කරඹන ලද්දෝ ආගමේ නාමයෙන් ලිංගේන්ද්‍රියන් කප්පාදු කිරීම
කරඹන ලද්දෝ—ඔවුහු පුරුෂ ශරීරයක බලය ඇති මුත් පිරිමි ළමයෙකුගේ කටහඬකින් යුත් ගායකයෝ වූහ. කරඹන ලද්දවුන්ගේ යුගය ඇත්තෙන්ම කනගාටුදායක එකක් විය. ඔවුහු කවරහුද? පිළිතුර කම්පිත කරවන ක්‍රියාවලියක් හා සම්බන්ධ වේ—එනම් ආගමේ නාමයෙන් ලිංගේන්ද්‍රියන් කප්පාදු කිරීම.
නපුංසකයන් ලෙස උපත ලැබිය හැක, එහෙත් බොහෝදෙනෙකුව එසේ කරනු ලබන්නේ මිනිසුන් විසින්මය. දේහ ලක්ෂණයෙන් සහ උසමහතින් ඔවුහු පුරුෂයෝය, එහෙත් ඔවුන්ට ප්‍රජනන හැකියාව නොමැත. ඔවුන්ගේ කායික වර්ධනයේ යම් අවදියකදී, නැතහොත් ජීවිතයේ පසු කලකදී පවා, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, ඔවුන්ව කරඹවා තිබේ.
මේ ආකාරයට තමන්වම හෝ වෙනත් පුරුෂයන්ව කප්පාදු කිරීමට පුරුෂයන් තෝරාගනු ඇත්තේ මන්ද? බොහෝවිට, ඔවුන් එසේ කර තිබෙන්නේ ආගමේ නාමයෙනි.
පුරාණ ඉතිහාසයේ නපුංසකයෝ
වසර දහස් ගණනකට පෙර, අෂූරිවරු කර ඇඹීම දඬුවමක් වශයෙන් උපයෝගී කරගත්හ. ඊජිප්තුවේ එය කාමමිථ්‍යාචාරය සඳහා දණ්ඩනය විය. දැන් නෙදර්ලන්තයේ කොටසක් වන, පුරාණ ෆ්රයිස්ලන්තයේ දේවමාළිගාවෙන් සොරකම් කරමින් සිටි සොරෙකුව හසු වූ විට, ඔහුව මරණයට පත් කිරීමට පෙර කර අඹනු ලැබීය.
පොදු යුගයේ පළමු ශතවර්ෂයේ රෝමයේ ඩොමීෂියන් සහ නෙර්වා යන අධිරාජ්‍යවරුන්ගේ පාලන සමය තුළදී කර ඇඹීම තහනම් කළ මුත්, අධිරාජ්‍යය පිරිහීමට පත් වන වසරවලදී එය නැවතත් පිහිටුවන ලදි. නවවන ශතවර්ෂයේදී, එංගලන්තයේ රජු වූ මහා ඇල්ෆ්‍රඩ් විසින් පනවන ලද නීතිවලට අනුව, සේවිකාවක් දූෂණය කළ සේවකයෙකුට මෙයාකාරයෙන් දඬුවම් කිරීම අවශ්‍ය කරවීය.
නපුංසකයෝ ආගමික චාරිත්රවිධිවලද ප්රමුඛ ස්ථානයක් දැරූහ. එපීස නගරයේ අර්තේමිස් දේවතාවියට නපුංසකයෝ මෙන්ම කන්‍යාවෝද සේවය කළෝය. හියරපොලිසෙහි සිරියානු අස්ටාර්ටේට ගරු කිරීමේ වියරු වැටුණු උත්සවවලදී පුරුෂයෝ තමුන්වම කරඹවා ගත්තෝය, ඉන්පසු තම ජීවිතාන්තය දක්වා කාන්තා ඇඳුම් ඇඳ ගත්තෝය.
“තමාවම කරඹවා ගන්නෙකු හෝ යමෙකුට එසේ කරන කෙනෙකු මගේ අනුගාමිකයන්ට අයිති නොවේ,” යනුවෙන් මහම්මද් ප්‍රකාශ කළේය. කෙසේවෙතත්, මෙම තහනම තිබියදීත්, මුස්ලිම් රටවල අන්තඃපුරවල සහ ශුද්ධස්ථානවල ආරක්ෂකයන් සඳහා නපුංසකයන්ව ඉතා අගේ කොට සලකන ලදි. ප්‍රතිඵලයක් ලෙස, මෙය වහල් ව්‍යාපාරයට අනුබල දෙන ලදි. සූඩානයේ සහ අසල්වැසි උතුරු අප්‍රිකානු රටවලින් ගෙනෙනු ලැබූ යෞවනයෝ වහල් ව්‍යාපාරිකයන්ට අතිවිශාල ලාභයක් උපයා දුන්නෝය.
දහනවවන ශතවර්ෂයේ මුල්භාගයේදී, යොහාන් එල්. බර්ක්හාර්ට් ඊජිප්තුවේ දකුණු දෙස බලන්ට ගියේය, එහිදී වහලුන් ලෙස විකුණන පිණිස සූදානම් කරනු ලැබූ කරඹන ලද පිරිමි ළමයින් ඔහු දුටුවේය. මෙම ශල්‍ය කර්මයන් සිදු කරන ලද්දේ වයස අවුරුදු 8ත් 12ත් අතර පිරිමි දරුවන්ටය. කාරකයෝ වූයේ කොප්ටික පල්ලියේ පැවිද්දන් දෙදෙනෙකි. “ඔවුන්ගේ වෘත්තිය අපහසාත්මකව සලකන ලදි,” යනුවෙන් බර්ක්හාර්ට් අදහස් ප්‍රකාශ කළේය.
මෙය මෙම ප්රශ්නය මතු කරයි, එනම්, මෙම ක්‍රියාවලියේ ක්‍රිස්තියානි ලෝකය කෙතරම් දුරකට සම්බන්ධ වී තිබේද සහ කුමන හේතු මතද?
ක්‍රිස්තියානි ලෝකය තුළ නපුංසකයෝ
හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි තීරු හයකට පිළියෙළ කළ හෙක්සාප්ලා අනුවාද සඳහා සුප්‍රකට වූ ඔරිගන්—පොදු යුගයේ 185දී පමණ උපත ලැබීය. වයස අවුරුදු 18 වන විට, එවිටමත් තම ක්‍රිස්තියානි ධර්ම දේශනා සඳහා ඔහු හොඳින් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. එහෙත්, ස්ත්‍රීන් අතරේ තම ප්‍රසිද්ධිය වරදවා තේරුම් නොගන්නා පිණිස ඔහු සැලකිලිමත් වූයේය. එනිසා, “ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ” යන යේසුස්වහන්සේගේ වචන පදගතාර්ථයෙන්ම තේරුම්ගෙන ඔහු ඔහුවම කරඹවා ගත්තේය. (මතෙව් 19:12)a එය පසු කාලයේදී ඔහුව අතිශයින් කනගාටුවට පත් කළ නොමේරූ, ආවේගී ක්‍රියාවකි.
උනන්දුව දනවන කරුණක් වනුයේ, පොදු යුගයේ 325වන වසරේ නීසියා මන්ත්‍රණ සභාවේ මුල්ම දේවගැති පනත, තමන්වම කරඹවා ගත් පුරුෂයන්ව පූජක තන්ත්රයෙන් පැහැදිලිවම ඉවත් කිරීමයි. ආචාර්ය. ජේ. ඩබ්. සී. වෑන්ඩ් මෙම අධිෂ්ඨානය සම්බන්ධව මෙසේ පවසයි: “මේ සම්බන්ධයෙන් ඔරිගන්ගේ ආදර්ශය අනුගමනය කරමින් සමහරුන් කැමැත්තෙන්ම තමන්ව නපුංසකයන් කරගන්ට ඇත . . . , තවද බොහෝ සෙයින් සමහර මිථ්‍යා ආගම්වල භක්තිකයන්ට අවේනික වූ චාරිත්‍රයක් අනුගමනය කිරීමට ක්‍රිස්තියානීන්ට දිරිගන්වනු නොලැබීම අත්‍යවශ්‍ය විය.”
එවන් වැදගත් තීරණයක් ගැනීමෙන්, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයෝ කර ඇඹීම නම් වූ පිළිකුල්සහගත ප්රශ්නය සදහටම තහනම් කර දැමීමට වෙර දැරූහ. අප බලන්ට යන පරිදි, සිදු වූයේ ඊට පටහැනි දෙයයි. ප්‍රථමයෙන්, මතු සඳහන් වන සුප්‍රසිද්ධ කතන්දරය සලකා බලන්න.
වර්ෂ 1118දී, දර්ශනවාදියෙකු සහ දේවධර්ම ශාස්ත්‍ර ශිෂ්‍යයෙකුද වූ පීටර් ඇබලාර්ඩ්, තමා පෞද්ගලිකව උගන්වමින් සිටි යෞවන ගැහැණු ළමයෙකු වන හෙලොයිස් සමඟ පෙමින් බැඳුණේය. ඇබලාර්ඩ් තවමත් පූජක පත්වීම නොලැබ සිටි අතර, බ්‍රහ්මචර්යා පොරොන්දුව යටතේ නොසිටි බැවින් ඔවුහු රහසිගතව විවාහ වූ අතර පුත්රයෙකුද ලැබුවෝය. එහෙත් පැරීසියේ රෝමානු කතෝලික ආසන දෙව්මැදුරේ දේවගැතිවරයෙකු වූ ඇගේ මාමා වන ෆියුල්බර්ට හෙලොයිස්ව දූෂණය කර තිබූ බව හැඟුණ බැවින්, ඇබලාර්ඩ්ව බලහත්කාරයෙන් කර ඇඹවීමට සැලැස්වූයේය. එවන් උසස් පෙළේ පල්ලි නිලධාරියෙකු විසින් කරන ලද මෙම ම්ලේච්ඡ ක්රියාවේ ප්‍රතිඵලයක් වශයෙන්, ඊට සම්බන්ධ වූ වැරදිකරුවන් දෙදෙනෙකු සමානාකාරයෙන් දඬුවම් ලැබීමට මඟ පෑදීය.
මෙලෙස කර ඇඹීම ඇතැම් අවස්ථාවන්හිදී දඬුවමක් ලෙස පිළිගත හැකිව තිබිණ. කෙසේවෙතත්, පල්ලියේ ගායනා කිරීම හේතුකොටගෙන, මෙම අදේවවාදී ක්‍රියාවලියට විගසින්ම රෝමානු කතෝලික සභාවෙන් අනුබලය ලැබෙන්ට විය.
පල්ලියේ ගීතිකා කණ්ඩායම්
නැඟෙනහිර ඔර්තඩොක්ස් සහ රෝමානු කතෝලික වත් පිළිවෙත් තුළ ගායනය වැදගත් භූමිකාවක් ඉටු කර ඇත, තවද පල්ලියේ ගීතිකා කණ්ඩායමට මූලිකවම අනුබලය ලැබෙන්නේ, අතිතාර ස්වරයෙන් යුත් පිරිමි ළමුන්ගෙන්ය. එසේවුවත්, පිරිමි ළමයෙකුගේ කටහඬ යෞවන වයසේ මුල් කාලයේදීම වෙනස් වේ. එය ඇතුළත්ව ගීතිකා කණ්ඩායමේ නිරතුරුවම ඇති වන මෙම වෙනස් වීම සහ ඊට ඇතුළත් වූ පුහුණුව පල්ලියට මඟහැරිය හැක්කේ කෙසේද? අස්වාභාවික, මදක් අමිහිරි උස් ස්වරයකින් යුත් හඬක් බොහෝවිට යොදවාගත් බව සැබෑවක් වුවත්, මෙය අතිතාර ස්වරයකින් යුත් පිරිමි ළමයා වෙනුවට පිළිගත හැකි ප්‍රතිස්ථාපනය කිරීමක් නොවීය.b
විකල්පයක් ලෙස අතිතාර ස්වර ගායිකාවන් යොදාගත හැකි බව පැහැදිලිව පෙනෙන්ට තිබුණත්, පුරාණ කාලයේ සිට ස්ත්‍රීන් පල්ලියේ ගායනා කිරීම පාප් විසින් තහනම් කර තිබිණ. මීට අමතරව, සම්පූර්ණයෙන්ම පුරුෂයන් සඳහා වෙන් කර තිබෙන කාර්යයක් වූ තම පූජකයන්ට සහය වීම සඳහා සමහරවිට පල්ලියේ ගායකයන්ගෙන් ඉල්ලා සිටීම තවත් ගැටලුවක් විය. එමනිසා පල්ලියේ ගායක කණ්ඩායම්වල අඩුව පිරිමසාගැනීමට ස්ත්‍රීන්ව උපයෝගි කරගත නොහැකි විය.
වර්ෂ 1588දී, Vවන සික්ස්ටස් පාප් ඕනෑම ප්‍රසිද්ධ නෘත්‍ය ශාලාවක හෝ ඔපෙරා ශාලාවක වේදිකාව මත ගායනා කිරීමෙන් ස්ත්‍රීන්ව තහනම් කළේය. වසර සියයකට පමණ පසු XIවන ඉනසන්ට් පාප් විසින් මෙම තහනම නැවත පනවන ලදි. “ස්ත්‍රී රඟපෑම අනුමත නොකිරීම සහ ඔවුන්ගේ නම් වේශ්‍යාකම හෝ අනාචාරය සඳහා ඈඳා නොගැනීම, සාන්ත ඔගස්ටින්ගේ දවස්වල සහ ඊටත් පෙර කාලය දක්වා විහිද තිබූ පුරාණ සම්ප්රදායක් විය,” යනුවෙන් පර්යේෂක ඇන්ගස් හෙරීයට් නිරීක්ෂණය කරයි. කෙසේවෙතත්, මෙම දැඩි ස්ථාවරය ගැනීමෙන්, පල්ලිය ඉතා බරපතළ තව ගැටලුවකට මාර්ගයක් විවෘත කළේය—එනම් කර ඇඹීමය!
කරඹන ලද්දෝ කවරහුද සහ ක්‍රිස්තියානි ලෝකය ඔවුන් හා සම්බන්ධ වූයේ කෙසේද?
සංගීතය වෙනුවෙන් කප්පාදු කිරීම
සංගීත ඔපෙරාවලට සහ ප්‍රසිද්ධ නෘත්‍ය ශාලාවලට අතිතාර ස්වර ගායකයන් අවශ්‍ය විය, එමෙන්ම පාප්ගේ ගීතිකා කණ්ඩායමටද ඔවුන් අවශ්‍ය විය. කළ හැක්කේ කුමක්ද? පිරිමි ළමයෙකුව කරඹවා ගතහොත් ඔහුගේ කටහඬ වෙනස් නොවන බව බොහෝ කලක සිට දැනගෙන තිබිණ. ස්වර තන්ත්ර ස්වල්ප වශයෙන් වර්ධනය වන අතර, පපුව සහ ප්‍රාචීරය සාමාන්‍යාකාරයෙන් වර්ධනය වේ. ප්‍රතිඵලයක් ලෙස, කරඹන ලද තැනැත්තාට පුරුෂ ශරීරයක බලයක් තිබෙන මුත්, ඇත්තේ පිරිමි ළමයෙකුගේ කටහඬකි—එනම් එය “දේවදූතයන්ට තිබුණායයි කල්පනා කරන ලද ආකාරයේ හඬකි,” යනුවෙන් ද සීක්රට් ආකයිව්ස් ඔෆ් ද වැටිකන්හි මරියා ලුයිසා ඇම්බ්රෝසිනි අදහස් ප්‍රකාශ කරයි. දරුවෙකුගේ කර අඹනු ලබන වයස වෙනස් කිරීමෙන්ද කටහඬේ ආකාරය යම් තාක් දුරකට පාලනය කිරීමට පුළුවන.
දොළොස්වන ශතවර්ෂයේ පටන් ග්‍රීක පල්ලිය මගින් කරඹන ලද අයව ගීතිකා කණ්ඩායම්වල නියුක්ත කරනු ලැබූ නමුත්, රෝමානු කතෝලික පල්ලිය කුමක් කරාවිද? දැන් එය, කර ඇඹීම වලංගු කර එවන් අයව සේවයේ නියුක්ත කරාවිද?
වර්ෂ 1562දී, පාප්ගේ ගීතිකා කණ්ඩායමට අයත් ගායකයෙකු වූ පැඩ්රේ සොටෝව, අස්වාභාවික කටහඬක් ඇති ගායකයෙකු ලෙස වතිකානු වාර්තාවල ලැයිස්තුගත කර තිබේ. එහෙත් සොටෝ බාලවියේදී කරඹන ලද අයෙකු විය. මෙලෙස අඩු තරමින් 1589ට වසර 27කට පෙර, සාන්ත පේදුරුගේ බැසිලිකාවේ ගායකයන්ට කරඹන ලද අය සිව්දෙනෙකුද ඇතුළත් වන පරිදි, පස්වන සික්ස්ටස් පාප්ගේ ආඥාව යළි සකස් කළ අවස්ථාවේදී, වතිකානුව නීසියා මන්ත්‍රණ සභාවේ අධිකාරය සෙමින් පසෙක දැමුවේය.
වර්ෂ 1599 සිට, වතිකානුව තුළ කරඹන ලද අයගේ පැවැත්ම පිළිගනු ලැබිණ. පල්ලියේ උසස්ම අධිකාරය විසින් විවෘතවම එම ක්‍රියාවලියට අවසර දීමෙන් පසුව, කර ඇඹීම පිළිගත හැකි දෙයක් බවට පත් විය. විශේෂයෙන්ම කරඹන ලද අය සඳහා ශුද්ධ සහ ලෞකික සංගීතය නිබන්ධනය කළ අය අතර ග්ලක් හැන්ඩෙල්, මෙයර්බියර් සහ රොස්සිනි සිටිති.
ප්‍රසිද්ධිය, දෙමව්පියෝ සහ පොදු මතය
කරඹන ලද්දෝ ශීඝ්‍රයෙන් ප්‍රසිද්ධිය ලබාගත්හ. එක් උදාහරණයකට, ඔවුන්ගේ කටහඬේ නම්‍යසුලු හා මිහිරිබව වෙත අටවන ක්ලෙමන්ට් පාප්ගේ (1592-1605) සිත බලවත් සේ ඇදී ගියේය. ඕනෑම කෙනෙකු කර ඇඹීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ බව දැනගන්ට ලැබුණු විට, සභාවේ ආශ්රයෙන් ඉවත් කිරීමට තිබුණද, යෞවන පිරිමි ළමයින්ගේ සංඛ්‍යාව ස්ථිර වශයෙන් වැඩි විය.
“ක්වී සි කැස්ට්රොනෝ රැගැට්සේ (පිරිමි ළමුන්ව මෙහිදී කරඹනු ලැබේ),” යනුවෙන් වෙළඳසැල්වල දැන්වීම් දැමීමට පවසා තිබේ. රෝමයේ එක් බාබර් සාප්පුවක ආඩම්බරයෙන් මෙසේ ප්‍රකාශ කර තිබිණ: “පාප්ගේ පල්ලියේ ගීතිකා කණ්ඩායම් සඳහා ගායකයන්ට මෙහි කර ඇඹීම කරනු ලැබේ.” දහඅටවන ශතවර්ෂය අතරතුර, මෙම අරමුණ සඳහා ඉතාලි ජාතික පිරිමි ළමුන් 4,000ක් පමණ කරඹනු ලබන්ට ඇති බව පැවසේ. එම ක්‍රියාවලියේදී කොපමණ දෙනෙකු මියගියාද යන්න නොදන්නා කරුණකි.
දෙමව්පියන් තම දරුවන්ව මෙලෙස කප්පාදු කිරීමට අවසර දුන්නේ මන්ද? කරඹවා ගත් දරුවන් සාමාන්‍යයෙන් උපත ලැබුවේ දුප්පත් දෙමව්පියන්ටය. පුතෙකු විසින් සංගීතය කෙරෙහි දක්ෂතාවක් පෙන්වන ලද්දේ නම්, සමහරවිට එකහෙළාම සංගීතායතනයකට එවිට ඔහුව විකිණිය හැකි විය. වෙනත් අයව රෝමයේ සාන්ත පේදුරුගේ බැසිලිකාවෙන් සහ ඒ හා සමාන පල්ලි ශාස්ත්රාලයන්ගෙන් පොලඹවා ගන්නා ලදි. බාලවියේදී කරඹන ලද තම දරුවා ප්‍රසිද්ධ වී ඔවුන්ගේ මහලුවියේදී ඔවුන්ට හොඳින් සලකාවියයි සාමාන්‍යයෙන් දෙමව්පියෝ බලාපොරොත්තු වූහ.
කෙසේවෙතත්, බොහෝවිට, පුහුණු කිරීමට හොඳ කටහඬක් පිරිමි ළමයාට නොමැති බව පැහැදිලි වූ විට, එය ඛේදාන්තයක් බවට පත් විය. සමාජයෙන් පිටුවහල් කරනු ලැබූ එවන් අය සහ වෙනත් ඕනෑම කරඹන ලද අයට “පූජකයන් බවට පත්වීමට” සහ දේවමෙහෙයක් පැවැත්වීමට අවසර දෙන ලදි, යනුවෙන් දහඅටවන ශතවර්ෂයේ අවසානභාගයේදී එ පික්චර් ඔෆ් ඉටැලි යන පොත රචිත ජොහැන් විල්හෙල්ම් වොන් ආර්කෙන්හෝල්ට්ස් පැහැදිලි කළේය. මෙය සාන්ත පේදුරුහි මුලින් සිදු වූ අසාමාන්‍ය සිද්ධියට පසුව සිදු විය, එහිදී, පල්ලියේ දේවගැතිවරුන්ගේ ප්‍රමිති කඩ කරමින්, 1599දී රෝමානු කතෝලික පූජකයන් ලෙස කරඹන ලද දෙදෙනෙකුව සහ අනිකුත් අයව පසුවද පිළිගනු ලැබීය.
දහහතරවන බෙනඩික්ට් පාප්ම නීසියා මන්ත්‍රණ සභාවේ තීරණයට එය යොමු කළ අතර, කර ඇඹීම නීති විරෝධී බව පිළිගත්තේය. එහෙත් ඔහු එසේ කළහොත් පල්ලි හිස්වේයයි බිය වූ නිසා, කරඹන ලද කෙනෙකුව තහනම් කළ යුතු බවට ඔහුගේම බිෂොප්වරුන් කළ යෝජනාව 1748දී ඔහු ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කළේය. එසේ කරන ලද්දේ පල්ලියේ ගීතිකාව සඳහා ආකර්ෂණය හා වැදගත්කම එතරම් බලපෑමෙන් යුක්ත වූ බැවිනි. එනිසා ඉතාලියේ පල්ලි ගීතිකා කණ්ඩායම්වල, සාන්ත පේදුරුගේ දෙව්මැදුරේ සහ පාප්ගේම සිස්ටින් පල්ලියේද දිගටම කරඹන ලද ගායකයෝ ගායනා කළෝය.
වර්ෂ 1898 කර ඇඹීමට විරුද්ධව පොදු ජනයාගේ ආකල්පය වෙනස් වෙත්ම, දහතුන්වන ලියෝ පාප් නුවණැතිව වතිකානුවේ සිටි කරඹන ලද්දන්ට විශ්‍රාම දුන් අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ දහවන පයස් පාප්, 1903දී කරඹන ලද අයව පාප් පදවියට අයත් පල්ලියෙන් විධිමත්ව තහනම් කළේය. එහෙත් ඔවුන්ව පල්ලියට හඳුන්වා දුන් පස්වන සික්ස්ටස් පාප්ගේ ආඥාව කිසිදාක විධිමත්ව අවලංගු කර නැත.
අවසාන වෘත්තිමය කරඹන ලද පුද්ගලයා වූ ඇලෙස්සැන්ඩ්‍රෝ මොරෙස්කි, 1922දී මියගියේය. ඔහුගේ ගායනය වර්ෂ 1902දී සහ 1903දී පටිගත කරනු ලැබූ අතර, තවමත් අසන්ට ලැබේ. මෙම පටිගත තැටිවල ඔහුව විස්තර කර තිබෙන්නේ “සොප්රානෝ ඩෙල්ලා කැපෙල්ලා සිස්ටිනා (සිස්ටින් පල්ලියේ අතිතාර ස්වර ගායකයා)” යනුවෙනි. “ප්‍රශ්න කිරීමකින් තොරව අතිතාර ස්වර ගායකයෙකුගේ වූ එම කටහඬ, පිරිමි ළමයෙකුගේ හෝ ස්ත්‍රීයකගේ කටහඬට සමාන නොවේ,” යනුවෙන් සංගීත විවේචක ඩෙස්මන්ඩ් ෂෝ ටේලර් ලියයි.
මෙලෙස කලාව වෙනුවෙන් නිකරුණේ පිරිමි ළමයින් කප්පාදු කිරීම අවසන් විය. “පිළිකුල්සහගත ක්‍රියාවලියකි” යනුවෙන් දි එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා පවසයි, එසේවුවත් එය ශතවර්ෂ ගණනාවක් පුරා රෝමානු කතෝලික පල්ලිය මගින් සුළු කොට සලකන ලද යමකි.
1990 ගණන්වල—කර ඇඹීම?
කරඹන ලද්දෝ තවදුරටත් නොසිටිති. එහෙත් ආගමේ නාමයෙන් කර ඇඹීම අවසන් වූ බව ඉන් අදහස් වේද? කනගාටුදායක ලෙස නැත! ඉන්දියාවේ ආගමික සමාජවල මිලියනයක් පමණ නපුංසකයන් ජීවත්ව සිටින බව දි ඉන්ඩිපෙන්ඩන්ට් මැගසින් වාර්තා කරයි. ඔවුහු කවරහුද? ඔවුහු හිජ්රාවරුය.
ඔවුන් අතර හින්දු ආගමිකයන් බොහෝදෙනෙකු සිටියත්—හිජ්රාවරුන් බොහෝදෙනෙක් උපතින්ම මුස්ලිම් අය වෙත්, එමෙන්ම ඔවුහු සියලුදෙනාම ගුජරාට්හි හින්දු දේවතාවියක වන බරුචිරාස් මාතාට වන්දනා කරති. කරඹවා ගැනීමට බොහෝදෙනෙකු තෝරාගත්තද, සෑම වසරකම දහසක් තරම් ඉන්දියානු පුරුෂයන්ව හිජ්රාවරුන්ට හවුල් කරගැනීම සඳහා කරඹනු ලබන බව ඇතැම්හු කියා සිටිති, ඉන්පසුව ඔවුන්ව වැඩියෙන්ම ඉල්ලුම් කරන ආචාර්යවරුන්ට වෙන්දේසි කරනු ලැබේ.
හිජ්රාවරුන්ව පාලනය කරනු ලබන්නේ ප්‍රධාන පූජක ආචාර්යවරුන් විසිනි, තවද විවිධ හිජ්රා වංශ මගින් නගර, බලප්‍රදේශවලට වෙන් කෙරේ. හිජ්රාවරුන් ජීවත් වන්නේ කෝවිල් අසල හිඟා කෑමෙන් සහ වේශ්යාකමෙනි. පොදුවේ ඔවුන්ව නීච කොට සලකනු ලබන මුත්, අසුභ විජ්ජාවලට හිමිකම් කියන බව සිතන බැවින් ඔවුන් කෙරෙහි බියක් තිබේ. මේ හේතුවෙන් ළදරුවන්ට හා අලුත විවාහ වූ අයට ආශීර්වාද දානය කරගැනීම සඳහා මිනිස්සු ඔවුන්ට ගෙවීම් කරති.
සමහර හිජ්රාවරුන් අතහැර යන බවද පවසා තිබේ. එහෙත් “වාර්තාවලට අනුව කර ඇඹීම පාලනය කරන හිජ්රා මාෆියා රහස්‍යභාවය හා ත්‍රාසයේ වැස්මක් යටතේ එය ක්‍රියාත්මක වේ,” යනුවෙන් ඉන්දියා ටුඩේ වාර්තා කරයි.
අවසානය!
ලෝකය එවන් දුෂ්ට ක්‍රියාවලින් කවදා හෝ නිදහස් වේද? එසේය, මන්දයත්, බයිබලයේ වේශ්‍යාවක් ලෙස හඳුන්වා ඇති “මහා බබිලෝනිය” වන බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ “පව් ස්වර්ගය දක්වා නැ[ඟ]” ඇති බැවිනි. දෙවියන්වහන්සේට අගෞරව කරන එවන් ක්‍රියා සියල්ලක්ම ඉක්මනින්ම විස්මයජනක අවසානයකට පැමිණෙන බව ඉගෙනගැනීම කෙතරම් ඇදහිල්ල ශක්තිමත් කරවන්නක්ද! බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොතේ 18වන පරිච්ඡේදයෙන් මේ සම්බන්ධව ඔබම කියවා නොබලන්නේ මන්ද? විශේෂයෙන්ම 2වන සහ 5වන පද පරීක්ෂා කර බලන්න.
[පාදසටහන්වල]
a යේසුස්වහන්සේගේ වචන සම්බන්ධයෙන්, රෝමානු කතෝලික වෙස්ට්මින්ස්ටර් වර්ෂන් ඔෆ් ද සේක්‍රඩ් ස්ක්‍රිප්චර්ස්හි පාද සටහන: අලුත් ගිවිසුම මෙසේ පැහැදිලි කරයි: “කායික කප්පාදු කිරීම නොව, නමුත් එය ආත්මික ආකාරයෙන් අරමුණකින් හෝ ගිවිසුමකින් වේ.” එපරිද්දෙන්ම, ජෝන් ට්‍රැප්ගේ එ කම්මෙන්ට්ට්රි ඔන් ද නිව් ටෙස්ටමන්ට්හි මෙසේ සඳහන් වේ: “මින් අදහස් කරන්නේ, මෙම ඡේදය වරදවා තේරුම්ගත් නිසා, ඔරිගන් සහ මුල් කාලවල විසූ සමහරක් අය මෙන් තමන්වම කරඹවා ගැනීම නොව, . . . නමුත් වැඩි නිදහසක් ඇතුව දෙවියන්වහන්සේට සේවය කිරීම පිණිස තනිකඩව ජීවත්වීමය.”
b මෙම අස්වාභාවික ස්වරය වඩාත් ස්වාභාවික ස්වරය අවසන් වන තැන සිට ආරම්භ වන අතර, එය හුදෙක් ස්වර තන්ත්‍රවල අන්තයේ නිපදවනු ලබන බව පැවසේ.
[13වන පිටුවේ කොටුව]
උසස්ම ප්‍රමිතිය
යෙහෝවඃවහන්සේගේ නීතිය පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙන පරිදි, කිසිම නපුංසකයෙකුට ඉශ්රායෙල් සභාවේ කොටසක් බවට පත්වීමට ඉඩ නොදෙන ලදි. (ද්විතීය කථාව 23:1) මෙම නීතිය යටතේ කර ඇඹීම සඳහා අවසර නොදෙන ලදි. “යුදෙව් නීතිය එවන් ක්‍රියා පිළිකුල් කළේය,” යනුවෙන් එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා සඳහන් කරයි. ප්‍රතිඵලයක් වශයෙන්, පර්සියානු රජු වන අහෂ්වේරොෂ්ගේ මෙන්ම අනිකුත් රාජකීය අධිකරණවල සේවය කරන්නාක් මෙන්, ඉශ්රායෙල් ජාතික රජවරුන්ගේ මාළිගයේ සේවය කිරීම සඳහා ඉශ්‍රායෙලිතයන් හෝ විජාතීය වැසියන්ගෙන් කිසිවෙකුව නපුංසකයන් බවට පත් කළේ නැත.—එස්තර් 2:14, 15; 4:4, 5.
[12වන පිටුවේ පින්තූරය]
පස්වන සික්ස්ටස් පාප්ගේ තීරණයක් කර ඇඹීම සඳහා මාර්ගය විවෘත කළේය
[හිමිකම් විස්තර]
බෙට්මෑන්ගේ ඓතිහාසික ලේඛනාගාරය