දිව්‍ය ප්‍රඥාවේ අතිවටිනා අගය
1 යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද දින මිනිස් වර්ගයා මුහුණ පාමින් සිටින ගැටලුවලට සහනයක් සැලසීමෙහිලා වඩාත් ඍජු ලෙස උපකාර කිරීමට යුහුසුලු විය යුතු බව ඇතැම්හු සිතති. අපගේ බයිබල් අධ්‍යාපනික වැඩයේ අතිවටිනා අගය දැකගැනීමට එවන් පුද්ගලයෝ අසමත් වෙති. එය ප්‍රේරිත පාවුල් මෙසේ ලීවාක් මෙනි. “විනාශ වන අයට වධකණුව ගැන පණිවුඩය මෝඩකමකි. නමුත් ගලවාගනු ලබන අයට, එය දෙවිගේ බලය වේ.” (1 කොරි. 1:18, NW) ඇත්තෙන්ම, අද දින පොළොව මත සිදු කෙරෙමින් තිබෙන අතිවැදගත්ම වැඩය ක්‍රිස්තියානි දේවසේවය බව අපි දනිමු.
2 දැන් වඩාත් හොඳ ජීවිතයක්: මිනිස් වර්ගයාගේ ගැටලු විසඳීමට මිනිසුන් දරා ඇති ප්‍රයත්නවලට ප්‍රතිඵල ලැබී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. නීති පැනවීමෙන්ම අපරාධවල වර්ධනය නවතා නැත. සාම ගිවිසුම් සහ සාම සාධක හමුදාවන් මගින් යුද්ධ නැවතී නැත. දිලිඳුකම මුලිනුපුටා දැමීමට සමාජ සේවා හා ශුභසාධක ව්‍යාපෘති අපොහොසත් වී ඇත. (ගීතා. 146:3, 4; යෙරෙ. 8:9) මීට පටහැනිව, රාජ්‍ය පණිවුඩය මිලියන ගණනකගේ ජීවිත වෙනස් කර ඇති අතර, දෙවිට පිළිගත හැකි නව පෞද්ගලිකත්වයක් පැළඳගැනීමට ඔවුන්ට උපකාර කර ඇත. (රෝම 12:2; කොලො. 3:9, 10) එසේ කිරීමෙන්, දැන් පවා ඔව්හු ඉහළ ගුණාත්මකබවකින් යුත් ජීවිතයක් භුක්ති විඳිති.—1 තිමෝ. 4:8.
3 දීප්තිමත් අනාගතයක්: ජීවිතයේ හදිසියේ පැනනඟින අභියෝගවලට මුහුණ දීමට අපට උපකාර කරනවාට අමතරව, අපගේ අනාගතය හොඳින් සැලසුම් කිරීමටද දිව්‍ය ප්‍රඥාව අපට හැකියාව ලබා දෙයි. (ගීතා. 119:105) වර්තමාන සමාජ ක්‍රමය පුනරුත්ථාපනය කිරීමේ නිෂ්ඵල වෑයමෙන් එය අපව ගලවයි. (දේශ. 1:15; රෝම 8:20) අප අපගේ ජීවිත නිෂ්ඵල ඉලක්ක ඔස්සේ ලුහුබැඳීමට කාලය නාස්ති නොකිරීම ගැන කොතරම් කෘතඥ විය යුතුද! ඒ වෙනුවට, අප අපගේ ප්රයත්නයන් කේන්ද්‍රගත කරන්නේ, ධර්මිෂ්ඨකම වාසය කරන “අලුත් අහසක් හා අලුත් පොළොවක්” පිළිබඳ යෙහෝවාගේ ස්ථිර පොරොන්දුව දෙසය. යෙහෝවාගේ විනිශ්චය දවස පැමිණෙන විට, දිව්‍ය ප්‍රඥාව කෙරෙහි විශ්වාස කළාවූ අය හරි තේරීම කළ බව පැහැදිලිවම පෙනී යනවා ඇත.—2 පේතෘ. 3:1-13; ගීතා. 37:34.
4 “මේ සමාජ ක්රමයේ ප්‍රඥාව” තුළ ගැඹුරින් ඇලී ගැලී සිටින අයට දිව්‍ය ප්‍රඥාව ප්‍රායෝගික නොවන යමක් සේ පෙනෙනවා විය හැකි වුවද, ඇත්තෙන්ම අප විසින් ගත හැකි එකම ප්‍රායෝගික ක්‍රියාමාර්ගය එයයි. (1 කොරි. 1:21; 2:6-8, NW) මෙබැවින්, “එකම ප්‍රඥාවන්ත” දෙවි කෙරෙන් නික්මෙන පණිවුඩය අපි පොළොව පුරාම දිගටම ප්‍රකාශ කරමු.—රෝම 16:27, NW.