ඇමරැන්ත් ඇස්ටෙක්වරුන්ගෙන් ලද කෑමක්
මෙක්සිකෝවේ පිබිදෙව්! වාර්තාකරු විසින්
ආලේග්රීයා පෝෂ්‍යදායී පැණි රස කෑමක්. එහි ස්පාඤ්ඤ නම “ප්‍රීතිය” හෝ “සන්තෝෂය” හැටියට පරිවර්තනය කර ඇති අතර, මෙක්සිකෝවේ ආහාර පොළවල්වල වර්ණවත් මඩුවල පොදුවේ සොයාගත හැකියි. එය දීප්තිමත් රතු මල්වලින් යුත් නිවර්තන කලාපීය ශාකයක් වන ඇමරැන්ත් බීජවලින් සාදනු ලබනවා. ඒ පැණි රස කෑම සාදා තිබෙන්නේ සකස් නොකළ මී පැණිවලිනුයි. තවත්, එය විටින් විට වෝල්නට් ඇට, දේවදාර ඇට සහ වියළි මිදිවලින් සරසා තිබෙනවා. ඇමරැන්ත් බීජ ධාන්‍යය හෝ පිටි බවට ඇඹරිය හැකි අතර, එය පාන් සහ කේක් වර්ග සාදාගැනීමට භාවිත කෙරේ.
ඇස්ටෙක්වරු ඇමරැන්ත් පිටිවලින් ටෝටීලා සහ ටමාලේ පිළියෙළ කළා. ඊට අමතරව, ඔවුන්ගේ ආගමික වතාවත්වලදීත් ඇමරැන්ත් වැදගත් කාර්යයක් දැරුවා. මෙක්සිකෝ නගරයෙහි ද නියූස් මෙසේ පැවසුවා: “ඇස්ටෙක්වරුන් ඔවුන්ගේ විවිධ වතාවත්වලින් එකකදී, ඇමරැන්ත් පාන් කැබැල්ලක් ගෙන, අල්ලාගත් [ඝාතනය කළ] සතුරෙකුගේ ලෙයින් පොඟවා අනුභව කරනවා.” ඇඹරූ ඇමරැන්ත් බීජ ඉරිඟු සහ මී පැණි සමඟ මිශ්‍ර කළ එම මිශ්‍රණයෙන් කුඩා පිළිම හෝ දෙවි දේවතාවන් සෑදීම තවත් වතාවකට සම්බන්ධව පැවතුණා. මෙම පිළිම පසුව කතෝලික සක්‍රමේන්තුව වන සත්ප්‍රසාද ලැබීමට සමාන වතාවකදී අනුභව කරනු ලැබුවා.
මෙම පිළිවෙත් දෙකම ස්පාඤ්ඤ ජයග්‍රාහක එර්නාන් කෝර්ටෙස්ව ඉමහත් සේ කෝපයට පත් කළ අතර, ඇමරැන්ත් වගා කිරීමත් අනුභව කිරීමත් තහනම් කිරීමට ඔහු පියවර ගත්තා. ඔහුගේ නියෝගයට අකීකරු වීමට එඩිතර වූ ඕනෑම කෙනෙකුව එක්කෝ ඝාතනය කළා, නැතහොත් ඔහුගේ අත කපාදමනු ලැබුවා. මේ අනුව, මෙක්සිකෝවේ වඩාත්ම වැදගත් භෝගවලින් එකක් අතුරුදහන් වෙන්න පටන්ගත්තා.
ඇමරැන්ත් කොහොම හරි බේරී ජීවත් වන්න සමත් වූ අතර, මධ්‍යම අමෙරිකාවේ සිට හිමාලය දක්වා කෙසේ හෝ ගමන් ගත්තා. පසුගිය සියවස තුළදී, එය ඉන්දියාවේ, චීනයේ, ටිබෙට්වල, නේපාලයේ හා පකිස්ථානයේ කඳුකර ගෝත්‍ර අතර ප්‍රධාන ආහාරය බවට පත් වී තිබෙනවා.
එළ කිරිවලට සමාන පෝෂ්‍ය ගුණයක් ඇති බීමක් වන ඇමරැන්ත් කිරි නිෂ්පාදනය කිරීමේ අදහසින් එම බීජයේ ප්‍රෝටීන වෙන් කරගැනීමට මෙක්සිකෝවේදී පර්යේෂකයන් මෑතකදී උත්සාහ කර තිබෙනවා. බිත්තර, කිරි, මාළු හෝ රතු මස් මිල දී ගැනීමට බැරි අයගේ ආහාරවලට අමතර පෝෂ්‍ය ගුණයක් දීම සඳහා එය යොදාගැනීම ඔවුන්ගේ ඉලක්කයයි.
ඇමරැන්ත්වලට කලබලකාරි ඉතිහාසයක් තිබුණත්, අදදින බොහෝදෙනෙක් බොහෝ දේවලට යොදාගත හැකි මෙම පෝෂ්‍යදායී කෑමෙන් තවමත් වින්දනයක් ලබනවා.