ගුණදායී ආහාරවලට ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි අයුරු
හොඳින් පෝෂණය වූ දරුවෙකු දෙස බැලීම කෙතරම් සතුටක්ද! එහෙත්, දරුවෙකු අහම්බෙන් සනීපදායී වන්නේ නැත. “සරල නමුත් පෝෂ්‍යදායී ආහාරවලට සැමවිටම අපේ පවුලේ ප්‍රධාන තැනක් දුන්නේ, අපේ මුදල් අයවැය ගැන තකාම නොවේ, නමුත් සූදානම් කිරීමට හා එය එකට භුක්තිවිඳීමට කාලය ඉතිරි කර තිබෙන නිසා” යයි බ්‍රසීලයේ ජීවත් වන කැනේඩියානු ජාතික කේට් සිහිපත් කරන්නීය. “මගේ මව නිවසෙන් පිටත රැකියාවකට නොගිය නිසා, සෑම දිනකම අප පාසැල ඇරී ගෙදර පැමිණෙන විට, සූදානම් කරමින් තිබෙන රෑ කෑමවල සහ ඇය සාදා තිබෙන අතුරුපසක හෝ කේක් එකක ප්‍රණීත සුවඳ අපට දැනෙනවා.”
කෙසේවුවත්, ගුණදායී ආහාරයෙන් පෝෂණය වනවා වෙනුවට දි ඉකොනමිස්ට් පවසන පරිදි, “දළ වශයෙන් දුගී රටවල [මිලියන] 780ක ජනතාවට, ඔවුන්ගේ ජනගහනයෙන් පහෙන් එකකට ප්‍රමාණවත් ආහාරයක් නොලැබේ. බිලියන 2ක් වැනි ජනතාවකට තම කුස පුරවාගැනීමට ප්‍රමාණවත්ව ලැබෙන නමුත්, ඔවුන්ට අවශ්‍ය විටමින් සහ ඛණිජ නොලැබේ.” නිසි පෝෂණය නොලැබූ කෙනෙකු දුර්වල පමණක් නොව නමුත් අන්‍යයන්ට උපකාර කිරීමටද අඩු හැකියාවකින් සිටියි. මෙබැවින්, නිසි පෝෂණය නොලැබූ දරුවන් සම්බන්ධයෙන් බ්‍රසීලයේ සැවෝ පවුලෝ විශ්වවිද්‍යාලයෙහි ආර්ථික විද්‍යාඥ එඩ්වර්ඩූ ජානෙට්ටි ඩා ෆොන්සේක මෙසේ පැවසූ බවට සඳහන් වේ: “මෙම [මිනිස් සම්පත්වල නාස්තිය] වෙන කිසිවකට වඩා දරුණුය. . . . දුගීබව හේතුවෙන් මෙම දරුවන්ගේ කුසලතා හා හැකියාවන් යටපත් වී ඇතැයි මා විශ්වාස කරනවා. විවිධ තත්වයන් යටතේ ඔවුන් අතරෙන් ඇල්බට් අයින්ස්ටයින් කෙනෙකු බිහිවිය හැකිය.” වේජා නමැති සඟරාව මෙසේ ප්‍රකාශ කරයි: “කුපෝෂණය නිසා රටට වැඩදායී ජනයා අහිමි වී යන බැවින්, මතු අනාගතය සඳහා බුද්ධි මහිමය, නිර්මාණාත්මකභාවය සහ ශක්තිය නාස්ති වී යයි.” මෙබැවින්, ජීවන වියදම ඉහළ ගියත්, පෝෂ්‍යදායී ආහාර වෙනුවෙන් මුදල් යෙදවීමෙන් ඥානවන්ත දෙමව්පියෝ තම දරුවන්ට ශක්තිමත් අත්තිවාරමක් දමති.
ඥානවන්ත ආයෝජනයක්
“ආයෝජනය” යනුවෙන් අදහස් කරන්නේ “අනාගත ප්‍රයෝජනය හෝ වාසි සඳහා යොදාගැනීම වේ.” පෝෂණය තුළ ආයෝජනය කිරීමට ඔබට හැක්කේ කෙසේද? අවශ්‍ය වුවහොත්, ඔබ සුඛෝපභෝගි හෝ ඉහළ පැළැන්තියේ භාණ්ඩවලින් වැළකී, ඔබේ සීමිත මුදල ගුණදායී ආහාර මිල දී ගැනීමට යොදන්නෙහිද?
“උත්පත්තියේදී හදිසියේ ක්‍රියාත්මක වන තුරු සංවේදන ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරිත්වය යටපත් වී තිබෙන්නේ නැත; සංවේදන ඉන්ද්රිය පද්ධතිය ක්‍රියාත්මක වන්නේ උපතට බොහෝ කලකට පෙර බව සාක්ෂි පෙන්නුම් කරයි,” යනුවෙන් ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසයි. මෙබැවින්, දරුවෙකු පෝෂණය කිරීමට නියම ක්‍රමය හොඳින් පෝෂණය වූ මවක් වීමය. මිනිස් කිරි පූර්ණ පෝෂණයක් පමණක් නොව, පොදු රෝගවලට එරෙහිව ප්රතිශක්තීන් පවා සපයන බැවින්, උත්පත්තියෙන් පසු ඊළඟ පියවර වනාහි බිළිඳාට මව්-කිරි දීමය. එක්සත් ජාතීන්ගේ ප්රකාශනයක් වන ෆැක්ට්ස් ෆො ලයිෆ් මෙසේ පවසයි: “බිළිඳෙකුගේ ජීවිතයේ පළමු මාස කීපයේදී, හොඳම ආහාරය සහ පානය වන්නේ මව් කිරි පමණකි. බිළිඳුන්ට මාස හතර-සිට-හය වන විට මව් කිරිවලට අමතරව වෙනත් ආහාරද දිය යුතුය.”
විශිෂ්ට ලෙස යළිත් ප්‍රකෘති ස්වභාවට පැමිණිය හැකි වුවත් මිනිස් සිරුර අඩුවෙන් තක්සේරු නොකළ යුතුය. ජීවිතයේ මුල් කාලයේදීම එය ගුණදායී ආහාරවලින් වර්ධනය කිරීම වැදගත්ය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “කෙනෙකු 6 හැවිරිදි වන විට, මොළය රාත්තල් 3ක (කිලෝග්‍රෑම් 1.4) පමණ සම්පූර්ණ බරකට පැමිණ තිබේ. මොළයේ සෛලවලින් වැඩි කොටසක් උපතේදීම දක්නට ලැබෙන අතර, එබැවින් බරෙහි වැඩි වීම ප්‍රධාන වශයෙන්ම පැමිණෙන්නේ සෛලවල වැඩීමත් සමඟිනි. මෙම වසර-හයේ කාලපරිච්ඡේදය තුළදී, පුද්ගලයෙක් සිය ජීවිතයේ ඉතාමත්ම වේගයෙන් නව හැසිරීම් රටාවන් ඉගෙනගන්නා අතර එය අත්කරගනියි.” එබැවින්, දරුවා හයවන වසරෙන් පසුව හොඳ ආහාර වේලක් භුක්තිවිඳිනවා වුවත්, මොළයේ අතිරේක සෛල වැඩෙන්නේ සාපේක්ෂ වශයෙන් ස්වල්පයකි. කේට් මෙසේ නිරීක්ෂණය කරයි: “දෙමව්පියන්ට තම දරුවන්ට දිය හැකි ත්‍යාගවලින් උතුම්ම ත්‍යාගය පෝෂ්‍යදායී ආහාර වේ. ජී විතයේ අවශ්යතායයි කියා සිටින, බොහෝවිට සුඛෝපභෝගි පමණක් වන දේවලින් බොහෝමයක් සැපයිය නොහැකි වුවත්, තම දරුවන් තුළ මානසික හා ශාරීරික සෞඛ්‍යය තැන්පත් කරන දෙමව්පියෝ, යළි කිසිදා නිෂ්ඵල නොවන ජීවිත ආරම්භයක් බිළිඳු අවදියේදීම දෙති.”
වෙනස් ආහාර වේලක් තිබිය යුත්තේ මන්ද?
දරුවෙකුට ශාරීරිකව හා මානසිකව වැඩීමට ප්‍රෝටීන බහුල ආහාර අවශ්‍යය. නිසි පෝෂණය නොදීමෙන්, පාසැලේදී දරුවාගේ වැඩීම බාල වන අතර, වැඩි අවධානයක් යොමු කිරීමට හෝ ඉගැන්වූ දේ මතක තබාගැනීමට නොහැකි කරවමින් දරුවා මන්දෝත්සාහි මෙන්ම වෙහෙසට පත්විය හැක. පෝෂ්‍ය පදාර්ථ—ප්‍රෝටීන, විටමින්, අත්‍යවශ්‍ය මේද හෝ වෙනත් පෝෂ්‍ය පදාර්ථවලින් එකක් හෝ හිඟ වීමෙන්, අඩුම තරමින් විවිධ ඌනතා රෝග 25ක්වත් ඇති වේ.
ජ්වකිම් ගැන සලකා බලන්න. “අප දුගීව සිටියා,” යයි ඔහු පවසයි. “නමුත් අපට ඉඩමක් තිබුණ නිසා, අප කෑමට ගත් හැම ආහාරයක්ම පාහේ වගා කළා. සෑම ආහාර වේලකටම අපට ඉරිඟු හා රයි ධාන්‍යයෙන් සෑදූ පාන් තිබුණු අතර, එය හොඳ පෝෂණයට දායක වුණා. මගේ මව සෑම දිනකම පාහේ බෝංචි ඇතුළු, විවිධ එළවළු අඩංගු සුප් හදන නිසා මෙය අපට අවශ්‍ය පෝෂ්‍ය දෑ බොහෝමයක් සපයා දුන්නා. අපට වැඩිය මස් කන්න ලැබුණෙ නැති නමුත්, මාළු කන්න ලැබුණා, වැඩිපුරම කන්න ලැබුණේ සාර්ඩීන්, මෝර සහ හුරුල්ලෝ වැනි මාළුයි.” ඔහු තවදුරටත් මෙසේ පවසයි: “මගේ මවට දරුවන් පස්දෙනෙක් සිටියා, අපගෙන් එක්කෙනෙකුටවත් හෙම්බිරිස්සාව සහ උණ හැදුණාට වඩා වෙන අසනීපයක් නම් හැදුණු බවක් මතක නෑ. මම හිතන්නේ හොඳ-සමබරතාවකින් යුතු අපේ ආහාර වේල් ඊට දායක වූ බවයි.” දරුවන් සත්දෙනෙකු සිටින මවක් මෙසේ පැහැදිලි කරයි: “අඩු වියදමකින් පෝෂ්‍ය ආහාර සපයාගැනීමට අපට අවශ්‍ය වුණා. එනිසා අපි වත්තේ එළවළු වැවුවා, එය කුඩා වුණත්, අපේ අවශ්‍යතා ප්‍රමාණවත්ව නිපදෙවුවා.” ඈ තවදුරටත් මෙසේ පවසයි: “අපේ දරුවන්ට කිසිදාක දරුණු අසනීපයක් තිබිලා නෑ, ඔවුන්ගේ පාසැල් වැඩවලදී සැමවිටම සාර්ථකත්වයක් තිබුණා.”
නිල වශයෙන් පිළිගත් රසායනික මූලධාතූන් 103න් ඔබේ ශරීරයේ පෝෂණය සඳහා 22ක්ම අවශ්‍ය වේ. ඔබට පෞද්ගලික වශයෙන් අවශ්‍ය විටමින්, ඛණිජ ලවණ සහ ප්‍රෝටීන නියම ප්‍රමාණය තීරණය කළ නොහැකි වුවත්, හොඳ-සමබර ආහාර වේලක් ඔබේ අවශ්‍යතා සපුරාලයි. එක් අධිකාරයක් මෙසේ ප්‍රකාශ කළේය: “හොඳ පෝෂණයට යතුර වනාහි සියලු ආකාරයේ පෝෂණයන් අඩංගු විවිධත්වයකින් යුතු ආහාර වේලක් ගැනීමය.”
තික්ත රසැති එළවළු වැනි යම් ආහාරවලට ඔබේ දරුවන් අකමැති වුවහොත් කුමක්ද? පළපුරුදු කෝකියෙක් පවසන ආකාරයට දෙමව්පියන් “තම ප්‍රදේශයෙන් ලබාගත හැකි එළවළු සියල්ලම දිය යුතුය. බාල වියේදී එළවළු කන්ට නොදීමේ හේතුවෙන් වැඩුණු දරුවන් බොහෝදෙනෙක් එළවළු නොකති. එළවළු මගින් තන්තු සහ අපගේ විටමින් අවශ්යතාවන්ගෙන් බොහොමයක් සපයන බැවින් මෙන්ම මිලද අඩු බැවින්, දෙමව්පියන් සැමවිටම තම දරුවන්ට දිය යුතුය.” එබැවින් සමහරවිට ප්‍රනීත සුප්ලේ හෝ ඉස්ටු ආහාරයකට යොදාගනිමින්, අලුත් එළවළු සහ පලතුරු හොඳින් ප්‍රයෝජනයට ගත හැකි අලුත් කෑම වට්ටෝරු ඉගෙන නොගන්නේ මන්ද? පෝෂණ ගුණයෙන් අඩුයයි පැවසිය හැකි කැලරි සම්බන්ධයෙන් ඔහු මෙසේ යෝජනා කරයි: “විශේෂ අවස්ථා හැර අන් අවස්ථාවලදී දෙමව්පියන් නිවසේ පැණිරස ආහාර තබා නොගත යුතුය. [දරුවන්ට] ඒවා නොතිබේ නම්, ඔවුන් ඒවා කන්නේ නැත.”
සුදුසු ආහාර ප්‍රමාණයන් ගැනීමෙන් කුපෝෂණයේ අනතුර අඩු කරගත හැකි වුවත්, ඇතැම් අය වුවමනාවට වඩා කෑමෙන් ගැටලු ඇති කරගනිති. ශරීරයේ අවශ්‍යතාවලට අමතර කැලරි ප්‍රමාණයක් ගැනීමෙන් තරබාරුභාවයට මඟ පෑදිය හැකි අතර, එය දියවැඩියාව හා හෘදයාබාධ ඇති කළ හැක.a ආහාර ගැනීමේ සුදුසු පුරුදු වෙනුවට බෙහෙත් හෝ ශාරීරික ක්‍රියාවලිය ආදේශකයක් විය නොහැකි බැවින්, හොඳ යෝජනාවක් වන්නේ මේද, පැණිරස, ලුණු සහ මත්පැන් ගැනීම අඩු කිරීමය. එමෙන්ම, එන්සයික්ලොපීඩියාවක පවසන්නේ, “කුසගින්න, තනිකම, කලකිරීම, නිරසබව, කෝපය සහ බලවත් වෙහෙස අඩු කිරීමට පියවර ගත යුතුය, මන්ද මේ සෑම එකක්ම වුවමනාවට වඩා ආහාර ගැනීමට පෙලඹවිය හැක.”
ආහාර සහ සෞඛ්‍යය ගැන සමබර ආකල්පයක්
බයිබලය පෝෂණය පිළිබඳ අත්පොතක් නොවේ; කෙසේවුවද, සෞඛ්‍යය පිළිබඳ කාරණාවලදී සමබරව සිටීමට එය අපට උපකාර කරයි. “සැබෑව දැනගන සිටින ඇදහිලිවන්තයන් විසින් ස්තුතිදීමෙන් පිළිගන්නා පිණිස දෙවියන්වහන්සේ මැවූ කෑමවලින් වැලකීමට” අන් අයට “අණකරන්නාවූ” අයට විරුද්ධව ප්‍රේරිත පාවුල් අනතුරු ඇඟවීය. (1 තිමෝති 4:3) දෙවියන්වහන්සේට වුවමනා වන්නේ අප හොඳින් තෘප්තිමත් වී, ලබාගත හැකි දෙයින් හොඳින් ප්‍රයෝජන ගැනීමය. “කරදර ඇතුව බොහෝ වස්තු ඇතිවීමට වඩා ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඇතුව ස්වල්පයක් හොඳය.”—හිතෝපදේශ 15:16.
අදදින කිසිවෙකු පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්තිවිඳින්නේ නැත. එබැවින් නොසලකා හැරීම හෝ වුවමනාවට වඩා සැලකිලිමත් වීම, සාධාරණ නොවන්නේ මන්ද? පෝෂණය හෝ සෞඛ්‍යය කාරණා සම්බන්ධයෙන් අධිකතර හෝ සීමාන්තික උනන්දුව, අපේ සමබරතාව අහිමි කරගැනීමට අපට සැලැස්විය හැක.
අපේ සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වීමට පරිශ්‍රමයක් දැරුවත්, වත්මන් දේවල තත්වය හේතුවෙන් අපි අවසානයේදී මහලු වී මියයන්නෙමු. එහෙත්, දේවරාජ්‍යය කුපෝෂණය හා රෝග කෙළවර කරන බවට සහතික කර තිබීම සතුටට කරුණකි. සාගතය තුරන් කිරීමට මිනිස් සැලසුම් අසාර්ථක වුවත්, සියලුදෙනාටම බහුල ලෙස පෝෂ්‍ය ආහාර ඇති ලෝකයක් දෙස බලාසිටිය හැක.—ගීතාවලිය 72:16; 85:12. g95 3/8
[පාදසටහන්වල]
a “ඔබේ උස, මහත සහ වයස සඳහා ‘සුදුසු’ බර . . . සියයට 20කට වඩා වැඩි වුවහොත් ඇතැම් ප්‍රවීණයන්ට හැඟෙන්නේ ඔබ මහත බවය.”—දි අමෙරිකන් මෙඩිකල් එසෝසිඒෂන් ෆැමිලි මෙඩිකල් ගයිඩ්, පිටුව 501. එමෙන්ම 1994 ඔක්තෝබර් 8 පිබිදෙව්! “යෞවන අය අසති . . . මට බර අඩුකර ගත හැක්කේ කෙසේද?” සහ 1989 මැයි 22 එවේක්! “ඊස් ලූසිං වේට් එ ලූසිං බැට්ල්?”
[7වන පිටුවේ කොටුව]
ආහාර ගැනීමේ හොඳ පුරුදු ඇති කරගැනීමට ඔබේ දරුවාට උපකාර කිරීමට යෝජනා
◻ හොඳ ආදර්ශයක් තබන්න.
◻ දරුවන්ට ඔවුන්ට වුවමනා දේ පමණක් කන්න ඉඩ නොදෙන්න.
◻ නිවසේ සුළු කෑම වර්ග හෝ පැණිරස තැබීමෙන් වළකින්න.
◻ විවිධ ආහාර වර්ග අගය කිරීමට දරුවන්ව පුහුණු කරන්න.
◻ උදේ ආහාරය ඇතුළුව, ආහාර ගැනීමට නියමිත වේලාවන් යොදාගන්න.
◻ රූපවාහිනී නිවේදනවලට ඔබ ආහාරයට ගන්නා දෙය මත බලපෑමක් කිරීමට ඉඩ නොදෙන්න.
◻ දරුවන්ට ශීතකරණයෙන් තනිවම ගෙන කන්න ඉඩ නොදෙන්න.
◻ ආහාර පිසීමට උපකාර කිරීමට දරුවන්ව පුහුණු කරන්න.
◻ එදිනෙදා කෑමබීම සඳහා කෘතඥතාව වර්ධනය කරන්න.