යේසුස්ගෙන් ඉගෙනගන්න
ගහමරාගන්න එකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ
අද ගොඩක් අය හිතන්නේ මතගැටුමක් ප්‍රශ්නයක් ඇති වුණාම ඒක අතින් පයින් විසඳගන්න එක තමයි හොඳම දේ කියලා. ඒ අදහස මිනිස්සු අතරේ හරිම වේගයෙන් පැතිරෙනවා. ඒත් ඒක යේසුස් උගන්නපු දේවල්වලට සහ ඔහු වැඩ කරපු විදිහට වඩා හාත්පසින්ම වෙනස්. ඒක තේරුම්ගන්න යේසුස් කරපු කියපු දේවල් ගැන අපි ටිකක් බලමු.
යේසුස් කිව්වේ මොනවාද?
කන්ද උඩ දේශනයේදී යේසුස් ඉගැන්නුවා එකඟ නොවීමක් ඇති වෙද්දී කේන්ති ගන්නවත් දරුණු විදිහට වැඩ කරන්නවත් එපා කියලා. ඔහු ඒ වෙලාවේ කියපු දේවල් කීපයක් දැන් අපි බලමු.
“අනිත් අය ඔයා වෙනුවෙන් කරනවාට කැමති හැම දේම ඔයාත් ඒ අයට කරන්න.” (මතෙව් 7:12; ලූක් 6:31) යේසුස් දුන්න ඒ උපදෙසට හුඟක් අය කියන්නේ රන් අණa කියලා. ඒකෙන් අපිට මතක් කරන්නේ අනිත් අය අපිට සලකනවාට අපි කැමති විදිහටම අපිත් අනිත් අයට සලකන්න ඕනෙ කියලා. ටිකකට හිතන්න, කවුරුත් ඔයාට නපුරු විදිහට සලකනවාට ඔයා කැමතිද? නැහැ නේද? එහෙමනම් එකඟ නොවීමක් ඇති වෙද්දීත් අපි අනිත් අයට සලකන්න ඕනෙ ආදරයෙන්, ගෞරවයෙන් නෙමෙයිද?
“කවුරු හරි කෙනෙක් ඔයාගේ දකුණු කම්මුලට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න එයාට ඉඩ දෙන්න.” (මතෙව් 5:38, 39; ලූක් 6:29) යේසුස් ඒකෙන් අදහස් කළේ ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔහේ ඔළුව පහත් කරන් ඉන්න කියලා නෙමෙයි. එහෙනම් මොකක්ද ඔහු කියන්න හැදුවේ? පේන විදිහට ඒ කාලේ ආගමික නායකයන් කියලා තියෙනවා එකට එක කරන එකේ වරදක් නැහැ කියලා. ඉතින් යේසුස්ට ඕනෙ වුණේ ඒ අදහස නිවැරදි කරන්න. ඔහු ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවේ කේන්ති යන දේවල් වුණත් එකට එක කරන්නේ නැතුව ඒ වෙලාවට ඉවසීමෙන් වැඩ කරන්න කියලයි.b
“ඔයාලාගේ සතුරන්ට දිගටම ආදරේ කරන්න.” (මතෙව් 5:43, 44; ලූක් 6:27) යේසුස් මෙතන කියන්නේ අපිට වෛර කරන අයට, අපිට අසාධාරණ විදිහට සලකන අයට කරුණාව පෙන්නන්න කියලා. ඒත් ඒකෙන් අදහස් වෙනවාද එයාලා කරන වැරදි දේවල් අපි අනුමත කරනවා කියලා? නැහැ.c හැබැයි අපි එයාලට කරුණාවෙන් සලකද්දී එයාලාගේ කේන්තිය නිවලා දාන්න අපිට පුළුවන් වෙයි. අනිත් අතට ඒක දැක්කාම එයාලත් පෙලඹෙයි අපිට කරුණාවන්තව සලකන්න.
යේසුස් කරපු දේ සහ කරන්න යන දේ
යේසුස් ඉගැන්නුවා ගහමරාගන්න එක නෙමෙයි ප්‍රශ්නවලට විසඳුම කියලා. ඔහු ඒක කිව්වා විතරක් නෙමෙයි ඔහු වැඩ කරපු විදිහෙනුත් ඒක කරලා පෙන්නුවා. ඔහුව අත්අඩංගුවට ගත්ත දවසේ රෑ ඔහුගේ ගෝලයෙක් ඔහුව ආරක්ෂා කරන්න හිතාගෙන ආයුධයක් අතට අරන් දරුණු විදිහට හැසිරුණා. ඒත් “ඒ වෙලාවේ යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයාගේ කඩුව ආයෙත් කොපුවට දාගන්න. මොකද කඩු ගන්න හැම කෙනෙක්ම කඩුවෙන්ම මැරෙනවා.’” (මතෙව් 26:52) යේසුස්ට වෛර කරපු, ඔහුට නපුරු විදිහට සලකපු අයට ඔහු ආදරය පෙන්නුවා. එයාලට සමාව දීපු එකෙන්, එයාලා වෙනුවෙන් යාච්ඤා කරපු එකෙන් ඒක පේනවා.—ලූක් 23:33, 34; 1 පේතෘස් 2:23.
බයිබලේ පොරොන්දු වෙනවා සමාදානයේ කුමාරයා විදිහට, අද සිද්ධ වෙන හැම දරුණු දෙයක්ම යේසුස් ළඟදීම නැති කරලා දානවා කියලා. (යෙසායා 9:6, 7) ඒ ලස්සන කාලය ගැන තව දැනගන්න “යුද ගිනි නිවලාම දාන දවස” කියන ලිපිය බලන්න.
a තවත් තොරතුරු දැනගන්න “රන් අණ කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
b තවත් තොරතුරු දැනගන්න “‘ඇසකට ඇසක්’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
c තවත් තොරතුරු දැනගන්න “‘සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.