ලන්ඩන්හි ජල සැපයුම නව මුහුණුවරක්
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ලන්ඩන් එනම් එංගලන්තයේ අගනුවර, දැනට ලොව දියුණුතම ජල සැපයුම් ක්‍රමවලින් එකක් සතුව ඇත. එය ඩොලර් මිලියන 375ක වියදමින් නියමිත කාලසටහනට අවුරුදු දෙකකට පෙර අවසන් විය. එහි ඉදි කිරීම්වලින් ලබාගත් විශේෂඥ දැනුම දැනටමත් අනිකුත් රටවලට අලෙවි කරගනු ලැබේ.
එතරම් වටිනා ව්‍යාපෘතියක් අවශ්‍ය වූයේ මන්ද, තවද ඉන් අත් කරගෙන තිබෙන්නේ කුමක්ද?
නවීකරණය කිරීම
ලන්ඩනයේ පැරණිතම මධ්‍යම මහා ජලනළ ඒකකය සාදනු ලැබුවේ 1838දීය. එයින් අවුරුදු හතළිහකට පසුවත් නගරයේ නොදියුණු ප්‍රදේශවල, වීථි අයින්වල සවි කර තිබූ පොදු ජලනළවලින් බාල්දිවලට වතුර ගෙන යනු ලැබීය. “අලුයම පැමිණෙන මිනිසෙකු විසින් යතුරකින් නළයේ කරාමය අරින මොහොත වැදගත්කමකින් යුත් සිද්ධියක් විය; . . . ඒ මන්දයත්, යතුරුගත් එම නිලධාරියා ගියවිට පසුදා උදෑසන වන තුරු වතුර බිංදුවක්වත් ඇදගැනීමට නොහැකි වන බැවිනි,” යයි එක් ලේඛකවරියක් පවසන්නීය.
මෙම ජල සැපයුම එක් එක් නිවාසය කරා විහිදුවනු ලැබීමෙන් වික්ටෝරියානු ඉන්ජිනේරුවෝ විශිෂ්ට මෙහෙයක් ඉටු කළෝය. ඔවුහු පාරවල් යටින් විවිධ මට්ටම්වල යකඩ ජලනළ ඇතිරූහ. කෙසේවෙතත්, එවක් පටන්, රථවාහනවල කම්පනය, බර සහ පරිමාව වැඩිවීමත්, ඇතැම් අවස්ථාවලදී, කිලෝමීටර් 30ක් ඉක්මවමින්, බොහෝ දුරකට ජලය ගලායෑමට සැලැස්වීම සඳහා පොම්ප කිරීමට වැඩි පීඩනයක් අවශ්‍ය වීමත්, ප්‍රධාන ජලනළ පිපිරීමට හේතු වී තිබේ. ප්‍රධාන ජලනළ පිළිසකර කිරීමට පාරවල් වැසීමට සිදු වන විට, රථවාහන තදබදය අවුල් ජාලයකට තුඩු දී තිබේ. එංගලන්තයේ ජලාශවලින් ඇදෙන ජලයෙන් සියයට 25ක්, බෙදාහරින නළවල දෝෂ නිසා අපතේ යන බව තක්සේරු කර ඇත.
තවදුරටත්, පසුගිය වර්ෂ 150 පුරා ලන්ඩනයේ දිනක ජල ඉල්ලුම, ලීටර් මිලියන 330ක සිට බිලියන දෙකක් ඉක්මවා ගොස් තිබේ. රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර, කාර් සේදීම සහ වියළි ගිම්හානවලදී පිට්ටනිවලට වතුර දැමීම යනාදිය, ඉල්ලුම ඉහළ යැවීමට රුකුල් වී ඇත. ප්‍රධාන නගරය සඳහා ජල සැපයුමේ තත්වය වැඩිදියුණු කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇති විය. එහෙත් කළ හැකිව තිබුණේ කුමක්ද?
මහ පරිමාණයෙන් සිතීම
එම මාර්ග පද්ධතියට යටින් පරණ පයිප්ප වෙනුවට වඩා ශක්තිමත් ඒවා දැමීම කළ හැකි දෙයක් නොවීය. ලන්ඩනයේ වැසියන්ට සිදු වන අපහසුතාව මෙන්ම, අධික වියදම දරාගත නොහැක්කක් විය. එබැවින්, අවුරුදු දහයකට පෙර තේම්ස් වෝටර් රිං මේන් ප්‍රොජෙක්ට් නමැති ව්‍යාපෘතිය ගැන අදහස් පහළ විය. එය ලන්ඩනයේ ජල සැපයුම මහත් සේ වැඩි කිරීමට ඉවහල් වනු ඇත. ව්‍යාපෘතිය, කිලෝමීටර් 80ක එකකි. මීටර් 2.5ක් පළල විශාල ජලනළයක් හෝ උමඟක්, මීටර් 40ක සාමාන්‍යයකින් යුත් ගැඹුරකින් නගරය යටින් පිහිටා තිබෙන අතර, දිනකට වතුර ලීටර් බිලියනයකට වඩා ගෙන යෑමට සමත් එකකි. එය වළලාකාර නළ පද්ධතියක් වන නිසා, ඕනෑම දිශාවකට ජලය ගලායෑම පාලනය කළ හැකි අතර, ඕනෑම අවස්ථාවකදී, යම් කොටසක් ක්‍රියා විරහිත කොට, නඩත්තු කළ හැකි වේ. ජලය පිරිසිදු කරන බලාගාරවලින්, උමඟට ජලය යවනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ බලය උපයෝගි කරගනිමිනි; ඉන්පසුව, දැනටමත් පිහිටුවා තිබෙන ප්‍රාදේශීය ප්‍රධාන නළ සැපයුම් ඒකකවලට හෝ ජලය රැස් කර තබන ජලාශවලට කෙළින්ම පොම්ප කරනු ලැබේ.
බ්‍රිතාන්‍යයේ ඇති දිගම උමඟ එපමණ ගැඹුරක දැමීම අවශ්‍ය වූයේ ඇයි? දුම්රිය මාර්ග දොළහක් ලන්ඩනයේ පොළොව යටින් දිවෙන නිසාත්, තවත් පොදු සේවාවන් රාශියක් එලෙසම පිහිටා තිබෙන නිසාත්, උමඟ යැවීමට මේ සියල්ලම මඟහැරිය යුතු වූ බැවිනි. මුල් මිනුම්වලදී අතපසු වී ගිය, ගොඩනැඟිල්ලක ගැඹුරට වළලා තිබූ කණු අත්තිවාරම්, ඉන්ජිනේරුවන් විසින් සොයාගත් විට වැඩය මාස දහයකට වඩා ප්‍රමාද විය.
ඉදි කිරීම් කටයුතු අදියරවලට බෙදා තිබිණ. ලන්ඩන් ප්‍රදේශය හාරන විට විශාල ගැටලු අපේක්ෂා නොකළත්, කැණීමට යොදාගත් පළමු ස්ථානය වන තේම්ස් නදියට දකුණින් පිහිටි ටූටිං බෙක් ප්‍රදේශය හාරන විට උමඟ කැණීම අවුරුද්දක පමණ කාලයකට නවතන්ට සිදු විය. එහිදී උමං කණින්නන්ට අධි පීඩන ජල ස්කන්ධයක් ගලා යන වැලි තට්ටුවක් හසු වූ අතර, අවසානයේදී එය කණින ආයුධය සම්පූර්ණයෙන්ම යට කර වසා දමන්ට විය. මෙම දුෂ්කරතාව මැඩීමට, හෑරූ වළවල් තුළින් සෙල්සියස් අංශක ඍණ 28ක උෂ්ණත්වයක් යටතේ අතික්ෂාර ද්‍රාවණයක් යවා පොළොව ඝනීකරණය කිරීමට කොන්ත්‍රාත්කරුවෝ තීරණය කළහ. ඒ අසළින් තවත් අගලක් හෑරීමෙන් අයිස් කුට්ටිය හරහා හෑරීමටත්, හාරන යන්ත්‍රය නිදහස් කිරීමටත්, වැඩය යළි ඇරඹීමටත් ඔවුහු සමත් වූහ.
මෙම අද්දැකීම හේතුවෙන්, උමං ඇතුල් පැත්තේ කොන්ක්‍රීට්වලින් තැවරීම යන නව පිළිවෙළක් ගැන සිතන්ට ඉන්ජිනේරුවන්ට සැලැස්වීය. පස ශක්තිමත් නොවූ නිසා, ඊට ගැළපෙන කණින යන්ත්‍රයක් අවශ්‍ය බවද ප්රත්යක්ෂ විය. මීට පිළිතුර, කැනේඩියානු පීඩනය සමබරව රකින යන්ත්‍රයක් විය. ඒවා තුනක් මිල දී ගනු ලැබූ අතර, ප්‍රතිඵලයක් වශයෙන් කැණීමේ වේගය දෙගුණයක් වෙමින්, එය මසකට කිලෝමීටර් 1.5ක් බවට පත් විය.
පරිගණක ආධාරයෙන් ඉදි කිරීම
අගල් කැපිය යුතු සුදුසු ස්ථාන නිශ්චය කරගැනීම සඳහා දෘෂ්ටි රේඛා මිනුම් ලබාගැනීමට, ගොඩනැඟිලිවල වහලවල සිට, පාරම්පරික මිනින්දෝරු උපකරණවලින් මිනුම් කරන ලදි; එමෙන්ම ඉන් ලද ප්‍රතිඵල ඉලෙක්ට්‍රෝනිකව පරීක්ෂා කරනු ලැබීය. මෙම පියවර මුල් අදියරේදී ප්‍රමාණවත් වුවත්, උමං වැඩ ආරම්භ වූ විට පොළොව යට මිනුම් හරියටම තබාගත හැකි වන්නේ කෙසේද?
මෙහිදී, සමස්ත ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) මගින් නවීන තාක්ෂණය වැඩ භාරගත්තේය. මෙම මිනුම් උපකරණය, පෘථිවිය වටා කක්ෂගත GPS අහස් නැවක් හා සම්බන්ධව පවතින චන්ද්‍රිකා තොරතුරු ලබාගැනීමේ උපකරණයකින් සමන්විතය. කක්ෂගත චන්ද්‍රිකා ගණනාවකින් පැමිණෙන සංඥා සසඳන්ට මෙම උපකරණයට හැකියාවක් තිබිණ. මෙම මිනුම්, පරිගණක මාර්ගයෙන් සම්බන්ධීකරණය කළ විගස, අගල් 21ම හා පොළොව තුළට විදින ලක්ෂයන් 580ම පිහිටුවා තිබෙන ස්ථාන ඕඩ්නන්ස් මැනුම් සිතියමක නිසි ස්ථානවල දක්වනු ලැබීය. මෙම තොරතුරුවලින් සන්නද්ධව, උමං කනින්නෝ නියත ලෙස මඟ පෙන්වීම ලදහ.
පරිගණක පාලනය
පාරිභෝජකයන් මිලියන හයකගේ ජල අවශ්‍යතා පිරිමසාලීම පහසු වැඩක් නොවේ. ඉල්ලුම ඍතුවෙන් ඍතුවට නොව, නමුත් දිනෙන් දින අඩු වැඩි විය හැක. නිවැරදි ජල පීඩනය හා ගුණය හැම අවස්ථාවකදීම පවත්වනු ලබනවාද යන්න නිශ්චය කිරීමට, පැය 24 පුරාම පරීක්ෂා කිරීම අවශ්‍ය කෙරේ. මෙම අත්‍යවශ්‍ය සම්බන්ධීකරණය කිරීමට හැකි වන්නේ කෙසේද? එය හැකි වන්නේ එ.ජ. ඩොලර් මිලියන 5ක් වැය වූ පරිගණක පාලන පද්ධතියකිනි.
සෑම අගල් පොම්පයක්ම පාලනය වූයේ එක එක පරිගණක යන්ත්‍රයක් තුළින් වූ අතර, වියදම අඩු කරගැනීම සඳහා අධික පරිභෝජනයෙන් තොර වෙලාවට විදුලිය භාවිත කරනු ලැබේ. ලන්ඩනයේ බටහිර දෙසින් පිහිටි හැම්ප්ටන්හි ඇති ප්‍රධාන පරිගණක තුළින් මුළු පරිගණක ජාලයම පාලනය කෙරේ. එම පරිගණක දත්ත රැස් කරනු ලබන්නේ, උමංවල තිබෙන නළවලට සවි කර තිබෙන තන්තු-ප්‍රකාශ කඹවලිනි; තවද ඒවා යවන්නේ අවෘත-පරිපථ රූපවාහිනී කැමරා මාර්ගයෙනි.
ජලයේ තත්වය දිනපතා, සතිපතා, මාස්පතා පරීක්ෂා කරනු ලැබේ. ද ටයිම්ස් පුවත්පත පැහැදිලි කරන පරිදි, “ජලයේ තත්වය මැනීම සඳහා මූලධාතු 120ක් වෙනුවෙන් අනිවාර්ය පරීක්ෂණ 60ක් තිබේ. නයිට්රේට්, කුඩා මූලධාතු, කෘමිනාශක සහ ජලයේ දියවිය හැකි වෙනත් රසායනික ද්‍රව්‍ය විග්රහ කර බැලීම ඊට ඇතුළත්ය.” මෙම මිනුම් දැන් ස්වයංක්‍රීය කර, අර්ථ දැක්වීම සඳහා හා අවශ්‍යතාව අනුව ගත යුතු ක්‍රියාමාර්ගය දැක්වීම සඳහා පරිගණක මූලස්ථානයට යවනු ලැබේ. ජලයේ තත්වය තක්සේරු කිරීමට, විටින් විට, ජලයේ රස බලන සේවකයන්වද උපයෝගි කරගනු ලැබේ.
ඉදිරිය ගැන සිතීම
නවීන ඉන්ජිනේරු ක්ෂේත්රයේ මෙම පුදුමය, මහා ලන්ඩනයේ වර්ග කිලෝමීටර් 1500ක් පුරා විසිරී සිටින ජනගහනයකට, පානීය ජලය දිනපතා ලීටර් මිලියන 583ක් දැනටමත් සපයමින් සිටී. එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන විටදී දැනට පවතින ඉල්ලුමෙන් සියයට 50ක් ඉටු කරන අතර, අනිකුත් සැපයුම්වලට පීඩනයක් නොවනු ඇත.
මෙයත් ප්‍රමාණවත් නොවනු ඇත. එමනිසා, ඊළඟ සියවසේ මුල් කාලයේදී මෙම වළලාකාර නළ පද්ධතිය තව කිලෝමීටර් 60කින් දික් කිරීමට දැන් සැලසුම් කරගෙන යනු ලැබේ. ඇත්තෙන්ම, ඉතා දුෂ්කර ගැටලුවකට දක්ෂ ලෙස යෙදූ විසඳුමකි එය.
[15වන පිටුවේ රූප සටහන]
ලන්ඩනය යටින් යන හරස්කඩකි, අනිකුත් උමං සේවා යටින් ගමන් කරන ප්‍රධාන ජලනළය
ද
නව ප්‍රධාන ජලනළ සහ අගල්
තේම්ස් නදිය
පොළොව යටින් යන උමං දුම්රිය මාර්ග
උ
[හිමිකම් විස්තර]
Thames Water යන්නෙන් ලබාගත් ඡායාරූපයක් මත පදනම්ව තිබේ
[16වන පිටුවේ පින්තූරය]
ප්‍රධාන නළ උමං යන්ත්‍රය
[හිමිකම් විස්තර]
ඡායාරූපය: Thames Water
[17වන පිටුවේ පින්තූරය]
ප්‍රධාන නළ ඉදි කිරීම් වැඩ
[හිමිකම් විස්තර]
ඡායාරූපය: Thames Water