ඔබ දැන සිටියාද?
නීතියේ කොබෙයියන්ව වගේම පරෙවියන්වත් පූජා කරන්න අවසර දීලා තිබුණා. ඒක ප්‍රයෝජනවත් වුණේ ඇයි?
මෝසෙස්ට දුන්න නීතියට අනුව යෙහෝවා දෙවියන් පරෙවියන්ව වගේම කොබෙයියන්වත් පූජාවන් විදිහට පිළිගත්තා. නීතියේ පූජාවන් ගැන සඳහන් වෙන හැම තැනකම මේ කුරුලු වර්ග දෙක එකට සඳහන් කරලා තිබුණා. නීතියේ තිබුණේ කොබෙයියන්ව හරි පරෙවියන්ව හරි පූජා කරන්න කියලයි. (ලෙවී. 1:14; 12:8; 14:30) ඒ වගේ නීතියක් දුන්න එක සහනයක් වුණේ ඇයි? මොකද අවුරුද්දේ සමහර කාලවල කොබෙයියන්ව හොයාගන්න ඊශ්‍රායෙල්වරුන්ට ලේසි වුණේ නැහැ. ඒ ඇයි?
කොබෙයියෙක්
කොබෙයියන් කියන්නේ සංක්‍රමණික කුරුල්ලෝ ජාතියක්. උන් සාමාන්‍යයෙන් උෂ්ණ කාලේදී තමයි ඊශ්‍රායෙල් දේශයේ ඉන්නේ. ඔක්තෝබර් මාසේ වෙද්දී ඊශ්‍රායෙලයට ශීත කාලය උදා වෙනවා. එතකොට උන් ඊශ්‍රායෙල් දේශයට දකුණින් පිහිටි රටවල්වලට සංක්‍රමණය කරනවා. උන් ආයෙත් ඊශ්‍රායෙලයට එන්නේ වසන්ත කාලෙට. (සල. 2:11, 12; යෙරෙ. 8:7) යෙහෝවා දෙවියන් කොබෙයියන්ව විතරක් පූජා කරන්න කියලා තිබුණා නම් ශීත කාලයේදී ඊශ්‍රායෙල්වරු පූජා ඔප්පු කරන්නේ කොහොමද?
පරෙවියෙක්
අනිත් අතට පරෙවියන් කියන්නේ සංක්‍රමණික කුරුල්ලන් නෙවෙයි. උන් අවුරුද්ද පුරාම පලස්තීනයේ දකින්න ලැබෙනවා. අතීතයේදී සමහරු ගෙවල්වලත් පරෙවියන්ව ඇති කළා. (යොහ. 2:14, 16) එක පොතක මෙහෙම කියලා තිබුණා. “පලස්තීනයේ හැම ගමකම, හැම නගරයකම වගේ මිනිස්සු පරෙවියෝ ඇති කළා. පරෙවියෝ ඇති කරපු හැම ගෙයකම පරෙවි කූඩු තිබ්බා. එහෙම නැත්නම් පරෙවියන්ට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට එයාලගේ ගෙදර බිත්තිවල සිදුරු හදලා තිබුණා.”—යෙසා. 60:8.
කූඩුවක ඉන්න පරෙවියෙක්
ඒ තොරතුරුවලින් පැහැදිලි වෙනවා අවුරුද්දේ ඕනම දවසක පූජා ඔප්පු කරන්න කොබෙයියන්ව හරි පරෙවියන්ව හරි හොයාගන්න පුළුවන් වුණා කියලා. ඒ කුරුලු වර්ග දෙකම පූජාවන් විදිහට පිළිගත්ත එකෙන් යෙහෝවා මොන තරම් සාධාරණ, ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියලා පැහැදිලි වෙනවා.