ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 12/8 26-29 පි.
  • ගොතගැසීමේ බිය තේරුම්ගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගොතගැසීමේ බිය තේරුම්ගැනීම
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බිය ඇවිස්සිය හැකි තත්වයන්
  • උපකාර කිරීමට වෑයම් කරද්දී
  • ඔවුන්ගේ බර සැහැල්ලු කිරීම
  • අපේ මැවුම්කාරයා තේරුම්ගන්නවා
  • ගොතගැසීමේ ගැටලුවට මුහුණ දීම
    2010 පිබිදෙව්!
  • ගොතගැසීම සමඟ මා සාර්ථකව කටයුතු කරන අයුරු
    1998 පිබිදෙව්!
  • ගොතගැසීමෙන් නිදහස්!
    1998 පිබිදෙව්!
  • චතුර කථිකත්වය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 12/8 26-29 පි.

ගොතගැසීමේ බිය තේරුම්ගැනීම

වක්ත කථිකයෙක් සහ ගොතගැසීමේ බිය තිබෙන තැනැත්තෙක් අතර වෙනස තේරුම්ගන්න ඔබට පුළුවන්ද? ‘ඇයි නැත්තේ’ කියා ඔබ පිළිතුරු දිය හැකියි. එහෙත් පීටර් ලෝ, තමාගේ හහහාකල් (ගොගොගොතගැසීම) නම් අෆ්‍රිකාන්ස් භාෂාවෙන් වූ පොතේ ලියන දෙය සලකා බලන්න: “‘පැහැදිලිවම’ ගොතගසන හැම කෙනෙකුටම, තම කථික බාධාව සැඟවීමට කැමති දහදෙනෙක් සිටී; එමෙන්ම හැකි තරම් දුරට අනිත් අයට නොදැනෙන සේ සිටීමටත් ඔවුන්ට වුවමනා කරයි. ඔවුන්ගේ කථික බාධාව සඟවනවා? ඒක කරන්නේ කොහොමද?

සමහර ගොතගසන්නන්ට, කලින් ඔවුන්ට ගැටලුවක් ඇති කළ වචනවලට සිත යොමු කරමින් තම බාධාව සඟවාගැනීමට හැකි වෙයි. ඉන්පසු, ඒ වචනය කියනවා වෙනුවට, ඔවුන් වාක්‍ය ඛණ්ඩය යළිත් වෙන විදිහකට කියයි; නැතහොත් එවැනිම අර්ථයක් ඇති වෙනස් වචනයක් පාවිච්චි කරයි. එක් සැමියෙක් විවාහ වී අවුරුදු 19ක් ගත වෙන තුරුම තමාගේ ගොතගැසීම සඟවාගත්තා. ඔහුගේ බිරිඳට සත්‍යය වැටහුණු විට කථික චිකිත්සක වෛද්‍යවරයෙක්ගෙන් ඇය මෙසේ ඇසුවා: “ඔබ හිතන විදිහට දුරකථනයෙන් කතා කරන්න එයා මාව යොදවන්නෙත්, ආපනශාලාවලදී කෑම ඉල්ලන්න හැම තිස්සේම මටම කියන්නෙත්, ඒ වගේම එයා . . . රැස්වීම්වලදී කවදාවත් උත්තර දෙන්නෙ නැත්තෙත් ඒ නිසාද?”

දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සන්තෝෂවත් විවාහ යුවළක් වන ජෙරාඩ් සහ මරීයා ගැනත් සලකා බලන්න.a බයිබල් පාඩම් රැස්වීම්වලදී අදහස් ප්‍රකාශ කරන්නේ නැත්තේ තමාගේ ගොතගැසීමේ බිය නිසා බව තම සැමියාට පැහැදිලි කරන්න කීප අවස්ථාවකදීම මරීයා උත්සාහ කළා. “පිස්සු, ඔයා ගොතගහන කෙනෙක් නෙවෙයි” කියලා ඔහු තම මතයේම එල්බගෙන පවසයි. ජෙරාඩ් තම විනිශ්චය පදනම් කළේ තම බිරිඳගේ සාමාන්‍ය දොඩමලු ස්වභාවය මතයි. කතා කරන විට ඇයට ගොතගැසීමේ බිය ඇති වුණේ සමහර අවස්ථාවලදී පමණයි. විවාහ වී අවුරුදු පහකට පසු පළමු වතාවට, ජෙරාඩ්ට මෙය තේරුම්ගොස්, වරද පිළිගත්තා: “මම දැනගෙන හිටියේ නෑ; ඒ වගේම සැලකිලිමත් වුණෙත් නෑ.” දැන්, ඇයව විවේචනය කරනවා වෙනුවට, විශාල සෙනඟක් ඉදිරියේ කතා කරන්න ධෛර්යය උපදවාගන්න අවස්ථාවලදී ඔහු ඇයව ප්‍රශංසාවට ලක් කරයි.

බොහෝ ගොතගසන්නන් “බියෙන්” වෙළී සිටින බව තේරුම්ගත හැකියි. “මෙය . . . සමහරවිට දිගටම වධ දෙන බියක්; බොහෝවිට ඉතා ප්‍රබලව පවතිනවා. . . . වික්කල්ගසන්නා ඉතා අසරණව සිටින අවස්ථාවකදී, ඔහුට සෙසු මිනිසුන් සමඟ අනිවාර්යයෙන්ම සබඳකම් පවත්වන්න අවශ්‍ය වන අවස්ථාවේදී, සාමාන්‍ය දෙයක් හෝ වේවා, තමන්ටම සමීප දෙයක් හෝ වේවා, යම් දෙයක් කියමින් ඔවුන් වෙත ළඟාවීමට වෑයම් කරද්දී, ඔහුට අපේක්ෂා කළ හැක්කේ සිත රිදවාගන්න සිද්ධ වෙයි නැත්නම් තමා මෝඩයෙක් බව හැඟෙයි කියන එකයි . . . ඉතා සාර්ථකව මෙයට උර දෙන අය වුණත් කියන්නේ ඔවුන් හැඩගැහිලා තියෙන්නේ තමන්ගේ ඒ බිය ඇතුව සිටින්නයි, ඒක කවදාවත් තමන්ගෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන්නේ නෑ” කියා ගොතගසන්නෙක් වන ඩේවිඩ් කොම්ටන්, ස්ටැමරිං (වික්කල්ගැසීම) යන තම පොතේ පැහැදිලි කරයි.

බිය ඇවිස්සිය හැකි තත්වයන්

පාසැල් පංති කාමරයකදී, ව්‍යාපාරික රැස්වීමකදී හෝ ආගමික එක්රැස්වීමකදී ගොතගසන්නෙකුට සභාවක් ඉදිරියේ ප්‍රශ්නයකට උත්තර දීමට කැඳවූ විට, එය වැඩියෙන් ගොතගැසීමට සලස්වන කාන්සාවක් ඇති කළ හැකියි. “නිහඬව සිටීම වඩා පහසුයි කියලා ඔබට හිතෙන අවස්ථාවල් තියෙනවාද?” කියලා ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී 15-හැවිරිදි දකුණු අප්‍රිකානු ගොතගසන්නියක් වූ රෝසැන්ගෙන් අසනු ලැබුවා. ඇය මෙසේ පිළිතුරු දුන්නා: “උදාහරණයක් හැටියට, හුඟක් වෙලාවලට, ඇත්තෙන්ම පංති කාමරයකදී, මට ලකුණු ලැබෙයි කියලා මම දන්න හරි උත්තරය දෙන්න හැකිකම තිබුණත්, ඇත්තෙන්ම කතා කිරීමට දරන්න වෙන වෑයම අමාරු වැඩියි කියලා මම දන්නවා.”

සිමෝන් නමැති ව්‍යාපාරිකයෙක්වද ඉහත සඳහන් කළ ගුවන්විදුලි වැඩසටහනේදී සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබුවා. රෝසැන් වගේම සිමෝන්ද කථික චිකිත්සාවේ උපකාරයෙන් දියුණුවක් ලබාගෙන තිබෙනවා. නමුත් ඇතැම්විට ඔහුට තවමත් ගොතගැසීම පිළිබඳ නරක අතුරු කතාවක් කීමට තිබේ. ඔහුගේ සභිකයන්ගේ ආකල්පයෙන් මෙය තවත් උග්‍ර විය හැකියි. “අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකදී ඔබට හුඟක් කතා කරන්න සිද්ධ වෙන කොට, ඔබට කතා කිරීමේ අපහසුතාවක් තියෙනවා නම්, ඒ මේසෙ වටේට ඉන්න අයට නොසෑහෙන්න ඉවසුම් නැතුව යනවා” ඔහු පැහැදිලි කරයි.

අමුත්තන්ට කතා කිරීමට ලජ්ජාශීලී පුද්ගලයෙකුට තිබිය හැකි බිය ගොතගසන්නෙකුට තිබෙන බිය සමඟ පටලවා නොගත යුතුයි. පසුගිය අවුරුදු දෙක පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණෙන ලිසා ගැන සලකා බලන්න. සාමාන්‍යයෙන් මිතුරු මිතුරියන් සමඟ කතා බහ කරද්දී, ඇය බොහෝවිට හොඳින් ව්‍යක්ත ලෙස කතා කරයි. ආරාධනයක් නොලැබුණත් අමුත්තන් වෙත යෑමට අවශ්‍ය එවැන්ජලිස්ත වැඩයෙහිද ඇය ජ්වලිත ලෙස හවුල් වෙයි. නමුත් ඇයට බොහෝ ගොතගසන්නන්ට තිබෙන බියක්—එනම් විශාල සභාවක් ඉදිරියේ කතා කිරීමේ බියක් තිබේ. “අපේ රැස්වීම්වලදී, අත උස්සලා ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න මට හැකිකම තියෙන්නේ කලාතුරකින්. මම උත්තරයක් දුන්නත්, ඒ හුඟක් වෙලාවලට වචනයකින් නැත්නම් කෙටි වාක්‍යයකින්. ටිකක් වෙන්න පුළුවන්, ඒත් ඒක මට කරන්න පුළුවන් උපරිමයයි. මම හැම තිස්සෙම කලින් සූදානම් කරන නිසා ගොඩක් වෙලාවට මගේ ඔළුවෙත්, තොල් අතරෙත් උත්තර තියෙනවා. නමුත් මගේ දිව සහයෝගය දක්වන්න ප්‍රතික්ෂේප කරනවා” ලිසා පැහැදිලි කරයි.

සමහර ගොතගසන්නන්ට තිබෙන නරකම අද්දැකීමක් තමයි හයියෙන් කියවීමට සිදුවීම. මෙය ඔවුන් සාමාන්‍යයෙන්ම වළකින වචන පාවිච්චි කරන්න ඔවුන්ට බල කරනවා. තවදුරටත් ලිසා මෙසේ කියයි: “අපේ රැස්වීමකදී, සාකච්ඡා කෙරෙන ශුද්ධ ලියවිලි පාඨ කියවීමට සමහර අවස්ථාවලදී වාර ගන්න කියා අපට කියනවා. එවැනි අවස්ථාවලදී මට ලැබෙන කොටස කියවන්න පුළුවන් වෙයිද නැද්ද කියලා නොදැන, මගේ වාරය එනකම් මම ඉන්නේ බියෙන්, නොසන්සුන්වයි. සමහරවිට මම කියෙව්වට මොකක් හරි වචනයක් ශබ්ද කරන්න බැරි වෙනවා. එතකොට මම ඒක අත් ඇරලා අනිත් ඒවා කියවගෙන යනවා.”

ගොතගසන්නෙකුට ශබ්දනඟා කියවීමට දිරිගන්වන්න පෙර පරෙස්සමින් කල්පනා කර බැලීම අවශ්‍ය බව නිසැකයි. එවැනි “දිරිගැන්වීමක්” ගොතගසන්නාට ඊටත් වඩා අමාරු තත්වයක් ඇති කළ හැකියි. ඒ වෙනුවට, එවැනි පුද්ගලයෙක් තම උපරිමය කිරීම වෙනුවෙන් උණුසුම් ලෙස ප්‍රශංසාව ලබන්න සුදුසුයි.

උපකාර කිරීමට වෑයම් කරද්දී

ගොතගැසීම ඉතා සංකීර්ණ ආබාධයක්. එක් කෙනෙකුට හරියන දේ තව කෙනෙකුට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තවශයෙන්ම, “සුවවීමේ” කාලපරිච්ඡේදයක් අද්දකින ගොතගසන්නන් බොහෝදෙනෙක්, පසු කලක යළිත් එය අද්දකියි. කතා කිරීමේ වෙනත් ආබාධ හැම එකකටම වඩා ගොතගැසීම සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ කර තිබේ. එහෙත්, ප්‍රවීණයන් විශේෂිත හේතුවක් සොයාගෙන නෑ. ඇත්තවශයෙන්ම, ගොතගැසීමට බොහෝ හේතුසාධක දායක වන බවට වැඩිදෙනෙක් එකඟ වෙයි. මෑත අධ්‍යයනයන්ට අනුව එක් සිද්ධාන්තයක් වන්නේ, ගොතගසන්නාගේ ජීවිතයේ මුල් කාලයේදී මොළයේ සෛලවල අක්‍රමික සංවිධානය එයට හේතුවක් වී තිබීමයි. තිඅඩෝර්, ජේ. පීට’ස් සහ බැරි ගිටා යන වෛද්‍යවරුන්ගේ, ස්ටටරිං—ඇන් ඉන්ටග්‍රේටඩ් අප්‍රෝච් ටු ඉට්ස් නේච ඇන්ඩ් ට්‍රීට්මන්ට් (ගොතගැසීම—එහි ස්වභාවයට හා ප්‍රතිකාරයට එක්සත් එළඹීමක්) යන පාඩම් පොතට අනුව, “බොහෝ අධ්‍යයනයන්, ගොතගැසීම සම්බන්ධයෙන් අපේ දැනගැන්මේ විශාල පරතරයන් පිරවීමත් සමඟම” එයට හේතු වන දේවල් සම්බන්ධයෙන් වූ වත්මන් දෘෂ්ටීන් “යල් පිනූ ඒවා බවට පත් වනු ඇත.”

ගොතගැසීම සම්බන්ධයෙන් මනුෂ්‍යවර්ගයා දන්නේ ඉතා ස්වල්පයක් බැවින්, මේ ආබාධයෙන් පෙළෙන්නන්ට නොයෙක් චිකිත්සාවලින් එකක් යෝජනා කරන විට පරෙස්සම් වීමේ අවශ්‍යතාවක් තිබේ. “දරුණු ගොතයක් ඇති බොහෝදෙනෙක් ලබන්න යන්නේ තරමක සුවයක් පමණයි” කියා ඉහත පාඩම් පොත තවදුරටත් පවසයි. “ඔවුන් අඩු වේගයකින් කතා කරන්නත් අඩු කාන්සාවකින් ගොතගසන්නත් ඉගෙනගන්න යන අතර, ගොතගැසීම ගැන කරදරයට පත් වන්න යන්නේද අඩුවෙන්. . . . ප්‍රතිකාර කරද්දී ගොතගසන්නන් කීපදෙනෙක් සැලකිය යුතු වෙනසක් අද්දකින්නේ නැහැ; ඒකට හේතු මොනවද කියලා අපි දන්නේ නෑ.”b

ප්‍රතිකාරය ක්‍රියාත්මක වන්නේ නැත්නම්, ගොතගසන්නන් ප්‍රමාණවත් උත්සාහයක් දරන්නේ නැති එක ගැන ඇතැම් චිකිත්සකයන් දොස්නඟා තිබෙනවා. එක් කෙනෙක් මෙසේ ස්ථිරයෙන් කියා සිටියා: “අසාර්ථක වීමට තිබෙන එකම හේතුව වික්කල්ගසන්නාගේ පැත්තෙන් උදාසීන ආකල්පයක් තිබීමයි.” එවැනි ප්‍රකාශයන් සම්බන්ධයෙන්, කර්තෘ ඩේවිඩ් කොම්ටන් මෙසේ පැවසුවා: “මෙවැනි අදහස් ප්‍රකාශයකින් වික්කල්ගසන්නෙකුට ඇති විය හැකි කෝපය ගැන ප්‍රකාශ කරන්න මට වචන නෑ. මුලින්ම, ඊට හේතුව වන්නේ ඒක බොරුවක් බව පෙනෙන නිසයි. එකම චිකිත්සාව කවදාවත් හැම වික්කල්ගසන්නෙකුටම හරියන්නේ නැති අතර, එක්තරා වික්කල්ගසන්නෙකුට හරියන එක පවා නොවරදිනසුලු නොවන්නේද නෑ. දෙවනුව, වික්කල්ගසන්නන් අසාර්ථකත්වයකින් ජීවත් වන නිසා . . . [ඔවුන්ගේ අසාර්ථකත්වය] වැඩි කරන ඕනෑම දෙයක් අනවශ්‍ය වූ, අසාධාරණ වූ අපරාධයක්.”

ඔවුන්ගේ බර සැහැල්ලු කිරීම

ගොතගසන්නන්ට සාමාන්‍යයෙන්ම අනුකම්පාව ලබන්න ඕනෙකමක් නෑ. කෙසේවුවත්, ඔවුන්ගේ බර සැහැල්ලු කරන්න කළ හැකි දේ බොහෝමයක් තිබේ. ඔවුන් ගොතගසන විට, ව්‍යාකූලව ඉවත බලා නොගන්න. ඔවුන්ගේ මුඛය දෙස බලා ඉන්නවාට වඩා, ඔවුන්ගේ ඇස් දිහා බලන්න. ඔවුන් සාමාන්‍යයෙන්ම ඔවුන්ට සවන් දෙන්නන්ගේ අංග චලන භාෂාවට සංවේදීතාවක් දක්වයි. ඔබ සන්සුන්ව ඉන්න බවක් පෙනෙන්න තිබේ නම්, ඔවුන්ගේ බිය දුරු කිරීමට එය උපකාරවත් වෙයි. “ඔබ වෙන ඕනෑම කෙනෙකුට සවන් දෙන්න සූදානම්ව සිටිනවා වගේම ඔහුට සවන් දීමටත් සූදානම්ව සිටින බව ඒ පුද්ගලයාට පෙන්නුම් කරන්න” කියා කථික චිකිත්සකයෙක් පැවසුවා.

තම ශිෂ්‍යයන් අතර ගොතගසන්නෙක් ඉන්න ගුරුවරුන්ට ඔහුගේ බිය සැහැල්ලු කිරීමට මහත් දේ කළ හැකියි. ඩි යූනි නම් දකුණු අප්‍රිකානු අධ්‍යාපනික සඟරාවෙහි, ගුරුවරුන්ට මතු උපදෙස දී තිබුණා: “සවන් දෙන්නා ව්‍යක්තභාවයක් බලාපොරොත්තු වන්නේ නැතැයි කියා දන්නා විට, ගොතගසන්නන්ගෙන් වැඩිදෙනෙක් ගොතගසන්නේ ඉතාමත් අඩුවෙන්.”

ඉහත සඟරාවට අනුව, ගුරුවරයා විසින් ශිෂ්‍යයාගේ හැඟීම් දැනගැනීමද වැදගත්. එවැනි ශිෂ්‍යයන්ව ලජ්ජාවට පත්වීමෙන් වළක්වනවා වෙනුවට, ඔවුන් සමඟ කතා කරන්න හා ගැටලුව සම්බන්ධයෙන් ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ව දිරිගන්වන්න කියා ගුරුවරුන්ට උපදෙස් දී ඇත. මෙයාකාරයෙන්, ශිෂ්‍යයා කතා කරන්න වැඩියෙන්ම බිය වන්නේ මොන අවස්ථාවලදීද කියා දැනගන්න ගුරුවරයාට හැකි වෙයි. “ඔහුගේ කථික ව්‍යක්තභාවය සම්බන්ධයෙන්, සියයට 80ක් රඳා පවතින්නේ ඔබ මතයි” කියා සඟරාව වාර්තා කරයි. ගැටලුව නොතකා ඔහුව පිළිගන්න බව ඔහු දන්නවා නම් ඔහුගේ ව්‍යක්තභාවය වැඩිදියුණු වනු ඇත. සඟරාව තවදුරටත් මෙසේ පැහැදිලි කරයි: “පංති කාමරයේ පහසු, ඉගෙනගත හැකි වාතාවරණයක්, ගොතගසන්නාට පමණක් නොව නමුත් පංතියේ ඉතිරියටත් ප්‍රයෝජනයක් වෙයි.”

වැඩිහිටියන්ට උගන්වන අවස්ථාවලදීත් මෙවැනි යෝජනා සාර්ථකව යොදාගත හැකි බව නිසැකයි.

අපේ මැවුම්කාරයා තේරුම්ගන්නවා

අපේ මැවුම්කාර යෙහෝවා දෙවි මානව අසම්පූර්ණත්වය මුළුමනින්ම තේරුම්ගන්නවා. ඉශ්‍රායෙලිතයන්ව මිසරයෙන් පිටතට මඟ පෙන්වීම සඳහා ඔහුගේ නියෝජිතයා හැටියට මෝසෙස්ට ඔහු පැවරුමක් දුන්නා. මෝසෙස්ට අදහස් හුවමාරු කිරීමේ දුෂ්කරතාවක් ඇති කළ කථික ආබාධයක් තිබෙන බව හොඳින් දැනගෙනයි ඔහු මෙසේ කළේ. ඊට පටහැනිව, මෝසෙස්ගේ සහෝදර ආරොන් ව්‍යක්ත කථිකයෙක් බවත් දෙවි දැනගෙන සිටියා. “ඔහුට ව්‍යක්ත ලෙස කථාකරන්ට පුළුවන් බව දනිමි” කියා දෙවි පැවසුවා. (නික්මයාම 4:14) කෙසේනමුත්, මෝසෙස්ට පක්ෂපාතකම, කරුණාවන්තකම, ඇදහිල්ල සහ මෘදුකම වැනි වඩා වැදගත් වෙනත් ගුණාංග තිබුණා. (ගණන් කථාව 12:3; හෙබ්‍රෙව් 11:24, 25) මෝසෙස්ගේ විරෝධතාව මධ්‍යයෙහි වුවත්, තම සෙනඟගේ නායකයා වශයෙන් මෝසෙස්ව තේරීම කෙරෙහිම දෙවි ස්ථිරව සිටියා. ඒ සමඟම, මෝසෙස්ගේ නියෝජිතයා වශයෙන් ආරොන්ව පත් කිරීමෙන් දෙවි මෝසෙස්ගේ බිය ගැන සැලකිල්ලක් දැක්වුවා.—නික්මයාම 4:10-17.

තේරුම්ගන්නා බව දැක්වීම මගින් දෙවිව අනුකරණය කරන්න අපිට පුළුවන්. ගොතගසන්නන්ට ගෞරවයෙන් සලකන්න; එම තැනැත්තාගේ සැබෑ වටිනාකම නොදකින සේ ඔබව අන්ධ කිරීමට කථික ආබාධයට ඉඩ නොහරින්න. කුඩා දැරියක් සහ ඇගේ ගොතගසන පියාගේ අද්දැකීමෙන් මෙය නිදර්ශනය වෙයි. වඩාත් ව්‍යක්ත ලෙස කියවීමේ ක්‍රමයක් පියා ඉගෙනගත්තා. එක් රැයක ඔහු තම සය-හැවිරිදි දියණියට කතන්දරයක් කියවීමෙන් එය අත්හදා බැලූ අතර, තම ව්‍යක්තභාවය ගැන ඔහුට ආඩම්බරයක් දැනුණා.

“තාත්තේ, හරියට කියවන්නකෝ” ඇගේ පියා අවසන් කළ පසු ඇය පැවසුවා.

“මම කතා කරන්නේ හරියට තමයි” තරමක කේන්තියකින් ඔහු පිළිතුරු දුන්නා.

“නෑ, ඔයා හැම තිස්සෙම කියන විදිහටම කියන්න” කියා ඈ තරයේ කියා සිටියා.

ඔව්, ඇගේ පියාට කථික ආබාධයක් තිබුණත්, කුඩා දැරිය ආදරේ කළේ සැබෑ තත්වයෙන් සිටින තම පියාටයි. ඉතින් ඊළඟ වතාවේ ඔබ ගොතගසන යමෙකු සමඟ සම්බන්ධ වී යම් දේවල් කරන විට, එම පුද්ගලයාට අගනා සිතුවිලි සහ සිත්ගන්නා ගුණාංග තිබිය හැකි බව මතක තබාගන්න. ඔහුට ඇත්තෙන්ම හැඟීම් තිබෙනවා. ඉවසිලිවන්ත වන්න, එමෙන්ම ඔහුව තේරුම්ගන්නා බව පෙන්වන්න.

[පාදසටහන්වල]

a මේ ලිපියේ සමහර නම් වෙනස් කර තිබේ.

b වැඩිහිටියන්ට වඩා දරුවන්ට සුව වේයයි බලාපොරොත්තු තැබිය හැකියි. පළපුරුදු කථික චිකිත්සක ඈන් අ’වින්, ස්ටැමරිං ඉන් යං චිල්ඩ්‍රන් (බාල දරුවන්ගේ වික්කල්ගැසීම) යන ඇගේ පොතේ මෙසේ පැහැදිලි කරයි: “දරුවන් හතරදෙනෙකුගෙන් තුන්දෙනෙකුටම වැඩෙද්දී ඉබේම ඔවුන්ගේ වික්කලය නැති වී යනවා. වැඩෙද්දී ඉබේම එය නැති වී නොගිය සියයට 25න් එක් කෙනෙක් නම් ඔබේ දරුවා, නිවාරණ චිකිත්සාව දීමෙන්, ඔහු වැඩෙද්දී එය නැති වී යෑමට ඇති ඉඩ කඩ බෙහෙවින් වැඩියි.”

[27වන පිටුවේ පින්තූරය]

ප්‍රසිද්ධියේ කතා කිරීමට ගොතගසන්නෙක් බිය විය හැකියි

[28වන පිටුවේ පින්තූරය]

ගොතගසන්නාට ඔබට කතා කරන්න දුෂ්කරතාවක් තිබේ නම් ඉවසිලිමත් වන්න

[29වන පිටුවේ පින්තූරය]

ගොතගසන්නන් සාමාන්‍යයෙන්ම දූරකථනයට භයයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න