කලිනුත්, ඒ අතරතුරේදීත්, කතා කළායින් පසුවත් බාලාම්ගේ කොටළුදෙන සහ සර්පයා සතුන්ව සිටියා.
විටින් විට සඳහන් කෙරෙන සතරවන වාර්තාව බබිලෝනියේ උඩඟු නෙබුකද්නෙශර් රජ සම්බන්ධවයි. දෙවි නෙබුකද්නෙශර්ව පහත් කළ බව බයිබලය පවසයි. “මහෝත්තම [දෙවි] මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, [ඔහු] කැමති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව ඔහු දැනගන්න තුරු, මනුෂ්‍ය පුත්‍රයන් වෙතින් පන්වනු ලැබ, ඔහුගේ සිත මෘග සිතකට සමානව, ඔහුගේ වාසය වල්කොටළුවන් සමග වූයේය. ගොනුන්ට මෙන් ඔහුට තෘණ කවනු ලැබ, ඔහුගේ ශරීරයද අහසේ පින්නෙන් තෙමුණේය.” (දානියෙල් 5:21) අවුරුදු සතක් පුරා නෙබුකද්නෙශර් උන්මාද වී සිටි කාලයේදී, ඔහුගේ පෙනුමත් හැසිරීමත් මෘගයෙකුට සමාන වුණා. දානියෙල් 4:33ට අනුව, “ඔහුගේ ඉසකේ රාජාලීන්ගේ පිහාටු මෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද [වැඩුණා].” කෙසේවුවත්, නියපොතුවත්, රජුගේ ඇඟේ පිහාටුවත් ඇත්තටම හටගත්තේ නැහැ. ඔහු දිගටම මනුෂ්‍යයෙක්ව සිටියා!
අද්භූත වෙස් මාරුවක් පිළිබඳ අදහස බයිබලයේ ඉගැන්වීම්වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. එක දෙයක් නම්, සතෙකුව ආවේශ කළ හැකි වෙනම ප්‍රාණයක් මිනිසාට නැති බව බයිබලය පෙන්වයි. ඇත්තෙන්ම මිනිසාම “ජීවමාන ප්‍රාණයක්”! (උත්පත්ති 2:7) වෙස් මාරුව යෙහෝවා දෙවි පිහිටුවා ඇති ස්වාභාවික පිළිවෙළටත් විරුද්ධව යනවා. සතුන්ව සෑදුවේ “ඒ ඒ වර්ග ලෙස” බෝ වෙන්නයි. (උත්පත්ති 1:24, 25) ජාන සම්බන්ධව දෙවි ස්ථාපිත කර ඇති සීමාවන් හේතුවෙන්, වෙන වෙන වර්ග හෝ ප්‍රධාන කාණ්ඩවල සතුන්ට බැහැ සංසර්ගයෙහි යෙදී ප්‍රජනනය කරන්න. ‘දෙවිගේ ස්වරූපයෙන්’ මවනු ලැබූ මිනිසා සහ සතුන් අතර ඇත්තේ ඊටත් වඩා මහත් පරතරයක්. (උත්පත්ති 1:26) සහතිකවම, නුවණ නැති තිරිසනුන් දක්වා වෙනස් වීමට මිනිසුන්ට බලය දානය කිරීමෙන් තමුන්ගේම නීතිවලට පටහැනිව දෙවි ක්‍රියා කරන්න යන්නේ නැහැ.
වෙස් මාරුවක් නොහොත් රූපාන්තරණයක් ස්වභාවධර්මයා තුළ නිරීක්ෂණය කළ හැකි බව ඇත්තයි. දළඹුවෝ සමනලයන් දක්වාද, ඉස්ගෙඩි ගෙම්බන් දක්වාද වෙනස් වෙනවා. රූපාන්තරණය සඳහා වන මෙම නිදසුන් හොඳින් නිරීක්ෂණය කර බැලුවොත්, ඒවා ‘වර්ගයේ’ වෙනසක් නොව, නමුත් එකම ‘වර්ගය’ තුළ වර්ධනය වීමේ අවස්ථා පමණක් බව පෙනී යනවා. සුහුඹුල් අවස්ථාවට පැමිණෙන විට, උන් “ඒ ඒ වර්ග ලෙස” ප්‍රජනනය වෙනවා.
දකින දේ හැමවිටම විශ්වාස කරන්න බැහැ
එසේනම්, අද්භූත වෙස් මාරුවක් ඇස්වලටම දැක තිබෙන බවට ඇති සාක්ෂි අපට පැහැදිලි කළ හැක්කේ කෙසේද? පැහැදිලිවම, මෙය “සාතන්ගේ ක්‍රියාකිරීමේ හැටියට බොරුවූ සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණුවලින්ද පුදුමවලින්ද, විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි” පිළිබඳව තවත් උදාහරණයක් පමණයි.—2 තෙසලෝනික 2:9, 10.
සියලුම දාමරිකයන් හා සමානව කටයුතු කරමින්, තමුන්ට ඇත්තටම තිබෙන බලයට වඩා වැඩි බලයක් තිබෙන බව ජනයාට විශ්වාස කරන්න සලස්වන්න භූතයන්ට අවශ්‍යයි. ඔවුන් ඒත්තුගන්වනසුලු “ලකුණු” මවා පෑවත්, ඒවා සොරුන්ගේ සහ රැවටිලිකාරයන්ගේ ප්‍රයෝගවලට වඩා වැඩියමක් නොවෙයි.
අප්‍රිකානු වෙළඳපොළවල් බොහොමයක ගැවසෙන කාඩ්වලින් ගසා කන අය අපට සිහි වෙනවා ඇති. වංචනික කාඩ් සෙල්ලම් මගින්, වෙහෙස මහන්සි වී උපයාගත් මුදල් නැති නාස්ති කිරීමට ඔවුන් සිත් පිත් නැතුව ඇතැම් ගෘහිණියන්ව පොලඹවාගන්නවා. ඔවුන් ස්ත්‍රියකට කාඩ් කොළ තුනක් පෙන්නනවා, රතු දෙකයි කළු එකයි. ඊළඟට කළු කාඩ් එක තෝරාගැනීමෙන් ඇයට ඇගේ මුදල් දෙගුණ කළ හැකි බව ඔවුන් ඇයට කියනවා. සෙල්ලමට හවුල් වෙන්න ඇය මැළි වෙනවා. ඉන්පසුව ඇගේ අදහස වෙනස් වෙන්නේ මෙම පහසු සෙල්ලමින් යමෙකු ජයගන්නා බව ඇයට පෙනෙන විටයි. මෙම නාමමාත්ර ජයග්‍රාහකයා මෙම වංචාවට හවුල් වී සිටින වග ඇයට අවබෝධ වී නැහැ. කාඩ්පත් හරවා අනනු ලබද්දී කළු කාඩ්පත දෙසම ඇස තබාගෙන ඇගේ ඔට්ටුව අල්ලයි. එනමුත් ඇයව ලජ්ජාවටත් බියටත් පත් කරමින්, ඇය තෝරාගන්නා කාඩ්පත රතු එක වෙයි. ආහාර සඳහා පවුලට තිබුණු මුදල ඇය වැය කරලයි තිබෙන්නේ. ඇගේම කෑදරකමට මෙන්ම දක්ෂ වංචාකරුවෙකුගේ අත හුරුකමට ඇය ගොදුරු වී හමාරයි! දකින හැම දෙයක්ම විශ්වාස කරන්න බැරි බව ඇය ඉගෙන ඇත්තේ ප්‍රමාද වෙලයි.
සමානාකාරයකින්, මනුෂ්‍යයන්ට සතුන් දක්වා වෙනස් විය හැකි බව සිතීමට ජනයාව මුළා කිරීමෙන් සාතන් සහ ඔහුගේ භූතයන් මහත් ආස්වාදයක් ලබයි. සාතන් නිපුණ ප්රයෝගකාරයෙක්. ‘නුඹලා ඇත්තටම නසින්නේ නැත; . . . නුඹලා දෙවිට සමාන වෙයි’ යන්න ඒවට පැවසීමෙන් මුල්ම බොරුව කිව්වේ ඔහු නොවේද? (උත්පත්ති 3:4, 5) මෙම බොරු හේතුවෙන්, ප්‍රාණයේ අමරණීයත්වය, නිරාගින්න සහ වෙස් මාරුව වැනි ජනයාව බියගන්වා තිබෙන ඉගැන්වීම් රාශියක් ජනිත කර තිබෙනවා. එමනිසා, “එන්නතක්” ලැබීමට අප්‍රිකාවේ ජනයා ගිනි ගණන් ගෙවන්නේ, එයින් සතෙකු දක්වා වෙනස් කරනු ලැබීමෙන් ඔවුන්ව ආරක්ෂා කළ හැකි බව සිතන නිසයි. ඇත්තටම ඔවුන් ‘යක්ෂයන්ගේ ගුරුකම්වලට’ වහල්ව සිටින අතර, දෙවිගේ කැමැත්ත කිරීමෙන් බාධා වී සිටියි.—1 තිමෝති 4:1; යාකොබ් 4:7.
සැබෑ පරිවර්තනය
ඇතැම්විට ඔබ දන්න දා ඉඳන් වෙස් මාරුව විශ්වාස කර හෝ ඒ ගැන භය වී ඇති. එය සැබෑවක් නම්, රෝම 12:2හි [NW] සඳහන් බයිබලයෙහි වදන්වලට ඇහුම්කන් දෙන්න. මුල් පාඨයෙහි මෙ·ටා·මෝ·ෆෝʹඌ යන ග්‍රීක් වචනයෙහි රූපයක් භාවිත කර තිබෙනවා. අපට මෙසේ කියවීමට තිබෙනවා: “ඔබේ මනස සකස් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න [මෙ·ටා·මෝ·ෆෝඌʹස්ති].” මෙය සිදු විය හැකි වෙනස් වීමකට හෙවත් රූපාන්තරණයකට යොමු දක්වයි: එනම් පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් වීමක්!
“පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියා සමඟ ඉවත් කොට, ඒකාන්ත දැනුම තුළින් එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව අලුත් කරනු ලබන අලුත් පෞද්ගලිකත්වයෙන් සැරසී සිටින්න” යනුවෙන් බයිබලය උනන්දු කරන නිසා, දෙවිව සතුටු කරන්න වුවමනා අය එවන් වෙනසක් කළ යුතුයි.—කොලොස්සි 3:9, 10, NW.
ඔබට මුළුමනින්ම වෙනස් විය හැක්කේ කෙසේද? බයිබලය ඇසුරෙන් ඒකාන්ත දැනුම ලබාගැනීම තුළින්. එම දැනුම හේතුවෙන් ඔබ බොහෝ කලක් රැකගෙන සිටි මතිමතාන්තර අත්හැරීමට සිදු විය හැකියි. එනමුත් යේසු කීවාක් මෙන්, “නුඹලා සැබෑව දැනගන්නවා ඇත, සැබෑවද නුඹලා නිදහස් කරන්නේය.” (යොහන් 8:32) ඔව්, වෙස් මාරුවේ බොරු සහ බියෙන් නිදහස් වන්න ඔබට පුළුවන්.
[17වන පිටුවේ පින්තූරය]
අපේ ඇස් “දකින” හැම දෙයක්ම යථාර්ථය නොවෙයි
[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
කට්ටඬියා: Africana Museum, Johannesburg අනුග්රහයෙනි