ඔබේ ආහාර කෙතරම් පෝෂ්‍යදායීද?
බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ඔබ ඔබේ ආහාරය තෝරාගන්නේ කෙසේද? ඔබ ආහාර මිල දී ගන්නා විට, ඔබ තුළ බලපෑමක් ඇති කරන්නේ කුමන සාධකද? අලංකාර අසුරනයද? නැතහොත් මිල? පිළියෙල කිරීමේ පහසුව? නිවේදනවල ගත යුතුමයි යන ඒත්තුගැන්වීම? හෝ ආහාරවල පෙනුම මෙන්ම රසද? හරි තේරීම් කිරීම මගින් ඔබ ගන්නේ පෝෂ්‍යදායී ආහාරද නැතහොත් සුළු කෑම වර්ගද, ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු වේද නැතහොත් ඊට හානි වේද යන්න තීරණය විය හැක.
දුගීභාවය කුපෝෂණයට ප්‍රධාන හේතුකාරකයකි. බොහෝදෙනෙකුට ආහාර බහුලව තිබීම සාමාන්‍ය දෙයක් වන අතර, වෙනත් මිලියන සංඛ්‍යාතයක් පෝෂ්‍යදායී ආහාර වේලක් භුක්තිවිඳින්නේ කලාතුරකිනි. “අපට ලබාගත හැකි ඕනෑම දෙයක් අපි ගෙදරදී කනවා,” යයි සය දරු පියෙක් වන බ්‍රසීලියානු පෙදරේරුවෙක් පැවසීය. එයින් සාමාන්‍යයෙන් අදහස් වන්නේ පරණ පාන් සහ අවශ්‍ය ද්‍රව්‍ය නියම ප්‍රමාණයට නොදා සෑදූ කෝපි හෝ බත් සහ බෝංචිය. ඇත්තෙන්ම, එක්සත් ජනපදයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව, ලෝක ජනගහනයෙන් සියයට 20ක් කුසගින්නෙන් වේදනා විඳිති. ඇතැම් අප්‍රිකානු රටවල සාගතය ව්‍යාප්තව ඇති අතර, ආසියාවේද කුසගින්නෙන් පෙළෙන විශාල සංඛ්‍යාවක් සිටිති. එක්සත් ජනපදයේ පවා, ජනගහනයෙන් සියයට 12කට නැතහොත් මිලියන 30ක ජනතාවකට කෑමට ප්‍රමාණවත් ආහාර නැති බවට වාර්තා වේ.
අඩු පෝෂණයක් අවාසිදායක වනවා පමණක් නොව, නමුත් මරණයට පවා ගොදුරු කිරීමට එයට හැක. “නිසි ළමා පෝෂණය නොදීම මගින්, සැබෑ සාගතයකින් මියෙන සංඛ්‍යාව මෙන් 10 ගුණයකට වඩා කුපෝෂණයට ගොදුරු විය හැකි” බවට පර්යේෂක විලියම් චාන්ඩලර් සඳහන් කරයි. “පාචන විජලනය සමඟ ඇතිවන කුපෝෂණය ලෝකයේ ප්‍රධාන මරුවාය.” යුනිසෙෆ් (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) මෙසේ වාර්තා කරයි: “වසංගතයෙන්, ජලගැල්මෙන්, කිසිම භූමිකම්පාවකින් හෝ යුද්ධයකින් කෙදිනකවත් සතියකදී පමණක් ළමයින් 2,50,000කගේ ජීවිත බිලිගෙන නැත.” එහෙත් එ. ජා. ආයතනයට අනුව, කුපෝෂණය සහ ඉන් ප්‍රතිඵල වන අසනීප හේතුවෙන් මියෙන ළමුන්ගේ ගණන එයයි. ඇරත්, කුපෝෂණය මගින් සිදු කළ හානිය අසංඛ්යාතය: ඉගෙනීමේ හැකියාව පහත බස්වයි, කම්කරු ශ්‍රමය හීන කරවයි, නිෂ්පාදනය සහ ගුණය පහත බස්වයි.
එහෙත්, සුදුසු ආහාර ප්‍රමාණවත්ව ගැනීමෙන් අඩු පෝෂණය, රක්තහීනතාව මෙන්ම වෙනත් රෝග වැනි අතුරු ආබාධ ජයගත හැක. පාසැල් ආහාර නොමිලේ දීම වැනි රජයේ ආධාර මගින් ඇතැම් ප්‍රදේශවල කුපෝෂණය අඩු කළ හැකි නමුත්, යුනිසෙෆ් නිලධාරීන් පවසන පරිදි පාචනය, නියුමෝනියාව සහ සරම්ප මගින් සිදුවන ළමා මරණ අඩු කිරීමට වාර්ෂිකව ඩොලර් බිලියන 25ක් අවශ්‍ය වේ. ‘සෑහෙන මුදලක්,’ යයි සමහරෙකු පැවසිය හැක. එහෙත් වාර්තා වන පරිදි අමෙරිකානු ජාතිකයෝ වසරකට ක්‍රීඩා ඇඳුම් සඳහාද, යුරෝපීයයෝ වයින් සඳහාද, ඒ ප්‍රමාණයේම මුදලක් වැය කරති. නාස්තිය අඩු කිරීම තවත් අභියෝගයකි. බ්‍රසීලියානු ජාතිකයන් මිලියන 32ක් කුසගින්නෙන් පෙළෙන බවට තක්සේරු කර තිබුණත්, “ප්‍රවාහනය හෝ ගබඩා කිරීමේදී ජාතීන්ගේ කෘෂිකර්ම නිමැවුම්වල සියයට 18 සිට 20ක පාඩුවක් සිදු වන බැවින්, අස්වැන්නෙන් පසු නාස්තිය [ඩොලර් බිලියන 1.5ක වටිනාකමකි].” බොහෝ රටවල කෘෂිකර්මයේ, ජල සම්පාදනයේ, ආහාර ගබඩා කිරීමේ සහ ප්‍රවාහනයේ විශාල ගැටලු තිබේ. එසේනම්, ඔබේ පවුල පෝෂණය කිරීමේ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කෙසේද?
ප්‍රමාණවත් මුදලක් නැත
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයාහට තම පවුල පෝෂණය කිරීමට හැකි වී තිබෙන්නේ රැකියා දෙකක් හෝ තුනක් කිරීම මගිනි. බ්‍රසීලයේ මිලියන 1.5ක්, වාර්ෂිකව, පවුල හෝ මිතුරන්ව අත්හැර වැඩ හා ආහාර සොයා විශාල නගරවලට යති. යම් ප්‍රමාණයකට සෞඛ්‍යය රැඳෙන්නේ ජනයා අනුභව කරන දේ අනුව වුවත්, ඔවුන්ගේ මුදල්වලින් වැඩි කොටසක් වියදම් වන්නේ ඇඳුම් පැළඳුම්, නිවාස සහ ප්‍රවාහනය සඳහාය.
සමහර මස්, මාළුද ඇතුළත්ව බත්, බෝංචි, ධාන්‍ය, අල, මඤ්ඤොක්කා සහ කෙසෙල් වැනි පොදු ආහාර ලොව පුරා පවුල් සඳහා පෝෂණයේ ප්‍රධාන හේතුකාරක වේ. බ්‍රසීලියානු පෝෂණවේදී සූසේ එඩ්වර්ඩූ ඩි ඔලිවෙරර් ඩූට්ර මෙසේ ප්‍රකාශ කළේය: “බෝංචි සහ බත් ඉතා ඉහළ පෝෂ්‍ය අගයක් සහිත සංයෝගයකි. එවැනි සරල සහ මිල අඩු ආහාර වේලකට [රට තුළ] සාගතය නැති කළ හැක.” එසේය, ඔබ ජීවත් වන ස්ථානයේ මිල අඩු, පෝෂ්‍ය ආහාර තිබෙනවා විය හැක. නැතහොත් ඔබේ ආහාරවලින් සමහරක් වවාගැනීමට පවා ඔබට පුළුවන.
ඔබට ප්‍රමාණවත් මුදලක් තිබෙනවා විය හැකි වුවත්, ඔබේ පවුල සඳහා පෝෂ්‍යදායී ආහාරවලට ඔබ එය වැය කරන්නේද? නැතහොත් ප්‍රෝටීන, ඛණිජ සහ විටමින සඳහා ඇති අවශ්‍යතාව අතපසු කිරීමට සලස්වමින්, පැණිරස හෝ සුළු කෑම වර්ග සුදුසු බව පෙන්නුම් කරන, දක්ෂ හා නිරතුරුව කෙරෙන නිවේදන මගින් ඔබ බලපෑම් ලැබ සිටින්නෙහිද? සිත ඇදී යන්නේ ගුණයට වඩා රස වෙතටද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ සටහන් කරයි: “හොඳ සෞඛ්‍යයක් ලබාගැනීමට හා පවත්වාගැනීමට, මිනිස් සිරුර ගැන මෙන්ම එය ක්‍රියාත්මක වන ආකාරය ගැනත් ජනයා තුළ මූලික දැනුම තිබිය යුතුය. තම සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන්නේ කුමක්ද, ප්‍රයෝජනවත් නොවන්නේ කුමක්ද, හානිදායක කුමක්ද කියා ඔවුන්ට තීරණය කළ හැක්කේ එවිට පමණි. සෞඛ්‍යය පිළිබඳව ඉගෙනීම සෑම පුද්ගලයෙකුගේම කොටසක් විය යුතුය.”
අප ජීවත් වන්නේ කන්න පමණක් නොවන බව සැබෑය, නමුත් ආහාර අපගේ ජීවිතයේ වැදගත් කොටසකි. හොඳින් කෑමගැනීම ක්‍රියාශීලි වැඩය සඳහා ත්‍යාගයක් වශයෙන් බයිබලය පවසා සිටියි: “කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාව[කි].” (දේශනාකාරයා 3:13) ගුණදායී ආහාර වටිනා මෙන්ම අත්‍යවශ්‍ය බව ඔබ සලකන්නෙහිද? එසේනම්, ඔබට සහ ඔබේ පවුලට සුදුසු පෝෂණය ප්‍රයෝජනවත් විය හැකි ආකාරය පිළිබඳව කරුණාකර මතු ලිපිය සෝදිසි කර බලන්න. g95 3/8