මිත්‍රශීලී රොබින් කුරුල්ලා
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
අපගේ නෝතම්බලන්ඩ් වනාන්තර, ශරත් ඍතුවේ රතු පැහැයට හුරු දුඹුරු පාටින් සෞම්‍ය පරිසරයට පරිවර්තනය වීමට බොහෝ කලකට පෙර, රොබින් කුරුල්ලා තමා සිටින බව දැනගැනීමට සලස්වයි. උගේ දීප්තිමත් රතු පැහැති ළය පෙදෙස සහ මිහිරි ගී හඬ, අපේ මිදුලට වර්ණවත්බව හා ප්‍රීතිය එක් කරයි. ඌ මොනතරම් ප්‍රසන්න කුරුල්ලෙක්ද!
රොබින් කුරුල්ලාව උගේ කොළ පැහැයට හුරු දුඹුරු පාට උරහිස් හා හිසෙන්ද, තැඹිලි පැහැයට හුරු රතු පාට ළය පෙදෙසින්, උගුරෙන් හා නළලින් මෙන්ම සුදු පැහැයට හුරු උදරයෙන්ද පහසුවෙන්ම හඳුනාගත හැකිය. මෙම පුෂ්ටිමත් කුරුල්ලා, සෑම අවස්ථාවකදීම අවදියෙන් මෙන්ම සීරුවෙන්ද සිටී, උගේ හොටේ සිට පෙඳය දක්වා ප්‍රමාණය දිගින් සෙන්ටිමීටර් 14කි. වර්ෂ 1961දී, රොබින් කුරුල්ලාව බ්‍රිතාන්‍යයේ ජාතික කුරුල්ලා වශයෙන් තෝරාගනු ලැබීම පුදුමයට කාරණයක් නොවේ.
බ්‍රිතාන්‍යයේ වෙසෙන රොබින් කුරුල්ලා, අමෙරිකාවේ වෙසෙන උගේ ප්‍රතිරූපක කුරුල්ලාට වඩා කුඩාය, එමෙන්ම එංගලන්තයෙන් පැමිණි මුල් ජනාවාසීන් විසින් ඔවුන්ට හුරු පුරුදු රොබින් යන නාමය මෙම කුරුල්ලාට තබන ලදි. කෙසේවෙතත්, බ්‍රිතාන්‍යයේ වෙසෙන රොබින් කුරුල්ලාට ඌටම ආවේනික වූ චරිතයක් තිබේ. මීට පටහැනිව, යුරෝපා මහාද්වීපවල වෙසෙන රොබින් කුරුල්ලා පවා, වන ගැබේ තමාවම සඟවාගන්නාවූ ලජ්ජාශීලී කුරුල්ලෙකි.
ශරත් ඍතුව පැමිණෙන විට, බ්‍රිතාන්‍යයේ මිදුලක උගේ නියම ස්වභාවයෙන්ම සිටින රොබින් කුරුල්ලෙකු දැකගැනීමට හැක. ඌ පස හාරන කෙනෙකු අසල සිට, පණුවෙක් මතුපිටට පැමිණෙන තෙක් බලා සිටී. ඇතැම් අවස්ථාවලදී, ගෙවතු වවන්නා විවේක ගන්නා කාලය අතරතුර, ඒ අවට පරීක්ෂා කිරීම සඳහා රොබින් කුරුල්ලා ඉස්කෝප්ප හැන්ද මත ලගියි. වැලි මීයා අලුතින් හාරා තිබෙන පස් ගොඩැලි සොයා, ඒවා පරීක්ෂා කිරීම සඳහා ඌ යන මාර්ගයේ යන බවට පවා මෙම දඟකාර කුරුල්ලා ප්‍රසිද්ධ වී සිටී. රොබින් කුරුල්ලාගේ ආහාරය විවිධාකාරය—එනම් කෘමීන්, බීජ, බදරි මෙන්ම පණුවන් වේ.
රොබින් කුරුල්ලෙකුගේ කැදැල්ලක් දැකගැනීමට ලැබීම කෙතරම් ප්‍රීතියක්ද! විවෘතව තිබෙන ඕනෑම මඩුවක දොරක් හෝ ජනේලයක්, සංසර්ගයේ යෙදෙන කුරුලු ජෝඩුවට ආරාධනාවකි. පරණ මල් පෝච්චිවල හෝ ඉවතලන කේතල්වල, කම්බි දඟර මත හෝ ගෙවත්තේ වැඩ කිරීමේදී අඳිනු ලබන කබායේ සාක්කුවක පවා ඉක්මනින්ම කැදලි තැනිය හැක! කැදලි තැනීමේදී අසාමාන්‍ය ස්ථාන සෙවීම සම්බන්ධයෙන් රොබින් කුරුල්ලාගේ නිපුණත්වය සීමා රහිතය.
ඔබගේ අතෙන් ආහාර කැවීමට පුහුණු කළ හැකි වඩාත් පහසුම කුරුල්ලෙකි, රොබින් කුරුල්ලා. ශීත ඍතුව එළඹීමත් සමඟ උගේ ස්වාභාවික ආහාර සැපයුම ක්ෂය වන විට, ඔබගේ දිගහරින ලද අල්ල මත චීස් කැබලි හෝ පණුවන් වැනි ආහාර තබන්න—තවද ඒ අසල කඩදාසියක් මතද ඒවා ටිකක් තබන්න. රොබින් කුරුල්ලා කඩදාසිය මත තිබෙන ආහාර දෙතුන් වතාවක් කෑමෙන් පසු, ඌ විශ්වාසය ඇති කරගෙන ඔබේ අතෙන් ඉදිරිපත් කරන කෑම ලබාගනු ඇත. රොබින් කුරුල්ලා ඔබගේ අත්ල මත කිසි දිනක නොරැඳුනත්, එතැන් පටන් සැමවිටම උගේ මිතුරා ලෙස ඔබව සලකනු ඇත. ඔබට ඔබේ මිතුරා වන රොබින් කුරුල්ලා අමතක නොවන්නා සේම, ඊළඟ ඍතුවේදී ඌ එන විට ඔබවද අමතක නොකරනු ඇත!