ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජූලි 2-7 පි.
  • ගිබියොන්වරුන්ගෙන් ඉගෙනගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගිබියොන්වරුන්ගෙන් ඉගෙනගමු
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එයාලා යෙහෝවා ගැන විශ්වාසේ තියපු, නිහතමානී අය
  • එයාලා සාධාරණය වෙනුවෙන් බලන් හිටියා
  • එයාලා සැබෑ නමස්කාරයට ළැදිව හිටියා
  • නුවණක්කාර ගිබියොන්වරු
    මගේ බයිබල් කතන්දර පොත
  • ගිබියොන්වරුන්ගෙන් පාඩමක්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යොෂුවා සහ ගිබියොන්වරු
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජූලි 2-7 පි.

2026 සැප්තැම්බර් 7-13

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

ගිබියොන්වරුන්ගෙන් ඉගෙනගමු

“ගිබියොන් නගරයේ වැසියන් ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තා.”—යොෂු. 10:1.

ලිපියේ අරමුණ

ගිබියොන්වරුන්ගෙන් සහ යෙහෝවා එයාලා එක්ක වැඩ කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් බලමු.

1-2. ගිබියොන්වරුන් ගැන බයිබලේ කියලා තියෙන්නේ මොනවාද කියලා දැනගන්න අපි උනන්දු වෙන්න ඕනෙ ඇයි?

මේ, ක්‍රි.පූ. 1473වෙනි අවුරුද්දයි. මේ වෙද්දී ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වෙලයි ඉන්නේ. එයාලා යෙරිකෝවටයි, ආයි නගරයටයි පහර දීලා විශිෂ්ට ජයක් ලැබුවා. හැබැයි දැන් වෙන්නේ එයාලා හිතුවෙවත් නැති දෙයක්! දෙවියන්ගේ සෙනඟ එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්න කැමති පිරිසක් ඊශ්‍රායෙල්වරු ළඟට එනවා. එයාලා කියනවා එයාලා එන්නේ ගොඩක් දුර ඉඳන් කියලා.

2 ඒ අය තමයි ගිබියොන්වරු. මේ වෙලාවේ තමයි එයාලා ගැන බයිබලේ මුලින්ම කතා කරන්නේ. හැබැයි එයාලා ගැන කතා කරන එක මේකෙන් නතර වෙන්නේ නැහැ. මෙතන ඉඳන් සියවස් ගාණක් පුරා එයාලා ඊශ්‍රායෙල්වරු එක්ක ජීවත් වුණා කියලා බයිබල් වාර්තාවලින් පේනවා. ඒවායින් අපිට වටින පාඩම් වගේම යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග ගැනත් ඉගෙනගන්න පුළුවන්.

එයාලා යෙහෝවා ගැන විශ්වාසේ තියපු, නිහතමානී අය

3. (අ) ගිබියොන්වරු කියන්නේ කවුද? (ආ) එයාලා ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තේ ඇයි?

3 ඊශ්‍රායෙල්වරු කානාන් දේශය අල්ලගන්න පටන්ගද්දී ගිබියොන්වරු හිටියේ ගිබියොන් කියන නගරයේ. ඒක පවුරුවලින් වට වුණ, ලොකු ආරක්ෂාවක් තිබුණ නගරයක්. කානාන් දේශයේ හිටියා ‘ඊශ්‍රායෙල්වරුන්ට වඩා විශාල, බලවත් ජාතීන්’ හතක්. ගිබියොන්වරු කියන්නේ ඒ එක බලවත් ජාතියක් වුණ හිවීයවරුන්ට අයිති කට්ටියක්. (ද්වි. 7:1) ඉතින් ගිබියොන්වරු “යුද්ධයට දක්ෂ, බලවත් අය.” (යොෂු. 10:2) හැබැයි අනිත් කානානිවරුන්ට වඩා එයාලා වෙනස්. මොකද එයාලා තේරුම්ගත්තා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධ වෙන එක තේරුමක් නැහැ කියලා. එයාලා දැනන් හිටියා කානානිවරුන්ව පන්නලා ඒ දේශය ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න යෙහෝවා පොරොන්දු වෙලා තියෙනවා කියලා. ඒ නිසා යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරනවා කියලා එයාලා තේරුම්ගත්තා. (නික්. 34:11; යොෂු. 9:24) ඉතින් ඊශ්‍රායෙල්වරු යෙරිකෝවයි, ආයි නගරයයි අල්ලගත්තාට පස්සේ ගිබියොන්වරු සාම ගිවිසුමක් ඇති කරගන්න පිරිසක්වa ගිල්ගාල්වල හිටපු යොෂුවාව හම්බ වෙන්න යැව්වා.

4. (අ) ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්න ගිබියොන්වරු කළේ මොකක්ද? (යොෂුවා 9:8-13) (පින්තූරයත් බලන්න.) (ආ) ගිබියොන්වරු එයාලව රැවැට්ටුවා කියලා ඊශ්‍රායෙල්වරුන්ට තේරුණාම ඊශ්‍රායෙල්වරු මොකද කළේ?

4 යොෂුවා 9:8-13 කියවන්න. ගිබියොන්වරු එයාලා ආවේ දුර දේශයක ඉඳන් කියලා යොෂුවාට බොරුවක් කිව්වා. යෙහෝවා ඊජිප්තු හමුදාව විනාශ කරපු විදිහ ගැනත් අමෝරිවරුන්ගේ රජවරු වුණ සීහොන්වයි, ඕග්වයි පරද්දන්න ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරපු විදිහ ගැනත් එයාලට ආරංචි වුණා කියලා එයාලා කිව්වා. ඒත් යෙරිකෝවටයි, ආයි නගරයටයි වුණ දේ ගැන එයාලා කිසිම දෙයක් කිව්වේ නැහැ. මොකද ඒ ගැන කිව්වා නම් යොෂුවාට සැක හිතෙන්න තිබුණා අච්චර දුරකට ඒ ගැන එච්චර ඉක්මනට ආරංචි වුණේ කොහොමද කියලා. ගිබියොන්වරු කියපු දේවල් යොෂුවායි, එයාත් එක්ක හිටපු කට්ටියයි විශ්වාස කළා. ඒ නිසා ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන්ට විරුද්ධව සටන් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. ඒත් ඒ පොරොන්දුව දෙන්න කලින් ඊශ්‍රායෙල්වරු ඒ ගැන යෙහෝවාගෙන් ඇහුවේ නැහැ. (යොෂු. 9:14, 15) දවස් කීපයකට පස්සේ යොෂුවා දැනගත්තා ගිබියොන්වරු එයාලව රැවැට්ටුවා කියලා. ඒත් ඊශ්‍රායෙල්වරු “යෙහෝවාගේ නමින් දිවුරලා” පොරොන්දු වෙලා තිබුණ නිසා එයාලා ඒ පොරොන්දුවට ඇලිලා හිටියා. (යොෂු. 9:16-19) ඒ වුණත් ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන්ට කිව්වා එයාලා ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දාසයන් වෙලා සෙනඟටත් පූජාසනයටත් ඕනෙ කරන දර එකතු කරන්න සහ වතුර අදින්න’ ඕනෙ කියලා.—යොෂු. 9:27.

ගිබියොන්වරු පිරිසක් යොෂුවායි, අනිත් ඊශ්‍රායෙල්වරුයි ඉස්සරහා දණින් වැටිලා එයාලාගේ දුක කියනවා. එයාලා ඇඳන් ඉන්න පරණ ඇඳුම් සහ හම් භාජන ඊශ්‍රායෙල්වරුන්ට පෙන්නනවා.

ගිබියොන්වරු යොෂුවාට බොරු කියලා ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තා (4 ඡේදය බලන්න)


5. යෙහෝවාව එයාලට විශ්වාසයි කියලා ගිබියොන්වරු පෙන්නුවේ කොහොමද?

5 මේ සාම ගිවිසුම ගැන ආරංචි වුණාම අමෝරිවරුන්ගේ රජවරු පස්දෙනෙක් එකතු වෙලා ගිබියොන්වරුන්ට විරුද්ධව සටනට ආවා. ඒ වෙලාවේ ගිබියොන්වරු බැගෑපත් වෙලා යොෂුවාගෙන් උදව් ඉල්ලුවා. (යොෂු. 10:3-7) යොෂුවා හමුදාවත් එක්ක ඒ රජවරුන්ට විරුද්ධව සටන් කරන්න ගිබියොන්වලට ගියා. සටන දිනන්න යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා. ඔහු විශාල හිම කැට වැස්සක් ගෙනල්ලා සතුරන්ව මැරුවා. ඊශ්‍රායෙල්වරු දිනන කල්ම ආශ්චර්යවත් විදිහට ඉර එක තැන නැවැත්තුවා. (යොෂු. 10:9-14) ඊශ්‍රායෙල්වරු එක්ක සාම ගිවිසුමක් ඇති කරගන්න ඕන වුණ එකෙන්, එයාලාගෙන් උදව් ඉල්ලපු එකෙන් පේනවා ගිබියොන්වරුන්ට යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් තිබුණා කියලා. යෙහෝවා පොරොන්දුවක් දුන්නාම ඔහු ඒක රකිනවා කියලත් ඔහුට එයාලව ගලවගන්න පුළුවන් කියලත් එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ.

6. යෙහෝවා ගිබියොන්වරු එක්ක වැඩ කරපු විදිහෙන් අපිට ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද? යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා කානාන් දේශයේ ඉන්න ජාතීන්ව විනාශ කරන්න කියලා. ඒ අයට ගිබියොන්වරුත් අයිතියි. (ද්වි. 9:3) හැබැයි ඊශ්‍රායෙල්වරු එයාලට අනතුරක් කරන්නේ නැහැ කියලා එයාලත් එක්ක සාම ගිවිසුමක් ඇති කරගත්තා. එහෙම කරන්න කලින් ඊශ්‍රායෙල්වරු යෙහෝවාගෙන් ඒ ගැන ඇහුවේ නැති වුණත් ඔහු ගිබියොන්වරුන්ට ජීවත් වෙන්න ඉඩ දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ ගිවිසුමට එකඟව වැඩ කරන්න යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා. ගිබියොන්වරුන්ව ගලවගන්න ඔහු ආශ්චර්යයකුත් කළා. ඒකෙන් පේනවා යෙහෝවා නිහතමානී, දයාවන්ත කෙනෙක් කියලා.—යොෂු. 9:26; 11:19.

7. ගිබියොන්වරුන්ගේ විශ්වාසෙයි, නිහතමානිකමයි අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

7 ගිබියොන්වරුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි යෙහෝවා ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න එක. එදා හිටපු ගිබියොන්වරුන්ට වඩා හුඟක් දේවල් අද අපි යෙහෝවා ගැන දන්නවා. ඒ නිසා ඔහු ගැන සම්පූර්ණ විශ්වාසේ තියන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. (ගීතා. 40:4, 5) අනිත් අය ඉස්සරහා වැඩිය කැපිලා පේන්නේ නැති පැවරුමක් වුණත් කැමැත්තෙන්ම කරද්දීත් අපිට ගිබියොන්වරුන්ව ආදර්ශයට ගන්න පුළුවන්. (යොෂු. 9:23, 27) වැඩිහිටි සහෝදරයෙක් නිහතමානීව වැඩ කරපු විදිහ යෞවනයෙක් වන ලූක්ට අදටත් මතකයි. ඒ වැඩිහිටි සහෝදරයා බෙතෙල් එකේ ගොඩක් වගකීම් දරපු කෙනෙක්. සමහර පැවරුම් අනිත් අයගේ අවධානයට ලක් වෙන විදිහේ ඒවා. ඒත් එයාලාගේ නමස්කාර මධ්‍යස්ථානය ඉදි කරද්දී ඒ සහෝදරයා කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා එතන රැයක් මුර කරන්න. ලූක් මෙහෙම කියනවා. “මං නිහතමානියි කියලා මං හිතන් හිටියාට වැඩක් නෑ, ඒක මං වැඩ කරන විදිහෙන් පේන්න ඕනේ. ඒ දේ මං එයාගෙන් ඉගෙනගත්තා.” අමාරු දේවලට මූණ දෙද්දී යෙහෝවා මත සම්පූර්ණයෙන්ම රැඳිලා අපිට ඔහුව විශ්වාසයි කියලා හැම දවසකම පෙන්නමු. සංවිධානයෙන් ලැබෙන ඕනම වැඩක් කැමැත්තෙන්ම කරලා අපි නිහතමානියි කියලා පෙන්නමු.

පින්තූරවල අදහස: අනිත් අයගේ අවධානයට අහු වෙන්නේ නැති පැවරුම් කරන විදිහ පෙන්නනවා. 1. ගිබියොන්වරයෙක් වතුර භාජනයක් උස්සගෙන යනවා. 2. මහලු සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානයේ වත්තේ වැඩ කරනවා.

ගිබියොන්වරු වගේ අනිත් අයගේ අවධානයට අහු වෙන්නේ නැති පැවරුම් වුණත් කැමැත්තෙන්ම කරන්න (7 ඡේදය බලන්න)


එයාලා සාධාරණය වෙනුවෙන් බලන් හිටියා

8. සාවුල් රජ ගිබියොන්වරුන්ට කරපු අසාධාරණය මොකක්ද?

8 ගිබියොන්වරු ගැන ආයේ බයිබලේ කතා කරන්නේ ඒ සිද්ධියෙන් සියවස් ගාණකට පස්සේ. ඒ සාවුල් රජගේ කාලේදී. සාවුල් ගිබියොන්වරුන්ව නැති කරලා දාන්න හැදුවා. මොකද එයාට ඕනෙ වුණේ “මොන දේ කරලා හරි ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟව ආරක්ෂා කරන්න.”b ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගිබියොන්වරුන්ගෙන් සෑහෙන දෙනෙක්ව මරලා දැම්මා. (2 සාමු. 21:2, 5, 6) ඒක මොන තරම් අසාධාරණයක්ද! ඒ විදිහට සියවස් ගාණක් පුරා ඊශ්‍රායෙල්වරුයි, ගිබියොන්වරුයි අතර තිබුණ සාම ගිවිසුම සාවුල් කඩලා දැම්මා.

9. ගිබියොන්වරුන්ට වුණ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉටු වුණේ කොයි කාලේද?

9 ගිබියොන්වරුන්ට ඒ අසාධාරණය කරපු අයට යෙහෝවා ඒ වෙලාවෙම දඬුවම් කළේ නැහැ. යෙහෝවා ඒ වෙනුවෙන් පියවර ගත්තේ සාවුල්ගෙන් පස්සේ රජ වුණ දාවිත්ගේ කාලේ. යෙහෝවා අවුරුදු තුනක් යන කල් ඊශ්‍රායෙලයට වැස්ස ලැබෙන එක වැළැක්කුවා. ඉතින් එහේ දරුණු සාගතයක් ඇති වුණා. එහෙම වුණේ ඇයි කියලා දාවිත් අහද්දී යෙහෝවා කිව්වා සාවුලුයි, එයාගේ පවුලේ අයයි අසාධාරණ විදිහට ගිබියොන්වරුන්ව මරලා දාපු නිසා ඔහු ඉන්නේ කේන්තියෙන් කියලා.—2 සාමු. 21:1.

10. දෙවියන්ගේ නීතියට කීකරු වෙන්න කැමතියි කියලා ගිබියොන්වරු පෙන්නුවේ කොහොමද? (2 සාමුවෙල් 21:3-6)

10 2 සාමුවෙල් 21:3-6 කියවන්න. දාවිත් ගිබියොන්වරුන්ගෙන් ඇහුවා වෙච්ච අසාධාරණය වෙනුවෙන් එයාට මොනවාද කරන්න පුළුවන් කියලා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ගිබියොන්වරු දාවිත්ගෙන් සල්ලි ඉල්ලුවේ නැහැ. එයාලා කිව්වේ “මේ ප්‍රශ්නේ රන් රිදී දීලා විසඳගන්න පුළුවන් එකක් නෙමෙයි” කියලා. මොකද දෙවියන්ගේ නීතිය ගැන එයාලා දැනන් හිටියා. නීතියේ තිබුණා මිනීමරුවෙක්ව සල්ලිවලට නිදහස් කරන්න එපා කියලා. (ගණන්. 35:30, 31) රජගේ අවසරය නැතුව ඊශ්‍රායෙල් දේශයේ කාවවත් මරන්න එයාලට බැහැ කියලත් එයාලා තේරුම්ගත්තා. අන්තිමේදී දාවිත් සාවුල්ගෙන් පැවතෙන පුරුෂයන් හත්දෙනෙක්ව ගිබියොන්වරුන්ගේ අතට භාර දුන්නා. ඒ පුරුෂයන් ගිබියොන්වරුන්ව මරන්න හවුල් වුණ අය වෙන්න ඇති. ඊටපස්සේ දේශයට ආයෙත් වැස්ස ලැබුණා. සාගතයත් ඉවර වුණා. ඒකෙන් පෙනුණා ගිබියොන්වරුන්ට වුණ අසාධාරණය වෙනුවෙන් ගෙවපු වන්දිය යෙහෝවා පිළිගත්තා කියලා.—2 සාමු. 21:9, 10, 14.

11. මේ සිද්ධියෙන් අපිට යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

11 යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද? යෙහෝවා හැම වෙලාවෙම යුක්තිය ඉටු කරනවා. (ගීතා. 37:28) හුඟක් අය විදේශිකයන්ට, සුළු ජාතීන්ට අසාධාරණ විදිහට සලකනවා. ඒත් යෙහෝවා කැමති හැම කෙනෙක්ටම අපි එක වගේ සලකනවා දකින්න. දෙවියන්ගේ සේවකයන් හුඟදෙනෙක් ගොඩක් අසාධාරණකම්වලට මූණ දෙනවා. ඒත් නියමිත කාලේදී එයාලා වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. ඒ වගේම ගිබියොන්වරුන්ට දීපු පොරොන්දු ඊශ්‍රායෙල්වරු රකියි කියලා යෙහෝවා බලාපොරොත්තු වුණා වගේම අපි දෙන පොරොන්දුත් ඒ විදිහටම රකියි කියලා ඔහු අපෙනුත් බලාපොරොත්තු වෙනවා.—ආමො. 1:9.

12. අසාධාරණයකට මූණ දෙද්දී ගිබියොන්වරුන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

12 ගිබියොන්වරුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? සහෝදරයන් අතින් අපිට අසාධාරණයක් වෙද්දී අපිට පුළුවන් යෙහෝවා ඒ ප්‍රශ්නේ විසඳන කල් ඉවසීමෙන් බලන් ඉන්න. ඒකෙන් අපි පෙන්නන්නේ හරි වෙලාවේදී යෙහෝවා යුක්තිය ඉටු කරනවා කියලා අපිට විශ්වාසයි කියලා. සහෝදරි ලෝරා ෆ්‍රනේච් 1926දී කැනඩා බෙතෙල් එකේ සේවේ කරන්න පටන්ගත්තා. අවුරුදු දහයකට විතර පස්සේ එයාට ලොකු අසාධාරණයක් වුණා. සත්‍යයට විරුද්ධව කැරලිගහපු කණ්ඩායමකට එයාත් හවුල් කියලා කරපු බොරු චෝදනාවක් නිසා එයාව බෙතෙල් එකෙන් යැව්වා. වෙච්ච දේ නිසා එයාට ලොකු දුකක් දැනුණත් එයා සහෝදරයන්ටවත් සංවිධානයටවත් දොස් කිව්වේ නැහැ. ඊටපස්සේ ගත වුණ අවුරුදු හතර පුරා එයා උද්‍යෝගයෙන් පුරෝගාමි සේවේ කළා. 1940දී එයා හිතුවෙවත් නැති විදිහට එයාට ආපහු බෙතෙල් එකේ සේවේ කරන්න එන්න කිව්වා. එදා ඉඳන් එයා පොළොවේ ගත කරපු ජීවිතේ අවසන් කරන කල් අවුරුදු 50ක් විතර බෙතෙල් එකේ විශ්වාසවන්තව සේවේ කළා. අසාධාරණයක් වෙද්දී අපිටත් පුළුවන් සහෝදරි ලෝරා වගේ දිගටම හරි දේ කරන්න වගේම යෙහෝවා හරිම වෙලාවට ප්‍රශ්නේ විසඳන කල් ඔහු දිහාම බලන් ඉන්න.—යෙසා. 26:3, 4.

එයාලා සැබෑ නමස්කාරයට ළැදිව හිටියා

13. “නෙතිනිම්වරු” කියන්නේ කවුද? වහල්භාවයෙන් නිදහස් වුණාට පස්සේ එයාලා මොකද කළේ?

13 දාවිත්ගේ කාලෙන් අවුරුදු 500කට විතර පස්සේ තමයි ගිබියොන්වරු ගැන ආයෙත් බයිබලේ කතා කරන්නේ. අවුරුදු 70ක වහල්භාවයෙන් පස්සේ ක්‍රි.පූ. 537දී මුල්ම යුදෙව්වන් කණ්ඩායම බැබිලෝනියේ ඉඳන් යෙරුසලමට ආවා. ඒ ආණ්ඩුකාර සෙරුබාබෙල් යටතේ. (එස්රා 2:1, 2, 58) ඊටපස්සේ ක්‍රි.පූ. 468දී එස්රා එක්ක තව කණ්ඩායමක් ආවා. (එස්රා 7:1-7) ඒ කණ්ඩායම් දෙකේම ලොකු පිරිසක් හිටියේ නැති වුණත් “නෙතිනිම්වරුන්ගේ” පවුලට අයිති අය හිටියා. (එස්රා 2:58; 7:7, පාදසටහන) කවුද මේ නෙතිනිම්වරු? එයාලා දේවමාලිගාවේ සේවේ කරපු “ඊශ්‍රායෙල් නොවන අය.” පේන විදිහට එයාලාගෙන් හුඟදෙනෙක් පැවත ආවේ ගිබියොන්වරුන්ගෙන්.—පැහැදිලි කිරීමක් යටතේ තියෙන “නෙතිනිම්වරු” බලන්න.

14. යෙහෝවාට ළැදියි කියලා ගිබියොන්වරු පෙන්නුවේ කොහොමද? (1 ලේකම් 9:2 සහ පාදසටහන)

14 1 ලේකම් 9:2 සහ පාදසටහන කියවන්න. වහල්භාවයෙන් නිදහස් වෙලා ඊශ්‍රායෙලයට ආපු මුල්ම අය අතරේ “දේවමාලිගාවේ සේවය කරපු අය” හිටියා. ඒක හරිම විශේෂ දෙයක්. මොකද බැබිලෝනියේ හිටපු යුදෙව්වන් හැමෝම ආපහු ආවේ නැහැ. එහේ හිටපු හුඟක් යුදෙව්වන්ට සැපපහසු ගෙවල්, ඇති තරම් සල්ලි තිබුණා. එයාලා ආස වුණේ නැහැ ඒවා දාලා නටබුන් වුණ නගරයක් ආයේ හදන්න එන්න. ඒත් විශ්වාසවන්ත යුදෙව්වන්ට වගේම ගිබියොන්වරුන්ගෙන් පැවත ආවා කියලා හිතන්න පුළුවන් සමහරදෙනෙක්ට ඕන වුණා යෙරුසලමට ආයේ ඇවිල්ලා, දේවමාලිගාව ගොඩනඟලා, යෙහෝවාට එහේ නමස්කාර කරන්න. ආයේ එන එක කොච්චර අමාරු දෙයක් වුණත් එයාලා ඒක කළා. යුදෙව්වන්ට නම් ඊශ්‍රායෙල් දේශයේ උරුමයක් තිබුණා. ඒත් ගිබියොන්වරුන්ගෙන් පැවත ආපු අයට එහෙම උරුමයක් තිබුණේ නැහැ. ඒ වුණත් ආයෙත් ඇවිත් දේවමාලිගාවේ සේවේ කරන්න වගේම යෙරුසලමේ පවුරු ආයේ ගොඩනඟන්න උදව් කරන්න එයාලට ඕනෙ වුණා.—නෙහෙ. 3:26.

15. ගිබියොන්වරු ගැන තියෙන මේ වාර්තාවෙන් යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

15 යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද? යෙහෝවාට විශ්වාසවන්ත අයට ඔහු ගොඩක් ආදරෙයි. ඔහු එයාලව බලාගන්නවා. බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වෙන කාලේ වෙද්දී යොෂුවාගේ කාලේ යෙහෝවා ගිබියොන්වරුන්ව බේරගෙන අවුරුදු 1,000ක් විතර ගිහින් තිබුණා. හැබැයි ඔහු දිගටම එයාලට ආශීර්වාද කළා. ක්‍රි.පූ. 607 යූදා දේශයයි, යෙරුසලමයි විනාශ වෙද්දී බේරුණ අය අතරේ ගිබියොන්වරුන්ගෙන් පැවත ආපු අයත් හිටියා. වහල්භාවයෙන් නිදහස් වෙලා ආවාට පස්සේ එයාලා දිගටම දේවමාලිගාවේ සේවේ කරපු ලෙවීවරුන්ට උදව් කළා. පේන විදිහට එයාලාගෙන් සමහරදෙනෙක් ජීවත් වුණේ දේවමාලිගාව කිට්ටුව. (එස්රා 2:70; නෙහෙ. 11:21) එයාලා දේවමාලිගාවේ සේවේ කරපු නිසා එයාලාගෙන් කිසිම බද්දක් අය කළෙත් නැහැ.—එස්රා 7:24.

16. ගිබියොන්වරු වගේ විශ්වාසවන්ත අය වෙන්න අපිට පුළුවන් කොහොමද?

16 ගිබියොන්වරුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? ගිබියොන්වරු වගේ අපිටත් ඕනෙ සැබෑ නමස්කාරය වෙනුවෙන් අපේ උපරිමය කරන්න. යෙහෝවාට තියෙන ආදරේ නිසාත් ඔහුව සතුටු කරන්න තියෙන ආසාව නිසාත් ඔහුට කරන සේවේ වෙනුවෙන් අපි කැප කිරීම් කරන්නේ හරිම කැමැත්තෙන්. පිලිපීනයේ ඉන්න සහෝදර ඇල්වින් එහෙම කරපු කෙනෙක්. එයා හොඳ පඩියක් තියෙන රස්සාවක් කළත් එයාට ඕනෙ වුණා තව වැඩියෙන් සේවේ කරන්න. ඉතින් හැම චාරිකා සතියකම එයා නිවාඩු අරගෙන සේවේ ගියා. ඒකෙන් එයා ලොකු සතුටක් අද්දැක්කා. කාලයක් ගියාට පස්සේ, සෑහෙන්න යාච්ඤා කරලා එයා තීරණේ කළා රස්සාවෙන් අයින් වෙලා ස්ථාවර පුරෝගාමි කරන්න උදව් වෙන විදිහේ රස්සාවක් හොයාගන්න. එයා දැනන් හිටියා කලින් වගේ හම්බ කරන්න බැරි නිසා සමහර කැප කිරීම් කරන්න වෙයි කියලා. ඒත් එයා කොහොමහරි එයාගේ ඉලක්කෙට ගියා. පස්සේ එයාගේ නෝනාත් පුරෝගාමි කරන්න පටන්ගත්තා. මේ වෙද්දී එයාලා දෙන්නා 21දෙනෙක්ට සත්‍යයට එන්න උදව් කරලා තියෙනවා. එයාලා කරපු කැප කිරීම් යෙහෝවා ගොඩක් අගය කරනවා කියලා කිසිම සැකයක් නැහැ. සේවේ වෙනුවෙන් අපි කරන ඕනම කැප කිරීමක් යෙහෝවා ගොඩක් අගය කරනවා කියලා අපිටත් ස්ථිරයි. ඒ වගේම ඔහු අපිට ඕන දේවල් දීලා අපිව බලාගන්නවා.—මතෙ. 6:33.

17. ගිබියොන්වරුන්ගෙන් අපි ඉගෙනගත්ත පාඩම් මොනවාද?

17 යෙහෝවා ගිබියොන්වරු එක්ක වැඩ කරපු විදිහෙන් ඔහුගේ පෞද්ගලිකත්වයේ ලස්සන පැති දකින්න අපිට පුළුවන් වුණා. ඔහු නිහතමානී, දයාවන්ත, යුක්තිය ඉටු කරන, විශ්වාසවන්ත කෙනෙක්. ඔහුට විශ්වාසවන්ත අයට ඔහු හැම වෙලාවෙම ආශීර්වාද කරනවා. මේ වාර්තාවලින් අපේ ජීවිතේට උදව් වෙන ගොඩක් දේවලුත් අපි ඉගෙනගත්තා. ගිබියොන්වරු වගේ අපිටත් ඕනෙ යෙහෝවා ගැන ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න, බය හිතෙන දේවලට මූණ දෙද්දී යෙහෝවා මතම රැඳිලා ඉන්න සහ නිහතමානී වෙලා ඔහු දෙන ඕනම පැවරුමක් කැමැත්තෙන්ම ඉටු කරන්න. අසාධාරණයකට මූණ දෙද්දී යෙහෝවා හරිම වෙලාවට ඒක විසඳයි කියන විශ්වාසෙන් දිගටම ඔහු දිහා බලන් ඉන්නත් අපිට ඕනේ. ඒ වගේම අපිට ඕනෙ විශ්වාසවන්තව, උද්‍යෝගයෙන් සැබෑ නමස්කාරය වෙනුවෙන් අපේ උපරිමය දෙන්න. එහෙම කරද්දී ගිබියොන්වරුන්ගේ ආදර්ශයෙන් අපි අපේ ජීවිතේට දෙයක් එකතු කරගත්තා කියලා පෙන්නන්න පුළුවන්.

මේ දේවල් ගැන අපි ගිබියොන්වරුන්ගෙන් ඉගෙනගත්තේ මොනවාද?

  • විශ්වාසය සහ නිහතමානිකම පෙන්නන එක

  • අසාධාරණයකට මූණ දෙන එක

  • සැබෑ නමස්කාරයට ළැදි වෙලා ඉන්න එක

ගීතිකාව 148 යෙහෝවා දෙවි වේ අපේ ගැලවීම

a ඊශ්‍රායෙල්වරුන් එක්ක කතා කරන්න ආපු අය අතරේ ගිබියොන් නගරයේ අයට අමතරව හිවීයවරුන්ට අයිති තවත් නගර තුනක අය හිටියා. ඒ නගර තමයි කෙෆීරා, බෙයේරොත් සහ කිර්යත්යෙයාරීම්.—යොෂු. 9:17.

b වෙනත් ජාතීන් ඊශ්‍රායෙල්වරු අතරේ ජීවත් වෙනවාට සාවුල් අකමැති වුණේ ඇයි කියලා බයිබලේ හරියටම කියලා නැහැ. සමහර විශාරදයන් කියනවා සාවුල් එහෙම කළේ ජාත්‍යාලය නිසා කියලා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න