2026 ජූලි 6-12
ගීතිකාව 98 දෙවිගේ බලයෙන් ලියැවුණ වදන්
බයිබල් ප්‍රතිපත්ති වැදගත් ඇයි?
‘දෙවියන්ට සේවය කරද්දී හිතලා දේවල් කරන්න ඔයාලට ලැබිලා තියෙන හැකියාව පාවිච්චි කරන්න.’—රෝම 12:1.
ලිපියේ අරමුණ
ප්‍රතිපත්ති කියන්නේ මොනවාද කියලත් බයිබලේ කියවද්දී ඒවා අඳුරගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
1-2. (අ) බයිබලය ගොඩක් පරණ පොතක් කියන්නේ ඇයි? (ආ) බයිබලේ තියෙන දේවල් අදටත් ගැළපෙනවා කියන්නේ ඇයි?
බයිබලේ කියන්නේ ගොඩක් පරණ පොතක්. ඒක ලියන්න පටන්ගත්තේ මීට අවුරුදු 3,500කට විතර කලින්. ඒක ලියලා ඉවර කරලා දැන් අවුරුදු 2,000ක් විතර වෙනවා. හැබැයි බයිබලේ පිටු අතර තියෙන “දෙවියන්ගේ වදන්” අදටත් ජීවමානයි, හරිම බලවත්. (හෙබ්‍රෙ. 4:12; 2 තිමෝ. 3:16, 17) මේ දුෂ්ට ලෝකේ ජීවත් වෙන මිලියන ගාණකට හොඳ තීරණ ගන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙලා තියෙනවා.
2 එච්චර පරණ පොතක තියෙන ඒවා අදට ගැළපෙන්නේ කොහොමද? ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. (1) බයිබලේ තියෙන පණිවිඩේ ලැබුණේ “ජීවමාන දෙවියන්ගෙන්.” ඔහු අපේ නිර්මාතෘ. ඔහු තරම් ප්‍රඥාවන්ත කෙනෙක් තවත් නැහැ. (1 තිමෝ. 4:10; රෝම 16:26, 27) (2) කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැති ප්‍රතිපත්ති බයිබලේ තියෙනවා. කෙනෙක් මොන කාලෙක ජීවත් වුණත් මොන වගේ අභියෝගවලට මූණ දුන්නත් එයාට බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලින් ප්‍රයෝජන ගන්න පුළුවන්.
3. මේ ලිපියෙන් අපි බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?
3 බයිබල් ප්‍රතිපත්ති කියන්නේ මොනවාද? ඒවා අද අපිට වැදගත් වෙන්නේ ඇයි? බයිබලේ කියවද්දී අපිට ඒවා අඳුරගන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම බයිබල් ප්‍රතිපත්තිවල වටිනාකම යේසුස්ගේ ඉගැන්වීම්වලින් පැහැදිලි වුණේ කොහොමද කියලත් අපි බලනවා.
බයිබල් ප්‍රතිපත්ති කියන්නේ මොනවාද?
4. බයිබල් ප්‍රතිපත්ති කියන්නේ මොනවාද?
4 බයිබලේ වැදගත් සත්‍යයන් හුඟක් තියෙනවා. ඒවාට තමයි ප්‍රතිපත්ති කියන්නේ. ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා යෙහෝවා හිතන විදිහ, ඔහුට වැදගත් වෙන්නේ මොනවාද කියලා තේරුම්ගන්න. සමහර වෙලාවට මේ ප්‍රතිපත්ති නීති විදිහටත් බයිබලේ සඳහන් වෙනවා. (මතෙ. 22:37) යෙහෝවා දීලා තියෙන හැම නීතියකටම හේතුව ප්‍රතිපත්තිවලින් හොයාගන්න පුළුවන්. බයිබලේ තියෙන සමහර නීති දැම්මේ නිශ්චිත කාලයක්, නිශ්චිත අවස්ථාවක් වෙනුවෙන්. ඒ නිසා නීතියක් අවලංගු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිපත්තිය ඒ කියන්නේ යෙහෝවා නීතියක් දාන්න හේතු වුණ දේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. (ගීතා. 119:111) මොකක්ද අපි ඒකෙන් තේරුම්ගන්නේ? නීතියක් කල් ඉකුත් වුණ අවස්ථාවක වුණත් නීතියක් දීලා නැති අවස්ථාවක වුණත් යම් කාරණයක් ගැන යෙහෝවා හිතන්නේ කොහොමද කියලා අපිට ප්‍රතිපත්තිවලින් තේරුම්ගන්න පුළුවන්. මොකද ප්‍රතිපත්ති හැමදාටම අදාළයි.—යෙසා. 40:8.
5. නීතියක් සහ ප්‍රතිපත්තියක් අතර තියෙන වෙනස උදාහරණෙකින් පැහැදිලි කරන්න. (පින්තූරත් බලන්න.)
5 නීතියක් සහ ප්‍රතිපත්තියක් අතර තියෙන වෙනස තව හොඳට තේරුම්ගන්න මේ උදාහරණේ බලන්න. අම්මා කෙනෙක් පුංචි පුතාට කියනවා “ලිප අල්ලන්න එපා” කියලා. ඒක නීතියක්. අම්මා දන්නවා රස්නේ දෙයක් ඇල්ලුවොත් ඒක පුතාට අනතුරක් කියලා. ඒකයි එයා ඒ නීතිය දාන්නේ. අන්න ඒක තමයි ප්‍රතිපත්තිය. ඒක ලිපට විතරක් නෙවෙයි රත් වුණ අයන් එකක් වගේ වෙන ඕනම දේකට අදාළයි. රස්නේ දෙයක් ඇල්ලුවොත් පුතාට අනතුරක් වෙන්නේ ගේ ඇතුළේ ඉද්දී විතරකුත් නෙවෙයි. ඒක පිට තැනකට ගියත් අදාළයි. දරුවා ටික ටික ලොකු වෙද්දී අම්මා එයාට ලිප පාවිච්චි කරන්න ඉඩ දෙයි. හැබැයි එදාටත් අනතුරක් වෙන විදිහට ලිප අල්ලන එකෙන් එයා වළකින්න ඕනේ. ඒ උදාහරණෙන් පැහැදිලියි නීතියක් වෙනස් වෙන්න පුළුවන් වුණත් ඒ නීතිය දාන්න හේතුව නැත්නම් ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ කියලා.
නීතියක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැහැ (5 ඡේදය බලන්න)
ප්‍රතිපත්ති එච්චරටම වැදගත් ඇයි?
6. (අ) යෙහෝවා ඔහුගේ වචනය මාර්ගයෙන් අපිට දීලා තියෙන්නේ මොනවාද? (ආ) ඔහුට අපිව විශ්වාසයි කියලා ඔහු පෙන්නලා තියෙන්නේ කොහොමද?
6 යෙහෝවා අපිට ගොඩක් ආදරේ නිසා අනතුරුවලින් බේරෙන්න උදව් වෙන නීති දීලා තියෙනවා. (යාකො. 2:11) ඒ වගේම නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය තේරුම්ගන්නත් ඔහු අපිට උදව් කරනවා. ඇත්ත, අපි දන්නවා අපේ ජීවිතේ අපි කරන්න ඕන හැම දෙයක් ගැනම යෙහෝවා අපිට නීති දාලා නැහැ කියලා. හැබැයි නීතියක් දීලා නැති අවස්ථාවකදී වුණත් හරි තීරණ ගන්න, හරි දේ කරන්න උදව් වෙන මඟ පෙන්වීම් ඔහු බයිබලේ මාර්ගයෙන් අපිට දීලා තියෙනවා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගෙන තීරණ ගන්න ඔහු අපිට නිදහස දීලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් යෙහෝවා ගැන අපිට තියෙන ආදරේ, ඔහුට කීකරු වෙන්න තියෙන කැමැත්ත අපේ තීරණවලින් පෙන්නන්න. ඒ විදිහේ නිදහසක් අපිට දීලා ඔහු පෙන්නලා තියෙනවා ඔහුට අපිව විශ්වාසයි කියලා.—ගලා. 5:13.
7. බයිබල් ප්‍රතිපත්තිවල වැදගත්කම උදාහරණෙකින් පැහැදිලි කරන්න. (පින්තූරයත් බලන්න.)
7 බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙන විදිහ තේරුම්ගන්න මාර්ග සංඥා පුවරු ගැන ටිකක් හිතන්න. හුඟක් සංඥාවලින් පෙන්නන්නේ රියදුරෙක් වාහනේ එළවද්දී පිළිපදින්න ඕන නීති. උදාහරණෙකට වාහනේ එළවන්න පුළුවන් උපරිම වේගය නැත්නම් වාහනේ මෙතන නතර කරන්න කියලා සංඥාවකින් පෙන්නනවා. රියදුරෙක් ඒ වගේ සංඥාවලට කීකරු වුණේ නැත්නම් එයාට දඩ ගහනවා. හැබැයි තවත් සංඥා තියෙනවා ඒවාවලින් කරන්නේ ඉස්සරහා තියෙන අනතුරක් ගැන පෙන්නලා දෙන එක විතරයි. උදාහරණෙකට පාර ලිස්සනසුලුයි, මාර්ගය හරහා සතුන් යනවා කියලා සමහර සංඥාවල පෙන්නනවා. ඒ වගේ මාර්ග සංඥාවක් දැක්කාම අනතුරකින් වැළකෙන විදිහට වාහනේ එළවන්නේ කොහොමද කියලා හොඳ රියදුරෙක් හිතන්න ඕනේ. උදාහරණෙකට වැස්ස දවසක ඒ වගේ තැනකින් වේගයෙන් ගියොත් අනතුරක් වෙන්න පුළුවන් නිසා එයා වාහනේ හෙමින් එළවනවා. මොකක්ද අපි ඒකෙන් තේරුම්ගන්නේ? බයිබලේ වැරදියි කියලා කෙළින්ම කියලා තියෙන දෙයක් අපි කරන්නේ නැහැ. හැබැයි ඒක විතරක් මදි. වැරදි දෙයක් කරන්න අපි පෙලඹෙන්න පුළුවන් මොන වගේ සිතුවිලි නිසාද, මොන වගේ ක්‍රියාවන් නිසාද කියලා අපි හොඳට හිතලා බලන්න ඕනේ. ඊටපස්සේ ඒ වගේ දේවලින් වළකින්න පියවර ගන්න ඕනේ.
හුඟක් මාර්ග සංඥාවලින් කරන්නේ ඉස්සරහා තියෙන අනතුරක් ගැන රියදුරාව දැනුවත් කරන එකයි. බයිබල් ප්‍රතිපත්තිවලටත් පුළුවන් ඒ වගේම දෙයක් කරන්න (7 ඡේදය බලන්න)
8. රෝම 12:1, 2 කියන විදිහට බයිබල් ප්‍රතිපත්ති අඳුරගද්දී අපි පුහුණු වෙන්නේ මොනවා කරන්නද?
8 බයිබල් ප්‍රතිපත්ති අඳුරගෙන ඒවාට අනුව ජීවත් වෙන එකෙන් අපිට තවත් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට අපි කාරණා දිහා යෙහෝවා බලන විදිහට බලන්න පුහුණු වෙනවා. අපි බයිබලෙන් දෙයක් කියවද්දී ඒකෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් හොයනවා. ඊටපස්සේ අපි හිතනවා ඇයි යෙහෝවා මේ වගේ පාඩම් බයිබලේට ඇතුළත් කළේ, ඒවාවලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලා. එහෙම කරද්දී අපි කරන්නේ ‘හිතලා දේවල් කරන්න අපිට ලැබිලා තියෙන හැකියාව පාවිච්චි කරන’ එකයි. එතකොට අපිට පුළුවන් ‘දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේ සැකයක් නැතුව තේරුම් අරන්’ ඒක කරන්න.—රෝම 12:1, 2 කියවන්න.a
9. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී අපිට ලැබෙන තවත් ප්‍රයෝජනයක් මොකක්ද? (හෙබ්‍රෙව් 5:13, 14)
9 බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන්න ඉගෙනගද්දී අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න අපිට පුළුවන්. අපි බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙද්දී යෙහෝවා එක්ක අපිට තියෙන බැඳීමත් තව වැඩි වෙනවා. (හෙබ්‍රෙව් 5:13, 14 කියවන්න.) කරන්න ඕනෙ මොනවාද, කරන්න හොඳ නැත්තේ මොනවාද කියලා සාමාන්‍යයෙන් දෙමාපියන් පුංචි දරුවන්ට නම් ගොඩක් නීති දානවා. එයාලා ඒකට කීකරු වෙන්නේ දඬුවම් කරයි කියලා බයට. හැබැයි යෙහෝවා අපිව සලකන්නේ පුංචි දරුවන් විදිහට නෙවෙයි, අවබෝධයෙන් වැඩ කරන වැඩිහිටියන් විදිහට. ඔහුට විශ්වාසයි අපි ඔහුගේ මඟ පෙන්වීම් පිළි අරන් හරි තීරණ ගනියි කියලා. අපි එහෙම කරද්දී ඔහුට ලොකු සතුටක් දැනෙනවා.—ගීතා. 147:11; හිතෝ. 23:15, 26; 27:11.
බයිබල් ප්‍රතිපත්ති අඳුරගන්න
10. ප්‍රතිපත්ති අඳුරගන්නේ කොහොමද?
10 බයිබලේ කියවලා ඒකෙන් ඉගෙනගන්න පාඩම් ගැන හිතද්දී කාරණයක් ගැන යෙහෝවා හිතන විදිහ, ඔහුට දැනෙන විදිහ තේරුම්ගන්න උදව් වෙන ප්‍රතිපත්ති අපි අඳුරගන්නවා. ඒ වගේම නීති දාලා තියෙන හේතු ගැන හිතන එකෙනුත් අපිට ප්‍රතිපත්ති අඳුරගන්න පුළුවන්. අපි ඒ වගේ හේතු තේරුම්ගන්න තරමටම යෙහෝවා හිතන විදිහ තේරුම්ගන්න අපිට පුළුවන් වෙනවා. හැබැයි ඒකට අපි ඔහුට යාච්ඤා කරලා ඔහුගෙන් උදව් ඉල්ලන්න ඕනේ. අපේ හිතීමේ හැකියාව තව දියුණු කරගන්න ඕනේ. (හිතෝ. 2:10-12) අපිට මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න පුළුවන්. ‘ඇයි යෙහෝවා මේ විදිහේ නීතියක් දුන්නේ? යෙහෝවා මේ හැසිරීමට කැමති නැත්නම් මේකට සමාන අර හැසිරීමට කැමති වෙයිද? මේ කියවපු බයිබල් වාර්තාවෙන් මට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒවා මගේ ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද?’ ඒ විදිහට නීති සහ බයිබල් වාර්තා පිටිපස්සේ තියෙන හේතු සහ පාඩම් අපි තේරුම්ගන්නවා නම් අපිට පුළුවන් යෙහෝවාගේ හිත සතුටු වෙන විදිහේ හොඳ තීරණ ගන්න.
11. බයිබල් ප්‍රතිපත්ති අඳුරගන්නේ කොහොමද කියලා කන්ද උඩ දේශනයේදී යේසුස් පෙන්නුවේ කොහොමද? (පින්තූරත් බලන්න.)
11 බයිබල් ප්‍රතිපත්ති අඳුරගන්න පුළුවන් කොහොමද කියලා කන්ද උඩ දේශනයේදී යේසුස් පෙන්නලා දුන්නා. අපි දැන් ඒ වගේ උදාහරණ තුනක් බලමු. ඒ හැම උදාහරණේදීම මුලින්ම යේසුස් කිව්වා නීතිය මොකක්ද කියලා. ඊටපස්සේ ඒ නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද කියලා ඔහු පැහැදිලි කළා. යේසුස් උගන්නපු ඒ ප්‍රතිපත්ති ගැන හොඳට හිතද්දී ඒවා අදටත් අපිට උදව් වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න අපිට පුළුවන්.
කන්ද උඩ දේශනයේදී යේසුස් පෙන්නුවා දෙවියන්ගේ නීති පිටිපස්සේ තියෙන ප්‍රතිපත්ති අඳුරගන්නේ කොහොමද කියලා (11 ඡේදය බලන්න)
12. මතෙව් 5:21, 22 සඳහන් නීතිය පිටිපස්සේ තියෙන එක ප්‍රතිපත්තියක් මොකක්ද? (පින්තූරයත් බලන්න.)
12 මතෙව් 5:21, 22 කියවන්න. “මිනී මරන්න එපා.” ඒ නීතිය පිටිපස්සේ තියෙන එක ප්‍රතිපත්තියක් මොකක්ද? යෙහෝවා කැමති නැහැ අපි කරන කියන දේකින් තියා අපේ සිතුවිල්ලකින්වත් තව කෙනෙක්ට වෛර කරනවා දකින්න. යේසුස් පෙන්නුවා කෙනෙක් ඇත්තටම තව කෙනෙක්ව මැරුවේ නැතත් එයා “සහෝදරයා එක්ක දිගින් දිගටම කේන්තියෙන් ඉන්නවා” නම්, එයාට කැත විදිහට කතා කරනවා නම් එයා අර නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය කඩනවා කියලා. ඇයි ඒ? මොකද ඒ වගේ සිතුවිලි, ක්‍රියා තමයි කෙනෙක්ව පොලඹවන්නේ මිනීමැරුමක් වුණත් කරන්න.—1 යොහ. 3:15.
13. මතෙව් 5:21, 22 තියෙන ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
13 මතෙව් 5:21, 22 තියෙන ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? කෙනෙක් අපිට නපුරු විදිහට සැලකුවත් අපි එයාත් එක්ක කේන්තියෙන් ඉන්නවත් එයාට වෛර කරන්නවත් හොඳ නැහැ. (ලෙවී. 19:18; යෝබ් 36:13) මොකද ඒ වගේ හැඟීම් තමයි නපුරු දේවල් කියන්න කරන්න අපිව පොලඹවන්නේ. (හිතෝ. 10:12) ඒකට එයා ගැන ඕපාදූප කියන එකත් එයාගේ නම කැත වෙන විදිහට බොරු දේවල් කියන එකත් ඇතුළත්. (හිතෝ. 20:19; 25:23) යේසුස් මේ ප්‍රතිපත්තිය දෙද්දී සෝෂල් මීඩියා, බ්ලොග්, ඉන්ටර්නෙට්, මෙසේජ් යවන ඇප් තිබුණේ නැහැ. හැබැයි ඒ ප්‍රතිපත්තිය උදව් වෙනවා ඒ වගේ දේවල් පාවිච්චි කරද්දී කරන්න හොඳ නැත්තේ මොනවාද කියලා තේරුම්ගන්න. තව කෙනෙක්ගේ චරිතය ඝාතනය කරන්න පුළුවන් ඕනම විදිහක කතාබහකින් අපි සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ.
(12-13 ඡේද බලන්න)
14. මතෙව් 5:27, 28 සඳහන් නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? (පින්තූරයත් බලන්න.)
14 මතෙව් 5:27, 28 කියවන්න. “අනාචාරයේ යෙදෙන්න එපා.” ඒ නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? අනාචාරයේ යෙදෙන එක විතරක් නෙවෙයි ඒ වගේ දේවල් ගැන හිතන එකත් යෙහෝවා පිළිකුල් කරනවා. මොකද ඒ වගේ සිතුවිලි තමයි අනාචාරයට පාර කපන්නේ. යේසුස් කිව්වා විවාහ වුණ කෙනෙක් එයාගේ බිරිඳ ඇරෙන්න වෙන ස්ත්‍රියක් දිහා දිගින් දිගටම ආශාවෙන් බලනවා නම් එයා ඒ වෙද්දීත් වරදක් කරලා තියෙනවා කියලා. ඉතින් කොච්චර අමාරු වුණත් ඒ වගේ සිතුවිලි ඉක්මනටම හිතෙන් අයින් කරලා දාන්න කෙනෙක් පියවර ගන්න ඕනේ. (මතෙ. 5:29, 30) මේ ප්‍රතිපත්තිය තනිකඩ ක්‍රිස්තියානීන්ටත් අදාළයි.
15. මතෙව් 5:27, 28 තියෙන ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
15 මතෙව් 5:27, 28 තියෙන ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? අපි අනාචාරයට සම්බන්ධ දේවල් ගැන හිතන එකෙන් වළකින්න ඕනේ. (2 සාමු. 11:2-4; යෝබ් 31:1-3) අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් ඕනම විදිහක අසභ්‍ය දර්ශනයක් බලන එකෙන් වළකිනවා. “මේක මං බලනවා විතරයිනේ, කරන්නේ නෑනේ” කියලා එයා බොරු හේතු මවන්නේ නැහැ. මේ ලෝකේ අය හිතනවා සමහර අසභ්‍ය දර්ශන අනිත් ඒවා තරම්ම බරපතළ නැහැ, ඒවා බලන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. හැබැයි අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. යේසුස්ගේ කාලේ ෆොටෝ, චිත්‍රපටි, ෆෝන්, ටැබ් තිබ්බේ නැහැ. හැබැයි යේසුස් දීපු ප්‍රතිපත්තිය අපිට උදව් වෙනවා අසභ්‍ය දර්ශන තියෙන පින්තූර, වීඩියෝ ගැන යෙහෝවාට දැනෙන විදිහ තේරුම්ගන්න. ලිංගික දේවල් ඇතුළත් මෙසේජ්, පින්තූර, වීඩියෝ යවන එකත් පරිගණක තාක්ෂණය මාර්ගයෙන් ලිංගිකව හැසිරෙන අවස්ථාවන් නිර්මාණය කරලා ඒවා බලන එකත් ඒවාට හවුල් වෙලා වින්දනයක් ලබන එකත් (virtual activities) යෙහෝවා පිළිකුල් කරනවා කියලා තේරුම්ගන්න ඒ ප්‍රතිපත්තිය අපිට උදව් වෙනවා. ඒ ප්‍රතිපත්තිය විවාහ වුණ කෙනෙක්ට උදව් වෙනවා තමන්ගේ සහකරුට කිසිම විදිහකින් අවිශ්වාසවන්ත නොවී ඉන්න. (මලා. 2:15) විවාහ වුණ, නොවුණ අපි හැමෝටම ඒක උදව් වෙනවා අනාචාරයට මඟ පාදන ඕනම දේකින් වැළකිලා ඉන්න.—හිතෝ. 5:3-14.
(14-15 ඡේද බලන්න)
16. මතෙව් 5:43, 44 සඳහන් නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? (පින්තූරයත් බලන්න.)
16 මතෙව් 5:43, 44 කියවන්න. “ඔබේ අසල්වැසියාට ආදරේ කරන්න.” ඒ නීතිය පිටිපස්සේ තියෙන ප්‍රතිපත්තිය මොකක්ද? යෙහෝවාට ඕන වුණේ හැම කෙනෙක්වම අපි අපේ අසල්වැසියන් විදිහට සලකලා එයාලට ආදරේ කරනවා දකින්න. හැබැයි යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් හිතුවේ එයාලා ආදරේ කරන්න ඕනෙ යුදෙව්වන්ට විතරයි, අනිත් අයව හතුරන් විදිහට සලකන්න එයාලට පුළුවන් කියලා. ඒත් යේසුස් දැනන් හිටියා යෙහෝවා මේ නීතිය දෙද්දී ඔහුගේ හිතේ තිබ්බේ ඒ වගේ අදහසක් නෙවෙයි කියලා. කෙනෙක් මොන රටකට, මොන ජාතියකට අයිති වුණත් අපි ඒ හැමෝවම අසල්වැසියන් විදිහට සලකලා එයාලට ආදරේ පෙන්නනවා දකින්නයි ඔහුගේ ආදරණීය තාත්තාට ඕනෙ කියලා යේසුස් දැනන් හිටියා.—මතෙ. 5:45-48.
17. මතෙව් 5:43, 44 තියෙන ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)
17 මතෙව් 5:43, 44 තියෙන ප්‍රතිපත්තිය අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද? අසල්වැසියන්ට තියෙන ආදරේ යුද්ධවලට හවුල් නොවී ඉන්නත් පැති නොගෙන ඉන්නත් අපිව පොලඹවනවා. (යෙසා. 2:4; මීකා 4:3) ඒ ආදරේ උදව් වෙනවා වෙන සංස්කෘතියකට, වෙන ජාතියකට, වෙන ආගමකට අයිති අයට වුණත් ආදරෙන් සලකන්න. (ක්‍රියා 10:34, 35) ඒ වගේම අපිවයි, අපි ආදරේ කරන අයවයි රිද්දපු අයට සමාව දෙන්නත් ඒක උදව් වෙනවා.—මතෙ. 18:21, 22; මාක් 11:25; ලූක් 17:3, 4.
(16-17 ඡේද බලන්න)
බයිබල් ප්‍රතිපත්ති දිගටම අදාළ කරගන්න
18. (අ) අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද? (ආ) ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?
18 යෙහෝවා අපිව පුංචි දරුවන් විදිහට සලකන්නේ නැතුව වැඩිහිටියන් විදිහට සලකන එක ගැන අපි ඔහුට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! ඔහුට ඕනෙ අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන හොඳ තීරණ ගන්නවා දකින්න. (1 කොරි. 14:20) ඒ නිසා අපි තීරණ ගද්දී “යෙහෝවා සතුටු වෙන්නේ මොන දේවල්වලින්ද කියලා තේරුම්ගන්න” දිගටම අධිෂ්ඨාන කරගමු. (එෆී. 5:17) අපි යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්නේ ඔහු දඬුවම් කරයි කියන බයට නෙවෙයි, ඔහු ගැන තියෙන ආදරේ නිසයි. හොඳ තීරණ ගන්න අපිට උදව් වෙන තව තෑග්ගක් ඔහු දීලා තියෙනවා. ඒ, අපේ හෘද සාක්ෂිය. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 95 ක්‍රමක්‍රමයෙන් දීප්තිමත් වන ආලෝකය
a අපි කරන්න ඕනෙ මොකක්ද කියලා කෙළින්ම නීතියක් දීලා නැති ගොඩක් අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපි ඉන්න තත්වෙට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති එකකට එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් ඒක අපි ගන්න තීරණවලට අදාළ වෙන්නේ කොහොමද කියලත් අපි හිතන්න ඕනේ. අපිට පුළුවන් හිතීමේ හැකියාව පාවිච්චි කරලා යෙහෝවා සතුටු වෙන විදිහේ තීරණ ගන්න. එතකොට යෙහෝවාගේ ආශීර්වාදය අපිට ලැබෙනවා. මුල් සියවසේදී ක්‍රිස්තියානීන් වුණ යුදෙව්වන් ඒක කරන්න ඉගෙනගන්න ඕන වුණා. මොකද එයාලා පුරුදු වෙලා හිටියේ ආගමික නායකයන් දාපු නීතිවලට අනුව ජීවත් වෙන්න.