ජනප්‍රිය නව යුග ව්‍යාපාරය
අප ජීවත් වෙමින් සිටින්නේ තීරණාත්මක යුගයකය. සම්ප්‍රදායික සාරධර්ම සහ ජීවන-රටාවන් නිතර නිතර සැකයට භාජන වේ. ආගමේ සහ දේශපාලනයේ භයානක වූ මිශ්‍රණය අපව එක් අර්බුදයක සිට තවත් එකකට හෙළයි. විද්‍යාව සහ තාක්ෂණය මිනිස් වර්ගයාගේ ගැටලුවලට කල්පවතින විසඳුම් කිසිවක් ගෙනදී නැත. සම්පූර්ණයෙන්ම නව ලෝක පිළිවෙළක් ගෙනෙනු ලැබුවොත් මිස, කාරණා පිළිබඳව මෙබඳු තත්ත්වයක් විසඳිය නොහැකි බව බොහෝ දෙනෙක් ඒත්තුගෙන සිටිති.
එසේ වුවත් එවන් යුගයක් ඇති වන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ මැදිහත්වීමෙන්ද? එය එසේ නම් අපට දිගටම බලා සිටීමට සිදුවනු ඇත්ද? නොඑසේ නම් ඒ සම්බන්ධයෙන් අපහට යමක් කළ හැකිද? අතිශයින් අත්‍යවශ්‍ය වන නව යුගය ඇති කිරීමට අපට හැකිද? ලොව වටා සිටින විවිධ තරාතිරම්වලට අයත් මිලියන සංඛ්‍යාත ජනයා සාමයේ සහ සහෝදරත්වයේ නව යුගයක් ගෙන ඒම සම්බන්ධයෙන් තමන්ට ක්‍රියාශීලී කොටසක් දැරිය හැකි බව විශ්වාස කරත්. ඔවුන් අයත් වන්නේ නවීන පන්නයේ මත දරන නව යුගයටයි, එමෙන්ම ඔබ ඔවුන් සමඟ හවුල් වෙනවාට ඔවුහු කැමති වෙත්!
සමස්ත ලෝක ව්‍යාපාරයක්
නව යුග ව්‍යාපාරය ගැන ඔබ අසා තිබෙනවාද? බොහෝ රටවල “නව යුගය” යන පදය ඇතැම් ජනප්‍රිය පොත්පත්, සංගීතය සහ කලාව සම්බන්ධයෙන් ලිහිල්ව භාවිතා කර තිබේ. ඇයි, නව යුග ආපන ශාලා පවා තිබේ! ක්‍රීඩා වීරයෝ සහ සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුනිළියෝ මෙම ව්‍යාපාරයට අනුබල දෙති. එහි සාමාජිකයෝ සමුළු සහ ප්‍රදර්ශන නිතිපතා පවත්වති. “නව යුගය” යන පදය රූප ලාවණ්‍ය වර්ග, රූ වඩන නිෂ්පාදන, විටමින් වර්ග සහ සෞඛ්‍යා-රක්ෂක ද්‍රව්‍ය වැනි පාරිභෝගික භාණ්ඩවලට පුළුල් වශයෙන් යොදා තිබේ. නව යුගය පිළිබඳ පොත් මිලියන ගණනින් විකුණනු ලැබෙයි. සමහර සාප්පුවල ඒවාට විශේෂ ස්ථානයක් වෙන් කොට තිබේ. මෙම පොත් බොහොමයක් පාඨකයන් කෙරෙහි ප්‍රබල ආගමික බලපෑමක් කරයි.
එම ව්‍යාපාරය ගැන සඳහන් කරමින්, “පසුගිය දශක තුන පුරා දිගටම පුපුරාගෙන ගොස් ඇති ආගමික හයිඩ්රජන්-බෝම්බයකට සමාන බව” ද කොස්මික් සෙල්ෆ්—එ පෙනට්රේටිං ලුක් ඇට් ටුඩේස් නිව් ඒජ් මූව්මන්ට්ස්, නමැති සිය පොතෙහි කර්තෘ ටෙඩ් පීටර්ස් පවසයි. “නව යුග” දිවැසිවරයෝ තමන්ගේ පැත්තට ජනයාව හරවාගන්නා බවත්; එමෙන්ම . . . රෙපරමාදුවෝ, රෝමානු කතෝලිකයෝ, යුදෙව්වෝ, අදේවවාදීහු මෙන්ම උතුරු අමෙරිකාවේ බෞද්ධයෝ සහ හින්දු භක්තිකයෝ වැඩිවන සංඛ්‍යාවක් ඔවුන්ගේ ඉගැන්වීම් පිළිගන්නෝ වන” බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
ලන්ඩන්හි ද ටයිම්ස් වාර්තා කරන්නේ, “නව යුගවාදය . . . ඇතැම්විට දැනට බටහිරේ වඩාත් ශීඝ්‍රයෙන් වර්ධනය වන ඇදහිලි ක්‍රමය බවයි. ඉතා ඉක්මනින් අමෙරිකානුවන්ගෙන් සියයට 25ක ප්‍රතිශතයක් නව යුගවාදයේ යම් ප්‍රමාණයක් පිළිගනු ඇති බව ගණනය කොට තිබේ.” නෙදර්ලන්තයේ දේවධර්ම ශාස්ත්‍රඥවරුන් සිය දෙනෙකු පමණ “නව යුගයේ කල්පනා ක්‍රමය පල්ලියේ ජීවිතයටත් දේශනාවටත් හඳුන්වා දිය හැක්කේ කෙසේද යන්න ගැන සාකච්ඡා කිරීමට” නිතිපතා රැස්වෙමින් සිටිය බව ෆූන්ඩාමෙන්ටම් නමැති ස්විස් සඟරාව නිරීක්ෂණය කළේය. “ලොව වටා තිබෙන රටවල් නව යුගය පිළිපැදීමට විවිධ ක්‍රම උපයෝගි කරන නමුත්, එහි තිබෙන ආකර්ෂණය සර්ව ලෝක එකක්” වන බව වෙනත් සඟරාවක් ප්‍රකාශ කරයි.
නව යුග උපදේශකවරු සඳහාත් නව යුග වැඩසටහන්වල ඔවුන්ගේ සේවකයන්ව ඇතුළත් කරගැනීම සඳහාත් වෙළෙඳ ආයතන මගින් ඩොලර් මිලියන සංඛ්‍යාවක් වියදම් කර තිබේ. “නව යුගයේ කල්පනා ක්‍රමය අමෙරිකාවේ වෙළෙඳ ආයතනවල වඩාත්ම ශක්තිමත් ආයතනවලට පවා ඇතුළත්වී තිබෙන” බව සැන් ෆ්රැන්සිස්කෝ ක්‍රොනිකල් වාර්තා කරයි. ආයතන 500ක් සම්බන්ධව කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඉන් සියයට 50කටත් වඩා වැඩි ප්‍රමාණයකට නව යුගයේ කල්පනා ක්‍රමය සමඟ යම් ආකාරයක සම්බන්ධයක් තිබූ බව යයි එම පුවත්පත තවදුරටත් වාර්තා කරයි.
එසේ වුවත් නව යුගයේ නැඹුරුවාව කුමක්ද, තවද එය ඇති වූයේ කෙසේද? එය සැබවින්ම පොළොවට සාමය සහ සමඟිය ගෙනෙනු ඇත්ද? එය උගන්වන්නේ කුමක්ද, තවද එය ඔබට බලපාන්නේ කෙසේද? g94 3/8