ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 මාර්තු 26-31 පි.
  • අනිත් අය වෛර කළත් සතුටින් ඉන්න පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අය වෛර කළත් සතුටින් ඉන්න පුළුවන්
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • අපිට වෛර කරන්නේ ඇයි?
  • වෛර කළත් සතුටින් ඉන්න හේතු
  • ප්‍රේමය වෛරයට වඩා බලවත්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අවසානය දක්වා විඳදරාගන්න උදව් වෙන ලිපියක්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාගේ උදව්වෙන් විඳදරාගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ඔයාලා නමස්කාර කරන්නේ කාටද කියලා තීරණේ කරන්න’
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 මාර්තු 26-31 පි.

2026 ජූනි 1-7

ගීතිකාව 111 අපේ ප්‍රීතිය නිමා නොවෙයි

අනිත් අය වෛර කළත් සතුටින් ඉන්න පුළුවන්

‘මිනිස්සු ඔයාලට වෛර කරද්දී ඔයාලා සන්තෝෂවත්.’—ලූක් 6:22.

ලිපියේ අරමුණ

අපි යෙහෝවාට සේවේ කරන නිසා මිනිස්සු අපිට වෛර කරද්දී වුණත් අපිට සතුටින් ඉන්න පුළුවන් ඇයි?

1. යේසුස් කිව්ව මොන දේ නිසාද අපිට පුදුමයක් දැනෙන්නේ?

කන්ද උඩ දේශනාවේදී යේසුස් කිව්වා ‘මිනිස්සු ඔයාලට වෛර කරද්දී ඔයාලා සන්තෝෂවත්’ කියලා. (ලූක් 6:22) ඒ වචන ඇහෙද්දී එතන හිටපු අයට පුදුම හිතෙන්න ඇති. මොකද කවුරුත් ආස නැහැනේ අනිත් අය එයාලට වෛර කරනවාට. ඒත් යේසුස් ඇයි ඒ වගේ දෙයක් කිව්වේ? ඒක හිතන්න වටින ප්‍රශ්නයක්. මොකද අදටත් යේසුස්ගේ අනුගාමිකයන්ට ගොඩක් අය වෛර කරනවා. මිනිස්සු අපිට වෛර කරන්නේ ඇයි කියලත් එයාලා අපිට වෛර කරද්දීත් සතුටින් ඉන්න පුළුවන් ඇයි කියලත් දැන් අපි බලමු.

අපිට වෛර කරන්නේ ඇයි?

2-3. මිනිස්සු අපිට විරුද්ධවාදිකම් ගේන එක හේතුවක් මොකක්ද? ඒක දැනන් ඉන්න නිසා අපිට විරුද්ධ වෙන අය ගැන අපිට දැනෙන්න ඕනෙ කොහොමද? (යොහන් 16:2, 3)

2 යෙහෝවාට නමස්කාර කරන නිසා. යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා කරන, සමහරවිට එයාලව මරලා දාන අය ගැන යේසුස් මෙහෙම කිව්වා. “එයාලා මගේ තාත්තාවත් මාවත් අඳුරන්නේ නැහැ.” (යොහන් 16:2, 3 කියවන්න.) දෙවියන්ගේ සෙනඟට ගේන විරුද්ධවාදිකම් පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ, සාතන්. එයා තමයි “මේ සමාජයේ දෙවියා.” (2 කොරි. 4:3, 4) දෙවියන් ගැන සත්‍යය දැනගන්න බැරි වෙන විදිහට එයා මිනිස්සුන්ව අන්ධ කරලයි තියෙන්නේ. ඒ වගේම දෙවියන්ව දැනන් ඉන්න, ඔහුට ආදරේ කරන අයට විරුද්ධවාදිකම් ගේන්න එයා මිනිස්සුන්ව පොලඹවනවා. (යොහ. 8:42-44) ඒ ගැන දැනන් ඉන්න නිසා අපිට විරුද්ධ වෙන අය ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? එයාලා එහෙම වැඩ කරන්නේ සාතන් එයාලව රවට්ටලා තියෙන නිසයි කියලා තේරුම්ගන්න එක අපිට උදව් වෙනවා එයාලා ගැන වෛරයක් ඇති කරගන්නේ නැතුව ඉන්න.

3 අපේ වැඩ තහනම් කරපු රටක ඉන්න පාවෙල්ගේa අද්දැකීම බලන්න. එයා යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කරපු නිසා එයාව අත්අඩංගුවට ගත්තා. එයාට අමානුෂික විදිහට ගැහුවා. මාස ගාණක් හුදෙකලා හිරකුටියක දාලත් තිබ්බා. දැන් එයා මෙහෙම කියනවා. “යෙහෝවාට නමස්කාර කරන එකෙන් අපිව නවත්තන්න හදන්නේ සාතනුයි, භූතයනුයි කියලා මං හොඳටම දන්නවා. බන්ධනාගාරවල වැඩ කරන හුඟදෙනෙක්ට අපිත් එක්ක පෞද්ගලික තරහක් නෑ. එයාලා කරන්නේ එයාලාගේ රස්සාව.” සත්‍යය නිසා දෙමාපියන්ගෙන් ආපු දරුණු විරුද්ධවාදිකම් දරාගත්ත ක්‍රොඒෂියාවේ ඉන්න සහෝදරයෙක් මෙහෙම කිව්වා. “මගේ හතුරා සාතන් මිසක් මගේ දෙමාපියන් නෙවෙයි කියලා මං තේරුම්ගත්තා.”—එෆී. 6:12.

4. යේසුස්ගෙන් සහ ස්තේපන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (පින්තූරයත් බලන්න.)

4 අපිට විරුද්ධ වෙන අයට අපි වෛර කරන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න වුණත් අපි පෙලඹෙයි. (මතෙ. 5:44) ඒ ගැන යේසුස්ගෙයි, ස්තේපන්ගෙයි ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. රෝම සොල්දාදුවන් යේසුස්ව වධකණුවේ ඇණ ගැහලා තියෙද්දී “තාත්තේ, එයාලට සමාව දෙන්න” කියලා යේසුස් යාච්ඤා කළා. (ලූක් 23:34) යේසුස් මේ ඉල්ලන්නේ එයාව මරන්න භාර දීලා හිටපු රෝම සොල්දාදුවන්ට සමාව දෙන්න කියලයි. සමහරවිට ඒක කියද්දී ආගමික නායකයන්ගේ බලපෑම නිසා යේසුස්ව මරන්න කියලා ඉල්ලපු අයත් ඔහුගේ මනසේ ඉන්න ඇති. යේසුස් තේරුම්ගත්තා එයාලා ඒ දේ කරන්නේ හරි හැටි අවබෝධයක් නැතුව කියලා. යේසුස්ගේ ගෝලයෙක් වුණ ස්තේපනුත් එයාව මරන්න ලෑස්ති වෙලා හිටපු අයට සමාව දෙන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලුවා. (ක්‍රියා 7:58-60) යෙහෝවා යේසුස්ගෙයි, ස්තේපන්ගෙයි යාච්ඤාවලට ඇහුම්කන් දුන්නාද? ඔව්. යේසුස්ගේ නඩුවට සම්බන්ධ වුණ, ඔහුව මරන්න සහය දුන්න හුඟදෙනෙක් පස්සේ කාලෙකදී පසුතැවුණා. එයාලා යේසුස් ගැන විශ්වාසේ තියලා බව්තීස්ම වුණා. (ක්‍රියා 2:36-41) ස්තේපන්ගේ සිද්ධියේදීත් අඩුම තරමේ එයාව මරන්න උදව් කරපු එක් කෙනෙක්වත් නොදැනුවත්ව කරපු දරුණු දේවල් ගැන පසුතැවිලා ක්‍රිස්තියානියෙක් වුණා. ඒ තමයි ටාසස්වල සාවුල්.—1 තිමෝ. 1:13.

මූණේ තැළුම් පහරවල් තියෙන සහෝදරයෙක් හිරකුටියේ ඉඳන් යාච්ඤා කරනවා. ඒ ළඟ බන්ධනාගාර නිලධාරියෙක් මුර කරනවා.

යේසුස් සහ ස්තේපන් වගේ අපිටත් පුළුවන් අපිට පීඩා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න (4 ඡේදය බලන්න)


5. සේසාගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?

5 අපිට විරුද්ධ වෙන අය වෙනුවෙන් අපි කරන යාච්ඤාවලට යෙහෝවා අදටත් ඇහුම්කන් දෙනවා. වෙනිසියුලාවේ ඉන්න සේසාගේ තාත්තා සත්‍යයට තදින්ම විරුද්ධ වුණා. සේසා මෙහෙම කියනවා. “මගේ අම්මා හරිම හොඳ අම්මා කෙනෙක්, හොඳ බිරිඳක්. එයා හැම තිස්සේම රාජ්‍යයට මුල් තැන දුන්නත් තාත්තා වෙනුවෙන් කරන්න ඕන යුතුකම් නොකර හිටියේ නෑ. එයා මටයි, මගේ සහෝදර සහෝදරියන්ටයි ඉගැන්නුවා තාත්තාට ගෞරවෙන් සලකන්න කියලා. දෙවියන් අකමැති දෙයක් කරන්න කියනවා නම් ඇරෙන්න තාත්තා කියන හැම දේකටම කීකරු වෙන්න කියලා එයා අපිට කිව්වා.” අවුරුදු ගාණකට පස්සේ සේසාගේ තාත්තාගේ ගල් හිත මොළොක් වුණා. සේසා කියනවා “දවසක් මං මුළු හදවතින්ම යෙහෝවාට යාච්ඤා කරලා තාත්තාගෙන් ඇහුවා මාත් එක්ක බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා. තාත්තා කැමතියි කිව්වාම දැනුණ සතුට මට වචනෙන් විස්තර කරන්න බෑ.” පස්සේ එයාගේ තාත්තා බව්තීස්ම වුණා. අපිට විරුද්ධ වෙන හැම කෙනෙක්ම ඒ වගේ වෙනස්කම් කරගන්න එකක් නැහැ. හැබැයි අපි ගෞරවනීයව කතා කරන විදිහ, අපේ හැසිරීම දැකලා එයාලාගෙන් සමහරු වෙනස් වෙන්න පුළුවන්. ඒක අපිට මොන තරම් සතුටක්ද! “මුළු පොළොවේම විනිශ්චයකරු” වන යෙහෝවා ඒ වගේ තව හුඟදෙනෙක්ව තමන්ට ළං කරගන්නවා දකින්න අපි ඉන්නේ ලොකු ආසාවකින්.—උත්. 18:25.

6. මාක් 13:13 කියන විදිහට මිනිස්සු අපිට වෛර කරන තවත් හේතුවක් මොකක්ද?

6 යේසුස්ට සහය දෙන නිසා. යේසුස් සැබෑ ක්‍රිස්තියානීන්ට කිව්වා “ඔයාලා මගේ නම දරන නිසා හැමෝම ඔයාලට වෛර කරයි” කියලා. (මාක් 13:13 සහ පාදසටහන කියවන්න.) ‘නම දරන නිසා වෛර කරයි’ කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ ඒ නම පිටිපස්සේ ඉන්න කෙනා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරන් දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුට තියෙන අධිකාරිය අපි පිළිගන්න නිසා අපිට වෛර කරනවා කියන එකයි. ඒ විදිහට අපිට වෛර කරන්නේ යෙහෝවා පාලකයා විදිහට පත් කරපු යේසුස් ගැන විශ්වාසේ තියන අය නෙවෙයි, මේ ලෝකේ පාලකයන් ගැන විශ්වාසේ තියන අයයි. 1914 ඉඳන් යේසුස් දේවරාජ්‍යයේ පාලකයා විදිහට වැඩ කරනවා. ළඟදීම ඔහුගේ අධිකාරියට විරුද්ධ වෙන හැම රාජ්‍යයක්ම ඔහු විනාශ කරනවා.

7-8. මිනිස්සු අපිට වෛර කරන තව හේතුවක් මොකක්ද? (යොහන් 15:18-20) (පින්තූරත් බලන්න.)

7 සාතන් යටතේ තියෙන ලෝකය ප්‍රතික්ෂේප කරන නිසා. යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් “මේ ලෝකයට අයිති නැති නිසා” මිනිස්සු එයාලට වෛර කරනවා කියලා. (යොහන් 15:18-20 කියවන්න.) මුල් ක්‍රිස්තියානීන් වගේ අපිත් මේ ලෝකේ වැරදි ආකල්ප, හැසිරීම, කතාබහ අපේ ජීවිතෙන් ඈත් කරනවා. ඒ නිසා අපේ සහෝදරයන් හුඟදෙනෙක්ට ඉස්කෝලේදී, වැඩපොළේදී ගොඩක් අය නරක විදිහට සලකනවා. (1 පේතෘ. 4:3, 4) හැබැයි අපිට විරුද්ධ වෙන අයගෙන් සමහරදෙනෙක් අපි ගැන හිතන් හිටපු විදිහ වෙනස් කරලා අපිට ගෞරවෙන් සලකද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා.

8 මධ්‍යම ඇමරිකාවේ ඉන්න ඉග්නේසියෝගේ අද්දැකීම බලන්න. එයා දෙවියන්ගේ උසස් සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණ නිසා අවුරුදු ගාණක් තිස්සේ එයාගේ ඉස්කෝලේ සර් කෙනෙක් එයාට අපහාස කළා. එයා ඉස්කෝලේ ගිය අන්තිම කාලේදී ඒ සර් එයාගෙන් ඇහුවා “හැමෝම ඔයාට විහිළු කරද්දී බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඔයා ජීවත් වෙන්නේ ඇයි” කියලා. ඉග්නේසියෝ කිව්වා එයා දෙවියන්ගේ ප්‍රතිපත්ති සලකන්නේ එයාව ආරක්ෂා කරන දෙයක් විදිහට කියලා. එයා සර්ට රැස්වීම්වලට එන්න කියලත් කිව්වා. දවසක් සර් රැස්වීම්වලට ඇවිත් ඉන්නවා දැක්කාම ඉග්නේසියෝට හිතාගන්න බැරි වුණා. සභාවේ අයගේ ආදරේ දැකලා සර්ට ගොඩක් ආස හිතුණා. එයා දිගටම රැස්වීම්වලට ආවා. එයා බයිබලේ පාඩම් කරන්න පටන්ගත්ත නිසා පස්සේ එයාටත් විරුද්ධවාදිකම් ආවා. හැබැයි එයා දිගටම දෙවියන්ට ළං වෙලා අන්තිමේදී බව්තීස්ම වුණා.

පින්තූරවල අදහස: ඉග්නේසියෝ ඉස්කෝලේ ඉන්න විදිහ පෙන්නන රඟ දැක්වීමක්. 1. පන්තියේ ළමයි ඉස්සරහා සර් එයාට අපහාස කරද්දී එයා කේන්ති ගන්නේ නැතුව සන්සුන්ව ඉඳන් ඉන්නවා. 2. පස්සේ වෙලාවක ඉග්නේසියෝ සර් එක්ක කතා කරද්දී සර් හොඳට අහන් ඉන්නවා.

මොන වයසක හිටියත් අපේ විශ්වාසයන් වෙනුවෙන් නිර්භීතව කතා කරන්න අපිට පුළුවන් (8 ඡේදය බලන්න)b


9-10. (අ) මේ ලෝකේ ඉන්න අයට වඩා ක්‍රිස්තියානීන් වෙනස් වෙන්නේ තව මොන හේතුව නිසාද? (ආ) පාවුල්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 සාතන්ගේ ලෝකේ ඉන්න වැඩිදෙනෙක්ට වඩා අපි වෙනස් කියන්න තවත් හේතුවක් තමයි යුද්ධ සහ දේශපාලනික කාරණාවලදී අපි පැති ගන්නේ නැති එක. (යොහ. 18:36) රෝම 13:1 තියෙන මඟ පෙන්වීමට අනුව අපි රටේ නීතියට කීකරු වෙනවා. හැබැයි දේශපාලනික කාරණාවලදී අපි පැති ගන්නේ නැති නිසා අපි ඡන්දේ ඉල්ලන්නෙවත් ඡන්දේ දෙන්නෙවත් නැහැ. මොකද අපි ළැදි වෙලා ඉන්නේ යෙහෝවාට සහ ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ තියෙන ඔහුගේ රාජ්‍යයට. විශ්වාසේ නිසා සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ව හිරේ දාලා තියෙනවා. ඒ වුණත් එයාලා දේශනා කරන එක නම් නවත්තලා නැහැ. එයාලා ආදර්ශයට ගන්නේ පාවුල්ව. පාවුල් අවුරුදු ගාණක් තිස්සේ නිවාස අඩස්සියෙයි, හිරෙයි හිටියා. (ක්‍රියා 24:27; 28:16, 30) ඒත් එයා දිගටම ශුභාරංචිය අහන්න කැමති හැමෝටම දේශනා කළා. ඒ අයට හිරගෙදර නිලධාරීන්, රජට සේවේ කරපු උසස් නිලධාරීන්, ආණ්ඩුකාරයන්, රජවරුන් සහ සමහරවිට නීරෝ අධිරාජ්‍යයාට සේවේ කරපු නිලධාරීනුත් ඇතුළත් වෙන්න ඇති.—ක්‍රියා 9:15.

10 අදත් විනිශ්චයකරුවන්, රජයේ නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ශුභාරංචිය අහන්න කැමති හැමෝටම හිරේ ඉන්න අපේ සහෝදරයන් දේශනා කරනවා. දේශපාලනික කාරණාවලදී පැති ගත්තේ නැති නිසා අපේ සහෝදරයෙක්ට අවුරුදු හයකට වඩා වැඩි කාලයක් හිරේ ඉන්න වුණා. එයා කියනවා එයා ඒක සලකන්නේ දඬුවමක් විදිහට නෙවෙයි, බැටළුවන් වගේ අයව හොයන්න යෙහෝවා එයාට දුන්න පැවරුමක් විදිහට කියලා. ඒ වගේ අයට ශුභාරංචිය කියන්න යෙහෝවා අපිවත් පාවිච්චි කළොත් අපිටත් කොච්චර සතුටු වෙන්න පුළුවන්ද! (කොලො. 4:3) යෙහෝවාට සේවේ කරන නිසා මිනිස්සු අපිට වෛර කළත් අපිට සතුටින් ඉන්න පුළුවන් තවත් හේතු දැන් අපි බලමු.

වෛර කළත් සතුටින් ඉන්න හේතු

11. විරුද්ධවාදිකම්වලට මූණ දෙද්දී අපේ විශ්වාසේ ශක්තිමත් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

11 මිනිස්සු අපිට වෛර කරද්දී බයිබල් අනාවැකියක් ඉටු වෙනවා කියලා අපි දන්නවා. යෙහෝවා කියපු පළවෙනි අනාවැකියේ ඔහු කිව්වා සාතනුයි, එයාගේ පැත්ත ගන්න අයයි යෙහෝවාට ආදරේ කරන, ඔහුට සේවේ කරන අයට වෛර කරනවා කියලා. (උත්. 3:15) යේසුත් නිතරම කිව්වා යෙහෝවාට සේවේ කරන අයට විරුද්ධවාදිකම් එනවා කියලා. ඒ ගැන සුවිශේෂ පොත් හතරේම තියෙනවා. (මතෙ. 10:22; මාක් 13:9-12; ලූක් 6:22, 23; යොහ. 15:20) අනිත් බයිබල් ලේඛකයනුත් ඒ ගැන කිව්වා. (2 තිමෝ. 3:12; යාකො. 1:2; 1 පේතෘ. 4:12-14; යූද් 3, 17-19) ඉතින් විරුද්ධවාදිකම් එද්දී අපි පුදුම වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබල් අනාවැකියක් ඉටු වෙන නිසා අපි ඒ ගැන සතුටු වෙනවා. අපි සේවේ කරන්නේ සැබෑ දෙවියන්ට කියලා ඒකෙන් අපිට ස්ථිර වෙනවා. අපේ වැඩවලට තහංචි දාපු රටක ජීවත් වෙන සහෝදරියක් මෙහෙම කියනවා. “මං මගේ ජීවිතේ යෙහෝවාට කැප කරද්දීම දැනන් හිටියා කොයි වෙලේ හරි මට විරුද්ධවාදිකම්වලට මූණ දෙන්න වෙනවා කියලා. ඉතිං ඒවා එද්දී මං බය වුණේවත් පුදුම වුණේවත් නෑ.” එයාට විරුද්ධවාදිකම් ගෙනාපු ගොඩක් අය අතරේ එයාගේ මහත්තයාත් හිටියා. එයාගේ මහත්තයා එයාට නපුරු විදිහට සැලකුවා විතරක් නෙවෙයි එයාගේ බයිබලෙයි, එයාගේ පොත්පතුයි පිච්චුවා. වුණ දේවල් නිසා එයා බයෙන් වැටුණේ නැහැ. එයාගේ විශ්වාසේ තවත් ශක්තිමත් වුණා. (හෙබ්‍රෙ. 10:39) එයා මෙහෙම කියනවා. “විරුද්ධවාදිකම් ගැන කලින්ම කියලා තිබුණා. ඒක ඉටු වෙනවා කියලා මං දැනන් හිටියා. මං විරුද්ධවාදිකම් පෞද්ගලිකව අද්දකිද්දී මං ඉන්නේ සැබෑ ආගමේ කියලා මට තවත් ස්ථිර වුණා.”

12. විරුද්ධවාදිකම් දරාගන්න සහෝදරයෙක්ට උදව් වුණේ මොකක්ද?

12 විරුද්ධවාදිකම් එනවා කියලා අපි දැනන් හිටියත් ඒවාට මූණ දෙද්දී අපිට අමාරු වෙන්න පුළුවන්. සහෝදරයෙක් එයා හිරේ හිටපු කාලේ ගැන මෙහෙම ලිව්වා. “සමහර වෙලාවට මට දැනුණ පීඩනය, දුක නිසා මං ඇඬුවා.” ඒ සහෝදරයාට දේවල් දරාගන්න මොනවාද උදව් වුණේ? එයා මෙහෙම කියනවා. “මං හැම තිස්සේම යාච්ඤා කළා. මං හැම දවසක්ම පටන්ගත්තේ යාච්ඤාවකින්. දවසේ කොයිම වෙලාවක හරි දරාගන්න අමාරු දෙයක් වෙද්දී මං යාච්ඤා කළා. අනිත් අය මට නපුරු විදිහට සලකන නිසා මට කේන්තියක් දැනුණාම මං කළේ නාන කාමරේට ගිහින් දොර ලොක් කරගෙන යාච්ඤා කරපු එකයි.” විරුද්ධවාදිකම්වලට මූණ දුන්නත් දිගටම දෙවියන්ට ළැදිව හිටපු, අතීතයේ වගේම අද කාලේ ආදර්ශ ගැනත් ඒ සහෝදරයා හිතුවා. විරුද්ධවාදිකම් දරාගන්නත් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දෙනවා කියලා පොරොන්දු වුණ සමාදානය අද්දකින්නත් ඒක එයාට උදව් වුණා.—යොහ. 14:27; 16:33.

13. වෛරය පරද්දන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

13 අපි ළඟ තියෙන ආදරය වෛරයට වඩා බලවත් කියලා අපි දන්නවා. යේසුස් අවසන් හුස්ම හෙළන කල්ම ඔහුගේ තාත්තාට මුළු හදවතින්ම ආදරේ කළා. යේසුස් ඔහුගේ යාළුවන්ටත් ගොඩක් ආදරේ කළා. (යොහ. 13:1; 15:13) අපිත් යෙහෝවා ගැනයි, අපේ සහෝදර සහෝදරියන් ගැනයි ඒ වගේ ආදරයක් ඇති කරගන්නවා නම් වෛරය පරද්දන්න අපිටත් පුළුවන්. ඒ කොහොමද? ඒ ගැන පාවුල්ගේ ආදර්ශයෙන් අපි බලමු.

14. තමන්ව මරන්න යනවා කියලා දැනන් හිටියත් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද?

14 පාවුල්ව මරන්න ටික කාලෙකට කලින් එයා ගොඩක් ආදරේ කරපු තිමෝතිට මෙහෙම ලිව්වා. ‘දෙවියන්ගෙන් අපිට ලැබුණ බලය නිසා අපි තුළ බියගුලුකමක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට අපිට ලොකු ශක්තියක් ලැබුණා. ආදරෙන් වැඩ කරන්න හැකියාව ලැබුණා.’ (2 තිමෝ. 1:7) පාවුල් එතන කියන්නේ අපේ හිතේ යෙහෝවා ගැන ගැඹුරු ආදරයක් තියෙනවා නම් ඕනම විරුද්ධවාදිකමක් දරාගන්න අපිව පොලඹවන්න ඒ ආදරේට පුළුවන් කියලයි. (2 තිමෝ. 1:8) පාවුල්ගේ හිතේ යෙහෝවා ගැන තිබුණ ගැඹුරු ආදරේ එයාට උදව් වුණා එයාව මරන්න යන්නේ කියලා දැනන් හිටියත් දිගටම ධෛර්යයෙන්, යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න.—ක්‍රියා 20:22-24.

15. අපේ කාලේ සහෝදරයන් තමන් ගැනවත් හිතන්නේ නැතුව එකිනෙකාට ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

15 විරුද්ධවාදිකම් නොසැලී දරාගන්න අපේ සහෝදරයන්ට අපි ගොඩක් ආදරෙයි. සමහරු තමන්ගේ ජීවිතේ අනතුරේ වැටෙනවා කියලා දැන දැනත් සහෝදරයන් වෙනුවෙන් ආදරේ පෙන්නන්න ලෑස්තියි. එයාලා හරියට පාවුල් වෙනුවෙන් ජීවිතේ වුණත් අනතුරේ දාන්න කැමති වුණ අකිලා සහ ප්‍රිස්කා වගෙයි. (රෝම 16:3, 4) උදාහරණෙකට රුසියාවේ අත්අඩංගුවට අරන් ඉන්න සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න හුඟදෙනෙක් උසාවිවලට යනවා. අත්අඩංගුවට ගත්ත ඒ වගේ සහෝදරියක් උසාවියට එද්දී හුඟක් සහෝදර සහෝදරියන් එතන ඉන්නවා දැක්කා. ඒක දැක්කාම එයාට ඇඬුණා. ටික වෙලාවක් යන කල් කතා කරගන්නත් බැරි වුණා. එයාට උදව් ඕනම කරපු වෙලාවේ ඒ සහෝදරයන්ගේ ආදරේ ලැබුණ නිසා එයා ශක්තිමත් වුණා. වෛරයට වඩා බලවත් ආදරයක් අපි ළඟ තියෙන එක ගැන අපිට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද!

පොලිස් නිලධාරිනියන් දෙන්නෙක් සහෝදරියක්ව වෑන් එකකට නග්ගගන්න අතරේ එතනට ඇවිත් ඉන්න සහෝදර සහෝදරියන් අත්පුඩි ගහනවා.

අපේ වැඩ තහනම් කරලා, තහංචි දාලා තියෙන රටවල ඉන්න සහෝදර සහෝදරියන් තමන් ගැනවත් හිතන්නේ නැතුව අනිත් අයට ආදරේ පෙන්නනවා (15 ඡේදය බලන්න)c


16. දෙවියන්ට සේවේ කරන නිසා පීඩා විඳින අයට සතුටින් ඉන්න පුළුවන් කියලා පේතෘස් කිව්වේ ඇයි? (1 පේතෘස් 4:14)

16 අපි විරුද්ධවාදිකම් විඳදරාගද්දී යෙහෝවා අපි ගැන සතුටු වෙනවා කියලා අපි දන්නවා. (1 පේතෘස් 4:14 කියවන්න.) දෙවියන්ට සේවේ කරන නිසා විරුද්ධවාදිකම් එද්දී ඒ ගැන සතුටු වෙන්න පුළුවන් කියලා පේතෘස් කිව්වා. මොකද ඒ වගේ විරුද්ධවාදිකම් එද්දී ඒකෙන් පැහැදිලි වෙනවා දෙවියන්ගේ බලය අපිට තියෙනවා කියලා. දෙවියන් තමන් ගැන සතුටු වෙනවා කියලා දැනන් ඉන්න එක පීඩා විඳදරාගන්න උදව් වෙන විදිහ පේතෘස් අද්දැක්කා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසට ටික කාලෙකට පස්සේ දේශනා කරකර හිටපු පේතෘස්වයි, අනිත් නියෝජිතයන්වයි අත්අඩංගුවට ගන්න දේවමාලිගාවේ වැඩ කරපු සේවකයන්ව යැව්වා. හැබැයි ඒ වෙලාවේ පේතෘස් නිර්භීතව එයාගේ විශ්වාසේ ගැන කතා කළා. (ක්‍රියා 5:24-29) පේතෘස්ටයි, අනිත් නියෝජිතයන්ටයි ගැහුවාට පස්සෙත් එයාලා දේශනා කරන එක නැවැත්තුවේ නැහැ. මොකද “යේසුස්ගේ නම දරන නිසා නින්දා විඳින්න ලැබුණ එක එයාලා සැලකුවේ ලොකු ගෞරවයක් විදිහටයි.” ඒ නිසා එයාලට ලොකු සතුටක් දැනුණා. අපිටත් පුළුවන් පීඩා විඳදරාගද්දී සතුටු වෙන්න.—ක්‍රියා 5:40-42.

17. මරණයට කලින් රෑ යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වේ මොකක්ද?

17 මැරෙන්න කලින් රෑ යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. “මට ආදරේ කරන කෙනාට මගේ තාත්තාත් ආදරේ කරනවා. මමත් එයාට ආදරේ කරනවා.” (යොහ. 14:21) යෙහෝවාට සේවේ කරන නිසා වෛරය වෙනුවට ආදරේ ලැබෙන කාලේ එන කල් අපි බලන් ඉන්නේ ලොකු ආසාවකින්. (2 තෙස. 1:6-8) එතකල් අපිට වෛර කළත් සතුටින් ඉන්න පුළුවන් හේතු අපි නිතරම මනසේ තියාගමු. මොකද ඒ දේවල් අපිට සහනයක් වගේම ලොකු ශක්තියක්.

ඔයාගේ අදහස මොකක්ද?

  • යේසුස්ගේ අනුගාමිකයන්ට මිනිස්සු වෛර කරන්නේ ඇයි?

  • අපේ ආදරය වෛරයට වඩා බලවත් කියන්නේ ඇයි?

  • අපිට වෛර කළත් සතුටින් ඉන්න පුළුවන් ඇයි?

ගීතිකාව 149 ජයග්‍රහණේ ගීතය

a සමහර නම් වෙනස් කරලා තියෙනවා.

b පින්තූරවල අදහස: ඉග්නේසියෝ එයාගේ සර්ට සාක්ෂි දරන විදිහ පෙන්නන රඟ දැක්වීමක්.

c පින්තූරේ අදහස: විශ්වාසේ නිසා හිරේට දාන්න ගෙනියන සහෝදරියක්ව බලන්න ඇවිත් ඉන්න සහෝදර සහෝදරියන් එයාව දිරිගන්වන විදිහ පෙන්නන රඟ දැක්වීමක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න