සැබෑ නව යුගය පැමිණෙනු ඇත්තේ කෙසේද?
නව යුග ව්‍යාපාරයේ කර්තෘ ශර්ලි මැක්ලේන් පහත සඳහන ලියූ විට ඉතා පොදු වූ හැඟීමක් ප්‍රකාශ කළාය: “ලෝකය තුළ වැරදෙමින් තිබුණේ කුමක්ද යන්න ගැන මම බොහෝ සෙයින් කල්පනා කරමින් සිටින බව මට දැනුණා. අසරණභාවය, ජනයා හාමතේ සිටීම සහ වෛරය ඔබ දකින විට එලෙස කල්පනා කිරීමෙන් වැළකීමට ඔබට නොහැකියි. මට අවුරුදු දහනවයක්ව සිටිද්දී සංචාරයේ යෙදෙන්නට පටන් ගත්තා, දැන් හතළිස් ගණන්වල මැද භාගයේ සිටින මට, දේවල් පිරිහීම කරා ස්ථිරව ගමන් කර තිබෙන බව පැහැදිලිවම කිව හැකියි.”
ඊට සමානාකාරයකින්, සෑම තැනකම සිටින ජනයා ආගමික කුහකකම සහ අසත්‍යතාව ගැන කලකිරී සිටිති. ආණ්ඩු ක්‍රමවල නොසැලකිල්ල සහ නොහැකිකම් නිසා ඔවුහු බලාපොරොත්තු භංග තත්ත්වයක සිටිති. වෛද්‍ය ආයතනය තුළ දක්නට තිබෙන උදාසීන ආකල්ප සහ දෝෂයන් නිසා ඔවුහු තැතිගෙන සිටිති. එමෙන්ම බොහෝ දෙනෙක් ජාතිවාදී හෝ ලිංග අගතියට සහ තමන්ගේම මතයට එල්බ සිටින අයගේ ක්‍රියාවලට ගොදුරු වී සිටිති.
යථාර්ථානුරූපී විසඳුමක්?
අපට නව ලොවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වීම ගැන සැකයක් නැත. එසේ වුවත් නව යුග බලාපොරොත්තු යථාර්ථානුරූපී ඒවා වේද? එසේත් නැතහොත් එමගින් දැක්වෙන අනාගතය හොලිවුඩ්හි විද්‍යා-ප්‍රබන්ධ චිත්‍රපටිවලට බොහෝ සෙයින් සමානද? අමතක වූ සම්ප්‍රදායන්, පුරාතන මිත්‍යා ප්‍රබන්ධ සහ අනුමාන කිරීම් මත පදනම් වූ අනාවැකි කෙරෙහි විශ්වාසය තැබීම නුවණක්කාර දෙයක් මෙන් පෙනේද?
නව යුග ව්‍යාපාරය තෝරාගෙන තිබෙන සංකල්ප බොහොමයක් සීමිත ආකාරයකින් මානසික මෙන්ම ශාරීරික ශුභ සිද්ධියට අනුබල දිය හැකි බව සැබෑවක් විය හැකිය. හොඳ පෝෂණය, ව්‍යායාමය, විවේකය සහ පරිසරය ගැන සැලකිලිමත් වීම යන සියල්ල ජීවිතයේ ප්‍රඥාවන්ත පාර්ශ්වයන් වේ. රෝගීන්ගේ ශාරීරික අසනීපවලට ප්‍රතිකාර කරන අතරතුරේදී ඔවුන්ගේ චිත්ත වේගීය අවශ්‍යතාවන්ට වැඩි අවධානයක් යොමු කළා නම් වෛද්‍ය ව්‍යාපාරයේ සිටින අයට සමහරවිට වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වනු ඇත. කෙසේවුවත් සෑම කෙනෙක්ම කවදාහරි අසනීප වෙයි, එමෙන්ම වඩාත්ම සෞඛ්‍යය සම්පන්න අය පවා අවසානයේදී මියයනු ඇත. අසනීප සහ මරණයේ අපේක්ෂාව තර්ජනයක් වන විට අපට ජීවිතය සම්පූර්ණ වශයෙන් භුක්ති විඳීමට නොහැකිය. මෙම ගැටලුවලට නව යුග ව්‍යාපාරයේ ගුරුවරු සාධාරණ විසඳුමක් ඉදිරිපත් කරත්ද?
එන්ට එන්ටම වැඩිවන ජනකායක් ශෝකයෙන් සහ විෂාදයෙන් (කලකිරීමෙන්) සිටිත්, එමෙන්ම ඒ සම්බන්ධයෙන් නව යුග ව්‍යාපාරයට කළ හැකි වන්නේ ඉතා අල්පයක් පමණි. ලන්ඩන්හි ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්රිබ්යූන්හි මෙසේ සටහන් විය: “විසිවන ශතවර්ෂය ආරම්භයෙන් කාන්සාවේ යුගය ගෙනෙනු ලැබුවා නම්, එහි අවසානයෙන් දොම්නසේ යුගයක උදාව දකියි.” “බලවත් විෂාදය පිළිබඳව කරන ලද ප්‍රථම ජාත්‍යන්තර අධ්‍යයනයෙන් හෙළි වූයේ, එම ආබාධයේ නිශ්චිත වැඩිවීමක් ලොව වටාම තිබෙන බව,” යයි එම පුවත්පත තවදුරටත් සඳහන් කළේය.
ආගමික ස්වභාවයක් තිබෙන බවට අඟවන නව යුග ව්‍යාපාරය, නවීන දින සමාජය තුළ තිබෙන ආත්මික හිස් බව සැබවින්ම තෘප්තිමත් කරන්නේ නැත. වඩාත්ම යහපත් තත්ත්වයන් යටතේදී පවා ඉන් ඉදිරිපත් කරනු ලබන ආත්මික සහනය තාවකාලික එකක් පමණි. සම්භාවනීය ආගම මගින්, විශේෂයෙන් ක්‍රිස්තියානි ලෝකය මගින්, පොදු වශයෙන් පවතින ආත්මික හාමතයට සහනයක් සපයා නැති බව පිළිගත යුතු කරුණකි. “තනිකම හැඟුණා වූ, ආදරයෙන් ස්පර්ශ කරනු නොලැබුවා වූ, ප්‍රේම කරනු නොලැබුවා වූ අයට උපකාර කිරීමට පල්ලිය අසමත්වීම” ගැන එක් පුවත්පතක් විවෘතව දොස් නැඟුවේය. “දෙවියන්වහන්සේ සමඟ ඍජු හමුවීමකින් ලැබෙන හැඟීම පුද්ගලයෙකුට අහිමි කරන” නිරස යමක් වශයෙන් එම පුවත්පත නවීන ආගම විස්තර කළේය.
බයිබලය—පිළිතුරු සහිත පොතකි
ක්‍රිස්තියානි ලෝකය විසින් බයිබල් සත්‍යතා දූෂණය කොට සැහැල්ලු කර තිබේ. එලෙසම, නව යුග ව්‍යාපාරයේ බොහෝ ධර්මයන්ද බයිබල් ඉගැන්වීම්වලට පටහැනි වේ. නිදසුනක් වශයෙන්, පොළොවේ ගැටලුවලට මනුෂ්‍යයන් විසින් විසඳුමක් ගෙන ඒමට හැකි බවට වූ නව යුග අදහස සලකා බලන්න. යෙරෙමියා 10:23 [NW ]හි බයිබලය පැහැදිලිවම මෙසේ සඳහන් කරයි: “මිනිසාට තමාගේ මාර්ගය අයිති [නැත]. ඇවිදින මිනිසාට තමාගේ පියවර මෙහෙය වීමටවත් අයිතියක් නැත.” තවත් පදයක මෙසේ සඳහන් වෙයි: “ගැළවීම අයිති යෙහෝවඃවහන්සේටය.”—ගීතාවලිය 3:8, NW.
ශරීරයෙන් වෙන්ව, තනියෙන් ජීවත්වන අමරණීය ආත්මයක් මනුෂ්‍යයන්ට ඇති බව බයිබලය උගන්වන්නේ නැත. ශුද්ධ ලියවිලිවලට අනුව, ආත්මය නැසෙයි, එමෙන්ම සියලු සිතුවිලි සහ ක්‍රියාවන්හි අවසානය මරණය වෙයි. (ගණන් කථාව 23:10; 35:11; දේශනාකාරයා 9:5, 10) පුනර්භවය පිළිබඳ නව යුග සංකල්පය මෙමගින් පැහැදිලිවම තුරන් කෙරෙයි.
තවදුරටත්, මළවුන් සමඟ අදහස් හුවමාරු කිරීම කළ නොහැකි දෙයකි. බයිබලයට අනුව, මළවුන් සමඟ අදහස් හුවමාරු කිරීම යයි කියනු ලබන ඕනෑම දෙයක් ඇත්ත වශයෙන්ම—දෙවියන්වහන්සේගේ මෙන්ම මනුෂ්‍යත්වයේ ආත්ම සතුරෝ වන—භූතයන් සමඟ අදහස් හුවමාරු කිරීම අදහස් කරයි. එබැවින්, අනවින කිරීම, ජ්යෝතිඃශාස්ත්රය සහ ආත්ම මාධ්‍යයන් භාවිතා කිරීම ආදී ආත්ම බන්ධන ක්‍රියාවල නිරතවීම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මගින් මරණ දණ්ඩනය ලැබිය යුතු වරදක් ලෙස සලකනු ලැබීය.—ලෙවී කථාව 19:31; 20:6, 27; ද්විතීය කථාව 18:10-12.
සැබෑ ආත්මික සුවයේ උල්පත බයිබලය වේ. ක්‍රිස්තියානින්ට තමන්ගේ අභ්‍යන්තර පුද්ගලයා වටහාගෙන ඔවුන්ගේ පෞද්ගලිකත්වය පරිවර්තනය කිරීමට උපකාර කරන්නා වූ ඉගැන්වීම් මාලාවක් එහි අඩංගු වේ. (රෝම 12:2; 2 කොරින්ති 13:5; එපීස 4:21-24) එමගින් ආත්ම-හික්මවීම, සිහිකල්පනාව සහ තමාටත් අන් අයටත් ගෞරව කිරීම උගන්වනු ලැබෙයි.
ඇත්ත වශයෙන්ම, “අප එකිනෙකාගෙන් නුදුරුව සිටින,” මුළු විශ්වයටම උසස් වූ බලවේගය වන මැවුම්කරුවාණන් සමඟ සම්බන්ධවීමට බයිබලය අපට උපකාර කරයි. (ක්‍රියා 17:24-28) තවද මෙවන් ප්‍රශ්නවලට බයිබලය තෘප්තිය ගෙනදෙන පිළිතුරු සපයයි: අප මෙහි සිටින්නේ මන්ද? අප මහලු වී නැසෙන්නේ මන්ද? මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ මෙතරම් දුක් වේදනාවලට අවසර දී ඇත්තේ මන්ද? අදෘශ්‍යමාන විෂය තුළ සිටින බලසම්පන්න අය කවුද? ස්වාභාවික දෑ ඉක්මවූ සංසිද්ධීන් යයි හඳුන්වනු ලබන දේවල් බොහොමයකට වගකිව යුත්තේ ඔවුන්ද?
අනාගතය සඳහා බයිබලය පොරොන්දු කරන්නේ, මෙම පොළොව මතම, පරිපූර්ණ සෞඛ්‍යය සහ සදාකාල ජීවනය ඇතුලු පිරිසිදු පරිසරයක් සහිත සාමය සහ සමඟිය ඇති නව ලෝකයක්ය. (යෙසායා 33:24; 2 පේතෘස් 3:13) එම නව ලොවෙහි, මනුෂ්‍යයන් ඔවුන්ගේ දැනුම වැඩි කරනු ඇති බව නොඅනුමානය, එමෙන්ම දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, ඔවුන් මනුෂ්‍ය ශරීරය ගැන, අපගේ ග්‍රහයා ගැන සහ විශ්වයේ ඉතිරි කොටස ගැන සැඟවුණු දේවල් බොහොමයක් සොයා ගන්නවා ඇත. මේ සියල්ලක්ම මනුෂ්‍යත්වයට ප්‍රිය කරන දෙවි කෙනෙකු වන, යෙහෝවඃවහන්සේගේ බලයෙන් ඉටු කරනු ලබනවා ඇත.
ඔබ එහි සිටිනු ඇත්ද?
කෙසේවෙතත්, මෙම ආශීර්වාද ලැබිය හැක්කේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවලට අනුකූලව ජීවත්වන අයට පමණක් බවද බයිබලය උගන්වයි. මෙම ව්‍යවස්ථා පීඩාකාරී ඒවා නොවේ. එහෙත් ඒවාට කීකරු වීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. (හිතෝපදේශ 4:18, 19; 1 යොහන් 5:3) ශුද්ධ ලියවිලිවලට එකඟ නොවන නව යුග කල්පනා ක්‍රමය පිළිගැනීමත් සමඟ බයිබලය තුළ විශ්වාසය තැබීමට නොහැකිය.—1 කොරින්ති 3:18-20; 10:18-22; යාකොබ් 4:4.
එබැවින්, නව යුග ව්‍යාපාරයේ ශුද්ධ ලියවිලිවලට එකඟ නොවන කල්පනා ක්රමයේ පටලැවීමෙන් වැළකීමට සැබෑ ක්‍රිස්තියානිහු වගබලා ගනිති. හොඳ විනිශ්චය සහ සාධාරණකම මීට අවශ්‍ය වේ. “නව යුග” ව්‍යාපාරයේ ලේබලය නව යුග ව්‍යාපාරයෙන් ආරම්භ නොවූ දේවලට පුළුල් ලෙස භාවිතා කරනු ලබන බවත් ඒවා අනිවාර්යයෙන්ම ශුද්ධ ලියවිලිවලට එකඟ නොවන දේවල් විය නොහැකි බවත් තේරුම් ගැනීම වැදගත්ය. මෙය විශේෂයෙන් සෞඛ්‍යය, පෝෂණය, කලාව සහ සංගීතය යන ක්ෂේත්රයන් තුළ සැබෑවකි. එබැවින් බයිබලය හෙළා දකින ඕනෑම දෙයකින් ඈත් වී සිටීමට ක්‍රිස්තියානින් සහතික වනවාත් සමඟම විචාර බුද්ධියද බුද්ධිමත් සමබරතාවද ක්‍රියාවට නැංවිය යුතු වේ. යෝග්‍ය ලෙස හිතෝපදේශ 14:15, [NW ] ප්‍රඥාවන්තව මෙසේ උපදෙස් දෙයි: “අද්දැකීම් අඩු තැනැත්තා හැම වචනයක්ම විශ්වාස කරයි; එහෙත් සියුම් නුවණ ඇති තැනැත්තා තමාගේ පියවර හොඳින් සලකා බලයි.”
එසේය, සැබෑ ඥානාලෝකයට යතුර බයිබලයයි. නව යුග ව්‍යාපාරයේ සාමාජිකයන් සාමාන්‍යයෙන් ශුද්ධ ලියවිලිවලට දක්වන අගෞරවයෙන් ලොවට ගෙන දිය හැක්කේ වැඩි අඳුරු බවක් පමණි. එහෙත් ආත්මික ආලෝකයත් දෙවියන්වහන්සේ විසින් පොරොන්දු කරන ලද නව ලොවක බලාපොරොත්තුවත් බයිබලය සපයයි: “මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය. . . . සිංහාසනය පිට වැඩහුන් තැනැන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියාපන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක.”—එළිදරව් 21:3-5. g94 3/8