රබර් කිරි කැපීම—ඔබේ ජීවිතයට බලපාන රැකියාවක්
නයිජීරියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
හිමිදිරි උදෑසන පහට, නයිජීරියානු වැහි වනාන්තරය අඳුරු මෙන්ම සිසිල්ය. වන පෙත මැද පිහිටි කටු මැටි ගෙයක වෙසෙන ජෝන්, නින්දෙන් අවදි වී තම ඇඳුම් ලාගනියි. අනතුරුව ඔහු ලන්තෑරුමක්ද, ප්ලාස්ටික් බාල්දියක්ද, වක් තලයක් සහිත කොට පිහියක්ද රැගෙන අන්ධකාරය වෙතට සක්මන් කරයි. ඊළඟ පැය හතරේදී, ඔහු වනාන්තරයේ ගහින් ගහට ගොස්, සෑම ගසකම පොත්තේ ඇල අතට පීල්ලක් බඳු හීන් කැපුමක් කරයි.
අවසානයේදී, ඔබේ ජීවිතයට බලපෑ හැකි සිදුවීම් ගණනාවක මුල මෙය විය හැකිය. ඒ කෙසේද? මන්ද ජෝන් කපන ගස් රබර් ගස් වන බැවිනි. පැන්සල් පහරවල් මැකීමට (ඉංග්‍රීසියෙන් රබ්) තිබෙන හැකියාව නිසා එම ඉංග්‍රීසි නම ලැබූ රබර්, අපට ඇති ඉතාමත්ම වටිනා මෙන්ම පුළුල් ලෙස භාවිත කරනු ලබන සම්පත්වලින් එකකි.
නිෂ්පාදනයන් දහස් ගණනක්
ඔබේ ජීවිතය තුළ රබර්වල වැඩ කොටස ගැන නිකම් කල්පනා කර බලන්න. ඔබේ සපත්තුවල අඩි රබර්වලින් සෑදී තිබිය හැකිය. ඔබේ බුමුතුරුණයේ යටිපැත්තෙහි සහ ගෘහභාණ්ඩවලද මෘදු රබර් තිබිය හැකිය. ඔබේ ඇඳුම්වල ඉලාස්ටික් සමහරවිට රබර්වලින් විය හැකිය. වහින විට, ඔබ රබර්වලින් සාදන ලද වැහි කබායක් සහ උස් සපත්තු පැළඳිය හැකිය. පිහිනන්ට යනවාද? පිහිනීමට අඳින ඇඳුම්, කණ්ණාඩි සහ සපත්තුවල රබර් අඩංගු වෙයි. ඔබට පිහිනීමට වුවමනාවක් නැද්ද? සමහරවිට ඔබ රබර් පහුරක පාවෙන්න හෝ මුහුදු වෙරළේ සෙල්ලම් කිරීමට ගන්නා රබර් බෝලයක් සමඟ සෙල්ලම් කිරීමට කැමති විය හැකිය. ඔබේ නිවස තුළ තැනින් තැන රබර් පටි, රබර් මකන කැබලි සහ රබර්වලින් සාදාගත් අලවන ද්‍රව්‍ය තිබිය හැකිය. ඔබ අද රෑට නිදාගන්න විට, රබර් නිෂ්පාදන ද්‍රව්‍යවලින් සාදාගත් මෙට්ටයක් සහ කොට්ටයක් මත ඔබ හාන්සි විය හැකිය. ඔබට සීතල දැනේ නම්, රබර්වලින් සාදාගත් උණු දිය බෝතලයක් ඔබට තුරුලු කර තබාගත හැකිය.
ඒ සියල්ල හැරුණු විට, රබර් කොටස් නොමැතිව අනිවාර්යයෙන්ම නිසි සේ ක්‍රියාත්මක නොවන නිෂ්පාදන ද්‍රව්‍ය බොහොමයක් තිබේ—එනම් වොෂර්, බඳ පටි, ගෑස්කට්, රබර් නළ, රෝලර් හෝ වෑල්ව් යනාදියයි. නිදසුනක් හැටියට, සාමාන්‍ය කාර් රථයකට රබර් කොටස් 600ක් පමණ තිබේ. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාට අනුව, මුළුමනින්ම ගත් කල, රබර් නිෂ්පාදන 40,000ත් 50,000ත් අතර ප්‍රමාණයක් නිපදවනු ලැබේ.
රබර් මෙතරම් ප්‍රයෝජනවත් කරවන්නේ කුමක්ද? දිගුකල් පැවැත්ම, තාප-රෝධක වීම, ඇදෙනසුලු ගතිය, ජල-රෝධක වීම, වායු-රෝධක වීම සහ කම්පනය වැළැක්වීම එහි ගුණාංග අතර වේ. බයිසිකලයකට හෝ මෝටර් රථයකට හෝ ගුවන් යානයකට හෝ වේවා, තනා ඇති ටයරයක් සලකා බලන්න. එය රබර්වලින් තනා තිබෙන හෙයින්, පාරට නිතරම ගෑවුණත් ටයරයක් පහසුවෙන් ගෙවී යන්නේ නැති අතර, අඛණ්ඩ ඝර්ෂණය හේතුවෙන් එය පිච්චෙන්නේවත් නැත. මඩ කඩිති හරහා ගමන් කරන විට ඔබේ ටයරය තෙමී නරක් වෙයි කියා ඔබට බියවීමට අවශ්‍යතාවක්ද නැත; එය මලකඩ කන්නෙත් නැත. රබර් මගින් ටයර් එක තුළට ජලය ඇතුල්වීම වළක්වනු ලබනවා පමණක් නොව, ඇතුලේ තිබෙන පීඩනයට ලක්ව ඇති වාතය පිටවීමෙන්ද එය වළක්වයි. තවද, ඔබ ගමන් කරන විට, කම්පනය දරාගැනීමට හැකි ස්වභාවය ඔබේ ටයර්වල තිබීමේ හේතුවෙන් පාරේ වළවල් නිසා ඇති වන කම්පනයන් කිසිවක් නොදැනෙන්ට සලස්වයි. ඇත්තෙන්ම, රබර් නොමැති නම්, ටයර් එකක් නිපදවීමට නිෂ්පාදකයන්ට ඉතා අපහසු වනු ඇත.
එමනිසා, ජෝන් වැනි රබර් කිරි කපන අය, අපගේ ජීවිතවලට ඒකාන්ත අයුරකින් බලපාන අගනා සේවයක් ඉටු කරන බවට ඔබ එකඟ වනවා විය හැක. ඇත්තෙන්ම සියලුම රබර්, ගස්වලින් නොපැමිණෙයි. රසායන ද්‍රව්‍යවලින් නිපදවනු ලබන කෘත්‍රිම රබර්, එම කර්මාන්තයේ විශාල කොටසක් දරයි. මෙම දෙයාකාරයේම රබර්වලට ඒවායේ ශක්තිමත් හා දුර්වල පැති තිබේ. බොහෝ නිෂ්පාදනවලට ඒ දෙකින් එකක් භාවිත කළ හැකි අතර, පවත්නා මිලට අනුව එම තේරීම කරනු ලැබේ. වෙනත් නිෂ්පාදනවලට කෘත්‍රිම මෙන්ම ස්වාභාවික රබර්වල මිශ්‍රණයක් භාවිත කෙරේ. මෝටර් රථ බොහොමයක ටයර්වල, ස්වාභාවික රබර්වලට වඩා කෘත්‍රිම රබර් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. කෙසේවෙතත්, කෘත්‍රිම රබර් වර්ගය තාපයට එතරම් හොඳින් ඔරොත්තු නොදෙන නිසා, රේසිං කාර්වල, ට්රක්වල, බස්වල සහ ගුවන් යානාවල ටයර්වලට ස්වාභාවික රබර් වැඩි ප්‍රමාණයක් භාවිත කෙරේ.
ගසෙන් කිරි කැපීම
සමකයට ආසන්න, උණුසුම් තෙත් දේශගුණයක රබර් ගස් හොඳින් වැඩේ. ලෝකයේ තිබෙන ස්වාභාවික රබර්වලින් වැඩිහරියක් ලැබෙන්නේ අග්නිදිග ආසියාවෙන්, විශේෂයෙන්ම මලයාසියාව සහ ඉන්දුනීසියාවෙනි. ඉතිරි කොටස ලැබෙන්නේ දකුණු අමෙරිකාවෙන් හා බටහිර මෙන්ම මධ්‍යම අප්‍රිකාවෙනි.
ගසකට අවුරුදු හයක් යන තුරු ජෝන් ඉන් කිරි කපන්නේ නැත. ඉන්පසුව, ඊළඟ වසර 25 සිට 30ක් දක්වා එම ගසෙන් රබර් ලබාගත හැකි අතර, එය මීටර් 20ක පමණ උසකට වැඩෙයි. රබර් ගස කිරි නිෂ්පාදනයෙන් “විශ්‍රාම” ගියායින් පසුව පවා, මීටර් 40ක් පමණ උසකට දිගටම වර්ධනය වීමට එයට හැකි අතර, අවුරුදු 100ක් හෝ ඊටත් වැඩි කලක් එයට ජීවත් විය හැකිය.
රබර් ගසෙන් රබර් ලබාගත් විගස, එය මෝටර් රථයක ටයරයකට වඩා කිරිවලට සමාන වේ. ලේටෙක්ස් යනුවෙන් හඳුන්වනු ලබන කිරට හුරු මෙම ද්‍රව්‍යයේ, ඉතා කුඩා රබර් අංශු අඩංගු වෙයි. ලේටෙක්ස්වලින් සියයට 35ක් පමණ රබර් වේ. ඉතිරි කොටසෙන් වැඩිහරියක් ජලයයි.
ගසෙන් කිරි කැපීම සඳහා, ජෝන් පොත්තේ ඇල කැපුමක් සිදු කරයි. මෙම කැපුම ගහේ කඳ වටා කඳෙන් අඩක් දක්වා දුරකට යයි. ගසට හානියක් සිදු විය හැකි බැවින්, එය වුවමනාවට වඩා වැඩියෙන් ගැඹුරට කැපීමෙන් වැළකීමට ඔහු වගබලා ගනියි. කැපුම සිදු කළ විගස කිරි ගලා ඒමට පටන්ගනියි; කැපුම් පාර දිගේ එය බිංදු බිංදු වශයෙන් ගලා ඇවිත්, ජෝන් විසින් ගසට සවි කර තිබෙන උණ බම්බුවෙන් සාදාගත් කෝප්පයක එකතු වෙයි. මෙසේ පැය දෙකකට හෝ තුනකට ගැලීම සිදු වී, නතර වෙයි.
ජෝන් දවසකට හෝ දෙකකට පසුව නැවතත් ගසෙන් කිරි කපන විට, ඔහු කලින් කළ කැපුමට මදක් පහළින් තවත් කැපුමක් සිදු කරයි. ඊළඟ වතාවේදී ඔහු ඒකටත් පහළින් කපයි. අවසානයේදී ගසේ පොත්තේ හතරැස් කොටසක් මෙසේ කපා ඉවත් කරනු ලැබේ. දැන් ජෝන් ගසේ වෙනත් කොටසකින් කිරි කැපීමට පටන්ගනියි. මෙසේ අනාගතයේදී නැවතත් කිරි කැපීමට හැකිවීම සඳහා එම හතරැස් කොටසට මුළුමනින්ම සුවවීමට කාලය දෙනු ලැබේ.
නිසංසල වනය හරහා තනියෙන් ගමන් කර, ගස්වල කිරි වෑහෙන්ට සලස්වන ජෝන් කඩිසර ලෙස වැඩ කරයි. පසුව, ඔහු නැවතත් එක් එක් ගස ළඟට ගොස් එකතු වී තිබෙන කිරි ටික ඔහුගේ බාල්දියට එක්කාසු කරයි. ඊළඟට ජෝන් එම කිරට ෆෝමික් අම්ලය හා ජලය එකතු කරයි. මෙමගින් එය ඝන වී, විනාකිරි යෙදූ විට කිරි කැටි ගැහෙන පරිදි කැටි ගැහෙයි. ඉන්පසුව ජෝන් එම කිරි බාල්දිය තම හිස මත තබාගෙන මහමාර්ගය වෙතට යයි. ළඟක පිහිටි රබර් පදම් කරන කර්මාන්ත ශාලාවෙන් පැමිණෙන ට්‍රක් රථයකින් එය එකතු කරගනු ලැබේ.
දැන් නාගැනීමට, කෑම ගැනීමට සහ විවේක ගැනීමට ජෝන් නිවස වෙතට හැරී එයි. ඔහු සවසට නැවත වතාවක් තම නිවසින් පිට වී යන විට, පිළිවෙළකට ඇඳ පැළඳ තම අතේ බ්‍රීෆ්කේස් එකක් ඇතුව සිටියි. මෙවර ඔහු යන්නේ ගහෙන් ගහට නොව, නමුත් ගෙයින් ගෙයටයි. ස්ථාවර පුරෝගාමී දේවසේවකයෙකු වන ජෝන්, දේශනා කිරීමේ හා ගෝලයන්-සෑදීමේ වැඩයෙහි පූර්ණ ලෙස සහභාගි වෙයි.
ජෝන් එම දවසේ තමාගේ ප්‍රථම බයිබල් පාඩම පවත්වන අතරතුර, ඔහු එක්රැස් කළ රබර් කිරි, රබර් පදම් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත ළඟා වන්ට ඇත. එහිදී, රබර් ජලයෙන් වෙන් කරනු ලැබ, වේළා, තද කොට මිටි බැඳ නැව්ගත කිරීමට සූදානම් කරනු ලැබේ. වැඩි කලක් යන්ට මත්තෙන් එය එංගලන්තය, ජපානය හෝ එක්සත් ජනපදය බලා පිටත් කරනු ලැබේ. ලොව පුරා පිහිටි ස්වාභාවික රබර් කර්මාන්තය සෑම වසරකම රබර් ටොන් මිලියන පහකට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. මෙය විය හැකි දෙයක් මෙන් පෙනෙන්ට නොතිබුණත්, ඔබගේ ඊළඟ සපත්තු කුට්ටමේ අඩියේ අඩංගු වන රබර්, ජෝන් කිරි කැපූ ගසකින් විය හැකියි.
[18වන පිටුවේ පින්තූරය]
රබර් ගස්වල කිරි කැපීමේ යෙදී සිටින ජෝන්
[20වන පිටුවේ පින්තූරය]
ජෝන් ක්‍රිස්තියානි දේවසේවයේ හවුල් වෙයි