2026 ජූලි 13-19
ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?
ප්‍රතිපත්ති පාවිච්චි කරලා හෘද සාක්ෂිය පුහුණු කරගමු
“හැම කෙනෙක්ම තමන්ට පැවරිලා තියෙන වගකීම ඉටු කරන්න ඕනේ.”—ගලා. 6:5.
ලිපියේ අරමුණ
අපිට හරි මඟ පෙන්වීම් දෙන්න පුළුවන් වෙන විදිහට අපේ හෘද සාක්ෂිය පුහුණු කරගන්නේ කොහොමද කියලා බලමු.
1-2. (අ) ආදම් සහ ඒවට ලැබුණ තෑග්ග මොකක්ද? (ආ) ඒ තෑග්ග අගය කරනවා කියලා පෙන්නන්න නම් එයාලා කරන්න ඕන වුණේ මොකක්ද?
අපි දන්නවා සත්තු වැඩ කරන්නේ සහජ හැකියාවෙන් නැත්නම් ඉවෙන් කියලා. රොබෝවරු වැඩ කරන්නේ පරිගණකයකින් එයාලව කලින්ම සෙට් කරලා තියෙන විදිහට. හැබැයි මිනිස්සු ඊට වඩා වෙනස්. අපිව නිර්මාණය කරලා තියෙන්නේ විශේෂ තෑග්ගක් එක්ක. ක්‍රිස්තියානීන් විදිහට අපි ඒ තෑග්ග ගොඩක් අගය කරනවා. ඒක තමයි තීරණ ගන්න අපිට තියෙන නිදහස. බයිබලේ කියනවා මුල්ම මිනිසා වුණ ආදම්ව දෙවියන් නිර්මාණය කළේ ඔහුට සමානකම් තියෙන විදිහට කියලා. (උත්. 1:26, 27) ඔහු ආදම් සහ ඒවට හැකියාව දීලා තිබුණා හොඳට හිතලා බලලා තීරණ ගන්න.
2 යෙහෝවා ආදම් සහ ඒවට දිග නීති ලැයිස්තුවක් දුන්නේ නැහැ. ඔහු එයාලට කිව්වේ පොළොව රැකබලා ගෙන එයාලාගේ දරුවන්ගෙන් පොළොව පුරවන්න කියලයි. ඒ වගේම එයාලා කරන්න ඕනෙ මොනවාද, නොකරන්න ඕනෙ මොනවාද කියලා යම් සීමාවන් දාන්න නිර්මාතෘ විදිහට දෙවියන්ට තියෙන අයිතියට ගරු කරන එකත් ඔහු එයාලාගෙන් බලාපොරොත්තු වුණා. (උත්. 1:28; 2:16, 17) තීරණ ගන්න තියෙන නිදහස කියන වටිනා තෑග්ග දීපු කෙනාව අගය කරනවා කියලා පෙන්නන්න ආදම් සහ ඒවට කරන්න තිබුණේ මොකක්ද? යෙහෝවා එයාලට දුන්නේ ලේසියෙන්ම කීකරු වෙන්න පුළුවන් නීති. යෙහෝවා එයාලා වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම හිතද්දී හරි නම් එයාලා පෙලඹෙන්න ඕනෙ ඒ නීති පිළිපදින්න. ඒ විදිහට එයාලට අවස්ථාව තිබුණා එයාලා දෙවියන්ට ආදරෙයි කියලත් එයාලට ඕනෙ ඔහුව සතුටු කරන්න කියලත් පෙන්නන්න.—හිතෝ. 23:15.
3. ආදම් සහ ඒව එයාලට ලැබුණ තෑග්ග පාවිච්චි කළේ කොහොමද?
3 ආදම් සහ ඒව තීරණ ගන්න තියෙන නිදහස කියන තෑග්ග හරි විදිහට පාවිච්චි කළේ නැහැ. එයාලා තීරණේ කළා යෙහෝවාට අකීකරු වෙන්න. එයාලා ඒ වගේ තීරණයක් ගත්තේ යෙහෝවාට වඩා එයාලා එයාලටම ආදරේ කරපු නිසයි. (උත්. 3:1-7) එයාලා එදා ගත්ත ඒ තීරණේ නිසා අපි අදටත් දුක් විඳිනවා.—රෝම 5:12.
4. (අ) ගලාති 6:5 කියන විදිහට අපි හැමෝම කරන්න ඕනෙ මොකක්ද? (ආ) මේ ලිපියෙන් අපි බලන්නේ අපිට ලැබිලා තියෙන මොන තෑග්ග ගැනද?
4 හැම දවසකම අපිට ගොඩක් තීරණ ගන්න තියෙන නිසා අපි ගෙවන්නේ ලේසි ජීවිතයක් නෙවෙයි. (ගලාති 6:5 කියවන්න.) අපිට ගන්න තියෙන සමහර තීරණ එච්චර අමාරු නැහැ. හැබැයි තවත් ඒවා හරිම බැරෑරුම්. යෙහෝවා සතුටු වෙන විදිහට අපිට තීරණ ගන්න පුළුවන් කොහොමද? ඒකට අපි මුලින්ම පිළිගන්න ඕනෙ ඒවා ගන්න අපිට යෙහෝවාගේ උදව් ඕනෙ කියලා. (හිතෝ. 16:3; යෙරෙ. 10:23) පරිපූර්ණ කෙනෙක් වුණ යේසුත් ඒක පිළිගත්තා. (හෙබ්‍රෙ. 5:7) ඇත්තටම යේසුස්ටත් වඩා වැඩියෙන් අපිට යෙහෝවාගෙන් උදව් ඕනේ. මොකද අපි පව්කාරයන්. හරි තීරණ ගන්න උදව්වක් විදිහට යෙහෝවා අපිට දීලා තියෙන තවත් තෑග්ගක් ගැන දැන් අපි බලමු. ඒ, හෘද සාක්ෂිය.
හෘද සාක්ෂිය කියන්නේ මොකක්ද?
5. (අ) හෘද සාක්ෂිය කියන්නේ මොකක්ද? (ආ) ඒක අපිට උදව් කරන්නේ කොහොමද? (රෝම 2:14, 15)
5 යෙහෝවා අපිව නිර්මාණය කරලා තියෙන්නේ හෘද සාක්ෂියක් ඇතුව. ඒකට පුළුවන් හරි වැරැද්ද තේරුම්ගන්න අපිට උදව් කරන්න. දෙවියන්ගේ නීති ගැන කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්ගේ හෘද සාක්ෂියත් ඒ දේම කරනවා. (2 කොරි. 4:2) අපේ හෘද සාක්ෂිය හරියට අපේ ඇඟ ඇතුළේ ඉන්න විනිසුරුවරයෙක් වගේ. ඒකට පුළුවන් අපි හිතන දේවල්, කරන දේවල් හරිද වැරදිද කියලා අපිට කියන්න. (රෝම 2:14, 15 කියවන්න.) වැරදියි කියලා අපි දන්න දෙයක් අපි කරන්න යද්දී හෘද සාක්ෂියට පුළුවන් ඒක කරන්න එපා කියලා අපිට අනතුරු අඟවන්න. (1 සාමු. 26:8-11) හරියි කියලා අපි දන්න දෙයක් කරන්න අපිව පොලඹවන්නත් ඒකට පුළුවන්. තීරණ ගන්න යෙහෝවා අපිට නිදහස දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ අපි ගන්න හැම තීරණයක් ගැනම ඔහු සතුටු වෙනවා කියලා. ඉතින් අපේ හෘද සාක්ෂිය අපිට උදව් කරන්න ඕනෙ අපි ගන්නේ හොඳ තීරණයක්ද, නරක තීරණයක්ද කියලා තේරුම්ගන්න.
6. හැම වෙලේම හරි තීරණ ගන්න අපේ හෘද සාක්ෂිය අපිට උදව් නොකරන්නේ ඇයි?
6 හැබැයි අපේ හෘද සාක්ෂිය හැම වෙලේම හරි විදිහට වැඩ කරන්නේ නැහැ. මොකද අපි පරිපූර්ණ නැහැ වගේ අපේ හෘද සාක්ෂියත් පරිපූර්ණ නැහැ. අපේ හෘද සාක්ෂිය හරි විදිහට වැඩ කරන්නේ නැති වෙන්න අපි හැදුණු වැඩුණු පරිසරය, සංස්කෘතිය, අපිට තියෙන වැරදි ආශාවන් හේතු වෙන්න පුළුවන්. බයිබලේ කියනවා අපේ හෘද සාක්ෂිය “දුර්වල” වගේම “අපවිත්‍ර” වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒක හරියට ‘රත් වුණ යකඩයකින් හංවඩු ගහපු හමක් වගේ කිසිම දෙයක් හැඟෙන්නේ දැනෙන්නේ නැති’ තත්වයට පත් වෙන්න පුළුවන් කියලත් බයිබලේ කියනවා. ඒක “දුෂ්ට” වෙන්නත් පුළුවන්. (1 කොරි. 8:12; තීත. 1:15; 1 තිමෝ. 4:2; හෙබ්‍රෙ. 10:22, පාදසටහන) ඒ වගේ හෘද සාක්ෂියකින් හොඳ මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ. ඒක නිවැරදි බර පෙන්නන්නේ නැති කැඩුණ තරාදියක් වගේ. හෘද සාක්ෂිය හරි විදිහට වැඩ කරන්න නම් අපි ඒක හොඳට පුහුණු කරන්න ඕනේ.—1 පේතෘ. 3:16.
පුහුණු කරන්නේ කොහොමද?
7-8. (අ) හෘද සාක්ෂිය පුහුණු කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ආ) බයිබල් ප්‍රතිපත්ති අපිට මඟ පෙන්නන්නේ කොහොමද කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න. (පින්තූරයත් බලන්න.)
7 හෘද සාක්ෂිය පුහුණු කරගන්න අපිට පුළුවන් කොහොමද? අපි හැමදාම බයිබලේ කියවලා යෙහෝවා හරියි කියන්නේ මොකක්ද, වැරදියි කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඕනේ. යෙහෝවාගේ නීති අධ්‍යයනය කරද්දී ඔහු හිතන විදිහ අපිට තේරුම්ගන්න පුළුවන්. හැබැයි අපි කලින් ලිපියේ බැලුවා වගේ නීති සමහර වෙලාවට අදාළ වෙන්නේ නිශ්චිත අවස්ථාවලට විතරයි. ඒ නිසයි අපි ඒ නීති දෙන්න හේතු ඒ කියන්නේ ප්‍රතිපත්ති අඳුරගන්න එක වැදගත් වෙන්නේ. මොකද ඒවා අපිට උදව් වෙනවා නීතියක් නැති අවස්ථාවලදී වුණත් යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න.—යෙසා. 55:9.
8 අපේ ජීවිත ගමන හරියට පාළුකරයක් මැදින් යන ගමනක් වගේ. හිතන්න ඒකේ කිසිම පාරක් ලකුණු කරලා නැහැ, යන පාර අඳුරගන්න උදව් වෙන පුවරුත් නැහැ කියලා. ඒත් යන පාර හරියටම අඳුරගන්න උදව් වෙන කඳු, ගංගා වගේ දේවල් ලකුණු කරපු සිතියමක් තිබුණා නම් අපේ ගමනාන්තයට ලේසියෙන්ම යන්න පුළුවන්. ඒ විශේෂ ලකුණු දිහා බලාගෙන යනවා නම් අපිට ස්ථීරයි අපි යන්නේ හරි පාරේ කියලා. වැරදි පැත්තකට හැරුණොත් ඒකත් අපිට දැනගන්න පුළුවන්. අපි යන මේ ජීවිත ගමනෙත් ගමනාන්තයක් තියෙනවා. ඒ තමයි යෙහෝවාව සතුටු කරන එක. ඒ ගමන යන්න මඟ පෙන්නන සිතියම තමයි බයිබලය. බයිබල් ප්‍රතිපත්ති ඒ සිතියමේ ලකුණු කරලා තියෙන නිශ්චිත සලකුණු වගේ. ඒ ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගන්න අපි අපේ හෘද සාක්ෂිය පුහුණු කරගත්තොත් අපේ ගමනාන්තයට යන්න අපිට පුළුවන්.
බයිබල් ප්‍රතිපත්ති හරියට සිතියමක ලකුණු කරලා තියෙන, පාර හොයාගන්න උදව් වෙන සලකුණු වගේ. ඒවා අපිට උදව් වෙනවා අපි යන්නේ හරි පාරේ කියලා තේරුම්ගන්න (8 ඡේදය බලන්න)
9. රෝම 9:1 කියන විදිහට අපේ හෘද සාක්ෂිය පුහුණු කරගන්න අපිට උදව් වෙන තව දෙයක් මොකක්ද?
9 අපේ හෘද සාක්ෂිය හරි විදිහට පුහුණු කරගන්න නම් අපිට දෙවියන්ගේ බලයේ උදව් ඕනෙමයි. (රෝම 9:1 කියවන්න.) දෙවියන්ගේ බලයට පුළුවන් යම් කාරණයක් ගැන යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න අපිට උදව් කරන්න. යෙහෝවා කැමති විදිහට දේවල් කරන්න අපි තුළ ආසාවක් ඇති කරන්න වගේම ඒක කරන්න ඕන කරන ශක්තිය දෙන්නත් ඒ බලයට පුළුවන්. (ෆිලි. 2:13) ඒත් දෙවියන්ගේ බලයේ උදව් ලබාගන්න අපිට පුළුවන් කොහොමද?
10. දෙවියන්ගේ බලයේ උදව් ලබාගන්න අපිට පුළුවන් කොහොමද? (ලූක් 11:10, 13)
10 දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. (ලූක් 11:10, 13 කියවන්න.) යෙහෝවා ඔහුගේ බලය අපිට දෙන්න හරිම කැමැත්තෙන් ඉන්නවා කියලා අපි දන්නවා. (යොහ. 3:34) ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන අයට ඔහු අදිමදි නොකර ඔහුගේ බලය දෙනවා. (හිතෝ. 1:23; යාකො. 1:5) අපේ හෘද සාක්ෂිය පුහුණු කරගන්න උදව් වෙන තව දෙයක් මොකක්ද?
11. (අ) අපේ ජීවිතේ අපිට වැදගත්ම දේ වෙන්න ඕනෙ මොකක්ද? (ආ) හෘද සාක්ෂිය හොඳට පුහුණු කරලා තියෙනවා කියලත් ඒක හරියට වැඩ කරනවා කියලත් අපි ස්ථිර කරගන්න ඕනෙ ඇයි?
11 හැම වෙලාවෙම යෙහෝවා සතුටු වෙන දේ කරන්න. (හිතෝ. 8:34, 35) ඒක තමයි අපේ ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනේ. ජීවිතේ ගන්න හැම තීරණේකදීම අපි ඒක මතක තියාගන්නවා නම් අපේ හෘද සාක්ෂිය පුහුණු කරගන්න අපිට පුළුවන්. අපි හෘද සාක්ෂිය හොඳට පුහුණු කරලා තියෙනවා නම් යම් කාරණයක් ගැන යෙහෝවා හිතන විදිහට තමයි අපිත් හිතන්නේ. යෙහෝවාට ඒ ගැන හැඟෙන්නේ කොහොමද කියලත් අපි හිතනවා. අපි ජීවත් වෙන්නේ අමාරු කාලෙක නිසා පුහුණු කරපු හෘද සාක්ෂියක් තියෙන එක අපිට ලොකු උදව්වක්. බයිබලේ කෙළින්ම සඳහන් කරලා නැති ගොඩක් අවස්ථාවලට අපි හැමදාම වගේ මූණ දෙනවා. උදාහරණෙකට විනෝද වෙන්න කරන දේවල්, අපේ රැකියාව, අපි ලබන අධ්‍යාපනය, අපි කිට්ටුවෙන් ඇසුරු කරන අය වගේ දේවල් ගැන අපිට හැමදාම තීරණ ගන්න වෙනවා. අපි ගන්න ඒ තීරණ ගැන යෙහෝවා සතුටු වෙනවාද නැද්ද කියලා ස්ථිර කරගන්නේ කොහොමද?—2 කොරි. 1:12.
12. අපේ හෘද සාක්ෂිය අපිව අරන් යන්නේ හරි පාරේ කියලා දැනගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (එෆීස 5:10)
12 බයිබලෙන් ඔයා කියවන දේ ගැන හොඳට හිතන්න. (ගීතා. 49:3) බයිබලේ කියවද්දී යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති අඳුරගන්න බලන්න. (එෆීස 5:10 කියවන්න.) ඒවා ඔයාට උදව් කරයි ප්‍රශ්නයක් මැද ඉද්දී හරි තීරණ ගන්න ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට මඟ පෙන්නනවාද කියලා තේරුම්ගන්න. (හිතෝ. 2:4-9, 11-13) ඔයාගේ හෘද සාක්ෂියේ දුර්වල පැත්තක් තියෙනවා කියලා තේරුණොත් ඒක හදාගෙන යෙහෝවා සතුටු වෙන විදිහට දේවල් කරන්න ඔයාට උදව් කරන්නත් ප්‍රතිපත්තිවලට පුළුවන්.—හෙබ්‍රෙ. 5:14.
13. තීරණ ගද්දී අපි කරන්න හොඳ නැත්තේ මොකක්ද? උදාහරණයක් කියන්න.
13 තීරණයක් අරන් ඒක හරියි කියලා පෙන්නන්න ප්‍රතිපත්ති හොයන්න එපා. ක්‍රි.පූ. 607දී යෙරුසලම විනාශ වුණාට පස්සේ යූදා දේශයේ ඉතුරු වුණ ඊශ්‍රායෙල්වරු වගේ වෙන්න අපිට ඕනෙ නැහැ. එයාලා යෙරෙමියාට මෙහෙම කිව්වා. “ඔයාගේ දෙවි යෙහෝවා අපි යන්න ඕනෙ පාර අපිට පෙන්නලා දෙයි. අපි කරන්න ඕනෙ මොනවාද කියලා අපිට කියයි.” (යෙරෙ. 42:3-6) හැබැයි ඒ වෙද්දීත් කරන්න යන දේ ගැන එයාලා තීරණයක් අරගෙනයි තිබුණේ. යෙහෝවා දීපු මඟ පෙන්වීම එයාලා ගත්ත තීරණේට වඩා වෙනස් කියලා තේරුණාම එයාලා තීරණේ කරපු විදිහට වැඩ කළා. ඒකෙන් වුණේ ලොකු විනාශයක්. (යෙරෙ. 42:19-22; 43:1, 2, 4) ඉතින් යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති අපි හොයන්න ඕනෙ තීරණයක් ගන්න කලිනුයි. ඊටපස්සේ අපි ඒ විදිහට වැඩ කරන්න ඕනේ.
14. තීරණ ගද්දී අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න ඕනෙ ඇයි?
14 බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගන්න. (මතෙ. 7:24-29; යාකො. 1:23-25) එහෙම කරද්දී අපි දෙවියන්ගේ බලයට ඉඩ හරිනවා අපිට මඟ පෙන්නන්න. එතකොට යෙහෝවා දිගටම ඔහුගේ බලය අපිට දෙනවා. (ක්‍රියා 5:32) හැබැයි අපිට මඟ පෙන්නන්න අපි දෙවියන්ගේ බලයට ඉඩ දුන්නේ නැත්නම් අපි කරන්නේ ඒ “බලයට විරුද්ධව වැඩ කරලා ඔහුට දුක් දෙනවා” වගේ දෙයක්. (එෆී. 4:30; යෙසා. 63:10; ක්‍රියා 7:51) එහෙම වුණොත් යෙහෝවා ඔහුගේ බලය අපිට දෙන එක නතර කරනවා. (ගීතා. 51:11; 1 තෙස. 5:19) ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්. මොකද දෙවියන්ගේ බලය නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැහැ.—එෆී. 3:16.
අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති හොයාගන්නේ කොහොමද?
15-16. (අ) අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති අපිට හොයාගන්න පුළුවන් කොහොමද? (ආ) දුම්පානය කරන එක නතර කරන්න බයිබල් ශිෂ්‍යයෙක්ට උදව් වෙන ප්‍රතිපත්ති මොනවාද?
15 අධ්‍යයනය කරන්න උදව් වෙන දේවලින් ප්‍රයෝජන ගන්න. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න නම් මුලින්ම අපිට ඒවා බයිබලෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණෙකට හිතන්න, ඔයාත් එක්ක පාඩම් කරන කෙනෙක්ට තේරෙන්නේ නැහැ ඇයි එයා දුම්පානය නතර කරන්න ඕනෙ කියලා. එයා හිතනවා ඇති ‘දුම්පානය ගැන බයිබලේ කොහෙවත් කියලා නැහැනේ. ඉතිං ඒක වැරදියි කියලා කොහොමද කියන්නේ’ කියලා. ඒකට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති හොයාගන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන එක දෙයක් තමයි ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත. ඒකේ “දුම්කොළ සහ දුම්පානය” කියන මාතෘකාව එයාට පෙන්නන්න. ඒ යටතේ තියෙන “දුම් පානය දෙවියන් අනුමත කරනවාද?” කියන ලිපිය එයා දකියි. (2014 ජූනි 1 ‘මුරටැඹ’ බලන්න.) ඒ ලිපිය කියවද්දී මොන වගේ ප්රතිපත්තිද එයාට හොයාගන්න පුළුවන්?
16 මේ ප්‍රතිපත්ති පහ එයාට හොයාගන්න පුළුවන්. (1) මරණයට අපිව ඇදගෙන යන කිසිම දේකට අපි ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. (රෝම 6:16) (2) අපේ ශරීරයට හානියක් කරන ඕනම දේකින් අපි වැළකිලා ඉන්න ඕනේ. (2 කොරි. 7:1) (3) යෙහෝවා කැමති අපි ඔහුට සේවේ කරද්දී අපේ ජීවිතේ 100%ක් ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා දකින්න. (මතෙ. 22:37) (4) අපි කරන දේවල් නිසා අනිත් අයට අනතුරක් වෙන්න බැහැ. (මතෙ. 22:39; 1 කොරි. 10:24) (5) හරි දේ කරන්න අපිට ඕන කරන ශක්තිය දෙන්න යෙහෝවාට පුළුවන්. (ෆිලි. 4:13) දුම්පානය ගැන බයිබලේ කෙළින්ම සඳහන් කරලා නැතත් ඒ ප්‍රතිපත්ති බයිබල් ශිෂ්‍යයාට උදව් වෙනවා ඒ ගැන යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න.
17. විවාහ උත්සවයක් සැලසුම් කරන යුවළකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
17 විවාහ උත්සවයක් සැලසුම් කරන යුවළකට හරි තීරණ ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති හොයාගන්න පුළුවන් කොහොමද? ඒකටත් ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොත උදව් වෙනවා. ඒකේ ““විවාහ උත්සවය සහ ප්‍රිය සාදය”” කියන මාතෘකාව යටතේ බයිබල් ප්‍රතිපත්ති ඇතුළත් හුඟක් ලිපි තියෙනවා. ඒ වගේ ප්‍රතිපත්ති හයක් බලන්න. (1) උත්සවයේ වෙන හැම දේකින්ම යෙහෝවාට ගෞරවයක් ලැබෙන්න ඕනේ. (1 කොරි. 10:31, 32) (2) ඇඳුම් පැලඳුම් අනවශ්‍ය අවධානයක් ඇදගන්නේ නැති, විනීත ඒවා වෙන්න ඕනේ. (1 තිමෝ. 2:9; 1 පේතෘ. 3:3, 4) (3) මේ ලෝකේ ඉන්න හුඟක් අය කරනවා වගේ අපිට තියෙන දේවල් ප්‍රදර්ශනය කරන අරමුණෙන් දේවල් කරන්න හොඳ නැහැ. (යොහ. 17:14; යාකො. 1:27; 1 යොහ. 2:15, 16) (4) උත්සවයේ හැම දෙයක්ම පිළිවෙළකට කරන්න ඕනේ. (1 කොරි. 14:40) (5) විවාහයෙන් පස්සේ තියෙන සාදය වෙරි වෙන කල් බොන, ඝෝෂාකාරී එකක් වෙන්න බැහැ. (ගලා. 5:21) (6) විවාහ උත්සවයේ හැම දෙයක්ම බලාගන්න කෙනෙක්ව පත් කරන්න ඕනේ.—යොහ. 2:8, 9.
18-19. (අ) අපිට උදව් වෙන තව පොතක් මොකක්ද? (ආ) සමහර උත්සව සමරන එක ගැන ඒකෙන් හොයාගන්න පුළුවන් ප්‍රතිපත්ති මොනවාද? (“ප්‍රතිපත්ති අඳුරගන්න පුළුවන්ද?” කියන කොටුව බලන්න.)
18 හුඟක් අයට ප්‍රයෝජනවත් වෙලා තියෙන තවත් පොතක් තමයි ‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන පොත. ඒ පොතේ විවිධ මාතෘකා යටතේ බයිබල් පදවල ලැයිස්තුවක් තියෙනවා. ඔයා මාතෘකාවක් තෝරගත්තාම ඔයා දකියි ඒක යටතේ ප්‍රශ්න සහ බයිබල් පද තියෙනවා. ඒවා ඔයාට උදව් වෙනවා බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගන්න. උදාහරණෙකට උත්සවයකට යන්න කලින් කෙනෙක් කල්පනා කරනවා ඒකට යන එක හරිද වැරදිද කියලා. එයා මේ පොතේ “සැමරීම්” කියන මාතෘකාව බැලුවොත් ඒකේ තියෙන “ක්‍රිස්තියානීන් පවත්වන්නේ නැති සැමරීම්” කියන උපමාතෘකාව හොයාගන්න පුළුවන්.
19 ඒ කොටස යටතේ තියෙන තොරතුරු ටිකක් බලන්න. එතන මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. “බොරු ආගම්වලට සම්බන්ධ සැමරීම්වලට සහභාගි වෙන එක වැරදි ඇයි? (1කොරි 10:21; 2කොරි 6:14-18; එෆී 5:10, 11).” වැරදි සැමරීම් කීපයක් ගැන එතන කතා කරලා තියෙනවා. රටේ ඉතිහාසයට සම්බන්ධ විශේෂ සැමරීම්වලට, යුද්ධවලට සම්බන්ධ සැමරීම්වලට, ප්‍රසිද්ධ අයට අනවශ්‍ය ගෞරවයක් දෙන සැමරීම්වලට හවුල් වෙන එක හරිද කියලා තීරණේ කරන්න උදව් වෙන ප්රතිපත්තිවල ලැයිස්තුවක් “ජාතික උත්සව” කියන උපමාතෘකාව යටතේ තියෙනවා. ඇත්තටම අපේ හෘද සාක්ෂිය පුහුණු කරගන්න උදව් වෙන ඒ වගේ ප්‍රකාශන දීලා තියෙන එක ගැන අපි යෙහෝවාගේ සංවිධානයට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද!
ඔයාගේ හෘද සාක්ෂිය පුහුණු කරලාද?
20. අපි අපේ හෘද සාක්ෂිය හොඳට පුහුණු කරලා කියලා දැනගන්න පුළුවන් කොහොමද?
20 තීරණ ගන්න යෙහෝවා අපිට දීලා තියෙන නිදහස අපි ගොඩක් අගය කරනවා. හැබැයි ඒ නිදහස හරි විදිහට පාවිච්චි කරලා යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න නම් අපි අපේ හෘද සාක්ෂිය හොඳට පුහුණු කරගන්න ඕනෙ කියලත් අපි දන්නවා. හොඳට පුහුණු කරපු හෘද සාක්ෂියකට පුළුවන් යෙහෝවා සතුටු වෙන විදිහේ, ඔහුට ගෞරවයක් ගේන විදිහේ තීරණ ගන්න අපිට උදව් කරන්න. ඒකට අපිට යෙහෝවාගේ බලයේ උදව් ඕනේ. ඉතින් අපි දිගටම ඔහුගෙන් ඒ බලය ඉල්ලමු. අපිට මඟ පෙන්නන්න ඒ බලයට ඉඩ දෙමු. අපේ හෘද සාක්ෂිය පුහුණු කරගන්න බයිබල් ප්‍රතිපත්තිත් අපිට උදව් වෙනවා. යෙහෝවා දීලා තියෙන ඒ වටිනා තෑගි අපි හරි විදිහට පාවිච්චි කරනවා නම් දෙවියන්ගේ වචනය කොච්චර බලවත්ද කියලා අපේ ජීවිතවලින්ම අද්දකින්න අපිට පුළුවන්.—2 තිමෝ. 3:16, 17; හෙබ්‍රෙ. 4:12.
ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’