Photo by Stringer/Getty Images
සෝදිසියෙන් ඉන්න!
මැදපෙරදිග යුද්ධය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
එක්සත් ජනපදය, ඊශ්‍රායෙලය සහ ඉරානය අතර ඇති වෙලා තියෙන ගැටුම් අද මුළු ලෝකෙම අවධානය ඇදගෙන තියෙනවා. ඊළඟට වෙන්නේ මොනවාද කියලා හුඟක් අය බලාගෙන ඉන්නේ. මේ තත්වය තවත් දරුණු වෙයිද? ඒක අනිත් රටවල්වලටත් බලපායිද? මේ ගැටුම් නවත්තලා ලෝකය සාමයෙන් පිරුණු තැනක් කරන්න ආණ්ඩුවලට පුළුවන් වෙයිද?
බයිබලේ එළිදරව් පොතේ අර්මගෙදොන් කියලා යුද්ධයක් ගැන කතා කරනවා. ඒ ගැන සහ බයිබලේ තියෙන අනිත් අනාවැකි ගැන දන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ යුද්දේද මේ මැදපෙරදිගින් පටන් අරන් තියෙන්නේ කියලා.
ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
මැදපෙරදිග යුද්ධ නවත්තන්න ආණ්ඩුවලට පුළුවන් වෙයිද?
බයිබලේ මෙහෙම කියනවා. “අධිපතීන් ගැනවත් ගැලවීම ලබා දෙන්න බැරි මිනිසුන් ගැනවත් විශ්වාසය තියන්න එපා.”—ගීතාවලිය 146:3.
මැදපෙරදිග ඇති වෙලා තියෙන මේ උණුසුම් තත්වය පාලනය කරලා සාමකාමී තත්වයක් ඇති කරන්න ආණ්ඩුවලට පුළුවන් වෙයිද නැද්ද කියලා අපිට හරියටම කියන්න බැහැ. හැබැයි බයිබලේ පැහැදිලිවම කියනවා කිසිම පාලකයෙක්ටවත්, කිසිම ආණ්ඩුවකටවත්, කිසිම සංවිධානයකටවත් යුද ගිනි නිවලා හැමදාටම තියෙන සාමයක් ලෝකෙට ගේන්න බැහැ කියලා. ‘පොළොව පුරාම සිද්ධ වෙන යුද්ධ නවත්තන්න’ පුළුවන් එකම කෙනා දෙවියන් විතරයි.—ගීතාවලිය 46:9.
ඒ ගැන තව තොරතුරු දැනගන්න “යුද ගිනි නැති හෙටක්!” කියන ‘මුරටැඹ’ සඟරාව බලන්න.
මැදපෙරදිග යුද්ධ නිසා බයිබල් අනාවැකි ඉටු වෙනවාද?
බයිබලේ මෙහෙම කියනවා. ‘ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් සටන් කරයි.’—මතෙව් 24:6, 7.
අපි මේ ඉන්නේ “පවතින සමාජයේ අවසාන කාලයේ” එහෙමත් නැත්නම් “අන්තිම දවස්වල” කියලා කියන්න මැදපෙරදිග ඇති වෙලා තියෙන මේ ගැටුම් තවත් සාක්ෂියක්. (මතෙව් 24:3; 2 තිමෝති 3:1) අද දකින්න තියෙන යුද්ධවලින් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියන් ළඟදීම යුද්ධ නවත්තනවා විතරක් නෙවෙයි මිනිස්සුන්ව තළන පෙළන අනිත් හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියන එක.
ඒ ගැන තව තොරතුරු දැනගන්න “‘අවසාන කාලය’ අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?” කියන ලිපිය බලන්න.
අර්මගෙදොන් පටන්ගන්නේ මැදපෙරදිගින්ද?
බයිබලේ මෙහෙම කියනවා. “හෙබ්‍රෙව් භාෂාවෙන් අර්මගෙදොන් කියලා හඳුන්වන තැනට පොළොවේ රජවරුන්ව රැස් කළා.”—එළිදරව් 16:16.
අර්මගෙදොන් කියලා කියන්නේ මිනිස් ආණ්ඩු අතර ඇති වෙන යුද්ධයක්වත් මැදපෙරදිගින් පටන්ගන්න යුද්ධයක්වත් නෙවෙයි. ඒක ලෝකේ පුරාම තියෙන ආණ්ඩුයි, දෙවියනුයි අතර ඇති වෙන යුද්ධයක්. ඒක මුළු ලෝකෙටම බලපානවා.
ඒ ගැන තවත් දැනගන්න “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.
මේ වගේ දේවල් නිසා ඔයාගේ හිතට බරක් දැනෙනවාද?
බයිබලේ මෙහෙම කියනවා. “කිසිම දෙයක් ගැන හිතහිත වධ වෙන්න එපා. ඒ වෙනුවට නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න. හැම වෙලාවෙම ඔහුගෙන් මඟ පෙන්වීම් ඉල්ලලා ඔහුට කන්නලව් කරන්න. අමතක කරන්නේ නැතුව හැම වෙලේම ඔහුට ස්තුති කරන්න.”—ෆිලිප්පි 4:6.
යෙහෝවාa දෙවියන් අපිට හරිම ආදරෙන් කියනවා ඔහුට යාච්ඤා කරන්න කියලා. මොකද දෙවියන් අපි ගැන ගොඩක් හිතනවා. ඒ නිසා ඔහු අපේ යාච්ඤා අහලා අපේ හිතට දැනෙන බර අඩු කරගන්න අපිට උදව් කරනවා. (1 පේතෘස් 5:7) ඔහු ඒක කරන්නේ කොහොමද? යුද්ධ ඇති වෙන්නේ ඇයි කියලා විතරක් නෙවෙයි යුද්ධ නැති කාලයක් එනවා කියලත් ඒක වෙන්නේ කොහොමද කියලත් ඔහු අපිට කියනවා. ඒ වගේම අපේ ජීවිතවල තියෙන අමිහිරි මතකයන් මකලා දාලා අපේ දුක සතුටට පෙරළන්න ඔහු කරන්න යන්නේ මොනවාද කියලත් අපිට කියලා තියෙනවා.—එළිදරව් 21:3, 4.
දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද කියලා තව දැනගන්න “ඔයාගේ හිතට සහනයක් ලැබෙන දේවල් බයිබලේ තියෙනවාද?” කියන ලිපිය බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.