මහා මාර්ගයේ කෝපය ඔබට මැඩපැවැත්විය හැක්කේ කෙසේද?
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
තරහ ඇතිවීම සහ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වන ප්‍රචණ්ඩකාරිත්වය ලෝක පුවත් වාර්තාවල වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා. කරත්ත කෝපය (අත් කරත්ත හෝ ආහාර කරත්ත පාවිච්චි කරන ගනුදෙනුකරුවන්, සුපිරි වෙළඳ සැල්වල එකිනෙකාට තම කෝපය ප්‍රකාශ කිරීම) සහ (තාක්ෂණික දියුණුව නිසා, ඔබ අමතන පුද්ගලයා, වෙනත් කෙනෙකුගෙන් ලැබෙන ඇමතුමකට සම්බන්ධ වීම සඳහා, ඔබේ ඇමතුම තාවකාලිකව අත්හිටුවීම නිසා ඇති වන) දූරකථන කෝපයට අමතරව, බ්‍රිතාන්‍යයේ ජනයාගේ අවධානයට ලක්ව තිබෙන්නේ මහා මාර්ගයේ කෝපයයි.
මහා මාර්ගයේ කෝපය කොතරම් පුළුල්ව පැතිර ඇද්ද කිවහොත්, රිය පැදවීමේ පුරුදු පිළිබඳව 1996 පළ වූ වාර්තාවක කියා තිබුණේ, “පසුගිය අවුරුද්ද පුරා යම් ප්‍රහාරයක් හෝ හිරිහැරයක් සියලුම රිය පදවන්නන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් අද්දැක ඇති බැවින්,” බ්‍රිතාන්‍යයේ එය “වසංගතයක් සේ පැතිර තිබෙන” බවයි! මෝටර් රථ සංගම් සමීක්ෂණයක් මෙය තවත් ගැඹුරින් පරීක්ෂා කර බලා, “මහා මාර්ගයේ කෝපයට තමුන් ගොදුරු වූ බව රියැදුරන් දහදෙනෙකුගෙන් නවදෙනෙකුම කියා සිටි” බව වාර්තා කළා. “රිය පදවද්දී, තමුන්ට තරහ ගිය බව පිළිගත්තේ [රියැදුරන්] දහයකින් හයදෙනෙකු පමණක්” බව එම ජනමත විචාරය හෙළි කිරීම සිත්ගන්නක්.
මහා මාර්ගයේ කෝපයට හේතු වන්නේ කුමක්ද? ඔබ ඊට ගොදුරු වී ඇත්නම්, ඔබටම ආරක්ෂාව සලසාගැනීම සඳහා කුමක් කළ හැකිද? වෙනත් කෙනෙකු රිය පදවන ආකාරය ඔබව කෝපයට පත් කරයි නම්, ඔබ කුමක් කළ යුතුද? ඇත්තෙන්ම, මහා මාර්ගයේ කෝපය ලොව පුරා පැතිරෙත්ම, ඔබට එය මැඩපැවැත්විය හැක්කේ කෙසේද?
හේතුව සහ ඵලය
කෝපාවිෂ්ට රිය පදවන්නන් අලුතෙන් බිහි වූ අය නොවෙයි. ඉංග්‍රීසි කවියා වූ ලෝඩ් බයිරන් එසේ කෝප වූ මුල්ම කෙනෙක්. වර්ෂ 1817දී ඔහු ලියුමක් ලියූ අතර, එහි මහා මාර්ගයේ ඇති වූ විවාදයක් ගැන විස්තර කළා. වාර්තා වන පරිදි, මහා මාර්ගය පාවිච්චි කළ වෙනත් කෙනෙකු බයිරන්ගේ අශ්වයාට “ගරුසරු නැතුව සැලකුවා.” ප්‍රතිඵලයක් වශයෙන්, ඒ කවියා, අනික් මනුෂ්‍යයාගේ කන්වලට පහර දුන්නා.
බොහෝ රටවල රථ වාහන සංඛ්‍යාව වැඩි වන අතරවාරයේදී, රිය පදවන්නන්ගේ කලකිරීම උත්සන්න වෙනවා. රිය පැදවීමට සම්බන්ධ ප්‍රචණ්ඩකාරි සිද්ධීන්වලට උල්පන්දම් දෙන දේ “මහා මාර්ගයේ කෝපය” වශයෙන් එ.ජ. පුවත්පත් විස්තර කළේ 1980ගණන්වලයි. මෙය නීතික සංකල්පයක් නොවුණත්, වෙනත් රිය පදවන්නන් රිය පදවන ආකාරයෙන් කුපිත වන රියැදුරන් විසින් සිදු කරනු ලබන ප්‍රචණ්ඩකාරි ක්‍රියා රැසක මුල තිබෙන හැඟීම් මහා මාර්ගයේ කෝපයෙන් හොඳට විස්තර කෙරෙනවා.
පළමුව-මම යන ආකල්පය අපේ මහා මාර්ග පුරාම දක්නට ලැබෙනවා. ලන්ඩන්හි ද ටයිම්ස් දක්වන පරිදි, “ප්‍රචණ්ඩකාරි ක්‍රියා හෝ එදිරිවාදිකම් සිදු කරන අය හැමවිටකම පාහේ විශ්වාස කරන්නේ, වෙනත් කෙනෙකුගේ සමාජ විරෝධී හැසිරීමකට ගොදුරු වූ ධර්මිෂ්ඨ කෙනා තමුන් බවයි” කියා රිය පැදවීමේ පළපුරුදු පර්යේෂකයන් නිගමනය කරනවා. රිය පදවන්නෙකු කොතරම් අශීලාචාර විදිහට තම වාහනය හැසිරුවත්, ඔහු එසේ කළේ හොඳ හේතු ඇතුවයි කියා ඔහුට හැඟෙනවා. එනමුත් වෙනත් රිය පදවන්නෙකු මහා මාර්ගයේ ආචාරශීලීබව ටිකක් හරි උල්ලංගනය කරන විට, මහා මාර්ගයේ කෝපය ඇවිළෙයි.
යෞවනයන් අතර ඉතා පුළුල්ව පැතිර ඇති වැඩි වන මත්ද්‍රව්‍ය අනිසි භාවිතයත්, මහා මාර්ගයේ කෝපයට දායක වෙනවා. එක් රෝහල් උපදේශකයෙකුට අනුව, කොකේන් අනිසි භාවිතය “මත්පැන් පානය කර රිය පැදවීම හා සැසඳිය හැකියි.” මත්ද්‍රව්‍ය ගන්නා රිය පදවන්නන්ට තමුන්ගේ හැකියාවන් ගැන ඕනෑවට වඩා විශ්වාසයක් තිබෙනවා. ප්‍රතිඵලයක් වශයෙන්, ඇතමුන් තම වාහන අනතුරුදායක වේගයකින් පදවනවා. වෙනත් අය, ඔවුන්ගේ හොඳ සිහිය හානියට ලක්ව තිබෙන නිසා, අක්‍රමවත්ව රිය පදවනවා.
රිය පදවන්නෙකුට අධික වෙහෙස බලපාන ආකාරයද සලකා බලන්න. එක්දහස් නවසිය අනූගණන්වල මහා මාර්ගයේ කෝපය බොහෝදුරට දෛනික ජීවිතයේ අධික වෙහෙස සහ අවිනිශ්චිතතා නිසා ඇති වන බව, මැන්චෙස්ට’ සරසවියේ මහාචාර්ය කේරි කූප’ කියා සිටියි. රාජකීය මෝටර් රථ සමාජයේ නියෝජිතයෙක් මෙසේ පවසයි: “රිය පදවන්නන් වැඩි වැඩියෙන් අධික වෙහෙසට ලක් වන අතර, ප්‍රචණ්ඩකාරි පහර දීම්වල සංඛ්‍යාව වැඩි වෙනවා.” රැකියා ස්ථානයට සහ නැවතත් නිවසට පැමිණෙන්න සෑහෙන පැය ප්‍රමාණයක් රිය පැදවීමට වැය කරන එක් කාර්යබහුල මහජන සම්බන්ධතා විධායක ස්ත්‍රියක්, තමා අතීතයේ මෙන් ඉවසන ගතියක් විදහා නොපෙන්වන බව පිළිගනියි. ඇගේ අදහස් ද සන්ඩේ ටයිම්ස් මෙසේ වාර්තා කරයි: “ඉස්සර මං ගණන් ගන්නෙම නැති පොඩි පොඩි දේවල්වලට, දැන් කඩා පනින්න වගේම කේන්ති ගන්න මං ඉක්මන් වෙනවා.” සමහරවිට ඔබටත් එසේම හැඟෙනවා ඇති. එසේනම්, ඔබට කුමක් කළ හැකිද?
මහා මාර්ගයේ කෝපය ඇවිස්සීමෙන් වළකින්න
වෙනත් රිය පදවන්නන් අංග සම්පූර්ණ නොවන බව තේරුම්ගන්න. ඔවුන් යම් යම් අවස්ථාවලදී නීති කඩ කරාවි. රිය පදවද්දී, මෙයත් සැලකිල්ලට ගන්න. දුරදිග හිතන්න. උදාහරණයක් හැටියට, ධාවන තීර කිහිපයක් ඇති මහා මාර්ගයක කෙළවර තීරයේ හෝ සෙමින් පදවන තීරයේ ඔබ රිය පදවනවා විය හැකියි. එනමුත්, රථ වාහනවලට මහා මාර්ගයට එකතු වන්න ඉඩ කඩ සලසන අතුරු පාරක් නැතහොත් වෙනත් ප්‍රවේශ වීමේ මාර්ගයක් තිබෙන මංසන්ධියකට ඔබ ළඟා වෙනවා. ඉදිරිය බලන විට, අතුරු පාර දිගේ මහා මාර්ගය වෙත ළඟා වන මෝටර් රථයක් ඔබ දකිනවා. ඔබ එතැන පළමුව සිටිය නිසා, ඔබේ තීරයේ රිය පදවන්න අයිතිවාසිකමක් ඔබට තිබෙන බවට ඔබ තර්ක කරනවාද? මහා මාර්ගයට එකතු වන රථ වාහනවලට ඔබ ඉඩ දිය යුත්තේ ඇයි? අනික් රියැදුරාට මහා මාර්ගයට ඇතුල් වන්න ඉඩ දීම සඳහා, වාහන නැති වෙනත් තීරයකට ඔබ පැදවිය යුත්තේ ඇයි? එනමුත්, ඔබේම තීරයෙහි සිටිමින් නොනැවතී එකම වේගයෙන් පැදවීමට ඔබ තීරණය කළොත් කුමක් සිදු වේද කියා සිතා බලන්න. ඇතැම්විට මහා මාර්ගයට ළඟා වන රිය පදවන්නාත් එලෙසම කල්පනා කළ හැකියි. අනිවාර්යයෙන්ම, කවරෙකු හෝ ඉඩ දිය යුතුයි; එසේ නැතහොත්, යම් අනතුරක් සිදු වේවි.
ප්‍රඥාවන්ත ලෙස, මහා මාර්ගයේ කෝපය ඇවිස්සීමෙන් වැළකී සිටීමට කැමති රිය පදවන්නා දුර දිග බලා සැලකිලිමත්ව රිය පදවනවා. හැකි අවස්ථාවල ඔහු අනුන්ට ඉඩ දෙන අතර, තමාට පෙන්නූ ආචාරශීලීබව පිළිගැනීමට අනික් රිය පදවන්නා අපොහොසත් වන විට කෝපයට පත් වන්නේද නැහැ. සෑම රිය පදවන්නන් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙකු දරන ආකල්පය සම්බන්ධයෙන් අනතුරුදායක ගැටලුවක් ඇති බව බ්‍රිතාන්‍ය දියුණු රියැදුරු ආයතනයේ නියෝජිතයෙක් තක්සේරු කරයි. මෙම රිය පදවන්නන්ට තම වාහන දක්ෂ ලෙස හසුරුවන්න පුළුවන් වුණත්, ඔවුන් ආචාරශීලී නැහැ. “හොඳ රිය පදවන්නන් වුණත් නරක රියැදුරන්” වශයෙන් ඔහු ඔවුන්ව හඳුන්වයි.
රිය පදවන්නන් බොහෝදෙනෙකු ඇතැම් අවස්ථාවල මාර්ගය පාවිච්චි කරන අනික් අයව නොසලකා හරිනවා. එනමුත් ඔබටත් එලෙසම ක්‍රියා කිරීමට එය නිදහසට කරුණක් නොවෙයි. ඇති විය හැකි ඵලවිපාක සලකා බලන්න. ඔබ දැක්වූ යම් මුරණ්ඩු ස්වභාවයක් නිසා වාහන කිහිපයක් එකට හැප්පී අනතුරක් ඇති වෙනවා දකින්න ඔබට ඕනෑ නැති බව සහතිකයි. ඔබේ හැඟීම් මගින් පාලනය වීමට යටත් නොවන්න. රිය පැදවීමේ විශේෂඥයෙක් මෙසේ අවවාද කරයි: “මාර්ගයේ එදිරිවාදිකමක් ඇති වෙද්දී ඔබ කිසිදාක එයට ප්‍රතික්‍රියා හෝ ප්‍රතිචාරය නොදැක්විය යුතුයි.” මහා මාර්ගයේ-කෝප සමාජයට එක්වීම ප්‍රතික්ෂේප කරන්න!
ඔබ ගොදුරු වූ කෙනෙක්ද?
හැම රිය පදවන්නෙකුම පාහේ මොනයම් අවස්ථාවකදී හෝ මහා මාර්ගයේ කෝපයට ගොදුරු වී ඇති. අත මිට මෙළවීම, කෑ ගසා බැණවැදීම, වාහනය එදිරිවාදී ආකාරයකින් පැදවීම යන සියල්ල භයගැන්වීමට හේතුවක් විය හැකියි, ඇත්තෙන්ම හේතුවක් වෙනවාමයි. කිසිම සැකයක් නැහැ, ගැටුමක් ඇති කරගැනීමෙන් වැළකී සිටීම තමයි හොඳම ආරක්ෂාව. තවත් රිය පදවන්නෙකුට තමාට ඉදිරියෙන් යන්න වුවමනා වූ විට, ගොදුරු වූ කෙනෙකුට භයක් ඇති වුණා. අන්තිමේදී, කෝපයෙන් සිටි රිය පදවන්නා ඔහුව පසු කර, ඔහුගේ වාහනය ඉදිරියට කපා, වේගය බාල කළා. වේගය කොතරම් බාල වුණාද කිවහොත්, ගොදුරු වූ කෙනා භයින් සිතුවේ වාහන දෙක හැප්පෙයි කියලයි. මෙය යම් දුර ප්‍රමාණයක් යන තුරු සිදු වූ අතර, නතර වුණේ ගොදුරු වූ කෙනා වෙනත් මාර්ගයක් දිගේ යෑමට හැරුණු විට පමණයි.
වෙනත් රිය පදවන්නන්ට ඔබට ඉදිරියෙන් යන්න වුවමනා බව ඔබට පෙනේ නම්, ඔවුන්ට එසේ කරන්න හැකි තරම් ඉඩ දෙන්න. මාර්ගයෙහි ඔබ සිටින තැනෙහි සිටීමට ඔබට තිබෙන අයිතිවාසිකම් බලෙන්ම වගේ රැකගැනීම මඟහරින්න. දැනුවත්වම ඔබ අනුන්ගේ කෝපයට හේතුවක් වී ඇත්නම්, සමාව ඉල්ලන්න. නොදැනුවත්වම යම් අමනාපයක් ඇති කළා නම් පවා ඔබ ඒ ගැන කනගාටු වන බව දැක්වීමට යම් අංග චලනයක් කරන්න. මෘදු වචනයකින් කෝපය පහ කළ හැකි බව මතක තබාගන්න.
එනමුත් මොනම හේතුවක් උඩ හෝ, ඔබ මහා මාර්ගයේ කෝපය හේතුවෙන් ප්‍රහාරයකට ගොදුරු වේ නම්, එකට එක කරන්න යන්න එපා. “ඔහු ඔබට කළ දේ ඔහුට කරන්න යන්න එපා” යනුවෙන් ෆෝකස් සඟරාව අවවාද කරයි. “අනතුරු සහිත ආයුධයක් සේ භාවිත කළ හැකි දේවල් ඔබේ මෝටර් රථයෙහි රැගෙන නොයන්න.” වෙනත් උපදෙස්: ඔබේ වාහනයේ දොරවල් අගුල් දමා ජනෙල් වසා තබන්න. එදිරිවාදී පුද්ගලයෙකුගේ ඇස් දෙස බැලීමෙන් වැළකී සිටින්න.
මහා මාර්ගයේ කෝපය මැඩපැවැත්විය හැකි ආකාරය පිළිබඳ ඉහත සඳහන් යෝජනා අලුත් ඒවා නොවෙයි. ඉශ්රායෙල්හි දාවිත් රජු බොහෝ කාලයකට පෙර ඉදිරිපත් කළ අවවාදවලට සමාන්තරව ඒවා දිව යනවා: “නපුරකරන්නන් නිසා කල නොකිරෙව” කියා ඔහු උපදෙස් දුන්නා. “අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. තරහෙන් වැලකී උදහස අත්හරුව.”—ගීතාවලිය 37:1, 8.
මහා මාර්ගයේ කෝපය වර්ධනය වෙමින් තිබුණත්, එය ඔබ තුළ වර්ධනය වන්න ඉඩ දෙන්න එපා!
[25වන පිටුවේ කොටුව⁄පින්තූරය]
මහා මාර්ගයේ කෝපය පාලනය කිරීම
මහා මාර්ගයේ කෝපය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් කල, “එයට එරෙහිව යම් ප්‍රායෝගික පියවර ගැනීම තරම්ම ආකල්ප වෙනස් කිරීමද වැදගත්” බව මෝටර් රථ සංගමය සඳහන් කරයි. ඔබේ මෙන්ම මාර්ග භාවිත කරන වෙනත් අයගේ රිය පැදවීමේ කුසලතා ගැන යථාර්ථවාදී දෘෂ්ටියක් දැරීම, මහා මාර්ගයේ කෝපය මැඩපැවැත්වීමට අත්‍යවශ්‍ය වෙනවා. වෙනත් අය අතින් සිදු වන වැරදි ඉතා පහසුවෙන් ඔබේ අවධානයට හසු වුණත්, රිය පැදවීමේදී ඔබේම දුර්වලකම් නොසලකා නොහරින්න. වෙනත් රිය පදවන්නන් මාර්ග නීති කඩ කරන බවට වූ යථාර්ථය සම්බන්ධයෙන් පැහැදී සිටින්න. ඔබ රිය පදවන විට, හොඳින් අවදිව සිටීමට වගබලා ගන්න. මහන්සිය අධික වෙහෙසට දායක වෙනවා. මොහොතකට ඔබේ අවධානය බිඳීමෙන් මාරාන්තික ප්‍රතිඵල නෙළාගත හැකියි.
මතු දැක්වෙන උපදෙස්ද සලකා බලා, ප්‍රඥාවන්ත සාලමොන් රජුගේ හිතෝපදේශවලට එය සම්බන්ධ වන ආකාරය සැලකිල්ලට ගන්න.
• ඔබ සමඟ යන මඟීන් ඔබේ කෝපය දකිනවාද? සන්සුන් වන්න කියා ඔවුන් යෝජනා කරනවා විය හැකියි. ඔවුන්ගේ උපදෙස් නිකම්ම නොසලකා හැර, ඔවුන් පිටුපස ආසනයේ හිඳිමින් රිය පදවන්න හදනවා කියා කීමට නැඹුරු වන්න එපා. සන්සුන් ආකල්පයක් සෞඛ්‍යයට වඩාත් හිතකර බවත්, ඔබට ඇත්තෙන්ම වැඩි කල් ජීවත් වන්න එයට උපකාර කළ හැකි බවත් මතක තබාගන්න! “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය.”—හිතෝපදේශ 14:30.
• අනික් රිය පදවන්නා ගැන සිතා, ගැටලු මඟහරින්න. “ප්‍රඥාවන්තයා භයව නපුරෙන් ඉවත් වෙයි; එහෙත් අඥානයා උඩඟුකම් පාමින් සැක නැතුව සිටියි.”—හිතෝපදේශ 14:16.
• සමාව ඉල්ලන අංග චලනයකින් හෝ වචනයකින් කෝපය පහ කරන්න. “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි.”—හිතෝපදේශ 15:1.
• අනික් අය මහා මාර්ගයේ කෝපයට නැඹුරු වෙන්න පුළුවන්; එනමුත් ඔබ ඔවුන්ව අනුකරණය කරන්න අවශ්‍යතාවක් නැහැ. “තරහ ගති ඇත්තෙකු සමග මිත්‍රනොවෙන්න.”—හිතෝපදේශ 22:24.
• අනුන්ගේ විවාදවලට මැදිහත් වීමෙන් වැළකෙන්න. “තරඟය ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න.”—හිතෝපදේශ 17:14.