ඔබට දෙවියන්වහන්සේව විශ්වාස කළ හැක
ඔබට දෙවියන්වහන්සේ සහ ස්වකීය වචනය වන බයිබලය, සම්පූර්ණයෙන්ම විශ්වාස කළ හැක. තම ජීවිත කාලය පුරා දෙවියන්වහන්සේව විශ්වාස කිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 100ක් ඉක්මවූ එක් මනුෂ්‍යයෙක් තම නිසැකකමට මෙම හේතුව ඉදිරිපත් කළේය: “බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය” යයි ඔහු පැවසුවේය.—යෝෂුවා 23:14.
පුරාතන ඉශ්රායෙලයේ නායකයෙකු වූ, යෝෂුවා නම් මෙම මනුෂ්‍යයා, දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ වචනයේ සම්පූර්ණ විශ්වසනීයභාවය අද්දුටුවේය. දෙවියන්වහන්සේ ඉශ්රායෙල්වරුන්ට පොරොන්දු වූ සියල්ල ඉටු විය. මැවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ වචනය පිළිබඳව ඔබට වැඩියෙන් දැනගැනීමට ලැබුණහොත්, ඔබටත් එබඳු විශ්වාසයක් වර්ධනය කළ හැක. පසු කලකදී දෙවියන්වහන්සේට නමස්කාර කළ තැනැත්තෙකු වූ දාවිත් රජ, එය මෙලෙස ප්‍රකාශ කළේය: “ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.”—ගීතාවලිය 9:10.
දෙවියන්වහන්සේ කිසිකලක ඔබව අත්නාරිනසේක
ඔබ වැඩි වැඩියෙන් ‘දෙවියන්වහන්සේගේ නාමය’ හා ඉන් අඟවන දේ—එනම් උන්වහන්සේගේ අරමුණු, ක්‍රියා කලාප හා ගුණාංග—දැනගන්නවාත් සමඟම ඔබ වැඩි වැඩියෙන් උන්වහන්සේව විශ්වාස කරනවාද ඇත. තවද උන්වහන්සේ ඔබව කවදාවත් අත්නාරින එමෙන්ම ස්වකීය වචනය කඩ නොකරන විශ්වාස කළ හැකි මිතුරෙකු වනසේක. උන්වහන්සේගේ නියෝජිතයන් බව කියා සිටින මුත්, අනතුරුව අන්‍යයන් සමඟ රැවටිලිකාර ආකාරයකින් කටයුතු කරන අයගේ කුහකකම නිසා අධෛර්යයට පත් නොවන්න. එබඳු අය අවිශ්වාසවන්තයන් වශයෙන් බයිබලය හඳුන්වයි. ආගමික වංචාකාරයන් එක් දෙයක් පවසන නමුත් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. ප්‍රේරිත පේතෘස් අනතුරු ඇඟවූ පරිදි, ඔවුහු ආත්මාර්ථය පිණිස සිය රැළවල් උපයෝගි කරගනිති. පේතෘස් මෙසේ ලීවේය: “ඔවුන් නිසා සත්‍යතාවේ මාර්ගයට අපහාස පැමිණෙන්නේය. තණ්හාව නිසා ඔවුන් වංචා වචනවලින් නුඹලා වෙළඳාමක් කරගන්නවා ඇත.”—2 පේතෘස් 2:2, 3.
එබඳු අය දෙවියන්වහන්සේව නියෝජනය නොකරති. ඔවුහු උන්වහන්සේගේ වචනයට අගෞරව කරති. බයිබලයේ හෙළි කර තිබෙන පරිදි, දෙවියන්වහන්සේගේම වාර්තාව හා සාක්ෂිය ඔබම පරීක්ෂා කර නොබලන්නේ මන්ද? ‘එහෙත්, වෙන යම් පොතකට වඩා වැඩියෙන් මා බයිබලය විශ්වාස කළ යුත්තේ මන්ද?’ කියා ඔබ සමහරවිට ඇසිය හැක. ඉතිහාසය පුරා, ආගමික වංචාවන් අසීමිත සංඛ්‍යාවක් සිදු වී තිබෙන බව සැබෑවක් වුවත්, බයිබලය වෙනස්ය. බයිබලය විශ්වාස කිරීම සඳහා වූ මතු සඳහන් වන හේතූන් සලකා බලන්න.
බයිබලය විශ්වාස කිරීමට හේතු
බයිබලයේ පොරොන්දු හා අනාවැකි නිතරම ඉටු වන බැවින් ඔබට එය විශ්වාස කළ හැක. එක් නිදසුනක් පමණක් සලකා බලන්න. වහල්භාවයේ සිටි ඉශ්‍රායෙලිතයන්ට එය විශ්වාස කළ නොහැකි දෙයක් ලෙස පෙනෙන්ට ඇති මුත්, ඔවුන්ව බලසම්පන්න බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් කර යෙරුසලමේ නැවත පිහිටුවන බව බයිබලයේ කර්තෘ වන, යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් පොරොන්දු කර තිබිණ. එය සිදු විය නොහැකි බලාපොරොත්තුවක් මෙන් පෙනෙන්ට විය, මන්දයත් බබිලෝනිය ඒ කාලයේදී ප්‍රධාන ලෝක බලවේගයව තිබූ අතර, එමගින් යෙරුසලම සම්පූර්ණයෙන්ම විනාශ කොට තිබූ බැවිනි. එනමුත් වසර දෙසීයකට පමණ කලින්, බබිලෝනිය පරාජය කර ස්වකීය ජනයා නිදහස් කරන තැනැත්තා හැටියට පර්සියානු අධිපතියා වන කෝරෙෂ්ව යෙහෝවඃවහන්සේ විසින් නම් කර තිබූ අතර, බබිලෝනියේ ගංගාවේ ආරක්ෂා කොටු අසාර්ථක වන ආකාරයත් පුරෝකථනය කර තිබිණ. යෙසායා 44:24–45:4 දක්වා පදවල ඔබට එම සිද්ධිය ගැන කියවිය හැක.
රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් නමැති පොත එම පොරොන්දුව ඉටු වූ ආකාරය පැහැදිලි කරයි: “එම අනාවැකිය ලියනු ලැබූ කාලයේදී කෝරෙෂ් ඉපද සිටියේ නැත. . . . පොදු යුගයට පෙර 539 පටන් එම අනාවැකිය විස්තරාත්මකව ඉටු විය. කෝරෙෂ් එප්‍රාත් ගඟේ ජලය කෘත්‍රිම විලකට හැරෙව්වේය, නොසැලකිලිමත්කම නිසා නගරයේ උත්සව අවස්ථාවකදී බබිලෝනියේ ගංගා දොරටු විවෘතව තබනු ලැබූ අතර, කෝරෙෂ් යටතේ මේදියවරුන්ගේද පර්සියානුවන්ගේද අතට බබිලෝනිය යටත් කරනු ලැබීය. ඉන්පසුව, කෝරෙෂ් යුදෙව් වහලුන්ව නිදහස් කර යෙහෝවඃවහන්සේගේ මාළිගාව නැවත ගොඩනැඟීමට උපදෙස්ද සමඟින් ඔවුන්ව නැවත යෙරුසලමට පිටත් කර යැවීය.”a දෙවියන්වහන්සේ විසින් කරන ලද මෙවන් සෑම පොරොන්දුවක්ම, බයිබලයේ සඳහන් සෑම අනාවැකියක්ම, නොවරදවාම ඉටු වී ඇත.
අපගේ ශතවර්ෂය තුළ විශ්වාසය හීන වී තිබීම යන කාරණයම අනාවැකියේ ඉටුවීමට තවත් නිදසුනකි. අප ජීවත් වන්නාවූ කාලය සඳහා විශේෂ ලක්ෂණයක් හැටියට බයිබලය මෙය පුරෝකථනය කළේය, මන්දයත් 1914දී, Iවන ලෝක යුද්ධයත් සමඟ පටන්ගත් යුගය “අන්තිම දවස්” යනුවෙන් එය හඳුන්වන අතර, ඒවා “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල්” [NW ] වනු ඇති බවද එය පවසයි. අපගේ කාලයේදී මනුෂ්‍යයෝ “තමුන්ටම ප්‍රේමකරන්නෝව, . . . පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, . . . ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, . . . ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව” සිටිනු ඇති බව එය ප්‍රකාශ කළේය. තවද එය මෙසේ කළින් ප්‍රකාශ කළේය: “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” (2 තිමෝති 3:1-4, 13). අපගේ කාලයේදී අප දැක තිබෙන්නේ එම දේමය.
බයිබලයේ කතෘත්වය මුළුමනින්ම ඔප්පු කර තිබෙන බැවින් ඔබට එය විශ්වාස කළ හැක. බයිබලයේ කතෘත්වය පිළිබඳව සාර්ථක ලෙස අභියෝග කිරීමට කිසි කෙනෙකුට හැකි වී නැත. සුප්‍රසිද්ධ විද්‍යාඥ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් මෙසේ පැවසුවේය: “වෙනත් කිසිම ලෞකික ඉතිහාස කෘතියකට වඩා බයිබලයේ කතෘත්වය සනාථ කරන ලකුණු මට එහි දැකගත හැකියි.” හිට්ලර්ගේ “දිනපොත්වල” මෙන් මෙහි කිසි කූට රචනයක් නැත! ඇරත් වෙනත් පුරාතන ලියවිලි සමඟ බයිබලය සැසඳීමේදී කුමක් කිව හැකිද? ද බයිබල් ෆ්‍රොම් ද බිගිනිං නමැති පොත මෙසේ පවසයි: “කෘතියක් සහතික කරන පුරාතන අත්පිටපත්වල සංඛ්‍යාවෙන්ද, මූලික කෘතිය හා එය සහතික කරන අත්පිටපත අතර ගෙවී ගිය වසර ගණනාවෙන්ද, සම්භාවනීය [හෝමර්, ප්ලේටෝ හා වෙනත් අයගේ] කෘතිවලට වඩා සැලකිය යුතු වාසියක් බයිබලයට ඇත. . . . බයිබලයේ මුල් පිටපත් සමඟ සන්සන්දනය කිරීමේදී සම්භාවනීය කෘතිවල අත්පිටපත් ඇත්තේ ස්වල්පයක් පමණි. බයිබලයට වඩා හොඳින් ඔප්පු කර තිබෙන වෙනත් කිසිම පූරාතන පොතක් නැත.” එය මුළුමනින්ම සත්‍ය පොතක් බවට බයිබලය සම්බන්ධ සෑම දෙයක්ම යොමු දක්වයි.
බයිබලය කරන ප්‍රකාශයන් සියල්ලම සම්පූර්ණයෙන්ම නිවැරදි බැවින් ඔබට බයිබලය විශ්වාස කළ හැකිය. දෙවියන්වහන්සේ “ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක” යනුවෙන් බයිබලය පවසයි. (යෝබ් 26:7) පෘථිවිය අලියන් විසින් දරාගනු ලැබීම වැනි, බයිබලය ලියනු ලැබූ කාලයේදී පැවති කාල්පනික මත නැවත කීම වෙනුවට, පසුව විද්‍යාත්මක සත්‍යයක් බවට තහවුරු කර තිබෙන දෙය—එනම් පෘථිවිය අවකාශයේ “එල්ලා” තිබෙන බව බයිබලය ප්‍රකාශ කළේය. ඊට අමතරව, කොළොම්බස්ගේ කාලයට වසර දෙදාහකට පමණ ඉහතදී, පෘථිවිය චක්රාකාර බව බයිබලය පැහැදිලිවම සඳහන් කළේය.—යෙසායා 40:22.
එහි අවංකභාවය හා ඍජුභාවය නිසා ඔබට බයිබලය විශ්වාස කළ හැකිය. බයිබලයේ ලේඛකයන් කිසිවක් වෙනස් කර ලීවේ නැත. ඔවුන් සඳහන් කළ දෙය ඔවුන්ට, ඔවුන්ගේ රටවැසියන්ට සහ ඔවුන්ගේ පාලකයන්ට අවනම්බුවක් ඇති කළත්, ඔවුහු අවංකව සත්‍යය වාර්තා කළහ. නිදසුනක් වශයෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතවරුන් ඇතැම් අවස්ථාවලදී විශ්වාසයේ ඌනතාවක් පිළිබිඹු කළ බව, ප්‍රසිද්ධිය සඳහා එකිනෙකා අතර දබර ඇති වූ බව සහ යේසුස්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබූ විට උන්වහන්සේව පවා අත්හැරිය බව, සිය සුවිශේෂයේ ප්‍රේරිත මතෙව් විවෘත ලෙස පිළිගත්තේය.—මතෙව් 17:18-20; 20:20-28; 26:56.
බයිබලයේ උපදෙස් අදාළ කරගැනීමට තරම් ජනයා එය විශ්වාස කළ ඕනෑම විටකදී, එය ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් වන බවට ඔප්පු වී තිබීම බයිබලය විශ්වාස කිරීමට තවත් කැපීපෙනෙන හේතුවකි. (හිතෝපදේශ 2:1-9) ජීවිතයේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් බොහෝවිට “ප්‍රවීණයන්” සපයන අස්ථිර උපදෙස්වලට වඩා බයිබලයේ උපදෙස් විස්මිත ආකාරයකින් වෙනස්ය. බහු ජාතික පුවත්පත්වලට එවන් උපදෙස් සපයන ලේඛකයන් පිළිබඳව, ලන්ඩනයේ ද සන්ඩේ ටයිම්ස් මෙසේ ප්‍රශ්න කරයි: “නිකම්ම නොසැලකිලිමත්ව උපදෙස් සපයන ලේඛකයන්ට, සෑම වසරකම දහස් සංඛ්‍යාත අය තම අභ්‍යන්තර හැඟීම් හෙළි කරමින් සිටිනවාද?” බයිබල් ලේඛකයෝ නිකම්ම නොසැලකිලිමත්ව උපදෙස් සපයමින් නොසිටියහ. ඔවුන් වාර්තා කළේ ඉතිහාසය පුරා විශ්වසනීයව පැවත තිබෙන, විශ්වාස කළ හැකි, දේවානුභාවය ලත් උපදෙස්ය.—2 තිමෝති 3:16.
“මගේ ජීවිතය නාස්ති කළ හැකි මාර්ගයකින් වැළකී සිටීමට බයිබලයේ උපදෙස් මට උපකාර කළා,” යනුවෙන් සන්තෝෂවත් යුග දිවියක් ගෙවමින් දැන් 30ගණන්වල පසු වන එලන් පවසයි. “දික්කසාද වී සිටි මගේ දෙමව්පියන්, විවාහ විධිවිධානය කෙරෙහි එතරම් විශ්වාසයක් නොදැක්වූ අතර, ඔවුන් මට ඇත්තෙන්ම දිරිගැන්නුවේ යමෙකු සමඟ විවාහ නොවී නිකම්ම ඔහු සමඟ ජීවත්වීමටයි. බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් මගේ ජීවිතයට ලැබී තිබෙන ස්ථිරත්වය ගැන මම කල්පනා කරන විට, මගේ දෙමව්පියන්ගේ උපදෙස්වලටත් ඉහළින් බයිබලය විශ්වාස කිරීම ගැන මම සතුටු වෙනවා.”—එපීස 5:22-31; හෙබ්‍රෙව් 13:4 බලන්න.
“නොයෙක් දේවල් සම්බන්ධයෙන් බයිබලය පැවසූ දේ ඉගෙනගැනීමට මා පටන්ගත් විට, මට වයස අවුරුදු 14ක් පමණයි,” යනුවෙන් ෆ්ලෝරන්ස් පවසයි. “දැන් මම 1960ගණන් ගැන සිහි කරන විට, මගේ තුල්‍යයන් ඒ කාලයේ පැවති සාරධර්ම හා සදාචාරයන් අනුගමනය කිරීම නිසා තමන්ටම ඇති කරගත් කරදර ගැන කල්පනා කරද්දී, තරුණ, අද්දැකීම් නැති ස්ත්‍රියක් වූ මට, බයිබලයේ උපදෙස් ලබා දුන් ආරක්ෂාව ගැන මම ඉතාමත්ම කෘතඥ වෙනවා.”—1 කොරින්ති 6:9-11 බලන්න.
“මම නම් හසු වී සිටියේ සූදු කෙළීම, දුම්බීම හා මත්පැන් බීම වැනි දේවලටයි,” යනුවෙන් ජේම්ස් පවසයි. ඔහු තවදුරටත් මෙසේ පවසයි: “මෙය බොහෝදෙනෙකුට එමෙන්ම ඔවුන්ගේ පවුල්වලට සිදු කර තිබෙන හානිය මම දන්නවා. මුලදී මගේ ගැටලුවලට බයිබලය අදාළ වන ආකාරය තේරුම්ගැනීමට මට හැකි වුණේ නැහැ. එහෙත් එය යහපත උදෙසා මගේ කල්පනාවට බලපෑ ආකාරයත්, වඩාත් සෞඛ්‍යසම්පන්න ජීවිත-රටාවක් පවත්වාගැනීමට එය මට උපකාර කළ අන්දමත් දැන් මට පැහැදිලිව පේනවා.”—2 කොරින්ති 7:1 බලන්න.
ජීවිතයේ පීඩන හා කරදරවලින් පිරි පසුතලයක් නිසා පැනනැඟුණ චිත්තවේගීය දුෂ්කරතා නිසා මේරි ඈන් සියදිවි නසාගැනීමට අදහස් කළාය. “ඒ අවස්ථාවේදී, නිදහස් වීමට තිබුණු එකම මඟ සියදිවි නසාගැනීම බව හැඟුණා,” යයි ඇය පවසයි. “නමුත් බයිබලය මගේ කල්පනා ක්‍රමය හරිගැස්සුවා. මම සියදිවි නසා නොගත්තේ මම බයිබලයේ කියවූ දෙය නිසයි.”—පිලිප්පි 4:4-8 බලන්න.
මේ සියලුදෙනාටම උපකාර කළ එම දෙය කුමක්ද? ඔවුහු දෙවියන්වහන්සේ කෙරෙහිත් උන්වහන්සේගේ වචනය වන බයිබලය කෙරෙහිත් සම්පූර්ණ විශ්වාසයක් වර්ධනය කරගත්හ. දෙවියන්වහන්සේ ඔවුන්ට දුෂ්කර අවස්ථාවලදී ඔවුන්ගේ කන්වලට රහසින් උපදෙස් දුන් විශ්වාස කළ හැකි, ප්‍රේමනීය මිත්‍රයෙකු සේ වූසේක. (යෙසායා 30:21, සසඳන්න.) ජීවිතයේ කම්කටොලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට උපකාර කළ බයිබල් ප්‍රතිපත්ති ඔවුහු ඉගෙනගත්හ. එමෙන්ම, සියලු ආකාර වංචාව, බොරුව සහ ආත්මාර්ථය පිණිස ප්‍රයෝජන ගැනීම මෙන්ම දුක, අසනීප සහ මරණයෙන් පවා නිදහස් ලස්සන “නව ලොවක්” සම්බන්ධ පොරොන්දුව වැනි, බොරු කිව නොහැකි දෙවියන්වහන්සේගෙන් වූ පුදුමාකාර පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබීමට ඔවුහු ඉගෙනගත්හ.—2 පේතෘස් 3:13; ගීතාවලිය 37:11, 29; එළිදරව් 21:4, 5.
ඔබටත් එබඳු විශ්වාසයක් ගොඩනඟාගත හැක. අදදින පවතින ලෝකය ඔබගේ විශ්වාසයට ද්‍රෝහි විය හැකි මුත්, දෙවියන්වහන්සේ කෙරෙහිත් උන්වහන්සේගේ වචනය කෙරෙහිත් ඔබට තිබෙන විශ්වාසය කිසි දිනක කඩ නොවනු ඇති බවට ඔබට සහතික විය හැක. දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය වන බයිබලය ගැන, වඩා හොඳින් දැනගැනීමට ඔබට උපකාර කරනු වස්, කෙනෙකු සූදානම් කිරීම සඳහා විධිවිධාන යෙදීමට මෙම සඟරාවේ ප්‍රකාශකයන් සතුටු වනු ඇත.
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.
[8වන පිටුවේ පින්තූරය]
දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ වසර 200කට පමණ පෙර බබිලෝනිය පරාජය කරනු ලබන ආකාරය පුරෝකථනය කළේය
[9වන පිටුවේ පින්තූරය]
බයිබලය විශ්වාස කළ හැකි බව ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ට පෙනී ගියේය