ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g98 6/8 18-20 පි.
  • පියවරු දෙන්නෙක් අතර මගේ තේරීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පියවරු දෙන්නෙක් අතර මගේ තේරීම
  • 1998 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වෛරයෙන්-පිරි ලොවක හැදී වැඩීම
  • සිතීමේ වෙනසක්
  • දාහත්-හැවිරිද්දෙකු සඳහා අමාරු තේරීමක්
  • ස්ථිර ස්ථාවරයක්
  • පළිගැනීම
  • ග්‍රීසියට පලායෑම
  • අවුරුදු හයකට පස්සේ යළි මුණගැසී
  • මට සැබවින්ම ප්‍රේම කළ පවුල
    1995 පිබිදෙව්!
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන්තිමේදී මං තාත්තාට සමාව දුන්නා
    ජීවිත වෙනස් කළ පොතක්
  • පීඩා ජය ගැනීමට දෙවිගෙන් ලද උපකාර
    2008 පිබිදෙව්!
තව තොරතුරු
1998 පිබිදෙව්!
g98 6/8 18-20 පි.

පියවරු දෙන්නෙක් අතර මගේ තේරීම

“මීට පස්සේ ඔයා මගේ පුතෙක් නෙවෙයි! වහාම මේ ගෙයින් පිට වෙන්න ඕනෙ; ඔය ආගම අත්අරිනකම් ආයි මෙහෙ එන්න එපා!”

ඇඳගෙන හිටිය ඇඳුම් පිටින්ම, මම පිට වෙලා ගියා. ෂෙල් වෙඩි පුපුරමින් තිබූ ඒ රාත්‍රියේ කොහේ යන්නද කියලා මම දැනගෙන හිටියේ නැහැ. අවුරුදු හයකට වැඩි කාලයකට පස්සෙයි මට ආපහු ගෙදර එන්න ප්‍රස්තාව ලැබුණේ.

තමන්ගේම පුතාව එළවන්න තාත්තා කෙනෙකුව ඒ තරම් කෝප කළේ කුමක් විය හැකිද? හොඳයි, සියල්ල පටන්ගත්තේ කොහොමද කියලා පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න.

වෛරයෙන්-පිරි ලොවක හැදී වැඩීම

මගේ දෙමාපියන් ජීවත් වෙන්නේ වතාවක සංචාරකයන්ගේ ආකර්ෂණය ලෙස ප්‍රසිද්ධව තිබූ රටක් වන ලෙබනන්හි බේරූට්වලයි. කොහොමනමුත්, 1975 සිට 1990 දක්වා නගරය විනාශකාරි යුද්ධයක කේන්ද්‍රය වී තිබුණා. මම ඉපදුණේ 1969දීයි; දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් ආමේනියානු පවුලක කුලුඳුලායි. මෙලෙස, මගේ මුල් මතකයන් සාමයේ කාලවල් සම්බන්ධවයි.

මගේ දෙමාපියන් ආමේනියානු අපෝස්තලික සභාවට අයත්ව සිටි නමුත් අම්මා අපව පල්ලියට රැගෙන ගියේ අවුරුද්දකට දෙපාරයි—පාස්කුවට සහ නත්තලට විතරයි. ඒ නිසා අපේ පවුල ඇත්තෙන්ම හුඟක් ධාර්මික පවුලක් වුණේ නැහැ. කොහොමනමුත්, මාව ක්‍රිස්තියානි උසස් පාසැලකට යැවූ අතර, එහිදී මම ආගමික උපදෙස් ලැබුවා. ඒ කාලයේදී, මමත් ආගම ගැන උනන්දුවක් දැක්වුවේ නැහැ.

ආමේනියානුවන් බොහෝදෙනෙක් ළමාවියේදී ඉගෙනගත් එක දෙයක් තමයි තුර්කීය ජාතිකයන්ට වෛර කිරීම. පළවෙනි ලෝක මහා යුද්ධයේදී, තුර්කියානුවන් ආමේනියානුවන් සියදහස් ගණන් මරුමුවට පත් කර ඇති අතර ආමේනියා රටෙන් වැඩිහරියක් අල්ලගෙන තිබෙනවා. වර්ෂ 1920දී ඉතිරි වී තිබුණු නැඟෙනහිර කොටස සෝවියට් එක්සත් සමූහාණ්ඩුවක් බවට පත් වුණා. යෞවනයෙකු හැටියට, යුක්තිය ඉටු වෙනවා දැකීම සඳහා සටන් කිරීමට මම තීරණයක් ගත්තා.

සිතීමේ වෙනසක්

කෙසේවුවත්, 1980 ගණන්වලදී, මම නහඹර වියේ මැදභාගයේ පසු වෙද්දී, මගේ මාමා පැවසූ දේවලින් මම සිතන ආකාරය වෙනස් වෙන්න පටන්ගත්තා. සර්වබලධාරි දෙවි වැඩි කල් නොගොස් හැම අයුක්තියක්ම නැති කර දමන්න යනවා කියා ඔහු පැවසුවා. යේසුස් ක්‍රිස්තුස් සිය අනුගාමිකයන්ට යාච්ඤා කිරීමට උගන්වා තිබූ දේවරාජ්‍යය මගින්, සමූල ඝාතනවලදී ඝාතනය කළ අයව පවා පොළොව මත ජීවිතය සඳහා නැවත නැඟිටුවන බව ඔහු පැහැදිලි කළා.—මතෙව් 6:9, 10; ක්‍රියා 24:15; එළිදරව් 21:3, 4.

මම ප්‍රීතියෙන් ඉපිලුණා. තවත් දේවල් දැනගන්න උවමනාවෙන් මම ඔහුගෙන් දිගටම ප්‍රශ්න ඇහැව්වා. මෙය බයිබල් පාඩමකට මඟ පෑදුව අතර, තවත් සාක්ෂිකරුවෙකුගේ නිවසේදී එය පවත්වනු ලැබුවා.

මගේ ස්වර්ගික පියා වූ යෙහෝවා ගැන ඉගෙනගෙන, ඔහුට වඩ වඩා ප්‍රේම කරන්න පටන්ගත් විට, කවදා හරි දවසක මට අමාරු තීරණයකට මූණ දෙන්න වෙයි—මගේ පවුල හා යෙහෝවා දෙවි අතරේ තේරීමක් කරන්න වෙයි කියා මා තුළ භයක් ඇති වෙන්න පටන්ගත්තා.—ගීතාවලිය 83:17.

දාහත්-හැවිරිද්දෙකු සඳහා අමාරු තේරීමක්

අන්තිමේදී, මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක සම්බන්ධ බව අම්මාට දැනගන්න ලැබුණා. ඇය හුඟක් කලබල වුණ අතර මගේ බයිබල් පාඩම නවත්වන්න කියලා මට නියෝග කළා. මගේ විශ්වාසයන් ගැන මම බැරෑරුම් විදිහට හිතන බව ඇයට වැටහුණ විට, තාත්තාට කියන බවට ඈ තර්ජනය කළා. තත්වය හසුරුවාගන්නත්, තාත්තාට විරුද්ධව ස්ථාවරයක් ගන්නත් මට පුළුවන් වෙයි කියා මම ඒ වෙලාවේදී සිතුව නිසා මම ඒක ගානකට ගත්තේ නැහැ. නමුත් මටයි වැරදුණේ.

මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන බව තාත්තා දැනගත්තහම, ඔහු කෝපයට පත් වුණා. මම මගේ බයිබල් පාඩම නැවැත්තුවේ නැත්නම් මාව ගෙයින් එළියට දානවා කියා ඔහු තර්ජනය කළා. මම ඉගෙනගනිමින් හිටියේ සත්‍යය නිසා මම ඒක අත්අරින්නේ නැහැ කියලා ඔහුට කිව්වා. ඔහු බැණවැදිලා, කෑගහලා, ශාප කරලා නැවතුණාට පස්සේ ඔහු ළමයෙක් වගේ අඬන්න පටන්ගත්තා. සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරන එක නවත්තන්න කියලා ඔහු ඇත්තෙන්ම මගෙන් අයැද සිටියා.

මාව චිත්තවේගීයව බෙදී ගියා; තාත්තලා දෙන්නෙක්—යෙහෝවා සහ ඔහු—අතර බෙදී ගියා. ඔවුන් දෙන්නාම මට හුඟක් ආදරේ බව මම දැනගෙන හිටිය අතර මට ඕන වුණේ ඔවුන් දෙන්නවම සතුටු කරන්නයි; නමුත් ඒක කරන්න බැරි බව පෙනෙන්න තිබුණා. පීඩනය මට උහුලගන්න බැරි තරම් වුණා. මම ලොකු වුණහම ආයි මගේ පාඩම් පටන් අරගෙන, සාක්ෂිකරුවෙක් වෙන්න මට පුළුවන් කියලා මටම හේතු දක්වමින් ඔහුට ඕන දේ කරන්නම් කියලා මම තාත්තාට කිව්වා. මට එතකොට 17ක් විතරයි.

ඊට පස්සේ දවස්වලදී, මම කළ දේ ගැන මට ලජ්ජාවක් ඇති වුණා. යෙහෝවා සතුටෙන් සිටියේ නැති බවත්, ඒ වගේම ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් යෙහෝවා මා පිළිගන්නේය’ කියා ගීතිකාකාර දාවිත් පැවසූ වචන කෙරෙහි මම විශ්වාස කර නොතිබුණු බවත් මට හැඟුණා. (ගීතාවලිය 27:10) නමුත් මම ඒ වන විටත් උසස් පාසැලේ සිටි අතර, මගේ අධ්‍යාපනයට වියදම් කළේ දෙමාපියන්.

ස්ථිර ස්ථාවරයක්

මගේ සෑම ක්‍රියාවක් ගැනම මගේ දෙමාපියන් සෝදිසියෙන් සිටි බව මම දැනගෙන සිටි නිසා, අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක්, මම මගේ මාමාව බලන්න ගියේවත්, සාක්ෂිකරුවන් එක්ක කිසිම සම්බන්ධතාවක් පැවැත්තුවේවත් නැහැ. දිනක්, 1989, වයස 20දී මම අඳුරන සාක්ෂිකරුවෙකුව හම්බ වුණා. ඔහුව බලන්න එන්න මම කැමතිද කියලා ඔහු ඉතා කාරුණිකව මගෙන් ඇහැව්වා. බයිබලය පාඩම් කිරීම ගැන ඔහු කිසි සඳහනක් නොකළ නිසා අන්තිමේදී මම ඔහුව බලන්න ගියා.

කල් යත්ම, බයිබලය පාඩම් කිරීමටත්, රාජ්‍ය ශාලාවේ පැවැත්වෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්නත් මම පටන්ගත්තා. මට බාධා කරන්න කිසිවෙක් නොසිටි මගේ රැකියා ස්ථානයේදී මම පාඩම් කළා. ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවාගේ ප්‍රේමනීය පෞද්ගලිකත්වය වඩා හොඳින් අගය කරන්නත්, ඕනෑම තත්වයක් යටතේ ඔහු එක්ක කිට්ටු සබඳතාවක් තිබීමේ හා දිගටම පවත්වාගැනීමේ වැදගත්කම වඩා හොඳින් තේරුම්ගන්නත් මම පටන්ගත්තා. ඒ අවුරුද්දේම අගෝස්තුවලදී, මම ඉගෙනගෙන තිබූ දේවල් අනිත් අය එක්ක බෙදාගන්න පවා මම පටන්ගත්තා.

ඒ වෙනකම් මගේ පවුලේ අය කිසිවක් දැනගත්තේ නැහැ. කෙසේවුවත්, දවස් කීපයකට පස්සේ, මගේ තාත්තාත්, මාත් නැවතත් මුහුණට-මුහුණලා සිටගෙන සිටි නමුත්, මේ අවස්ථාවේදී අභියෝගයට මුහුණ දෙන්න වඩා හොඳින් සූදානම්ව හිටියා. ඔහු සන්සුන්ව මෙසේ අහන්න වෑයම් කළා: “පුතා, ඇත්තද ඔයා තාමත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරනවා කියන්නේ?” මගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටි ඔහුගේ දෑස්වල කඳුළු පිරිලා තිබුණා. මගේ අම්මාත්, සහෝදරියත් නිශ්ශබ්දව අඬමින් හිටියා.

සාක්ෂිකාරයන්ව ආශ්‍රය කරන්න මම පටන්ගත්තේ ළඟදී බවත්, ඔවුන්ගෙන් කෙනෙක් වෙන්න මම තීරණය කරලා තියෙන බවත් මම පැහැදිලි කළා. ඒ මොහොතේ, දේවල් සිද්ධ වුණේ ඉතා ඉක්මනින්. මේ ලිපියේ හැඳින්වීමේ තිබෙන වචන කියමින් තාත්තා කෑගැහැව්වා. ඒත් එක්කම ඔහු මාව ඇදලා අරගෙන, පණපිටින් ගෙදරින් පිට වෙන්න දෙන්නේ නැහැ කියලා කෑගැහැව්වා. ඔහුගෙන් ගැළවෙන්න මට පුළුවන් වූ අතර, පඩි පෙළ දිගේ පහළට දුවගෙන යද්දී මට ඇහුණා මගේ බාල සහෝදරයා තාත්තව සන්සුන් කරන්න වෑයම් කරනවා. “මෙතැන් පටන් ඔබ මගේ පියා” කියා මම යෙහෝවාට යාච්ඤා කළා. “මම ඔබව තෝරගෙන තිබෙනවා, ඉතින් කරුණාකර මාව රැකබලාගන්න.”

පළිගැනීම

දවස් කීපයකට පස්සේ, මම මාමලාගේ ගෙදර ඉඳියි කියලා හිතාගෙන තාත්තා මගේ මාමාගේ ගෙදරට ගියා. ඔහු ඔහුට පහර දී, මරන්න හැදුවත්, එහි ආව සාක්ෂිකරුවන් කීපදෙනෙක් මැදිහත් වුණා. ආයි එන බවට තර්ජනය කරමින් තාත්තා යන්න ගියා. ටික දවසකට පස්සේ ඔහු තුවක්කු රැගත් යුධ පුහුණුව ලබා සිටි මිනිස්සු කාණ්ඩෙකුත් එක්ක පැමිණියා. ඔවුන් සාක්ෂිකරුවන්ව හා හුඟක් අසනීපව සිටි මගේ මාමාව ඔවුන්ගේ යුධ මූලස්ථානයට අරගෙන ගියා.

ඉන්පසු ප්‍රදේශයෙහි අනිත් සාක්ෂිකරුවන්වත් සොයන්න පටන්ගත්තා. ඔවුන්ගෙන් එක් කෙනෙකුගේ නිවසත් සෝදිසි කළා. බයිබල් ඇතුළු පොත්, වීදියේ ගොඩගසා පුලුස්සා දැමුවා. නමුත් එයින් නැවතුණේ නැහැ. සාක්ෂිකරුවන් හයදෙනෙකුව මෙන්ම ඔවුන් එක්ක පාඩම් කිරීම පමණක් කළ කීපදෙනෙකුව අත්අඩංගුවට ගත්තා. සියල්ලන්වම කුඩා කාමරයකට දාලා, ප්‍රශ්න අහලා, ඊට පස්සේ පහර දුන්නා. සමහරුන්ව දුම්වැටිවලින් පිච්චුවා. මේ සිද්ධි ගැන ආරංචිය ලැව්ගින්නක් වගේ අවට පැතිරුණා. යුධ පුහුණුව ලබා සිටි මිනිස්සු මාව හැම තැනකම හෙව්වා. මාව සොයාගෙන, තමන් කැමති ඕනෑම ක්‍රමයක් යොදාගෙන මගේ මනස වෙනස් කරන්න කියා මගේ තාත්තා ඔවුන්ට කිව්වා.

දවස් කීපයකට පස්සේ, යුධ පුහුණුව ලබා සිටි මිනිස්සු සභාවක රැස්වීමක් පැවැත්වෙමින් තිබූ රාජ්‍ය ශාලාවට කඩාවැදුණා. ඔවුන් මුළු සභාවම—පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් සියලුදෙනාවම—ශාලාවෙන් පිට වෙන්න සැලැස්සුවා. ඔවුන්ගේ බයිබල් සියල්ල අරගෙන, ඔවුන්ට යුධ පුහුණු මූලස්ථානයට ඇවිදගෙන යන්න කිව්වා; එහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

ග්‍රීසියට පලායෑම

මේ මුළු කාලයේදීම, මාව රැකබලාගත්තේ, කැලඹිලි සහිත තත්වයෙන් දුරස්ව සිටි සාක්ෂිකාර පවුලක් විසින්. මාසයකට පස්සේ මම රට හැර ග්‍රීසිය බලා පිටත් වුණා. එහි පැමිණි විට, මම මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කොට මගේ කැපවීම සංකේතවත් කිරීමට බව්තීස්ම වුණා.

ග්‍රීසියේදී මට තුර්කීය ජාතියද ඇතුළත්, ජාති ගණනාවක ජනයා ඇතුළු ආත්මික සහෝදරත්වයක ප්‍රේමනීය සැලකිල්ලක් දැනුණා. මම යේසුගේ වචනවල සත්‍යය අද්දැක්කා: “මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.”—මාර්ක් 10:29, 30.

ඊළඟ අවුරුදු තුනේදී, මම ග්‍රීසියේ නැවතුණා. තාත්තාට මම කීප වතාවක්ම ලියුවත්, ඔහු කවදාවත් උත්තර එව්වේ නැහැ. යාළුවෝ මගේ නිවසට ගිය හැම වතාවකදීම මා ගැන ඔහුගෙන් ඇහැව්වහම “ඒ නමින් මට පුතෙක් නැහැ” කියලා කිව්ව බව මට පසු කාලෙකදී පවසනු ලැබුවා.

අවුරුදු හයකට පස්සේ යළි මුණගැසී

යුද්ධය අවසන් වූ පසු 1992දී, මම ආපහු බේරූට්වල පදිංචියට ගියා. මට ගෙදර එන්න ආසයි කියලා යාළුවෙක් මාර්ගයෙන් මම තාත්තාට දැන්නුවා. මම මගේ ඇදහිල්ල අත්අරිනවා නම් විතරක්, මාව පිළිගන්න කැමතියි කියලා ඔහු මට උත්තරයක් එව්වා. ඒ නිසා මම ඊළඟ අවුරුදු තුනේදී කුලී නවාතැනක ජීවත් වුණා. ඊට පස්සේ, 1995 නොවැම්බර්වලදී, තාත්තා හදිසියේම මගේ රැකියා ස්ථානයට පැමිණ, මාව හම්බ වෙන්න පුළුවන්ද කියලා ඇහැව්වා. මම එතකොට ඇවිත් හිටියේ නැති නිසා, මම ගෙදර එනවට ඔහු කැමති බව කියා පණිවිඩයක් තබා ගිහින් තිබුණා. එක පාරටම මට අදහගන්න බැරුව ගියා. එනිසා, අදිමදි කර කර ඉඳලා, මම ඔහුව බලන්න ගියා. ඒක චිත්තවේගයන් දනවන යළි එකතු වීමක් වුණා. මම සාක්ෂිකරුවෙකුව සිටීම මීට පස්සේ ඔහුට ප්‍රශ්නයක් නෙවෙයි, මට ගෙදර එන්න කියලා ඔහු කිව්වා!

අද මම ආමේනියානු භාෂාව කතා කරන සභාවක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු හා පූර්ණ කාලීන දේවසේවකයෙකු හැටියට සේවය කරනවා. යෙහෝවාට සේවය කරන්න වුවමනා අයට විරුද්ධකම් පාන මගේ තාත්තා වැනි අයව මට බොහෝවිට මුණගැහෙනවා. මගේ නමස්කාරයට විරුද්ධ වීම මගින් තාත්තා හරි දේ කරන බව තාත්තා අවංකවම විශ්වාස කළ බව මට වැටහෙනවා. පවුලේ විරුද්ධවාදිකම්වලට ක්‍රිස්තියානීන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන බව පවසමින් බයිබලය පවා ඔවුන්ව ඊට සූදානම් කරනවා.—මතෙව් 10:34-37; 2 තිමෝති 3:12.

දවසක මගේ තාත්තයි, මගේ පවුලේ අනිත් අයයි, හොඳ ලෝකයක් පැමිණීම සම්බන්ධයෙන් මගේ බයිබල් බලාපොරොත්තුව බෙදාගනියි කියා මම බලාපොරොත්තු වෙනවා. එවිට තවදුරටත් යුද්ධ හෝ සමූල ඝාතන තිබෙන්න යන්නේවත්, ජනයාව ඔවුන්ගේ දේශවලින් පන්නා දමන්නේ හෝ ධර්මිෂ්ඨකම නිසා පීඩා කරනු ලබන්නේවත් නැහැ. (2 පේතෘස් 3:13) ඒ වගේම එවිට ජනයාට තමන්ගේ හෘදය ඉතා ආශා කරන දේවල් දෙකක් අතර තේරීමක් කරන්න සිදු වෙන්නේ නැහැ.—සපයනු ලැබූවපියවරු දෙන්නෙක් අතර මගේ තේරීම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න